Saturday, June 23, 2012

හැට දෙවන කොටස

හැමදාම වගේ රාමනාදන් නේවාසිකාගාරේ කැන්ටිම උදේ කෑම ගන්න ආපු ළමයින්ගෙන් පිරිලා තිබුණා. අනික් තුන් දෙනාටත් එක්ක කෑම ගන්න හිතාගෙන අද පෝලිමේ උන්නේ ආන්යයි, පාරමීයි. පෝලිමේ මැද හරියක උන්නු මේ දෙන්නා කෑම අරන් එනකල් අනික් තුන් දෙනා කැන්ටිමේ පැත්තකට වෙලා බලාගෙන උන්නා. මේ අතරේ හදිසියේම ආන්යගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා. පෝලිමේ තිබුණ තදබදේ හන්ද ආන්යා කවුද කියලාවත් නොබලා ෆෝන් එකට උත්තර දුන්නා.
"මීනු..." ඒ හඬ ඇවිත් ආන්යගේ සවනේ හැපුනම ඈ එක පාරටම ගල් ගැහුණා වගේ. ඒත් හද ගැස්ම වැඩි වුණා.
"අභී..." ආන්යා කතා කලේ ගැහෙන හිතින්. ඈ දිහා බලාගෙන උන්නු පාරමී ඇස් උස්සලා ඉඟි කලා.
'ඔයා එන්න කෑම ගන්න ප්ලීස්' රශ්මිට තොල් වලින් කියපු ආන්යා ෆෝන් එකත් කනේ තියාගෙනම එලියට ආවා.
"අභී...ම්...කොහොමද?" අහන්න වෙන දෙයක් මතක් නොවුනු පාර ආන්යා එහෙම ඇහුවා.
"හොඳයි, ඔයාට?"
"වරදක් නෑ ඉන්නවා"
"ම්...කොහෙද කැම්පස්ද ඉන්නේ?"
"ඔව්, මේ ලෙක්චර්ස් යන්න ලෑස්ති වෙන ගමන්" ආන්යා එහෙම උත්තර දුන්නේ මේ තරම් සාමාන්‍ය විදියට කතා කරන්න තරම් තමන් දෙන්නා කොයි තරම් දුර වෙලාද කියන එක ගැන පුදුම වෙමින්.
"අනේ සොරි මම ඔයාට ඩිස්ටර්බ් කලාද මන්දා" අභී කිව්වා.
"නෑ, නෑ, තව වෙලා තියෙනවා යන්න. අ..ම්..ඔයා කතා කලේ?"
ආන්යා එහෙම ඇහුවාම අභී ඒකට උත්තර දෙන්න ටිකක් වෙලා ගත්තා.
"කතා කලේ, මම...යනව කියන්න" ඔහු කිව්වාම ආන්යගේ හිත සැලුනා.
"යනවා? කොහෙද?"
"මම ආපහු යූකේ යන්වා මීනු. එහේ මට ජොබ් ඔෆර් එකක් හම්බවුනා. අපේ අප්පාගේ යාලුවෙක්ගේ ටී කම්පනි එකකමයි. ඔෆර් එක ඇවිත් නම් ටික දවසක්, මම...ඊයේ තම ඩිසයිඩ් කලේ යනවා කියලා" අභී කිව්වා.
"කොච්චර කාලෙකටද?" ආන්යා ඇහුවේ හිතේ හීනියට දුකක් පැතිරෙද්දි.
අභී හිනාවුණ වග ආන්යට තේරුණා.
"සමහරවිට හැමදාටම. එහෙම නූනත් තව හුඟ කාලෙකට මම ආපහු එන එකක් නෑ" අභී එහෙම කිව්වාම ආන්යා ගොලු වුණේ මොනවා කියන්නද කියලා හිතගන්න බැරිව.
"ඒ ඇයි කියලා අහන්න එපා මීනු. මට ඔයාට බොරු කියන්න බෑ. මට හිත හදාගන්න වෙන ක්‍රමයක් නෑ.මම ඔයාගෙන දෙයක්ක අහන්නද ඔයා තරහා වෙන්නැත්තම්?" අභී හිටපු ගමන් එහෙම ඇහුවා.
"මොකක්ද?" ආන්යා කතා කලේ අපහසුවෙන්.
"ඔයා මේ හැමදේම අමතක කරලා, කවදාහරි මගේ අන්නා එක්ක එකතු වෙනවා නේද?" අභී ඇහුවේ එහෙම.
"ඇයි ඕවා මගෙන් අහන්නේ?" ආන්යා ඇහුවේ රිදුම් දෙන හිතින්.
"ටු මේක් ෂුවර් දැට් මයි සෆරිංග්ස් අර් නොට් ඉන්වේන්...මමත් මගේ අන්නට ගොඩක් ආදරෙයි මීනු. ආයෙමත් මං හන්දා එයාට දුකක් වෙනවා මට බලන්න ඹෑ. එයා ගොඩක් දෙවල් විඳගෙන හිටියේ මට ආදරේ හන්දා, ඒ වගේම ඔයාට ගොඩක් ආදරේ හන්දා, අහන්න මීනු...මං ඒක දැන් දන්නවා. ඔයා කවදාවත් බයක් හිතන්න එපා. මම ආයෙම කවදාවත් ඔය දෙන්නා අතරට එන්නේ නෑ. වෙච්ච දේවල් අමතක කරලා හිත හදාගන්න පුලුවන් වෙනකල් මං ඔය දෙන්න ඉස්සරහටවත් එන්නෑ මීනු. අයි ප්‍රොමිස් දැට්" අභී කියවගෙන ගියා.
අහගෙන ඉන්නවා ඇරෙන්න ආන්යට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ.
"ඔයා අහගෙනද ඉන්නේ මීනු?"
"හ්ම්"
"මොනවත් නොකියන්නේ ඇයි?"
"මොනා කියන්නද?"
"ඔයා අන්නට ආදරෙන්, එයාට දුකක් නොදී ඉන්නවා නේද කියන්න?"
"ප්ලීස් අභී...අපි ඔය කතාව නවත්තමු. මට දැන්ම ඔය මොනවත්ම හිතන්න බෑ. මට තව කල් ඕන..." ආන්යා කිව්වේ ඇඬුම්බරව වගේ.
"අයෑම් සොරි මීනු, දැනුත්, කලිනුත් වෙච්ච සේරම හිත් රිදීම් වලට මට සමාව දෙන්න. හිත රිද්දන්න හිතාගෙන ලං වුණා නෙවෙයි.(ඔහු සුසුමක් හෙලුවා) ඒත් දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ"
ආන්යා හුස්මක් උඩට ගත්තා. ඇගේ යෙහෙලියෝ ඇවිත් ඈ එනකල් පැත්තක බලාගෙන උන්නා.
"අභී...මම දැන් යන්න ඕන" ආන්යා ක්ලිව්වා.
"හොඳයි මීනු"
"අහන්න බැරි වුණා, කවද්ද ෆ්ලයිට් එක?"
"අනිද්දා රෑ..."
ආන්යා ආයෙම සුසුමක් හෙලුවා.
"පරිස්සමින් ගිහින් පරිස්සමින් ඉන්න එහෙනම් අභී. කරන හැමදේම හරියන්න කියලා මං විෂ් කරනවා" ආන්යා කිව්වා.
"තෑන්ක් යූ මීනු. ඔයත් පරිස්සමෙන් ඉන්න. වෙච්ච දේවල් නරක හීනයක් කියලා හිතලා අමතක කරලා දන්න. හැමදේම හරියයි විත් ටයිම්. අන්නා ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි, එයා ඔයාගේ හිත හදාගන්න උදව් කරයි"
'ඔයා ආදරේ නැද්ද?' කියලා සිතිවිල්ලක් අනායාසයෙන්ම ආන්යගේ හිතට ආවත් ඈ ඒක ක්ෂණයකින් යටපත් කරගත්තා.
"අයෑම් ගෝන මිස් යූ ප්‍රින්-ඔහ් අයෑම් සොරි, මීනු" අභී ගේ හඬ තිබ්බේ දුර්වල වෙලා, ගැහෙමින් වගේ.
ආන්යගේ දෑස් කඳුලු පටලයකින් වැහුණා.
"මම තියන්වා අභී...ගුඩ් බායි"
"ගුඩ් බායි ප්‍රින්සස්"
ආන්යා ෆෝන් එක කට් කරලා ඇඬුම නවතගත්තේ අමාරුවෙන්. ඈ ඇස් දෙක කරකවලා, ඉක්මණින් ඇසිපිය ගැසුවේ කඳුලු පිට පනීවි කියලයි. ඊට පස්සේ තමන් දිහා පුදුමෙන් වගේ බලාගෙන උන්නු යෙහෙලියන්ට ඈ එකතු වුනා.
"අපි යමු"
ඊට පස්සේ ආයෙම ආන්යට නොකියම අභී ලංකාවෙන් යන්න ගිහින් තිබුණා. ආන්යට එදා ඔහුව මතක් නූනා නෙවෙයි. හිතේ මොකක්දෝ කියාගන්න බැරි දුකක් පෙරලි කරමින් තිබුණත් ඈ ඒක ගැන නොහිතා ඉන්න උත්සාහ කලා. ඒත් අභී ආයෙම හිතේ ඉස්මතු වුනේ කාලෙකට කලින් ඔහු එවපු එස්.එම්.එස්. එකක් අහම්බෙන් වගේ ආන්යගේ නෙත ගැටුණාමයි.
'හිමගිර මට වැලි අහුරකි, මහ සමුදුර දිය රැල්ලකි- කඩු තුඩු මත සැතපෙන්නෙමි, ඔබ සැනසේනම්...'
ආන්යා ඒ එස්.එම්.එස්. එක දිහා බලාගෙන මොහොතක් උන්නා. අභී දැන් කරන්න හදන්නෙත් ඒ ගීතයේ කියවෙනවා වගේ දෙයක්දෝ කියලත් ඈට හිතුණා. එහෙමම ආයෙම ඇදේ වාඩි වුණ ඇය ඇස් දෙක පියාගෙන ඒක මකලා දැම්මේ කඳුලු වලින් ආයෙම ඇස් උණුසුම් වෙද්දි.


