Friday, September 11, 2015

විහංඟනාවී: හතලිස්පස්වන කොටස

"දැන් කොහේද අයුමි හෙට යන්නේ?"
අලුතෙන් ගෙනාපු ඇඳුනුයි, පරණ ඒවයි සේරම ඇඳ උඩ එලාගෙන, හෙට ගෙනියන්නේ කොයිවද කිය කිය හිතන වෙලේ බාත් රූම් එකේ ඉඳන් නාගෙන ආපු තනූජා ඇහුවා.
"ට්‍රින්කෝ මම හිතන්නේ" අයුමි කිව්වේ තනූජා දිහා නොබලා.
"ම්ම්...කවුරු කවුරුද යන්නේ?" තනූජා ඉන් පස්සේ අයුමි ලඟට ඇවිත් ඈ ගෙනැත් තිබ්බ අලුත් ඇඳුමක් අතට අරන් බලමින් කිව්වා. "මේක ලස්සනයි"
අයුමි තනූජා දිහා බලලා හිනාවුණා.
"රවීනුයි, ගෙදර අයයි යන්නේ" අයුමි කිව්වම තනූජා ඈ දිහා බැලුවා එක පාරටම.
"ඔෆිස් එකෙන් නෙවෙයිද?" ඈ ඇහුවම අයුමිගේ හිත මොකක්දෙඔ වුණත්, තනූජට බොරුවක් කියන්න ඈට ඕන වුණේ නෑ.
"නෑ තනූ"
තනූජා ඈ දිහා බලාගෙන ඉඳලා හීන් සුසුමක් හෙලලා ආපහු ඇඳුම ඇඳ උඩට දැම්මා.
"මම දන්නෑ අයුමි ඔයා මොනා කරන්න යනවද කියලා" ඈ ඉන්පස්සේ කිව්වේ අයුමිගේ ඇඳේම කොනක වාඩි වෙන ගමන්.
"ඇයි ඔයා එහෙම කියන්නේ?" අයුමි ඇහුවේ කරමින් උන්නු වැඩේ නවත්තලා.
තනූජා උත්තරයක් දුන්නේ නෑ. ඒත් ඈ කියන්නේ මොකක්ද කියන එක අයුමිට තේරුණා.
"trip එකක් යන එකේ වරදක් නෑනෙ තනූ. ඔයා හිතන්නේ මොනාද කියලා මට තේරෙනවා. ඒත් රවීන් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න කෙනෙක් නෙවෙයි. එහෙම කරනවා නම් කරන්න ඕන තරම් වෙලාවල් එයාට තිබ්බා.  මම යන්නේ රවීන් එක්ක තනිවෙන්න ඕනවට නෙවෙයි. එයාට ඕනත් ඒක නෙවෙයි. වැඩියක්ම අපි මේ යන්නේ, රවීන්ගේ පොඩි දෙන්නා හන්දා" අයුමි අස් කරන එක මදකට නවතලා කිව්වා.
"මම කියන්නේ එහෙම දෙයක් ගැන විතරක් නෙවෙයි අයුමි. ඔයා ඔය කරන සම්පූර්ණම දේ ගැන. මොකක්ද අන්තිමට ඔය දෙන්නා කරන්න හිතාගෙන ඉන්නේ? ඔයා හදන්නේ එයාව මැරි කරලා අර ළමයි දෙන්නට අම්මා කෙනෙක් වෙන්නද?" තනූජා ඇහුවා.
"කවදාහරි එහෙම වෙන්න ඕන නම් ඒකට මං ලෑස්තියි තනූ" අයුමි කිව්වා.
"එතකොට ගෙදර?"
"මම දන්නෑ"
"හෙට ට්‍රිප් එකක් යන වග ගෙදරින් දන්නවද?"
තනූජා එහෙම ඇහුවම අයුමිගේ හිත පුංචි වරදකාරී හැඟීමකින් පිරුණා. යන බව ගෙදරට කිව්වත් යන්නේ ඔෆිස් එකෙන් කියලා මිස රවීන් එක්ක වග අයුමි ගෙදරට කිව්වේ නෑ.
"ඔව්..."
තනූජා ආයෙම සුසුමක් හෙලුවා.
