Tuesday, June 19, 2012

හැට එක්වන කොටස


"මම මෙතනින් ටිකක් වාඩි වුණාට කමක් නැද්ද?"
ආන්යගේ දැහැන බිඳුනේ ඒ හඬට. ඒ හඬ හඬවල් දාහක් මැද්දේ වුනත් අඳුනගන්න ආන්යට අමාරු වුණේ නෑ. සීතල අයිස් වතුර දහරාවක් පිට දිගේ ගලන්නා වගේ සසල වීමක් ඈට දැනුනා ඒ මුදු හඬ ඇහුණම.
"කමක් නෑ" ආන්යා කිව්වේ පස්ස නොබලම.
ආර්යන් ඇවිත් ආන්යට මදක් දුරින් වාඩි වුණා. ආන්යා යන්තම් යටැසින් ඔහු දිහා බැලුවා.
"අද වහින්න වගේ නේද?" ඈත ආකාසේ දිහා බලාගෙන් ඖන්නු ආර්යන් ඇහුවේ සාමාන්‍ය විදියට.
"හ්ම්..." ආන්යා කිව්වා.
"ආන්යා...ඔයා ඉන්නේ දුකෙන් වගේ. ඇයි ඒ?" ඔහු ඇහුවා.
"මුකුත් නෑ" ආන්යා උත්තර දුන්නා.
"බොරු කියන්න එපා"
ආන්යා ඒ පාර මුකුත් නොකියා ඈත ආකාසේ දිහා බලාගෙනම උන්නා.
"ඔයා දුකෙන් ඉන්නේ මෙහෙන් යන්න වෙලා හන්දද?"
ඒත් ආන්යා මුනිවත රැක්කා. ඒ පාර ආර්යන් ආන්යා දිහාට තව ටිකක් ලං වුණා.
"ඇයි මට කියන්න බැරි?"
"එහෙම මොනවත් දෙයක් නෑ. මම නිකං එක එක දේවල් ගැන කල්පනා කලා විතරයි" ආන්යා බැරිම තැන කිව්වා.
"හ්ම්...එහෙමද?" ආර්යන් කිව්වා.
ඊට පස්සේ දෙන්නා ආරේ ආයෙම ඇතිවුණේ නිහඬතාවයක්.
"ඊයේ අභී මෙහේ ආව" ආන්යා නිහඬතාවය බින්දා. ආර්යන් ඈ දිහා බැලුවා ඉක්මණට.
"ඊට පස්සේ?"
"ඊට පස්සේ මම කිව්වා අපි අතර ආයෙමත් මොනවත් සිද්ධ වෙන්න බෑ කියලා"
ආන්යා එහෙම කිව්වාම ආර්යන් ඈ දිහා බැලුවේ ගැස්සිලා වගේ.
"ඔයා...එහෙම කිව්වද?"
ආන්යා ආර්යන් දිහාට හෙලුවේ තියුණු බැල්මක්.
"වෙන මොනවා කියන්නද? මට බෑ එයාට බොරු බලාපොරොත්තු දෙන්න. මම එයාට සේරම ඇත්ත කිව්වා...එයා සමහර දේවල් නොදැන උන්නත් නෙවෙයි"
ආර්යන් උන්නේ තරමක් කම්පනයට පත් වෙලා වගේ.
"සමහර දේවල් කිව්වේ?"
"ඔයා ගැන"
"මං ගැන?"
"ඔව්...ඔයාගේ හිත ගැන"
"ඒ කියන්නේ මං ඔයාට තාමත්-"
"ඔව්" ඔහු ඉවර කරන්න කලින් මැදින් පැනපු ආන්යා කිව්වා.
"අභි ඒක දන්නවා කිව්වද?" ආර්යන් ඇහුවේ හෙමින්.
"සමහර දේවල් කොච්චර අපි උත්සාහ කලත් හංගන්න බෑ ආර්යන් අයියා"
ආන්යා එහෙම කිව්වම ආර්යන් මොහොතකට නිහඬ වුණා.
"මට අභී ගැන දුකයි ඒත්, අපිට අපි ගැලපෙන්නෑ" ආන්යා ආයෙම කිව්වා.
"ඇයි ඔයා එහෙම කියන්නේ කියලා අභී ඇහුවේ නැද්ද?" ආර්යන් ඇහුවා.
"නෑ...ඒත් මං එයාට කිව්වා හේතුව"
"මොකක්ද?"
"මම මගේ හිත හරියටම තේරුම්ගත්තු වග" ආන්යා කිව්වා.
ආර්යන් ආන්යා දිහාට මදක් නැමිලා ඈ දිහා බැලුවා.
