Wednesday, June 13, 2012

පනස් අටවන කොටස



"...මේ ගීතය ඔන්න ඔයාලා වෙනුවෙන්මයි"
කාමරේට ගියපු ආන්යා ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කලේ හිතට දැනෙන පාලුව, සංතාපය ඒකෙන්වත් ඇරේවිද කියලා බලන්න. ඒත් නිවේදිකාවගේ කතාවට පස්සේ වාදනය වුණ ගීතය ඇගේ හිත තවත් දුක්බර කලා විතරයි.
'බිම් කලුවර ඇවිදින් පිරෙන්නට කලින්...සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්...අද හොඳම දවස, අද හොඳම දවස ඔබ එනවා නම්..."
හැටන් වලදි සමහර හවස් කාල වලදි, මීදුමෙන් හාත්පස  වැහිලා යන හැටි ආන්යට මතක් වුණා. ඒතකොට මොකක්දෝ පාලු, මූසල ගතියක් පරිසරයට එකතු වුණත්, ඒ ගතියට ආන්යා ගොඩක් ආස කලා. ඒ වගේ දවසක මේ ගීතය වාදනය වෙද්දි, ඈට මතක් වුණේ ආර්යන්ව නේද කියලා ආන්යා සිහි කලේ එක්තරාවිදියක පුදුමෙකින් වගේ. ඒ අතරේ අනුහස් කලින් කියපුවත් ඈට මතක් වුණා. එදා වුණ සිද්ධියෙන් පස්සේ ආන්යා ආරයන් ගැන වෙනමම හිතන්න ගත්තු පලවෙනිම දවස වුණේ අද. තමන් කොච්චර ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ආර්යන් වෙනුවෙන් තමන්ගේහිතේ ලොකු ඉඩක් තිබුණා නේද කියන එක ඈට තමන්ගෙන්ම හංගගන්න පුලුවන් වුණේ නෑ.
සිවිලිම දිහා බලාගෙන ආන්යා කලේ හිතත් එක්ක තරක කරපු එක. අන්තිමට වෙන් වුණ දවස වෙනකල්ම ආර්යන් තමන්ට කොයි තරම් ලෙන්ගතුව උන්නද, කොච්චර තමන්ව ආරක්ෂා කරන්න හැදුවද, අන්තිමට තමන්ව සිපගනිද්දි පවා කොච්චර නම් ආදරයක් ඔහු ලඟ තිබුණද කියලා ආන්යා සිහිපත් කලේ වේදනාවෙන්. ඒක මේ මොහොත වෙනකල් නොදැනුනේ ඇයි කියලා ඈ කල්පනා කලා. එහෙමන් අභී දුරස් වෙන්න යද්දි හිත අර තරම් රිදුනේ ඇයි? ඒ සමහරවිට ආන්යා ඒක කොහොමවත් බලාපොරොත්තු නොවුණ දෙයක් නිසා වෙන්න ඇති කියලා හිතේ එක පැත්තක් කිව්වා. අනික් පැත්ත කිව්වේ ආන්යා අභීට ගොඩක් ලෙන්ගතු නිසා කියලයි. කොච්චර හිතත් එක්ක තරක කලත් අනුහස් අහපු දේට උත්තරයක් හොයාගන්න ආන්යට පුලුවන් වුණේ නෑ. ආයෙ ආයේ හිත පරණ පුරුදු පාලු, මූසල ගතියෙන් පිරුණා විතරයි අන්තිමට. මේ දුක, මේ හැඟීම් සදාකාලෙටම තමන් එක්ක ඉඳීවි කියලා ආන්යට හිතුණා. ඒත් කිසිම දෙයක් සදාකාලික නෙවෙන ලොකේ දුකත් සදාකාලික නෑ කියලා දැනගන්න ඈට තව ටිකක් කල් තිබුණා.
ආන්යා ආපහු විශ්ව විද්‍යාලෙට ගිය දවසේ යෙහෙලියෝ සේරම රෑ ඇගේ ඇඳ වටා වටවෙලා උන්නේ වෙච්චදේවල් ඇගෙන් අහගන්න. ආන්යා ඒ සේරම දේවල් ඔවුන්ට කිව්වේ උපේක්ෂාවෙන්. මොකක්දෝ හේතුවකට ඒ හැමදේම උපේක්ෂාවෙන් දකින්න ඈට පුලුවන් වෙලා තිබුණා. ඒ සමහරවිට ගෙදර මිනිස්සු විඳවන එක ගැන ඈට තිබ්බ දුක බලවත් නිසාද, නැත්නම් අභී ගැන තවත් දුරට නොහිතන්න ඈ අරගෙන තිබ්බ තීරනේ නිසාද, එහෙමත් නැත්නම් අභී ගැන ඇගේ හිතේ තිබ්බේ අනුකම්පාව මුසු ආකර්ෂණයක් විතරක් නිසාවද කියලා ආන්යා දැනගෙන උන්නේ නෑ.
"අපොයි දෙයියනේ මාර කේස් එකක් නේ වෙලා තියෙන්නේ" කතාව අහගෙන උන්නු පාරමී ඇගේ විමතිය පල කලේ එහෙම.
