Tuesday, August 25, 2015

විහංඟනාවී: තිස් නවවෙනි කොටස

"අනේ මහත්තයා අන්න අරහේ බේබි නැගිටලා කාමරේ දෙවනත් කරනවා මහත්තයයත් නෑ, මේ නෝනත් නෑ කියලා. ලොකු මහත්තයා කිව්වා පොඩ්ඩක් ඇවිත් බේබිට කියලා යන්න කියලා"
අයුමි ආයා දිහායි, රවීන් දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ මොනවත් හිතාගන්න බැරුව.
රවීන් නොරිස්සුමකින් වගේ හිස වනලා වාහනෙන් බැස්සම අයුමිත් ඔහු එක්කම බැස්සා. ඔහු ඒකට එපාවත් හාවත් නොකියා ගේ ඇතුලට ඉක්මණින් යන්න ගියා. අයුමිත් ඒ පස්සෙන්ම ඇදුනා. ගෙට යද්දිම ඈට ඇහුණා ශාරා අඬන සද්දේ.
"තාත්තා...ඔයා කියන්නැතුවම ගියා" ශාරා රවීන් දැක්කම තව ඇඬුවේ එහෙම කිය කිය.
අයුමිට ඒ දරුවා ගැන දැනුනේ ලොකු දුකක්.
"ඉතිං පැටියෝ තාත්තා වැඩට යන්න ඕන නේ අද" රවීන් ඈ ලඟ වාඩි වෙලා හිස ඉඹලා කිව්වා.
"මට බෑ මෙයාලා එක්ක ඉන්න" ශාරා ඇඬද්දි, ඇඬුමේ සැරට විටින් විට කහින්නත් වුණා.
"තාත්තා වැඩට ගිහින් ඉක්මණට ඒවි දෝණි" රවීන්ගේ තාත්තත් ඈව නලවන්න උත්සාහ කලා. "ඇත්තටම රවීන් අද නොයා ඉන්න බැරිද? මේ ළමයව යවලා වැඩේ කරන්න බැරිද අදත්?"
රවීන්ගේ තාත්තා ඇහුවේ අයුමිවත් පෙන්නමින්.
"එහෙම පුලුවන් නම් මම ඉන්නවනේ. මම ගිහින් පැය දෙකකින් එනවා " රවීන් කිව්වේ නොරිස්සුමින්මයි.
"තාත්තා යනවා නම් ආන්ටි ඉන්න..." ශාරා අන්තිමේදි අයුමි දිහා බලලා කිව්වම, එතන උන්නු හැමෝගෙම ඇස් යොමු වුණේ ඈ දිහාට.
ඈ රවීන් දිහා බැලුවේ බය වෙලා වගේ.
"ආන්ටි ගෙදර යන්න ඕනනේ පැට්ටෝ. එයාට නවතින්න බෑනෙ" රවීන් කිව්වා. "තාත්තා ගියා අනික් අතට ටක් ගාලා එනවා මගේ පැටියට චීස් කේක් අරන්. හොඳද?"
රවීන් කිව්වත් ශාරා ආයේම අඬන්න ගත්තා කැහැ කැහැම. අයුමිට ඒ පුංචි කෙල්ල ගැන දැනුනේ ලොකුම ලොකු දුකක්. අම්මත් නැතිව, තාත්තත් ලඟ නැතිව ඉන්න මේ තරම් පුංචි කාලෙදි කොහොම හිත හදාගන්නද කියලා ඈ හිතුවා.
"මම එහෙනම් ඉන්නද?" අයුමි එක පාරටම එහෙම ඇහුවේ රවීනුයි, ශාරයි දෙන්නම අපහසුතාවයෙන් මුදාගන්න ඕන නිසා. ඒ පාර ආයෙම හැමෝම ඈ දිහා බැලුවා.
"මම කිව්වේ ඔයා ඉක්මණට එනවා නම් මට තව පැයක් දෙකක් ඉන්න පුලුවන්" අයුමි කිව්වේ රවීන්ට.
ඔන්න ඒ පාර ශාරාගේ හැඬුම තුනී වෙන්න ගත්තා.
"ලෙඩ වෙලා ඉන්න ළමයව අඬවන්න හොඳ නෑනෙ ඔච්චර. අනික අපිට තියෙන වැඩ ගැන එයාට තේරුමක් නෑනෙ" අයුමි කිව්වා.
