Monday, August 10, 2015

විහංඟනාවී: තිස්හයවන කොටස


රවීන් හන්දා තමන්ගේ ජීවිතේ මහා ලොකු වෙනසක් වෙලා නේද කියලා අයුමි කල්පනා කරමින් උන්නේ ඔෆිස් එකේ වැඩ ගොඩක් සතුටුදායක විදියට ඉවර කරලා බෝඩිමට එන අතරේ. ඔහු හන්දම වෙනදටත් වඩා උනන්දුවෙන්, උවමනාවෙන් වැඩ කරන්න තමන් පෙලඹිලා කියලත් ඈට හිතුණා. ඔෆිස් එකෙන් පිටදි පොඩි ළමයෙක් වගේ අයුමි එක්ක දැවටුණ රවීන් ඔෆිස් එකේදි හැසිරුණේ බොහෝම භාරදූර බොස් කෙනෙක් වගේ. ඒ ඔහුගෙම තීරණේකටත් වඩා අයුමිගෙම පෙරැත්තේ හන්දා. 

"ඉතිං ඔෆිස් එකේ අය දැනගත්තම කියමු. මොකද වෙන්නේ?" දවසක් presentation එකක් හදලා ඉවර වෙලා conference room එකේ තනිවුණ වෙලාවක රවීන් එහෙම ඇහුවේ මේසේ මත තිබ්බ අයුමිගේ අතක් ඈට ගලවගන්න බැරි වෙන්නම අල්ලගෙන.

"එතකොට මිනිස්සු කතා හදයි" අයුමි කිව්වේ අන්තිමේදි අත ගලවගන්න අදහස අතෑරලා.

"මම හිතුවේ කතා හදන්නේ දැනගන්න කලින් කියලා" රවීන් කිව්වේ හිනාවෙලා.

"ඔයාට නම් විහිලු රවීන්. දැනට වුණත් සමහරු කියන කරන දේවල් ඇහුවම මට හිතෙනවා එයාලා මොනා හරි සැක කරනවද කියලා" අයුමි කිව්වම රවීන්ගේ මූණේ හැඟීම් වෙනස් වුණා.

"කවුද, මොනාද කියන්නේ?"

"නම් ගම් නෙවෙයිනේ, එහෙම හිතන්න අපි වැරදි විදියකට හැසිරුණාද කියන එකනේ බලන්න ඕන" අයුමි කිව්වා.

"මේක මගේ ඔෆිස් එක.මං කරන්නේ මට ඕන දේ" රවීන් ඉන්පස්සේ කිව්වා.

"ඔය බලන්න ඉතිං කිව්ව කතාව? අපේ බිස්නස් එක ඔයයි, ඔයාගේ බිල්ඩින් එකයි විතරක් නම් එහෙම හිතුවට කමක් නෑ. ඒත් මේ බිස්නස් එක මේ තරම් දුර ගේන්න උදව් කලේ මේකෙ වැඩ කරන මිනිස්සුනේ" අයුමි කිව්වා.

"එහෙමයි කියලා අපේ ඕපාදූප හොයන්න ඒ අයට තියෙන අයිතිය මොකක්ද?" රවීන් ඇහුවා.

"ඕපාදූප නෙවෙයි රවීන්, එයාලා කියන්නේ එයාලට පෙනෙන, දැනෙන දේවල්" අයුමි දිගටම තර්ක කලා.

රවීන් උන්නේ තාමත් ඇගේ අතින් අල්ලාගෙන ඒත් කියන දේට සවන්දීගෙන.

"හරි, දැන් ඔයා මට මොකක්ද කරන්න කියන්නේ?"

"මම කියන්නේ හැමදාම කියන එක තමයි. අපි ඔෆිස් එකේදි ඉස්සර වගේ දුරස් වෙලාම ඉමු. මෙහෙම වුණත් හම්බවෙන්නේ නැතිව ඉන්නවානම් තමයි හොඳ. මම එහෙම කරමු කියන්නේ මට ඔයාගේ ඈත් වෙලා ඉන්න පුලුවන්කමක් තියෙන හන්දා නෙවෙයි. ඔයාගේ නම, ඔයාගේ නම්බුව, ඔයා ගැන අනික් අය තුල තියෙන ප්‍රතිරූපේ, මට ඒකට වඩා වටින හන්දා" අයුමි කිව්වේ දයාවෙන්.

