Tuesday, June 5, 2012

පනස් දෙවන කොටස


අභීලගේ ගෙදර පිහිටලා තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ, වහල්වත් විතරක් පේන තරමට උස තාප්ප බැඳගත්තු, සුපිරි ධන්වතුන් උන්නු විදියක. ඇභීලගෙ ගෙදරත් තාප්පේ හන්දා පෙනුනේ උඩ තට්ටුව විතරයි. ඒත් වටෙන් යද්දි ඇතුල්වෙන ප්‍රධාන ගේට්ටුව ඇරලයි තිබුණේ. සුවිශාල, සුදු පාට ආලේප කරපු, නවීන පන්නේ නිවසක් වුණු ඒක නානාවිධ මල් වැල් වලින් සරසලා, කෙසෙල් ගස් හිටවලා දැන්මම සරසලා තිබුණේ හරියට මගුල් ගෙදරක් වගේමයි. තැන තැන විවිධ වැඩ වල නිරතවෙමින් උන්නු මහා පිරිසකුත් ගේට්ටුවෙන් ඇතුලට වාහනේ ඇතුල් කරද්දි ආන්යා දැක්කා.
"ආ...වීරේ මාතියා එන්න එන්න. අපි උදේම ඉඳලා තමා බලාගෙන ඉන්නවා. එතුලට එන්න, මම නෝනාව කතා කරන්නම්" ආන්යලා වාහනෙන් බැහැලා ගේ අසලට යද්දිම වගේ එතන උන්නු සේවිකාවක් තාත්තව බොහොම උණුසුම්ව පිලිගන්න ගමන් කිව්වා.
"ඔන්න මේ ඇවිත් තියෙන්නේ? අපි කීයේ ඉදන්ද බලාගෙන හිටියේ? කොහොමද රූපා? දෝනි? හරියට වැඩ...ඉතින් වාඩි වෙන්නකෝ. අභීලා නම් මේ බඩු වගයක් ගේන්න පොඩ්ඩක් එලියට ගිහින්"
ආන්යලා වාඩි වෙන්නත් කලින්ම ගේ ඇතුලේ ඉඳන් හිනාවීගෙන එලියට ආවේ අනුලා මැඩම්.
ආන්යලා සරසලා තිබුණ විසාල සාලේ පැත්තක තිබුණ සැටියක වාඩි වුණා. සාලේ මැද හරිය මුලුමනින්ම වගේ හිස්ව තිබුණා, පැදුරු එලලා. උත්සවේ තියෙන්නේ එතන වෙන්න ඇති කියලා ආන්යට හිතුණා.
"අපි මොනා හරි බීලම් ඉමු. මම ඔයාලට උඩ තට්ටුවේ කාමර දෙකක් ලෑස්ති කරලයි තියෙන්නේ. අභීලගේ කාමර ලඟම තමා. මොනා හරි කාලා බීලා බැරියැ ගිහින් ඇඳුම් මාරු කරගන්න නේද?"
අනුලා මැඩම් එවෙලේ සේවිකාවක් ට්‍රොලියක තියලා තල්ලු කරගෙන ආපු කෑම බීම වගයක් මේ පිරිසට පිලිගන්වමින් කිව්වා.
ආන්යා නම් උන්නේ,පුංචි පුදුමයකටත්, අපහසුතාවයකටත් පත් වෙලා. ඒ අභීලගේ ගෙදර තිබුණ මහේශාක්‍ය විලාශය, එහේ තිබුණ සාම්ප්‍රදායික දමිල සැකැස්ම, වගේම හැමදේකම තිබුණ නුහුර හන්දා. ඒ මීට කලින් කවදාවත් ආන්යා මෙහි ඇවිත් නැති හන්දා වෙන්න ඇති.
"දෝනි මූණ හොදගෙන ඇඳුමක් දාගෙන එන්නකෝ, අපි අභීව සප්‍රයිස් කරමු" ආන්යතයි, අම්මටයි ඒ දෙන්නට වෙන් කරපු කාමරේ පෙන්නපු  අභීගේ අම්මා කිව්වා.
"මහ විසාල ගෙයක් නේද? මේක අතු ගාන්නම දවසක් යන්වා ඇති. කලින් ගෙයි මේ තරම් ලොකු නෑ. මේක මේ අලුත් ගෙයි වෙන්න ඇති" අම්මා සාරි පොටෙන් පවන් ගහගන්න ගමන් කිව්වා.
ආන්යා බෑග් එක පැත්තකින් තියලා ඇඳේ ඉඳගෙන කාමරේ සිසාරා බැලුවා. අලංකාර කණ්ණාඩි මේසය හා අල්මාරිය, ඒ වර්ගෙම ඇඳ ඇරුණාම කාමරේ තිබුණේ බිත්තිය හැඩ කරන්න එල්ලපු ලොකු මල් චිත්‍රයයි, ඒසී මැෂින් එකයි විතරයි. විතරයි. ඇඳේ නිකමට ඇලවුණ ආන්යා කල්පනා කලේ දැන් අභී ඇවිත් ඇතිද කියලයි.
