Friday, September 4, 2015

විහංඟනාවී: හතලිස් තුන්වන කොටස

රවීන්ගේ ඔෆිස් කාමරේ අතිමේදි දෙන්නෙක්ට ඉන්න පුලුවන් විදියට හදලා, ලී බඩු දාලා ඉවර වුණාට පස්සේ අයුමිගේ දවස් දෙකක් විතර ගෙවුණේ එතන පිලිවෙලකට අස් කරගන්න.එහෙම අස් කරමින් ඉන්න වෙලේක ඔෆිස් රූම් එකේ ඇරලා තිබුණ දොරට කවුදෝ තට්ටු කරනවා ඈට ඇහුණේ ඈ රවීන්ගේ පරණ පොත් වගයක් දාන්නේ කොහේටද කියලා කල්පනා කරමින් ඉද්දි. ඈ හැරිලා බැලුවෙත්, පුදුමෙන් ගොලු වුණෙත් එකටම.
"කෝ රවීන් නැද්ද?" එහෙම අහගෙන කාමරේට ආවේ රවීන්ගේ තාත්තා.
"මිස්ට සේනානායක? රවීන්..මේ...එලියමරේට ගිහිං. බැංකුවටත් ගිහිං වාහනේ දුම් සහතිකේ ගන්නත් යනවා කියලයි කිව්වේ" අයුමි කිව්වේ ඔහු කාට ඇවිත් වට පිට බලමින් හෙමින් රවීන්ගේ මේසේ අසලට ඇදෙනවා බලාගෙන.
"ආ...එහෙමද?"
"ම්ම්...මිස්ට සේනානායක එන වගක් රවීන් මට කිව්වෙත් නෑ..." අයුමි සැකෙන් බයෙන් වගේ කිව්වා.
"ආ...නෑ නෑ. මම මේ ලඟට ආපු ගමන් නිකම් ඇවිත් යන්න ආවේ. රවීන් මම එන වගක් දන්නෑ. මේ...ඔෆිස් රූම් එක වෙනස් කරල නේද? දැන් ඔය ලමයත් මෙතනද බේස් වෙන්නේ?" ඊලඟට ඔහු ඇහුවේ රවීන්ගේ මේසෙට ඉස්සරහින් දාලා තිබ්බ අයුමිගේ මේසෙ දිහා බලමින්.
"ඔව්" අයුමි හිස වැනුවේ ඔහු දිහා කෙලින් නොබලා.
මොකදෝ හේතුවකට ඇගේ හිත තිබ්බේ නොසන්සුන් වෙලා.
"හ්ම්ම්...එතකොට ඒ කියන්නේ ඔෆිස් එක කට්ටිය වැඩි කරන්නයි හදන්නේ?"
"ඔව්"
ඒ පාර රවීන්ගේ තාත්තා හිනාවක් මුවට නගාගෙන ගිහින් රවීන්ගේ පුටුවේ වාඩි වුණේ මොකක්දෝ සතුටකින් වගේ.
"ඒක බොහොම හොඳයි. රවීන් මේක පටන් ගත්තේ එකම එක පාට්නර් කෙනෙක් එක්ක. මම දැක්කා මැගසින් දෙක තුනකම විස්තරත් තියෙනවා  Celsete ගැන...අන්තිමේදි මිනිහගේ හිත හරි ඉල්ලක්කෙට යනවා වගේ..."
ඔහු කියද්දි අයුමිට හිතාගන්න බැරි වුණා කියන්නේ මොනාද කියලා. ඈ හිනාවෙලා බිම බලාගෙන උන්නේ ඒකයි.
"ඔය ළමයා දැන් මෙහාට ඇවිත් කොච්චර කල්ද?" රවීන්ගේ තාත්තා ඇහුවේ පුටුවේ හරි බරි ගැහිලා දිහා බලන ගමන්.
"ම්ම්...දැන් අවුරුද්දකට ලඟයි. මම ආවේ ගිය අවුරුද්දේ මාර්තු මුල වගේ"
"ම්ම්... කියන්නේ රවීන්ව දැන අඳුනගෙනත් එච්චරම වගේ කාලයක් ඇති නේ නේද?"
ඔහු එහෙම ඇහුවම අයුමිගේ හිතේ පිරුණේ අනියත බියක්. ඔහු එහෙම ඇහුවේ ඇයි කියලා.
"මම ඇහුවේ ඔය දෙන්නගේ සම්බන්ධේ පටන් අරන් තරම් කාලයක් නැතුව ඇති නේද කියලා" ඔහු පැහැදිලි කලා.
