Monday, July 30, 2012

යලි හමුවනතුරු- දෙවන කොටස


"ඔයා මොකද ඔතන කරන්නේ?"
උදේ කෑම ගෙන අහවර කාමරයට පැමිණි මා ජනේලය අසලට වී එලිමහන දෙස බලාගෙන හිඳින අතරේ සිය යහනේ ගුලිව පොතක් කියවමින් උන් සොනාලි ඇසුවාය. එලිමහන සීතල වූ බැවින් අප දෙදෙනාටම දැන්මම එලියට බැස ඇවිදින්නට යාමට උවමනාවක් නොවොනි. එමෙන්ම, මේ පරිසරය, මාවත් ගැන කිසිවක් නොදැන එසේ යාමට අකමැත්තක් මා තුල විය.
"මුකුත් නෑ. එලිය බලාගෙනයි හිටියේ. පාරෙන් එහා පැත්තේ තියෙන්නේ විශ්ව විද්‍යාලලෙ ගොඩනැගිලි නේද? මොන අංශයට අයිති ඒවද දන්නේ නෑ. බලන්නකෝ, හැම ගහ කොලක්ම දැන් කහ පාට, රතු පාට වෙන්නයි හදන්නේ වගේ. හරි ලස්සනයි..."
"හ්ම්..ඒක නම් ඇත්ත, මම ආසයි මේ සරත් කාලෙට, ඒක තමයි ලස්සනම කාලේ" සොනාලි කීවාය.
අප විසූ ගොඩනැගිල්ලද ඇතුලුව ඈට පෙනෙන තෙක් මානයේ තිබුන සියලුම ගොඩනැගිලි අතර හිස් ඉඩ වෙන්ව තිබුණේ එකේනෙක හා යාවූ මාවත් සහ මනාව නඩත්තු කරන ලද තණ පිට්ටනි වෙනුවෙනි. පිට්ටනි වටේට සහ මැද තැනින් තැන, උස ගස් හෝ පඳුරු දකින්නට ලැබිනි. ඊට අමතරව තැනින් තැණ පැනවූ සිමෙන්ති බංකුද විය. අප හුන් කාමරයේ හිඳ බැලූ විට කෙලින්ම දර්ශණය වූයේ විශ්ව විද්‍යාලය දෙසට දිවෙන ප්‍රධාන මාවතකි. එය බර්ච් ගස් පේලි දෙකකට මැදිව ඈතට දිවුන අතර ඊට දකුණු පසින් වූ ගොඩනැගිල්ල අවසන තුන්මං හන්දියකට එකතු විය. ඒ හන්දියේ වූයේ ගලින් නෙලූ යම්කිසි ස්මාරකයක් වග මට ඈතට පෙනුනි.
"දැන් දැන් සීතල වැඩි වෙනවා. මොකද සීත කාලෙ එන්න කිට්ටු වෙන හන්දා. ඒත් ඊට කලින් මේ ගස් කොලන් සේරම කහ පාට, තැඹිලි පාට කොල බිමට හලන්න පටන් ගනීවි. පංචලී ඔයා මීට කලින් සරත් කාලෙක පිටරටක ඉඳලා තියෙනවද?" සොනාලි මා දැහැනට බාධා කරමින් ආයෙම කතා කලාය.
"නෑ...මම මේ බටහිර රටකට ආවමයි. ඒත් පිංතූර වලින් නම් දැකලා තියෙනවා" මම උත්තර දුනිමි.
සොනාලි හිනැහුනාය.
"ඔයා?" මම ඇසීමි.
"මම යූ එස් ආවේ අවුරුදු දෙකකට විතර කලින්. මගේ අයියා ඉන්නේ බොස්ටන් වල. මං ඔයාට කිව්වේ. ඒ නිසා මම දැකලා තියෙනවා" ඈ කීවාය. ඈ මෙය මට කලින් කියා ඇති වග මට එවෙලේ මටක් විණි.
බටහිර රටකට පැමිණි මුල් අවස්ථාව වුවද මම කලින් මැලේසියාවට සහ සිංගප්පූරුවට ගොස් තිබුණේමි. මැලේසියාවට ගිය වර මා හා සංකේත් ද උන්නු වග මට ඉබේටම මතක් වූයේ යලිත් සිතට බර හැඟුමක් එක් කරමිනි. අතීයය යලිත් මා ඒ දුක්බර මතක අතරට ඇදගත්තේය. හිත පිරෙන්නට සතුට තිබුණු එදවස ජීව්තය මෙතරම් වේදනාවක් වෙතැයි මම කිසි දිනෙක සිතා තිබුණේ නැත.