"ඔයාට මේ අලි ගෙදර තට්ට තනියෙම ඉන්න වෙයිද දන්නෑ නේද අභී එක්ක ආවාම?" මුවකට දොවාගෙන ගෙයි ඇතුලේ බැල්කනියට ඇවිත්, පහල සෙනග වැඩ කරන දිහා බලාගෙන උන්නු අනුහස් ඇහුවේ උපහාසෙන් වගේ.
"අනේ...මොනාද අනූ ඔය කියන්නේ? මම මෙහේ එන්නෑ" ආන්යා කිව්වා.
අම්මයි, තාත්තයි මේ වෙද්දි වැඩ කරන උදවිය අතරේ අතුරුදහන් වෙලයි උන්නේ.
"බලමුකෝ... ඒක නෙවෙයි අභීලා තාම ඇවිත් නැද්ද?"
"නෑ වගේ නේද?"
"හ්ම්...ආන්න ඔයාගේ නැන්දම්ම එක්ස්ප්‍රස් එකක් වගේ මේ පැත්තට එනවා. මම යන්වා පොඩ්ඩක් පහලට...ඔයා නැන්දම්මා එක්ක ඕන එකක් බේරගන්න" අනුහස් කිව්වේ පඩිපෙල නගිමින් උන්නු අභීගේ අම්මව පෙන්නලා.
"ඔන්න දැනුයි අභීලා ආවේ...ඔයා ඩ්‍රින්ක්ස් අරන් යන්නකෝ බලන්න මොකද කොල්ලා කියන්නේ කියලා"
අභීගේ අම්මා ආන්යවත් ඇදගෙන ආයෙම පහලට දිව්වා. ඈ හරිම විනෝදකාමි කෙනෙක් කියලා ආන්යට හිතුනා.
"අභී බේබි...කුඩික්කිරත්තික්ක යෙදාවද (අභී බේබි...බොන්න දෙයක්)" ආන්යා එක්කම අභීලා ගිමන් හරිමින් උන්නු තැනට ආපු සේවිකාවක් ඇහුවා.
"නෝ ටී ප්ලීස්..." ආන්යා බීම තියපු ට්‍රේ එකක් අරගෙන සාලෙට යද්දි අභී පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා ඇස් වගගෙන උන්නා.
"මොනවද එහෙනම් ඕන?" ආන්යා ඇහුවාම, නිදාගෙන වගේ උන්නු අභී කෙලින් වුණේ විදුලි වේගෙන්.
"මීනු...ඔයා කොයි වෙලේද ආවේ? යූ නෝටි ගර්ල්, මට කෝල් එකවත් දුන්නෑ නේද?" අභී ඇහුවේ පුදුම වෙලා වගේ. ආන්යා හිනාවුණා.
"හිනාවෙන හැටි" අභී නැගිටින්න හැදුවේ ආන්යා අල්ලගන්න.
ඈ එක පාරටම අතේ තිබුණ ට්‍රේ එක පිටින්ම අනික් පැත්ත හැරුණේ එතනින් ඉවතට දුවන්න. ඒත් සිද්ධ වුණේ නොහිතපු දෙයක්. ආන්යා හැරිච්ච වේගෙට වීදුරුවක් පෙරලිලා ඒකේ තිබුණ බීමවලින් කොටසක් ඒ අසලම කා එක්කදෝ කතාවක උන්නු කෙනෙක්ගේ සුදු කමිසේ තැබිලිපාට පැල්ලමක් තියමින් විසිරිලා ගියා. ආන්යා ඔහු දිහා බැලුවේ බියපත්ව. ආර්යන් කියන්න දෙයක් හිතාගන්න බැරිව වගේ ආන්යා දිහා බලාගෙන උන්නා.
"අනේ අයෑම් වෙරි සොරි" ආන්යා කිව්වේ ඇත්තටම කණගාටුවෙන්. ආර්යන්ගේ කතා කරන ඇස් දෙක ආන්යගේ හිතේ පොඩි තිගැස්මක් ඇති නොකලම නෙවෙයි.
"කමක් නෑ...කමක් නෑ" ආර්යන් අතින් කමිසේ පිහදන ගමන් කිව්වා.
"ඕකනේ කියන්නේ? ඕන්නැති වැඩ කරන්න එපා කියලා. අන්නා නිසා හොඳයි. පිස්සු කෙල්ල. එන්න" ඒ වෙද්දි නැගිටලා ඔවුන් අසලට ආපු අභී කිව්වා.
ආන්යා ඔහු පස්සෙන් ඇදුනේ ආර්යන් දිහා ආයෙමත් නොබලා.