"මං නං දැනගත්තා ඕක වෙන්නත් පුලුවන් කියලා කවදාහරි. ඔය කොච්චර කිව්වත් ආර්යන් මෙයාට ආදරේ නොකර ඉඳී කියලා මම නම් විශ්වාස කලේ නෑ. මොකද මන්දා මට නිකම් හිතුණා ආර්යන් එහෙමයි කියලා. අනේ මන්දා ඒත් දැන් මොනා කරන්නද කියලා. අන්තෝ ජටා, බහි ජටා කියන්නේ මේවට වෙන්න ඇති" එහෙම කිව්වේ සම්මානි.
"දැන් මොනවත් කරන්න ඕන නෑ මානි. මම ආයෙම අභී ලඟට යන්න හිතන්නේ නෑ. පස්සේ කල්පනා කරලා බලනකොට හිතුණා එදා එයා කොච්චර අසාධාරණ විදියටද මාව දැක්කේ කියලා. ඇත්තම කිව්වොත් ආර්යන් අයියව හිතෙන් මුලුමනින්ම අහක් කරලා තිබුණා නෙවෙයි. ඒක එහෙම දවසින් දෙකෙන් කරන්න බෑනෙ. ඒත් මම හිත හදාගෙන හිටියේ එහෙම කරලා අභී වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න. ඒත් එයා මාව දැක්කේ නරක ඇහින් විතරයි. ආර්යන් අයියයි මායි අතරේ අෆෙයාර් එකක් තිබිලා නම් තව කමක් නෑ. එහෙමත් නොවී අභී මට සලකපු විදිය ගැන මට හරි දුකයි" ආන්යා කිව්වේ අභී මතක් වෙලා හිතේ කොනක් හීනියට රිදුම් දෙද්දි.
"මන්දා...මට හිතෙන්නේ ආර්යන් එදා එහෙම ඔයාට කතා කරන්න එන්න කියපු එක හරි නෑ කියලා. අනික රෑනෙ. ඕන කෙනෙක්ට සැක හිතෙන්න පුලුවන්. මානි කියන්නා වගේ මටත් හිතෙන්නේ ආර්යන් ඔයාට ආදරේ කරන එක තාමත් නවත්තලා නෑ කියලයි. එයා ඇත්තේ දෙගිඩියාවෙන්" එහෙම කිව්වේ රශ්මි.
ඒක එහෙමවත්ද කියලා ආන්යටත් හිතුණේ ඔහු ශර්මිලා එක්ක විවාහය අවලන්ගු කලා කියන එක මතක් වෙලා.
"ඔව් එහෙම වෙන්නත් පුලුවන්. මේ හැමදේටම ආර්යනුත් වග කියන්න ඕන කියලා මට හිතෙනවා. අභී මේ දෙන්න ගැන මොනවත් දැනගෙන උන්නේ නෑනෙ. ආර්යන් නේ සේරම දැනගෙන හිටියේ. එක්කෝ එයාට තිබ්බා ශර්මිලාව දාලා ආන්යා ලඟට එන්න. එහෙම නැත්තම් අහුමුලු අස්සේ කතා කරන්න නොගිහින් මේ කෙල්ලට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න අභී එක්ක. ආර්යන් ඉන්න ඇත්තේ දෙගිඩියාවකින් තමයි. මල්ලි නිසා නොදීත් බෑ, තමනුත් ආදරේ නිසා දීලත් බෑ. අන්තිමට වුණ දේ බලන්න ඉතින්" එහෙම කිව්වේ අංජලී.
"ආර්යන් අයියා එයාලගේ වෙඩින් එක කරන්න බෑ කියලා" ආන්යා මෙච්චර වෙලා නොකියපු දෙයක් කිව්වා.
"නෑ..."
"කවද්ද?"
"මොනවා!"
"දැන් ඉතින් කැන්සල් කරලා මොනා කරන්නද? අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑනෙ. ඒත් ඉතින් අන්තිමට හරි එහෙම කරපු එක හොඳයි. ආදරේ නොකරන කෙනෙක් බැඳලා ඒ කෙල්ලටත් දුක් දෙන්නැතුව" අංජලී කිව්වා.
ආර්යන්ට එහෙම කියද්දි අහේතුකව ආන්යගේ හිත පොඩ්ඩක් විතර රිදුනා. ඔහු මේ සේරම කලේ තමට තියෙන ආදරේ නිසා වග ඈ දැනගෙන උන්නු නිසා වෙන්නැති.
"හිතේ තියෙනවද දන්නෑනෙ ආයෙම මෙයා ලඟට එන්න" සම්මානි එහෙම කිව්වාම ආන්යා ඈ දිහා බැලුවේ ඇස් පුංචි කරලා.
"විහිලු නෙවෙයි, ඇත්තටම එහෙම ආවොත් ඔයා මොකද ආන්යා කරන්නේ? ආර්යන්ව පිලිගන්න්වද?" රශ්මි ඇහුවේ බැරෑරුම්ව.
ආන්යට ඒකට දෙන්න උත්තරයක් එක පාරතම හිතාගන්න බැරි වුණා. ඒ ප්‍රශ්ණේ ඈ කවදාවත් තමන්ගෙන්ම අහගෙන නොතිබුණ හන්දා.
