Thursday, August 2, 2012

සිව්වන කොටස


"වූ හූ හූ...අසව් අසව්. ලොකු ප්‍රවෘත්තියක්, හොඳ ප්‍රවෘත්තියක්..."
පූජා කාමරයේ දොරටත් තට්ටු නොකරම ඇතුලට කඩාවැදුනේ, රෑ අඳුම පිටිනි. ඈ පසුපස ලතිකා දිව ආ අතර, පූජා ලතිකාගෙන් බේරෙන්නට මෙන් මගේ ඇඳට පැන මා පසුපසට වූවාය.
"අනේ අනේ, මොකද මේ?" මම ඔන්න මෙන්න බිමට වැටෙන්නටැ ගිය මාගේ ලැප්ටොප් පරිගණකය අල්වාගනිමින් කෑ ගැසීමි.
"මොකද ඇත්තටම මේ වෙලා තියෙන්නේ?" සොනාලි ඇඳෙන් බිමට බසිමින් ඇසුවාය.
"ඉන්න මම නයෝමිලටත් එන්න කිව්වා. සේරම ආවාම කියන්නම්" තවමත් මා පසුපස හුන් පූජා කීවාය. ලතිකා අවසන පරාජය බාරගත්තී, පූජාට රවමින් මාගේ මේසය අසලින් අසුන් ගත්තාය. මෙවෙලේම වාගේ දොරට තට්ටු කර ඇතුලට පැමිණියේ නජීබා සහ නයෝමි ය.
"මොකෝ අපට එන්න කිව්වේ?" නයෝමි පූජා දෙස බලමින් ඇසුවාය.
"ආරංචියක් කියන්න නේ" පූජා ඇඳ ඇයිනට විත් කකුල් බිමට දමා හිඳගනිමින් කීවාය.
"මොකක්ද?"
"හරි හරි, මේකයි, මම කෙනෙක් එක්ක හෙට එලියට යනවා රෑ කෑමකට" පිලිතුරු දුන්නේ ලතිකාය.
ඈ විලියෙන් රතුවී හුන් අතර, බිම බලාගෙනම කතා කලාය.
"ආ........" සියල්ලෝම කෑ ගැසූ අතර ලතිකා තවත් රතු වූවාය.
"ඒක නම් ඉතින් ලොකු ප්‍රවෘත්තියක් තමා" නජීබා කීවේ හිනැහෙමිනි.
"කවුද ඉතින් ඔය එක්කෙනා?" සොනාලි ඇසුවාය.
"ම්...නාට්‍ය හා රංග කලාව දෙපාර්තමේන්තුවේ කෙනෙක්ලු" පූජා මැදින් පැන්නාය.
"ඇත්තට? ඉතින් අපි දන්න කෙනෙක්ද?" නයෝමි ඇසුවාය.
"නෑ. ඒත් දැකලා නම් ඇති. එයාගේ නම බ්‍රයන්"
"ඕ ඕ...බ්‍රයන්. මෙහේ කෙනෙක්ද?"
"නෑ, ඕස්ට්‍රේලියාවේ කෙනෙක්"
"ආ...කැනගරුවෙක්" සොනාලි කී විට ලතිකා ඈට රැව්වාය.
"නම් කියන්න එපා සෝනු"
"හරි හරි. සොරි වෙන්න ඕන. ඉතින්  කොහොමද ඔයාලා දෙන්න මේ දෙපලක ඉන්න අතරේ හම්බවුණේ?" සොනාලි යලි ඇසුවාය.
"අනේ...ඔයාලා එක්ක බෑනෙ. අහන්නම ඕනද මේවා" ලතිකා මුහුණ සඟවා ගනිමින් ඇසුවාය.
"ඔව් ඔව්. අපට කියන්න බැරිද ඔයාට?" නයෝමි කීවාය.
ලතිකා යලි හිස ඔසවා අප දෙස බැලුවේ ලැජ්ජාවෙන් මෙනැයි මට සිතිණි.
"පොත් සාප්පුවේදි. මම පොතක් ගන්න ගිය වෙලාවක හම්බවුණේ. අපි දෙන්නටම එකම පොත ඕන වෙලා තිබුණේ. ඉතින්...ඔහොම ඔහොම දැන අඳුනගෙන දැන් සති දෙක තුනක් වෙනවා. අද හවස එයා මාව හම්බවෙන්න ආවා. ඇවිත් ඇහුවා හෙට එලියට යන්න එනවද කියලා" ලතිකා ඉක්මණින් කියා දැම්මාය.