"මොනා කරත් කමක් නෑ, පරෙස්සමින්..." තනූජා කිව්වේ ඒ විතරක් වුණත්, ඒ ඇතුලේ හැංඟුන දහසක් දේවල් තිබුණ වග අයුමි දැනගෙන උන්නා.
අයුමි ඒ සිතිවිලි වලින් බැහැර වෙන්න උත්සාහ කරමින් ආයෙම බෑග් එක අස් කරන්න වුණාම තනූජත් ඈට ඇඳුම් එක එක නවලා දෙන්න ඉදිරිපත් වුණා.
"තනූ"
"ම්ම්?"
"දැන් ලොක්කයියාගේ වැඩේ මොකද වෙන්නේ?"
අයුමි ඒක තනූජාගෙන් ඇහුවේ කාලාන්තරයකට පස්සේ. මොකද ඇගේ හිත රිද්දන්න අයුමිට ඕන නොවුණ නිසා.
"මම දන්නෑ අයුමි. මම ඒ ගැන නොහිතා ඔහේ ඉන්නවා. එයා දවසක් දෙකක් ඔෆිස් එක ලඟට ආවා කතා කරන්න. ඒත් මම ඒකට උනන්දුවක් පෙන්නුවේ නෑ. මොනා වුණත් අපි දැන් නොගැලපෙනවානම්, ඉස්සරහටත් ගැලපෙන්න විදිහක් නෑනෙ"
"හ්ම්ම්" අයුමි හිස වැනුවේ තනූජා ගැන අනුකම්පාවක් දැනෙද්දි.
"ම්ම්...මම හිත හදාගන්න තීරණය කරලා ඉවරයි. මට මෙහෙම මූඩ් ගහලා ඉන්න බෑ"
"හ්ම්ම්...එහෙම හොඳයි. ඔය ඔහොම ඉද්දි මටත් දුකයි"
"ආ..මේ...මට කියන්න බැරි වුණානේ ඔයාට" ඇඳුමක් නවමින් ඉඳලා බාගෙට ඒක නවත්තපු තනූජා කිව්වේ ඈ දිහා කෙලින්ම නොබල.
"මොකක්ද?"
"ම්ම්...නොහාන්...මේ...එයා ලඟකදි ඉඳලා පොඩ්ඩක් මා එක්ක වැඩිපුර කතා කරනවා"
"ඈ...??" අයුමි උඩ පැනලා තනූජා දිහාට හැරුණේ ඇස් ලොකු කරගෙන.
"ඔය ඉතිං..ඔයා එක්සයිට් වෙලානේ"
"එකසයිට් වෙන්නැද්ද අනේ. ඉතිං ඉතිං?"
"පිස්සුද අයුමි. මම පුලුවන් තරම් මග ඇර ඇර ඉන්නවා. මට බෑ තවත් ඕවා ගැන හිතන්න. රෑ වැටුණ වලේ දවල් වැටෙන්න වෙයි කියලා මට බයයි" තනූජා ඇඳුම නවලා අයුමි අතට දෙන ගමන් කිව්වා.
"එක මකුණෙක් කෑවා කියලා ඔක්කොම මකුණෝ මරලා හරියන්නේ නෑනෙ ඒ වුණාට"
"අපෝ බෑ අයුමි. දැන්ම නම් කොහොමත් හිතන්න බෑ...ඈ..මේ මොකක්ද අනේ මේ ඇඳුම?"
තනූජාගේ අවධානය එක පාරටම බෑග් එකක් අස්සෙන් එලියට ඇවිත් තිබුණ ඇඳුමකට යොමු වුණාම, අයුමිත් ඒ දිහා බැලුවා.
"ඊක්! ඕක දෙන්න අනේ" අයුමි පනිද්දි තනූජා ඒක අතට අරන් කාමරේ මැදටත් දුවලා ඉවරයි.
"ස්විම් සූට් එකක්?!" තනූජා ඇහුවේ හිනාවක් පාලා."දෙන්නා එක්ක පීනන්න යන්නද හිතේ?" තනූජා එහෙම කියලා හිනාවෙලා අයුමි දිහාට ඇඳුම විසි කලා.
