Tuesday, July 24, 2012

යලි හමුවනතුරු----- එක

ඒ සරත් සමයේ ආරම්භය විය. ගස් කොලන් තවමත් හරි හැටි කොල හලන්නට පටන් ගෙන නොතිබුණ මුදු, කොල පැහැ පත්‍ර සමූහයා අතරින් රතු හෝ කහ ගැන්වුනු පත්‍ර එබිකම් කරන්නට පටන් ගෙන තිබිණි. වැස්සකට පසුව ඇති වන පිරිසිදු හා පැහැදිලි වට පිටාව, අලු පැහැ අහස වෙතින් ඕනෑම මොහොතක ආපසු කඩා වැටිය හැකි වැස්සක් ගැන ඉවසිල්ලෙන් බලා ඉන්නවාක් සේ මට හැඟිනි. එසේ පිලිවෙලකට වවා තිබුණු විවිධාකාර ශාක සමූහයාද, පාරවල්, ගොඩනැගිලි හා මිනිසුන්ද ඕනවාටත් වඩා පිලිවෙල යැයි මට සිතිණි. එහෙථ් මේ සියල්ලට වඩා එහි විශාල හිස් බවක් ඇතැයි මට සිතුණි. නගර විශාල වූ අතර, එහි විසූ ජනතාව අඩු විය. එනිසාමදෝ මා හට ගමන පුරාවටම දැනෙමින් තිබුණ පාලුව තවත් වැඩි වී මට දැනෙන්නට විණි.
මින් පැය කිහිපයකට පෙරාතුව ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියානා ප්‍රන්තයට ගොඩ බට මා, කුලී රියක නැගී ගමන් කරමින් උන්නේ තව බොහෝ කලකට මා හට සෙවණක් වේ යැයි මා බලාපොරොත්තු වන මා ඉගෙනුම ලබන්නට නියමිත විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය වෙතය. මෙහි ගොඩ බට මොහොතේ පටන් මා හට දැනුනු එකම දෙය වූයේ පාලුව මුසු නොසන්සුන්කමකි. මෙහි සියල්ලම මට අලුත් වූ තරමටම නුහුරු විය. ගුවන් තොටුපොලේදි මා පිලිගත් නිලධාරිනියගේ පටන් මා මෙවෙලේ ගමන් ගත් කුලී රිය පැදවූ සීක් ජාතිකයා දක්වා සියලු දෙනාමත්, භාෂාව සහ වටාපිටාවත් මට බෙහෙවින්ම නුහුරු නුපුරුදු හැඟීමක් ගෙන එන්නට සමත්ව තිබිණි. කොටින්ම කිවහොත්, මට සියල්ල පෙනුනේ අමුතුවටය. මම අසුනට හේත්තු වී වේගයෙන් පසුවි යන ගොඩනැගිලි හා වටපිටාව දෙස හිස් බැල්මෙන් බලාගෙන උනිමි. මා මේ උත්සාහ කරන්නේ අතීතයෙන්...ඒ සිත දවන, දුක්බර අතීතයෙන් පලා යන්නට නොවේද කියා හදිසියේම මට සිතිණි. ඒහෙත් සත්‍යය වූයේ ඒ අතීතයෙන් කිසිවිටෙකත් මට පලායන්නත නොහැකි බවයි.
"හායි, මම සංකේත් ප්‍රභාෂ්වර රන්දුනු..." විශ්ව විද්‍යාලයේ කලා කවයේ එක්තර රැස්වීමකදී මට ඔහුව හමු විණි. එද්වස ඔහු කලා කවයේ උප සභාපතිවරයා වූ අතර, මම නව සාමාජිකාවක වීමි.
"ඔයාගේ කවි මාරම ලස්ස්නයි නේ. මම හැමදාම බෝඩ් එක බලන්නේ ඔයාගේ කවියක් ඇති කියල" ඔහු මා හා දෙඩූ මුල්ම වචන කිහිපය එය විය. මම කිසිත් නොකියා හිනැහුණා මට මතකය.
