Sunday, September 6, 2015

විහංඟනාවී: හතලිස් හතරවන කොටස

රවීන් ආයෙම ඔෆිස් එකට ආවේ හවස් වෙලා. ඒ එද්දි ඔහුගේ තාත්තා ඔෆිස් එකෙන් පිටවෙලා ගිහින් තිබුණා සෑහෙන වෙලාවකට කලින්. ඔෆිස් එක අස් කරමින් හිටපු අයුමිට ඉන් පස්සේ වැඩක් කරගන්න හිතක් තිබ්බේ නෑ. රවීන්, රවීන්ගේ ළමයි, තමන්ගේ අම්මලා, මේ සේරම ගැන සිතිවිලි ඈව මොකක්දෝ කලකිරුණු, නොසන්සුන් ස්වභාවයකට පත් කරලා තිබුණා.
"ආ...ළමයා සෑහෙන්න අස් කරලා නේ?" රවීන් එහෙම අහගෙන ඔෆිස් රූම් එකට එද්දි අයුමි උන්නෙ ඒ කාමරේ එලියට විවෘත වෙන ජනේලේ ලඟ.
"මොකෝ මේ...අස් කරලා මහන්සිද?" රවීන් එහෙම අහගෙන හිනාවකුත් එක්ක ඈ ලඟට එද්දි ඈ ඔහු දිහා යන්තම් හැරිලා බලලා හිනාවෙන්න උත්සාහ කලා.
"මම ඔෆිස් එකේ අයට මිල්ක් ෂේක් අරන් ආවා. ඔයාට විෂේෂයෙන්ම කියලා ස්ට්‍රෝබෙරි එකක් අරන් ආව. ආ..."
ඔහු ඈ අසලට ඇවිත් අතේ තිබ්බ පාර්සලය දික් කලාම ඈ ඒක අතට ගත්තේ යන්ත්‍රානුසාරයෙන් වගේ.
"තෑන්ක් යූ" ඈ කිව්වේ හෙමින්.
"යූ ආ වෙල්කම් මැඩම්. ඒක නෙවෙයි...ඔයා කැමතිද අලුත් සෙටින් එකට?" රවීන් ඇහුවේ කාමරේ සිසාරා බලමින්.
අලුත්ම ලී බඩු, සුදු පාට බිත්ති, කහ, නිල්. කොල, දම් පාටවලින් ඇඳපු Abstract ගණයේ ලොකු චිත්‍රේ, දිලිසෙන පොත් රාක්ක, ඒ උඩ තිබ්බ කුසලාන, ඒ අතරේ ඔෆිස් එකට ඇතුලුවෙන දොර පැත්තේ තිබුණේ රවීන් ලබපු විවිධ සහතික, කුසලාන ලබපු වෙලාවල ගත්තු රාමු කරපු ඡායාරූප එකතුවක්. අයුමිගේ මේසේ උඩ නම් තාම තිබ්බේ ඇගේ ලැප්ටොප් එක විතරයි. රවීන්ගේ මේසෙත් බඩු තවම අස් කරලා තිබුණේ නෑ. ඒත් ඒ කාමරේ තිබුණේ වෙනස්ම නැවුම් බවක්. රවීන් හෙමීන් වටපිට බලමින් විඳගන්න උත්සාහ කලේ ඒ හැඟීම වෙන්න ඇති කියලා අයුමිට හිතුණා. මොකද අද උදේ කාමරේට එද්දි ඈට දැනුනෙත් ඒ හැඟීමම නිසා. ඒත් දැන් ඈ උන්නේ වෙනමම මානසිකත්වයක.
"හාෆ් වීදුරුව කවර් නොකර ඉන්න කියලා මම කිව්වා. මම කැමති නෑ මිනිස්සු මේ කාමරේ ඇතුලේ මොනා වෙනවද දන්නේ නෑ කියලා එලියේ ඉඳන් හිත හිත ඉන්නවට. ඕඅනම කෙනෙක් ආවම අපි දෙන්නව හොඳට පේන්න තියෙන්න ඕන. ඔයාව මගේ ලඟට ගත්තා කියලා විශෙෂයෙන්ම ඔයාට කතාවක් හැදෙනවට මම ආස නෑ" රවීන් කිව්වේ කාමරේ ඉස්සරහ බිත්ති වෙනුවට සවි කරලා තිබ්බ බාගයක් වීදුරු, බාගයක් ලීවලින් හදපු කොටස පරීක්ෂා කරමින්.
"ඒක හොඳයි රවීන්" අයුමි කිව්වේ හෙමින්.
රවීන් ඈ දිහා හැරිලා බැලුවේ ඒ හඬේ තිබ්බ වෙනස ඔහුට තේරිලා වගේ. අයුමි ඉක්මණින් මූණට හිනාවක් නගාගත්තේ ඔහුට වෙනසක් පෙන්නන්න ඈට උවමනා නොවුණ නිසා.
