Monday, July 30, 2012

යලි හමුවනතුරු- තෙවන කොටස


අප වටා විසිර පැතිර තිබූ ශාක දැන් එන්න එන්නම, වැඩි වැඩියෙන් දීප්තිමත් කහ හෝ, තැඹිලි වර්ණයෙන් සිය කොල සරසාගනිමින් උන්නහ. මෙසේ සැරසෙන කොල විශාල ප්‍රමාණයන් බිම පතිත කරන්නටද ඔවුන් අමතක නොකල සෙයක් පෙනෙන්නට තිබිණි. පළල් කොන්ක්‍රීට් මාවත් නිතරම වාගේ කහ, තැඹිලි, රතු කොල වලින් යන්තමට වැසී තිබීම සුලභ දර්ශණයක් විය.
මෙයිනුත් වඩාත්ම සුලභ ලෙස හා සුන්දර ලෙසම හැඩ වැඩ වී තිබුණේ විශ්ව විද්‍යාලය තුල පිහිටි ආපණශාලාවයි. ඒය කිසිවකුගේ පෞද්ගලික ආයතනයක් වූ අතර, සියල්ලන්ම එය දැන උන්නේ ඩොලීස් කැෆේ’’යන නමිනි. එක් සවස් වරුවක මම සොනාලි එන තුරු එහි අසුනකට බර වී, ජනේලයෙන් පිටත බලාගෙන උන්නෙමි. එද සවස ස්වයං අධ්‍යයනය සඳහා වෙනව තිබූ අතර, ඉක්මණින් වැඩ ඉවර කරගත් මාත්, සොනාලිත් සවස තේ බීමට මෙහි එන්නට අදහස්  කලද, කිසිවෙකු හා කතා කරන්නට සොනාලි නැවතුන බැවින් මම තනිවම මෙහි පැමිණ ඈ එන තුරු බලා හිඳින්නට වීමි. එය මට ව්තරම් නොදැනුනේ මා උන් ජනේලය අසලට පෙනුන දීප්තිමත් වර්ණ සහිත කොළ පලසත්, ඊට ඔබ්බෙන් තුරු වදුල් අතරින් පෙනුන නිල් කඳු වැටියත් නිසාය. ඒ කඳු පෙල ඇත්තේ සැතපුම් සිය ගණනක් ඈතින් වන්නටැ ඇතැයි මට නිකමට සිතිණි.
"අහෙම්...මේ සමාවෙන්න, මම ඔයාට පොඩ්ඩක් කතා කලොත් කරදරයක්ද?" මා අන්ද මන්ද වූයේ මා අසලින් ඇසුන හඬක් නිසාය.
හිස ඔසවා බලද්දි මා අසල සිටගෙන උන්නේ තරුණයෙකි. ඔහුගේ කලු පැහැ විශාල ලොම් තොප්පියත්, ගෙල වටා ඔතාගෙන උන් මෆ්ලරයත්, විශාලා කලු කබායත් නිසා ඔහුව මට පෙනුනේ වලසෙකු මෙනි. තොප්පියේ දාරය සහ මෆ්ලරය අතරින් මට පෙනුණේ මා දෙස බලා උන් අප්‍රිකානු-අමෙරිකානු සම්භවයක් ඇතැයි සිතිය හැකි තරුණයෙකි. ඔහු මා හට සිනාසෙමින් උන්නු අතර, මම ඔහු දෙස ප්‍රශ්නාර්ථ්යක් දල්වාගෙන බලා උන්නෙමි.
"ඔව්...මොකක් ගැනද මේ?" මම අසුවෙමි.
ඔහු සියල්ලටම කලින් මා ඉදිරියේ වූ දිග බංකුවට බර වී, අප අතර වූ මේසය මතින් සිය බෑගය තැබුවේය.
"මෙහෙමයි, මුලින්ම ඔයාට ස්තුතියි මට ඉඩ දුන්නට. මම සමාජ විද්‍යා පීඨයේ තුන්වෙනි වසරේ ශිෂ්‍යයෙක්. මේ දවස් වල මම පොඩි පැවරුමක් ක්රගෙන යනවා, ඇත්තටම කිව්වොත් ඒක පොඩි පර්යේශණයක් කිව්වත් හරි. මම කරන්නේ ආසියාතික ගැහැණු උදවිය සහ බටහිර ගැහැණු උදවිය අතර පොඩි සංසන්දනයක්. ඒ කිව්වේ මේ විශ්ව විද්‍යාලෙට එන අය ගැන. මම බලන්න හදන්නේ ඒ අයගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට එයාලා වටේ ඉන්න සමාජයේ බලපෑම කොච්චරද කියලයි. ඉතින් ඒකට මට ඕන කරනවා ආසියාතික ගෑණු ළමයි තිහක්. ඔයාට පුලුවන් වේවිද ඒ ගැන තොරතුරු ලබා දීලා මට උදව් කරන්න?"
ඔහි සිය මෆ්ලරය පහත් කොට මට විස්තර කලේය.