"මේක ගන්නකෝ...මේ මගේ හෙට ඇඳුම" ආන්යා අතට ලොකු පාර්සලයක් දෙන ගමන් අභී කිව්වා. ආන්යා ඒකත් අතට අරන් ආපහු පස්සෙන් ඇදුනා. අභී ආන්යගෙත් උදව් ඇතිව ගියේ මේ දවස්වල ඔහුට වෙන් කරලා තිබුණ බිම් මහලේ කාමරේකට.
"ඕක මෙතනින් තියන්න මීනු..." අභී කිව්වේ කාමරේ තිබුණ මේසේ අසලින් හේත්තු වෙලා. ආන්යා පාර්සලේ මේසේ උඩින් තියලා අතගන්න හදද්දිම අභී පැනලා ඇගේ අතින් අල්ලගත්තා. ආන්යා තිගැස්සුනා වගේම බයත් වුණා.
"අභී..."
"ම්ම්..."
"අනේ අතාරින්න අභී...ගෙදර කවුරුහරි ආවොත්?"
"ඉතින් ආවදෙන්, ඔයා මගේ කියලා හැමෝම දන්න්වනේ"
"පිස්සු කියවන්න එපා අභී..."
"පිස්සු නෙවෙයි...ඉතින් මට කියන්නකෝ කීයටද ආවේ කියලා"
ආන්යා වටපිට බලමින් ඇඹරුණා.
"දැන් පැයක් විතර..."
"ඔයා කෙට්ටු වෙලාද මන්ද"
ආන්යට ඒ පාර නම් හිනා ගියා.
"මං? නෑ...ඒ ඔයාට පේන හැටි"
"කෝ බලන්න" එහෙම කියපු අභී ආන්ය නොහිතපු විදියට ඈව ඇදලා ඔහු ලඟට අරගෙන බඳවටා අතක් දාලා අල්ලගත්තා. ඒ පාර නම් ආන්යට හීන්දාඩියකුත් දැම්මා.
"අභී..අනේ අභී...ප්ලීස්...මාව අතාරින්න..."
"ම්හු" අභි හිස වැනුවා.
"අනේ...අම්මලා ආවොත්?" ආන්යා කිව්වේ ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්න දඟලන ගමන්.
"මීනු...මීනු...මේ බලන්න..." අභී ඈව අතනෑරම ඇගේ මූණට එබුණා.
ආන්යට දැනුනේ මුලු සියොලඟම දැවිලා යනවා වගේ හැඟීමක්.
"අයි මිස්ස්ඩ් යූ සෝ මච්" ඔහු කිව්වේ ආන්යගේ කන අසල තිබුණ අකීකරු කෙස් රොදක් කන පිටිපස්සේ රඳවන ගමන්. ආන්යා වෙව්ලලා ගියා. තවමත් අභීගේ සුරත තිබුණේ ආන්යගේ බඳ වටේ.
"අභී..."
ඔහු තවත් ටිකක් ඈ වෙතට ලං වෙද්දි ආන්යගේ ඇස් පියවුණේ ඉබේටම. අභීගේ සුසුමක උණුසුම ඇගේ කම්මුලක තැවරුණා විතරයි. අභී ග්‍රහණය ලිහිල් කලා. ආන්යා ඇස් ඇරලා අභී දිහා බැලුවේ පුදුමෙන්.
"ඔයා බය වෙලා...ඔයාගේ හාට් බීට් එකත් මට දැනුනා...බය වෙන්න එපා. මම ඔයා අකමැති මොනවත් කරන්නෑ...හරිද? දැන් යන්න. මම වොෂ් එකක් දාගෙන එන්නම්..." අභී එහෙම කිව්වේ දයාබරව ආන්යා දිහා බලලා.
ආන්යා හුන් තැනම ඉඳන් නොහෙල්ලි මොහොතක් අභී දිහා බලාගෙන උන්නා. ඈට අභී ගැන දැනුනේ පුදුමයකටත් වඩා ලොකු සෙනෙහසක්. ඒ නිසාම ඈ කලේ අඩියක් ඉස්සරහට ගිහින් අභීගේ පපුවට තුරුලු වුණ එක. මේ නොහිතපු දේ හන්දා අභීත් පුදුම වෙන්න ඇති මොහොතකට. ඒත් ඊට පස්සේ ඔහු එක අතකින් ආන්යව මුදුවට ඔහුගේ වතට තුරුල් කරගත්තා. ආන්යා ඇස් පියාගෙන සුසුමක් හෙලුවා.
"අයි...මිස්ස්ඩ් යූ සෝ මච් ප්‍රින්සස්...සෝ වෙරි මච්"
"මං දන්නවා..."ආන්යා කිව්වා.
"මොනවද?" අභී ඇහුවේ ඇගේ හිස කම්මුලකට හේත්තු කරගන්න ගමන්.
"හැමදේම"
"හැමදේම?"
"හ්ම්"
"මොනවද?"
"ගොඩක් ආදරෙයි කියලා"
"හ්ම් වෙන?"
"අපි ගොඩක් ලං වෙලා කියලා"
"හ්ම්..තව?"
