සුදු පාට සියුම් වැලි වලින් සැදුණු
වෙරල දිගේ රවීන් එක්ක හෙමි හෙමින් පිය මැන මැන මූද දිහාවට ඇවිදගෙන යද්දි අයුමිගෙ
හිත තිබුණේ සම්පූර්ණයෙන නිසංසල වෙලා. ඒ සුදු පාට ලස්සන වෙරළ, නිල් පාට මුහුද, ශාරාගේ දැඟලිල්ල, ශමිත්ගේ හිනාව, ඇගේ සුරත අල්ලගෙන උන්නු රවීන්ගේ සුරතේ උණුසුම,
ඔහු ලඟදි දැනුන රැකවරණය, සතුට...මේ හැම දෙයක්ම ඈ විඳගත්තේ තෘප්තිමත් බවකින්.
අයුමි සැරසිලා උන්නේ සැහැල්ලු බ්ලවුස්
එකකිනුයි, තරමක් කොට කියුලට් එකකිනුයි, මොකද මුහුදට ගියාම කොහොමත් හොඳටම තෙමෙන වග දන්න
නිසා. රවීනුත් උන්නේ සුදු පාට ඇඟේ හැඩය ටිකක් මතුවෙලා පේන ටී ෂර්ට් එකක් ඇඳලා කලු
කොට ෂෝර්ට් එකක් එක්ක. ඒ ඇඳුම ඔහුට එක් කරලා තිබුණේ මොකක්දෝ දඟකාර බවක් කියලා
අයුමිට හිතුණා. ඇඳුම හන්දමදෝ රවීන්ව ඈට පෙනුනෙත් පොඩි කොල්ලෙක් වගේ.
"මෙහේ වැලි කොලඹට එහෙම වඩා වෙනස් නේ.
සුදු පාටයි" කකුල් වල දැවටෙන් හීන්, සුමුදු වැල්ල දිහා බලාගෙන අයුමි කිව්වා.
"හ්ම්ම්... ලස්සනයි නේද, නිල් පාට මුහුදත් එක්ක බලද්දි" රවීන්
කිව්වේ ඈත දුවන පොඩි දෙන්නා දිහාත් බලමින්.
"මම දැක්කා ඔයා පුතා එක්ක කතා කර කර
ඉන්නවා. මොකද එයා කියන්නේ?" රවීන්
ඊලඟට එහෙම ඇහුවා.
"මම එයාට තේරුම් කරන්න උත්සාහ කලේ අපි
හිනාවෙලා, කතා කරලා ඉන්න ඕන කියලා" අයුමි
කිව්වේ හුලඟේ යමින් තිබ්බ හිසකේ එකලස් කරන්න උත්සාහ කරමින්.
"හ්ම්ම්...ඉතිං එයා ඒක පිලිගත්තද?"
"මම හිතන්නේ එයා ටිකක් හරි තේරුම්ගන්න
ඇති කියලා. මම එයාට කිව්වා ඔයා ඒ දෙන්නට ගොඩාක් ආදරෙයි කියලා. එතකොට ශමිත් කිව්වා
ඔයා මටත් ආදරෙයි කියලා" අයුමි කිව්වේ යන්තම් හිනාවෙලා රවීන් දිහා බලමින්.
රවීන් ඈ දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"එයා එහෙම කිව්වද?"
"හ්ම්ම්...ඒත් එහෙම තරහකින්, කලකිරීමකින් වගේ නෙවෙයි. නිකම් වගේ"
"හ්ම්ම්..." රවීන් ඒ පාර කල්පනාබර
වුණා.
"මම හිතන්නේ ඔයාත් ඉන්න ගමන් ශමිත් එක්ක
ටිකක් කතා කරන්න. අනාගතේ කොහොම මොන විදියට වෙයිද කියන්න මම දන්නේ නෑ රවීන්. ඒත් මේ
ඉන්න වෙලාවේ, ඔයාටයි, ළමයි දෙන්නටයි මට පුලුවන් තරමින් ලං වෙලා, සලකගෙන ඉන්නයි මට ඕන" අයුමි ඉන්පස්සේ කිව්වා.