රවීන් අයුමි දිහා බලාගෙන උන්නෙත් හෙමින් හෙමින් වැඩි වුණ ආදරේකින්.

"මට ඔයා කියන එක තේරෙනවා. මට ප්‍රශ්ණයක් නෑ මම ගැන අනික් අය මොනා කිව්වත්, හිතුවත්. ඒ අය තමන්ගේ වැඩේ හරියට කරනවා නම්. ඒත් මම හන්දා ඔයාට අපහසුතාවයක් වෙනවා නම්, මම ඒගොල්ලන්න්ට කියන්නම් අපි දෙන්න, දෙන්නට කැමැත්තෙන් ඉන්නේ කියලා. එතකොට හොරෙන් හොරෙන් කියන්න, අහන්න දේවල් නෑනෙ" රවීන් කිව්වම අයුමිට දැනුනේ බයක්.

"අනේ පිස්සුද එහෙම කරන්නේ කොහොමද දැන්ම? හිතන්නකෝ බැරිවෙලාවත් මේවා කනින් කනට ගිහින් අපේ ගෙදරට ආරංචි වුණොත්?" අයුමි එහෙම කිව්වේ වැඩිය නොහිතා.

රවීන්ගෙ මුහුණේ හැඟීම් තවත් වෙනස් වුණාම ඈට තේරුණා කිව්ව එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඔහු ඇගේ අතත් ඒ ගමන්ම හෙමින් අතෑරියා.

"රවීන්..."

"ගෙදරට ආරංචි වුණොත් මොකක්ද වෙන්නේ?" රවීන් ඇහුවේ ඈ දිහා යන්තම් බලලා.

ටිකක් වෙලා ඔහු දිහා බයවෙලා වගේ බලාගෙන උන්නු අයුමි හීන් සුසුමක් හෙලලා ඉවත බලාගත්තේ උත්තරයක් නොදී.

"බැඳලා දික්කසාද වුණ, වයසිනුත් වැඩි, මනුස්සයෙක් එක්ක පැටලුණේ මොකද කියලා අම්මලා කලබල වේවි නේද?" රවීන් ඇහුවේ මොකක්දෝ හැඟීමකින් පෙලෙමින්.

"ඔහොම කතා කියන්න එපා. මට ඒවා ගැන හිතන්න බෑ" අයුමි කිව්වේ වේදනාවෙන්.

රවීන් දිග සුසුමක් හෙලලා නිහඬ වුණා ඒ පාර. අයුමිට කොහොමවත් හිතාගන්න බැරි වුණා ඔහු හිතන්නේ මොනවද කියලා. ඒ ගමන රවීන්ගේ අතක් අල්ලගත්තේ ඈ.

"අහන්න...මොන දේ වුණත් මගේ හිත වෙනස් වෙන්නේ නෑ" ඈ එහෙම කිව්වම රවීන් කලේ අනෙක් අත ඇගේ අත උඩින් තියලා හිස වනපු එක.

"මං ඒක දන්නවා බබී"

ඒත් ඊට පස්සේ රවීන් ආයෙම ඒ ගැන කතා කලේ නැහැ. ඒ නිසා හරි, වෙන හේතුවක් නිසා හරි රවීන්, කලාතුරකින් ඇරෙන්න අයුමි එක්ක අනික් වෙලාවට හැසිරුණේ සාමාන්‍ය විදියට. දැනට ඒ හැසිරීම අයුමිගේ හිතට එකතු කලේ සහනයක්.

"හෝව් හෝව්"

අයුමි කල්පනාවේ කොච්චර නිමග්න වෙලා උඬ කිව්වොත්, පිටිපස්සෙන් තමන් දිහාට දුවගෙන එමින් උන්නු කෙනාව ලඟට එනකල්ම දැක්කේ නැති තරමයි. හැරිලා බලනවත් එක්කම වගේ ඇගේ හිත ඇකිලුණේ ඒ යශෝධ වග දැකලා.

"ආනේ...මම දැක්කේ නෑ ඔයාව" අයුමි අමාරුවෙන් මුවට හිනාවක් නගාගන්න උත්සාහ කරමින් කිව්වා.