ප්රශ්ණේ අයුමිව පුදුමාකාර විදිය නොසන්සුන් කලා. බිම බලාගෙන මැගසින් ටික තදින් අලල්ගෙන හිස වැනුවේ යාන්තමින්.
රවීන්ගේ තාත්තා මොහොතක් දෙකක් දිහා බලාගෙන උන්නේ ඊලඟට අහන්නේ මොකක්ද කියලා හිතමින් වගේ.
"ඔය ළමයා වාඩි වෙන්නකෝ. එක අතකට රවීන් නැති එකත් හොඳයි. මම කොහොමත් ඔය ළමයා එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා හිටියේ" ඊට පස්සේ ඈ දිහා බලලා රවීන්ගේ තාත්තා කිව්වේ කල්පනාවකින් මිදිලා වගේ.
අයුමි ඔහු දිහා බැලුවේ ටිකක් බියපත් දෑසින්. ඒත් ඈ ඔහු ඉල්ලපු විදියට වාඩි වුණේ දැන් ඔහු මොනා අහයිද, මොනා කියයිද කියන දෙගිඩියාවෙන් හිත සැලෙද්දි.
"රවීන් කිව්වද මම එයා එක්ක, ඔය දෙන්නා ගැන කතා කලා කියලා?" ඈ ඉඳගත්තට පස්සේ ඔහු ඇහුවේ දි කතාවකට මුල පුරන්න වගේ.
"ම්ම්...ඔව්. ඒත් විස්තර කිව්වේ නෑ" අයුමි හෙමින් කිව්වේ හිස වනමින්.
ඒ පාර රවීන්ගේ තාත්තා ටිකක් වෙලා ගත්තේ, කතා කරන දේ තාමත් හිතිං හදාගන්නවා වගේ.
"රවීන් එක්ක ඔය ළමයගේ සම්බන්ධේ පටන් අරන් දැන් ගොඩක් කල්ද? අවුරුද්දක්?" ඔහුගේ මුල්ම ප්‍රශ්ණේ වුණේ ඒක.
"නෑ...අවුරුද්දක් නෑ තාම" අයුමි කිව්වේ හෙමින් බිම බලාගෙන.
"හ්ම්ම්... "මට හිතාගන්න බෑ ඇයි ඔය ළමයා මේ වගේ දෙයක් කරන්න පෙලඹුණේ කියලා. රවීන්  කසාද බැඳපු මනුස්සයෙක් කියලා, ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ඔය ළමයා දැනගෙන හිටියේ නැද්ද?"
 රවීන්ගේ තාත්තා එහෙම ඇහුවම  දැනුනේ කටුවකින් ඇන්නා වගේ ක්ෂණික වේදනාවක් එක්ක තිගැස්මක්. අයුමිගේ හිත සැලෙන්න ගත්තා හොඳටම. ඔහු මොකක්ද මේ කියන්න හදන්නේ?
"මම ඒ හැම දෙයක්ම දැනගෙන හිටියා මිස්ට සේනානායක" ඈ සැලුණ වගක් නොපෙන්වා කිව්වා.
"ඒ කියන්නේ ඒ දේවල් ඔය ළමයට ප්‍රශ්ණයක් වුණේ නෑ කියන එක නේ?"
"ඔව්..."
"ඒක ප්රශ්ණයක් වෙන්නෙත් නැතිවෙයි කියලා ඔය ළමයට විශ්වාසද? මම අහන්නේ ඒක කවදාක හරි ප්රශ්ණයක් වෙන්නේ නැති වෙයි කියලා?" ඔහු එහෙම ඇහුවම අයුමි ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
" මම දන්නෑ ඇයි මිස්ටර් සේනානයක මගෙන් මේ දේවල් අහන්නේ කියලා?"
අහපු දේට උත්තරයක් නොදී ඈ එහෙම ආපිට ඇහුවම ඔහු ඈ දිහා බලාගෙන උන්නේ තරමක් තියුණු බැල්මකින්.
"ඔය ළමයා මම අහපු ප්රශ්ණෙට උත්තරයක් දුන්නේ නෑනෙ"
අයුමි ආයෙම බිම බලාගත්තා. ගේ හද ගැස්ම තිබ්බේ වැඩි වෙලා. හන්දමදෝ ගතත් තිබ්බේ යාන්තම් වෙව්ලමින්.
"දැන් ඔය ළමයගේ ගෙදරින් මේක දන්නවද?"