අයුමි දිහා රවීන් බැලුවේ ඈ එහෙම කිව්වේ
ඇයි කියලා වටහාගන්න වගේ.
"මම කියන්නේ, අපි මැරි කලත් නැතත්. දිගටම මෙහෙමම ඉන්න වුණත්" අයුමි තවදුරටත්
කිව්වා.
රවීන් යන්තම් හිනාවක් පාලා සුසුමක්
හෙලලා, අල්ලගෙන උන්නු අත අතෑරලා ඇගේ උරහිසට
උඩින් අතක් දාලා ඈව ඔහුවෙත ලං කරගත්තේ ඈව වැල්ලේ එරිලා වැටෙන්නත් යද්දි. රවීන්ගේ
ඇඟේම එල්ලිලා ඈ කෙලින් වුණේ හිනාවෙවී.
"ශාරා...මං එනකල් බහින්න එපා
මූදට..." රවීන් මන්දරීව අල්ලගෙන කෑ ගැහුවේ ඈත මූදට යන්න ඔන්න මෙන්න උන්නු
පොඩි දෙන්නට.
මූදු වතුරයි, වැලියි එක විදිහටම නාලා, ඇස්
රතු වෙනකල් වතුරේ නටලා මුහුදෙන් ගොඩ එද්දි යාන්තම් අඳුර වැටීගෙන එමින් තිබුණා. මගදි
හොඳ වතුරෙන් නාගෙන ආවත්, ඇඳුම් තිබ්බේ ඇඟටම ඇලිලා. ඒ පාර කාමරේට
ඇවිල්ලා අයුමි ශාරාවත් සෝදලා තමනුත් උණු වතුරෙන්ම නාලා ලෑස්ති වුණේ රෑ කෑමට යන්න.
ආපු වෙලේ ඉඳලා ඉවරයක් නැතිව එක එක
දේවල් කරන්න යොමු වුණ නිසා අයුමි උන්නේ ටිකක් මහන්සියෙන්. ඒත් එලියේ තැනක කැලිප්සෝ
බෑන්ඩ් එකක් ගීත ගායනා කරමින් උන්නු තැනකට රවීන්ට යන්න ඕන වුණ නිසා, ශාරාවත් ඇදගෙන, රවීන් එක්ක අයුමි ඔහු පස්සෙන් ගියා. ශමිත් නම් නිදිමතයි කියලා කාමරේට
ගියා.
සිංඳු අහන වෙලේ ශාරා නම් උන්නේ හොඳටම
නිදාගෙන. ඒත් අයුමිට නිදිමතක් දැනුනේ නෑ ඒ ලස්සන, පිරිසිදු සංගීතය අහගෙන ඉද්දි. ඈ උන්නේ රවීන් ලඟින් වාඩි වෙලා ඔහුගේ
උරහිසකට බර වෙලා. ශාරා උන්නේ ඇගේ උකුලේ නිදාගෙන.
"මං ආසයි කැලිප්සෝ වලට" ඒ අතරෙදි
එක වෙලාවක රවීන් ඈට කිව්වා.
ඒත් ඒක ඉවර වෙනකල්ම ඉන්න ඔවුන්ට බැරි
වුණේ ශාරත් නිදි හන්දා. පස්සේ රවීන් ශාරව උස්සගෙන තමන්ගේ කාමර තිබ්බ දිහාට එන්න
ආවා අයුමි එක්කම.
"දැන් ටිකක් ලොකු නිසා උස්සගෙන යන්නත්
අමාරුයි" ශාරව ඇඳෙන් තියලා ඇගේ හිස අතගාලා රවීන් එහෙම කිව්වේ ලොකු සෙනෙහසකින්
වගේ.