මම රෑ මැද ආන්යාගේ නිදි දැහැන බිඳුනේ ඇගේ ෆෝන් එක නාද වුණ හඬට. ඈ නිදිමතේම ඒකට උත්තර දුන්නා.
"ආන්යා..." එහා පැත්තෙන් කතා කලේ ආර්යන්. ඒ පාර ආන්යා  හොඳටම ඇහැරුණා.
"ඔයා නිදිද?" ආර්යන් ඇහුවා.
"නිදාගෙන තමා හිටියේ ඒත් දැන් ඉන්නේ ඇහැරිලා...ඇයි මේ රෑ?" ආන්යා ඇහුවේ හෙමිහිට දොර ඇරගෙන කාමරෙන් එලියට එන ගමන්.
"මට ඔයා බලන්න ඕන" ආර්යන් කිව්වේ පොඩි එකෙක් වගේ.
"දැන්?"
"දැන් නෙවෙයි...මම හෙට එන්නද?"
"හෙට? හෙට මට ලෙක්චර්ස් නේ"
"කීයටද ඉවර වෙන්නේ?"
"ම්ම්...ඉන්න බලන්න...හෙට බ්‍රහස්පතින්දා...ම්ම්...හතරට විතර තමා"
"හරි, ඒ වෙලාවට මං ඇවිත් ඉන්නම්"
"ඒත්...ඇයි හදිසියේ?"
"මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනව"
"මොනවද?" ආන්යා ඇහුවා.
"හෙට ඇවිත්ම කියන්නම්" ආර්යන් කිව්වා.
"ම්..හ්ම්" ආන්යා ඇස් දෙක මිරිකමින් වෙලාව බැලුවා ෆෝන් එකේ.
"දෙයියනේ...රෑ දෙකයි වෙලාව. ඔයා කොහෙද ඉන්නේ? නිදාගන්නැද්ද?" ආන්යා ඇහුවා.
"නින්ද යන්නෑ ආන්යා"
ඒ පාර ආන්යගේ හිතට ආවේ වෙනම සිතිවිල්ලක්.
"ඔයා...ඇහැරගෙන බොනවා නේද? මට ඇත්ත කියන්න" ආන්යා ඇහුවේ චෝදනාත්මකව.
"නෑ...නෑ.."
"ඔයා කියන්නේ බොරු..."
"ඇත්තමයි"
"නෑ...මට ඔයාගේ කටහඬින් තේරෙනවා..."
"නෑ ආන්යා. සත්තමයි. එදා ඔයා මට බැනපු දා ඉඳන් මම ආයෙ බිව්වේ නෑ...ට්‍රස්ට් මී..." ආර්යන් එහෙම කිව්වාම ආන්යා මදක් නිවුනා.
"එහෙමනම් කමක් නෑ"
"අපෝ තියෙන ගනකම...හරි අමාරුයි දෙයක් කන්වින්ස් කරන්න" ආර්යන් කිව්වා.
"එහෙම නැතුව බෑනෙ" ආන්යා එහෙම කිව්වම ආර්යන් හිනා වුණා.
"හරි හරි, මං හෙට එන්නම්. එද්දි මොනාද ඔයාට ගේන්න ඕන?"
"මට? මට මොනවත් එපා..." ආන්යා හිනා වුණා.
"ම්...හරි, මම හිතලා දෙයක් ගේන්නම්කෝ"
"මට මොනවත් ඕන නෑ, දැන් නිදියන්නයි ඕන" ආන්යා එහෙම කිව්වාම ආර්යන්ට හිනාවක් ගියා.
"හරි හරි...එහෙනම් නිදියන්න. මාත් නිදියන්න යනවා"
"හරි...ස්ලීප් ටයිට්" ආන්යා කිව්වේ ඈනුමක් අරින ගමන්.
"යූ ටූ"
ආන්යා කකුල් අද්ද අද්ද ඇඳට යන ගමන් කල්පනා කලේ හෙට ආර්යන් ඇවිත් මොනවා කියාවිද කියලයි.