"ඔයාගේ හිත තේරුම්ගත්තේ මොනවද ආන්යා?"
ආන්යා හිස නවාගෙනම ආර්යන් දිහා බැලුවා. ඒ දෑස් හතර තප්පරයක් දෙකක් එකිනෙකා එක්ක පැටලිලා තිබුණා.
"ඒක ඔයා දන්නවා" ආන්යා කිව්වේ ආර්යන්ගේ ඇස් ඉස්සරහ තමන්ගේ හිත දියවෙලා යනවා වගේ හඟිමින්.
"මට ඒක අහන්න ඕන"
ඒ ඇස් දිහා තව මොහොතක් බලාගෙන උන්නු ආන්යා ඊලඟට ඒ නෙත් මගාරලා අහක බලාගත්තා.
"කවදාවත් වෙන්න බැරි දේවල් ගැන ආයෙමත් මම හිතන්නෑ ආර්යන් අයියා"
ආන්යා එහෙම කිව්වාම ආර්යන් මදක් කලබල වුණා.
"මොකක්ද ඒ කතාවේ තේරුම?" ඔහු ඇහුවා.
"තේරුම අහන්න එපා"
"ඔයා කියන්නේ ඔයාට ආයෙමත් මගේ වෙන්න බෑ කියලද?" ආර්ය්න ඇහුවාම ආන්යගේ හිත සසැලුනා.
"ආයෙමත්?"
"ඔයා මගේ කියලා මම හිතපු කාලයක් තිබුණා. ඊට පස්සේ එහෙම නොහිතපු කාලෙකුත් තිබුණා. ඒත් තවත් මට එහෙම නොහිතා ඉන්න බෑ. හැමදාම ඔයා මගේ හිතේ ඉන්න හන්දා" ආර්යන් කිව්වා.
"එහෙම කරන්න බෑ ආර්යන් අයියා...ඔයාට තේරෙන්නැද්ද? මම කොහොමද ආයෙම ඔයාගේ ගෙදරට ඔයාගේ වෙලා එන්නේ? මම එහාට ආවේ ඒ විදියට නෙවෙයි" ආන්යා කිව්වා.
"වෙච්ච දේවල් වෙලා ඉවරයි කියලා කිව්වේ ඔයාමයි"
"ඇත්ත, ඒත් අපට ඒ දේවල් දවසින්, දෙකෙන් අමතක කරන්න පුලුවන්ද? වෙච්ච දේවල් වල උණුහුම යන්නත් කලින්ම මම කොහොමද ආර්යන් අයියා ඔයාට ලං වෙන්නේ? ඔයාලගෙ අම්මලා, අපේ අම්මලා...මොනවා නොකියයිද? අනේ මට මෙහෙම ඉන්න දෙන්න අයියා. මගේ හිතේ තියෙන දේවල් හිතේම තිබුණාවේ" ආන්යා කිව්වා.
"ඔයාට හිත හදාගන්න කාලේ ඕන වග මට තේරෙනවා ආන්යා..."
"ඔව් මට කාලේ ඕන"
"කාලෙ දෙන්නම් හැබැයි ජීවිත කාලෙම ඉල්ලන්න එපා. ඔයා එක්ක ඉන්න මට ජීවිතෙන් ගොඩක් කල් ඕන නිසා ආන්යා"
ආන්යා උන්නේ බිම බලාගෙන.
"සමහරවිට ඔයා හිතනවා ඇති මට අභී ගැන ගාණක්වත් නැතුවද මේවා ඔයාට කියන්නේ කියලා. අභී ගැන මම නොහිතන්වා නෙවෙයි. ඒත් ඔයාගේ හිතේ ඉන්නේ මම කියලා දැන දැන, අභීට ලං වෙන්න කියලා මට ඔයාට කියන්න බෑ ආන්යා. ඒක කරන්න බැරිවග මං තරම් දන්න කෙනෙක් තවත් නෑ" ආර්යන් කිව්වා ආයෙම.
ආන්යට ඔහු ගැන දැනුනේ දුකක්.
"කොහොමද දන්නේ හිතේ ඉන්න වග?" ආන්යා ඇහුවේ විහිලුවට වගේ.
"ඇයි හිතේ නැද්ද?"
ආන්යා උත්තරයක් නොදී බිම බලාගත්තේ යන්තම් හිනාවෙලා.
"එහෙනම් මම මෙතන ඉන්න ඕන නෑනෙ. මං යන්නම්" ආර්යන් ආන්යාගෙන් ඇත් වෙලා කිව්වා.
"එපා..." ආන්යා කිව්වේ විදුලි වේගෙන් ඔහු දිහාට හැරිලා.
ආර්යන් ආන්යට ආයෙම ලං වුණා.