"එයාට නම් අද හරිම ජොලි. එක මොහොතක්
හිටියේ නෑ නිකං" අයුමි කිව්වේ ශාරගේ කොට්ටේ සකසලා හිසකෙස් මූණෙන් අයින්
කරමින්. ශාරා නින්දෙන්ම මූණ ටිකක් එහා මෙහා කරලා ආයෙම සන්සුන් වුණා.
රවීන් ශාරා දිහා බලාගෙන උන්නේ හිනාවෙමින්.
"හ්ම්ම්...හරි ආසයි මුහුදට"
අයුමි ඇඳෙන් බැහැලා රවීන් ලඟට ඇවිත්
ඔහු අසලින් හිටගෙන ශාරා දිහා බලාගෙන උන්නා.
"ඔයාට මහන්සිද ?" ඒ පාර රවීන් ඈ දිහාට හිස හරවලා ඇහුවේ දයාබරව.
"ලොකු මහන්සියක් නෑ" අයුමි කිව්වා.
"අපි ටිකක් එලියට ගිහින් කතා කරමුද?"
රවීන් ඉන්පස්සේ ඇහුවා. "ආවට පස්සෙම මට ඔයා
එක්ක නිදහසේ කතා කරන්නවත් බැරි වුණානෙ" රවීන් එහෙම කිව්වේ කාමරෙන් එලියේ පුටු
තියලා තිබුණ ඉඩවරයට අයුමි එක්ක යන ගමන්. එතන එක පැත්තක කුෂන් එකක් දාපු සිමෙන්ති
ආසනයක් තිබුණා. රවීන් ඉඳගත්තේ එතන. අයුමිවත් ඔහු ඒ අසලින්ම වාඩි කරගත්තා.
ඉස්සරහින් යාන්තමට පෙනුනා මූදේ රැලි
නැංවෙන හැටි. ඒ එක්කම ක්ෂිතිජයෙන් උඩට විහිදුන තෙරක් නොපෙනෙන තරු පිරිච්ච අහස. ගත
නලවන සුලඟ එක්කම ඈතින් ඇහුණ කැලිප්සෝඅ හඬ...අයුමියි, රවීනුයි දෙන්නම ටික වෙලාවක් මේ සිරි අසිරි විඳිමින් උන්නා.
ඊලඟට රවීන් හෙමින් අයුමිගේ බඳවටේ අතක්
දාලා තමන් වෙත තවත් ලං කරගත්තා. අයුමි ඔහු දිහා බලලා හිනාවක් පාලා ඔහුට හේත්තු
වෙලා ඒ උරහිසට හිස පිටිපස්සේ බර කර ගත්තා.
"ඉතිං" මුලින් කතා කලේ අයුමි.
"ඉතිං...හොඳයි" රවීන් කිව්වේ
හෙමින්, උණුසුම්ව.
"මාව මෙහෙම එක්ක ආවට ඔයාට thanks රවීන් " අයුමි ඊලඟට කිව්වා.
"තෑන්ක් කරන්නේ මොකටද? It is my pleasure"
"ම්ම්...මෙහෙම ඉද්දි අනික් සේරම ප්‍රශ්ණ,
සීමාවන්, ඔක්කොම මොහොතකට අමතක වෙනවා" අයුමි කිව්වේ ඈත පෙනෙන අහස දිහා බලාගෙන.
"ඒක නම් ඇත්ත" රවීන් කිව්වේ හෙමින්
ඇගේ බඳවටා උණුසුම්ව ඇදෙද්දි.
ඊට පස්සේ තව ටික වෙලාවක් දෙන්නා එක්ක
ළමයි ගැන, බිස්නස් එක ගැන, රවීන්ගේ තාත්තා ගැන හෙම කතා කරමින් උන්නා.
අයුමිට ඒ වෙද්දි නම් තිබුණේ නිදිමතක් දැනෙමින්.