"දවස් දෙකක්ම මේ වැඩේම කරලා ඔයාට මහන්සි පාටයි. අපි මේක හෙමින් අස් කරගමු. ඔයා දැන් ඕක බොන්නකෝ" රවීන් ඈ අසලට ඇවිත් එහෙම කියලා, ආයෙම ඔහුගේ මේසේ ලඟට ගියේ එතන අස් පස් කරන්න.
අස් පස් කරන වැඩ කරන්න මිනිස්සු උන්නත් රවීන් කැමති වුණේ නෑ තමන්ගේ කාමරේ වෙන කවුරුවත් අස් කරනවට. අයුමි නිහන්න්ෆවම තමන්ගේ මේසේ අසල වාඩි වෙලා රවීන් වැඩ කරන දිහා බලාගෙන උන්නා. අතේ තිබුණ මිල්ක් ෂේක් එක බොන්න ඒත් ඈට හිතක් තිබුණේ නෑ.
"ඒක නෙවෙයි, මේ සති අන්තේ දැන් අපි අර ගමන යනවනේ. ම්ම්...ඒකට ඔයාට ඇඳුම් ගන්න ඕන වෙයි නේ?"
වැඩ කරමින් ඉන්න අතරේ රවීන් එහෙම ඇහුවමයි අයුමිට මතක් වුණේ එහෙම ගමනක් යන්න දාගෙන තිබ්බ වග.
"ආ... බලන්න ඕන"
"බලන්න ඕන නෙවෙයි, ගන්න ඕන. අද හවස අපි යමු. එතකොට ඔයාගේ ඔය මැලවුණ ගතියත් පහවෙලා යයි. මොකද ගෑණු අයට ෂොපිං කරද්දි මහන්සි නෑනෙ" රවීන් කිව්වේ ඈ දිහා බලලා හිනාවක් පාලා.
අයුමිට හිනාවක් නැගුණේ ඉබේටම.
"මට තියෙන එකක් අඳින්න පුලුවන්නේ" අයුමි කිව්වා.
"ඒ ඔයාටනේ. මට බෑ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව එහෙම එක්ක යන්න" රවීන් කිව්වේ විහිලුවෙන් වගේ.
"එහෙනම් මම ඉන්නම්. ඔයා යන්න පොඩි දෙන්නා එක්ක. ඇඳුම් වලින් ගොඩේ කම වහන්න බැරි වුණොත්?" අයුමි ඇහුවේ හිත සැහැල්ලු කරගන්න උත්සාහ කරමින්.
තමන්ගේ හිතේ පීඩාවක් තිබුණත්,  අද වෙච්ච දේවල් දැන් රවීන්ට කිව්වොත් ඔහු කේන්ති අරන්, මෙතන පිස්සුවක් නටන්න පුලුවන් හන්දා, වෙලාව එනකල් ඉවසන්න ඕන කියලා ඇගේ හිත කිව්වා.
"රෝස මල් පිපෙන්නේ ගොඩේ නේන්නම්. මඩේ පිපෙන්නේ නෑනෙ. ඇඳුම් එපා නම් ඉතිං ඒකත් මට ප්‍රශ්ණයක් නෑ..." රවීන් එහෙම කිව්වේ ඇහිබැම උස්සලා. ඔහු කියපු දේ ඈට තේරුණත් ඈ ඒක නොතේරුණා වගේ හිනාව වලකගෙන එතනින් නැගිට්ටේ ආයෙම අස් කරන්න හිතාගෙන.
ඒ අතරෙමයි සමින්ද ඇවිත් ඇරලා තිබුණ දොරට තට්ටු කලෙත්. අයුමිට ඒ දිහා බැලුණේ ඉබේටම. සමින්ද මොනවදෝ ලියකියවිලි වගයක් අරගෙන දොර ලඟ හිටගෙන උන්නා.
"ඔව් සමින්ද..."
"මිස්ටර් රවීන් අර MoU එක...?
"ආ...ඔව් අර ඔයා උදේ දීලා ගිය එක නේ. නෑ මම ඒක sign කලේ නෑ. මොකාක් හරි මම ඔයාගෙන් අහන්න හිටියා. යමුකෝ, ඒ ටික conference room එකේ. ආ..බබී...ඔයා මේ පෙට්ටියේ බඩු ටික මෙහෙමම තියන්න හොඳේ. මම ඇවිත් ඒක අස් කරන්නම්"
රවීන් එහෙම කියාගෙන සමින්ද එක්ක යද්දි, සමින්ද එක පාරටම බය වෙලා වගේ තමන් දිහා බැලුවේ මොකද කියලා අයුමිට දැනුනේ නෑ එවෙලේ. සමින්ද යමක් තේරුම්ගත්තු වගවත් ඈට දැනුනේ නැති තරමයි.