"පංචලී දන්නවද වැඩක්?" කලා කවයේ බිත්ති පුවත්පතක් සකසමින් උන් එක් සවසක අපේ සාමාජිකයෙකු වූ අසේල විමසුවේය. ඔහු එවක කලා පීඨයේ තෙවන වසර සිසුවෙක් විය. ඔහු සංකේත් දෙසද හොරෙන් බලමින් අසල හුන් සුපුන්ට ඉඟි කලේය.
"මොකක්ද අසේල?" මම අතේ තිබූ පුංචි නිසඳැස අලවන්නට ඉඩක් සොයමින් ඉහුගෙන් ඇසීමි.
"මේ අපේ සංකේත්ගේ හෘදය වස්තුවේ පොඩි අමාරුවක් හැදිලනේ..." ඔහු කී විට මම හිස ඔසව ඔහු දෙසත් සංකේත් දෙසත් බැලීමි.
"මේ පොඩි වයසට? ඇත්තද සංකේත්?"
සංකේත් අසේලට ව්‍යංගයෙන් තර්ජනය කරන අතරේ සුපුන්ද හඬ අවදි කලේය.
"ඒ අමාරුව හැදෙන්නේ පොඩි වයසෙදි තමයිලු"
"අනේ මේ...නිකං හිටපල්ලකෝ. මොනා කියනවද මන්දා. ඔයා මුන් කියන ඒවා ගණං ගන්න එපා පංචලී" සංකේත් මට කීවේ රතු වූ කන් දෙකින් යුතුවය.
"මොනවද අනේ ඔයාලා මේ වහෙන් ඔරෝ කියන්නේ? කියන දෙයක් තේරෙන්න කියන්නකෝ" මා මිතුරියක වූ දිලානි කීවාය.
මහිතට අමුත්තක් නොදැනුනා නොවේ. කලෙක පටන් සංකේත් මා ගැන වෙනදාට වඩා උනනදු වග මට යාන්තමට දැනී තිබුණි. එහෙත් එදවස ඔහු ගැන හිතන්නට මට කිසිදු උවමනාවක් නොතිබිණි.
"මෙයාගේ හඳුන්පොත කී ගානවලු අනේ.." දිලානිගේ ස්වරයෙන්ම ඈට කීවේ සංකේත්ගේ පීඨයේම මිතුරකු වූ යසස්ය.
"එහෙමනම් ඉතින් හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා ඉක්මණට බෙහෙතක් ගන්න වෙයි" මම කිසිවක් නොතේරුණා සේ කියා දැමීමි.
"අනේ ඕක නවත්තපල්ලකෝ බං" සංකේත් කෑ ගැසුවේය.
"ඔයාට තමයි බෙහෙතක් දෙන්න වෙන්නේ" සුපුන් ඔහුව ගණන් නොගෙන මට කීවේය.
"අර මොකටද? මම දොස්තර කෙනෙක්යැ?"
"හෘදය වස්තුවේ අමාරුව ඔයා නිසා හන්ද නේ" යසස් කෑ ගසද්දි මම ලැජ්ජවෙන් රතු වී ගියෙමි. මට සංකේත් දිහා බැලුනේ ඉබේටමය. ඔහු මදෙස නොබලා නැගිට යසස් අසලට දුවද්දි යසස් හුන් තැනින් නැගිට ඈතට දිව ගියේය.
"මුං කියන ඒවා ගණන්ං ගන්න එපා පංචලී. මුන්ට පිස්සු" ඉන්පසු ඔහු මා දෙස බලා නොබලා කීවේය.
"ඔව් ඔව් අපිට පාගල්. මෙයා දීවානා. ඕක කියලා දාපන්කෝ. හොස්ටල් ගිහින් අපට චුරු චුරු නූගා" යසස් යලි කීවේය.
"නිකං හිටපන් යසස්, විහිලු නෙවෙයි" එවර සංකේත්ගේ හඬ බැරෑරුම් විය.
සිදුවන දෑ නොතේරෙන්නට තරම් මා බොලඳ නොවීමි. එනිසා තවත් එතන ඉන්නට මට සිත් දුන්නේ නැත. මම නැගිට බෑගය අතට ගනිද්දී සියල්ලන්ම මා අදෙස බැලුවේ පූදුමයේන් මෙනි.