"රවීන්...එහෙනම් අපි නිදාගමු නේද?"
ඈ ඇහුවේ නිදිමත ටිකින් ටික දැනෙද්දි.
"නිදියන්න ඕනමද?"
"ඕන නේ ඉතිං"
අයුමි කිව්වම රවීන් හිනාවුණා. ඉන්පස්සේ
දෙන්න එක්කම එතනින් නැගිටලා කාමරේට එන්න ආවා. රවීන් කාමරේට යන පැසේජ් එක ලඟදි
ඇගෙන් සමු ගන්න නැවතුණේ තාමත් ඇගේ අතකින් අල්ලගත් වනම.
"යන්න නම් බෑ වගේ" රවීන් කිව්වේ
හෙමින්.
"එහෙම කියලා බෑනෙ" අයුමි ඔහුගේ
දෑස් මගෑරලා කිව්වා.
"ම්ම්ම්....මොනා කරන්නද නේ? ගුඩ් නයිට් එහෙනම්" රවීන් අයුමිගේ
කම්මුලක් සිප ගත්තේ එහෙම කියාගෙන.
අයුමි උන්නේ ඔහුගේ අතකින් අල්ලගෙන. පස්සේ
ඈ ඔහුගේ අත හෙමි අතෑරියේ ඔහුට යන්න අවසර දෙන්න වගේ. රවීන් ඈ දිහා මොහොතක් බලාගෙන
ඉඳලා ඇගේ හිස යන්තම පිරිමැදගෙනම වගේ දොරෙන් එලියට යන්න ගියා. අයුමි දොර වැහුවේ
සුසුමක් හෙලමින්. ඔහු දිගටම ලඟින් උන්නා නම් හොඳයි කියලා ඈට හිතුණා. දොර ලඟින්
මෑත් වෙන්න කලින්ම දොරට තට්ටු කරන හඬක් ඇහුණම අයුමි ඒ දිහාව බැලුවේ පොඩි
තිගැස්මකින්. ඈ කල්පනා කලේ ඒ වෙලාවේ, ඒ කවුරු වෙන්න ඇතිද කියලා. දොරේ දම්වැල
දාලා ඈ යාන්තම් දොර ඇරියේ ඒ කවුරු වෙන්න ඇතිද කියලා. දොරේ ඇරපු පුංචි කොටසින් ඈට
පෙනුනේ රවීන්ව. ඈට දැනුනේ පුදුමයක්.
"රවීන්?" ඈ ඉක්මණින් දොරේ දම්වැල අයින් කරලා දොර ඇරියම ඔහු දොරෙන් ඇතුලට ආවේ
අනවසරෙන්ම වගේ, දොර වහගෙනම.
"ඇයි ආයෙම ආවේ?" අයුමි ඇහුවා.
"පොඩි දෙයක් අමතක වුණා"
රවීන් කිව්වේ ඈ දිහාව බලලා.
"මොකක්ද?"
ඒත් ඔහු ඈට උත්තරයක් නොදී එකපාරටම ඈව
ලං කරගෙන සිපගත්තේ අයුමි හිතන්නවත් කලින්. ඒත් ඒ අනපේක්ෂිත තිගැස්ම තිබ්බේ පොඩි
වෙලාවක් විතරයි. හැමදාම වගේ අයුමි,
රවීන්ගේ උණුසුමට නතු වුණා. ඔහුගේ
උණුසුම් අතක් අයුමිගේ කම්මුලක දැවටෙද්දි ඇගේ දෝත තිබුණේ ඔහුගේ පිට මත. හරියට ඔහුව
වැලඳගන්න වගේ. ඇගේ දෙතොල් ඔහු සිපගනිද්දි, ඒ සිප ගැනීම ගෙල, ලැම දක්වාම දිවෙද්දි දෙන්නම උන්නේ වෙනමම හැඟීම්
පිරුණ ලෝකයක. රවීන්ගේ උණුසුම් දෝත, ඇගේ
බඳ, පිට දිගේ ඇදෙද්දි ඒ හැඟීම් තවත් ඔවුන්ව
ඒ ලෝකේ ඈතට ගෙනිච්චා.