"මොකද අනේ අද මේ මෙයාට වෙලා තියෙන්නේ? ආපු වෙලේ ඉඳන් වොච් එක දිහා බලාගෙන" ආන්යා දිහා බලාගෙන උන්නු පාරමී ඇහුවා.
"අද අරයා එනවලුනේ" රශ්මි එහෙම කිව්වේ ඇදලා පැදලා.
"කවුද ආර්යන්?" බෑග් එක අදිමින් මොනවදෝ හොයමින් උන්නු සම්මානි වැඩේ නවත්තලා එහෙම ඇහුවේ හිනාවකුත් එක්ක.
"නැතුව නැතුව"
"ඒ කියන්නේ දැන් වැඩේ හරි ඈ?" සම්මානි ඇහුවා.
"අනේ මොනවද අනේ මේ කියන්නේ? මොනවත් හරි නෑ. එයා එන්නේ කතා කරන්න විතරයි" ආන්යා කෙඳිරි ගෑවා.
"කතාවෙන් කතාවෙන් වැඩේ නිකම්ම හරියයි" රශ්මි කිව්වාම ආන්යා ඈට ගස්සලා බිම බලාගත්තා.
"අනේ මන්දා, මට නම් තේරෙන්නෑ ඔයා මොනා කරන්න යන්වද කියලා අන්යා. ඔයාමයි කියන්නේ එයාට ලං වෙන්න හිත හදාගන්න බෑ කියලා. ඔයාමයි ආයෙම එයාට ලං වෙන්න ඉඩ දෙන්නෙත්" එහෙම කිව්වේ හිනාවකින් තොරව උන්නු අංජලී.
"මට එයාට ලං වෙන්න බැරි මම එයාට අකමැති හන්දා නෙවෙයි අංජු. ඒක ඔයා දන්නවනේ..." අංජලීගේ කතාවට හිත පෑරුණ ආන්යා කිව්වා.
"දැන් එහෙනම් මොකද කරන්න හදන්නේ?" එහෙම ඇහුවේ පාරමී.
"මොනවත් නෑ. එන විදියකට මූණ දෙනවා. අපට අපිව අයිති වෙන්න ඕන නම් කොහොමහරි ඒක සිද්ධ වෙයි...ඒ මොනා වුණත් එන ඕනම දේකට මූණ දෙන්න මම හිත හදාගෙන ඉන්නේ" ආන්යා කිව්වේ ස්ථිර හඬින්.
ඊට පස්සේ ඇගේ යෙහෙලියෝ ඈට මොනවත් කියන්න ගියේ නෑ.
"අන්න සර් ආවා..."