ඈ උත්තර දෙන්න කල් ගනිද්දි ඔහු ඇහුවේ ආයෙමත් දරුණුම ප්රශ්ණයක්. ඒ අහන ප්රශ්ණ අයුමිව අපහසුතාවයට පත් කලා විතරයි. රවීනුත් නැතිව තනියෙම මේ දේවල් වලට උත්තර දෙන්න සිද්ධ වීමත් ඈව තවත් අපසුතාවයට පත් කලා.
"තාම නෑ"   හෙමින් කිව්වේ රවීන්ගේ තාත්තා ගැන නොරිස්සුම හිතේ බලවත් වෙද්දි.
"හ්ම්ම්ම්" ඔහු සුසුමක් හෙලුවා.
"ගෙදරින් දැනගත්තු දවසට වෙන්නේ මොකක්ද කියලා ඔය ඔය දෙන්නා හිතලා බැලුවද කොයි වෙලේක හරි?"  ඔහු ඊලඟට ඇහුවා.
අයුමි උන්නේ හිත් වේදනාවෙන් සම්පූර්ණයෙන්ම ගොලු වෙලා. ඔහු අහන ප්‍රශ්ණ හැම එකක්ම පිහි තුඩු වගෙ ඇවිත් ඇගේ හිත පසාරු කරගෙන යනවා වගේ ඈට දනුනා.
"මිස්ටර් සේනානායක ඇයි මෙහෙම මගෙන් අහන්නේ කියලා මට හිතාගන්න බෑ"
"මම මේ දේවල් අහන්නේ ළමයෝ, මොකක්ද ඔය දෙන්නාගේ මේ සම්බන්ධේ තේරුම කියලා දැනගන්න. ඔය ළමයා පොඩි ගෑණු ළමයෙක්. ඔය ළමයගේ දෙමව්පියෝ ඔයාව කොළඹ රස්සාවක එවද්දි මම හිතන්නේ නෑ කවදාවත් බලාපොරොත්තු වෙන්න ඇති කියලා ඔයා මේ වගේ දේක පටලැවෙයි කියලා. අනික් අතට රවීන්...එක පාරකුත් ජීවිතේ අවුල් කරගෙන, ආයෙම පාරක් කිසීම වගකීමක් නැති විදියට මෙහෙම හැසිරෙන එක යුතුද කියලා මට තේරෙන්නේ නෑ. මම දන්නේ නෑ ඇත්තටම ඔය දෙන්නා මොකක්ද මේ කරන්නේ කියලා" එහෙම කියද්දි රවීන්ගේ තාත්තාගේ හඬේ තිබ්බේ මොකක්දෝ ආවේගයක්.
ඒ ආවේගය අයුමිගේ හිත තවත් සසල කලා. ඔහුගේ වචන වල තිබ්බ ඇත්ත ඇගේ හිත පීරිගාගෙන යනවා වගෙයි ඈට දැනුනේ.
" ඔය ළමයා, රවීන්ට වඩා අවුරුදු දහයකටත් බාලයි, පවුල් පසුබිම, ඉගනීම, මේ හැමදේම තියෙනවා. එහෙව් එකේ ඇයි කසාද බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න මනුස්සයෙක් එක්කම පැටලුනේ? මේ රටේ නොබැඳපු, සල්ලි තියෙන, දියුණු වෙන්න පුලුවන් මිනිස්සු ඕන තරම් ඉන්දැද්දි? අනික් අතට රවීන්, එක පාරක් හිතුවක්කාරෙට ගිහිං බැට කාලා, ආයෙම පාරක් පොඩි ගෑණු ළමයෙක්ව තෝරගෙන මොකක්ද මේ කරන්න හදන්නේ? තවත් පැත්තකින්, රවීන්ගේ ළමයි දෙන්නා. ඇයි ඔය දෙන්නගෙන් කවුරුත් ඒ දෙන්නා ගැන නොහිතන්නේ. විශේෂයෙන්ම රවීන්..." ඔහු තරමක ආවේගයෙන් වගේ කියාගෙන යද්දි, අයුමි උන්නේ ඇතුලාන්තයෙන් ගැහෙමින්. ඇගේ හිතේ නොරිස්සුම, බය, සැකය, ලැජ්ජාව, මේ හැම හඟීමකම සම්මිශ්‍රණයක් කැලතෙමින් තිබුණා. ඒත් ඈ උත්සාහ කලා ඇගේ සිහියයි, තර්කයයි නොසෙල්වී තියාගන්න.