"පංචලී" සංකේත් මා ඇමතුවේය.
"මම යන්න ඕන"
"අයියෝ තරහා ගියාද? අපි විහිලුවක් නේ කලේ" අනෙක් අය කීවද මම එන්නට ආවෙමි.
"පංචලී ප්ලීස්...යන්න එපා" සංකේත් මට ආයාචනා කල වග මට මතකය. එහෙත් මම ඔහු කීව නාසා එන්නට ආමි. ඔහු මා ගැන සිතන වග මා නිසැකයෙන්ම දැනගත් මුල්ම දවස එදා විය. එදා ඔහුගේ සිත කොතරම් රිදුනාද වග ඔහු මට ඉන්පසු දවසක කියා තිබිණි. ඒ ලස්සන අතීත දිනයේ සංකේත් සැබවින්ම මට ආදරය කර තිබුණේය.
"පංචලී.." ඒ ඇසුනේ එදා මා පිටව යද්දී මා පසුපසින් දුව විත් මා ඇමතූ සංකේත් ගේ හඬ නොවේ. මා හිස හරවා බලද්දි මා අසල උන්නේ  සොනලිය.
"ඔයා ලොකූ කල්පනාවක. ලොකුවට සුසුම් හෙල හෙල. මම බලාගෙන ඊයෙත් ඔයා වෙලාවෙන් වෙලාවට ඔහොම කල්පනා කරනවා. ඇයි, මොකක් හරි ප්‍රශ්ණයක්ද?" ඈ ඇසුවේ දයාබරවය.
"නෑ" මම හිස වැනීමි.
"මම දන්නවා මොකද කියලා. ලැජ්ජ වෙන්න ඕන නෑ. ඔයාට ගෙදර මතක් වුණා නේද?" ඈ ඇසුවාය.
ඇගේ පැනය මට සහනයක් විය. ඈට මුසාවක් පවසන්නට මට එය අවසරයක් විය.
"හ්ම්" මම හිස වැනීමි.
"ගණං ගන්න එපා සුදෝ. ඔහොම තමා ආපු ගමන්ම. මම දවස් ගානක් ඇඬුවා ගෙදර මතක් වෙලා. ඒත් ඉතින් දැන් ආපු එකේ ඉගෙන ගන්න ඕන නේ. ටික දවසක් යද්දි සේරම හරි යයි" ඈ මා අස්වසන්නට මෙන් මගේ අතක් මුදුවට අල්ලා කීවාය.
මම හිනැහුනෙමි. මට ඈට කිසිවක් කියන්නට මට උවමනා නොවිනි. මිනිසුන් විෂයේ විශ්වාසය තබන්නට බිය වන තරමටම මිනිසුන් විසින් මගේ විශ්වාසය බිඳ දමා තිබුණි. මට කිසිවකු විශ්වාස කරන්නට ඇවැසි නොවිනි.
"මම ටිකක් එලියට යනවා පංචලී ඔයත් එනවද?" සවස සොනාලි කොහේදෝ යන්නට සැරසී මා විමසුවාය.
"අනේ මම ඉන්නම් සොනලි, මට තව අස් කරන්නත් පුංචි දේවල් ටිකක් තියෙනවා. අනික සීතලට මට ඔලුව රිදෙන්න ගන්නවා. ඔයා ගිහින් එන්න. තරහා වෙන්න එපා"
මම සුහදව ඒ ඇරයුම ඉවත හෙලීමි.
"ප්‍රශ්ණයක් නෑ. මම එහෙනම් ගීන් එන්නම්. මට ඇතුලෙම ඉන්න වස කම්මැලියි"
ඈ උණුසුම් කබායක් හා සලුවක් දවටාගෙන පිටවයනු මම බලා උන්නෙමි. ඈ ගිය පසු කාමරය පාලු ස්ව්භාවයක් ඉසිලීය. මම සිතුවිලි එහා මෙහා දුවනු නොදී දිගටම අස් කිරීමේ යෙදී උන්නෙමි.
"ඔන්න මං ආවා" ඈ යලි පැමිණියේ මා ඇඳුම් පෙට්ටිය අස කරමින් ඉන්න විටදීය. ඈ මා සිතුවාට වඩා කලින් පැමිණ තිබුණි.
"ඔයා ඉක්මණට ඇවිත් නේ" මම කීවේ එබැවිනි.