හවස හතරයි කාල වෙද්දි ආන්යා උන්නේ ආර්යන් එක්ක ඔහුගේ  ජීප් එක ඇතුලේ. ඈ එනකල් ඔහු ගේට්ටුව ඉස්සරහ ජීප් එක නවත්තගෙන උන්නා.
"අද ඔයා හරි ලස්සනයි නේ" ආන්යා නැගපු ගමන් ඈ දිහා බලලා ආර්යන් කිව්වේ එහෙම.
සුදු පාට බෝරිච්චි අත් දාපු බ්ලවුස් එකයි, රෝස පාට පුංචි මල් වැටුණ දිග රැලි සායයි ආන්යා කවදත් ආස කරපු ඇඳුම් දෙකක්. ආර්යන්ගේ කතාවට ඈ රතු වුණා.
"අපි කොහෙද යන්නේ?" දේශණ ඉවර වෙලා යන ළමයින්ගෙන් පිරුණ පාර දිහා බලපු ආන්යා ඇහුවා.
"කොහාටද යන ඕන?"
"අනේ මන්දා...ඔයා කියන්න. ඒක තීරණය වෙන්නේ ඔයාගේ කතාව මොනවගේ එකක්ද, කොච්චර දිගද කියන එක මත නේ" ආන්යා කිව්වා.
"අද හොස්ටල් ආපහු එන්නම ඕනද?" ආර්යන් එහෙම ඇහුවාම නම් ආන්යගේ ඇස් ලොකු වුණා.
"ඈ? නැත්තම්? ඔයා...කොහේ යන්නද මේ එන්න කියන්නේ?" ඈ ඇහුවේ බයෙන් වගේ.
ආර්යන් ඈව දැකපු ගමන් ඔහුට ලොකු හිනාවක් ගියා.
"කොහේ වුණත් දැන් එන්න එපැයි ජීප් එකට නැග්ගා නම්" ඔහු කිව්වා.
"අනේ ආර්යන් අයියා, විහිලු කරන්න එපා. මට නම් බෑ කොහේවත් යන්න එන්න"
"මං බලෙන්නේ අරන් යන්නේ" ඔහු කිව්වේ හිනාවෙන්මයි.
"මට බහින්න ඕන" අපහසුතාවයට පත් වෙලා උන්නු ආන්යා කිව්වේ දොර ඇරගන්න උත්සාහ කරන ගමන්.
"හරි හරි...අයියෝ, මෙයාට විහිලුවක්වත් තේරෙන්නේ නෑනෙ. මම ඔයාව එක්ක යන්න හදන්නේ ඔයා කැමතිම දිහාකට..."
"කොහෙද?" ආන්යා ඇහුවේ සැකෙන්.
"මාව ඔයාට විශ්වාස නැද්ද?" ආර්යන් ඇහුවේ දයාබරව.
ආන්යා ඒ පාර නිෂ්ශබ්ද වුණා. ඒත් ඇගේ දෑස් වල තිබුනේ මොකක්දෝ බයක් වග ආර්යන්ට තේරෙන්න ඇති.
ඒත් ඔහු  මොනවත් නොකියා වහනේ පණගන්වලා ඉස්සරහට ඇදුනා. ගලහා හන්දියෙන් පේරාදෙණිය පැත්තට හරවද්දි යන්නේ කොහෙද කියලා ආන්යට හිතාගන්න බැරි වුණා.
"කොහෙද මේ යන්නේ කියන්නකෝ" ආන්යා කිව්වා.
ආර්යන් යන්තම් ඈ දිහා බලලා ඉංජිනේරු පීඨේ පහුවුණ ගමන්ම වගේ වාහනේ පැත්තකට කරලා නැවැත්තුවා.
"හරි, මට කියන්න මේ රටේ ඔයා යන ආසම තැන මොකක්ද කියලා" ආර්යන් මොනා අහනවද කියලා ආන්යට තේරුණේ නෑ.
"ගෙදර" ආන්යා කටට ආවට කිව්වා.
"අන්න ඒකනේ. ඉතින් මේ පාරට හැරෙව්වම ඔයාට හිතුණේ නැද්ද අපි යන්නේ එහේ කියලා?" ආර්යන් ඇහුවම ආන්යා ඔහු දිහා බැලුවේ කටත් ඇරගෙන.
"අපි යන්නේ ගෙදරද?"
"ඒකනේ මම ඇහුවේ හොස්ටල් එන්නම ඕනද කියලා?" ආර්යන් එහෙම කියලා හිනාවුණා.
ඒ පාර ආන්යටත් හිනාවක් ගියා.
"ඔයා නම් අනේ මන්දා...මම බයත් වුණා"
"අයි මම ඔයාව වෙන කොහේ හරි අරගෙන යයි කියලද?"
"කියන්න බෑනෙ" ආන්යා කිව්වේ අනික් පැත්ත හැරිලා.
ආර්යන් ආයෙම වාහනේ පණ්ගැන්නුවා.
"අරන් නම් යනවා තමයි, ඒත් අද නෙවෙයි" ඔහු ආන්යා දිහා නොබලම කිව්වා.
ආන්යා ඒක නෑහුණා වගේ අහක බලාගෙන හිටියා. ටිකක් දුර කතාවකින් තොරව ගමන ඇදුනා.
"ඔයා ගොඩක් දේවල් කියන්න තියෙනවා කිව්වා නේද?" ඒ නිහඬ බව බින්දේ ආන්යා.
"හ්ම්...මම මේ කල්පනා කර කර ආවෙත් කොහෙන් පටන් ගන්නද කියලා" ආර්යන් කිව්වා.
"ඇයි එච්චරටම පැටලිලාද?"
ආර්යන් මන්දහාසයක් පාලා තව මොහොතක් නිහඬවම උන්නා.
"අභී ආපහු යූකේ ගියා ආන්යා" ආර්යන් කිව්වේ දුකෙන් වගේ කියලා ආන්යට හිතුණා.
"ම්...මං දන්නවා. අභී යන්න කලින් මට කතා කලා" ආන්යා කිව්වේ ඉස්සරහ බලාගෙන. ගමන යන්න පටන් ගනිද්දි තිබුණ සතුට මැකිලා යනවා ඈට දැනුනා.
"කතා කලා? මොනවද කිව්වේ?" ආර්යන් ඇහුවේ කලබලෙන් වගේ.
"විශේෂ දෙයක් කිව්වේ නෑ. යන වග විතරයි කිව්වේ" ආන්යා උත්තර දුන්නා.
"මට අභී ගැන හරි දුකයි ආන්යා. එයා යද්දි මට ගොඩක්ම දුක හිතුණා. මේ හැමදේම වුණේ මම මෝඩයෙක් වගේ කට වහගෙන මගේ හැඟීම් සේරම හංගෙන හිටි නිසාදෝ කියලත් මට හිතුණා" ආර්යන් කිව්වා.
"හැමෝම කරන්නේ තම තමන්ට දොස් පවරගන්න එක විතරයි. එහෙම කලා කියලා වෙච්ච දේවල් වෙනස් වෙන්නෑ. ඒ නිසා ඒ ගැන හිත හිත දුක් වෙලා ඇති වැඩේ මොකක්ද?" ආන්යා කිව්වා.
ඒ පාර ආර්යන් ආන්යා දිහා බැලුවා.