"ඒත් ඉතිං ඔයා නිවාඩුත් දාලා අද..."
"ඒකට කමක් නෑ. තව පැය දෙකක් ඉන්න මට පුලුවන්"
"අනේ මම දන්නේ නෑ අයුමි..."
අන්තිමේදි රවීන් ඒකට කැමති වුණේ වෙන කරන්න දෙයක් නැති හන්දා. අයුමි එහෙම කරන්න හිතුවෙත් වෙන කරන්න දෙයක් නැති හන්දා.
"මම පැය දෙකකින් එනවා" රවීන් යන්න ගියේ ඈට සහතික වෙලා.
"මේ ළමයිනුත් රවීන්ට දෙවනි නෑ" රවීන්ගේ තාත්තා ආයා එක්ක එහෙම කිව්වේ රවීන් කලින් ඔහුගේ නොරිස්සුම පල කරපු හන්දා වෙන්න ඕන.
"මිස්ට සේනානයක යන්න මම ශාරා එක්ක ඉන්නම්" අයුමි කිව්වේ රවීන්ගේ තාත්තා දිහා යන්තමින් බලලා. උදේ ඉඳන්ම ඉස්පිරිතාලේ ඉඳලා ඔහුටත් මහන්සි ඇති කියලා අයුමිට හිතුණ හන්දා ඒ.
"ඔය ළමයා එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ"
රවීන්ගේ තාත්තා ඈ දිහා බලලා, හිනාවක් වත් නැතිව එහෙම කියලා කාමරෙන් එලියට යන්න ගියේ ආයත් පස්සෙන් ඇදෙද්දි.
"දැන් ඉතිං නාඬ ඉන්න" හැමෝම කාමරෙන් යන්න යද්දි ශාරා ලඟට වුණ අයුමි කිව්වා. ඇගේ ලස්සන කම්මුල් කඳුලු වලින් තෙමිලා තියෙනවා දැක්කම අයුමිට මතක් වුණේ මල්ලි පුංචි කාලේ අඬන හැටි. ඒ එක්කම ශාරා ගැන ලොකු සෙනෙහසක් අයුමිගේ හිතේ පිරුණා.
"මට නින්ද ගියොත් යන්න එපා" ශාරා අයුමිව පොරොන්දු කරගෙන ආයෙම අයුමිගේ උකුලේ හිස තියාගෙන ලැප් ටොප් එකේ දාලා තිබුණ කාටූන් එක බලන්න පටන් ගත්තා.
අයුමි ඒ අතරේ තනූජට මැසේජ් එකක් ගැහුවා තමන් එන්න පක්රකු වෙන වග කියලා.
"ඔන්න බලන්න දැන් Puss in Boots බෝලයක් වගේ වෙලා"
බලමින් උන්නු animation film එකේ කොටස ගැන අයුමිට ශාරා විස්තර කරමින් ඉද්දි, යන්තම් දොර රෙද්ද මෑත් කරලා කාමරේට එබුණේ ශමිත්. අයුමි ඔහුව දැකලා හිනාවෙන්න උත්සාහ කලත් ඔහු ඈ දිහාවත් නොබලා හිනා නොවීම කාමරේට ආවා.
"ඔයාට සනීප නැද්ද?" ශමිත් ශාරාගෙන් ඇහුවේ මුදු හඬින්.
"ම්ම්...උණ" ශාරා කිව්වේ පණ්ඩිතයෙක් වගේ.
"තාත්තා කෝ" ඊලඟට ශමිත් ඇහුවේ අයුමි දිහාත් හොරෙන් බලමින්.
"ඔෆිස් ගියා" ශාරා අතක් වනලා කිව්වා.
“Then what are you doing here?’ශමිත් හිටි ගමන් අයුමිගෙන් ඇහුවම ඈ ටිකක් විතර පුදුම වුණත් ඒ වග නොපෙන්නා ඈ කතා කලා.
“I am looking after your sister” අයුමි කිව්වේ පුලුවන් තරම් සුහද හඬින්.
“I did not know you were hired also as a nurse” ශමිත් කිව්වේ නපුරු විදියට.
 අයුමිගේ හිත ඒ හන්දා ටිකක් රිදුනා. ඒත් පුංචි ළමයෙක් එ ක්ක තරහා ගන්න ඈට පුලුවන්කමක් තිබ්බේ නෑ.