දමා උන් හිස් වැස්ම නිසා ඔහුගේ හිසකෙස් මට නොපෙනුනද, ඔහු සතු වූ තියුණු කලු දෑසත්, විදුලි කොටන්නක් මෙන් එකවර මුවේ පිපෙන සිනාවත්, පැහැපත් වූ මුහුණත්, ඔහු කඩවසම් තරුණයෙකු වග පෙන්වන්නට සමත් විය.
"ම්ම්...කොහොමද මම උදව් කරන්න ඕන? සංවාදයක් විදිහටද, නැත්තම් ප්‍රශ්ණ පත්‍රයක් තියෙනවද?" මම ඇසුවෙමි.
"ආ...ඔව් ඔව්. ප්‍රශ්ණ පත්‍රයක් තියෙනවා. පිටු දෙකයි. ඔයාට පුලුවන් නේද මේක මට පුරවලා දෙන්න. මම හෙටත් එනවා. මොකද දැන් මට ඉන්න වෙලාවක් නෑ, මම යොදා ගත්තු වෙන වැඩක් තියෙන හන්දා. කරුණාකරලා ඔයාට පුලුවන් නේද හෙට මේක මට ගෙනැත් දෙන්න? මම හිතනවා ඔයා නිතර මෙහේ එන කෙනෙක් කියලා. එහෙම නැත්තම්, ඔයාට ගෙනැත් දෙන්න පුලුවන් වෙන තැනක් කිව්වොත්..."
"නෑ, මම හෙටත් මෙහාට ඒවේවි. මම ගෙනැත් දෙන්නම්" මම ඔහුට පැවසීමි.
"ගොඩාක් ස්තුතියි. ආ...කියන්න අමතක වුණා. මම ජේඩන්, ජේඩන් ඈෂ්ලි. මේ හරියේ මාව ඕන කෙනෙක් දන්නවා. ඔයාට හොයා ගන්න අමාරු වෙන එකක් නෑ" ඔහු සිය බෑගයෙන් පිටතට කොල සමූහයක් ඇද, එයින් එකක් ගෙන මා වෙත පාමින් කීවේය.
"සන්තෝෂයි අඳුනගන්න ලැබුණට. මම පංචලී" මම එය අතට ගෙන කීවෙමි.
"මටත් එහෙමයි. එහෙනම් හම්බවෙමු ආයෙම"
එසේ කියා ඔහු සුහද සිනාවක් පා, යලි මෆ්ලරය මුව වටා ඔතාගෙන කොහේදෝ අතුරුදහන් වූයේය. මම ඒ ප්‍රශ්ණ පත්‍රය පරෙස්සමට ගෙන මගේ ෆයිල් කවරයේ රුවා ගතිමි.
"අනේ සමාවෙන්න, හිතුවට වඩා පරක්කු වුණා. අර පිස්සු මන්ජීත් මාව නවත්තගෙන අඳෝනාවක් කියන්න ගත්තා, එයාගේ නැති වුණ සටහන් වගයක් ගැන" මෙවෙලේම වාගේ හති හලාගෙන මා හුන් තැනට සොනාලි පැමිණියාය.
"කමක් නෑ ඒකට. මම මේ වටපිට බල බල හිටියා, ගාණක් නෑ" මම කීවෙමි.
"ම්ම්...කවුද එතකොට අර මෙතන ඉඳලා ගිය හැන්ඩියා?" සොනාලි ඇසුවේ සිනාසීය.
"අනේ මන්දා. අදමයි දැක්කේ. මේ ප්‍රශ්ණ කොලයක් පුරවලා ඉල්ලුවා, පැවරුමකට කියලා"
"ආ...ඒක මිසක්"
අදුර වැටෙන්නට පෙර මමත්, සොනාලිත් කෝපි පානය කොට ලහි ලහියේ නේවාසිකාගාරය වෙත දුවන්නට වුණෙමු. ඒ අතරේ නේවාසිකාගාරයට යන් අතරමගදී, පෙර මා හට හමුවූ තරුණයා තවක් ගැහැණු ළමුන් කීප දෙනෙකු වට කරගෙන ප්‍රශ්ණ කොල බෙදනු මට පෙනුනි. ඔහු මා දැක හඳුනාගෙනදෝ යන්තමට අතක් වැනීය. මා තරමක් පුදුමයට පත් වුවද පෙරලා අතක් වැනීමි. ජීවිතය කෙතරම් වෙනස් මගක යන්නට සැරසෙන්නේද වග එදා මට නිකමටවත් දැනී තිබුණේ නැත. එහෙත් එය නිසැකවම සැරසෙමින් උන් බව සැබෑය.
"මම මුලින්ම මෙහේ එද්දි, කාමරේ දෙන්නෙක් ඉන්නවා කිව්වාම පොඩ්ඩක් බයේ හිටියේ. මොකද මොන වගේ කෙනෙක් හම්බවෙයිද දන්නේ නෑනෙ කියලා. ඔයාලා බලලා තියෙනවද Roommate කියන ෆිල්ම් එක? මම ඒක බලලා තමයි මේ තරම් බය වුණේ" උදෑසන ආහාරය ගන්නා වෙලේ මේසය වටා උන් අප සැමට එසේ කීවේ සොනාලිය.
"ආ...මම බලලා තියෙනවා" ලතිකා කීවාය.