"ඔයාට අභී ගැන දුක නැද්ද?" ආර්යන් එහෙම ඇහුවාම ආන්යගේ හිතේ මොකක්දෝ සීමාවක් ඉක්මගියා වගේ ඇගේ හිතට එක පාරටම ආවේ තරහක්.
"ඔයා මොනාද මේ අහන්නේ? ඇත්තටම ඔය දෙන්නට මොකද වෙලා තියෙන්නේ? අභී කතා කරලා අහනවා මම ඔයාට ආදරේද කියලා...ඔයා අහනවාඅ අභී ගැන මට දුක නැද්ද කියලා...ඇයි මෙහෙම අහ අහ මාව අවුල් කරන්න හදන්නේ? ඔය දෙන්නම හොඬටම දන්නවනේ මම ඉන්නේ මොන තත්වෙකද කියලා. ආර්යන් අයියා ප්ලීස්...ඔයා හිතනවා නම් අභීට ඔයා නිසා වරදක් වුණා කියලා, අපි අපි දෙන්නගේ මේ ආශ්‍රය නවත්තමු...මට මේවා අහලා ඇති වෙලා. ඔය දෙන්නම හිතන්නෑ ඔය ප්‍රශ්ණ අහද්දි මගේ හිත කොච්චර පෑරෙනවද කියලා...මම ආදරේ කාටද කියලා ඔය දෙන්නම දන්නවනේ. ඇයි මෙහෙම කරන්නේ?" ආන්යා අන්තිම ටික කියද්දි ඈ උන්නේ අඬන්න ලං වෙලා.
අනපේක්ෂිතව සිද්ධ වුණ මේ දේ හන්දා පුදුමයටත්, කම්පනටත් පත් වුණ ආර්යන් ආපහු ගෙලිඔය හරියෙදි වාහනේ අයිනක නතර කලා.
"ආන්යා...අයෑම් ටෙරිබ්ලි සොරි...ප්ලීස්...මා දිහා බලන්න. ඔයාගේ හිත රිද්දන්න ඇහුවා නෙවෙයි...(එහෙම කියලා ඔහු තමන්ගේ නලල පිරිමදින්න ගත්තා) මම පොඩ්ඩක් අවුලෙන් හිටියේ අභී ගිය හන්දා. මම දන්නව ඔයාට මේ දේවල් බර වැඩියි කියලා. අනේ ප්ලීස් ආන්යා, ප්ලීස් මට සමාවෙන්න. ප්ලීස්..." ආන්යා දිහාට හැරිලා ආර්යන් ආයාචනා කලා.
"ඔය දෙන්නම හිතන්නේ ඔය දෙන්නා ගැන විතරයි" ආන්යා නිර්දය විදියට කිව්වා.
"ඇයි ඔයා එහෙම කියන්නේ? මට අභී ගැන දුකක් හිතෙන එක වරදක්ද?"
"නෑ...ඒක නෙවෙයි වරද. ඔයාට ඔච්චරම දුක නම් අභීටම මාව තියාගන්න නොකිව්වේ ඇයි? ඇයි අපහු ඔයා මට ලං වෙන්න හදන්නේ? අභී කරන්නෙත් ඒක. එයාට මාව ඕන නම් ඇයි ඔයාට ආදරේ කරන්න කියලා මට කියන්නේ? මම කවුරු කියලා හිතාගෙනද? මං නිකම් පිදුරු බෝනික්කෙක්ද?"
ආර්යන්ගේ මූණ වේදනාවෙන් පිරිලා තිබුණා.
"එහෙම කියන්න එපා ආන්යා. මම ඔයාට කවදාවත් කියන්නෑ ආපහු අභී ගැන හිතන්න කියලා. ඒක අපි තුන් දෙනාටම ආයෙම කරන්න බැරි දෙයක් වග මං දන්නවා. ප්ලීස් මට සමාවෙන්න, මම අභීව මතක් කරලා ඔයගේ හිත රිද්දුවට. මටැ ඕන වුණේ මගේ හිතේ තියෙන දුක කාටහරි කියන්න විතරයි. අපි දෙන්නම ගොඩක් එකටම හිටපු හන්දා, එයා ගිය එක මට ගොඩක් දැනෙනවා. ඒකයි"
"ඉතිං ඇයි ඔයත් නොයන්නේ? මට ඔය දෙන්නව වෙන් කරන්න ඕන නෑ. ඔයා මාව බාධාවක් කරගන්න එපා. එයා ඔයාගේ මල්ලි. මම ඔයාගෙ ජීවිතේට අද ඊයෙක ආපු කෙල්ලෙක් විතර්යි" ආන්යා කිව්වේ ආවේගශීලීව වගේ.
"ආන්යා...මොනාද ඔයා මේ කියන්නේ? මම දැන් එහෙම දෙයක් කිව්වද? ප්ලීස් මාව තේරුම් ගන්නකෝ. ඔයා අපිව වෙන් කලා කියලා මම කිව්වේ නෑ. කවදාවත් කියන්නෙත් නෑ. අපි වෙන් වුණේ අපි දෙන්නටම ඕන නිසයි. ඔයාට තේරෙන්නේ නැද්ද ආන්යා, මම මේ සේරම කරන්නේ ඔයා හන්දා කියලා. ඔයාව මට ඕන හන්දා කියලා. කලින් ප්‍රශ්ණේ වුණ වෙලාවේ මට ඕන නම් ඔය දෙන්නා දෙපැත්තට වුනාවේ, මාත් පැත්තකට වෙනවා කියලා ඉන්න තිබුණ. ඒත් මට එහෙම කරන්නබැරි වුණා. ඇයි ඒ දන්නදවද? මම ඒ මොහොතෙත් ඔයාට ගොඩක් ආදරේ කරපු නිසා...ඔයාව මට ඕන නිසා. මම අභී ගැනවත් ආයෙම නොහිතා ඔයාට ලං වුණේ ඒකයි. ආයෙම මට ඔයාව නැති කරගන්න බෑ හිතුණා. සමහරවිට ඒක අභීගේ පැත්තෙන් මහා නරක වැඩක් වෙන්න ඇති. ඒත් ඒකට තව හේතුවකුත් තිබුණා ආන්යා..."
එහෙම කියද්දි ආන්යා යන්තමට ආර්යන්ගේ මූණ දිහා බැලුවා.
"ඔයා ආදරේ මට කියන එක, මම දැනගෙන හිටපු එක..."
එහෙම කියලා ආර්යන් ඉස්සරහ බලා ගත්තේ ආන්යට හිතන්න ඉඩ දීලා.
ආන්යා තමන්ගේ ආසනේට හේත්තු වෙලා දෑස් පියා ගත්තා. මොහොතක් දෙකක් ඈ එහෙමම ඉන්න ඇති.
"අපි යමු" ඊට පස්සේ ඈ කිව්වේ නිවුණ හඬින්.
"කොහාටද, ආපහුද?"
"ම්හු..ගෙදර" ආන්යා කිව්වේ යටසින් ආර්යන් දිහා බලලා.
ආර්යන් ඈ දිහා මොහොතක් බලා ඉඳලා වාහනේ පණගැන්නුවා.
"අයෑම් සොරි" එහෙම කිව්වේ ආන්යා.
"ඉට්ස් ඕකේ..." ආර්යන් කිව්වා.
ඊලඟට ආයෙම නිහඬ විනාඩි කීපයක් උදා වුණා.