"මම දන්නෑ රශ්මි. එහෙම කරන්න මට බැරි වෙයි. එයා මට කොච්චර ආදරේ කලත් මං කොහොමද අභීගේ නොවී, එයාගේ වෙලා ආයෙම ඒ ගෙදරට යන්නේ?"
ආන්යා කිව්වත පස්සේ යෙහෙලියෝ ආයෙම මොනවත් නාහා නිහඬ වෙලා තම තමන්ගේ කල්පනාවල පැටලුනා.

විශ්ව විද්‍යාලේ ආවට පස්සෙම ආන්යා නුගේගොඩ ගෙදරට එක පාරක්වත් ආයෙම ගියේ නැහැ. සති අන්තෙත් ඈ නේවසිකාගාරෙම නැවතුනේ ගෙදරදිට වඩා මෙහේදි හිත හදාගන්න ලේසි වුණ හන්දා.
ෆෝන් එකේ සලී ඉවර වෙලා හන්දා කාඩ් එකක් ගන්න ආපන ශාලාවට ගිහින් ඉද්දි ආන්යගේ ෆෝන් එකට සම්මානිගෙන් කෝල් එකක් ආවා හදිසියේම.
"අයි මානි...මොනා හරි ගේන්න ඕනද?" ආන්යා ඇහුවා.
"නෑ...නෑ...ඔයාව හම්බෙන්න විසිටර් කෙනෙක් ඇවිල්ලලු අන්න. පොඩ්ඩක් ගිහින් බලාගෙනම එන්න. අනූද දන්නෑ" සම්මානි කිව්වා.
"ආන්යා කාඩ් එක ගන්න පරක්කු නොවී පෝලිමෙන් අයින් වෙලා පොදු කාමරේ දිහාවට ආවේ කුතුහලෙන්. 'අනූ මොකටද එන්නේ?’
ඒත් ඇගේ සිතුවිලි සේරම විසිරුණේ පොදු කාමරේ දොරෙන් එලියේ හිටගෙන උන්නු කෙනාව දැකලා. ඔහු උන්නේ නේවාසිකාගාරය ඇතුල බලාගෙන හන්දා පිටිපස්සෙන් ආපු ආන්යව ඔහුට පෙනුනේ නෑ. ආන්යා හුන් තැනම නැවතිලා කල්පනා කලේ යනවද නැද්ද කියලා. ඒත් ඇගේ වෙලාවට එතනින් ගියපු තව ගෑණු ළමයි දෙන්නෙක් උස් හඬින් මොකටදෝ හිනාවුණ සද්දෙට ඔහු පිටිපස්ස බැලුවා. මග නැවතිලා උන්නු ආන්යව ඔහු එකපාරටම දකින්න ඇති. ආන්යා මොනවත්ම හිතාගන්න බැරිව ඔහු දිහා බලාගෙන උන්නා. දෙන්නම තව විනාඩියක් විතර එහෙමම ඉන්න ඇති. ඊට පස්සේ ආර්යන් හෙමිහිට පය නගලා ආන්යා ලඟට ආවා. ආන්යගේ හිතේ ගිනි ගොඩක් ගහලා වගේ උණුසුම් වෙලා, හද ගැස්මත් වැඩි වෙලා තිබුණා ඔහු දැක්ක පාර. මූණ පුරා දැලි රැවුලක් වවාගෙන, සුදුම පාට ඇඳුමකින් සැරසිලා උන්නු ආර්යන්ගෙන් දිස්වුණේ විඩාබර ගතියක්. ඔහු එක පාරටම අවුරුදු ගාණක් වයසට ගිහින් වගේ කියලා ආන්යට හිතුණා. ඔහු ආන්යට මද දුරකින් නතර වෙලා ඈට හිනාවක් පාද්දි ඈ බිම බලාගත්තා.
"ආන්යා...කොහොමද?" ඔහු ඇහුවේ පුරුදු දයාබරත්වයෙන්.
ඈ ඔහු දිහා නොබලා දෑස් එහා මෙහා කරමින් උන්නේ හිතෙ තිබුණ කලබලේ හන්දා.
"ඇයි මෙහේ ආවේ?" ආන්යා ඇහුවා.
"ඔයාට කතා කරන්න ඕන නිසා"
ආන්යා ඔහු දිහා ඇස් උස්සලා බැලුවේ හිත තද කරගෙන.
"මොකටද? මොනා කතා කරන්නද තවත්?"
ආර්යන්ගේ මූණට ඒ පාර එකතු වුණේ දුක්බර පෙනුමක්.
"ප්ලීස් ආන්යා...නපුරු නොවී මං කියන දේ අහන්න"
"නපුරු මමද? මමද? මං නෙවෙයි ඔයාගේ මල්ලියි නපුරු..."ආන්යා එහෙම කියලා දිග හුස්මක් උඩට ඇද ගත්තේ ඇඬෙන එක වලක්වගන්න.
ආර්යන් වට පිට බැලුවා.
"මෙතන කතා කරන්න බෑනේ ආන්යා. අපි කොහාට හරි ගිහින් කතා කරමුද? ඇතුලෙත් සෙනග ගොඩයි, මං බැලුවා. ප්ලීස්...නිදහස් තැනක අපි කතා කරමුද? මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා" ආර්යන් ඊට පස්සේ කිව්වේ කොරිඩෝවේ ගමන් කරමින් උන්නු ගෑනු ළමයි සමූහය දිහා බලලා.