ඇත්තටම හැමදේම අයුමිට දැනුනේ අපැහැදිලි
හීනයක් වගේ. ඔහුගේ උණුසුම, ඒ වැලඳගැනීම්වල තිබුණ නො ඉවසිලිමත් බව,
නුහුරු හැඟීම්, නුහුරු දැනීම්, මේ සේරම අතරේ තමන් පාවෙමින් උන්නා වගේ
හැඟීමකුයි අයුමිට දැනුනේ. එහෙම ගෙවුණ කාලාන්තරේකට පස්සේ වුණේ මොනවද කියා පැහැදිලි කරගන්න උත්සාහ කරමින් අයුමි රවීන්ට තුරුලු වෙලා උන්නා. ඔහුගේ මුදු, හුරු විලවුන් සුවඳ ඈට යන්තමින් දැනුනා ඒ නිරාවරණය වුණ පපුතුර මතින්.
රවීන් ඇගේ හිස් මුදුන සිම්බා. ඔහුගේ එක අතකින් ඔහු සම්පූර්ණයෙන්ම අයුමිව තමන් වෙත
තුරුලු කරගෙනයි උන්නේ. ඔවුන් දෙන්නා එහෙමම, කතා බහකින් තොරව ටික වෙලාවක් ඉන්න ඇති.
වෙලාව ගැන නිනව්වක් අයුමිටවත් රවීන්ටවත් තිබුණේ නෑ.
"රවීන්..."
"ම්ම්..."
"දැන් වෙලාව කීයට ඇත්ද?"
"අනේ මංදා දොලහට ලඟ ඇති මම
හිතන්නේ"
"ඔයා දැන් යන්න ඕන නේද?" අයුමි කිව්වේ ඔහු ඉන්න ඕන එතන නොවෙන නිසා.
"ඔයාට මොනාද ඕන?" රවීන් ඇහුවේ මුදු හඬින්.
"දැන් යන්න. නැත්තම් හරි නෑනෙ"
"ඉතිං මම යන්න හදද්දි ඔයානේ
තියාගත්තේ" රවීන් කිව්වේ දඟකාර විදිහට.
"අපි හෙට හම්බවෙනවනේ ඉතිං ආයෙම"
අයුමි කිව්වා.
"හෙට වෙන්න තව පැය කීයක් තියෙනවද?"
රවීන් කිව්වාම, අයුමි හිස හරවලා ඔහු දිහා බැලුවා.
"live
the moment. මතකද?" රවීන් ඇහුවා.
ඒ පාර ඈ ආයෙම ඔහු ලඟින් හිස තියාගෙන
සුසුමක් හෙලුවා. ගෙවුණු කාලය ගැන හිතද්දි අයුමිගේ හිතේ ගොඩනැගෙමින් තිබ්බේ මොකක්දෝ
අවිනිශ්චිත බවක්. හැමදේකින්ම වෙන්නේ තමන් තව තවත් රවීන්ට බැඳුන ඒක නේද කියලා ඈ
හිතුවා. එහෙම වෙද්දි දැනටත් අවිනිශ්චිත තමන්ගේ අනාගතේ තවත් සංකීර්ණ වෙනවා කියලයි
ඈට හිතුණේ. ඒත් සංකීර්ණ වග කොහොම වුණත් දැන් ඔහු එක්ක ඇරෙන්න වෙන කෙනෙක් එක්ක
ගෙවෙන අනාගතයක් දැන හිතන්න ඈට පුලුවන් කමක් තිබුණේ නෑ. බැඳීම්...ඇති කරගන්න කොච්චර
ලේසිද? ඒත් ඒවා නැති වුණොත් නැති වෙන්නේ ජීවිතෙන්
බාගයක් කඩාඉහිරවගෙන...අයුමිගේ හිතේ ඒ සිතිවිලිත් එක්කම තවත් බර වුණා විතරයි.