ආර්යන් අඹගමුවේ ලස්සන තැනක තිබුණ පුංචි තේ කඩයක් ලඟ වාහනේ නැවැත්තුවේ ආන්යගෙන් නාහම. එතන තේ බොන්න ආපු වෙන කවුරුවත්ම උන්නේ නෑ. ආන්යයි ආර්යනුයි කඩේ ඇතුලට ගියේ එලියේ වැහි අඳුරක් තිබුණ හන්දයි.
"ඔයා ගෙදරට කෝල් එකක් දීලා කියන්න අද එනවා කියලා. නැත්තම් අම්මලා බයත් වෙයි" තේ ඇනවුම් කරලා උණු රොටී වගයක් පිරික්සමින් ආර්යන් කිව්වා.
"දැන් කිව්වොත් තවත් බය වෙයි, මම ඔයා එක්ක තනියෙම එනවා කියලා දැනගෙන. ඊට හොඳයි ගිහින්ම කියනවා. නැත්තම් අම්මා ඒවා මේවා හිතලා හිතේ අමාරුවකුත් හදාගෙන ඉඳී"
රොටියක් අතට අරගෙන ආර්යන් හිනා වුණා.
"ඒකත් ඇත්ත"
"මෙතන ලස්සනයි, මම මීට කලින් ඇවිත් නෑ, තාත්තා එක්ක යද්දිවත්" ආන්යා කිව්වේ වටපිට බලන ගමන්.
කඩේට ඉස්සරහ පාරෙන් අනික් පැත්තේ පෙනුනේ උස, මීදුමින් වැහුණු කන්දක්. හැමදාම වගේ අදත් ඒ දර්ශණය ආන්යගේ හිතට ගෙනාවේ අමුතු හැඟීමක්.
"ඔයා කොහොමත් කඳු දිහා බලාගෙන ඉන්න ආස, වැස්සේ තෙමෙන්න ආස, තේ වතු අස්සේ දුවන්න ආස කෙනෙක් නේ නේද?" ආර්යන් ඇහුවා.
"ඒත් ඉතින් හැමදාම ඒවා එක්ක ඉන්න මට ලැබෙන එකක් නෑ. කවදහරි මේ සේරගෙන්ම ඈත් වෙලා අපට කොලඹ එන්න වෙනවනේ" ආන්යා කිව්වා.
"ඔයා අකමැති නම් එන්න ඕන නෑනෙ. ඔයාට බැරියැ වත්තෙම රස්සාවක් හොයීගෙන එහේ ඉන්න. මේ රොටි රහයි, කන්න" ආර්යන් රොටි පිඟාන ආන්යට දෙමින් කිව්වා.
"කන්නම්. වත්තේ ඉතින් මං මොනා කරන්නද? දලු කඩන්නයැ? එහෙම නෙවෙයි මම ආස මෙහෙම ඈට ඉඳලා ආපහු ගෙදර යනවා කියලා ඒ පරිසරයට යන්න. අම්මලා හැමෝම එක්ක ඉස්සර වගේ ඉන්න..."
"දලු කඩන්න ඕන නෑ. ඔයාට ඕන නම් මැනේජ්මන්ට් පෝස්ට් එකක් ගන පුලුවන් වෙයි ඔයා ඇග්‍රි කරන හන්දා...මේ මිරිස් මොකක්ද එක නම් සැරයි" ආර්යන් වතුර වීදුරුවක් හොයන ගමන් කිව්වා.
"ඒත් අපි ඉන්න ගෙදර, ඒ පරිසරේ ආයෙම අපට හම්බවෙන එකක් නෑනෙ. අලුත් මැනේජර් ආවම දෙන්න එපැයි"
"ආ...අලුත් මැනේජර්ද? එයා සමහරවිට ඔයාලා එක්ක ෂෙයා කරගෙන ඉන්න කැමති වෙයි"
"ඈ? ෂෙයා කරගෙන ඉන්න? ඒ කියන්නෙ බෝඩිංකාරයෙක් වගේ? පිස්සුද? ඒත් ඒක ඔයා කොහොමද දන්නේ?" ආන්යා ඇහුවා.
"එයා මගේ යාලුවෙක් නිසා" ආර්යන් ඒ පාර අමුතුම හිනාවක් මුවේ නගාගෙන කිව්වා.
"යාලුවෙක්? එහෙමද?"
"ඔව්. හැබැයි ඉතින් පොඩි කන්ඩිෂන් වගයක් තියෙනවා"
"මොනාද?"
"එයාට ඔයාගේ රූම් එක දෙන්න ඕන"
"මගේ රූම් එක? එතකොට මම කොහෙද ඉන්නේ?"
"ඒකෙම තමා" දැන් ආර්යන්ගේ හිනාව වැඩි වෙලා.
"ඒකෙම? ඇයි මැනේජර් ගෑනු කෙනෙක්ද?"
"නෑ, නෑ.පිරිමි කෙනෙක් තමා"
"අනේ ඔයාට පිස්සුද? මොනාද මේ කියන්නේ? ෂික්!" ආන්යා ආර්යන්ට ගස්සලා අහක බලාගත්තා.
"ඉතින් ඇහුවේ නෑනෙ ඒ කවුද කියලා හරියටම"
"කවුද?" ආන්යා ඇහුවේ ආර්යන් දිහාවත් නොබලා.
"මිස්ට ආර්යන් යුව්රාජ්..."
ආර්යන් එහෙම කිව්වාම ආන්යා ඔහු දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"මොනවා?"
"ම්ම්...ඇයි? ෂෙයා කරගන්න බැරිද?"
ආන්යා රතු වෙලා අහක බලාගත්තා. ආර්යන් හිනා වෙන්න ගත්තා.
"බය වෙන්න එපා, මම එහෙම එන්නෑ"
"ඔයා මට කිව්වෙවත් නෑ, අලුත් ජී එම් ඔයා කියලා" ටික වෙලාවකට පස්සේ ආන්යා කිව්වා.