“I was not”  අයුමි ඒ වචන දෙක කිව්වෙත් පුලුවන් තරම් සුහද විදියට.   ඒ පාර සුසුමක් හෙලපු ශමිත් යන්න ගියේ ශාරාටවත් නොකියම. අයුමිට දැණුනා ඔහු උන්නේ හිත් වේදනාවකින් බව.
ඒත් ඈට හිතාගන්න බැරි වුණා මොකක්ද කරන්න ඕන කියලා. ඈ දැනගෙන හිටියා ශාරාට නොතේරුණාට රවීන් කරන දේවල් ගැන ශමිත්ට තේරෙන වග. ඒ එක්කම ඈට තමන් ගැනත් පොඩි වරදකාරී හැඟීමක් දැනෙන්න ගත්තා. ඒත් හිතේ තව පැත්තක් තර්ක කලේ ඒක කොහොමවත්ම අයුමිගේ වරද වෙන්න බෑ නේද කියලා. අයුමි රවීන්ට, ශාරාට ඒ එක්කම ශමිත්ටත් තමන්ගේ හිතේ ඉඩක් දුන්න එක වරදක් වෙන්නේ කොහොමද කියලා ඇගේ හිත ප්‍රශ්ණ කලා අනික් අතට. කෙනෙක්ට ආදරය, කරුණාව දක්වන එක වරදක් වෙන්නේ කොහොමද?
"මට වතුර ඕන" අයුමිගේ කල්පනා දැහැන බින්දේ ශාරා.
අයුමි වටපිට බැලුවා වතුර බෝතලයක්වත් තියේද බලන්න. ඒත් පේන්න නම් තිබුණේ නෑ. ඒ පාර අයුමි ශාරාව එහෙමම තියලා පහල තට්ටුවට බැස්සේ වතුර එකක් අරන් එන්න. ඒ වෙද්දිත් ආයාම්මා උන්නේ කුස්සියේ.
"ඇයි?" අයුමි යද්දි පෑන්ට්‍රි එක පිහිදාමින් උන්නු ආයා ඇහුවේ කිසිම ගරු සරුවක් නැතිව වගේ.
අයුමිට ඒ පාර දැනුනේ මොකක්දෝ පුංචි අපහසුතාවයක් වගේ හැඟීමක්.
"වතුර එකක් දෙන්න පුලුවන්ද ශාරාට?" අයුමි ඒත් සුහද වෙන්න උත්සාහ කරමින් ඇහුවා.
ඒ පාර ආයා පිහදාමින් උන්නු රෙද්ද පැත්තකට වීසි කරලා වගේ දාලා අයුමි අතට පැත්තක තියලා තිබ්බ රෝසපාට උස වතුර බෝතලයක් දුන්නා.
"තෑන්ක් යූ" අයුමි එන්න ආවේ එහෙම කියාගෙන.
අයුමිට තේරුණා ආයා තමන්ට කැමති නෑ කියලා. ඒත් ඈට ඒකට දොස් කියන්න අයුමිට පුලුවන් කමක් තිබ්බේ නෑ මොකද මේ සේරම ඉස්සර රවීන්කරපු ඔබින්නේ නැති වැඩ හන්දා නේද කියලා අකමැත්තෙන් වුණ ඇගේ හිත ඈට මතක් කරලා දුන්නා. කොහොම වුණත් රවීන් එනකල් තනියෙම මේ ගෙයි ඇතුලේ, තමන්ට අකමැති මිනිස්සුත් එක්ක ඉන්න එක ඈට දැනුනේ මානසික වදයක් විදියට.
කම්පියුටරේ දිහා බලාගෙන ඉඳලා එපා වුණාම ශාරා එක්ක අයුමි අතුරු මිතුරු, පාටක් හොයන්න වගේ පුංචි පුංචි සෙල්ලම් කලේ ඈව මොනා හරි කරලා රවීන් එනකල් ෂේප් කරගන්න ඕන නිසා. පෙනුන විදියට ශාරා කවදාවත් ඒ සෙල්ලම් කරලා තිබුණේ නෑ. ඒ හන්දමදෝ ඈ ඒවට ආස වුණා. ඊට පස්සේ ඒක එපා වුණාම ශාරාට ඕන වුණේ snakes and ladders කරන්න. ඔහොම විවිධ දේවල් කරමින් ඉන්න අතරේ කාමරේ දොරට තට්ටු කරලා ඇතුලට එබුණේ රවීන්ගේ තාත්තා. අයුමි ඉක්මණින් ඇඳෙන් නැගිට්ටේ ඔහුට තිබ්බ ගෞරවේ නිසා.