"අපිත් බලලා තියෙනවා, නැද්ද?" නයෝමී කී විට මමද හිස සැලීමි.
එම චිත්‍රපටය වූ කලී, විශ්ව විද්‍යාලයක එකම කාමරයේ වෙසේන යෙහෙලියන් දෙදෙනෙකු වටා ගෙතුනු, තරමක බියජනක කතාවකි. ඉන් එක් යෙහෙලියක දරුණු මානසික ආබාධයකින් පෙලෙන අතර, ඉන් පසු ඔවුන් දෙදෙනා අතර සිදු වන විවිධ සිද්ධි අලලා එය සැකසී තිබිණි.
"ඔයා හිතුවද මම එහෙමයි කියලා?" මම ඇගෙන් ඇසීමි.
"අපෝ නෑ. පිස්සුද? එහෙම නෙවෙයි. මම බය වුණේ ඒ වගේ සයිකෝ ළමයෙක් මගේ කාමරේට ඒවිද කියලා" සොනාලි වහා කීවේ අනික් අය හිනැහෙද්දීය.
"මෙයා සයිකික් ද කියලා අපි දන්නේ නෑනෙ" එසේ කීවේ නයෝමිය.
"ඔව්. ඔව්. ඒවා කියන්න බෑ. සොනාලි එක්ක දිගටම හිටියොත් එහෙම වෙන්නත් බැරි නෑ" මමද පෙරලා විහිලුවක් කලෙමි. ඒ කතාවට සියල්ලන්ම සමග සොනාලිද හොඳහැටි හිනැහුණාය.
"අයියෝ, හරි වැඩේ..."නේවාසිකාගාරයේ හිඳ පාර පැන යද්දි මට යමක් සිහි වුණේන් මට කියවිණි.
"ඇයි?" මා අසල උන් පූජා ඇසුවාය.
"අනේ අර ඊයේ එක්කෙනෙක් ඇවිත් මට ප්‍රශ්ණ කොලයක් දීලා ගියා, එයාගේ මොකක්දෝ පර්යේශණයක. අනේ මට ඒක ගේන්න අමතක වුණා. ඔයාලා යන්න මම ඒක අරන් එන්නම්" මම ආපසු හැරුණේමි.
"දැන් යන්න එපා. එයාට කියන්න හෙට ගෙනැත් දෙන්නම් කියලා" සොනාලි මා හට යෝජනා කලාය.
"එහෙම හරි නෑනෙ. මම අද දෙන්නම් කිව්වා. ඔයාලා යන්නකෝ මම දුවලා ගිහින් එන්නම්" මම එසේ පවසා නොනැවතීම ආපසු එන්නට ආමි.
කාමරයේ මගේ මේසය මතින් එය වහා රැගෙන  යලි මා දේශණ ශාලාවට දිව එද්දී, දොර වසන්නට ඔන්න මෙන්න කියා තිබිණි. ඒ වනවිටත් දේශකතුමා පැමිණ සිටියෙන්, සොනාලිලා සොයන්නට මහන්සි නොවී, මම පිටුපස පේලියක ඉඩ තිබූ තැනක් බලා වාඩි ගතිමි.
"...මේ සමාජය ගත්තොත්, ඒකේ විවිධ ස්ථර අපට අඳුනගන්න පුලුවන්. ඒ ස්ථර ධනය, කුලය..." දේශකතුමා කියවාගෙන යද්දි, මම වහ වහා කොල සහ පෑන් බෑගයෙන් එලියට අදින්නට වීමි.
"හායි" මේ අතර මට වම්පසින් වූ කෙනෙකු රහසින් මෙන් මට කීවෙන්, මම හිස ඔසවා බැලීමි. මගේ බලවත් පුදුමයට හේතු වෙමින් එහි වාඩි වී උන්නේ පෙරදා මා හට ප්‍රශ්ණාවලියක් ලබාදුන් තරුණයාය. ඔහු කටපුරා සිනාසී මා දෙස බලා හුන් අතර, ඒ සිනාවත්, සිනාසෙන දෑස් යුගලත් ඔහු හඳුනාගැනීම මට පහසු කලා සේය.
"හ...හායි, කොහොමද?" මම කටට ආවක් කියා දැමීමි.
"ඔයා මේ දෙපාර්තමේතුවේද?" ඔහු ඒවර ඇසුවේ දේශකතුමා දෙස හොරෙන් බලමිනි.
"ම්ම්" මම හිස වැනීමි.
"ආ...කොච්චර හොඳද?ඉතිං, ආ...ම්..අරක පුරවන්න ඔයාට වෙලාවක් තිබුණද?" ඔහු එවර රහසින් ඇසුවේ මා දෙසට මදක් නැවී ය.
"ඔව්, ඔව්. මම පස්සෙම දෙන්නද ඒක? දැන් මට මේක ලියාගන්න ඕන. සමාවෙන්න" මම එසේ පවසා යලි අවධානය දේශකතුමා වෙත යොමු කරන්නට උත්සාහ කලේමි.
"ප්‍රශ්ණයක් නෑ" ඔහු රහසින්ම කීවේය.