"මේ රවීන්ට පිස්සු. මම නම්  පූල් බහින්නෑ. මම මේක තියලා යනවා" අයුමි ඇඳුම බෑග් එකේම ඔබලා නොගෙනියන පැත්තට දැම්මා.
තනූජා ඉන්නේ තවමත් හිනාවෙමින්. "මේක නම් හරි ජොලි ට්‍රිප් එකක් වෙයි වගේ"
අයුමිට එදා රෑ නින්ද ගියේ නැති තරමයි. ගමන යන හන්දා හිතේ තිබ්බ උද්‍යෝගයට වඩා මොකදෝ වරදකාරී හැඟීමක් හිතට වද දෙමින් තිබුණා. ගෙදරට නොකියා මෙහෙම ගමනක් යන්න වීම ඒකට හේතුව වෙන්න ඇති කියලා ඈට දැනුනත් ඈ ඒ ගැන නොහිතා ඉන්න උත්සාහ කලේ, ගෙදර මතක් වෙද්දි ඈට ඒ ගමන යන එක විතරක් නෙවෙයි ආයෙම රවීන්ව මුණගැහෙන එකත් වරදක් වගේ දැනුන නිසා. ඒත් ඒ ගැන තමන්ම තර්ක කරනවා ඇරෙන්න, තනූජාටවත්, රවීන්ටවත් මේක කියන්න නොගියේ ඒ දෙන්නටම අන්තෙකට නොහින් ඈට උපදෙසක් දෙන්න බැරි වග ඈ දන්න නිසා.
අන්තිමේදි රෑ හරි හමන් විදියට නින්ද නොගිය හන්දදෝ, රවීන් උදේ ඈව ගන්න එද්දි ඈ උන්නේ හොඳටම නිදිමතේ.
"ඔයාට ශාරා එක්ක පිටිපස්සෙ යන එක ok නේද?" වාහනෙන් බැහැලා ඇවිත් ඇඳුම් බෑග් වාහනේට දාන ගමන් රවීන් ඇහුවා.
"පුලුවන් පුලුවන්. කොහොමත් තාත්තානේ ඉස්සරහ යනවා ඇත්තේ?" ඈ ඇහුවේ තවමත් ඇතුලේ උන්නු අයව ඈ නොදැක්ක නිසා.
"තාත්තා යන්නෑ අයුමි. අන්තිම මොහොතේ අයියගේ වැඩකට හිර වුණා එයාව"
"ආ..."
"ඔයා එහෙනම් නගින්න. කොහොමත් ශාරට කවුරුහරි ඉන්නම ඕන, නිදාගන්නයි, ඇඟේ එල්ලෙන්නයි" රවීන් කිව්වේ හිනාවෙලා.
අයුමි නිදිමතේම හිනා වුණා යන්තම්.
කොහොම හරි මගට යනකොටම අයුමි ශාරා එක්කම නින්දට වැටිලා තිබුණා. ඈට ඇහැරෙද්දි අඹේපුස්සටත් ලං වෙලා.
"ආ...ස්ලීපින් බියුටිලා එක්කෙනෙක් නැගිටලා ඉන්නේ" රවීන් කිව්වේ අයුමි ඇහැරුණ වග දැකලා.
ඈ ඉස්සරහ බලද්දි ඉස්සරහා අසුනේ උන්නු ශමිතුත් උන්නේ නින්දට වැටිලා.
"ඊයේ රෑ නින්ද ගියේ නෑ පොඩ්ඩක්වත්. ඒක වෙන්න ඇති" තමන්ගේ උකුලේ බෙල්ලත් ඇද කරගෙන නිදාගෙන උන්නු ශාරාගේ හිස යන්තම් උස්සලා, කෙලින් කරන ගමන් ඈ කිව්වා.
"ඇයි ඒ? ගමන නිසා එක්සයිට් වෙලාද?" රවීන් ඇහුවම අයුමි හිනාවුණා.
"ම්ම්...අනේ මන්දා"
රවීන් ඉස්සරහ ඉඳන් හිනාවත් පෑවා. කලු සන්ග්ලාස්ස් දාලා, කෙහෙල් දලු පාට වගේ සැහැල්ලු කමිසයකුයි, සුදු කපු කලිසමකුයි ඇඳලා උන්නු රවීන් ඈට අද පෙනුනේ වෙනදාටත් වඩා කඩවසම් විදියට.