"මත බෑ" ආන්යා ගත් කටටම කිව්වා.
"ප්ලීස් ආන්යා...මම මේ දවස් ගාණක් හිතලා හිතලා ආපු ගමනක්. ඔයාට බනින්න ඕන නම් මට බනින්න, මට අහගෙන ඉන්න පුලුවන්, ඔයා ඕන දෙයක් කියන්න. ඒත් බෑ කියන්න එපා. නාවොත් ඔයා කීයට හරි එනකල් මම මෙතන ඉන්නවා. අද බැරි නම් හෙට වෙනකල් හරි...අයි මීන් ඉට්" ආර්යන් කිව්වා.
අන්යා උන්නේ කරන්න ඕන දෙයක් හිතාගන්න බැරිව.
"ප්ලීස්...එක විනාඩි දහයක් කතා කරන්න එන්න බැරිද?" ආර්යන් ඇහුවේ බැගෑපත්ව.
ආන්යා උත්තරයක් නොදී අහක බලාගෙන උන්නා.
"හරි, කීයට හරි ඔයා එනකල් මම මෙතන ඉන්නවා" ඊට පස්සේ ආර්යන් කිව්වේ තදින්.
ඔහු ඒ කියපු විදියට එහෙම නොකරාවි කියලා හිතන්න ආන්යට හේතු තිබුණේ නෑ. ඈ බය වුණේ එහෙම වුණොත් වෝඩන්ගෙන් මොනවගේ ප්‍රශ්ණයක් ඒවිද කියලයි.
"අනේ ආර්යන් අයියා...මට කරදර කරන්න එපා. ඇයි මට මගේ පාඩුවේ හිත හදාගෙන ඉන්න දෙන්නැත්තේ?"
"ආන්යා...ප්ලීස් මෙතන ඕවා කතා කරන්න බෑනෙ. ප්ලීස්...අපි අඩුගාණෙ වාහනේට ගිහින් කතා කරමු"
ආර්යන් කිව්වා.
අහලින් පහලින් ගිය අයත් එහෙන් මෙහෙන් බල බල ගිය හන්දා ආන්යට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ සේරටම වඩා ඈට කියන්න දේවලුත් තිබුණා, ඈට වෙච්ච අසාධාරණේ ගැන, කාට හරි පැමිණිලි කරන්න ඈට ඕන වෙලා තිබුණා.
"මට කොහෙවත් යන්න එන්න බෑ, කැම්පස් එක ඇතුලෙ ඇරෙන්න" ආන්යා ඊට පස්සේ කිව්වා.
"ඔයාගේ කැමැත්තක්. මට ඕන කොහේ හරි නිදහසේ කතා කරන්න පුලුවන් තැනක් විතරයි"
ආර්යන් ඊටපස්සේ ඉස්සර වුණා. ඔහුගේ වාහනේ අරලිය ගස් පේලිය ලඟ නවත්තලා තියෙනවා ඔහු පස්සෙන් ගිය ආන්යට පෙනුනා.
"නගින්න" ආර්යන් මුලින්ම ආන්යට ඉස්සරහ දොර ඇරලා දෙන ගමන් කිව්වා.
ආන්යා නගින්න කලිනුත් තව මොහොතක් කල්පනා කලා.
"ප්ලීස් ආන්යා..."
ආන්යා සුසුමක් හෙලලා වාහනේට නැග්ගේ වෙන දෙයක් වුණාවේ කියලා හිතාගෙන.
ආර්යන් වාහනේ නැවැත්තුවේ වුස් කැන්ටිම අසල. ඉරිදා හන්දා කැන්ටිම ලඟ තියෙන සිමෙන්ති බංකු වල පෙම්වතුන් සෑහෙන පිරිසක් වාඩි වෙලා උන්නු වග ආන්යා දැක්කා.
"කොහාටද යන්නේ?" ආර්යන් ඇහුවා.
ආන්යා ඊට පස්සේ පය එසෙව්වේ සෙනෙට් ශාලාවට පහලින් තිබුණ කැම්පස් එකේ "පොලොන්නරුව" දිහාට. ආර්යන් මුකුත් නොකියා ඈත සමාන්තරව ඈ එක්ක ආවා.
පොලොන්නරුව කිව්වේ සෙනෙට් ශාලාවත පහලින්, ගෙම්බා කැන්ටිමට යාබදව තිබුණ තණකොල වවපු තරමක ලොකු ප්‍රදේශයක්. එහි වවලා තිබුණ ලොකු මාරගස් වෙලාගෙන හැදිලා තිබුණේ කහ පාට මල් පිපෙන, බිග්නෝනියා උන්ගුයිස් කියන වැල් වර්ගය. එතනට පොලොන්නරුව කියලා භාවිත වුණේ මේ මාර ගස් යට දාලා තිබුණ දිග ගල් කණු රැස හන්දයි. හරියට ඇත්තටම පොලොන්නරුවේ නටඹුන් වගේ.