 දේශණය මැද විවේකය වෙලේ මම සොනාලිලා හුන් තැන සොයා පැමිණි අතර, මා අසල හුන් තරුණයා කොහේදෝ අතුරුදහන් වී උන්නේය. ඉන්පසු ඔහු කොහේදැයි බලන්නට මට මතක් නොවිනි. යලි මා ඔහු දුටුවේ දිවා ආහාරය ගන්නට යන වෙලාවේදීය.
"සමාවෙන්න, මට ඒක තාම පුරවන්න බැරි වුණා. මම ඒක පුස්තකාල පැයේදි පුරවලා, හවසට දෙන්න බලන්නම්" ඔහු යලි මගෙන් කිසිවක් අසන්නට පෙර මම කීවෙමි.
"කමක් නෑ. හවස කොහොමත් මම ඩොලීස් එනවා" ඔහු සුහදව කීවේය.
"මනුස්සයා වාතයක් වුණාද?" මා ඔහුට කත කොට එද්දී මගෙන් එසේ ඇසුවේ ලතිකාය.
"නෑ. නෑ. ඒත් ඉතින් මේක පුරවලා දෙන්න එපැයි. මම හොඳට දන්නවා, මේවා පුරෝගන්න කන්න ඕන කට්ට. ගොඩක් අය ආපහු දෙන්නේ නෑනෙ. අපි තමයි එතකොට අමාරුවේ වැටෙන්නේ" මම කීවේ සැබෑවටමය. විශ්වවිද්‍යාලායේ අවසන් වසර ව්‍යාපෘතිය මා කෙතරම් අමාරුවෙන් කලාද යන්න වග මට තවමත් හොඳහැටි මතක තිබිණි.
"ඒක නම් ඇත්ත. පස්සෙන් ගිහිම එපා වෙනවා කොල එකතු කරන්න" පූජා මා හා එකඟ වූවාය.
"හවස ඔයාලා කවුරුහරි ඩොලීස් යනවද?" මම මා අසල උන් තිදෙනාගෙන් ඇසීමි.
"ම්හු...අපි අද හවස ගෲප් මීටිමක්. අර පෙරේදා දීපු case study එකට" එසේ කීවේ ලතිකා ය. එහි අදහස සොනාලිද මා හා එක් නොවන බවයි. මම පූජා සහ නයෝමි දෙස බැලීමි.
"සොරි පංචලී, මමත් හවස යාලුවෙක් හමබවෙන්න යනවා" නයෝමි කීවාය.
"මටත් ගෲප් මීටින්" පූජාද කීවාය.
අපේ කණ්ඩායම කලින්දාම එය අහවර කර තිබුණ නිසා මට එසේ සාකච්ඡා සඳහා යන්නට ඇවැසියාවක් තිබුණේ නැත.
"මෙහෙමයි, ඔයා පුස්තකාල පැය ඉවර වෙලා යන්න. අපි මීටින් එක ඉවර වෙලා එතනට එන්නම්. එච්චර වෙලා යන එකක් නෑ. කොහොමත් ඔයා ඕක පුරවන්නත් එපැයි" සොනාලි මැලවුණ මගේ වත දෙස බලා කීවාය.
"ඔව්. ඔව්. එහෙම කරමු" ලතිකාද ආහාර දමන පිඟානක් අතට ගෙන, කෑම පෝලිමට එකතු වෙමින් කීවාය.

සවස පුස්තකාලයට ඒමට සොනාලි ඇතුල් පිරිසගෙන් සමු ගත් මම, සීතල සුලග අතරින්, පාර පැන ගොස් දුඹුරු පැහැ විශාල ගොඩනැගිල්ලක් වූ පුස්තකාලයට ඇතුලු වීමි. සොනාලි ඇතුලු අනෙක් පිරිස පොත් සහිත පුස්තකාලයේ මේ කොටසට එන්නට වැඩි උනන්දුවක් නොදැක්වූයේ ඔවුන්, අනෙක් පස පිහිටි පරිගණක ආශ්‍රිත පුස්තකාලයට යෑමට ප්‍රිය කළ බැවිනි. එහෙත් එයා මා හට නීරස වූවක් නිසාත්, පැයක් පමණ යනවිට මට හිසේ කැක්කුමක් සෑදෙන නිසාත්, අතින් ඇල්ලිය හැකි පොත් මා ප්‍රිය කල නිසාත්, බෝහෝ විට මේ පුස්තකාලයට තනිව එන්නට මට සිදුව තිබිණි.
පුස්තකාලයේ වූ නිහඬ බව, විශාලත්වය, යෝධයන් මෙන් නැගී උන් උස, විශාල පොත් රාක්ක සහ පුස්තකාලයකටම උරුම, පොත් වල සුවඳ මා තුල ඇති කලේ අමුතු හැඟුමකි. මට ලංකාවේ මා ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සිහි වුණේ නිතැතිනි. එය මෙතරම් විශාල, හෝ තාකෂණය බෙහෙවින් යොදාගත් තැනක් නොවුන මුදු, මම අදත් එකසේ එම ස්ථානය ප්‍රිය කලෙමි. එදවස මා පාඩම් කරන තුරු සංකේත් මා අසල වාඩි වී, සිංහල නවකතා පොත් කියවනු සිහි වී මා මුවගට සිනහවක් ආවේ ඉබේටමය. එහෙත් එක ඒ ඇසිල්ලේම වියැකී ගියේ ඔහු තවත් මා ලඟ නෑ නේදැයි මතක් වූ විටදීය. මම සුසුමක් හෙලා ඔහු ගැන සිතිවිලි සිතේ යටපත් කරන්නට උත්සාහ කලෙමි. එහෙත් එය බෙහෙවින්ම තාවකාලික බව මා නොදැන උන්න නොවේ.