"වාඩි වෙන්න වාඩි වෙන්න. කොහොමද දැන් අපේ දඟ මල්ලට?" ඇඳ උඩ ඉඳගෙන දාදු කැටේ සොලවමින් උන්නු ශාරා දිහා බලලා රවීන්ගේ තාත්තා ඇහුවා. අයුමිත් ඈ දිහා බැලුවේ හිනාවක් එක්ක.
"සීයේ අපි අතුරු මිතුරු කලා" ශාරා කිව්වේ කෑ ගහලා වගේ.
"ආ...ඔයා ඒක ඉගෙන ගත්තද?"
ඈ අසලට ගියපු රවීන්ගේ තාත්තා ශාරාගේ නලලට අත තියලා උණ බලලා අයුමි දිහා ආයෙම බැලුවා.
"උණ නම් නෑ. අන්තිමට පැනඩෝල් දුන්නේ කීයටද?"
"ම්ම්...එකොලහට විතර"
"ඒ කියන්නේ ආයේම දෙන්න ඕන...ම්ම්...හතරයි..ආ...පහට නේද?" ඔහු ඇහුවම අයුමි හිස වැනුවා.
ඒ අතරේ ශාරා උන්නේ තනියෙම දාදු කැටේ උඩ දාමින් බෝඩ් එකේ ඉත්තෝ එහාට මෙහාට කරමින්.
"මොකක්ද ඔය ළමයගේ නම කිව්වේ?" රවීන්ගේ තාත්තා ඇහුඒ මේසේ අසල පුටුවට බරවෙන ගමන්.
"මගේ නම අයුමි"
"ආ...වාඩි වෙන්නකෝ ළමයෝ. එතකොට ගම?"
"අවිස්සාවේල්ල" අයුමි කිව්වේ ඇඳේ පැත්තකින් වාඩිවෙන ගමන්.
"අවිස්සාවේල්ලේ කොහෙද?"
"මේ...ටවුන් එක ලඟමයි, හොනිටන් කියන්නේ"
"ආ..." ඔහු හිස වැනුවේ හොනිටන් නොදැන වග අයුමිට තේරුණා.
ඉන්පස්සේ ඔහු අයුමිගේ පවුල ගැනයි, ඉස්කෝලේ ගැනයි, ජොබ් එකට ආ  හැටි ගැනයි තොරතුරු විමසුවා.
පෙනුමින් අවුරුදු හැටක් විතර වෙච්ච රවීන්ගේ තාත්තා ගේ හිසකෙස් සුදු කලු වෙලා තිබුණේ සම සමව වගේ. හිස මුදුනට වෙන්න ඔහුගේ හිසකෙස් තුනී වෙලා යාන්තම් තට්ටේ පෑදීගෙන එන ගතියකුත් අයුමිට පෙනුනා. 'පොන්ටිං කට්' කියලා අයුමිලා දැනගෙන උන්නු මෝස්තරේ රැවුලක් තිබ්බ ඔහු ඕන නම් රවීන්ට වඩා අඟලක් දෙකක් මිටි වෙන්න ඇති. ඒ රැවුලත් තිබුණේ කොණ්ඩේ වගේම මෝස්තරේකට සුදු වෙලා, තැනින් තැන කලු එක්ක. ඒත් ඒ මූණේ හොඳම ලක්ෂණය වුණේ ඔහුගේ ඇස් දෙකයි, හිනාවයි. ඔහුට කොහොමත් තිබුණේ හිනාවෙන ඇස් දෙකක් කියලා අයුමිට හිතුණේ, ඒ මූණේ නිතරම හිනාවක් තිබ්බ නිසාද මන්දා. කොහොම වුණත් අයුමිට තව කල් යද්දි තේරුණා රවීන් වගේ නෙවෙයි ඔහුගේ තාත්තා බොහොම සරල, විනෝදෙට බර, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරපු කෙනෙක් වග.
"එතකොට මේ ඔය ළමයගේ පලවෙනි රස්සාවද?" ඊලඟට ඔහුගේ ප්‍රශ්ණේ වුණේ ඒක.