"තව ගොඩක් දුරද රවීන්?" අයුමි ඇහුවේ වටපිට බලන ගමන්.
"අපෝ තව දුරින් බාගයක්වත් ආවේ නෑ. ඔයාට බඩගිනිද? ඉස්සරහ තියෙනවා හොටෙල් කෝපරේෂන් එකේ තැනක්. අපි එතනින් උදේට කමු. පොඩි දෙන්නටත් බඩගිනි ඇති. මම නිදාගෙන හිටපු හන්දයි ඇහැරුවෙත් නැත්තේ" රවීන් කිව්වා.
"හා" අයුමි කිව්වේ දැන් දැන් ඈට බඩගිනි දැනෙන්න පටන් අරන් තිබ්බ නිසා.

"තාම නිදිමතද පැටියෝ?"
උදේට කන්න බැහැලා, මේසයක් අසල පුටුවක වාඩි වෙලා නිදිබර දෑසින් යුතුව, ඈනුම් ඇරිමින් උන්නු ශාරාගෙන් අයුමි ඇහුව ආදරෙන්.
'නෑ' කියන්න හිස වැනුවා අයුමිට හිනාවක් පාලා.
ශමිත් නම් උන්නේ ශාරාගේ අනික් පැත්තෙන් වාඩි වෙලා අතේ තිබ්බ ෆෝන් එකක් දිහා බලාගෙන. ඔහු තාමත් එක පාරක්වත් අයුමි දිහා කෙලින් බලලා, ඈ එක්ක කතා කරලා තිබුණේ නෑ.
"මොකද දෙන්නා කියන්නේ?"
කෑම ඇණවුම් කරලා අවිත් අයුමි අසලින් වාඩි වුණ රවීන් ඇහුවේ සැහැල්ලුවෙන්.
"මුකුත් නෑ. දෙන්නම තාම නිදි මතේද කොහෙද"
"ආ...ඒක ඇරිලා යයි දැන් කාලා, බීලා ඉවර වෙද්දි" රවීන් කිව්වේ පුටුවේ පහසුවෙන් වාඩි වෙන ගමන්.
අයුමි ඒ ගමන් අවට පිට බලමින් හිතුවේ එතන හරිම ලස්සන තැනක් කියලා.
"අපි දවල් කෑමට හොටෙල් එකට යන්නේ. ඒ හන්දා මම හිතන්නේ ගිය ගමන්ම කන්න වෙයි බෑග්ස් රූම් වලට යවලා. ඊට පස්සේ ඇඟපත හෝදලා රිලැස්ක් වුණා නම් හරි. නැත්තම් වෙලා මදි වෙයි දවල්ට කන්න"
ආපහු ගමන පටන් ගත්තම රවීන් තුන් දෙනාට කිව්වා. අයුමිගේ ඇඟට හේත්තු වෙලා එලිය බලාගෙන උන්නු ශාරා යාන්තම් හැරිලා රවීන් දිහා බැලුවා.
"එතකොට පූල්?"
"පූල් යමු දෝණි කාලා, හවස. ඔයාලට බීච් එකේ සෙල්ලම් කරලා, මුහුදේ නාන්නත් පුලුවන් ඕන නම්. මතකනේ ගිය අවුරුද්දේ නාවල ආච්චිලත් එක්ක ඇවිත් අපි නෑවෙ" රවීන් කියද්දි ශාරා උන්නේ ආයෙම වීදුරුවෙන් එපිට බලාගෙන.
මේ අතරේ අයුමිගේ සිතිවිලි නැවතිලා තිබ්බේ ගෙදර. අම්මලා දැන් මොනා කරනවා ඇත්ද කියලා ඈ කල්පනා කලා. අක්කගේ වෙඩින් එකත් ලඟ ලඟම එන හන්දා ගෙදර වැඩ නම් එමට ඇති වග ඈ නොදැන හිටියා නෙවෙයි. ඒත් රවීන්ට බෑ කියන්න ඈට හිත දුන්නෙත් නෑ, මොකද ඔහු කාලෙක ඉඳන් ප්ලෑන් කරපු දෙයක් නිසා මේ ගමන. එහෙමයි කියලා ගෙදර මතක් වෙද්දි හිතේ එතෙන වරදකාරී හැඟීම වලකගන්න ඈට තාමත් පුලුවන් වුණේ නෑ.