"මම දැක්කා ඔයා බහිනවා ඈත තියාම. ඉතිං මං දුවගෙන ආවා. හ්ම්ම්...හතිත් එක්ක. ඉතිං ඉතිං කොහොමද ඔයාගේ විස්තර? ලඟකදි උදේ හම්බුණෙත් නෑ" යශෝධ කිව්වේ ඈ එක්ක සමපාත වෙමින්.

"කියන්න වරදක් නෑ. මේ දවස්වල ඔෆිස් එකේ වැඩ වැඩියි. ඉතිං එක්කෝ උදේම යැවෙනව. රෑ වෙනකල් වැඩ කරන්න වුණොත් දවල් වෙලා යන්වා" අයුමි කිව්වා.

"ම්ම්...ඒක මිසක්කා. මම හිතුවා...මාව මගාරිනවද කියලා" යශෝධ එහෙම කිව්වම අයුමිගේ හිත නොසන්සුන් වුණා.

"ඔයාට පිස්සු. මම එහෙම කරන්නේ මොකටද?" අයුමි කිව්වේ ඔහු දිහා නොබලා.

"ම්ම්...එක තමයි මාත් බැලුවේ. රෑ කෑම ගන්න එද්දි තනූජව නම් දෙපාරක් විතර හම්බුණා. එයා කිව්වේ නැද්ද මම ඇහුවා කියලා?" යශෝධ එහෙම කිව්වම අයුමි තවත් නොසන්සුන් වුණා.

එදා නොහාන්ගේ උපන්දිනේ දා වෙච්ච සිද්ධියෙන් පස්සේ තනූජා යම් විදියකට ඇගෙන් දුරස් වෙලා කියලා අයුමිට තේරිලා නොතිබා නෙවෙයි. තනූජා ඉන්පස්සේ කොයිම වෙලේකවත් ආයෙම රවීන් ගැන ඇහුවෙත් නෑ. වෙනදා වගේ යශෝධ ගැන විහිලු කලේවත්, ඔහු මුණගැහුණ බවක් කිව්වේ වත් නෑ. අයුමි නොපෙන්නුවට ඒ ගැන ඈ උන්නේ ලොකු කණගාටුවකින්.

"කිව්වා කිව්වා" අයුමි කිව්වේ නොසැලකිල්ලෙන් වගේ.

"මම හිතුවා ඔයා මට මැසේජ් එකකවත් එවයි කියලා. මම තනූජට දුනා මගේ නම්බර් එක. ඔයාගේ එක ඉල්ලුවට කෝ එයා දුන්නේ නෑනෙ" යශෝධ ආයෙම කිව්වා.

"එයාට අමතක වෙන්න ඇති. මේ දවස්වල එයටත් ගොඩක් වැඩ" අයුමි බොරුවක් කිව්වා.

"එහෙනම් දැන් කියන්න මට ඔයාගේ නම්බර් එක. මම රිං කරන්නම්"

යශෝධ එහෙම ඉල්ලුවම ඒකට බෑ කියන්න පුලුවන්කමක් එවෙලේ අයුමිට තිබ්බේ නෑ. ඒ හන්දා අකමැත්තෙන් වුණත් ෆෝන් නම්බර් එක ඔහුට දෙන්න ඈට සිද්ධ වුණා.

"තෑන්ක් යූ" යශෝධ කිව්වේ හිනාවෙලා.

අයුමිට ඔහු ගැන අහේතුක දුකක් ඇරෙන්න වෙන කිසීම හැඟීමක් දැනුනේ නෑ. රවීන් එක්ක බලද්දි ඈට ඔහුව පෙනුනේ ඉස්කොලේ යන පුංචි කොල්ලෙක් වගේ. ඒ අහිංසකකම, නොතේරුම්කම, බොලඳකම, සමහරවෙලාවට දඟකාරකම අයුමි තුල වෙනස් හැඟීමක් ඇති කලේ නැහැ. යශෝධ ගැන යාලුවෙක් කියලා ඇරෙන්න වෙන විදියකට හිතන එකත් වරදක් වගෙයි ඈට දැනුනේ.