"නෑ දෙවනි එක. ඒ කියන්නේ මුල්ම එක internship එකක්"
"ආ...ඒ කියන්නේ තාම වයස විසි පහට වැඩි වෙන්න බෑ"
"විසි හතරයි" අයුමි කිව්වම රවීන්ගේ තාත්තා ඈ දිහා මොහොතක් බලාගෙන උන්නේ පුදුම වෙලා වගේ.
ඒ අතරේ ශාරා දාදු කැටේ ඇඳ අස්සට වට්ටපු හන්දා අයුමිට ඒක හොයන්න වුණා ඈ එක්ක. ඒක හොයාගෙන බලද්දි රවීන්ගේ තාත්ත උන්නේ ජනේලෙන් එලිය බලාගෙන කල්පනාවක.  ඒ අතරේ ආයාත් කාමරේට ආවා කේක්, තේ, සැන්විචස් එක්ක ශාරට කිරිත් අරගෙනම.
"මම හිතුවා ලොකු මහත්තයා නිදි කියලා. තේ එකක් හැදුවෙත් නෑ" ආයා කියනවා අයුමිට ඇහුණා රවීන්ගේ තාත්තට.
"මම පහලට එනවා, තේ එකක් හදන්නකෝ ආයා" රවීන්ගේ තාත්තා එහෙම කියලා උන්නු තැනින් නැගිට්ටමයි ආයේ අයුමි ඔහු දිහා බැලුවේ.
"තේ බොන්න අයුමි. බලන්නකෝ ඒ ගමන්ම අපේ දූ පොඩ්ඩටත් මොනා හරි කවාගන්න පුලුවන්ද කියලා"
රවීන්ගේ තාත්තා එලියට යන්න කලින් කිව්වේ එහෙම. අයුමි හිනාවෙලා හිස වැනුවා.
එවෙලේ ශාරා උන්නේ අයුමිගේ බෙල්ලේ එල්ලෙමින්. අයුමිට දැනුනා ඇගේ වත රත්වීගෙන එන වග.
"bathroom එකේ උණුවතුර තියේද ආයම්මේ?" අයුමි ඇහුවේ කාමරෙන් ඔන්න මෙන්න යන්න ගියපු ආයාගෙන්.
ආයා ඈ දිහා බැලුවේ ඒක මොන විකාර ප්‍රශ්ණයක්ද කියලා වගේ.
"ඔව්..හැම නාන කාමරේකම තියෙනනවා" ඈ කිව්වේ අදලා වගේ.
"හා...ශාරාගේ ඇඟ ආයෙම රස්නෙයි. ටිකක් හෝදලා ගත්තොත් උණ බහීවි" අයුමි කිව්වා.
"උණ තියෙද්දි හෝදන්න?"
"ඔව්. නැත්තම් උණ වැඩි වෙලා සමහර ළමයින්ට වලිප්පුවට එන්න පුලුවන්" ඇයුමි කිව්වා.
ඈ දිහා නොපහන් විදියට බැලුවා වුණත්, ආයා ඈට ශාරාව සෝදලා ගන්න සහාය වුණා ආයෙම ප්‍රශ්ණ නාහා. ශාරාව නාවලා, ලස්සනට කොණ්ඩේ පීරලා, සැහැල්ලු ඇඳුමක් හෙම අන්දවලා හැඩ බලද්දි අයුමිට දැනුනේ ශාරා තමගේම දරුවෙක් වගේ නේද කියලා මොකක්දෝ ලෙන්ගතු, හිත පතුලෙන්ම ආපු හැඟීමක්.
"හා..දැන් නම් හරි ලස්සනයි" ශාරා ඇඳේ විට්ටමට කොට්ටයක් තියලා හේත්තු කරලා ඈ කිව්වා.
පැත්තකට වෙලා බලාගෙන උන්නු ආයාගේ මූණෙත් ඒ වෙද්දි තිබ්බේ මුදුබවක් එක්ක පුංචි හිනාවක්.ඈ අයුමි දිහාත් ඒ බැල්මෙන්ම බලලා, හිස් කෝප්ප, පිඟන් හෙම අරගෙන කාමරෙන් යන්න ගියා.