අපි සියල්ලන්ටම සිනා පහල විණි. ඒ ඈ ගැන උපන් සතුට නිසාය.
"හම්මේ කොච්චර ආදරණීයද?" නයෝමි සිය ලයමත දෑත් බැඳගෙන කීවාය.
"හ්ම්...ඒක නේන්නම්" පූජාද ඇයට එකතු විය.
"අහන්න... අපි අතර ආදර සම්බන්ධයක් නෑ. ඔයාලා එහෙම හිතන්න එපා" ලතිකා කීවේ කෑ ගසා මෙනි.
"අපි දන්නවා. ඒත් එහෙම එකක් ඇති නොවෙන්න හේතුවක් නෑනෙ. බලන්නකෝ, හිම වැටෙන කාලෙ වෙද්දි, ඔයාගේ හදවත උණුසුම් කරන්න බ්‍රයන් ඉන්නේ නැද්ද කියලා" නජීබා කීවාය.
ලතිකා බිම බලාගෙන සිනාසුනා මිස යලි කිසිවක් කීවේ නැත. ඈ උන්නේ සතුටින් වග මට දැනුනි.
එසේ ලතිකාගේ කතාවෙන් ඇරඹි සංවාදය අනේක් අයගේ ආදර කතා හාරා ඇවිස්සීම තෙක් දුරදිග යන්නත එතරම් කාලයක් ගත නොවිනි. අප දෙදෙනාගේ ඇඳන් මත එරමිණියා ගොතාගත් යුවතියෝ මහත් උනන්දුවෙන් ඒ පිළිබඳව තොරතුරු විමසන්නට විය.
"සෝනු මොකද කියන්නේ? ඔයාටත් කවුරු හරි කතා කලොත් යන්වද?" නයෝමි ඇසුවාය.
"අපෝ නෑ. මම කවදාහරි බඳින්නේ ඉන්දියාවේ කෙනෙක්ම තමයි. be Indian, Buy Indian and Marry Indian"
"කවුරුහරි ඉන්නවද?" මම ඇසීමි.
"නෑ, තාම නෑ. කලින් නම් දෙතුන්දෙනෙක් හිටියා, ඒත් වැඩක් නෑ. මට ඕවට මහන්සි වෙන්න බෑ අනේ. අම්මලා හොයලා දෙන කෙනෙක්වම බඳිනවා" සොනාලි කීවේ සැහැල්ලුවෙනි.
"අපෝ කවුරුහරි, කැත, කලු පෝසත් බඩ තඩියෙක් වුණොත් හෙම? ඔය සමහර නිලියෝ බඳින අය වගේ" පූජා ඇසුවාය.
"බලමුකෝ බලමුකෝ. හැබැයි ඔයා වගේ උඩු රැවුල් කාරයෙක්  නම් මම බඳින්නේ නෑ. මට රැවුල් පේන්න බෑ" සොනාලි කී විට මට සිනා ගියේ ඉබේටමය.
"රැවුල නැති පිරිමියා, ගෑණියෙක් වගේ කියලයි අපේ සීයා කියන්නේ" පූජා එවර කීවාය.
"කාටවත් ඇහෙන්න කියන්න එපා. ඔයාලගේ සීයාට එලියට බහින්න බැරි වෙයි" සොනාලි කීවාය.
පූජා විවාහ වන්නට ගිවිසගෙන හුන් බව අප සියල්ලෝම දැන උන් අතර ප්‍රකාෂ් රාජ් නම් වූ ඔහු ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රෝහලක වෛද්‍යවරයෙක් විය.
නයෝමිට තවමත් පෙම්වතෙක් නොසිටි අතර, නජීබාට ද පෙම්වතෙකු නොසිටි අතර සොනාලි සේම ඈද ගෙදරින් සොයා දෙන කෙනෙක්ට කැමති විය යුතුව තිබිණි. එහෙත් ඒ පිළිබඳව ඇගේ කිසිදු විරුද්ධත්වයක් නොතිබුණු අතර, අපද කිසිවක් නොකීමට වගබලා ගතිමු.