"මොනාද හිතන්නේ?" රවීන් ඇහුවේ ඇගේ හිස හෙමින් පිරිමදින ගමන්.
"මුකුත් නෑ" ඈ කිව්වේ ඇගේ හිතේ බර
රවීන්ට දෙන්න බැරි නිසා.
"ඔය කියන්නේ බොරු. මම දන්නවා ඔයා හිතන
දේ" රවීන් කිව්වම අයුමි මුකුත් කිව්වේ නෑ.
"බබී....අහන්න. අපි දෙන්නා එකට ඉන්න හැම
වෙලාවකම, අපි අතරේ සිද්ධ වෙන හැම දේකින්ම මං
ඔයාට තවත් ලං වෙනවා මිස ඈත් වෙන්නේ නෑ. ඒ ගැන ඔයා සැකයක් හිතන්න එපා. මට ඔයාව ඕන
හැමදාටම. ප්‍රශ්ණ ඒවි මම දන්නවා, ඒත්
අපි ඒවට එකතු වෙලා මූණදෙමු. දැන් එවා ගැන හිතන්න එපා. හිතලා මේ ලස්සන වෙලාව නාස්ති
කරගන්න එපා. මම එදත් කිව්වනේ. මේ වෙලාවේ මේ මොහොතේ මම ඔයා ලඟ ඉන්නවා. ඔයා මං ලඟ
ඉන්නවා. තවත් වෙන මොනවද ඕන?"
රවීන් කියද්දි අයුමිගේ දෑස් වලට කඳුලු
පිරුණේ හේතුවක් නැතිවම. ඒ කඳුලක සීතල ඔහුගේ නිරාවරණය වුණ බාහුවක් මත වැටෙද්දි
රවීන් මදක් නැගිටලා අයුමි දිහා බැලුවේ කලබලෙන් වගේ.
"ඇයි මේ?" ඔහු ඇහුවේ කඳුලක් පිහින ගමන්.
"නෑ" අයුමි ඇස් පියාගෙනම හිස
වනුවා.
"ඇයි මේ කියන්න බබී...ප්ලීස්"
"මුකුත් නෑ..."
"මම මොනාහරි වරදක් කලාද?"
"නෑ...රවීන්. කවදාවත් නෑ. මට...මට මේ
ආදරේ දරාගන්න බැරි තරම්. ඒකයි..." අයුමි කිව්වේ කඳුලු අතරින්ම ඔහු දිහා බලලා.
රවීන් ආයෙම ඈව තුරුලු කරගත්තා
සෙනෙහසින්. වචනයක්වත් ඔහු නොකිව්වට ඒ උණුසුමේ ඈට ඔහුගේ ආදරේ දැනුනා. ඉතිරි
මුලු කාලෙම ඔහු ලඟට වෙලා,
මෙහෙම ඉන්න තියේ නම් කියලා අයුමිට
නොහිතුණා නෙවෙයි. ඒත් ඔහුට යන්න දෙන්න වෙන වග ඈ දැනගෙන හිටියා.
"රවීන්.."
"ම්ම්"
"ඔයා දැන් යන්න. ගොඩක් රෑ වෙලා
නේ" අයුමි කිව්වා.
"ම්ම්...හරි..." රවීන් ඉන්පස්සේ ඈ
අසලින් නැගිටලා අසල පුටුව මත තිබුණ ඔහුගේ T shirt එක ඇඳගෙන ඈ දිහා ආයෙම බැලුවේ ආදරය
පිරුණ දෑස් වලින්. අයුමි එහෙමම ඉඳගෙන බලාගෙන උන්නා ඔහු දිහා. ඊටපස්සේ ඔහු ඇවිත් ඇඳ
අසලට නැවිලා ඇගේ හිස ආයෙම සිප ගත්තා.