අයුමි තමන් එක්කම තර්ක කරමින් හිටියේ තාත්තා ආපු වග රවීන්ට කියන්න ඕනද, නැද්ද කියලා හිතමින්. කොහොමවුණත් අන්තිමේදි රවීන්ට ඒක ආරංචි වෙන වග ඈ දැනගෙන උන්නා. වෙන කවුරුත් නැතත් රවීන්ගේ තාත්තම ඔහුට ඒක කියන්න ඉඩ තියෙනවා කියා ඈට හිතුණා. ඒත් ඔෆිස් වෙලාවෙදි ඒක කියන්න ගිහින් ප්‍රශ්ණ ඇති කරගන්න ඈට ඕන වුණේ නෑ. ඒ හන්දා අන්තිමේදි ඈ ඒ ගැන හඬ අවදි කලේ හවස රවීන් එක්ක ඇඳුම් ගන්න යන්න පිටත් වුණ වෙලේ මගදි.
"රවීන්..."
"ම්ම්..."
"මම ඔයාට කියන්නමයි හිටියේ, අද ඔයාගේ තාත්තා ආවා උදේ ඔෆිස් එකට"
අයුමි එහෙම කිව්වම රවීන් එක පාරටම ඈ දිහා බැලුවේ වාහනේ වේගයත් අඩු කරන ගමන්.
"අද? කීයට වගේද?"
"ඔයා ගිය ගිල්ලා ටික වෙලාවකින්. මේ ලඟකට ආපු ගමන් ඇවිත් යන්න ආවා කියලා කිව්වේ"
"ම්ම්...ඉතිං? ඇවිල්ලා ඔයා එක්කත් කතා කලාද?" රවීන් අහුවේ ඉස්සරහ බලාගෙන හෙමින් වාහනේ එලවන ගමන්.
"හ්ම්ම්"
ඒ පාර රවීන් ඈ දිහා බැලුවේ ඇස් කොනකින්. අයුමි මුකුත්ම නොකියා උන්නේ කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව.
"මොනවද තාත්තා කිව්වේ?" රවීන් ඇහුවා අන්තිමේදි.
"තාත්තා ගොඩාක් දේවල් කිව්වා රවීන්" අයුමි කිව්වේ හිතේ පීඩාකාරී බව ඈට වද දෙද්දි.
රවීන් සුසුමක් හෙලුවා.
"ම්ම් ඒක තමා එයා මම නැතිවෙලාවක්ම බලලා ඇවිත් තියෙන්නේ එහෙනම්"
"මම හිතන්නෑ එහෙම හිතාගෙන තාත්තා එන්න ඇති කියලා" අයුමි කිව්වා.
"මම දන්නෑ අපේ තාත්තට මොනා වෙලාද කියලා. එයා බොරුවට දේවල් ගැන කලබල වෙනවා" රවීන් කිව්වේ පුංචි නොරිස්සුමකින් වගේ.
"ඒ වුණාට රවීන් තාත්තා කියපු කතාවල ඇත්තක් නැතුවම නෙවෙයි නේ" අයුමි කිව්වා.
"දැන් කියනකෝ අපේ තාත්තා මොනාද ඇවිත් ඔයාට කිව්වේ කියලා" රවීන් ඇහුවා.
අයුමි ගොඩාක්ම විස්තරත් නොකියා, ඒත් කියපු දේවලුත් මග නොහැර වෙච්ච දේවල් සීරුවට රවීන්ට කියද්දි ඔහු අහගෙන උන්නේ වචනයක් වත් නොකියා.
"තාත්තා ගොඩක් වද වෙන්නේ පොඩි දෙනා ගැන රවීන්" අයුමි අන්තිමටත් එහෙම කිව්වා.
"පොඩි දෙන්නා ගැන වද වෙන්නේ තාත්තා විතරක් නෙවෙයි අයුමි. ඔයා හිතන්නේ මම ඒ දෙනා ගැන වද වෙන්නේ නෑ කියලද? අන්තිමේදි ඔයත් තාත්තගේ පැත්තෙද?"
"මම කාගෙවත් පැත්තක් ගන්නවා නෙවෙයි. ඔයා ඉතිං ඔහොම හැම දේම වැරදියටම ගන්න එපා ඉතිං"
අයුමි කිව්වම රවීන් බුම්මගත්වනම වාහනේ හැරෙව්වේ රාජගිරිය පැත්තට. වාහනේ පුරුදු Aparment  complex එක දිහාට හරවද්දි අයුමි දැනගත්තා රවීන් ඉන්නේ දවල් උන්නු හොඳ මූඩ් එකේ නෙවෙයි කියලා. හිතට මොකක්දෝ කණගාටුවක්, එපාවීමක්, කලකිරීමක් දැනෙමින් තිබ්බා මේ වෙන දේවල් ගැන. එකක් නැත්තම් එකක්!
රවීන් apartment එකට ඇතුල් වෙලා අයුමි ආවද නැද්දවත් නොබලා ගිහින් සැටියේ වාඩි වෙලා කල්පනා කරන්න වුණේ මූණේ හැඟීම්, තප්පරෙන් තප්පරේ වෙනස් වෙද්දි. අයුමි දොර වහලා දොර ලඟ හිටගෙන ඔහු දිහා බලාගෙන උන්නේ දුකෙන්. මේ හවස මේ වගේ වෙන්න ඈට ඕන වුණෙ නෑ.
"රවීන්..."