"කොහොමද කාමරේ හොඳද?"
රවීන් කාමරේට ඇවිත් අහනකල්ම අයුමි උන්නේ බෑග් එක ලඟ තිබ්බ ආසනේ උඩින් තියලා වටපිට බලමින්.
"ආ...හොඳයි. හරිම හොඳයි" අයුමි කිව්වේ සතුටකින්.
සුදු, නිල් සහ තැඹිලි පාට මිශ්‍රිත theme එකකට හැමදේම කාමරේ නිර්මාණය කරලා තිබුණා. එලියට විවෘත වුණ ලොකු වීදුරු දොරවල් ලඟින් තිබුණේ මේසේ, වේවැල් පුටුව, කාමරේ තිබ්බ සරල නිර්මාණය වගේ දේවල් සෑහෙන අයුමිගේ හිතට අල්ලලා තිබුණා. මේ වගේ හොටෙල් ගොඩකට ඈ ගිහිං තිබුණත් ඒ වගේ එකක නවතින්න ආපු පලවෙනි දවස වුණේ අද.
"ඔයාටයි ශාරාටයි මේකේ ඉන්න පුලුවන්. අපි එහා පැත්තේ රූම් එකේ ඉන්නේ. ඒ නිස බය වෙන්න දෙයක් නෑ" රවීන් කිව්වේ ඇගේ උරහිසට උඩින් අතක් දාලා ඈව ලඟට කරගෙන වටපිට බලන ගමන්.
ආපු ගමන් bath room දුවපු ශාරා එවෙලෙම වගේ එලියට ආපු නිසා, අයුමි ඔහුගෙන් ඈත් වුණේ ඉක්මණින්.
"මෙහෙමම ගිහිං අපි කෑම කාලා එමු. ටිකක් ඉඳලා බැරියැ බීච් එක පූල් එක පැත්තේ යන්න" රවීන් කිව්වේ ශාරාට.
හොටෙල් එකේ රෙස්ටුරන්ට් එක තිබ්බේ ගොඩක්ම එලියට විවෘත වෙන විදිහට වගේ හදලා. ඒකේ එක පැත්තකින් එලියට බැසාමයි පූල් එක තිබුණේ. පූල් එකට ඉස්සරහින් ඒ තලේම වගේ පෙනුනේ නිල් පාට මුහුද. පූල් එක ඉස්සරහින්ම වගේ එකම එක උස තල් ගහක් වැවිලා තිබුණා. අහස, මුහුද මේ දෙක පසුබිම් කරගෙන ඒ තල්ගහ අයුමිට පෙනුනේ ඒ පසුබිමෙ ඇඳපු චිත්‍රයක් වගේ.
කෑමෙන් පස්සේ නම් අයුමිට වෙන මොනවත් කරන්න හිතක් තිබ්බේ නෑ ඇඳට වැටිලා ටිකක් මහන්සි අරිනවා ඇරෙන්න. ඒත් ශාරායි, ශමිතුයි පූල් ගිහින්, බීච් යන්න ලෑස්ති වුණ නිසා, ඒ අදහස හිතින් අයින් කරගන්න වුණා ඈට.
"හරිද ශාරා. ඇඳුම් ගන්න දෙන්නම පූල් බහින්න" යන්න ලෑස්ති වෙලා දොර ලඟට ආපු රවීන් කිව්වම ශාරා ඇගේ බෑග් එක අරගෙන ඔහු අසලට ගියා.
"මට නම් පූල් බහින්න බෑ රවීන්. මං එහෙම පීනන්න දන්නෙත් නෑ" ශාරා අනුවම යමින් අයුමි කිව්වා.
"පීනන්න දැනගනන් ඕන නෑ පූල් බහින්න. පිස්සු නැතුව ඇඳුම් අරන් එන්න"
"මට...ඇඳුම අමතක වුණා"
"හ්ම්ම්..." රවීන් ඒ පාර හිස දෙපැත්තට වනලා මුකුත් නොකියම හැරුණම, අයුමි හිනාවෙලා දොර වහගෙන එලියට පැනගත්තා.