විශාල පොත් රාක්ක අතර එක් පාලු කොනක වූ මේසයක් අසලින් මා අසුන් ගතිමි. නමුදු සිත තිබුණේ කලබලවය. එනිසාම මා කලේ පුස්තකාලය තුලට රැගෙන ආ ප්‍රශ්ණාවලියට උත්තර ලියන්නට සිත යෙදවීමයි. එය මොහොතකත මහිත වෙනත් දෙයක් සිතන්නට කල් ලබා දුන්නේය. ඉන්පසු මට පාඩම් කරන්නට තරම් යම් අස්වැසිල්ලක් දැනුනි.
"මෆින් එකයි, හොට් චොකලට් එකයි"
එලියේ සිට සීතලෙන් මිරිකෙමින් දොලීස් වෙත දිව ආ මම කවුන්ටරයෙන් ඇනවුම් කලේ, මෙම ගොඩනැගිල්ල තුල වූ උණුසුමට සිතින් ස්තුති කරමිනි. ගොඩනැගිල්ල මැනවින් උණුසුම තිබූ අතර, යහමින් සෙනග පිරී සිටීමද එයට හේතුවන්නට ඇතැයි මට සිතිණි. මා හිස් මේසයක් සොයා යන අතර, යන එන ගමනේදි සහ දේශණවලදී හමුවන හුරු පුරුදු කිහිප දෙනෙක් මට මද සිනා පෑවෝය. අවසානයේ ගොඩනැගිල්ල කෙලවරේම වූ එක් මේසයක අසුන් ගන්නට මට හැකිවිණි.
දොලීස් ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ ෂඩස්‍රාකාරවය. එහි බිත්ති, පොලවේ සිට බාගයක් ගඩොලින්ද, වහල දක්වා වූ ඉතිරි කොටස වීදුරු වලින්ද නිමවා තිබිණි. ලී සිවිලිමක් හා ලී පොලොවක් සහිත වූ මෙහි, දොර කෙලින්ම ඉදිරිපස මුලුතැන්ගෙය හා කවුන්ටරය පිහිටා තිබුණු අතර, ඉතිරි සියලුම ඉඩ දුම්‍රියක මෙන් උස, බංකු මෙන් ආසන පේලි යුගලක් හා මැද වූ මේසයක් ආදී ලෙස සකක් කල මේස වලින් පිරී තිබිණි. සීත දවස් වූ නිසාදෝ උණුසුම් පාන ගන්නට එන සිසු සිසුවියන්ගෙන් මෙය නිරන්තරයෙන් පිරී පැවතුණි.
මම පුලුන් මෙන් මෘදු වූ මෆින් කන අතරේ, සෙනග අතරේ එහා මෙහා යන් හුරු පුරුදු මුහුණක් මා නෙත ගැටිනි. ඇත්තෙන්ම එය මේ සවස මා සොයමින් හුන් මුහුණයි. මෙවෙලේම වාගේ ඔහු මාව දුටුවෙන්, ඔහුගේ මුහුණේ අර විදුලියන් වැනි සිනහව ඇඳී ගිය අතර ඊලඟ මොහොතේ ඔහු මා අසල විය.
"හලෝ, හලෝ...කොහොමද? මම හිතුවෙ නෑ ඔයා ඇවිත් ඇති කියලා" ඔහු මා ඉදිරියේන් වාඩි වී සිය බෑගය මේසය මත තැබුවේ එසේ කියමිනි.
"මම එනවා කියලා කියපු හන්දා, ආවා. මොකද මම හොඳට දන්න්වා මේවගේ කොල එකතු කරන්න ගියාම විඳින්න වෙන වදේ" මම ෆයිල් කවරය එලියට ඇද ඔහුගේ ප්‍රශ්ණාවලිය සොයමින් කීවෙමි.
"ආ...එහෙමද? ඒක නම් ඇත්ත තමයි. මම දැන් සීයක් බෙදල තාම හැට ඩෙකයි හම්බවුණේ. ඔයාගේ එකත් එක්ක හැට තුනයි. හැමෝම ඔයා වගේ හිතනවා නම් මේවා කරන්න කොච්චර ලේසි වෙයිද?" ඔහු කීවේ යන්තමින් සිනා සෙමිනි.
"ඒක විහිලුවක්ද, ප්‍රෂංසාවක්ද?" මම ඇසුවෙමි.
"සම්පූර්ණයෙන්ම ප්‍රෂංසාවක්" ඔහු කීවේ සැහැල්ලුවෙනි.
මම හිනැහී ඔහු අතට ප්‍රශ්ණාවලිය දුනිමි.
"මිලියන වතාවක් ස්තුතියි ඔයාට"
"ඒකට මක් වෙනවද?" මම සිනාසී කීවෙමි.