බැරිම තැන ඈ කතා කලාම රවීන් ඈ දිහා බැලුවේ ඈ ගැන වගක්වත් නති විදියට.
"නෑ...මම මේ කල්පනා කලේ කවද්ද, කොයි වෙලේද මම මගේ ළමයි ගැන හෙව්වේ බැලුවේ නැත්තේ කියලා" එහෙම කියද්දි ඔහුගේ හඬේ තිබ්බෙ කෝපයක්.
"තාත්තා එහෙම කිව්වා නෙවෙයි රවීන්"
"එහෙනං මොකක්දඒ කියලා තියෙන කතාවල තේරුම?" රවීන් උස් හඬින් ඇහුවම අයුමි තිගැස්සුනා.
"තාත්තා කියන්නේ මෙහෙම එක එක උදවිය ඔයා ළමයින්ගේ ජීවිත වලට අරන් එද්දි එයාලා හිතිං අතරමං වෙනවා කියලා. ඒ දෙන්නට අම්මත් නෑ. මාව ඒ ළමයින්ට කොහොම පේනවද කියන්න අපි දෙන්නම දන්නේ නෑ. ඔයාගේ අවධානේ, ආදරේ එයාලට මේ පිටස්තර අය හන්දා නැති වෙනවා කියලා දැනෙනවද කියලා අපි දන්නේ නෑනෙ"
"තාත්තා එහෙමත් කිව්වද?"
"තාත්තා නෙවෙයි රවීන් මං කියන්නේ මට හිතෙන දේ. තාත්තා කිව්වේ ළමයි දෙන්නා ගැන මීට වඩා වගකීමෙන් වැඩ කලොත් හොඳයි කියලා. ඒකේ තේරුම අපි මේ කරන දෙයිනුත් ඒ වගකීමට අපි පිටුපානව කියන එක නෙවෙයිද?"
රවීන් පුටුවට හේත්තු වුණේ හිස වනමින්.
"මං මගේ ළමයින්ට කිසි දේකින් අඩු පාඩුවක් කරලා නෑ. පූර්ණි ගියපු දා ඉඳන් මම මගේ උපරිමෙන් කරන්න පුලුවන් සේරම කලා. මම සති අන්තෙක කොහේවත් යන්නෙත් කලාතුරකින්, ඒ දෙන්නා එක්ක මම ඉන්න ඕන කියලා හිතන නිසා. මම නයිට් පාටියකට යන්නෙත් එහෙමත් වෙලාවක, ඒ වෙලාවත් මම ගෙදර ඉන්න ඕන කියලා හිතන නිසා. ඒ ශාරයි, ශමිතුයි හන්දා තමයි. ඒත් මට කියලා හැඟීම් නැද්ද. කසාදේ ඉවරවුණාම අපි ඒ සේරම, හැඟීම් දැනීම් මරලා දාලා බ්‍රහ්මචාරී වෙන්න ඕනද? මම ආශ්‍රය කරපු මිනිස්සු මම ළමයින්ට නොපෙනී ආශ්‍රය කලේ නැත්තේ, මම හිතුවා ඒ මිනිස්සු පූර්ණිගෙන් නැතිවුණ අඩුව පුර්වන්න ඒ ළමයින්ට සහනයක් වෙයි කියලා. පූර්ණි ගියාට පස්සේ අතරමං වුණේ ළමයි විතරක් නෙවෙයි, මාත් අතරමං වුණා. පූර්ණි ගිය එක මගේ වරද ද? එයා ගියා කියලා වන්දි ගෙවන්න ඕන මම ද? මම ආදරයක් හෙව්වේ මට විතරක් නෙවෙයි, මගේ දරුවන්ටත් එක්ක. එතකොට ඒකද මගේ වරද?" රවීන් කිව්වේ අවේගයෙන්.
අයුමි උන්නේ හොඳටම බියපත් වෙලා, දුකෙන්, ගැහෙමින්.
"රවීන්...එහෙම නෙවෙයි-"
"එහෙනං කොහොමද? මොකක්ද එහෙනං?"
අයුමි රවීන් දිහා බලාගෙන උන්නේ උත්තරයක් හිතාගන්න බැරිව.
"පූර්ණි ගියාට පස්සේ මම කරන්න තිබුණේ ගෙදර නතර වෙලා ළමයි බලාගෙන ඉන්න එකද? ඒකද ඔයා, තාත්තා හැමෝම මගෙන් බලාපොරොත්තු වෙන්නේ? මගේ ළමයි මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒකද? එතකොට හැමෝම හිතාගෙන ඉන්නේ මම මේ බිස්නස් කරන්නේ, මෙච්චර මැරෙන්නේ, ඔලුව උස්සගෙන තැනකට එන්න හදන්නේ මගේ ආත්මාර්ථය වෙනුවෙන් කියලද? මම මේ හැමදේම කරන්නේ ඒ ළමයි දෙන්නා වෙනුවෙන් තමයි අයුමි. උන් දෙන්නව සැපෙන් තියන්න ඕන හන්දා, දුකක් නොදැනෙන්න හදන්න ඕන හන්දා. නැත්තම් මට සැප විඳින්න නෙවෙයි" රවීන් අන්තිම ටික කිව්වේ ආත්මානුකම්පාවකින් වගේ.