ආන්යා එකම එක පෙම්වතුන් යුවලක් විතරක් උන්නු පැත්තේ, ඔවුන්ට ටික ඈතට වෙන්න තිබුණ ගල් කණුවක් උඩ වාඩි වුණා. වට පිට බලමින් ආපු ආර්යනුත්, මුකුත් නොකියා ඈ අසලින් වාඩි වුණා. ආන්යා ගෙම්බා කැන්ටිම දිහාවේ ඇස්දෙක රඳවගත්තා.
"මෙතන හරි ෂෝක් තැනක් නේ" ආර්යන් කිව්වේ වට පිට ආයෙම බලන ගමන්.
"ඔයාට මොනවද කියන්න තියෙන්නේ?" ආන්යා අහුවේ ඔහු කියපු දේ ගනණකට නොගෙන.
ආර්යන් හිස හරවලා ආන්යා දිහා බැලුවා.
"ඔයා ඉන්නේ තරහින්ද?" ඔහු ඇහුවේ එහෙම.
"තරහක් නෙවෙයි, මං කා එක්කවත් තරහා නෑ"
"එහෙනම් ඇයි මෙච්චර නපුරු වෙන්නේ?"
ආන්යා ආර්යන් දිහා බැලුවේ රිදුණ හිතින්.
"නපුරු මමද?"
ආර්යන් ඇගේ දෑස් දිහා බලන්න බැරිව බිම බලාගත්තා.
"වෙච්ච දේවල් ගැන මං තරම් කණගාටු වෙන කෙනෙක් තවත් මේ ලෝකේ නැතිව ඇති ආන්යා. මගේ එක මෝඩ වැඩක් නිසා නේද මේ සේරම වුණේ කියලා හිතද්දි, වෙලාවකට මට මාවම එපා වෙනවා. ඒත් මම ඔය දෙන්නා අතරට එන්න හීනෙකින්වත් හිතලා එහෙම කලා නෙවෙයි ආන්යා මාව විශ්වාස කරන්න. ගොඩාක් කල් හිතේ තද කරගෙන කරගෙන හිටපු දේවල් ඔයාට කියන්න මට ඕන වුණා විතරයි. අනික අභී එහෙම වැරදියට හිතයි කියලා මම කොහමවත් හිතුවේ නෑ. ඒත් වුණේ සේරම වැරදියට. ඔයා හිතනවා නම් මම වැරදිකාරයෙක් කියලා, ඔයාට ජීවිත කාලෙම හරි මා එක්ක ආයෙම කතා නොකර ඉන්න අයිතිය තියෙනවා ආන්යා"
ආන්යට ආයෙම ඒ දවස මතක් වුණා. හිත ආයෙමත් පෑරුණා. ඒත් ආර්යන් වැරදිකාරයා කියලා කොයිම වෙලාවකවත් ඈට හිතුණේ නෑ. ඒත් හැමදේ ගැනම ඈ තුල තිබ්බේ කලකිරීමක්.
"මම එහෙම හිතන්නෑ...මං හිතන එකම දේ ඇයි අභීට මාව විශ්වාස කරන්න බැරි වුණේ කියලා විතරයි. මම එච්චර කියද්දි, මම එයාට වැන්දේ නැති ටික විතරයි. එයා මට ආදරේ කලා නම් ඔය කියන තරම් කොහොමද එයාට පුලුවන් වුණේ එක පාරටම මට මෙහෙම රිද්දන්න, මම වැරදියි කියලා හිතන්න?" ආන්යා තමන්ගේහිතේ තිබ්බ වේදනාව පිට කලා.
"අභීට ගොඩක් දුක හිතෙන්නැති ආන්යා. ඒක මම තරම් හොදින් දන්න කෙනෙක් වෙන ඉන්න බෑ. ඔයාව මට නැති වුණෙත් එහෙම හන්දා" ආර්යන් කිව්වේ ඈට බලාගෙන.
"දුක හිතෙන එක ඇත්ත ඒත්, මොනවත්ම හොයලා බලන්නේ නැතිව, මම හිතන්නේ මොනවද කියලා අහන්නෙවත් නැතිව, එයා කොහොමද මේක නවත්තන්න තීරණය කලේ? මේක පටන් ගත්තේ අපි දෙන්නාගෙම කැමැත්තෙන්. ඉවර කරද්දි ඇයි මගෙන් වචනයක් වත් ඇහුවේ නැත්තේ?"
"අභී හරියි කියලා මම කියනවා නෙවෙයි ආන්යා. ඒයා ඒ කරපු දේ වැරදියි. එයාට ඇත්ත නැත්ත හොයලා බලන්න තිබ්බා. ඔයාගේ පැත්තෙන් හිතන්න තිබ්බා. ඔයිට වැඩිය දේවල් වෙලත් මිනිස්සු එකට ඉන්නවා සේරම අමතක කරලා. ඒත් අභීගේ හැටි එහෙමයි. ඒ කාලේ ඉඳන්ම එයාට මට වඩා තරහා යන්වා වැඩියි, ඉවසන්න අමාරුයි, හිතුවක්කාරයි"
"ඉතින් ඒකට මමද පලි? අන්තිමට එයාට අනුකම්පා කරන්න ගිහින් මම මගේ හිත තලා ගත්තා විතරයි" ආන්යා කිව්වේ හිතේ තිබ්බ ආවේගෙන්.