"මෙහෙම කියනවට මට සමාවෙන්න මිස්ට සේනානායක. ඒත් මිස්ට සේනානායක හිතනවා නම් මම රවීන්ට ලං වුණේ එයාගේ සල්ලියි, තත්වෙයි හන්දා කියලා ඒක ලොකු වැරදීමක්. මම එයාට ලං වුණේ මං එයාට ආදරේ හන්දා මිසක වෙන දෙයක් හන්දා නෙවෙයි...ශාරා ගැනයි, ශමිත් ගැනයි මම නොහිතනවත් නෙවෙයි. "
"මම දන්නවා ඔය ළමයා ඒ විදියේ කෙනෙක් නෙවෙයි කියලා. ඒත් ළමයෝ මිනිස්සු ආදරේ කරද්දි, ඒ ආදරෙන් අන්ධ වුණාම ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නෑ. ඔය ළමයා තාම පොඩි, අත්දැකීම් අඩු ලමයෙක්. රවීන්ට ඔය ළමයා ආදරේ වගට සැකයක් නෑ. ඒත් ඔය ළමයා දන්නවද අර ළමයි දෙන්නා කියන්නේ ලොකු වගකීමක් කියලා? ඒ ළමයි අත දරුවෝ නෙවෙයි. ශාරා නම් තාම  පොඩි හන්දා මොනා හරි කරන්න පුලුවන් වෙයි. ඒත් ශමිත්? ශමිත් කියන්නේ දැන් ලොකු ළමයෙක්. රවීන් මේ කරන දේවල් ඒ ළමයගේ මානසිකත්වයට බලපානවා"
රවීන්ගේ තාත්තාගේ වදන් වල තිබ්බේ චෝදනාත්මක බවක්. අයුමිට ඒකට කියන්න දෙයක් තිබ්බේ නෑ. මොකද එක අතකින් ඔහුගේ කතාවේ ඇත්තක් තිබුණ නිසා.
" මට තේරෙන්නේ නෑ ඇයි මිස්ට සේනානායක මේවා මෙහෙම මගෙන් අහන්නේ කියලා" ඈ අන්තිමේදි එහෙම කිව්වා.
ඒ පාර රවීන්ගේ තාත්තා සුසුමක් හෙලුවා.
"මම මේවා වෙන කාගෙන්ද අහන්න ඕන? මම මේවා රවීන්ගෙන් ඇහුවම එයා මට කෙලින් උත්තරයක් දෙන්නෙත් නැත්තම්,මම මේක වෙන කාගෙන්ද අහන්න ඕන?"
ඔහු එහෙම කිව්වම අයුමිට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ. බිම බලාගත්තේ ඒකයි ආයෙම.
"ඔය ළමයා පොඩි ළමයෙක්, ඒක මං පිලිගන්නවා. ඒත් ජීවිතේ කිසීම ගැඹුරක් දකින්න් බැරි තරම් පොඩි ළමයෙක් නෙවෙයි. අනික් අතට රවීන්, රවීන් කියන්නේ ජීවිතෙන් එක පාරක් පාඩමක් ඉගෙන ගත්තු කෙනෙක්. ළමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඔය දෙන්නා මෙහෙම ඉස්කොලේ යන බොලඳ කපල් එකක් වගේ හැසිරිලා හරියනවද? මම අහන්නේ ඒකයි ළමයෝ. මේ මම ඔයා එක්ක තරහින් වත්, අපැහැදීමෙන් වත් අහන එකක් නෙවෙයි. මම දන්නවා ඔය ළමයා හොඳ කෙනෙක් වග. මිනිහෙක් හැරෙනකොට මිනිහා මොන වගේද කියලා අඳුනගන්න පුලුවන් තරම් තේරුමක් මට තියෙනවා. මම මේවා අහන්නේ, ඔය දෙන්නට වෙන් වෙන්න කියන්න නෙවෙයි. ඒත් මීට වඩා ටිකක් බැරෑරුම්ව මේක දකින්න කියලා කියන්න
රවීන් මම කියන දේ අහන්න ලෑස්තිද නැද්ද කියන්න මම දන්නේ නෑ. මට එයාව තේරුම් ගන්න බෑ. ජීවිතේ බරක් එයාට අපි දැනෙන්න නුදුන්න එකද මන්දා ඒකට හේතුව.මම කැමති නෑ ආයෙම පාරක් රවීන් කලින් කරපු විදියෙම දෙයක් කරගන්නවට. මොක්ද හැඟීම් ඉස්සරහදි එයා හරි දුර්වලයි. දේවල් තේරුම් ගන්නේ පෙරහැර ගියාට පස්සේ. එයාගේ ආදරේ, තරහා, දුක, මේ සේරම එහෙමයි. මට දැනගන්න ඕන එයා මේපාවත් මේ කරන්නේ හරි දේද කියලා. මොකද මේ එයා ගැන විතරක් ප්‍රශ්ණයක් නෙවෙයි. අර ළමයි දෙන්නා ගැන වගේම, ඔය ළමයා ගැනත් ප්‍රශ්ණයක්.
