Wednesday, June 6, 2012

පනස් තුන්වන කොටස


ආර්යන් ඇවිදගෙන ගිහින් නතර වුණේ ගෙදර කෙලවරේම තිබුණ පුස්තකාල කාමරේ. ඒ යන අතරමගත් සේවක සේවිකාවෝ කීපදෙනෙක් තම තමන්ගේ අතුගාන අස්පස් කරන වැඩ වල නිරත වෙලා හිටියා.
"මුලින්ම, ඔයාට මේ වගේ ආයෙම කරදර කරන්න වුණ එක ගැන මට සමාවෙන්න ආන්යා"
ආර්යන් පුස්තකාල කාමරේ දොර අඩවන් කරලා ඇතුලේ උන්නු ආන්යට මූණපාලා හිටගත්තා.
"ප්ලීස් වාඩි වෙන්න" ඔහු කිව්වේ ජනේලය අසල තියලා තිබුණ පුටුවක් පෙන්නලා. ආන්යා එතන ඉඳගත්තාම, ඊට කෙලින්ම ඉස්සරහින් තිබුණ පුටුවේ ආර්යන් ඉඳගත්තා.
ආන්යට දැනෙමින් තිබුණේ බලවත් අපහසුතාවයක්.  ඒක මේකයි කියලා පැහැදිලි කරන්න ඈට තේරුනේ ණෑ.
"මම දන්නවා ආන්යා මම මෙහෙම කරන එක වැරදියි කියලා...ඒත් මට වෙන කරන්න දෙයක් නෑ..."
ආන්යා ඔහු දිහා නොබලා බිම බලාගෙන උන්නේ නොසන්සුන්ව.
"ඔයා දන්නවනේ අනිද්දයින් පස්සේ මොකද වෙන්නේ කියලා. අන්ද්දට ඔෆිෂියලිම මගේ මැරේජ් එක තීන්දු වෙනවා. ඊට කලින් මේ සේරම ඔයාට කියලා හිත නිදහස් කරගෙන ඒ දවසට මූණ දෙන්නයි මට ඕන ආන්යා..."
ආන්යා අහගෙන උන්නා විතරයි.
"සමහරවිට තාමත් ඔයා මාව දකිද්දි අහක බලාගන්නෙ, මාව මගාරින්න හදන්නේ මම ඔයා ගැන ආයෙම වැරදි දෙයක් හිතයි කියලා වෙන්න ඇති. එහෙමත් නැත්තම් ඔයාගෙම හිත හදා ගන්න වෙන්න ඇති. ඒ කොහොම වුණත් අපට හැමදාම එහෙම ජීවත් වෙන්න බෑ, මේ වහල යට. ඔයා මගේ නෑනා වෙලා ආවාම දවසක අපට හිතේ කහටක් නැතිව කතා කරන්න පුලුවන් වෙන්න ඕන" ආර්යන් කිව්වා.
ආන්යා යටැසින් ඔහු දිහා බලලා සුසුමක් හෙලුවේ තමන් තුල ගොඩ නැගෙමින් තිබුණ නොසන්සුන්කම නිසයි.
"එද අර පීල්ල ලඟදි අපි මුණ නොගැහුනා නම්, ඔයාව දවසින් දවස දැක දැක, ඔයාගේ ගතිගුණ දැක දැක නො උන්නා නම්, සමහරවිට මේක වෙන එකක් නෑ. ඒත් ආන්යා ඔයා කවදාවත් මේ වුණ දේවල් වල වැරැද්ද ඔයාගේ කියලා හිතන්න එපා. ශර්මිලා මට තීන්දු කල වග දැන දැන ඔයාට ලං වෙන්න හදපු මමයි ලොකුම වැරදිකාරයා. සමහරවිට මම ඔයාගෙත් හිත වෙනස් වෙන විදියට හැසිරෙන්න ඇති. එහෙම කලේ ඇයි කියලා ආයෙම ආයෙම මම ඔයාට කියන්න ඕන නෑනෙ...ඔයා දන්නවා ඒ ඇයි කියලා..." ආර්යන් මොහොතකට කතාව නැවැත්තුවා.
"ඔයා මොනාද මේ කියන්න හදන්නේ?" බරිම තැන ආන්යා ඇහුවා.
ආර්යන් ආන්යා දිහා බැලුවේ වේදනාව පිරුන ඇස් වලින්. ආන්යා ආයෙම බිම බලාගත්තා.
"අහගෙන ඉන්න ආන්යා...ප්ලීස් මට කතා කරන්න දෙන්න. අදින් පස්සේ අපට ආයේ මෙහෙම කතා කරන්න බෑ..." ආර්යන් කිව්වේ නැවතිල්ලේ. ආන්යට දැනුනේ දුකක්.