සංකේත් සැබවින්ම ප්‍රියමනාප අයෙකු වග තේරුම් ගන්නට මට එතරම් කලක් ගත නොවිනි. ඔහුට තිබුණේ උවමනා තරමට වඩා මදක් වැඩි, තරම රැලි ගැසුණු හිසකේය. ඝනව වැඩුණු දෙබැමට යටින්, තිබුණේ නිරන්තරයෙන් දොශමලු වන පැහැදිලි දෑසකි. මුහුණ පුරා දැලි රැවුල වවාගෙන, නොසැලකිල්ලෙන් ඇඳුම් තෝරාගෙන ඇන්දත්, ඔහු කෙරේ වූයේ මටම නොතේරුණ ආකර්ශණයකි. එහෙත් එය තව බොහෝ දුර යා යුතුව තිබුනකි.
""ඇයි ගිය සතියේ නාවේ?" තව දිනෙක රැස්වීම අවසන්ව මා යන්නට සැරසුන මොහෙතේ මාව නතර කරගත් ඔහු ඇසුවේය.
"ඈං? ආ...අපට කුප්පියක් තිබුණනේ ඒකයි. ඇයි?"
"නෑ...මම බැලුවා කලා කවය එපා වෙලාද කියලා"
"නෑ...එහෙම වෙන්නේ මොකටද?"
"ම්ම්...කමක් නෑ. ඒත් හැමදාම එන්න බලන්න. හරිද?" ඔහු එසේ කියා යන්නට ගියේ මා අන්ද මන්ද කරවාය. අප යන්තමින් දැන හැඳින ගනිමින් උන් එදවස කෙතරම් සුන්දර වීද?
"මිස්...කියපු තැනට නම් ආවා"
රියදුරා ඇමතූ හඬට මම දැහැනින් මිදුනෙමි. ඔහුට මුදල් ගෙවා, මා සතු බඩු භාණ්ඩද රැගෙන මම, මා ඉදිරියේ වූ විශාල සුදු පැහැ ගොඩනැගිල්ලට ඇතුලු වීමි. ගොඩනැගිල්ල ඉදිරිපස, දීප්තිම කොල පැහැ තණ පිට්ටනියක් හා, ඒ වටා තැනින් තැන වවන ලද විවිධාකරයේ උස ශාක සමූහයක්ද වූ බව මම යන්තමින් දැකගතිමි.
" මිස් පංචලී උමංගා රණබාහු?"
මා නේවාසිකාගාර කාර්යාලයේ උප ශාලාධිපතිනිය ඉසරහ පුටුවේ වාඩි වී හිඳින අතරතුර මා ලබාදුන් ලියකියවිලි  ගොනුවෙන් හිස එසවූ ඈ, සිය රවුම් කණ්ණාඩිය තුලින් මා දෙස බලා යන්තම් සිනාවක් පා ඇසුවාය. බීට් රූට් රතු පැහැයට වඩා මදක් තද පැහැ හිසකේ කොටට කපා උන් ඈ තරමක් මහත, රවුම් මුහුණකින් හෙබි කාරුණික පෙනුමක් ඇති තැනත්තියක වූවාය. හිසකෙස් පැසී නොතිබුණද, මුහුණේ හා බෙල්ලේ වූ රැලි සහ, යන්තමින් ලා පැහැ කලු තිත් වැටුණු දෑතත් දුටු විට ඈ පනස් විය ඉක්මවූ තැනැත්තියක වන්නට ඇතැයි මම සැක කලෙමි. ඇගේ හැඳ උන් ලානිල් පැහැ ඇඳුමේ  කර සහ, සුදු පැහැ කමිස කර අතරින් පෙනුනේ අලංකාර මුතු පොටකි.
"ඔව්" අයාලේ යමින් තිබූ සිතිවිලි එකතැන් කරගන්නට උත්සාහ කරමින් මම පැවසීමි.
ඈ යලි ලිපි ගොනුවට එබුණාය. මාගේ දෑස් මීලඟට යොමු වුයේ ඇගේ මේසය මත වූ නාම පුවරුවෙන් දෙසටය. 'සාරා ඇන්ඩර්සන්- උප ශාලාධිපතිනිය' ඒ පුවරුවෙ සටහන්ව තිබිණි.
"ඔයාට වෙන් කරලා තියෙන්නේ විංග් සී එකේ කාමර අංක හතලිස් එක. කැම්පස් එකට ලඟින්ම තියෙන විංග් එක. ඔයාට තව එක්කෙනෙක් එක්ක කාමරේ බෙදාගන්න වෙනවා. මොකද එහෙම කාමර තමා මෙහේ තියෙන්නේ. ම්ම්...ඉන්න බලන්න...ආ...ඔව්. සොනාලි ශර්මා. ඔව්, ඒයා තමයි ඔයාගේ කාමරේ ඉන්න අනික් කෙනා. එයා ඊයේ ඇවිත් වගේ...ම් හරි. එහෙනම් මේ ලියවිලි ටික මම මේ ඔෆිස් එකේ තියාගන්නවා. හරි නේද? ගෙවීම් සේරම හරි මේ අවුරුද්දට. ප්‍රශ්ණයක් නෑ. මෙන්න මේ පොත් පිංචේ තියෙන්නේ මෙහේ නීති රීති ගැන. හොඳට කියවගෙන ඉන්න. ඒක වැදගත් වේවි. හරි නේද? ඔයාට මුකුත් ප්‍රශ්ණ තියෙන්වද අහන්න මගෙන් තව?"