මට රහල් ගැන හිතේ කරදරයක් නෑ. මම වද වෙන්නේ රවීන් ගැන. රවීන්ටත් වඩා අර පොඩි උන් දෙන්නා ගැන. රවීන් ඉස්සෙල්ලා ජීවිතෙ වර්ද්දගත්තෙත් ඕනවට වඩා හැඟීම් වලට වහල් වෙන්න ගියපු හන්දා. ජීවිතේ බරක් පතලක් නොහිතපු හන්දා. එයාගේ වෙලාවට පූර්ණිත් වගේම කෙනෙක් වුණා. දෙන්නා හම්බුනා, ඊටපස්සේ හිටි ගමන් කසාද බැඳගත්තා. ළමයි හම්බුණා. දෙන්නා දෙන්නගේ වැඩ කරද්දි ළමයින්ව බැලුවේ වැඩකාරයොයි අපියි. ඊලඟට මොකද වුණේ? දෙන්නා දෙන්නගේ ලෝක වල තනිවෙන්න ගිහින් කසාදේ කඩාඉහිරවගත්තා. අන්තිමට රිදුනේ දෙන්නටම නෙවෙයි, අර පුංචි උන් දෙන්නට. අසාධාරණේ වුනේ ළමයි දෙන්නට. මම දන්වා රවීන් ළමයින්ට ආදරේ නැතිව නෙවෙයි. ඒත් රවීන්ට තාමත් තමන්ගේ ජීවිතේ ගැන වගකීමක් නෑ. එහෙම තිබුණා නම් මම හිතන්නේ නෑ ඔය ළමයව වුණත් නොහිතා, නොබලා මෙහෙම තමන්ගේ ජීවිතේට ඈඳාගනී කියලා. එක පාරක් මට්ටු වුණ කෙනෙක් විදියට රවීන්ට තිබුණා මීට වඩා මොලේ කල්පනා කරලා වැඩ කරන්න, හැඟීම් වලින් නෙවෙයි, මිනිහෙක් වුණාම මොලෙනුත් හිතන්න ඕන. ඒත් එයාගේ මොලේ එයා පාවිච්චි කරන්නේ බිස්නස් වලට විතරයි...ජීවිතේ අනික් වැදගත් දේවල් වලදි නෙවෙයි. ඒකෙන් අන්තිමට වුණේ ඔය ළමයත් රවීන්ගේ ජීවිතේ නූල් බෝලේ තව පැටලුමක් වෙච්ච් එක"
රවීන්ගේ තාත්තා කියාගෙන ගියේ කලකිරීමකින් වගේම රවීන් එක්ක නොරිස්සුමකින් වගේ. අයුමි හිස උස්සලා ඔහු දිහා බැලුවා. හිත තිබ්බේ යකාගේ කම්මල වගේ කලබල වෙලා. නොසන්සුන් වෙලා.
"මම දන්නවා ඔය ළමයා හිතන දේ. දැන් ඉතින් ගිය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. දේවල් හරවන්න දැන් පරක්කු වැඩියි. දැන් හිතන්න ඕන ඉදිරියට කරන්නේ මොකක්ද කියලා. මම ඔය ළමයට කතා කරන්න හිතුවේ මේවා රවීන් එක්ක කතා කරලා වැඩක් නැති හන්දා. ඔය ළමයට පුලුවන් වෙයි රවීන් එක්ක මට වඩා හොඳට මේ ගැන කතා කරන්න"
ඔහු කියද්දි අයුමි අහගෙන උන්නේ සම්පූර්ණයෙන්ම ගොලු වෙලා.
"රවීන්ගෙන් ඔය ළමයා කවදක හරි අහලා තියෙනව්ද ඉස්සරහට මොකද කරන්නේ කියලා?"
ඔහු එහෙම ඇහුවම අයුමි හිස වැනුවේ එහෙම දෙයක් බැරෑරුම්ව දෙන්නම කතා කරලා නැති නිසා.