කොහොමින් හරි රවීන් එද්දි ශාරා හවස බේත් වේලත් බීලා නිදන්න ඔන්න මෙන්න උන්නේ. රවීන්ගේ මේසේ උඩින් interior decoration මැගසින් එකක් අරන් බලමින් උන්නු අයුමි එක පාරටම ගැස්සුනේ රවීන් කඩාගෙන බිඳගෙන කාමරේට ආපු හන්දා. දොරෙන් ඇතුලු වුණ ගමන්ම ඔහුගේ වේගය බලා වුණේ ඇඳ මත නින්ද යමින් උන්නු ශාරාවයි, ඒ අසලින්ම ඉඳගෙන උන්නු අයුමිවයි දැකලා. අයුමි ඇඳෙන් නැගිට්ටේ ඉබේටම වගේ.
"සොරි අයුමි...ටිකක් වෙලා ගියා. දෝණිට මොකද දැන්. බේත් දුන්නද? මොනා හරි කෑවා බිව්වද?"
රවීන් ශාරා අසලට එමින් ඇහුවා.
"ඔක්කොම හරි, ඇඟත් හෝදලා ඉන්නේ" ශාරාගේ හිස අතගාමින් උන්නු රවීන්ට අයුමි කිව්වා.
"ඔයාට කරදර කලාද?" රවීන් ඇහුවේ අයුමි දිහා හැඟීම්බරව වගේ බලලා.
"අනේ නෑ. පූසෙක් වගේ ඇඟේම දැවටි දැවටි හිටියා" අයුමි කිව්වේ හිනාවෙලා.
රවීන් නින්ද ගිහින් උන්නු ශාරාව පහසු ඉරියව්වක තියලා, අයුමි ලඟට ඇවිත් හිටගෙන ආයෙම ශාරා දිහා බැලුවා.
"දැන් නම් ටිකක් මූණත් හොඳ වෙලා"
එහෙම කියලා ඊලඟට ඔහු ඈ දිහාට හැරුණා මුලුමනින්ම.
"මම දන්නෑ අද කරපු දේට මම ඔයාට කොහොම තෑන්ක් කරන්නද කියලා බබී"
ඔහුගේ හඬ තිබ්බේ හැඟීම්බර වෙලා.
"තෑන්ක් කරන්නේ මොකටද? මම ඒක කලේ ශාරා හන්දා. ඔයා හන්දා. ඕන නම් සතියක් වුණත් මට ශාරාව බලාගන්න පුලුවන්"
අයුමි ශාරා දිහා බලලා එහෙම කියද්දි රවීන් හෙමින් ඈගේ බඳ වටේට අතක් දාලා ඔහු අසලට ලං කරගත්තා. අයුමිගේ ඇඟේ හීගඩු පිපෙනවා ඈට දැනුනා.
"තාත්තාවත් එයි රවීන්" අයුමි කිව්වේ රහසින් වගේ, ඔහුගේ පපුතුරෙ දෝතම තියලා හෙමින් ඈත් වෙන්න උත්සාහ කරන ගමන්.
ඒත් රවීන් ඈව එහෙමම අල්ලගෙන ඒ නෙතු දිහා බලාගෙන උන්නේ ඒ කිසි දෙයක්  නෑහුණා වගේ.
"ඇයි?" අයුමි ඇහුවේ බැරිම තැන.
"මගේ රෝසමල..." ඔහු මිමිණුවා.
අයුමි බිමට නෙත් යොමාගත්තේ ඔහුගේ දැස්වල හැඟීම් දරාගන්න බැරිව වගේ. ඔහු ඇගේ දෝතම අරන් හෙමින් සිපගත්තම අයුමි හෙමින්ම දෝත ඇදලා ගත්තේ කවුරු හරි ඒවි කියන බය හිත තුල හොල්මන් කරපු නිසා. ඔහුගේ දෑත් ඒ පාර ආයෙම ඇගේ බඳවටා එතුණා.අයුමි ඇස් උස්සලා ඔහු දිහා බැලුවා. රවීන්ගේ ඇස් තිබුණෙත් හැඟීම්බර වෙලා. අයුමිගේ බැල්ම හෙමින් ඔහුගේ නහය, දෙතොල් අසලින් දැවටිලා ගිහින් ආයෙම නැවතුණේ ඒ ඇස් ලඟ.ඔහු එක අතක් අරන් ඇගේ කම්මුලක් මත තියලා තව අඟලක් දෙකක් ඈට ලං වුණා. අයුමිගේ හුස්ම තිබ්බේ වේගවත් වෙමින්.
"මම ඔයාට ආදරෙයි..."