සුහදව සියල්ල මාහට විස්තර කල ඈ අන්තිමට එසේ අසද්දි ඇගෙන් අහන්නට යමක් මට සිහි නොවුනෙන් මම නැතැයි කියා හිස වැනීමි.
"හරි එහෙම නම්, දැනට මෙච්චරයි. මොනා හරි ඕන වුනොත් මට කතා කරන්න බය වෙන්න එපා හොඳද? මිස් රණබාහු, ඔයාව සාදරෙන් පිලිගන්න්වා අපේ නේවාසිකාගාරෙට. ඔයා මෙහේ සතුටින්, හොඳින් කාලේ ගතකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගිහින් එන්න. ඉගෙනීමේ වැඩ කටයුතු වලට සුබ පතනවා"
ඈ මට යතුරක් අතට දෙමින් කීවාය. අදාල ලියවිල්ලේ අත්සනක් යෙදූ මම ස්තූති පූර්වකව යතුර භාර ගතිමි. මීලඟට මගේ බඩු බාහිරාදිය ආදිය අතින් කටින් එල්ලගෙන මම මාහට ලබාදුන් කාමරය සොයා පිටත් වීමි. වාසනාවකට එය පළමු මහලේම පිහිටා තිබිණි. දොරට කිහිප වතාවක් තට්ටු කලද කිසිවකු නොවූයෙන් මම මාහට ලබාදුන් යතුරෙන් දොර විවෘත කරගෙන එහි ඇතුල් වූයෙමි.
එය සැබවින්ම සුන්දර කාමරයක් විය. සියල්ලම සුදු පහැයෙන් නිර්මිතව තිබුණු අතර, කාමරයේ ගිනි උදුන අසල තද දුඹුරු පැහැ, සැප පුටු දෙකක් තබා තිබුණු අතර, අපේ ඇඳන් ජනේල වලට යාබදව කාමරයේ දෙපස තබා තිබිණි. දෙදෙනාටම මේසයක්, පුටුවක්, බිත්ති අල්මාරියක් ද, එක කණ්ණාඩි මේසයක් සහ නාන කාමරයක්ද විය. මට යන්තම් සතුටක් දැනුනි. මගේ කාමර සහායිකාව නම් සියල්ල අස් පස් කරගෙන, පිලිවෙලක් වී හුන් වග මට බැලු බැල්මට පෙනුනි. මා ගිමන් මද නිවාගෙන අස් කරන්නට සැරසෙද්දීම වාගේ ඈ කාමරයට පැමිණියාය.
"හායි, ඔයා එහෙනම් ආවා නේද? මට මේ දැන් ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා මගේ රූම් මේට් ආවා කියලා. මම සොනාලි ශර්මා, ඉන්දියාවෙන්"
දිග කූරු හිසකෙස් 'පෝනි ටේල්' ආකාරයට බැඳගෙන, කාන්තිමත්  කලු දෙනයන යුගලකින් මාදෙස බලාගෙන හිනැහෙමින් උන් ඈ කීවාය. ජීන්ස් කලිසමකින් හා ජර්සියකින් සැරසී උන් ඇය මට වඩා උසින් වැඩි, සිහින්, රූමත් යුවතියක වූවාය.
"හමුවීම සතුටක්, මම පංචලී රණබාහු, මම ශ්‍රි ලංකාවෙන්"
"මට හරිම සතුටුයි. ඔයා ලංකාවේ හන්දා තවත් සතුටුයි, මොකද අපි අසල්වැසියොනේ. හරි හරි, පස්සේ විස්තර කතා කරමුකෝ. ඔයා අස් කර කර නේද හිටියේ? මොකක් හරි උදව්වක් ඕනද?" සොනාලි ඉතාමත් සුහද යුවතියක් බැව් මට පලමු හමුවීමෙන්ම වැටහිනි.
"එපා එපා. ස්තූතියි, මට මේ ටික කරගන්න පුලුවන් වේවි මම හිතන්නේ" මම කීවෙමි.