අයුමි මේ වගේ සිතිවිලි වල කිමිදෙමින් බෝඩිමලඟට එනකල් ආවේ, යශෝධ තව මොනවදෝ කිව්වත් ඒ එකකවත් හරියට නෑහී. ඔහු අයුමිව බෝඩිම ලඟට ඇරලවලා යන්න ගියාමයි ඈට සැනසුම් සුසුමක් හෙලුණේ. ඒත් ඊට පස්සේ ඈට ඒ සිතිවිල්ල ගැන පසුතැවිල්ලක් උපන්නේ යාලුවෙක් ගැන එහෙම හිතන්න හොඳ නැති හන්දා.

අයුමි කාමරේට එද්දි තනූජා ඒවෙනකොතත් ඇවිල්ලයි උන්නේ. ඇඳුම්වත් මාරු නොකර ෆෝන් එකත එබිලා උන්නු තනූජා අයුමි එද්දි ඈ දිහා යන්ත්මින් බැලුවා විතරයි.

"ඔයා අද කලින් ආවද?" අයුමි බෑග් එක මේසේ මතින් තියලා ඇඳට වැටුණේ එහෙම අහගෙන.

"ම්ම්"

තනූජා එහෙම කිව්වම අයුමි හිස හරවලා ඈ දිහා හොඳින් බැලුවා. බැලුවාමයි ඈට හිතුණේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. තනූජගේ හිසකෙස් තිබුණේ අවුල් වෙලා, ඒවගේම කම්මුල් රතු වෙලා, ඇස් තෙත් වෙලා වගේ තියෙනවත් ඈ දැක්කා.

"තනූ...ඇයි මේ ඔයා අමුතු වෙලා? මොකක් හරි ප්‍රශ්ණයක්ද?" අයුමි ඇහුවේ සැකෙන් වගේ.

තනූජා හිස වැනුවා විතරයි. ඊටපස්සේ ෆෝන් එක ඇඳ උඩට වීසි කරපු ඇය ජනේලේ ලඟට ගියේ තරහින් වගේ. අයුමි ආ දිහා අන්ද මන්ද වෙලා බලාගෙන උන්නා.

"තනූ...අනේ ඇයි කියන්නකෝ"

අයුමි ඇහුවත් තනූජා උත්තරයක් දුන්නේ නෑ. ඒත් ටිකකින් ඇගේ දෑස් වලින් කඳුලු ධාරාවක්ම කඩාගෙන හැලෙන්න ගත්තේ අයුමි බලාගෙන ඉන්දැද්දි. කලබල වුණු පාර අයුමි ඇඳෙන් පැනලා තනූජා ලඟට ගියේ පිම්මට දෙකට.

"ඇයි මේ?" තනූජගේ උරහිසින් මුදුවට අල්ලලා අයුමි ඇහුවා.

ඒත් තනූජා හිස වනලා කඳුලු වලට ගලන්න ඉඩ දීලා එහෙමම උන්නා.

"තනූ අනේ ඇයි කියන්න. මොකක් හරි කරදරයක් වෙලාද? ලොක්කයියා මොනා හරි කිව්වද?" අයුමි ඇහුවා.

තනූජා අයුමිගේ දෑස් දිහාව මොහොතක් බලලා, ඇගේ උරහිසට වාරු වෙලා එක පාරටම මහා හයියෙන් අඬන්න ගත්තා. මොනවත්ම හිතාගන්න බැරිව අයුමි කලේ ඇගේ පිට හෙමින් අතගාපු එක විතරයි.

"අපේ කේන්දර ගැලපෙන්නේ නැල්ලු අයුමි" සෑහෙන වෙලාවක් අඬලා අඬලා, ටිකක් සන්සුන් වුණාට පස්සේ තනූජා එහෙම කිව්වා.

"මොකක්? ඔයාලා කේන්දර බැලුවද?" අයුමි ඇහුවේ පුදුමෙන්.

"ඔව්. භානුකට ගෙදරට කියන්න කලින් කේන්දර බලන්න ඕන කිව්වා. දැන් ඒවා බැලුවට පස්සේ ගැලපෙන්නේ නෑලු" තනූජා එහෙම කියලා හුස්මක් උඩට ඇද්දා.

"ඉතිං...දැන් ලොක්කයියා කියන්වද මේක නවත්තමු කියලා?" අයුමි ඇහුවා.