ආර්යන් ඒ පාර ඈ දිහා මොහොතක් බලාගෙන උන්නේ මොනවදෝ හිතමින්. ඊට පස්සේ ඔහු කතා කලා.
"මට ඇත්තම කියන්න ආන්යා...ඔයා අභීට ලං වුණේ එයාට ආදරේ කරපු නිසා නෙවෙයිද? එයා ඔයා හන්දා ඇක්සිඩන්ට් වුණා කියලා හිතලා, එකට වන්දි ගෙවන්න හිතාගෙනද?" ආර්යන් ඇහුවා.
"ඒකට උත්තරේ ඔයා දන්නවනේ ආර්යන් අයියා. එදා අභීට සිහිය එනකල් හොස්පිටල් එකේ ඉද්දි, කියපුවා ඔයාට මතක ඇතිනේ"
ආර්යන් සුසුමක් හෙලලා ආයෙම කල්පනාවකට වැටුණා. ආන්යා මොන්වත්ම කියන්න, අහන්න ගියෙත් නෑ.
"ඒ කියන්නේ ඔයා එයාට ලං වුණේ අනුකම්පාව හන්දා?"
"ඔව්" ආන්යා කෙලින්ම උත්තරයක් දුන්නා.
"එහෙනම් ඇයි...?"
"ඒත් මම ඔයාට කිව්වා වගේ, පරණ සේරම අමතක කරන්න උත්සාහ කර කර, එයාට ඔන විදියට එකින් එක දේවල් වෙනස් කර ගද්දි තමයි මේක වුණේ. මට දුක එයා මාව දාලා ගියාට නෙවෙයි, මාව විශ්වාස නොකරපු එකට"
ආර්යන් ආන්යා දිහා බලාගෙන උන්නේ දුකෙන් වගේ.
"මෙහෙම අහනවට මට සමාවෙන්න ආන්යා ඒත් මට මේක දැනගන්නම ඕන. ඔයා කියන විදියට අභී ගැන තිබ්බේ අනුකම්පාවක් විතරයි නම්, ඔයාගේ හිතේ එතකොටත්...මං හිටියද?"
ආන්යා ආර්යන් දිහා බැලුවේ කඳුලු පිරුණ ඇස් වලින්.
"ඔයා හැමදාම මගේ හිතේ හිටියා...ඒත් ඒකට අපි දෙන්නටම කරන්න දෙයක් තිබ්බේ නෑ නේද?"
ආර්යන් ලොකු හුස්මක් ගත්තේ ඒ අහපු දේ අදහාගන්න බැරිව වගේ. ඔහුට මොහොතක් යනකල් මොනවත්ම කියාගන්න බැරි වුණා.
"ආන්යා...එහෙමනම් ඇයි ආන්යා ඔයා අභීට ලං වෙන්න හිතුවේ?"
"ඔයා ඒකට උත්තරෙත් දන්නවා අයියා. මං එහෙම කලේ ශර්මිලාට දුන්න පොරොන්දුව කඩන්න මට බරි හන්දා..."
"එහෙම නැතුව මාව එපා නිසා නෙවෙයි?" ආර්යන් ඇහුවේ දයාබරව.
ආන්යා ඒකට උත්තරයක් නොදී බිම බලාගත්තේ අස් වලින් කඳුලු බිංදු දෙකක් බිමට පතිත වෙද්දි. ඈට මෙහෙම තමන්ගේ හිතේ ඇත්තටම තිබුණ දේවල් කියන්න හයියක් ආවේ කොහොමද කියලා ඈවත් දැනගෙන උන්නේ නෑ. සමහරවිට ඒ, ආර්යන් හිතේ තිබුණ හැමදේකම කතා නායකයා වුන හන්දා වෙන්න ඇති.
"අයෑම් සෝ සප්‍රයිස්ඩ් ආන්යා...අද මට මෙහෙම දෙයක් අහන්න වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. ප්ලීස් අඬන්න එපා. ඔයා ඔහොම අඬද්දි එක මට දරාගන්න අමාරුයි. ඔයා කොච්චර නම් ඇඬුවද, මං හින්දා. ආයෙම ඔහොම අඬලා මට තවත් පව් පුරවන්න එපා"
ආන්යා අත්ලෙන් කඳුලු පිහගත්තා. ඒත් ආර්යන්ගේ දයාබර හඬ ඇහෙද්දි ඈට ආයෙම ඇඬුනා.
"මට දැනුයි තේරෙන්නේ මම කොච්චර ලොකු වැරැද්දක්ද කරලා තියෙන්නේ කියලා. මම හන්දා ඔය දෙන්නගෙම ජීවිත වල එක කොටසක් හැඩි වුණා. මම මහා මෝඩයෙක් ආන්යා. මම හැමදාම ඔයාට ආදරේ කර කර, මගේ යාලුවෙක්ට වගේ සලකන කෙනෙක් බඳින්න හැදුවා. ඔයා මට ආදරෙයි කියලා දැන දැනම, මම මගේ මල්ලිගේ සතුට වෙනුවෙන් ඔයාව එයාට දෙන්න හැදුවා. මම හැමදේම කරලා තියෙන්නේ වැරදියට. ඒ මගේ තිබ්බ දුර්වලකම හන්දා ආන්යා. මම හිතුවා, ගොඩක් දෙනෙක්ගේහිත් වල සතුට රැකෙන්නේ එහෙම වුණොත් කියලා. ඒත් අන්තිමට ඒ හැමෝගෙම හිත් රිදුණා. ශර්මිලාව බඳින්න හිත හදාගන්න මට බැරි වුණා. දැන් හැමෝගෙම හිත් රිදිලා ඉවරයි. ඒ දවස් වල ඕන එකක් කියලා මම ඔයාව බඳින්නම හිතුව නම් අඩු ගාණේ ඔයාගෙ හිතවත් නොරිදෙන්න තිබ්බා ආන්යා. යූ ආ ද ලස්ට් පර්සන් අයි වුඩ් වෝන ගෙට් හර්ට්. බට් අයි ෆේල්ඩ්...මම මහා පුදුම අවාසනාවන්තයෙක්" ආර්යන් කතා කලේ කලකිරීමෙන්.