"දැන් කිව්වනේ. මම දන්නෙත් නෑ, ගිය සතියේ අප්පා තමයි කිව්වේ. ඔයාව සප්‍රයිස් කරන්න මට ඕන වුණා"
"ම්ම්...ඒක නම් කලා තමයි" ආන්යා කිව්වේ බොරු අමනාපෙකින්.
හැබැයි ඉතින් ඒකට තව ටිකක් කල් යාවි. මොකද මම තව ස්ටඩි කරන්න ඕන හන්දා. එතකල් ඔයාගෙ තාත්තා ඉන්නවනේ. මම ආවත් ඔයාගේ තාත්තා වගේ වැඩ කරන්න ඉගෙන ගන්න මට සෑහෙන කලක් යාවි" ආර්යන් කිව්වා.
"ඒ කියන්නේ ඔයත් රට යනවද ආයෙම?" ආන්යා ඇහුවා.
මේ වෙලාවේ තේ අරගෙන කඩේ ගෑණුකෙනා ආව නිසා කතාව මදකට නැවතුණා.
"සමහරවිට කියන්න බෑ. ඒත් දැනට නම් එහෙම අදහසක් නෑ. ඇයි ඔයා බය වුණාද මම ඔයාව දාලා යයි කියලා?" ආර්යන් ඇහුවේ ආන්යා දිහාට නැවිලා.
"නෑ...බය වෙන්නේ මොකටද? මෙච්චර කාලයක් හිටියා වගේ මට තව ඉන්න පුලුවන්..."
"ඒ කියන්නේ මං වෙනුවෙන් ඉන්නවා කියන එකද?" ආර්යන් ඇහුවේ ආන්යගේ දෑස් වලටැ එබෙන්න උත්සාහ කරමින්.
"කියන්න බෑ" ආන්යා එහෙම කියලා හිනාවුණා.
"මට ඉන්න බෑනෙ...ඒ නිසා, යන්න හිතක් නෑ" ආර්යන් කිව්වේ ආදරෙන්. ආන්යා මොනවත්ම නොකියා මුනිවත රැක්කා.
ආන්යායි, ආර්යනුයි වත්තට එද්දි රෑ හතටත් ලං වෙලා තිබුණා. ආන්යා නම් උන්නේ ටිකක් විතර බය වෙලා.
"අම්මා මට බනීද දන්නෑ මෙච්චර රෑ වෙලා මොකට ආවද කියලා" වත්තට ඇතුලු වෙද්දි ආන්යා කිව්වා.
"බය වෙන්න එපා මම ගෙදරට ඇරලවනවනේ"
"ඒ වුණාට, මෙහෙම ආවේ ඇය්හි කියලා අහයි නේ"
"එතකොට ඔයාට කියන්න දෙයක්ම නැද්ද?"
"මම කොඵොමද කියන්නේ?" ආන්යා කෙඳිරි ගෑවා.
"එහෙනම් මා එක්ක යමු" ආර්යන් කිව්වේ හිනා වෙවී.
"ඔය ඉතින් ඔයාට නම් විහිලු. මම මේ බයේ ඉද්දි තව විහිලු කරන්නත් එනවා"
"බය වෙන්න එපා අපි යමුකෝ" ආර්යන් කිව්වේ ආන්යගේ ගෙදර පේන මානෙට එද්දි.
හිතුවා වගේම ආමායි, තාත්තයි ආන්යා දැකලා හොඳටම පුදුම වුණා.
"ඇයි ළමයෝ...නිඅක්ංවත් එනවා කියලා කෝල් එකක් දෙන්න තිබ්බා නේද? දැන් රෑ වෙන්නත් ඇවිත්...එන්න ආර්යන් ඉඳගන්න" තාත්තා ඔහුගේ ප්පුදුමය පල කලේ එහෙම.
"නෑ, මිස්ට වීරප්පෑර්ම මමයි කිව්වේ වත්තට එන හන්දා එමු කියලා. හතරහමාරට විතර තමා එන වුණේ. ඒකයි වෙලා ගියේ" ආර්යන් කිව්වේ හිටගෙනමයි.
"ඒ වුණාට මේ දේවල් කරන එක එච්චරම හරි නෑ නේද ආර්යන්? මිනිස්සු දැක්කා නම් මොනා හරි කතාවක් හැදෙන්න පුලුවන් නේ" එහෙම කිව්වේ අම්මා.
"මම දන්නවා මිසිස් වීරප්පෙරුම...ඒත් කතා හැදෙන්න දෙයක් නෑ. අද හෙට නූනත්, ඉස්සරහදි මම කැමතියි ආන්යව මැරි කරන්න. හැමදේම ටිකක් සෙට්ල් වුණාට පස්සේ. වත්තේ අය ඒක දැනගනීවි.  ඒ හන්දා බය වෙන්න එපා"ආර්යන් එහෙම කිව්වාම ආන්යා ඔහු දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
ආන්යගේ අම්මයි, තාත්තයිත් එහෙමයි.
"ආර්යන් හොඳට හිතලා බලලද ඔය තීරණේ ගත්තේ? ඔයා හොඳටම දන්නවනේ වෙච්ච දේවල්" ටික වෙලාවකට පස්සේ ආන්යගේ තාත්තා එහෙම ඇහුවා.
"ඔව්...මම ඒ ගැන හිතුවෙ ආන්යට ආදරේ කරන්න පටන් ගත්තු මුල් කාලෙමයි. දැනුත්, ඉස්සරහටත් ඒක වෙනස් වෙන්නෑ" ආර්යන් කිව්වේ ස්ථිර හඬින්.