"අපි ගොඩක් කතා නොකලට, මුණ නොගැහුනාට, හැම මොහොතකම මං ඔයා ගැන හිතුවා ආන්යා...සමහරවිට අද වෙනකලුත්. මීට කලින් කවදාවත්, කිසිම කෙනෙක්ට ලං නොවුණ මගේ හිත, ආයෙම කවදාවත් එහෙම ලං වෙන එකකුත් නෑ. ඒත් මම හිත හදාගන්නවා. අයි ප්‍රොමිස් යූ දැට්. ඔයා අභීගේ...මම ඒක දන්නවා..."එහෙම කියපු ආර්යන් මොහොතක් නිහඬව අතකින් නලල පිරිමදිමින් උන්නා.
"ඇත්තටම කිව්වොත් මම හීනෙකින් වත් හිතුවේ නෑ අභී ඔයාට ආදරේ ඇති කියලා. නිකංවත් එයා මට එහෙම දෙයක් අඟවලාවත් තිබ්බේ නෑ. එහෙම වුණා නම් මේක කරන්න මට තව ලේසි වෙන්නත් තිබුණා"
ආන්යා උන්නේ ඇඬෙන්න ඔන්න මෙන්න. ඇගෙ සුසුම් වේගවත් වෙලා තිබුණා.
"ආන්යා...මේ වුණ මොන දේකින් හරි මම නිසා ඔයාගේ හිත කවදාහරි රිදුනා නම් මට සමාවෙන්න...හිතලා නම් මම කවදාවත් එහෙම කරලා නෑ. ඒත් කියන්න බෑනෙ"
"ඔයා එහෙම  කලේ නෑ" ආන්යා මුල්ම වතාවට කතා කලා. "ඒ නිසා සමාව දෙන්න දෙයක් නෑ"
ආර්යන් දණහිසට බරදීලා උන්නු ඉරියව්වෙන්ම ආන්යා දිහ හිස උස්සලා බැලුවා.
"මගේ හිතට වද දෙන එකම එක දෙයක් තියෙනවා ආන්යා ඒ වුණත්...මට හරියටම නොතේරෙන දෙයක්. මං දන්නෑ ඔයා ඒක්ත උත්තර දෙන්න කැමති වෙයිද කියල..."
"අහන්න"
"ඔයා ඇත්තටම අභීට කැමති වුණේ එයාට ඔයා ආදරේ නිසා නේද? නැතුව එයා ඔයා හන්දා ඇක්සිඩන්ට් වුණ හන්දාවත්, මට ශර්මිලා බඳින්න ඉඩ දෙන්නවත් නෙවෙයි නේද? ඒක මට දැනගන්න ඕන"
ආන්යා දෑස් පියා ගත්තා. ආර්යන් අහන්නේ තමන්වත් හරියටම උතාරයක් නොදන්න දෙයක් නේද කියලා ඈ හිතුවා.
"සමහරවිට, ඔව්. මම ඔයාට කියලා ඇති අයියා, මට හිත හදාගන්න පුලුවන්, ඒත් කල් ඕන කියලා. ඔයා අහපු සේරටම උත්තරේ ඔව්. මම හිතනවා මම අභීට දැන් ලං වෙලා කියලා" ආන්යා කිව්වා.
ආර්යන් ඈ දිහා බලාගෙන උන්නේ හිතේ දාහක් දේවල් පෙරලි කරමින් තියෙද්දි වග ආන්යට දැනුනා.
"අයි විෂ් ද තිංග්ස් වර් චේන්ජ්ඩ් ආන්යා...දවසකට එක පාරක් හරි මට එහෙම හිතෙනවා. කැන් යූ සී හව් වීක් අයෑම්?-" ආර්යන් තව මොනවදෝ කියන්න හැදුවත් ඒවා ඔහුට කියා ගන්න බැරි වුණා. ඔහු හිස වනලා පුටුවෙන් නැගිටලා ජනේලය අසලට ගියා.
ආන්යා ඔහු දිහා බැලුවේ බොඳ වුණ ඇස් වලින්.
"පුංචි කාලෙකට මට මගේම කියලා ලෝකයක් තිබුණා. ඒ ලෝකේ ලොකු ඉඩක් ඔයාටත් තිබුණා...ඒත් ඒ ඉඩට එන්න කවදාත් ඔයාට බැරි වුණා. දැන් ඒ ලොකේ බිඳිලා ගිහින්...ආයෙම ඉතින් මට ඒක ගොඩනගන්න බැරි වේවි...මං මේවා කියන් එක වැරදියි මං දන්නවා. ඒත් මට තවත් මේවා හිතේ තියාගෙන ඉන්න බෑ ආන්යා. ඒ අතීතෙන් මං නිදහස් වෙන්න ඕන"
ආන්යා හුස්මක් උඩට  ගත්තා. ඒ එක්කම පුංචි කඳුලු බිංදුවක් ඇගේ කම්මුලට වැටුණා.
"මං ඔයාට ආදරේ කරපු තරම් ඔයා දන්නෑ ආන්යා..." ආර්යන්ගේ හඬ ආපහු ඇහෙද්දි ඒ හඬ තිබ්බේ බිඳිලා.