සියල්ල පිලිවෙලක් කරගෙන, නා අහවර වද්දි රෑ කෑම වෙලාවද එලඹ තිබිණි. සොනාලි මට සියල්ලටම මගපෙන්වන්නියක වූවාය.
"අද සෙනසුරාද හන්දා වැඩිය සෙනග නෑ. හෙට වෙද්දි ඒවි මම හිතන්නේ. එන්න, අතනින් තමා කෑම ගන්න ඕන" සොනාලි මා ඇදගෙන ගියේ තරමක ලොකු, පිරිසුදු, ලී අසන පනවන ලද නේවාසිකාගරයේ ආපණශාලාවේ කෑම පෝලිම දෙසටය. අපට අවශ්‍ය ආහාර, ඇවැසි පරිදි බෙදාගන්නට මෙහිදී අපට හැකියාව ලැබිණි.
"ඔයා මස් මාලු කනවද?" හදිසියේම සොනාලි ඇසුවාය.
"ඔව්, ඒත් හරක් මස් නම් කන්නෑ"
"ආ...එහෙමද? මම කන්නේ එලවලුයි, බිත්තරයි විතරයි. ඕවෝ වෙජිටේරියන්" සොනාලි පැවසුවේ, ලඟ තිබුණ කූඩයකින් පුංචි බනිස් ගෙඩියක් අතට ගනිමිනි.
"ඇත්තද?"
බනිස්, බැදපු මස්,පලතුරු, කෝපි සහ විශාල කොල සලාදයකින් නිර්මිත වූ ආහාර වේල රැගෙන අහවර අපි ඉක්මණින් කාමරය වෙත එන්න ආවෙමු.
"මේ කාමර ව්ල ඉන්න අය තාම ඇවිත් නෑ. කවුරු එයිද දන්නෑ නේද?" සොනාලි කීවේ අපට ඉදිරියේ වූ කාමර පෙන්වමිනි. මම හිනැහුණෙමි.
සොනාලි කතා පෙට්ටියක් වූවාය. සෑම විනාඩියකම ඈට කියන්නට මොනැවා හෝ දෙයක් තිබුණි. අවසානයේ ගෙදරට ඇමතුමක් දෙන්නත මා ඇගෙන් අවසර ගන්නා වෙලාව වද්දී, මා ඇගේ හත්මුතු පරම්පරාවේම වත ගොතද, ඇගේ නිවසේ හුන් ලොකු ආච්චි අම්මාගේ පටන් බළල් තඩියා දක්වා වූ සියලුම දෙනා ගැනද තොරතුරු රාශියකින් ඈ මා පුරවා තිබුණාය. එහෙත් ඈ ගැන මා හිතේ වූයේ පහන් හැඟීමකි.
"දැන් පරණ දේවල් ගැන හිත හිත ඉන්නවා එහෙම නෙවෙයි හොඳද? ගිය වැඩේ හොඳට කරගන්න බලන්න දෝනි. බුදු සරණයි. අපි ලබන මාසේ විතර ඇවිත් යන්න එන්නම්" ඇමතුම අහවර කරන්නට ලංව අම්මා කීවේ එපමනකි. මගේ දෑස් තිබ්බේ බොඳවය. එහෙත් මා හඬන වග අම්මාට දැනෙන්න හරින්නට මට උවමනා නොවිනි. ඈ තවත් හිත රිද්දාගනු ඇති බව මා දන්නා නිසාය.
"නෑ, අම්මා. මම හිත හදාගෙන ඉන්නේ. අම්මා ඒ ගැන හිතන්න ඕන නෑ" මා බොරුවක් කියා ඈව සනසාලන්නට උත්සාහ කලෙමි.
එහෙත් සත්‍යය වූයේ මට නොහිතා ඉන්නට බැරි වගය. විදුලි පහන් නිවා ඇඳට වැටුණ මොහොතේ පටන් යලි යලි අතීතය හිතේ ඉස්මතුව මා සිත පාරන්නට විය. සංකේත් මා සිත තුල ගලේ කෙටූ අකුරක් මෙන් තිරව තැන්පත් වී උන්නේය. ඔහු දැන් කුමක් කරනවා ඇදැයි මම කල්පනා කලෙමි. මා මෙහි ආ වග ඔහු නොදන්න්වා විය යුතුය. එහෙත් ඔහු එය දැනගනු ඇත. එහෙත් කිසිවක් වෙනස් වන්නේ නැති වග මම දැන උන්නෙමි.කඳුලු බිංදු කිහිපයක් කොට්ටය තෙත් කරද්දි මම දෑස් පියාගෙන නිදාගන්නට උත්සාහ කලෙමි. හොඳටම නින්ද ගොසින් හුන් සොනාලිගේ ක්‍රමවත් , ගැඹුරු හුස්ම ගන්න හඬ  කලුවර අතරින් රිංගාවිත් මගේ සවනතේ හැපිනි.  