"එතකොට, අපේ පංචලීගේ කතාව අපට තාම කියලා නෑනෙ" ඊලඟට මා බිය වූ පරිදිම පැනය මා වෙත යොමු විය.
"කියන්න කතාවක් නෑනෙ" මම කීවෙමි.
"හ්ම්...බොරු නම් කියන්න එපා. ඔයා කියන්නේ ඔයා කවදාවත් ආදරේ කරලා නෑ කියලද?" සොනාලි ඇසුවාය.
මට සුසුමක් හෙලුනේ ඉබේටමය. මම ජනේලයෙන් පිටත බලාගතිමි. සංකේත් සිහිවද්දි සිතට එන දුක පිටටා ආ නොදී වලක්වාගන්නට මට විශාල ශක්තියක් යොදවන්නට විය.
"ආදරේ කලා. ඒත් කතාවක් ගොඩනැගුනේ නෑ" මම කීවේ එපමණකි.
"දුක හිතෙන කතාවක්ද?" එසේ ඇසුවේ නයෝමිය.
"ම්ම්" මම යන්තමට හිස වැනීමි. නමුදු ඔවුනට කිසිවක් කියන්නට මට ඇවැසි නොවිනි. එවිට මා කෙරෙහි ඉපදෙන අනුකම්පාව සහ උපදෙස් අනුශාසනා මසිත තවත් දුක්බර කරනවා පමණි. මම නිහඬවම උන්නෙමි.
"ඒ කිව්වේ-" පූජා එසේ විමසන්නට ගියද සොනාලි ඈට බාධා කලාය.
"අකමැති නම් කියන්න එපා පංචි. ඔයා ඉන්නේ දුකෙන් වග මට තේරෙනවා"
එවර සියල්ලෝම නිහඬ වූහ. සතුටින් තිබූ පරිසරයට මා දුකක් මුසු කලැයි මට වැරදිකාර හැඟීමක් පහල විය.
"වෙලාව ආවම මම සේරම කියන්නම්කෝ. ඒත් අද මගෙන් අහන්න එපා" මම ඔවුනට කීවෙමි.
ඔවුන් මුහුණෙන් මුහුණ බලාගනු මට පෙනුනි. මම ඔවුන් හා සිනාසීමට උත්සාහ කලෙමි. ඉන්පසු වල්පල් යමක් දෙඩූ සෙස්සෝ කාමර වලට යන්නට ගියහ. මම ඇඳ මත දිගාවී සිවිලිමේ නෙත් රඳවාගතිමි.
"අතීතේ ගැන හිතලා වැඩක් නෑ පංචි. අනාගතේ ඊට වඩා ගොඩක් හොඳ වේවි. දැන් ඕවා නොහිතා නිදා ගන්න" මා සිත වටහාගත්තාක් මෙන් සොනාලි මට කීවාය. ඇය සැබවින්ම ඉතාමත් හොඳ යෙහෙලියක් වූවා සේම, මා වටහාගන්නට නිසඟ හැකියාවක්ද ඇයට තිබිණි.
"ගුඩ් නයිට් සෝනු"
මම එපමණක් පවසා ඇඳේ අනෙක්පසට හැරුණෙමි. එහෙත් නින්ද මා සොයා නාවේය. සොනාලිගේ උඩුරැවුල්කාර කතාව යලි සිහිවී, ඒ සැනින් සංකේත් යලි සිතේ මතු වූයේය.
"අනේ සංකේත් එපා...නිකං ඉන්නකෝ. ඔයාගේ රැවුල ඇනිලා මුණත් දන්වා"
සංකේත් කිසිදා ඔහුගේ දැලි රැවුල කැපුවේ නැත. එහෙත් එය ඔහුගේ අනන්‍යතාවයක් බඳු වූ අතර, මාද එය ප්‍රිය කලෙමි. එහෙත් ඇතැම් අවස්ථාවලදී, ඔහු විහිලුවට, මා කෑ ගසන තුරුම සිය මුහුණ මා මුහුණේ ඇතිල්ලුවේය.
"ඇයි ඇත්තටම ඔයා පිස්සෙක් වගේ රැවුල වවාගෙන ඉන්නේ?" දිනෙක මා එසේ විමසුවා මට මතකය.