"එයා එහෙම කියන්නෙත් නෑ. ඒත් එයා කියනවා කේන්දර නොගැලපී මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ කියලා"

"ඒක යස කතාවක් නේ. එහෙම නම් කේන්දර බලලම යාලුවෙන්න අහන්න තිබ්බනේ. දැන් මේ අවුරුදු ගානක් ගිහින් මොන කේන්දරද?" අයුමි කිව්වේ ලොක්කයියා ගැන උපන් නොරිස්සුමකින්.

"අනේ මම දන්නේ නෑ අයුමි. මට හිතාගන්න බෑ අම්මට මම දැන් මොනා කියන්නද කියලා. මම කවදාවත් හිතුවේ නෑ භානුක මෙහෙම මට කරාවි කියලා" එහෙම කියද්දි ආයෙම තනූජාගේ ඇස් වලට කඳුලු ආවා.

"එයා ඉතිං නවත්තමු කිව්වේ නෑනේ නේද?" අයුමි ඇහුවෙ පොඩි හරි අවස්ථාවක් තාම තියෙනවා නේද කියලා හිතමින්.

"නෑ. ඒත් එයා කිව්වා, ඔයා කැමති තීරණයක් ගන්න කියලා.  ගෙදරින් අකමැති දෙයක් කරන්නේ කොහොමද, ගෙදර ලොකු පුතා හන්දා හිතුවක්කාර කමක් කරන්න එයාට බෑ, අම්මලට කවදාවක් අකීකරු වෙලා නෑ, ඔන්න ඔය වගේ විකාර ගොඩක් කිව්වා. ඒ කියන්නේ මේක නතර කරමු කියන එක නෙවෙයිද අයුමි. ඒවුණාට එයා ඒ වචනේ කියන්න කැමති නෑ. එයාට ඕන මේක මමයි නතර කලේ කියන එකත් හදාගෙන එයා වැරදිකාරයෙක් කියන සිතිවිල්ලෙන් නිදහස් වෙන්න" තනූජා කියාගෙන යද්දි අයුමිගේ හිතේ ලොක්කයියා ගැන තිබ්බ නොරිස්සුම වැඩි වුණා.

අයුමි දැනගෙන උන්නා, තනූජා අවංකවම ඔහුට ආදරේ කල බව. තත්ත්තත් නැතුව පොඩි කාලේ ඉඳන්ම දුක් විඳලා විඳලා ආදරයක් හොයාගත්තට පස්සෙත් ඒකෙන් විඳවන්න ඈට සිද්ධ වුණ එක මහා දුකක කියලා අයුමිට හිතුණා. තනූජා ගැන ඇගේ හිතේ තිබුණේ ලොකුම ලොකු දුකක්.

"එයාට එපා නම්, ඔයාටත් එපා කියලා හිත හදාගන්න බලන්න තනූ. මූදේ ඉන්නේ එක මාලුවද? ඔයා මෙහෙම දුක් වෙන්න ඕන කෙල්ලෙක් නෙවෙයි. මගේම අයියා කෙනෙක් වුණත් එයා මේ කරපු වැඩේ මට නම් අපුලයි"

අන්තිමේදි අයුමි එහෙම කියලා තනූජව සනසන්න උත්සාහ කලා. ඒත් හිත යටින් ඈ දැනගෙන උන්නා ඒක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි කියන එකත්. ඒත් කෙරෙන්නේ නැති දේකට දුක් වෙවී ඉන්නවට වඩා ඒක අතෑරලා ඒ දුක විඳගන්න පුරුදු වෙන එක හොඳයි කියන එකයි ඇගේ තර්කේ වුණේ. ඒ එක්කම එක මොහොතක ඈට හිතුණේ රවීන් තමන්ව දාලා ගියොත් මොනවගේ තත්වයක් උදාවේවිද කියලා. ඒ හැඟීම ඇගේ හුස්මත් හිර කලා වගේ ඈට දැණුනා. එහෙම වුණොත් නම් තමන් තනූජටත් වඩා අන්ත විදියට දුක් වෙයි, වැලපෙයි කියන එක නම් ඈ හොඳින්ම දැනගෙන උන්නා.  ඒ එක්කම දවස් දෙක තුනකට කලින් පූර්ණි ගැන මොකක්දෝ කතාවක් ඇදුන වෙලාවක රවීන් කියපු දේවල් වගයක් ඇගේ මතකෙට ආවේ ඉබේටම.