"ඔව්. මට එලියට යන්න වුණේ නෑ. මම අලුතින් ආපු ආය එක්ක පොඩ්ඩක් කතා කර කර හිටියා අමුත්තන්ගේ කාමරේට වෙලා. ඔයා දන්නවද, අපේ කාමරේ වටේටම ඉන්න අය අද ඇවිල්ල. පුදුමේ කියන්නේ කාමර දෙකකම ඉන්නේ ආසියාතික ළමයි. ඉස්සරහ විසි නවය කාමරේ ඉන්නේ ඉන්දියාවෙම දෙන්නෙක්" ඈ ඇඳේ වාඩි වී මට කීවේ උද්‍යෝගිමත් හඬකිනි.
එහි ඇරුමයක් නැතැති මට සිතිනි. ඉන්දියාව විශාල රටක් වූ අතරම, ඇමෙරිකාවට ඉගෙන ගන්නට එන සිසු සිසුවියක් රාශියක්ද ඒ අතර වූහ.
"එක්කෙන්ක් තමිල්නාඩුවේ, ඒ පූජා. අනික් කෙනා කේරල වල ලතිකා. හතලිහේ ඉන්නේ නයෝමි කියලා ජපන් ළමයෙකුයි, පාකිස්තානෙන් ආපු නජීබා කියලා එක්කෙනෙකුයි. හතලිස් දෙකේ ඉන්නේ ඇමෙරිකාවෙම දෙන්නෙක්. ඇමැන්ඩායි, ඔලිවියායි" සොනාලි මා හට විස්තර කරද්දී මට පුදුම නොවී සිටිය නොහැකි විය. ඈ සියල්ලම කෙසේ සොයා ගන්නවාදැයි මට සිතාගත නොහැකි විය. මම කරමින් හුන් වැඩය නවතා ඈ දෙස බැලීමි.
"ඔයා ඕවා කොහොම හොයාගන්නවද මන්දා. තව ටික දවසක් යද්දි, ඔයා මේ මුලු ප්‍රාන්තෙම ඉන්න අය ගැන ඇවිත් මට විස්තර කිව්වොත් මම පුදුම වෙන්නේ නෑ" මම කීවෙමි.
සොනාලි හිනැහුණාය.
"මම ඒ අය එක්ක කතා කර කර හිටියා එලියේ හිටපු වෙලාවේ. ඔයත් මා එක්ක ආවා නම් ඔයාටත් ඒ අයව අඳුනගන්න තිබුණා. මංදා, ඇත්තටම මම කොහොමත් ගොඩක් කතා කරන්න කැමති, යාලුවෝ ගොඩක් අඳුනගන්න ආස කෙනෙක් නම් තමයි" ඈ මදක් කල්පනාකොට කීවාය.
"ම්ම්...ඒ වග නම් මට තේරුණා. හැබැයි මම ඒකේ අනික් පැත්ත. මම ආස තනියෙම ඉන්නයි, පුලුවන් හැමවෙලේකම"
"එහෙනම් මම ඔයාට කරදර කරනවද දන්නේ නෑ" සොනාලි ඇසුවාය.
"අනේ නෑ. ඔයා එක්ක ඉන්න මම කැමතියි. එතකොට වෙලාව යනවා දැනෙන්නෙත් නෑ. ඇත්තම කිව්වොත් ඔයා හරි හොඳ කෙනෙක් සොනාලි" මම කී විට සොනාලි මා හට උණුසුම් සිනාවකින් සංග්‍රහ කලාය.
"හ්ම්අනේ මන්දා ඒක නම්. ඒත් ඔයාට ස්තුතියි"

මා හදාරන්නට නියමිත වූ සමාජ මනෝවිද්‍යාව (Social Psychology) විශය ධාරාව පූර්ණකාලීන පාඨ්මාලාවක් විය. සොනාලිත්, අපගේ අසල්වැසියන් වූ, ඉන්දියානු යුවතියන් දෙදෙනා සහ, ජපන් යුවතිය හැදෑරුවේද එම විශය ධාරාවම වීම මා සිතට එක කලේ එක්තරා ආකාරයක සතුටකි. අපගේ දේශණ පැවැත්වුණේ සමාජ විද්‍යා අධ්‍යයන පීටයේ වූ බැවින්, අප සියලු දෙනාට නේවාසිකාගාරයෙන් පිටව මද දුරක් ඇවිද යන්නට සිදුවිණි. නේවාසිකාගාරයට ලඟින්ම පිහිටි ගොඩනැගිල්ල භාෂා සහ සාහිත්‍ය අධ්‍යයන පීඨය වග මට දැනගන්නට ලැබිණි. අපගේ දේශණ ෂාලා පිහිටා තිබුණේ ඊට මදක් ඔබ්බෙන් වූ අනෙක් ගොඩනැගිල්ලේය.