කොහොම හරි අන්තිමේදි පූල් එකට මුලින් බැස්සේ ශාරයි, රවීනුයි විතරයි. ශමිත් පූල් එක අසල දිග ලී පුටුවක වාඩි වෙලා tab එකේ මොකක්දෝ බලමින් ඉද්දි, අයුමිත් ඒ ලඟින්ම වාඩි වෙලා පූල් එකේ රවීන් එක්ක පීනන ශාරා දිහා බලාගෙන උන්නා.
වයස තිස හතක්, අටක් වුණාට රවීන්ට තිබ්බේ ඇත්තටම නලුවෙක්ගේ වගේ සිරුරක්. ඔහුගේ පලල් උරහිස්, පැතලි උදරය, ඒ උස, හැඩි දැඩි බව මේ සේරම අද වෙනදටත් වඩා අයුමිට පෙනුනා වගේ. ඔහුව දකිද්දි ඇගේ හිත උණුසුම් වුණා. ඒ එක්කම හිතේ යාන්තමින් පැතිරෙමින්න් තිබුණේ ඔහු තමන්ගේ වීම ගැණ පුංචි ආඩම්බරයක් වෙන්න ඕන. රවීන් එක වෙලාවක අයුමි දිහා බලද්දි, ඈ බලාගෙන උන්නේ ඔහුගෙන් පෙනුන ඒ කඩවසම් බව දිහා. ඔහු ඇහිබැම උස්සලා මොකකද ඇහුවම ඈ බිම බලාගත්තේ ටිකක ලැජ්ජාවෙන් රතු වෙමින්.
"ශමිත් පූල් බහින්නේ නැද්ද?" රවීන්ලගෙන් ඇස් මුදාගෙන අයුමි උත්සාහ කලේ ශමිත්ව කතාවකට ඈඳ ගන්න.
මුලින්ම ඔහු ඒක නැහුණ ගාණට හිටියා. ඒ පාර අයුමි ඔහු අසලට ගිහින් වාඩි වුණේ කොහොමහරි ඔහු එක්ක කතා කරනවා කියලා හිතාගෙන.
"ශමිත් ඇයි මා එක්ක කතා නොකරන්නේ?" ඈ ඒ පාර ඇහුවේ එහෙම.
ඈ එහෙම ඇහුවම ශමිත් ඇස් කොනකින් විතරක් ඈ දිහා බැලුවා.
“Because I don’t feel like…getting to the pool and talk, both”
ඔහු එහෙම කියලා ආයෙම ටැබ් එකට එබුණා. ඔහුගේ වදන් වලට අයුමිගෙ අහිත රිදුණත්, ඈට ඔහු ගැන දැනුනේ අනුකම්පාවක්. ඔහු තාම පොඩි ළමයෙක් වීම වගේම, ඔහුට විඳින්න වුණ දේවල් එක්ක හිතද්දි ඔහු මෙහෙම හිතුවක්කාර වෙන එක අරුමයක් නෑ කියලා ඈට හිතුණා.
“Otherwise you don’t have any problem talking to me I hope” අයුමි කිව්වේ ආයෙම පූල් එක දිහා බලාගෙන.
“Why do you want so badly to talk to me?” ඊලඟට ශමිත් ඇහුවා.
“Because I think we should get to know each other” අයුමි කිව්වා.
“Try as you may, you cannot be our mother”
ශමිත් එහෙම කිව්වම අයුමි තිගැස්සුණා වගේ. ඇගේ හිත ඒ පාර නම් හොඳටම රිදුණා. ඒත් ඈ උත්සාහ කලා පුලුවන් තරම් ඉවසීමෙන් කතා කරන්න. මොකද ශමිත්ගේ හිතේ තියෙන වේදනාව ඈට තේරුණ හන්දා.
“ I know that very well Shamith. I never expect to be so either. Because a mother cannot be replaced, no matter what”
අයුමි කිව්වේ හෙමින්.ශමිත් මුකුත්ම කිව්වේ නෑ.