8 comments:

  1. ඔන්න කතාවේ පළවෙනි කොටස. මොකද හිතන්නේ කියලා කියන්න ඕන. මම ලියන විදිහ වෙනස් කලා. සමහර වෙලාවට කතාව ඇතුලෙදි මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. එහෙම කරන්නේ සිංහල තේරුම ලියන්න දිග වැඩි, බැරෑරුම් වචන වුණෝතින්. හැමෝටම තෙරෙන විදියට ලියන එකනේ හොඳ නේද? :) කමක් නෑ නේද? ඒ ගැන ඔයාලගෙ අදහස් කියනවා නම් මම කැමතියි.
    මට ලෙඩ හොඳ වෙන්න විශ් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒත් ඉතින් තාම ලෙඩ නම් හොඳ නෑ, හොඳටම. ඒත් ලියන්න පුලුවන් වුන එකත් ලොකු දෙයක් නේ. මේ කතාවත් ඔයාලා ආදරෙන් වැලඳගනීවි කියලා මම හිතනවා... එහෙනම් අලුත් කතාවට ආදරෙන් පිළිගන්නවා හැමෝවම...

    ReplyDelete
  2. ලස්සන කතාවක් වගේ නෙතු..
    සුභ පතනවා ඔන්න කලින්ම..දිගටම කමෙන්ට් දාන්න බැරිවුනත් හැම කොටසක්ම බලන්න එන්නම්..
    ඉංග්‍රිසි වචන පාවිච්චි කරද්දි ඒවා ඉංග්‍රසියෙන්ම දාන්න කියලයි මගේ යෝජනාව..