"දෙයක් පටන් ගද්දි අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ දේ අපට නැති වෙයි, එක්කෝ අපි ඒ දේ නැති කරගනීවි කියලා. ඒවා වෙද්දි අපි පරක්කු වැඩියි"

රවීන් එහෙම කිව්වම අයුමිට හිතුණා ඔහු තාමත් පූර්ණි ගැන දුක් වෙනවාවත්දෝ කියලා. ඒ හැඟීම ඇගේ හිතේ ඇතිකලේ ඉරිසියාවක්.

"වෙච්ච දේවල් ගැන ඔයා දුක් වෙනවා නම්, තාම වුණත් බැරිද රවීන් ඒ වැරදි හරි කරගන්න?" අයුමි ඇහුවේ උපේක්ෂාවෙන්, ඔහුගේ අදහසුත් දැනගන්න එක්කම.

"මම දුක් වෙන්නේ වෙච්ච වැරදි ගැන නෙවෙයි බබී. වැරදි කෙනෙක් තෝරගෙන, ජීවිතේ වරද්දගන්න වුණ එක ගැන. ඒකෙන් අර පොඩි උන් දෙන්නෙක්ටත් නිරපරාදේ වන්දි ගෙවන්න වුණා" රවීන් කිව්වේ කලකිරීමෙන් වගේ.

"ඒත්...මට හිතෙනවා ඔයා තාම පූර්ණිට ආදරෙයි කියලා" අයුමි ඇත්තම කිව්වා ඒ පාර.

රවීන් ඈ දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඊටපස්සේ ඔහු ආයෙම ඉවත බලගත්තා.

"පූර්ණි එක්ක මගේ තියෙන බැඳීම කඩන්න බෑ. මොනා වුණත් ඒ මගේ දරුවන්ගේ අම්මා හන්දා. ඒත්...ඒක එච්චරයි. මම හිතන්නේ නෑ ඉස්සර මම ආදරේ කරපු පූර්ණි තමයි මේ ඉන්නේ කියලා මට එයා දිහා ආයෙම බලන්න පුලුවන් කියලා. එයා අපිව දාලා, එයාගේ සතුට හොයාගෙන යන්න ගියාම බිඳුණු මගේ හිත ආයෙම තිබ්බ විදියට හදන්න බෑ. ඉස්සරෝම දවසක අතින් අල්ලගෙන, පාරවල් දිගේ ගියපු, පෙරුම් පුරාගෙන මැරි කරලා අපේ ගෙදරට එක්ක ආපු පූර්ණි නෙවෙයි අද ඉන්නේ. ඒ මගේ පූර්ණි නෙවෙයි. ඉතිං මම කොහොමද අනුන්ගේ කෙනෙක්ට ආදරේ කරන්නේ?" රවීන් කිව්වේ හැඟීම්බරව.

අයුමි රවීන් දිහා දුකෙන් වගේ බලාගෙන ඉද්දි, රවීන් ඈට යන්තම් හිනාවක් පෑවා.

"ඔයා ඒත් ඇයි එහෙම ඇහුවේ?" ඔහු ඇහුවා.

"නිකං"

"මගේ උත්තරේ ඔයිට වෙනස් එකක් වුණා නම්?"

රවීන් එහෙම ඇහුවේ ඇයි කියන්න අයුමිට තේරුණේ නෑ. ඒත් ඈ ලඟ තිබ්බේ එක උත්තරයයි.

"ඒකේ වෙනසක් මට දැනෙන එකක් නෑ. මොකද උත්තරේ මොක වුණත් මට වෙනස් වෙන්න බැරි නිසා" අයුමි කිව්වම රවීන් ඇගේ අත මිරිකාගත්තා මුකුත් නොකියම.

ටිකකින් ආයෙම කතා කලේ අයුමිමයි. ඒ ඇගේ හිතට වද දුන්න වෙන ප්‍රශ්ණයක් නිසා.

"මට බය හිතෙනවා රවීන්" ටිකකින් අයුමි එහෙම කිව්වා.