“I just want to be friends with you both. So it will be easy for all of us” අයුමි ආයෙම කිව්වා.
“Do you honestly think that tattaa will marry you?”
ශමිත් ඊලඟට ඇහුවෙත් අමුතුම ප්‍රශ්ණයක්. අයුමිට හිතාගන්න බැරි වුණා මේ වයසට මේ ළමයි මෙච්චර දේවල් හිතනවද කියලා.
“Does that matter to be friends and get to know each other?” අයුමි ඇහුවා.
එහෙම ඇහුවම ශමිත් ඈ දිහා හිස උස්සලම බැලුවා.
"මට ඕන ඔයාලා දෙන්න එක්ක යාලු වෙලා සතුටින්, හොඳින් ඉන්න විතරයි. ඒක මම කරන්නේ ඔයාගේ තාත්තා විතරක් නිසා නෙවෙයි. මට එහෙම කරන්න ඕන නිසා අපි හතර දෙනාම වෙනුවෙන්" අයුමි කිව්වා.
අහක බලාගෙන උන්නත් ශමිත් උන්නේ ඈට කන්දීගෙන වග ඈ දැනගෙන උන්නා.
ඒත් මට බෑ එහෙම කතා කරන්න කියලා ඔයාට force කරන්න. ඔයා කැමති දෙයක් කරන්න ඔයාට නිදහස තියෙන්න ඕන නේ. ඔයා අකමැති නම් කතා කරන්න ඕන නෑ. ඒත් මතක තියාගන්න එහෙම වුණා කියලා මම ඔයා එක්ක තරහා නෑ. ඔයාට කවදක හරි කතා කරන්න හිතුණොත් ඔයාට පුලුවන් මට ඇවිත් කතා කරන්න.
ඔයා ලොකු ළමයෙක්, තේරෙන ළමයෙක් නිසා මම කියන්නේ. තාත්තටයි, මටයි දෙන්නටම ඕන ඔය දෙන්න සතුටින් ඉන්නවා බලන්න. ඔය දෙන්න හොඳින් ඉන්නවා බලන්න. තාත්තා මේ ගමන වුණත් අපි එක්ක ආවේ ඒකයි. එයා එච්චර මහන්සි වෙලා බිස්නස් කරන්නෙත් ඔයාලා දෙන්නගේ අනාගතේ ගැන හිතලා. මම හන්දා නෙවෙයි ශමිත්. මම එයාගේ පැත්තකින් ඉන්න කෙනෙක් විතරයි. ඒත් ඔය දෙන්නා...ඔය දෙන්නා තමයි එයාගේ මුලු ලෝකෙම. අන්න ඒකත් මතක තියාගන්න ප්ලීස්"
අයුමි බොහොම පරෙස්සමින්, කරුණාවෙන් ශමිත්ට කිව්වා. ඔහු අහගෙන උන්නේ හිස බිමට නවාගෙන.
“He loves you very much, more than anything in the world” අයුමි ඉන්පස්සේ කිව්වා.
“He loves you too” ශමිත් කිව්වේ ටික වෙලවකට පස්සේ.
“mm…yeah I… guess so”

ඈට නිකම් අපහසුතාවයක් දැනුනත්, ඔහුගේ තිබ්බ මුහුකුරාගියබව එක අතකට සහනයක් වුණා දෙවල් තේරුම් කරන්න ලේසි නිසා.ශමිත් එක පාරක්  හිස වනලා මොහොතක් කල්පනා කරලා එතනින් නැගිට්ටා. අයුමි ඔහු දිහා බලද්දි ඔහු යමින් උන්නේ පූල් එකේ ෂවර් එක දිහාට. ඈට යන්තම් හිනාවක් නැගුණේ අන්තිමේදි පුංචි දෙයක් හරි ශමිත් තේරුම් ගන්න ඇති කියලා හිතලා.

2 comments:

  1. කතාව දාන පරක්කු වුණාට සමාවෙන්න ඕන. මේ දවස් වල හරියට වැඩ. මේ ටික ලියාගත්තෙත් රෑ ජාමේ නැගිටගෙන. :)

    ReplyDelete
  2. මම හිතුවා අපි එක්ක නෙතූ කරහ වෙලා කියලා

    ReplyDelete