ආන්යට ඔහු ගැන ලොකු දුකක් දැනුනත්, ඒක ඔහුට දැනෙන්න අරින්න ඈට ඕන වුණේ නෑ.
"දැන් වෙන්න ඕන සේරම වෙලා ඉවරයි. ඔයාට දොස් කියාගෙන වැඩක් නෑ. මම අභී නැතුව ඉන්න හිත හදාගෙන ඉන්නේ ආර්යන් අයියා. ඔයා ආවේ ආපහු අභී එක්ක මට එකතු වෙන්න කියන්න නම්, ඒක ආයෙ නම් කවදාවත් වෙන්නෑ"
ආර්යන් ආන්යා දිහා බැලුවා. ඈ උන්නේ අහක බලාගත් වනමයි.
"ඔයා ඇයි හිතුවේ මම ආවේ එහෙම දෙයක් කියන්න කියලා?" ආර්යන් ඇහුවා.
"ඔයාට එන්න වෙන හේතුවක් නෑනෙ" ඈ උත්තර දුන්නා.
"වෙන හේතුවක් නෑ කියලද ඔයා හිතන්නේ?"
ආන්යා ආර්යන් දිහා බැලුවේ හිත රිදුම් දෙද්දි. ඔහු හදන්නේ ආයෙම ඈට ලං වෙන්න වත්ද කියලා ඈට හිතුණා.
"මම ආවේ අභී වෙනුවෙන් නෙවෙයි...අභී මොනා හිතනවද, මොනා කරන්න යනවද කියලා මම දන්නෙ නෑ. ඒත් මම දන්නවා එයා ඔයාගේ හිත රිද්දපු වග. ගොඩක් ඔයාට රිද්දපු වග. මං දන්නවා ආන්යා එදා ඔයා කොච්චර මානසිකව වැටිලද හිටියේ කියලා. ඔයා පෙති වගයක් බොන්න හදපු එක මම දැනගත්තේ ඊයේ. රාණි මට කිව්වා. ඒක ඇහුවම මට ගොඩාක් දුක හිතුණා, ඉහිලුම් නොදී ගියා හිතට. මට ඔයාව බලන්න ඕන වුණා. මම අද ආවේ ඒකයි. ඔයා නොහිතුවට ඔයා ගැන හිතන අය මේ ලෝකේ ගොඩක් ඉන්නවාඅ ආන්යා. ඔයාගේ ජීවිතේ ඔයාට විතරක් අයිති දෙයක් නෙවෙයි, ඒ නිසා ඒක නැති කරගන්න ඔයාට අයිතියක් නෑ. මම දන්නෑ ඔයාට මොනා හිතිලද එහෙම කරන්න ගියේ කියලා...කොහොමහරි, එහෙම වුනේ නෑ වාසනාවට"
ආර්යන් ඒ සිද්ධිය මතක් කරද්දි නම් ආන්යට දැනුනේ ලැජ්ජාවක්.
"තාමත් ඔයාව මට ගොඩක් වටිනවා ආන්යා. මම මෙහෙම කියනවට මම ගැන වැරදියට හිතන්න එපා. මේක මං කියන්නේ දැන් ඔය දෙන්නා අතරේ මොනවත්ම නැති හන්දයි. තාමත් මං ඔයා ගැන හිතනවා. ඔයාව මට හම්බුනත් නැතත් ඒක වෙනස් වෙන්නෑ. ඔයා මගේ හිතේ සදාකාලෙටම තැන්පත් වෙලා ඉවරයි. මම ශර්මිලාව බඳින්න බෑ කිව්වෙත් අන්න ඒක නිසයි. මට බෑ එයාට ආදරේ කරන්න, එයාව මගේ වයිෆ් හැටියට පිලිගන්න. හිතත එකඟව මට ඒක කරන්න බෑ. තවත් මං හිතට විරුද්ධව දේවල් කරන්නෑ"
ආන්යා අහගෙන උන්නා විතරයි වචනයක් වත් නොකියා.
"මේ වෙච්ච හැමදේටම, ඔයාගේ හිත රිදුණ හැම තප්පරේකටම වන්දි ගෙවන්න පුලුවන් නම් මම ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි..."
"මට මොනවත් ඕන නෑ. මට මගේ පාඩුවේ ඉන්න දුන්නොත් ඇති" ආන්යා කිව්වා.