"මම දන්නේ නෑ ඔය දෙන්නා කරන්න ඉන්නේ මොනාද කියලා. මට බෑ ඔය දෙන්නගේ පෞද්ගලික ජීවිත වලට ඇඟිලි ගහන්න. ඒත් මම මේ කියන්නේ ශාරයි, ශමිතුයි ගැන. විශේෂයෙන්ම ශමිත් ගැන. මොකද ශාරාට තාම තරම්ම තේරුමක් නෑ. අනික එයා කෙල්ලෙක්. ඒත් ශමිත් කියන්නේ දෙයක් තේරෙන කියන ළමයෙක්. රවීන්ගේ මේ හැසිරීම ළමයව තවත් අවුල් කරනවා මිස වෙන දෙයක් වෙන්නේ නෑ. ඒක රවීන් තේරුම් ගන්න ඕන. ශමිත් දැන් රවීන් එක්ක කතා කරන්නෙත් නෑ. මෙහෙම ගියොත් ළමයගේ ඔලුව නරක් වෙයි කියලා මට බයයි. පූර්ණිට ළමයි ගැන ගාණක් නෑ. එයා රවීන්ගෙන් පලිගන්නේ ළමයින්ට රිද්දලා. අන්තිමේ  තැලෙන්නේ දරුවෝ දෙන්නා. මම දුක් වෙන්නේ ගැන. දැන් මම ඉන්න හන්දා, දෙන්නා ගැන  මම හොයලා බලනවා. ඒත් හෙට අනිද්දට මාත් මැරිලා ගියාම? මොකක්ද අසරණයෝ දෙන්නට වෙන්නේ කියලා මට හිතාගන්න බෑ. මම හිතන්නේ ගැන. මම දුක් වෙන්නේ ළමයි දෙන්නා ගැන. ඔය ළමයට පුලුවන් නම් මේක රවීන්ට තේරුම් කරලා දෙන්න"
රවීන්ගේ තාත්තා අන්තිමේදි කතාව නැවැත්තුවේ එහෙම කියලා. ඔහු ඉන්පස්සේ ලොකු සුසුමක් හෙලලා බිම බලාගත්තා.
"මිස්ට සේනානයක කියන දේ මට තේරෙනවා. මම රවීන් එක්ක මේ ගැන කතා කරලා බලන්නම්.ළමයි දෙන්නා ගැන මිස්ටර් සේනානයක බය වෙන්න එපා. කවුරු නැති වුණත් මම ඒ දෙන්නව මට පුලුවන් විදියට බලාගන්නවා. රවීන් එක්ක එකතු වෙන්න තීරණය කරපු මොහොතේ ඉඳලම ඒ දෙන්නත් මගේ ජීවිතේ කොටසක් වුණ වග මම දන්නවා. මම ඒ වගකීමෙන් අයින් වෙන්න හිතන්නේ නෑ"

අයුමි හෙමින්, ඒත් ස්ථිරසාර හඬින් කිව්වේ ඈ ඇත්තටම හිතන දේ. රවීන්ගේ තාත්තා යාන්තම් හිස උස්සලා ඈ දිහා බලනවා ඈ අස් කොනකින් දැක්කා. ඈට ඉබේටම මතක් වුණේ තමන්ගේ තාත්තව. ඊට පස්සේ, ගෙදරයි, අම්මලයි. ඒ එක්කම ඇගේ හිතේ පිරුණේ මහා වරදකාරී බවක්. ඒ දෙමව්පියෝ ඉපදුන දා ඉඳන් හැමදේම කලේ තමන්ගේ දරුවෝ වෙනුවෙන්, අද පවා දරුවෝ වෙනුවෙන් ඒ අය මොන තරම් දුක් ගිනි උහුලනවද කියලා ඈට කල්පනා කලේ තමන්ගේ අම්මලා ගැන, රවීන්ගේ තාත්තා ගැන ලොකු ගෞරවයක් හිතේ ඉපදෙද්දි. ඒත් ඒ අතරේ පූර්ණිලා වගේ අම්මලත් ඉන්නවා නේද කියලා ඈ හිතුවේ රවීන්ගේ දරුවෝ දෙන්නා ගැන සෙනෙහසකින් හිත පිරෙද්දි. අන්තිමේදි ඈ හිතාගත්තේ රවීන් ඊලඟට මුණගැහුණම මේ ගැන ඔහු එක්ක බැරෑරුම්ව කතා කරනවා කියලා.

No comments:

Post a Comment