"ඒ වුණාට ළමයෝ අර කියමනකුත් තියෙනවනේ, ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියලා. එක පාරක් වෙච්ච දේ මතකනේ" එහෙම කිව්වේ අම්මා.
"මං නිසා ආන්යට කවදාවත් ආයෙම එහෙම දේකට මූණ දෙන මම ඉඩ තියන්නෑ. ඒක මම පොරොන්දු වෙනවා" ආර්යන් කිව්වා.
"කොහොම වුණත් අපි තව හිතන්න ඕන ආර්යන්...සිද්ධ වෙච්ච දේවල් එක්ක හිතලා බලද්දි, අපි මේ දේවල් මීට වඩා ගැඹුරින් හිතන්න ඕන දේවල් කියලා මට හිතෙනවා" අන්තිමට තාත්තා කිව්වේ එහෙම.
"ආන්යා මොකද කියන්නේ?" ඊට පස්සේ තාත්තා ආන්යගෙන් එහෙම ඇහුවේ, ගහෙන් ගෙඩි එන්නා වගේ.
"අකමැති නම් ඉතින් මෙහෙම ඒවියැ?" ඒකට උත්තරේ දුන්නේ අම්මා. තාත්තා ආන්යා දිහාම බලාගෙන උන්නා.
"අම්මා කියන එක ඇත්ත තාත්තා. ඒත් බඳින එකක් ගැන නම් මට දැණ්ම හිතන්න බෑ" ආන්යා කිව්වේ ආර්යන් දිහාත් බලලා.
"ඔයාට විශ්වාසද එක පාරක් වුණ දේ ආයෙම නොවෙයි කියලා. අනික මේ අභීගේ අයියා...ඒක මතකයි නේද ඔයාට?" අම්මා ඇහුවා.
"මට ආර්යන් අයියව විශ්වාසයි අම්මා" ආන්යා කිව්වා.
ඒක අහපු ආර්යන් ඈ දිහා බැලුවේ ගොඩක් හැඟීම්බරව.
"කවදාවත්, කවමදාවත් ඒ විශ්වාසේ මම කඩන්නෑ ආන්යා...මගේ ජීවිතේ පල්ල" ඔහු කිව්වා.
මෙච්චර වෙලා ඉස්තෝප්පුවේ හිටගෙන උන්නු තාත්තා අන්තිමේදි ගෙට ඇතුලු වුණේ ආයෙම වැස්ස පටන් ගන්න අර අඳින වග දැක්කාමයි.
"අපි හෙමිහිට ඔය ගැන හිතලා බලන්නම් ආර්යන්. ආන්යා දැන් ගෙට ගිහින් ඇඳුම් මාරු කර ගෙන එන්න කන්න. අපි ඕක පස්සේ කතා කරමු. ආර්යන් එන්න කෑම ටිකක් කාලම යන්න" තාත්තා අවසානෙදි එහෙම කිව්වා.
ආන්යා ඔහුට කීකරු වෙලා ගෙට ගියේ පස්සෙන් ආපු අම්මා එක්කමයි.
"කරන දෙයක් හොඳට හිතලා මතලා කරන එකයි ඇත්තේ. තවත් ඔයා දුක් විඳිනවා බලන්න අපට නම් බෑ මීනු. ඔයාට තේරෙනවා නේද?" අම්මා ඇහුවේ ආන්යා නාන කාමරේට යන්න ලෑස්ති වෙද්දි.
ආන්යා අම්මා අසල දණගහගෙන ඇගේ මූණට එබුණා.
"නෑ අම්මා. දුක් විඳින්න වෙන දෙයක් ආයෙම මම කරන්නෑ. ඇත්තටම මට ආර්යන්ව විශ්වාසයි...මොකද මම දන්නවා එයා මට ගොඩක් ආදරෙයි"
ආන්යා එහෙම කිව්වාම අම්මා ඇගේ මූණ අත ගෑවා ආදරෙන්.
"අපට ඕන එච්චරයි මීනු...ඔයාගේ සතුට විතරයි"



12 comments:

  1. ලස්සනයි..එත් ආයෙම කියවන්න ඔනි නෙතු.....

    ReplyDelete
  2. appate siri .. sha ade nam poste kath digaaaaaaaay,, kathawath lassanaayyyyyyyyyy,, anthima hariyatath langaaaaaaay wage ne :( :P

    ReplyDelete
  3. අභී ඇත්ත ආදරවන්තයෙක්.මිනිහ ගැන දුකයි.ඒත් ඉතින් මොනව කරන්නද-ආර්යන් ඉස්සරහ එයාගෙ ආදරේ අගයක් නෑ.

    ReplyDelete
  4. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මම දැන් මේ කතාව යන විදිහට හරි ආසයි

    දැන් තමා කතාව ආසාවෙන් කියවන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. Laksh nam preetiyen pina gihin wage inne.

      Delete
  5. සැබෑ ආදරවන්තයන් කිසිදා නොමියේ කියන්නේ නිකන් නෙමෙයි නෙ නේද අක්කි..

    ReplyDelete
    Replies
    1. oya kiyannea abhii genada? aanyai aaryanuyi genada?

      Delete