ආර්යන් ආන්යා දිහා බලලා සුසුමක් හෙලුවා.
"ඔයාට ඕන කතා නොකරම ඉන්නද?" ආර්යන් ඊටපස්සේ ඇහුවා. ආන්යා මුනිවත රැක්කා.
"ඔයාට ඕන ඒක නම් මොනා කරන්නද?" ආර්යන් ඊට පස්සේ කිව්වා.
ආන්යා තවමත් නිහඬවම උන්නා.
"මං ඔයාට තාම ආදරෙයි ආන්යා..."
ආර්යන් එහෙම් කිව්වාම ආන්යගේ කඳුලු ආයෙම පිට පැන්නා.
"තවත් මට හිතේ හිරකරගෙන ඉන්න බෑ මේ දේවල්. තවත් ඔයාට වේදනාවක් වෙනකල් මට බලා ඉන්න බෑ. ඔයාට මාව ඕන නූනත් ඔයා දැනගන්න ඕන, මේ ලොකේ කොහේක හරි ඔයාට ආදර කරන, ඔයා වෙනුවෙන් ජීවත් වෙන එක්කෙනෙක් හරි ඉන්නවා කියලා..."
"මට දැන් යන්න ඕන"
ආර්යන්ගේ වචන ලඟ හිත දියවෙන්න ගත්තු නිසා ආන්යට ඕන වුණේ එතනින් යන්න. ආයෙමත් සැරයක් කාටවත් ලං වෙන්න ඈට තිබුණේ බයක්. ආයෙම ආර්යන් ගැන් ආදරේ හිතේ ඉස්මතු වෙයි, ආයෙම හිතින් දුක් විඳින්න වෙයි කියලා ආන්යට හිතුණා. එහෙම වුණොත් ඒ දුක දරන්න තමන්ගේ හිත තවමත් හයියා නෑ කියලා ඈ දැනගෙන උන්නා.
ආර්යන් ආයෙම මුකුත් ඇහුවේ නෑ. ගොලුවතින්ම ආන්යව ආයෙම නේවාසිකාගාරෙට ඇරලුවා ඇරෙන්න. ඒත් ඈ වාහනෙන් බහින්න කලින් ආර්යන් ආයෙම ඈව ඇමතුවා.
"ඔයාට කවුරු නැතත් මං ඉන්න්වා ආන්යා. ඒක මතක තියා ගන්න. මං...ඔයාට මැරෙන මොහොත වෙනකල්ම ආදරේ කරයි...සත්තමයි, ඒක මම දන්නවා...පරෙස්සමින් ඉන්න. මම යන්නම්"
ආන්යා මොනවත්ම නොකියා මොහොතක් හිටියා.
"ඔයත් පරෙස්සමින් යන්න" ඈට අන්තිමට කියා ගන්න පුලුවන් වුණේ එච්චරයි.
"අද දවසට ඔයාට ගොඩක් පිං ආන්යා...මගේ හිත දැන් ටිකක් සැහැල්ලුයි. මම ගිහින් ඔයාට කතා කරන්නද?"
ඔහු ඇහුවේ පුංචි ළමයෙක් වගේ. ආන්යා ඔහුට එපා කිව්වෙවත් හා කිව්වෙවත් නෑ.
"යන්න එහෙනම්" ආර්යන් කිව්වා.
ආන්යා යන්තම් ඇස් උස්සලා ඈ දිහා බලාගෙන උන්නු දෑස් දිහා බැලුවා. ඉස්සරෝම දවසක වගේම අදත් ඒ ඇස් වල ඈ වෙනුවෙන් ලොකු ආදරයක් තිබුණ වග ඇගේ හදවතට දැනුනා.

7 comments:

  1. Hamaweléma awith balanawa kathawa dalada kiyala.
    Man kiwwe Aaryan langa Aanya wenuwen thiyenne Loku aadarayak kiyala,, .ithin kawada hari Aanya labenna one Aarayan ta vitharamai.
    Man 1st da manda,,,,,
    Kumari akka,,

    ReplyDelete
  2. 7 දෙයියනේ මම 2 නේද ??
    අනේ .... ආන්යා ඇයි ආර්යන්ට අකැමති වගේ උන්නේ කැතයි හරිය එක නම් ........ කොහොම උනත් අභිගෙන ගැලවිච්ච එකනම් ලොකු දෙයක්

    ගම්මේ ගොඩක් තිබුනා කියවන්න (කාලෙකට පස්සේ කියවපු හින්දද මන්දා )

    ස්තුතියි අක්කි

    ReplyDelete
  3. දැන් නම් කතාව හරි පාරට හැරිලා වගේ..
    ආයෙ මාව පටලෝගන්න එපා අක්කේ හොදද?

    ReplyDelete
  4. මම හිතුවේ ආන්යා අභීට ආයේ ලංවෙයි කියලා....ඒත් ඒහෙම වෙන්නේ නෑ වගේ...දැන් වෙන දේවලුත් නරකම නෑ ව‍ගේ නෙතු අක්කි

    ReplyDelete
  5. Thank you very much all my friends for your lovely comments! :)

    ReplyDelete
  6. mate abhi ekke enne nam dukak wage me puduma tharehak. aryan hame pathenme thalenewa wage :(

    ReplyDelete