අයුමිට ඔහු ගැන දැනුනේ ලොකු දුකක්. ඔහු ඒ තරම් වේදනාවෙන්, කේන්තියෙන් උන්නු වෙන දවසක් ඈට මතක තිබ්බේ නෑ.
"මං වෙනුවෙන් මම කරපු එකම දේ, ඉඳ හිට කවුරුහරි ආශ්‍රය කරපු එක විතරයි. ඒක වරදක්ද කියන්න මම දන්නේ නෑ. මම පූර්ණි ඉද්දි වෙන ගෑනු එක්ක ගිහින් නෑ.මම වෙන මිනිස්සුන්ගේ ගෑණු ආශ්‍රය කලේ නෑ. අකමැත්තෙන් ගෑණුන්ව ආශ්‍රය කලෙත් නෑ. කොයිම වෙලාවකවත් අනවශ්‍ය විදියට ලාබ ප්‍රයෝජන ගන්න ආශ්‍රය කරලත් නෑ. ඔයා ඒක දන්නවා අයුමි. මම ඔයාව ආශ්‍රය කරන්නේ කොහොමද කියලා ඔයා දන්නවා..."
"ඔව් රවීන් ඔව්...ඒක කියන්නවත් ඕන දෙයක් නෙවෙයි, ඒක මම දන්නවා හොඳටම" අයුමි කිව්වේ හැඬුම්බරව.
"මට තේරෙන්නේ නෑ තවත් මොනාද මං කරන්න ඕන කියලා"  රවීන් එහෙම කියලා පුටුවට බරවෙලා ඇස් පියාගත්තේ ලෝකෙම එපා වෙලා වගේ.
අයුමි ඒ පාර උන්නු තැනින් නැගිටලා ගිහින් ඔහුගේ පාමුල ඉඳගෙන පුටුව මත ඔහේ වැටිලා තිබුණ අතක් දෝතින්ම අලාගත්තා. රවීන් ඒත් හෙලවුණේවත් නෑ.
"අහන්නකෝ...මම හිතන්නෑ තාත්තා ඔයා කියන දේවල් ඔය මට්ටමෙන්ම අදහස් කලා කියලා. තාත්තා කියන්න ඇත්තේ ජීවිතේ ගැන ස්ථිරව තීරණයක් ගන්න කියන එක කියලා ඔයාට හිතෙන්නේ නැද්ද රවීන්. තාත්තා මේවා කිව්වේ එයා ඔයා ගැන වද වෙන හන්දා. එයා බය ඇති මමත් පූර්ණි වගේ වුණොත් ඊට පස්සේ මොනා වෙයිද කියලා. අපි තවා මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන කියන එකයි තාත්තා කිව්වේ රවීන්. ඒ ඔයාගේ, ළමයින්ගේ, මගේ සේරමල්ලගේ හොඳට"
රවීන් අයුමි අල්ලගෙන උන්නු අත ඇදලා අරගෙන අත් දෙක බැඳගෙන අහක බලාගත්තා. අයුමිගේ හිත රිදුණා ආයෙමත්. ඊලඟට රවීන් ආයෙම ඈ දිහා බැලුවා.
"මොකක්ද ඒකේ තේරුම? වගකීමක් ගන්නවා කියන්නේ, මට ඔයාව කසාද බඳින්න කියන එකද?"
රවීන් එහෙම ඇහුවේ නිර්දය විදියට. අයුමි තිගැස්සුනා ඒ ස්වරයට.
"එතකොට සේරම හරියනවද?"
"රවීන්..."
"ඔයාටත් ඕන කාසාද බැඳලා පැත්තකට වෙලා ළමයි බලන්නද අයුමි?"
අයුමි ඇස් ලොකු කරගත්තා ඒ ප්‍රශ්ණේ රවීන් ඇහුවම.
"හරි...අපි කියමු මට ඔයාව බඳින්න ඕන කියලා? ඔයාට පුලුවන්ද හෙට මාව බඳින්න? ඔයාට පුලුවන්ද මගේ ළමයි දෙන්නට අම්මා කෙනෙක් වෙන්න? කලින් හැමෝම හිතන්නේ, ඒක හරි ලේසි දෙයක් කියලා. ඒත් ඒකේ රඟ තේරෙන්නේ බැන්දට පස්සේ. ඒ එන වගකීම්, ප්‍රශ්ණ, මේවට මූණ දෙද්දි තමයි ජීවිතේ යථාර්ථය පේන්න පටන් ගන්නේ. තාත්තට කියන්න පුලුවන් එකතු වෙන්න කියලා, ඔයාටත් පුලුවන් කියන්න බඳිමු කියලා. ඒත් ඒ බැරෑරුම්කම ඔය දෙන්නටම තේරෙන්නේ නෑ. මේක trial and error අත් හදාබලන වෙලාවක් නෙවෙයි. මට ඒ අවදානම ගන්න බෑ...ඔයා තාම පොඩි කෙල්ලෙක්, දැන්ම ඔයාට ඒ අවධානම ගන්න දෙන්නත් මට බෑ. ඔයා තාම මං ගැන, මගෙ දරුවෝ ගැන, ගෙදර ගැන දන්නේ බොහෝම ටිකයි. ඒ දේවල් තේරුම් ගන්න ඔයාට කාලයක් දෙන්න මට ඕන" රවීන් කියාගෙන ගියා.