ආන්යා අත් දෙකේ මූණ හංගගෙන අඬන්න ගත්තා. ආර්යන් ඈ ලඟට ඇවිත් ඈ අසලින් බිම දණගහගත්තා.
"ප්ලීස් ආන්යා...මා දිහා බලන්න....ඔහොම අඬන්න එපා"
"මේ හැමදේටම වැරදි මම...මගේ පව්කාරකමට අපි කී දෙනෙක්ට අද වීඳවන්න වෙලාද" ආන්යා කිව්වේ අඬ අඬමයි.
"එහෙම කියන්න එපා...එතකොට මං? මං කොච්චර වැරදිද?"
ආන්යා ඉකි ගසමින් හැඬුවා. ආර්යන් අසරණව ඈ දිහා බලාගෙන උන්නා.
"ප්ලීස් ආන්යා..."
"මම නිසා අභීගේ කකුල කැඩුණා, ඔයා කවදාවත් නැති තරම් බොන්න පටන් ගත්තා...ඒ මගේ පව්කාරකම නිසා නෙවෙයිද?"
"ඒවා වෙන්න තිබ්බේ ඒ විදියට වෙන්න ඇති, ඒකට ඔයාට දොස් කියාගන්න එපා"
"ඔයා බොන්නෙත් ඒක වෙන්න තිබ්බ දෙයක් නිසාද?"
ආන්යා එහෙම ඇහුවාම ආර්යන් නිරුත්තර වුණා. ඔහු බිම බලාගත්තා.
එහෙමම නිහඬ විනාඩි කීපයක් ගෙවුණා. ආර්යන් ආයෙම ඇස් උස්සලා ආන්යා දිහා බැලුවා.
"ආර්යන් අයියා...ඔයාට පුලුවන්ද මං වෙනුවෙන් එකම එක දෙයක් කරන්න?" ආන්යා ආර්යන් දිහා බලලා ඇහුවා.
"මොකක්ද?"
"ඔය හැටි බොන එක නවත්තන්න. ප්ලීස්...මං ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි"
ආර්යන් බිම බලාගත්තා.
"අයි කාන්ට්-" ආර්යන් පටන් ගත්තා.
"මගෙ හිත වාවන්නෑ...ඔයා බොන්නේ මං හන්දා...මට ඒක දරාගන්න අමාරුයි" ආන්යා කිව්වේ කෑ ගහලා වගේ.
ආන්යා දිහා ආර්යන් බලා උන්නේ ලොකු සෙනෙහසකින් ඒ වගේම මොකක්දෝ වෙදනාවකින්.
"පොරොන්දු වෙනවද?" ආන්යා ආයෙම ඇහුවා.
"අයි විල් ට්‍රයි..." ආර්යන් කිව්වා.
ආන්යා ඔහු දිහා බලාගෙන උන්නේ ආයෙම ඇස් වලට කඳුලු පිරෙද්දි. ආර්යන් ඒ ඇස් දිහා බලලා ආයෙම අහක බලාගත්තා. ආන්යගේ හිතේ සේරම සිතුවිලි ඉවුරු කඩාගෙන පිට පැනලා, හිත වේදනාවෙන් පුරවලා තිබුණා, ආර්යන් ගැන ඇගේ හිතේ කොනකට කරලා තිබුණ සෙනෙහස ආයෙම හිතට එබෙමින්, අගේ හිත තව තව ඔද්දල් කලා.
"ඔයා දැන් යන්න ආන්යා...තවත් මං කතා කරන්න ගියොත් ඔයාට යන්න දෙන්න හිත හදාගන්න මට බැරි වෙයි, ඔයා එදා කියපු සිංදුවේ වගේ, මට කඳුලු එන්න කලින් මාව දාලා යන්න. නැත්තම් ඇත්තටම මට මගේ හිත හදාගන්න බැරිවෙයි අනිද්දට මූණදෙන්න""
ආන්යා ඔහු දිහා බැලුවේ කඳුලු හැලෙන ඇස් වලින්.
ඈ දිහා මොහොතක් බලාගෙන උන්නු ආර්යන් එකපාරටම මදක් ඉස්සිලා ඇගේ නලල සිපගත්තා.
"ටේක් කෙයා...ඇන්ඩ් ප්ලීස් ෆොර්ගිව් මී ඉෆ් යූ කැන්. ඔයා හොයපු, ඔයාට ඕන වුණ ආර්යන් වෙන්න මට බැරි වුණාට..." ඔහු ඊලඟට ඇගේ කනට කරලා මිමිණුවා.
ආන්යා පුටුවෙන් නැගිට්ටේ තවත් එතන ඉන්න ඈට බැරි වුණ හන්දයි. ඈ දොර අසලට එන්න හැරුණා. ඒත් අඩවන් කරලා තිබ්බ දොර ඇරිලා ඒ අසල හිටගෙන ගිනි පිටවෙන දෑසින් ඈ දිහා බලාගෙන උන්නු කෙනා දැක්කාම ඈ අඩියක් විතර ආයෙම පිටිපස්සට වීසි වුණා.
"අභී..."  