"තව...අනේ මංදා"
ඊට පස්සේ අභී එකපාරටම ආන්යව ඈත් කරලා ඇගේ මූණ දෝතින්ම අරන් ඇගේ දෑස් වලට එබුණා.
"මීනු...මට ඔයාව මගේ ලඟින්ම තියාගන්න ඕන, හැමදාම, අද වගේ...මීනු ජස්ට් ටෙල් මී, විල් යූ මැරී මී?"
ආන්යා ඔහුගේ දෑ දිහා බලාගෙන උන්නා මොහොතක්. ඉක්මණෛන් ඇසිපිය සැලෙන ඒ අකීකරු ඇස් දිහා. ඒත් ඒකට උත්තරයක් දෙන්න කලින් අභීගේ කාමරේ දිහාට කවුදෝ එන හඬක් ඇහුණා. දෙන්න දෙපැත්තට වුණේ විදුලි වේගෙන්.
"අභී යෙන්නඩ කුර්තා කුර්තා උඩය ෂෝල් උන්නෝඩ බැග්ල ඉරික්කදා (මගේ කුර්තා එකේ ෂෝල් එක ඔයාගේ බෑග් ඒකේද?)" අභීගෙන් එහෙම අහගෙන කාමරේට එබුණේ ආර්යන්. ආන්යව දැකපු ගමන් ඔහුගේ මුහුණ එක පාරටම වෙනස් වුණා. ඔහු අහක බලාගත්තා ඉක්මණින්.
"අයෑම් සොරි ඉෆ් අයි ඩිස්ටර්බ්ඩ් එනිතිංග්" ඔහු කිව්වා.
"නෝ නෝ..වී වර් ජස්ට් ටෝකිංග්" අභී කිව්වේ ආර්යන් දිහා නොබලා.
"දෙන් යූ බෙටර් කම් අවුට් ඇන්ඩ් ටෝක්...ඕර් ද පීපල් විල් බී ටෝකින්ංග් අබවුට් හර්..." එහෙම කියපු ආර්යන් අභී දීපු සලුවත් අරන් යන්න ගියා.
ආන්යට දැනුනේ අපහසුතාවයක්. ආර්යන් එහෙම කිව්වේ ඇයි කියලා ආන්යට තේරුණේ නෑ. අනික මේ වගේ ගොඩක් අවස්ථාවල ආර්යන්ම තමන් දෙන්නා අතරට ආවේ ඇයි කියලත් ආන්යා දැනගෙන උන්නේ නෑ. අභී ඇස් උස්සලා ඉඟි කරලා යන්න්තමට ආන්යට හිනාවුණා.
"දැන් හරිනේ?" ආන්යා කිව්වේ හිනා නොවී.
"හරි කොහෙද, ඔයා මට උත්තරයක් දුන්නෑනෙ" අභී කිව්වා.
"හිතලා බලන්න ඕන" එහෙම කියපු ආන්යා කාමරෙන් එලියට ආවේ අභී ආයෙම ඈව අල්ලගන්න එද්දි.
"මීනු..."
ආන්යා හිනාවේලා එතනින් එන්න ආවේ දුවගෙන වගේ. ඈ සාලෙට එද්දි ඒ හරියෙම කා එක්කදෝ කතාවක උන්නු ආර්යන් හිස හරවලා ඈ යන දිහා බැලුවා. ආන්යා කලේ යාන්තමට ඔහුට හිනාවක් පාලා අම්මලව හොයන්න ගිය එක. ආර්යන් ඈ නොපෙනී යනකල්ම බලා උන්නු වග පස්ස නොබලපු ආන්යා දැක්කේ නෑ.
හවස් වෙනකල්ම ආන්යටයි අභීටයි ආයෙම කතා කරන්න වෙලාවක් ලැබුණේ නෑ. අභීගේ අම්මා ආන්යව යන යන තැන එල්ලගෙන යමින්, විවිධ වැඩ දාහක් විතර ඈට පැවරුවා. අභීගේ කකුල තවමත් හොඳටම හොඳ නැති හන්දා අභී ගොවෙලාවට මොන්වත් කලේ නැහැ. මේ වැ අතරතුර ආන්යා, ආර්යන් එක්ක මූණට මූණ හම්බ නූණා නෙවෙයි. ඒත් එවෙලෙට දෙන්නම නොදන්න්වා වගේ අහක බලාගත්තා ඇරෙන්න වෙන මොනවත් සිද්ධ වුණේ නෑ. ආන්යගේ හිතේ එක ඈත කොනක දුකක් නොතිබුණාම නෙවෙයි. ඒ ආර්යන් ඈ වෙනුවෙන් කරපු දේවල්, ඈට ආදරේ කරපු විදිහ මතක් වුණ හන්දා. ඒත් ඒ හැඟීම් මොන්වත්ම එලියට එන්න ඉඩ නොදෙන්න දැන් ආන්යට ශක්තිය තිබුණා.