"මම හිතන්නේ ගොඩ වෙලාවට අපට ලෙක්චර්ස් වලදි සෝසෝ අයයි, සයිකෝ අයයි හම්බවෙයි. මොකද අපි හැමෝටම පොදු සමහර දේශණ තියෙන හන්දා" කාලසටහන පිටපත් කරගන්න අතරතුර නයෝමි පැවසුවාය.
උරහිස ලඟට වන්නට කෙටිකල, කූරු හිසකෙස්, ඇපල් ගෙඩියක් හැදැති ඇගේ මුහුණ තවත් රවුම් කර පෙන්වූ අතර ඈට සිනාසෙන දිගු දෑසකුත්, උල් නහයකිය් තිබිණි. ඈ නිරන්තරයෙන්ම ඇගේ සිහින් දෙතොල් තද රෝස පැහැයෙන් පාට කරගෙන උන් අතර, සොනාලි තරම්ව උස් හා සිහින් වූ රූමත් යුවතියක වූවාය. ඇගේ ජපන් ආරයට හුරු කතාබහ නිසා ඇතැම් වෙලාවලදී ඈ කියූ දේවල් තේරුම් ගන්නට මට මද වෙලාවක් ඇවැසි විය.
"හ්ම්...එහෙම වේවි තමයි. යමු යමු. පළවෙනි ලෙක්චර් එක පටන් ගන්න ලඟයි..." සොනාලි කෑ ගැසුවෙන් අපි ලහි කොට ඈ පසුපස ගියෙමු.
ශ්‍රී ලංකාවේ වූ පරිදිම, වටේට පුටු යෙදූ දේශණ ශාලාවේ මැදට වන්නට පහත් වන පරිදි( චිත්‍රපට ශාලාවක මෙන්) සකසා තිබිණි. ඒ පහත් සමතලා මධ්‍යයේ දේශකවරයා සඳහා වූ ලියන පුවරු, පොත් අල්මාරි සහ මේසයක් වූ අතර, අපි විවිධාකාර වූ දේශකවරුන් හා වරියන් ගේ දේශන වලට සවන්දෙමින් උදේ වරුව එහි ගත කලේමු. යාන්තම් නිදිමතක් හැදීගෙන එන විට කෑම සීනුව නාද වුනද, ඊලඟ දේශණයට දිවා ආයුතු වූ නිසා දිවා අහාරය ඉක්මණ්, කතා අඩු එකක් බවට පත් විය.
"එතකොට අපි මේ කරන්නේ මේ ගොඩක් සංකීර්ණ මිනිස් සිතේ මනෝභාවයන් තේරුම් ගන්න, පැහැදිලි කරගන්න උත්සාහ කරන එක සමාජ විද්‍යාත්මක පැත්තෙන්. ඒකෙදි අපි වෛද්‍ය විද්‍යාත්මක පැත්ත එච්චරම ඉගෙනගන්නේ නෑ. අද මේ මූලික දේශණයෙන් මනෝවිද්‍යාව කියන විශයේ මූලික සංකල්ප කීපයක් අපි අඳුනගත්තා. ඊලඟ දේශණයෙදි අපි බලමු, තව ටිකක් ගැඹුරින් ඒවා ගැන සාකච්චා කරන්න"
කල්පයක් සේ හැඟුණු පැය දෙකකට පසු අපි දේශණ ශාලාවෙන් එලියට පැමිණෙමින් උන්නෙමු.
"පහයි වෙලාව, ඒත් බලන්නකෝ එලිය අඩු වෙලා තියෙන හැටි. සීතලත් වැඩි වීගෙන එනවා. මම නම් ඉවසිල්ලක් නැති ව හිටියේ කාමරේට ගිහින් උණු වතුර බේසමක බැහැලා, උණු කෑම කන්න යන්න" එසේ කීවෙ ලතිකාය.