"එහෙමනං ඇයි ලඟ තියාගන්නේ නැත්තේ?" ඔහු ඇහුවේ රහසින් වගේ ඇගේ කන ලඟට කරලා.
එතකොටම වගේ අනපේක්ෂිත වැස්සක් කඩාපාත් වුණේ දෙන්නටම හිතන්නවත් ඉඩක් නොදී. ආන්යා ඇකිලුණා. ආර්යන් අත් දෙක දෙපැත්තට දික් කරලා උඩ බැලුව.
"තෑන්ක් යූ ගෝඩ්..." ඔහු කෑ ගැහුවා. ආන්යට ඒ පාර නම් හිනා ගියා.
"මං වැස්සට ආසයි" ඈ කීවේ පුංචි ළමයෙක් වගේ.
මොහොතකට සේරම ලතැවුල් දෙන්නටම අමතක වෙලා තිබුණා.
"අද නම් තෙමෙන්න බෑ, එන්න ගෙට යන්න" ආර්යන් ආන්යව අතින් ඇදගෙන දිව්වේ ගෙයි පිලිකන්නේ වහල යටට.එතන පුංචි පිල උඩ ඉඳන් ආන්යා ඇදවැටෙන මොර ගෙඩි වගේ වරුසාව දිහා බලාගෙන උන්නේ සතුටින්.
"හිනාවෙලා ඉද්දි ඔයා කොච්චර ෂෝක්ද?" ඈ දිහා බලාගෙන උන්නු ආර්යන් මිමිණුවා.
ආන්යා ඇස් හරවලා ඔහු දිහා බැලුවා. ඔහු උන්නේ ඈට ගෑවෙන නොගෑවෙන තරම් දුරකින්. ආර්යන්ගේ ඇස් වල තිබුණෑ මොකක්දෝ උණුසුමක්.
"මා එක්ක ඉන්න ප්ලීස්...ආයෙමත් මාව දාලා යන්න හදන්නේ ඇයි?" ඔහු ඇහුවෙ හෙමින්, ආදරෙන්.
ආන්යගේ හිනාව වියැකිලා ගිහින් තිබුණා. හිත ආදරෙන් මත් වෙලා වගේ ඈට දැනුනා.
"දුර යනවා විතරයි...හිත ගෙනියන්නෑ..." ආන්යා කිව්වෙත් ඒ දෑස් වලට එබීගෙන.
ආර්යන්ගේ දෑස් තවත් හැඟුම්බර වුණා.
"යන්න දෙන්නෑ මං ආයෙමත්"
එහෙම කියලා ඔහු ඔහු ආන්යට තව ටිකක් ලං වුණා. ආන්යගේ දෙකන් පෙති රත් වීගෙන එද්දි ඈ බිම බලාගත්තා. "මේ බලන්න ආන්යා...මම ඕන කාලයක් ඉන්නම්, ඒත් මට පොරොන්දු වෙන්න ඔයා මගේ වෙනවා කියලා..." ආර්යන් එහෙම කිව්වාම ආන්යා හිස උස්සලා ඔහු දිහා බැලුවා.
ඔහුගේ වත තිබුණේ ඇගේ වතට හුඟාක්ම ලඟින්. ආර්යන් ඈ දිහා මොහොතක් බලාගෙන ඉඳලා තව ඩිංගිත්තක් ඈට ලං වෙද්දි ආන්යගේ ඇස් පියවුණේ ඉබේටම.
"පොරොන්දු වෙනවද?" ආර්යන්ගේ හඬ ඈට හෙමිහිට ඇහුණා. ඒත් ඒ මොහොතෙම වගේ,
"ආන්යා..." ආන්යගේ අම්මගේ හඬ කුස්සිය දිහාවෙන් ඇහුණා. ඇසිල්ලකින් දෙන්න උන්නේ අඩි ගාණක් දුරස් වෙලා. ආර්යන් දිහා එක පාරක් බලලා ආන්යා ගෙට දිව්වේ ඔහු තවමත් බලා ඉද්දිමයි.
ඊට පස්සේ ආර්යන්ගේ පවුලේ අය යන්න ගියේ ආන්යගේහිතේ පුංචි පාලුවක් ඉතිරි කරලා. යන්න කලින් මේ දෙන්නට ආයෙම කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ආන්යා ආර්යන්ට උණුසුම් හිනාවක් පෑවා විතරයි.
"අයි විල් කෝල් යූ" ආර්යන් ගියේ එහෙම කියලා.
හැමෝම ගියාට පස්සේ තාත්තා සාලේ උන්නු සේරම දිහාට හැරිලා හිණා වුණා.
"ආයේම පෙට්ටි ලිහන්න පටන් ගමු එහෙනම්"