"මේ ශර්මිලාට අපි ගත්තු නෙක්ලස් එක. ලස්සනද? අපි එහෙම දෙන්න නම් ඕන නෑ, ඒත් මට හිතුණා දෙන්න ඕන කියලා" එක වෙලාවක අභීගේ අම්මා ආන්යව ඇගේ කාමරේට එක්ක ගිහින් හෙට ශර්මිලාට දෙන භාණ්ඩ එකින් එක පෙන්නන අතරේ කිව්වේ එක මාලයක් පෙන්නලා.
"හරිම ලස්සනයි" ආන්යා තනි රත්ත්තරන් වලින් නිමවපු ඒ විශාල මාලේ දිහා බලලා කිව්වේ ඇත්තටම නම් නෙවෙයි. ආන්යා කොහොමටත් රත්තරන් බඩු වල ඒ තරම් ආස කරපු කෙනෙක් නෙවෙයි.
"එන්න මේක දාලා බලන්න. එතකොට මට පුලුවන් ඔයාටත් මේ වගේ එකක් හදලා දෙන්න" අභීගේ අම්මා එහෙම කිව්වාම ආන්යා ටිකක් කලබල වුණා.
"අනේ මම දාන්න? අයියෝ එහෙම හරි නෑනෙ අම්මා, ශර්මිලා දාන්නත් කලින්?"
"ඒකට මක් වෙනවද ලම්යා, මේක ෂොප්  එකකට ගියා නම් කී දෙනෙක් දාලා බලයිද. පිස්සු නැතුව මෙන්න මෙහේ එන්න දාලා බලන්න" අභීගේ අම්මා බලෙන්ම වගේ ආන්යව අනික් පැත්ත හරවලා ඇගේ කරට මාලේ බැන්දා.
"කෝ බලන්න?"
ආන්යා හැරෙන අතරේ කාමරේට එබුණේ අභී.
"අම්මා ආන්යව- ආ මේ ඉන්නේ මෙයා මෙතන. ඔය මොකද කරන්නේ?" අභී කාමරේ ඇතුලට නෑවිත් උලුවස්සට බර දීලා හිටගත්තා.
"මේ නෙක්ලස් එක දාලා බැලුවා"
"කෝ බලන්න...වාව් ෆන්ටෑස්ටික්, ලස්සන නෙක් එක" අභී කිව්වේ හිනාවෙමින්.
"අභී..." ඔහුගේ අම්මා විහිලුවට ඔහුට රැව්වේ ආන්යා ලැජ්ජාවෙන් රතු වෙද්දි.
"ඒයි...අන්නා ඉංග වාවේ (ඒයි අයියා මේහේ එන්නකෝ)" හදිසියේම කාමරෙන් පිටතට හිස දැම්ම අභී කෑගැහුවා.
"වාවේ (එන්නකෝ)" අභී ආයෙම හිස වැනුවා.
මොහොතකින් එතන පෙනී උන්නේ ආර්යන්.
"යෙන්න (මොකෝ)"
"ලුක් ඇට් හර්...ෂී ඉස් වෙයරිංග් ශර්මිස් නෙක්ලස්. නයිස් නා? අයෑම් ෂුවර් ශර්මි විල් ලුක් ඩැස්ලිංග් ටූ විත් දිස්"
ආර්යන් තප්පරයක් දෙකක් ආන්යා දිහා බලාගෙන ඉන්න ඇති. ආන්යා බිම බලාගෙන උන්නේ අපහසුවෙන්.
"ඇයි අම්මා මෙච්චර වියදම් කලේ?" ආර්යන් ඊලඟට ඇහුවේ එහෙම.
"මොන වියදමක්ද? මේක මම සතුටින් දෙන දෙයක් නේ" අභීගේ අම්මා කිව්වා.
ආර්යන් උණුසුම් හිනාවක් ඔහුගේ අම්මත පෑවා.
"සෝ හව් ඩස් ෂී ලුක් වෙයරින්ග් ඉට්?" අභී ඇහුවේ දඟකාරකමින් වගේ.
"බියුටිෆුල් ඇස් ඕල්වේස්..." ආර්යන් කිව්වේ එච්චරයි.
ආන්යගේ හිත සීතල වෙලා යන්වා ඈට දැනුනා ඒ වචන වල තිබුණ දයාබරත්වය හන්දා.
අභීගේ අම්මා හිනාවුණා ආන්යගේ හිස අතගාලා.
"යූ ආ ද බෙස්ට් අම්මා..." ආර්යන් අන්තිමට එහෙම කියලා කාමරෙන් යන්න ගියා.
අභීගේ අම්මට ආපහු මාලේ ගලවලා දීලා ආන්යා අභී එක්ක එලියට එන්න ආවා. අභීලගේ නිවස වටා තිබුණ පිළිවෙලකට හදලා තිබුණ ගෙවත්තට.