"රවීන්..." අයුමි ඔහුව ඇමතුවේ ඇගේ හිතේ ඔහු ගැන සෙනෙහස වැඩි වෙද්දි.
"මට මං ගැන විතරක් හිතන්න බෑ අයුමි...ඔයා ගැන නොහිතා. ඩිසයිනින් අතින් ඔයාට පැහැදිලි ලස්සන අනාගතයක් තියෙනවා. සමහරවිට ඉස්සරහදි ඔයාට අපේ කම්පැනියෙන් අස් වෙලා වෙන හොඳ කම්පැනියකට යන්න ඉඩ හැදෙන්න පුලුවන්. ඒ අවස්ථාව මම ඔයාට නුදුන්නොත් මම මහා ආත්මාර්ථකාමී මිනිහෙක් වෙනවා.
ඔයා තාම පොඩියි. තව කල් යනකොට ඔයාට හිතුණොත් නෑ රවීන් නෙවෙයි, මට හරියන්නේ වෙන කෙනෙක් කියලා, ඔයාට ඒ තීරණේ ගන්න මම ඉඩ දෙන්න ඕන. මම කසාද බැඳලා, ජීවිතේ අවුල් කරගත්තු මිනිහෙක්. ඔයාට මට වඩා දස දහස් ගුණයක් හොඳ කෙනෙක් හම්බවෙන්න ඉඩ ඕන තරම් තියෙනවා. එහෙම වුණොත් ඔයා යන එක නවත්තන්න මට බෑ. මට එච්චර ආත්මාර්ථකාමී වෙන්න බෑ. මං ඔයාට ආදරේ කරන්නේ ඒකට නෙවෙයි.
මට ඕන ඔයා හොඳින් ඉන්නවා බලන්න. මගේ වුණත් නැතත්. මම ආසයි ඔයා නිදහස්, ස්වාධීන, ශක්තිමක් ගැණු කෙනෙක් විදියට දියුණු වෙනවා බලන්න. ඒක ඔයා තුල තියෙනවා. මට ඒක නැති කරන්න ඕන නෑ.. මම හන්දා ඒ දේවල් ඔයාට කරගන්න බැරි වුණොත්, ඒකට වග කියන්න වෙන්නේ මට. ඒක මට ජීවිත කාලයක්ම විඳවන්න වෙන දුකක් වෙයි. තේරුම්ගන්න. ඕන කෙනෙක්, ඕන දෙයක් කියපුවාවේ කියලා මට ඔයාව හෙට වුණත් බඳින්න පුලුවන්. ඒත් ඒ විදියට ඔයාව සීමා කරන්න මට ඕන නෑ"
රවීන් කියාගෙන යද්දි අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ ඔහු ගැන තිබුණ ආදරය, සෙනෙහස උතුරාහැලෙද්දි. ඔහු ඈ ගැන හිතන්නේ එහෙම වග ඈ අද වෙනකල් දැනගෙන උන්නේ නෑ.
"ඒත් එහෙම සීමාවෙන එක මට ප්‍රශ්ණයක් නෙවෙයි නං? ඒ වගකීම් ගන්න මට ඕන නං?" අයුමි ඇහුවම රවීන් ඈ දිහා බැලුවේ තාත්තා කෙනෙක් දුවෙක් දිහා බලනවා වගේ බැල්මකින්.
"ඔයා එහෙම හිතන්නේ ඔයා තාම පොඩි කෙල්ලෙක් හන්දා අයුමි. මේ ඔයාගේ පලවෙනි ආදරේ. ඔයා දන්නේ නෑනෙ, මට වඩා හොඳ තව  වෙන කෙනෙක් ඉන්න පුලුවන්ද, බැරිදවත් කියලා ඔයාට. එහෙම නෙවෙයිදමම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. මම පූර්ණි බඳිද්දි එයාටත් තිබ්බේ ඔයා වගේ අදහස්. කසාද බඳිනකල් එයාට ඉවසුමක් නැති වුණා. ඊට පස්සේ ළමයි හදන්න. මොක්ද ඒ වෙද්දි එයාගේ යාලුවෝ බැඳලා එයාලට ළමයි හිටපු නිසා. ඒත් වගකීම් වැඩි වෙද්දි එයාටම තේරුණා මේ එයා මවාගෙන උන්නු හීන ලොකේ නෙවෙයි කියලා. එයා තමන්ගේ බිස්නස් එක කරද්දි, මිනිස්සු එක්ක මූව් වෙද්දි එයාට තේරුණා, රවීන් කියන්නේ ලොකේ ඉන්න එකම මිනිහා නෙවෙයි කියලා. එයා ප්‍රාර්ථනා කරපු සුවච, කීකරු husband වෙන්න මට බැරි වුණා. මම ඒ දවස්වලත් මහන්සි වුණේ මේ බිස්නස් ගොඩනගන්න. මට ඕන වුණේ ඒ තුන් දෙනාව වලාකුලුවලටත් ඉහලින් තියන්න. ඒත් අන්තිමට මොකද වුණේ? ඒ සේරම නැති වුණා එක මොහොතකින්...
ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියනවනේ අයුමි. මාත් එහෙමයි. ආයෙම හිත කඩාගන්න මං බයයි අයුමි. ඒ මං ඔයාට ගොඩාක් ආදරේ හන්දා. ඔයාව සීමා කරන්න මට ඕන නෑ. ඒත් මම ඔයාට ගොඩාක් ආදරේ කරන හන්දා. අපි කසාද බැඳලද නැද්ද කියන එක ඒකට අදාල වෙන්නේ නෑ. ඔයා ඒක තේරුම් ගන්න. මුලු ජීවිතකාලෙම අපි මෙහෙම දෙපැත්තක උන්නත් ඒ ආදරේ වෙනස් වෙන්නේ නෑ. ඔයා ඒක තේරුම් ගන්නව නම් මට ඕන එච්චරයි."
අයුමි රවීන් දිහා බලාගෙන උන්නේ ඔහු ගැන ආදරේ මහ මෙරක් තරම් දැනෙද්දි. ඒත් හිතේ කොනක ප්‍රශ්ණ ගොඩක් නොතිබ්බා නෙවෙයි.නොබැඳ, මෙහෙම ඉන්න අයුමි කැමති වුණත්, කවදක හරි ගෙදරින් මේ දේවල් ගැන හොයද්දි මොනාද කරන්නේ කියන එක ඈට හිතාගන්නවත් බැරි වුණා.
"මට ඔයාව නොතේරෙනවා නෙවෙයි රවීන්" එහෙම කියලා අයුමි බිම බලාගෙන සුසුමක් හෙලුවා.
රවීන් හෙමින් ඇගේ හිස මත අතක් තියලා ඈ දිහාට නැඹුරු වුණාම ඇගේ හිත දුකකිනුයි, ආත්මනුකම්පාවකිනුයි පිරුණා.
"කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා බබී. ප්‍රශ්ණ එන එන විදියට අපි ඒවට මූණ දෙමු. මම දන්නවා ඔයා ඔය හිතන්නේ ඔයාගේ ගෙදර ගැන වග" රවීන් සුසුමක් හෙලුවා ආයෙම කතා කරන්න කලින්.
"අපි ඒකට ඒ වෙලාවට මූණ දෙමු. ප්‍රශ්ණේ එන්නත් කලින් ඒ ගැන වද වෙන්න ඕන නෑ. ඒත් මාව විශ්වාස කරන්න, කාටවත් ඔයාව මගෙන් ඈත් කරන්න බෑ...ඒකට මම ඉඩ දෙන්නේ නෑ"
රවීන් කියද්දි ඈ හිස උස්සලා ඔහු දිහා බැලුවේ ඉන් එහාට ගෙදර ප්‍රශ්ණේ ගැන හිතන්න බැරිව. රවීන් කිව්වට කරන්න ගියාම දේවල් මීට වඩා බැරෑරුම් වෙන වග ඈ නොදැන උන්නා නෙවෙයි. ඒත් මොකක්දෝ හේතුවකට දැන් ඈට ඒ ගැන හිතන්න බැරි වුණා. ඈ හෙමින් රවීන්ගේ දණහිස මත හිස තියාගත්තේ, හිත සන්සුන් කරගන්න උත්සාහ කරමින්. රවීන් ඈ වෙනුවෙන්, ඈ ලඟ අද වගේම ඉස්සරහටත් ඉඳීවි කියන දේ පසක් කරගන්න, හිතට ඒත්තු ගන්නන්න උත්සාහ කරමින්.
"මෙහාට එන්න" ඔහු ඉන්පස්සේ අයුමිව අනායාසයෙන්ම නැගිට්ටවලා අරගෙන තමන් අසලින් ඉන්දවාගත්තේ ඈ හෙමින් ඔහුගේ පපුවට තුරුලු වෙද්දි.
"ඔයාට තේරෙනවා නේද මම කියපු දේවල්?" ඔහු ඇහුවේ මුදු හඬින්.
අයුමි හිස වැනුවා විතරයි.
"මම ඉස්සෙල්ලා තරහින් කෑ ගැහුවට දුක හිතන්න එපා. මට තාත්තා එක්ක තරහා ගියේ මේවා නිස්කාරණේ ඔයාට ඇවිත් කියලා ඔයාගේ හිතත් අවුල් වුණ හන්දා.මම තාත්ත එක්ක මේවා ගැන වාද නොකරන්නේ, එයා මේවා තේරුම් නොගන්න හන්දා අයුමි. ඒක එයාගේ වරදකුත් නෙවෙයි, ඒක මම දන්නවා. ඒ එයාගේ විදිහෙන් බැලුවම එයාට හිතෙන දේ.ඒත් මම දන්නවා ඔයා මාව තේරුම් ගන්නවා කියලා"
ඔහුගේ උණුසුම් අතක් තිබ්බේ ඇගේ හිසේ පැත්තකුයි, කනයි, කම්මුලකුයි වසාගෙන. ඒ ඇඟිලි ඇගේ හිසකේ අතරේ දිවුණේ හෙමින්, රිද්මයකට.