"අ..ම්...ඔයා තනියෙමද ආවේ? යාලුවෝ කවුරුවත් ආවේ නැද්ද?" ඔහු ෆයිල් කවරය සකසමින් මගෙන් විමසුවේය.
"නෑ. එයාලට වෙන වැඩ වගයක් හන්දා පරක්කු වෙලා එන්නේ. මම මේක දෙන්න ඕන හන්දා කලින්ම ආවා"
ඔහු එවර මොහොතක් ගල් ගැසී මෙන් මදෙස බලා හුන්නේය.
"ඔයා නම් ඇත්තටම, හරිම බැරෑරුම්ව දේවල් ගන්න කෙනෙක් වගේ" ඉන්පසු ඔහු කීවේය.
"ම්හු...හැමදේම නෙවෙයි" මම කී විට ඔහු හිනැහුණේය.
"එතකොට…. ඔයා සමාජ මනෝවිද්‍යාව හදාරන කෙනෙක්?" ඔහු බෑගය වසමින් මා විමසීය.
"ඔව්. ඔයා කොහොමද අද අපේ දේශණයට ආවේ?"
"ආ...මම සමාජ විද්‍යාව කරන කෙනෙක්. අපටත් ඔයාලගේ මේ දේශණේ අදාල වෙනවා විකල්ප විෂයක් විදිහට. මම ඒක කරනවා. දන්න්වනේ මේ...ජොලියට වගේ"
"ම්ම්" මම හිස වැනුවෙමි. ඔහු අද තද දුඹුරු පැහැ ලෙදර් කබායක් ඇඳ හුන් අතර, කලු පහැ මෆ්ලරයක් හා, වූල් තොප්පියක් පැලඳ සිටියේය.
"ඔයා ඉන්දියාවේ, මාලදිවයිනේද?" ඔහු හිටිගමන් ඇසූව තේර්ම් ගන්නට මට තප්පරයක් විතර ගත විනි.
"සමාවෙන්න...මොකක්ද ඇහුවේ?"
"ඔයාගේ රට මොකක්ද කියලා"
"ආ...(මට සිනා නැගිනී )මම ඔය රටවල් දෙකෙන් එකකවත් නෙවෙයි. මම ශ්‍රී ලංකාවෙ" මම උත්තර දුනිමි.
"ඕ...සමාවෙන්න ඕන. මම හිතුවෙම ඔයා ඉන්දියාවෙ කියලා. ශ්‍රී ලංකාව කිව්වේ, ඔය ඉන්දියාව ලඟින්ම තියෙන රටක් නේද? මම අහලා තියෙනවා" ඔහු කීවේ සැකෙන් මෙනි. මහිත මදක් රිදිනි. ඒ ඔහු මගේ රට නොදන්නවායැයි මට හැඟුන නිසාය.
"ඔව්. ඉන්දියාවට යටින් තියෙන රට. ඒක ගොඩක් පුංචියි. ඒ නිසා ඔයා නොදන්න ව්ක පුදුමයක් නෑ"
"නෑ, නෑ. නොදන්න්වා නෙවෙයි. මම් ආහලා තියෙනවා. ඔයාලගේ රටේ හොඳ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා නේද? මම කැමතියි ක්‍රිකට් වලට" ඔහු එවර කීවේය.
"ඇත්තද?"
"ම්ම්...එහේ ලොකු යුද්ධෙකුත් තිබුණා නේද? මට අහන්න ලැබිලා තියෙනවා ප්‍රවෘත්ති වලින් හෙම. හැබැයි, ඇත්තටම කිව්වොත් ඒක තියෙන තැන නම් මම දැනගෙන හිටියේ නෑ තමයි" ඔහු අවකවම කීවේය.
"ඒකට කමක් නෑ. ගොඩක් අය ඇති මගේ රට නොදන්න. ඒත් දන්න අයට කවදාවක් අමතක නොවෙන රටක් තමයි ඒක" මම කීවේ ගෙදර මතක් වී සිත හැඟීම්බර වීය.
"මම ඔයාගේ හිත රිදෙන දෙයක් කිව්වද මන්දා?" ඔහු එවර කීවේය.
"අපොයි නෑ"
"කොහොම වුණත් මම හිතනවා දැන් ඔයා ඔයාගේ හොට් චොකලට් එක බිව්වොත් හොඳයි කියලා. ඒක නිවෙනවා" ඔහු මෙවර මගේ කෝප්පය දෙසට ඇඟිල්ලක් දිගු කර කීවේය.
"ආ...ඔව්මයි. ඔයා මොනවත් බොන්නේ නැද්ද?"
"මම බීලා ඉන්නේ. මම මේ කෙනෙක් එනකල් ඉන්නේ ආයෙම බොන්න. ඉතින් මම මෙහෙම ඉන්න එක ඔයාට වදයක්ද මන්දා" ඔහු කීවේය.
"අනේ නෑ. කතා කරන්න ලැබුණ එක සතුටක්. අපි කොහොමක් එක එක්කෙනා අඳුනගන්න එපැයි එක විශ්වවිද්‍යාලේ ඉන්දැද්දි. එහෙම නේද?"