"මොකටද?"

"බැරි වෙලාවත්, කවදාහරි මොනා හරි හේතුවක් නිසා අපිටත් වෙන් වෙන්න වුණොත්?"

රවීන් ඔහුගේ උණුසුම් අතකින් අයුමිගේ කම්මුලක් අල්ලගෙන ඇගේ මූණට එබුණා.

"වෙච්ච නැති දේවල් ගැන හිතලා හිත නරක් කරගන්නේ ඇයි?"

"එහෙම නෙවෙයි, හිතන්න මොනා හරි වුණොත්? අපේ ගෙදරින් අකමැති වුණොත්?" අයුමි ඇහුවා.

ඇගේ දිහා මොහොතක් බලාගෙන උන්නු රවීන් හිස වැනුවේ අහක බලාගෙන.

"අපට අනාගතේදි වෙන දේවල් දැනම කියන්න බෑ වගේම, ඒවට කරන්නේ මොනාද කියලා දැන්මම හිතන්නත් බෑ බබී. ඒ හන්දා හොඳම දේ අද, මේ මොහොතේ ජීවත් වෙන එක. එතකොට දුකකුත් නෑ. හිතට කරදරේකුත් නෑ. අපි ඒක ඒ වෙලාවට බලමු”

අයුමි හිතුවා ඔහු කියන දේ ඇත්තක් තියෙනවා නේද කියලත්. ඒත් ඇගේ හිතට දැනුන අවිනිෂ්චිත බව හන්දා මුලුමනින්ම නැති වුණේ නෑ. ඒක රවීන්ට තේරෙන්න ඇති.

"දැන් ඉතිං ගැන තවත් හිතන්න එපා. ඔයාට තේරෙනවනේ බබී, අපිට අපේ ජීවිතේ වුණත් කොච්චර අවිනිෂ්චිතද? අපි දැන් මේ අපිට සතුටින් ඉන්න ලැබිලා තියෙන මොහොතේ දුක් වෙවී ඉඳලා හිතන්න හෙට මම මැරුණොත්? (එහෙම කියද්දි අයුමිට හීල්ලුණා)..නෑ මම මේ කතාවට කියන්නේ. එහෙම වුණොත් අපරාදේ නැද්ද අපි අද මේ සතුටින් ඉන්න තිබුණ කාලේ, වෙයිද නොවෙයිද කියලාවත් නොදන්න දෙයක් ගැන හිතන්න නාස්ති කරන එක? ම්ම්?" රවීන් ඇහුවම අයුමි හිස වැනුවා.

"මට ඔයා කියන එක තේරෙනවා රවීන්"

“Live the moment babee. Just live the moment... at this moment you are with me, I am with you and we are happy. That is all what matters..."

රවීන් කිව්වේ එහෙම. ඔහු කියන දේ ඇත්ත වග ඈට නොතේරුණා නෙවෙයි. ඒත් ඇගේ හිත කරදර වුණේ, අද තනූජටයි, ලොක්කයියාටයි ආපු ප්‍රශ්ණේ කවදකහරි ඊට වඩා ලොකු ස්වරූපයකින් ඈ වෙත එන වග ඈ දැනගෙන උන්නු නිසා. තනූජාව සැනසුවාට මොකද මේ සිතිවිලි හන්දා අයුමි උන්නෙත් කැලඹිලා. ඈ හිතුවා රවීන් ඊට වඩා වෙන උත්තරයක් දුන්නා නම් හොඳයි කියලා අඩුම තරමේ හිත හැදෙන්නවත්. 

-------------------------------------------------------------------------
නෙතු එක්ක කතා කරන්න පුලුවන් දැන් ඔයාලට මේ පේජ් එකට ආවොත්.  
http://www.nethunovel2.blogspot.com/p/blog-page.html 

3 comments:

  1. බොහොම කාලෙකින් බ්ලොග් පැත්තට ආවේ.එනිසා මුල් කොටස් මගහැරැණා

    ReplyDelete
  2. බොහොම කාලෙකින් බ්ලොග් පැත්තට ආවේ.එනිසා මුල් කොටස් මගහැරැණා

    ReplyDelete
  3. Lassanaia Nethu, thanks, ane ikmanata liyanna ko,

    ReplyDelete