"රැවුල වවන්නේ පිස්සෝයැ? එහෙනම් අපේ ඉස්සර හිටපු රජවරු සේරම පිස්සෝ වෙන්න ඕන. ඔයා කැමති නැද්ද මේ පෙනුමට?"
"කැමතියි, පිලිවෙලකට කපනවානම්"
ඉන්පසු ඔහු පීලිවෙලකට රැවුල සකසාගෙන ආවේය.
"දැන් සතුටුද?"
"සතුටුයි සතුටුයි බමුණෝ" මම සිනාසී කීවෙමි.
එදවස පුංචිම දේකින් පවා මා රිදවන්නට ඔහුට පුලුවන්කමක් නොතිබිණි. ඔහු එතරම් මට ආදරය කලේය. එහෙත් අද රිදවන්නටවත් ඔහු මා අසල නැත. සියල්ල වැරදී ගොස් තිබිණි. අප පැතූ සියල්ල අපට අහිමිව ගොස් තිබිණි. 
"නංඟි..." ගෙදරින් ආ අමතුම ගත් වෙලේ අනික්පසින් මා ඇමතූයේ මාගේ සොහොයුරියයි. ස්කයිප් හරහා ගත් ඇමතුමක් නිසාවෙන් අක්කාගේ රුවද මගේ පරිගණක තිරයේ සටහන්ව තිබිණි. ඈ අසල ඇගේ සැමියා වූ මධුර අයියාද වූ වග මට පෙනුණි.
"අක්කා...ඔයා කවද්ද ගෙදර ආවේ?" ඈ දැක සතුටටත් පුදුමයටත් පත්ව මම ඇසීමි.
"අද උදේ ආවේ. එතකොට ඔයාට කලින් දවසේ රෑ නේද? ඉතින් ඉතින් කොහොමද ඔයාට? අපිව පේනවද? අපට ඔයාව පේනවා" අක්කා කියූ දෑ ඇසෙන්නට තප්පර කිහිපයක් ගතවිනි.
"පේනවා, පේනවා. වරදක් නෑ අක්කා. ඔහේ ඉන්නවා. වැඩ ගොඩ නිසා එච්චරම කාලේ යනවාවත් දැනෙන්නෑ"
අක්කාගේ සුසුමක හඬ මාට හොඳින්ම ඇසිනි. මධුර අයියා ඇගේ උරහිසක් අල්වාගෙන උන්නේය.
"ඔයා හොඳින් ඉන්නවා නම් එච්චරයි නංඟි. මෙහේ ගෙදර ඔයා නැතිව හරි පාලුයි. අම්මත් ඉන්නේ දුකෙන්. ඒත් මෙහේ ඉන්නවට වඩා ඔයා ඔහේ ඉන්න එක හොඳයි. මෙහේ හිටියා නම් හිත පෑරෙන එක විතරනේ වෙන්නේ" ඈ කීවාය.
"දැන් ඔය පරණ දේවල් අදින්න එපා මුතු" එවර මධුර අයියා කියනු මට ඇසිනි.
මම කඳුලු වලකාගෙන උන්නේ ආයාසයෙනි. අම්මාත්, තාත්තාත්, මල්ලීත් මට කතා කල අතර ඔවුන් සමු ගනිද්දි මහිතට විශාල පාලුවක් දැනුනි. මා දුකෙන් වග කියා අම්මාගේ හිත රිදවන්නට මට ඇවැසි නොවුනෙන්, මම වෑයමින් සිනාසෙමින්ම උන්නෙමි. පිටට නොපෙන්නුවද අම්මාට වඩා දුක් වන්නේ තාත්තා වග මා නොදැන උන්නේ නොවේ. ඔවුන් සියලු දෙන වෙත දුවයන්නට ඇත්නම් කියා මට අනේකවර සිතිණි. එනමුදු ඔවුන් වෙනුවෙන් මා මෙහි සිටිය යුතු බව, ඔවුන්ගේ සතුට රැකිය යුතු බව මම යලි යලි මහිතට මතක් කර දුන්නෙමි. සියල්ල අවසන මා සිතේ ඉතිරිව තිබුණේ දුකක් හා පාලුවක්ම පමණි.


3 comments:

  1. මුලින්ම නිකං සම සම රිසි ගතියක් දැනුනා...

    ReplyDelete