"අනිවාර්යෙන්ම...හැබැයි මට ඔයාගේ නම නම් අමතකයි වගේ" ඔහු යලිත් මා හා අවංක විය.
"මම පංචලී"
"ප...ං...ච..ලී...හ්ම්. අමුතු නමක්. කලින් අහලම නෑ. ඒත් ලස්සනයි" ඔහු නැවතිල්ලේ කීවේය.
"ස්තුතියි. අ..ම්.."
"අහන්න එපා, මම දන්නවා ඔයාටත් මගේ නම අමතකයි කියලා. මම ජේඩන්.." ඔහු කී විට මට සිනා ගියේ ඉබේටමය. මා අත වූ කෝප්පයෙන් චොකලට් පානයෙන් බීඳක් මේසය මත ඉහිරිණි. ඔහු උන්නේද හිනැහෙමිනි.
"ඇත්තටම ඔයාව හමු වීම සතුටක් ජේඩන්"
"මටත් එහෙමයි. මං හිතන්නේ අපි හොඳ හිතවතුන් වෙයි, මොකද අපි නිතර දේශණ වලදි මුණගැහේවිනේ"
"ඔව් ඔව්. අනිවාර්යෙනම"
එවර ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට විය. එය අතටගත් ඔහු එහි තිරය දෙස බලා වටපිට බැලුවේය.
"සමාවෙන්න පංචලී මම දැන් යන්න ඕන. දන්න්වානේ, මගේ ගෑණු ළමයා ඇවිත් මාව හොයනවා. එහෙනම් අපි ආයෙම හමුවෙමු. ඔයාට සුබ රාත්‍රියක්"
"ඔයාටත් සුබ රාත්‍රියක් ජේඩන්"
ඔහු නික්ම ගියේ මසිතේ යම් සතුටක් ඉතිරි කරය. ඔහු කී දෑ වලට සිනාසුන නිසාදෝ හිත මද ක් සැහැල්ලුව තිබිණි. දුක් වනවාට වඩා සිනාසීම කෙතරම් පහසු හා සැනසිලිදායකදැයි කියා මම සිතුවෙමි. එහෙත් දුක වූ කලී සිනහවට වඩා බර වැඩි දෙයක් වූ අතරම සිතින් අහක් කරන්නට ඒ තරම්ම අමාරු දෙයක් විය.

"පංචලී...මට රික්වෙස්ට් එකක් එවන්න ෆේස්බුක් එකෙන්. මට ඔයාව හොයා  ගන්න බෑ"
මම මේසය අසල හිඳගෙන මගේ ලැප්ටොප් පරිගණකයේ පැවරුමක් කරමින් ඉන්නා අතරේ සොනාලි ඇඳේ හිධ මා හට පැවසුවාය.
"ආ..හරි හරි මේ වැඩේ ඉවර වෙලා එවන්නම්" මම කීවෙමි.
පැවරුම නිමා කොට මම ෆේස්බුක් වෙබ් අඩවිය විවෘත කලෙමි. එහි වී මගත් සංකේත්ගේත් පිංතූරය දවස් දෙකක් නොදැනුන සාංකාව හා දුක යලි මවෙත කැන්දාගෙන පැමිණියේය. ඒ අප දෙදෙනා අවසන් වතාවට දළදා මාලිගාවට ගිය අවස්ථාවක ගන්නා ලද්දකි. මගේ දෑස් බොඳව ගියේ ඇසිල්ලකිනි.
ඔහු මට ආදරෙයි කීවේ ඒ දළදා හිමි සෙවනේදීමය. මිතුරු කැල සමග දළදා මාලිගාව වඳින්නට ගොස් එද්දී ඔවුන් අප දෙදෙනා වැව රවුමේ තනිකර ඈතට වී උන් අයුරු අද ඊයේ වූවක් මෙන් මට තවමත් මතක තිබිණි.
"මං ගැන වැරදියට හිතන්න එපා. මේක අද ඊයේ හිතේ ඇති වුණ දෙයක් නෙවෙති පංචලී..."
දෙකන් පෙති රත්ව ගොස්, කම්මුල් ලේ පීරි දැවෙන්නක් සේ දැනෙද්දී මා අසා සිටියා පමණි. අතේ වී ලේන්සුව අඹරමින් මම වැව් ජල තලය දෙස බලා උන්නෙමි.