5 comments:

  1. පෝස්ට් එක කියවගෙන යන කොට කමෙන්ට් කරන්න ගොඩක් දේවල් හිතට ආවා. ඒත් අන්තිම වචනෙ කියෙව්වම මාව ෂොක් වුණා හොදටම.
    දෙය්යනේ.. ඊළගට මොනවා වෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ ටික නොකියම බැහැ අක්කේ.. මං හිතනවා ඊළගට මම බලාපොරොත්තු වුණ දේ සිද්ද වේවි කියල. මුලම හරියෙදි මම කමෙන්ට් කරල ඇති ආන්යවයි ආර්යන්වයි වෙන් කරන්න එපා කියල. ඊට පස්සෙ සිද්ද වුණ සමහර සිදුවීම් නිසා ආන්යට වැඩියෙන් ආදරේ අභී කියලා මට හිතුණත් ආයෙ පාරක් කතාව මුල ඉදල කියවගෙන ගියාම මට තේරුණා ආර්යන්ගෙ හිතේ තියෙන ආදරේ කොයි තරම් ගැඹුරුයිද කියල.

      කොහොම වෙතත් පාඨක අදහස් නිසා නම් කතාවෙ අවසානය තීරණේ කරන්න එපා. ඔයා‍ගෙ හිතේ ඇදිලා ඇති ලස්සන අවසානයක්. ඒක පුළුවන් තරම් හෘදයාංගම කරලා ඔයා අපිට දෙන තුරු අපි බලාගෙන ඉන්නේ.

      Delete
  2. අභි පව්..ඒත් ආර්යන් ගැන හිතද්දි එහෙම වුන එක හොඳයි හිතෙනවා..ආන්යට ගැලපෙන්නෙ අභි නෙමෙයි ආර්යන්.. :)

    ReplyDelete
  3. aneeeeeeeee me moko wade une,, man kiwwe aryan anyawe adegene yanekote monaha wey kiyala :(

    ReplyDelete
    Replies
    1. ඔයා කිව්වා හරියටම හරි...

      Delete