ඒ වචන පෙල අයුමිට ඇහුණේ හීනෙකින් වගේ. ඔවුන් හම්බවෙලා ගෙවුණා මුලු කාලෙටම කවදාවත් රවීන් ඈට ආදරෙයි කියලා කටින් කියලා තිබුණේ නෑ. ඒ හන්දමයි අයුමි පුදුම වුණෙත්.
“I love you very much, more than I can ever say”
රවීන් කිව්වේ ගොඩාක්ම හැඟීම්බරව. අයුමි ඔහු දිහා බලාගෙන ඉද්දිම ඇස් බොඳ වුණා, ඇගේ හිතට දැනුන හැඟීම්වල දැඩිකමට. අනවසරෙන්ම රවීන් පාත් වෙලා ඇගේ තොල්පෙති සිපගත්තේ දැඩිව. අයුමිගේ දෑස් පියවුණේ ඉබේටම. ඊටපස්සේ ගෙවුණ කාල‍ය කොච්චරද කියලා අයුමිත නිනව්වක් තිබුණේ නෑ.
ඒත් ඈ ඇස් අරිද්දි රවීන් උන්නේ ඇව වැලඳගෙන, ගෙලේ පැත්තක මූණ හේත්තුකරගෙන. අයුමි හෙමින් ඔහුගෙන මිදෙන්න උත්සාහ කලාම, ඔහු ආයෙම වරක් ඇගේ ගෙල ඉඹලා ඈට ඈත් වෙන්න ඉඩ දුන්නා ඒත් අතින් අල්ලගෙනම.
"අපි පහලට යමු...මම යන්නත් ඕනනේ" අයුමි කිව්වා.
ඔහුගේ උණුසුමින් මිදුන නිසාදෝ කාමරේ ෆෑන් එකේ සුලඟත් ඈට දැනුනේ සීතලකින් වගේ.
"මම ඔයාව ගිහින් දාන්නම්" රවීන් කිව්වා.
"ඕන නෑ මම බස් එකේ යන්නම්. ශාරා නැගිටලා ඔයාව හෙව්වොත්?"
"එයා දැන් ඔහොමම නිදාගනීවි ටික වෙලාවක්. මම ඔයාව ටක් ගාලා දාලා එන්නම්"
"මට බස් එකේ යන්න පුලුවන් අනේ"
"ඒ වුණාට මට ඔයාව එහෙම යවන්න ඕන නෑ" රවීන් කිව්වේ මුරණ්ඩු හඬකින්.
අයුමි ඔහු එක්ක වාද කරන්න ගියේ නෑ. ඒ පාර දෙන්නම පහලට බැහැලා ආවේ බෝඩිමට යන්න. අයුමි වෙලාව බලද්දි පහත් පහුවෙලයි තිබුණේ. දවස ගෙවුණ විදිහ ගැන කල්පනා කරද්දි ඈටම දැනුනේ පුදුමයක්. රවීන්ගේ තාත්තටයි, ආයම්මටයි කියලා අයුමි රවීන්ගේ වාහනේට ගොඩ වුණේ ඔෆිස් ගිහිලා එනවටත් වඩා තෙහෙට්ටුවක් දැනෙද්දි.
"මදෑ..නිවාඩුවක් ගත්තා නේද?" රවීන් ඇහුවා එන ගමනෙදි.
"ඒකට කමක් නෑ. නිවාඩුව හොඳටම ප්‍රයෝජනේට ගත්තා මම" අයුමි කිව්වේ ඇත්තටම.
"ඔයාට කොහොම තෑන්ක් කරන්නද මම දන්නේ නෑ බබී..."
"ඔය ඉතිං! ආයෙම ඔය කතාව කියන්න එපා"
ඒ පාර රවීන් ගියර් එකෙන් අත අරගෙන ඇගේ සුරත අල්ලගත්තා. අයුමි ඔහු දිහා බැලුවා.
"මට ආදරේද කිව්වේ නෑනෙ" රවීන් කිව්වේ ඈ දිහා යන්තමින් බලලා. අයුමි හිනාවුණා.
"කියන්නම ඕනද? මම හිතුවේ ඒක දැනෙනවා ඇති කියලා"
"දැනෙනවා...ගොඩාක් දැනෙනවා..."
"එහෙනං?"
"ඒත් අහන්නත් ඕන"
රවීන් කිව්වම අයුමි හිනාවුණා ආයෙම. ඒත් මුකුත්ම කිව්වේ නෑ.