අභී අත් වාරුවට බර දිදි හෙමින් එද්දි ආන්යට ඔහු ගැන ආයෙම දුකක් උපන්නා. ඈත් ඔහු අනුවම ගමන බාල කරලා ඇවිදගෙන ආවා.
"මෙහේ හරි රස්නෙයි නේද ඔයාට?" අභී ඇහුවේ වත්තේ කොනක තිබුණ කොහොඹ ගහක් යට බංකුවකට බර වෙමින්.
"හ්ම්... ඒක නම් ඇත්ත"
"මේ ගහ යට සීතලයි. ඒකමයි අපේ අප්පු මේක මුලින්ම ගෙදර හදද්දි ගෙනැත් හිටවලා තියෙන්නේ" අභී කීව්වා.
"ඇත්තට?"
ආන්යා එහෙම ඇහුවත් අභී හදිසියේම ලොකු කල්පනාවකට වැටිලයි උන්නේ.
"අභී..."
"ම්ම්"
"අයි මේ නිකම් අමුතු වෙලා. මොකක් හරි ප්‍රශ්ණයක්ද?"
ආන්යා එහෙම ඇහුවාම අභී ඈ දිහා හරිලා බලලා ආයෙම අහක බලාගත්තා.
"ඇයි කියන්නකෝ" ආන්යා නො ඉවසිලිමත් වුණා.
"නෑ...මේ අන්නගේ පොඩි ප්‍රශ්ණයක්" අභී එහෙම කියලා සුසුමක් හෙලුවා.
ආන්යගේ හිත ගිනි වැදුනා. අන්තිම මොහොතේ අභීට මොනවත් ආරංචි වෙලාවත්ද?
"මොකක්ද?" ඈ ඇහුවේ ගැහෙන හිතින්.
"හ්ම්...අන්නා කවදාවත් නැතිව බොන්න පටන් අරන් කියලා මට ආරංචි වුණා" අභී කිව්වේ සුසුමක් හෙලලා.
ආන්යගේ හිත ටිකක් සන්සුන් වුණා.
"බොන්න?"
"හ්ම්. එයා බීලා තිබුණට ඔහොම ඩේලි බිව්වේ නෑ ඉස්සර. අනික වොඩ්කා, විස්කි වගේ ඒවා කොහොමටත් බිව්වේ නෑ. අනේ මන්දා එයාට මොනා වෙලාද කියලා. ඉන්නෙත් හරියට ජීවිතේම එපාවෙලා වගේ. කලකිරිලා වගේ. මං අහන්නේ වෙඩින් එකක් ගන්න ලෑස්ති වෙද්දි මිනිහෙක්ට ඔහොම ඉන්න පුලුවන්ද? අනේ මන්දා මීනු...මට එයා ගැන දුකයි. වෙලාවකට හිතෙනවා අම්මලා එයාගේ කැමැත්තවත් නාහා ශර්මිව බඳින්න කියපු එක හරිද කියලත්. කවුද දන්නේ එයා හිතෙන් හරි ආදරේ කරපු කෙනෙක් හිටියද කියලා"
අභී කිව්වාම ආන්යට මොහොතක් හුස්ම ගන්නත් අමතක වුණා වගේ.
"නෑ...මම නම් හිතන්නෑ. එහෙම නම් එයා ගෙදරට නොකියා ඉඳීවිද? මැරි කරනවා කියන්නේ කොච්චර ලොකු ඩිසිෂන් එකක්ද?"
"එහෙම නම් එයා ඔච්චර බොන්නේ ඇයි කියලද ඔයා හිතන්නේ?" අභී ඇහුවේ උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණයක්.
"සමහරවිට ගොදක් දවස් නාරදලව එහෙම ආශ්‍රය කරපු නිසාද දන්නෑ. එයාලා හරියට බොන අයනේ. එහෙම පුරුදු වුණාද දන්නෑ" ආන්යා කිව්වේ අභීගේ හිත හදන්න මොනා හරි කියන්න ඕන නිසා. ඇත්තම හේතුව මොකක්ද කියලා ඈට කියන්න බැරි නිසා.
"ම්ම්...දැට් ඉස් පොසිබල්. ඒත් ඉතින් දැන් වෙන්න තියෙන දේ වෙලා. අපි කිව්වට අහන්නෑ බොන්න එපා කියලා. අම්මා එහෙම තාම දන්නෙත් නෑ...අනේ මන්දා මීනු...එකක් ඉවරවෙනකොට එකක්. මේ ප්‍රශ්ණ කවදා ඉවර වේවිද මන්දා" අභී කිව්වේ ආයෙම සුසුමක් හෙලන ගමන්.
ආන්යා කිසිවක්ම නොකියා සුලඟට සැලෙන ගහ කොල දිහා හැඟීමකින් තොරව බලාගෙන උන්නා.
"හැබැයි ඉතින් මම වුණත් හොඳ බෙබේ කෙනෙක් වෙන්න ඉඩ තිබුණා" හදිසියේම අභී එහෙම කිව්වේ ලා හිනාවකුත් මුවේ රඳවගෙන.