    ReplyDelete
  3. Mokada thama asaneepa gathiyen,,,(mey hithey da gathey da ) just kidding.

    Anek katha wagema mekath lassanai wage... Raa kiwwa wage English words English walinma danna. Eth English words sinhalen liyanna epa please.

    Hamadama enawa,,, kathawa liyanna,,,,
    Thanks,,,

    ReplyDelete
  4. she nethu akkige aluth kathawe start eke nam hari lassenay :D he he ohome yan ohome yan :D api enewa hamedama read karane :D best of luck. take care

    ReplyDelete
  5. ඔබ හීනයක් වගේ බ්ලොග් අඩවියේ අපූ ගෙයි මෙත්මාගෙයි ආදර කතාව හරිම ආසාවෙන් කියෙව්වා. කථාවට ආකර්ෂණය උනේ නම් අපූ කියන නම නිසා මයි. බෙංගාලි නවකථාවක තියන අපූර්ව කියන චරිතයට ම්ං ගොඩාක් ආසයි.) ඉන් පස්සේ "මල් වැහි වැටුනාවේ" කථාව කියවන්න ගත්තත් " ඔබ හීනයක් වගේ" කථාවෙම අච්චුවක් වගේ දැනුන නිසා කියවන්න කම්මැලි හිතුනා.
    මේ කථාවෙ නම් එහෙම නෑ වගේ. ඔයා ලියන සරල කථා ඒකාකාරී ජීවීතේට සහනයක්. ලස්සනම ලස්සනට කථාව ඉස්සරහට ලියාගෙන යන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා. කථාවල තියන එකම අච්චුවෙ ගතිය මඟ හැරෙනව නම ගොඩාක් හොඳයි.
    ඉංග්‍රිසි වචන එහෙමම දානවා නම් කථාව තව ටිකක් ප්‍රාණවත් ගතියක් වේවි.
    පිට රටක උනු සිදුවීමක් ගැන තියන නිසා එහෙම නැති උනාම අඩුවක් දැනෙනවා වගේ. ( අපූගේ කථාවෙනම් එහෙමයි කරල තිබ්බේ මතක විදියට )

    ReplyDelete
  6. බ්ලොග් ලියන අය ගෙන හොදටම ලස්සනටම කතා ලියන්නේ ඔයයි අක්කි
    අලුත් කතාවත් කිසි කම්මැලි කමක් නැතුව කියවන් යන්න පුළුවන් වගේ සුබ පැතුම් අලුත් කතාවට

    ඉක්මනටම ලෙඩ රෝග වලින් හොදටම සනීප වේවා

    මේ කතාවත් කියවද්දී එතන උන්නා වගේ දැනෙනවා එහෙම වෙනවනම් තමා කතාව සාර්ථක කතාවක් වෙන්නේ මටනම් එහෙම දැනුනා හොද ආරම්බයක් මේකේ තියනවා ස්තුතියි කතාවට

    ReplyDelete
  7. කමෙන්ට්ස් දාපු සෙරම යාලුවන්ට ස්තුතියි ගොඩක්. ඉක්මණට ලියන්න ඔයාලගේ උනන්දුවයි හේතු වුණේ. මේක ඨිකක් වෙනස් කතාවක් වේවි. මුලදි ටිකක් බෝරිං වුණත් පස්සට exiting වෙයි. දිගටම කියවන්න එන්න..

    ReplyDelete
  8. පරක්කු වෙලා වුණත් ඔයාට කමෙන්ට් නොකර බෑ නෙතූ.මට බ්ලොගර් ප්‍රෝෆයිල් එකක් හදාගන්න හිතුණෙත් ඔයා නිසා.දිගටම ලියන්න.මුල් කතා දෙක ම අපේ හිත්වලට හුගක් දේවල් දුන්නා.මේකත් ඒ වගේ වේවි.ඔයා දන්නවා කතාව පාඨකයගෙ කරල ලියන ස්ටයිල් එක.ජය වේවා!

    ReplyDelete