"හොර ගෙඩියා" රවීන් එහෙම කියලා හිනාවුණා.
ටික දුරක් අයුමි උන්නේ නිහඬව, වුණ දෙවල් ගැන හිතමින්. රවීනුත් එහෙමයි.
"you know…you are a fast learner” මුලින්ම ආයෙ කතාව පටන් ගත්තේ රවීන්.
"මොකක්ද?"
"I said you are a fast learner”
“of what?”
අයුමි ඇහුවම රවීන්ට අමුතුම හිනාවක් ගියා. අයුමි ඔහු දිහා බලාගෙන උන්නා උත්තරයක් බලාපොරොත්තුවෙන්.
“you kissed me back today”
රවීන් කිව්වම අයුමිගේ දෙකන් රත් වුණා.ඈ අහක බලාගත්තේ ක්ෂණයකින්.
“It was…wonderful…you are wonderful”
රවීන් මුදු හඬින් කියද්දි අයුමි උන්නේ බෙල්ල හොඳටම හරවලා ඔහුගෙන් ඉවත බලාගෙන. රවීන් ඇගේ අත මිරිකුවා. ඈට දැනෙමින් තිබුණේ  ඇගේ කම්මුල් කන් පෙති, හදවත, දෙපතුල් මේ සේරම මොකක්දෝ නුහුරු ගින්නකින් උණුසුම් වෙනවා වගේ හැඟීමක්.
"I am so glad you are mine…” 
ඔහු කියද්දි ඈ අහගෙන උන්නේ ආශාවෙන්. ඔහු ගැන උපන්න ලොකු සෙනෙහසකින්.
බෝඩිම ලඟ පාරට එනකල්ම ඈ ඔහු එක්ක ආයෙම කතා නොකලත්, දෙන්නගෙම දෑත් උණුසුම්ව, ආදරෙන් වෙලිලා තිබුණා. අයුමි බෝඩිමට හැරෙන පාර ලඟින් බැස්සේ රවීන් එක්ක බෝඩිමට යන එක හරි නැති හන්දා. බහින්න කලින් රවීන් ඇගේ අත ඉඹලා ඈට සමු දුන්නා.
"හෙට එනවනේ...?" රවීන් ඉන්පස්සේ ඇහුවා.
"ඔව්"
"ලබන මාසේ අන්තිම weekend එකේ මම පොඩි ගමනක් ප්ලෑන් කරලා තියෙන්නේ. පොඩි දෙන්නත් එක්ක. ඔයත් එන්න ඕන"
"කොහෙද?" අයුමි ඇහුවා.
"විස්තර එක්ක ගිහින්ම කියන්නම්. ඒ weekend  එකේ ගෙදර නොයා ඉන්න බලන්න පුලුවන්නම්"

රවීන් කිව්වේ එච්චරයි. අයුමි ආයෙම අහන්න නොගියේ වෙලායන හන්දත්, රවීන් නොකියාවි කියලා ඈ දැනගෙන උන්නු හන්දත්. ඈ එන්න ආවේ රවීන් ගැන, ශාරා ගැන, ශමිත් ගැන, මේ සේරම ගැන සෙනෙහස් සිතිවිලි ගොඩක් හිතේ පුරෝගෙන. අම්මලා දන්නවා නම් මොනා කියාවිද කියලා ඈට එවෙලේ හිතුණෙ නෑ. ඒත් ඈ හිතුවා ඇගේ ඉරණමේ ලියවිලා තියෙන්නේ මේක වෙන්න ඇති කියලා.

2 comments:

  1. මේ කොටස දාන්න සෑහෙන කාලයක් ගන්න වුණාට සමාවෙන්න ඕන. ගෙදර ඉන්ටර්නෙට් අවුලක් වුණ හන්දයි එහෙම වුණේ. ඔෆිස් එකට දෙතුන් පාරක්ම ෆයිල් එක ගෙනිච්චත් මොකක්දෝ අවුලක් ඒකෙත් වෙලා ඒක ඕපන් කරන්න බැරි වුණා.ඉතිං ඔය වගේ බාධාවන් හන්දයි පරක්කු වුණේ. දැන් තරහා මරහා අමතක කරලා බලන්න හොඳේ. :)

    ReplyDelete
  2. ලස්සනයි .. ඉතින් පරක්කු වුනාට තරහ වෙන්නේ කොහොමද ?

    ReplyDelete