"ඇයි?"
"ඔයා අකමැති වුණා නම් එහෙම"
"පිස්සු...බොන එක මහ ලොකු කෙරුවාවක්යැ?"
"මොකක්? කෙරුවාව?"
"මහ වැඩක්යැ? බිව්වාම ඉතින් ප්‍රශ්ණ විසඳෙනවා නම් මොනා කරන්න බැරිද. එහෙනම් මාත් බොනවා. බොන්නේ මෝඩ අය" ආන්යා කිව්වා.
"බොන්නේ අමතක කරන්න මිස විසඳන්න නෙවෙයිනේ" අභී කිව්වා.
"අමතක වෙනවද එතකොට? ඒ වෙලාවට විතරනේ?"
අභී හයියෙන්ම හිනාවෙන්න ගත්තා.
"හප්පෝ මෙයාට ඩෝං ගිය තරම? මම බොන්නෑ ළමයෝ, ඉඳ හිට පාටියකදි ඇරෙන්න. ඔයාට බැරිද අපේ අන්නට ඔහොම බනින්න? එතකොටවත් හැදෙයිද බලන්න"
ආන්යා අභීට රවලා අහකබලාගත්තා.
"විකාර නොකියා ඉන්න අභී..."
"හරි හරි දැන් තරහා අයින් කරලා හිනාවෙන්නකෝ. අපි ඒ ප්‍රශ්ණේ දැනත පැත්තකින් තියමු" අභී කිව්වා.
ආන්යා අභී දිහා බලලා හිනාවක් පෑවා.
"යූ ආ ද බෙස්ට් තිංග් දැට් එවර් හැපන්ඩ් ටු මී මීනු...අයෑම් සෝ හැපි වෙන් අයෑම් විත් යූ..." අන්තිමට අභී කිව්වේ බංකුව මත තිබුණ ආන්යගේ අත උඩින් මුදුවට අතක් තියලා.
රෑ වෙනකලුත් ගෙදර වැඩ ඉවරවෙන පාටක් තිබුණේ නෑ. ආවගිය නෑයින්ගේ කෙලවරකුත් නෑ. අභීගේ අම්මා එක්ක එන එන නෑයන්ට හිනාවෙලාම ආන්යගේ කට දෙපැත්තත් රෑ වෙද්දි රිදෙන්න ගත්තා. මොකද බොරුවට හිනාවෙන එක ඇත්තටම හිනාවෙනවට වඩා අමාරු හන්දා.
"දැන් අනුලා මැඩම්ට මීනුව නැතුවම බෑ වගේනෙ" රෑ කෑම කන අතරේ එහෙම කිව්වේ තාත්තා.
ආන්යා ඇතුලුව එතන උන්නු සේරම අය හිනාවුණා.
"ම්ම්...ඒක නම් ඇත්ත තමා අන්කල්. කොයි වෙලේ බැලුවත් මෙයා අම්මා එක්ක" කෑම කමින් ආන්යා ලඟම ඉඳගෙන උන්නු අභී කිව්වා.
"අනේ වාසනාවන්..." උඩ බලාගෙන එහෙම කිව්වේ අනුහස්.
"මාත් ආවට කමක් නැද්ද?" එහෙම අහගෙන මේ වෙලාවේ එතනට ආවේ ආර්යන්.
"අනේ කමක් නෑ එන්න එන්න" අනුහස් කිව්වා.
"මනමාල මහත්තයාට වැඩ ගොඩයි වගේ?" එහෙම කිව්වේ ආන්යා අසලම අනික් පැත්තේ උන්නු ඇගේ අම්මා.
ආර්යන් හිනාවුණේ ආන්යා දිහාත් බලන ගමන්.
"එච්චරම නෑ ආන්ටි. කට්ටිය ඉන්නවනේ සෑහෙන්න වැඩ වලට. හෙට තාත්තා ආවාම තවත් මට වැඩ අඩු වෙනවා"
"බැන්දාම වැඩ වැඩි වෙයි ඒ වුණාට. ගෙදර දාන සෙල්ලම් දාන්න බෑනෙ" අනුහස් කිවොත් ඉතින් ඔහොම එකක්ම තමා. හැමෝම හිනාවුණා ඒ කතාවට.
"ඔව් ඔව්. ශර්මි එක්ක ලේසි වෙන්නෑ. මොකෝ එයා ගෙදර වැඩ කරලා පුරුදු කෙනෙක්යැ. ඔයාටම තමා තේ හදන්නත් වෙන්නේ" අභීත් කිව්වා.
ආර්යන් මොනවත්ම නොකියා හිනාවෙමින්ම බත් කන්න වුණා.
"ඔයාටත් එමම තමා...මෙයා දන්නෙත් නෑ ඕවා" අනුහස් ඊලඟට අල්ලගත්තේ ආන්යව බයිට් කරන්න.