"ගිහිං එන්නම්. ශමිත් හොඳට නිදි ඇති, කාමරේ ඇරගන්න හොටෙල් එකටම කියන්න වෙයිද මන්දා"
එහෙම කියමින් ඔහු යන්න සැරසිලා දොර ලඟට
යද්දි අයුමි නැගිටලා දොර ලඟට එනකල් ආවා. ඔහු යන්න ඈට ඕන වුණේ නෑ. ඒත්...එහෙම ඉන්න
ඔහුට පුලුවන්ද?
"උදේ ඇහැරෙන වෙලාවක ඇහැරෙන්න. මම breakfast කාමරේට ඕඩර් කරන්නම්. හෙටත් ලොකු program එකක් තියෙනවා හොඳේ"
දොරෙන් එලියට ගිහින් රවීන් කිව්වා.
"හ්ම්" අයුමි ඔහු දිහා බලලා
හිනාවුණා සෙනෙහසින්.
රවීන් ආයෙම පුංචි හිනාවක් පාලා ඇගේ
කම්මුලක් යාන්තමට ස්පර්ශ කරලා යන්න හැරුණා. ඉන් පස්සෙ අයුමි දොර වහලා ඒකටම
හේත්තුවුණේ මොහොතකට කලින් සිද්ධ වුණ දේවල් හිතට ගලාගෙන එද්දි. දැන් ඒ ගැන හිතද්දි
ඇගේ හිතේ පිරුණේ හැඟීම් සංකීර්ණයක්. අවිනිශ්චිත බව, සතුට, බය, දුක මේ සේරම ඒ අතරේ තිබුණා. රවීන්
කිව්වා වගේ තාමත් නො ඉපදුන අනාගතයක් ගැන දැන් හිත හිත වද වෙන එකේ තේරුමක් නෑ නේද
කියලා ඈ හිතුවේ ඇත්තටම ඒ දේවල් හිතේ යටපත් කරගන්නවා ඇරෙන්න වෙන විසඳුමකුත් තිබුණේ
නැති හන්දා.
ඒ හන්දා ඈ ඒ දේවල් හිතිං මකලා දාන්න
උත්සාහ කරමින් ඇවිත් ඇඳේ ඇලවුණා. ඒ හැම තැනකම තාමත් රැඳිලා තිබුණේ රවීන්ගේ සුවඳ.
I love the way you write this..keep it up. ..
ReplyDeleteමොකෝ නෙතුට අපිව අමතක වෙලා ? අලුත් කොටසක් දාන තුරු අපි බලාගෙන ඉන්නවා.
ReplyDeleteඔව් අනේ. නෙතූ අපිව අමතක කරලාද මන්දා...
ReplyDeleteඅක්කි මම ඔයාගේ කතා හැම එකක්ම කියෙව්වා... මම කැමතිම ආර්යන් & අනුක් ට.... පුදුම විදියට ඒ චරිත දෙකට ආස හිතෙනවා.. ඔයා ලස්සනට ලියනවා..සුබ පැතුම්...දිගටම ලියන්න...කතාවේ කොටස් දවස් දෙකකට සැරයක් වත් දාන්න...මම දවසට කීප සැරයක්ම ඇවිත් බලනවා...
ReplyDeleteඅනේ සමාවෙන්න ඕන වෙච්ච වැඩේට. ලියපු කතාවේ වැරදි හදලා සේව් කරලා ඇවිත් තියෙන්නේ ඔෆිස් කම්පියුටර් එකේ. හෙට ගිය ගමන්ම කතාව දාන්නම්. තරහා වෙන්න එපා යාලුවනේ මේ දවස් වල හරියට වැඩ.
ReplyDelete