අපි ඒ කතාවට මද සිනා පෑවෙමු. ඈ කී පරිදිම පරිසරය වඩා සීතල විය. එය මා කිසිදා අත්දුටු අන්දමේ සීතලක් නොවිනි. නුවර එලිය පවා මීට වඩා බොහෝ උණුසුම් යැයි එවෙලේ මට සිතිණි. අපි පය ඉක්මණ් කර උණුසුමින් අප පිලිගන්නට බලා ඉන්නා, කාමර වෙත පියනැගුවෙමු.
"ඔයාලා ගිහින් තියෙනවද අර ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තේ? ඒක තමයි කෙලවරේම තියෙන දෙපාර්තමේන්තුව" රෑ කෑම අතරතුර නජීබා ඇසුවාය.
තරබාරු, පැහැපත් යුවතියක වූ ඇය, උසින් අඩු වූ අතර නිතරම හිසේ සලුවක් දවටාගෙන උන්නාය. ඇගේ දෑස් අලු පැහැ වූ අතර, හිනැහෙන විට වල් ගැසෙන කම්මුල් ඈට එක් කලේ හුරතල් පෙනුමකි. ඈ හැදෑරුවේ ආර්ථික විද්‍යාව වූ අතර, එනිසාම අප හා එකව ඉන්නට ඈට ඉඩ ලැබුනේ අප සියල්ලන්ම නේවාසිකාගාරයේ ඉන්න විටදී පමණි.
"නෑනෙ. එහේ මොනවද තියෙන්නේ?" සොනාලි විමසුවාය.
"අපේ පුස්තකාලෙට පිටිපස්සෙන් තියෙනවා පුංචි විලක්. පුංචියි කිව්වට ඒක සෑහෙන දුරකට පැතිරිලා තියෙනවා. අපේ පැත්තට වෙන්න ඒක වටේට තණකොල වවලා තියෙනවා උස කණ්ඩිය හරියේ. මේපල් ගසුයි, විලෝ ගස්ය්යිත් වවලා තියෙනවා. ඒ විල ගොඩක් පරණ එකක්ලු. මේක මුලින්ම හදද්දිත් ඒක තිබුණලු. ඒකේ ඉන්නවා තාරා රංචු. පොඩි පාත්තයෝ හෙම. අනේ හරිම ලස්සනයි. ඔයාලා දවසක එන්න බලන්න. ගස් යට බංකුත් හදලා තියෙනවා. සීත කාලෙට විල මිදුනම සමහරු යනවලු ඒකේ ice skating කරන්න...හරිම ජොලි ඇති නේද?" විස්තර කියද්දි ඇගේ දෑස් දිලිසුන හැටියෙන් එය නිසැකවම කදිම ස්ථානයක්  වන්නට ඇතැයි මට සිතිණි.
"ම්ම්...අහද්දි ආසයි වගේ. අපි දවසක අනිවාර්යෙනම යමු" මම කීවේ එබැවිනි.
ඉන්පසු විවිධකාර වූ සුලු සුලු මාතෘකා දිගේ ඇදී ගිය අපේ කතාබහ, නයෝමිගේ නිදිමට ඈනුමක් නිසාවෙන් මගදී නතර විනි. එකේනෙකාගෙන් සමුගෙන කාමරයට ආ අපි, දඩිබිඩියේ ඇඳුම් මාරු කරගෙන උණුසුම් ඇඳ වෙත පැන්නෙමු. පුදුමයකට එදින මට සංකේත්ව සිහි වූයේ යන්තමිනි. එතරම් මා කාර්යබහුලව සහ යෙහෙලියන්ට ඇහුම්කන් දෙමින් සිටින්නට ඇත. බොහෝ කලකට පසු සිතේ වූයේ යම් සමාධිමත් භාවයකි. සියල්ල යලි යහපත් වනු ඇතැයි එවෙලේ මම සිතුවෙමි.


5 comments:

  1. ඉක්මනට පොස්ට් දාන්න අක්කා.........මං ඔයාගේ කලින් කතා 2 ම කියෙව්වා මේකත් ඒ වගේ ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්ගා. ඉක්මණට දාන්න බලනවා. ඒත් වැඩ එක්ක අමාරුයි ටිකක්. ඒත් කොහොමහරි ලියන්න බලන්නම්.

      Delete
  2. සුට්ටක් ද මන්දා දීලා තියෙන්නේ කතාව ලස්සන හින්දා ද මන්දා එහෙම තේරුනේ

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දේම හිතුන ලක්ෂ්

      Delete