"අනේ නිකම් ඉන්න අනූ...මගේ කෙල්ලට ඕන දෙයක් පුලුවන්. නේද පුතේ?" එහෙම ඇහුවේ අම්මා.
ආන්යා මුකුත් නොකියා අනුහස්ට ඇද කලා.
"තේ නම් ඉතින් හදලා දෙන්න බරියැ" අභී කිව්වා.
"අභී මෙයා හදන තේ බිව්වොත් තේත් එපා, තෝත් එපා කියයි" අනුහස්ට කට පියාගෙන ඉන්නම බෑ.
ඒකතාවට තාත්තටයි, අභීටයි දෙන්නතම පිට උගුරේ ගියා. ආර්යනටත් හිනා. හිනාවෙන අතරේ ආන්ය නිකමට ඔහු දිහාත් බැලුණා. ආර්යන් ඈ වෙතින් ඇස් ඉවත් කරගත්තේ හරියට වරදක් කලා වගේ. ආන්යා ආයෙම හිත තද කරගත්තා.
රෑ වෙලා අභීට සමු දීලා ආන්යා තමන්ගේ කාමරේ තියෙන උඩ තට්ටුවට යන්න පඩිපෙල නගිද්දි, ගෙදර සේවකයෝ ඒ වටේට මල් ඔතමින් පඩි සරසන්න පටන් අරන් තිබුණා. ආන්යා ඒ මල් වැල් දිහා බලමින් හෙමිහිට හෙමිහිට පඩි නැග්ගා. ඇගේ අම්මා නම් කලින්ම හිස කකියනවා කියලා කාමරේට ගිහිනුයි උන්නේ. අන්තිම පඩි දෙක නගිද්දියි ආන්යා දැක්කේ පඩිපෙල මුදුනේ තමන් එන දිහා බලාගෙන නැවතිලා උන්නු කෙනාව. ආර්යන් ඈ දිහාම බලාගෙන උන්නු නිසා, ආන්යට දැනුනේ අපහසුවක්. ඈ ඔහුව මගාරින්න පඩිපෙලේ මැදින් උඩට නගින්න ආවා.
"ආන්යා..." පඩිපෙල මුදුනෙදි ආර්යන් ඈට කතා කලා.
ඈ ඔහු දිහා බලුවේ ඇස් කොනකින්, ගැහෙන හිතින්.
"මට ඔයා එක්ක අවසාන වතාව ටිකක් කතා කරන්න පුලුවන්ද?" ඔහු ඇහුවේ ඈ අසලට ඇවිත්.
"මං...එක්ක? මොනාද?"
"පුලුවන්ද බැරිද කියන්න...ආයෙම කවදාවත් මට මං විදිහට ඔයාට කතා කරන්න බැරි වෙයි හෙටින් පස්සේ"
"අපට මොනාද තව කතා කරන්න තියෙන්නේ?" ආන්යා අහුවේ රහසින් වගේ වටපිට බලමින්.
"ඒ කියන්නේ බෑ කියලද?"
ආර්යන් එහෙම ඇහුවාම ආන්යගේ හිත විසිරුණා. ඈ බිම බලාගෙන උන්න මොහොතක්.
"ප්ලීස් ආන්යා...දිස් ඉස් ඉම්පෝටන්ට්"
ආන්යා සුසුමක් හෙලලා ඔහු දිහා හිස හරවලා බැලුවා. 
"එන්න" ඇගේ හිත තේරුම් ගත්තා වගේ ආර්යන් කිව්වා. ආන්යා ඔහුව අනුගමනය කලේ මොනවත්ම හිතාගන්න බැරිව.


5 comments:

  1. කතාව දැන්ම ඉවර කරන්න නම් එපා....ආර්යන් හරි නරකයි..මම කැමති නෑ දැන් එයාට..අභී පවු එයාට අන්‍යාව නැති උනොත්...ඒත් අපි මොනවා කරන්නද අක්කි අතේ තමයි ඔන්න වැඩේ තියෙන්නේ...

    ReplyDelete
  2. මම නම් තාමත් කැමති ආර්යන්ට..ඇත්තටම නෙතු හැමදාම උදේට මම මුලින්ම කියවන පෝස්ට් එක දාන්නෙ ඔයා..ඒ තරම්ම මේ කතාවට මම ආසයි..

    ReplyDelete
    Replies
    1. මට ආර්යන් ගැන මොකක්දෝ තරහක් තියෙනවා අනේ...අභී පව් අහිංසක කොල්ල..හේහේ...

      Delete
  3. :) :) thanks අමා & සිත්‍ රූ: කාට දෙන්නද කියලා හිතාගන්න බැරිව මාත් මේ ඉන්නේ...තුන් දෙනාම පව් නේ. බලමු බලමු ...

    ReplyDelete
  4. aryan anyawe ekkaragene me katha karanne yane de nam echara agete gune deyak wenne ba :\

    ReplyDelete