11 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අයියෝ ඉස්සෙලා මම කොටසක් මග ඇරලනේ කියවලා තියෙන්නේ හික්ස්ස්ස්ස් :පි

    දැන් ඇවිත් තියෙන්නේ කතාව නියම පාරට මේ පාරේ දිගටම යන් (කතාව කතාවකිවුව්ට මේක නිකන් මගේ ජිවිත කතාව වේ මට නිකන් හික්ස්ස්ස්ස් :)

    ReplyDelete
  3. ම්හ්.. :) ඔන්න ඔක්කොම කියෙව්වා නෙතු..ඔයා අවසානේ ලියන්න කලින් මං ආව කන්ද නැගලා කියවගෙන ..කියවගෙන..මම අභිටයි කැමති..මට දුකයි එයා ගැන ගොඩක්..

    ReplyDelete
  4. ලස්සන ආදර කතාවක අවසානය ලං වෙනව වගේ දැනෙනවා නෙතු අක්කි... ආයේ මේ දේවල් වෙනස් වෙන්නේ නෑ නේද..???

    ReplyDelete
  5. :D
    අද නම් මෙච්චරයි කියන්න තියෙන්නෙ..

    ReplyDelete
  6. hmmmm hmmmm :P :P

    ReplyDelete
  7. ඔයාට අපූරු ප්‍රතිභාවක් තියෙනවා නෙතූ..මම කතා දෙකම කියෙව්වා.
    මේක ඉවර කළාට කමක් නෑ ආයෙ ඔයා එකක් ලියනවා නම්!

    ReplyDelete
  8. කමෙන්ට්ස් දාපු මගේ යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි! :)
    කතාව නම් දැන් ඉවර වෙන්න ලඟයි තමයි. කලින් එක වගේම මේ කතාවෙත් මම ජීවත් වුණ හන්දා කතාව ඉවර වෙන්න යද්දි මොකක්දෝ දුකකුත් දැනෙනවා. ආන්යා වගේම මමත් ආසයි කඳු, තේ වතු වලට හෙම.
    කොහොම වුණත් ආයෙම අලුත් කතාවකින් අපිට මුණගැහෙන්න පුලුවන් වේවි කියලා මම හිතනවා. ම්ම්...දෙක තුනක් අදහස් තියෙනවා, බලමුකෝ නේද?
    දිගටම ඔයාලා මේ පොත් ගුල පැත්තේ ඒවි කියලා මම විශ්වාස කරනවා. :) ඔයාලා එහෙම එන තාක් කල් කතා ලියන්න තමා මගේ අදහස....

    ReplyDelete