"ඒ කොහොම වුණත්, මම කැමතියි ඔයාට පුලුවන් නම් ශාරාටයි, ශමිත්ටයි ටිකක් තව ලං වෙනවා නම්. සමහරවිට එතකොට තාත්තගේ හිතත් හැදෙයි ටිකක්" රවීන් ඉන්පස්සේ කිව්වා.
අයුමි ආයෙම හිස වැනුවා.  රවීන් ඇගේ කම්මුල මත තිබ්බ අතින් ඈව තව ටිකක් පපුවට තුරුලු කරගෙන, ඇගේ නලල මතින් දෙතොල් තියලා ඈව සිපගත්තේ සෙනෙහසින්.
"රවීන්.." ඒ උණුසුමේ වෙලිලා ඉන්න ගමන් අයුමි හඬ අවදි කලා.
"ඇයි බබී..."
"ඔයා ඇත්තටම හිතනවද කවද හරි මමත් පූර්ණි වගේ වෙලා ඔයාව දාලා යයි කියලා?" ඈ ඇහුවේ හිතට මෙච්චර වෙලා වද දීපු ප්‍රශ්ණයක්.
රවීන් එක පාරටම ඒකට උත්තරයක් දුන්නේ නෑ.
"මම එහෙමම හිතන්නේ නෑ, ඒත් එහෙම ගියත් ඔයා යන්නේ මට වඩා ඒ කෙනා ඔයාට ආදරේ කරන නිසානේ. ඉතිං එහෙම නම් ඔයා එහෙම කලත් මම තරහා නෑ"
"එහෙම කියන්න එපා රවීන්..." අයුමි කිව්වේ ඔහුගේ පපුවට තවත් තුරුලු වෙමින්.
"ඒත් එහෙම කෙනෙක් ඉන්නවා ඇති කියලා මම හිතන්නේ නෑ" රවීන් ඉන්පස්සේ ආයෙම එහෙම කිව්වා.
අයුමි හිස උස්සලා ඔහු දිහා බැලුවා.
"ඔයාට මම තරම් ආදරේ කරන කෙනෙක් ආයෙ ඉඳීවි කියලා මට හිතන්න බෑ. මම ඔයාට ඒ තරමටම ආදරෙයි...ඉස්කොලේ කාලේ මැරීගෙන, පණ දීගෙන ආදරේ කරන පොඩි කොල්ලෙක් වගේ මම ඔයාට ආදරෙයි..."

අයුමිගේ දෑස් කඳුලින් බොඳ වුණා ඒ වචන වල තිබුණ දයාබර කමට. ඈ ආයෙම රවීන්ගේ පපුතුරේ ගුලි වෙද්දි, රවීන් එක අතකින් ඈව ඔහු දිහාට ලං කරගෙන හිස මතින් කම්මුලක් තෙරපගත්තා. වචනයක් වත් ඔහු ඉන් පස්සේ නොකිව්වාත්, ඔහුගේ සෙනෙහස ඒ උණුසුමේ ඈට දැනුනා.

3 comments:

  1. රවීන් කොයි තරම් හොඳ කෙනෙක්ද ..අයුමි කොච්චර වාසනාවන්තද
    මේ තරම් පරිත්‍යාගශීලී විදිහට හිතන පිරිමි මේ ලෝකේ ඇත්තටම ඉන්නවද මන්දා ..
    සමහරවිට ගැණු අයගේ හිත් වල ඉපදෙන කතා වලම විතරයි වෙන්න ඇති.

    ReplyDelete
  2. එහෙම අය ඉන්නවා. හැබැයි ඉතිං හරි අඩුයි.
    ඒත් සමහර වෙලාවට ආදරේ කරන කාලේ ඉන්න කෙනා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ. සමහරවිට රවීනුත් අයුමිව බැන්දම වෙනස් වෙයිද දන්නේ නෑනෙ. සමහරවිට පූර්ණි රවීන්ව දාලා ගියෙත් එහෙම වෙනස් වුණ නිසාද දන්නෙත් නෑනෙ. :)

    ReplyDelete
  3. ගෑණු පිරිමි, වයස් කාණ්ඩ තුනක එකිනෙකට වෙනස් ජිවන අත්දැකිම් ඇති තුන්දෙනෙක් එකම දෙයක් දිහා බලන්නෙ දකින්නෙ වෙන වෙන කෝණ වලින් කියන එක ඔයා මේ කොටස් දෙකෙන් බොහොම අපූරුවට පෙන්නලා තියෙනවා.

    ReplyDelete