"ඔයා මං ගැන දන්නවනේ. මම පවුලේ බාලය. මට එහෙමට ලොකු වගකීම් නෑ. මට ඉන්න ගෙයක් දොරක් තියෙනවා. ලොකු වාහන නැතත් මට බයික් එකක් තියෙනවා. ඒ මොනා නැතත් මම දන්නවා මට ඔයාව සතුටින් තියන්න පුලුවන් කියලා. මට ඔයාව ඕන පංචලී...මං ඔයාට ආදරෙයි"
කඳුලු බිඳු දෙකක් කම්මුල් දිගේ ගලාවිත් ලැප්ටොප් කීබෝඩ් එක මත පතිත විණි. මම ඉක්මණට ඇසිපිය සැලුවේ සොනාලි දකීවි යන බිය නිසාය. ඈට මගේ කඳුලු කතාව කියන්නට තවමත් මට උවමනා වී නොතිබිණි. මම දෙවරක් නොහිතා අප දෙදෙනා හිනැහෙමින් උන් පිංතූරය මකා දැමීමි. ඉනුදු නොනැවතී ඔහු හුන් සියලු පිංතූර මම මකා දැම්මේ, අමාරුවෙන් කඳුලු වලකාගෙනය. ඔහු දකින්නට දකින්නට, මහිත තව තව පෑරෙන එක වලකාගන්නට මට ඇවැසි විය. ඔහු මාගේ මිතුරු මිතුරියන් අතරිනුත් ඉවත් කරන්නට මට ඇවැසි විය. එහෙත් මගේ මිතුරු මිතුරියන් අතරේ සොයද්දි ඔහු උන්නේ නැත. මට ඉස්සර වී ඔහු මාව ඔහුගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කර ඇති සේය. මට දිග සුසුමක් හෙලිනි. ඔහුට මේ තරම් නපුරු වන්නට හැකි බව මා දැන උන්නා නම්? එහෙත් මා එය කෙසේ දැනගන්නද? මට ආදරෙයි කියූ සමයේ ඔහු මා හට අපිරිමිතව ආදරය කලැයි මා සිතා උන්නෙමි. අපට වෙන් වන්නට වෙතැයි කිසි දිනෙක මම නොඇදහූයෙමි. එහෙත් දෛවය බොහොමත් අකාරුණික විය. මා අදරය කරන්නට දැන් උන්නේ ඔහුට පමණි. එහෙත් ජීවිතය ඔහු මගෙන් ඈත් කලේය.
"පංචලී..."
මා මේසයේ හිස ගසාගෙන හුන් වග මට තේරුණේ සොනාලි මා අසලට ඇවිදින් මා ඇමතූ විටදීය. මම හිස එසවීමි.
"ඇයි මේ?"
"ටිකක් ඔලුව රිදෙන්න ගත්ත. මේ සීතල මට තාම හුරු නැති හන්දා වෙන්න ඇති. වෙන මුකුත් නෑ" මම බොරුවක් ගැලපීමි.
"හ්ම්...පැරසිටමෝල් දෙකක් දෙන්නද?"
"එපා එපා. දැන් නිදා ගන්න්වනේ. එතකොට හරි යයි"
"ඔයාට හොඳටැම විශ්වාසද ප්‍රශ්ණයක් නෑ කියලා?" ඈ යලි අසයි.
"ඔව් ඔව්. ඉතිං ඔයා නිදන්නකෝ ගිහින්. මාත් නිදියනවා දැන්" මම කීවෙමි.
"ම්ම්...එහෙනම් කමක් නෑ. මම නිදන්න යන්නේ"
"හරි සෝනු..ඔන්න මම රික්වෙස්ට් එකක් එව්වා"
"ඕ කේ ඩාලිං. ගුඩ් නයිට්"
"ගුඩ් නයිට් සෝනු"
සොනාලි ඇඳට ගිය පසු මම පරිගණකය නිවා දමා, අසල වූ ජනේලය වෙත ගියෙමි. අද සඳ ඈත අහසේ පායා තිබෙනු, බර්ච් තුරු වියන් තුලින් මට පෙනුනි. මම ජනෙල් පඩියට ලංවී, ජනේලයේ බැඳී තිබූ වාෂ්පය පිස දැමීමි. පහලින් පෙනුන මාවතේ පෙම්වතුන් යුවල්ක් ඇවිද යමින් උන්නහ. ඔවුනට සීතලක් නොදැනෙනවා වන්නට ඇත. එද්වස අපටද එසේමය. ආදරය ඒ තරම් උණුසුම් විය. ඇවිද ගිය පෙම්වතුන් යුවල හදිසියේම නැවතී එකෙනෙකා සිපගන්නට පටන්ගෙන තිබිණි. මට අමුත්තක් නොදැනුනා නොවේ. ඒ අපි හැදී වැඩුන සමාජයේ විදිහ මෙයට හාත්පසින්ම වෙනස් වූ නිසා වන්නට ඇත. මම පෙම්වතුන් වසාලමින් ජනෙල් තිරය ඇද උණුසුම් යහන වෙත එන්නට ආමි. මට යලිත් සංකේත් සිහි විණි. ජීවිතයේ පළමුවතාවට මා සිප ගත්තේ ඔහුය. එදවසද මේ තරු අප දෙස බලා ඉන්නට ඇත. මේ හඬ එලිය වලාකුලකට මුවා වී අපව වසන් කරන්නට ඇත. මම සුසුමක් හෙලා කොට්ටයේ මුහුණ ඔබා ගතිමි. ඔහුගේ මතක උණුසුම මේ තරම් මා පෙලන වග ඔහු දන්නවා නම්?


3 comments:

  1. නොගැලපීම පෙන්නලා දුන්නට ස්තුතියි. මට කලින් දැනුනේ නෑ වරදක්. ඒත් කීපදෙනෙක් කිව්වාමයි මටත් ඒක තේරුණේ. :)

    ReplyDelete
  2. ඔයා ලස්සනට ලියලා තියෙනවා මගේ සුබ පැතුම්

    ReplyDelete