Thursday, April 26, 2012

තිස් හතරවන කොටස


සිකුරාදා දවස උදා වුණේ හීන් පොද වැස්සක් එක්ක. එදා යන්න නියමිතව තිබුණ ගමන නිසාදෝ ආන්යගේ හිතේ තිබුණේ තරමක උද්‍යෝගයක්. ආන්යා සති ගාණක් තිස්සේ ආරූඨ කරගෙන උන්නු දුක්බර, සුසුම් හෙලන මූණ වෙනස් වෙලා නිසා කාමරේ උන්නු ඇගේ යෙහෙලියෝ පිරිස එක්තරා විදියක පුදුමයකටත් සතුටතත් පත් වෙලා හිටියා. ආන්යට මේ ගමන ගැන හිතන්න දෙයක් නොතිබුණේ, ඇගේ හිත කලබල කරවන  දෙන්නම මේ ගමනට එක් නොවෙන හන්දත් වෙන්න ඇති.
"අප්පෝ ඇති යාන්තම් අද කෙල්ලගේ මූණට හඳ පායලා තියෙන්නේ? මොකෝ අද ගෙදර යන නිසාද?" අංජලී උදේම ඇහුවේ හිනා වෙවී.
"ම්ම්...කාලෙකින් අපි මේ පවුලේ අය එක්ක පිට යන්නේ. තාත්තට හැමදාම මොනා හරි වැඩක් නේ. ලොකු අයියට නම් එන්න බැරි වෙනවා. ඒත් ඉතින් ගෙටම වෙලා ඉන්න අම්මට යන්න ඉඩක් ලැබෙනවනේ. කට්ටියම යන නිසා මට සතුටුයි තමා" ආන්යා කිව්වා.
"අර ඔයාගේ පෙම් කුරුල්ලෝ දෙන්නත් එනවද?" දත් බුරුසුව වන වන එතනින් යමින් උන්නු සම්මානි ඇහුවේ උපහාසෙන් වගේ.
"අපෝ නෑ. එනවනම් මම යන්නෙත් නෑ" ආන්යා කෑ ගහලා වගේ කිව්වා.
"ආර්යන් එනවනනුත් යන්නේ නැද්ද?" සම්මානි එහාට මෙහාට වෙනකල් ඉඳලා අංජලී ඇහුවාම ආන්යා නිරුත්තර වුණා. අංජලී ඒකට උත්ත්‍රයක් බලාපොරොත්තු වුණෙත් නෑ.
එදා මුලු දවසම ගෙවුණේ උඩපේරාදෙණියේ පිහිටවලා තිබ්බ මාවෙල ෆාම් එකේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට. එදා ඔවුන්ට කරන්න යෙදිලා තිබුණේ කිරි ගවයින් වර්ග හඳුනාගැනීම සහ ගව පාලනයට අදාල වෙනත් දේවල් වුණු කෑම දෙන ආකාරය, පට්ටි පිරිසිදු කිරීම, පැටවුන් රැක බලාගැනීම වගේ දේවල්. කොහොමින්හරි පාඩම් ඉවර වෙලා එද්දි හැමෝම උන්නේ එච්චර ප්‍රසන්න සුවඳක් වහනය වුණේ නෑ. තාතා ඇවික් ඇමතුමක් දෙද්දි ආන්යා යන්තම් නාලා අහවර වුණා විතරයි.
"ආ...මොකද අද මෙයා පුටු මාරු කරලා?" තාතාගේ ජීප් එකේ පිටිපස්සෙන් නගිද්දි ඒ ආසනේ උන්නේ වෙනදා වගේ අම්මා නෙවෙයි, අනුහස්. අනික් දවස් වලට ඉස්සරහම යන්න වලි කන අනුහස් අද පස්සේ ඉන්නවා දැකලා ආන්යට හිනාවක් ගියා.
"එහෙම තමා...ඔක්කොම අපේ පුටු නේ, අපට ඕන පුටුවක යන්න පුලුවන්, ලොකු පුටුවට ඇරෙන්න" අනුහස් කිව්වේ තාත්තව පෙන්නලා, ආන්යට ඉඳගන්න අයිනට වෙන ගමන්.
ඉස්සරහ උන්නු අම්මා මේ දෙන්නගේ වාදේ දිහා බලාගෙන හිනා වුණා.
"අනික ඉතින් අපි අපේ මව්තුමීගේ නිසි තැන දෙන්න ඕන නේ" අනුහස් ආයෙම කිව්වා.
"ඒක ඔයා දෙන්න ඕන නෑ, අම්මා ඉන්නේ නිසි තැන තමා හැමදාම නේද තාත්තා?" ආන්යා කිව්වේ වාහනේ පණගන්වලා ඉස්සරහට ගත්තු තාත්තට.
"ඈත්තට... ඒ කොහෙද?" අනුහස් ඇහුවේ කට ඇදකරලා.
"තාත්තගේ හිතේ" ආන්යා කිව්වාම අම්මයි, තාත්තයි අනුහසුයි තුන් දෙනාටම එකපාරම හිනා ගියා.
"අම්මෝ මෙයා දියුණු වෙලා තියෙන තරම් නේද අම්මා? මොකද දන්නෑ...ප්‍රේමයෙන් මනරංජිත වේ නන්ජිත වේ..." අනුහස් හිස වන වන කිව්වා.
" ආ...මං කිව්වේ බොරුවක්ද හා?" ආන්යා ඇහුවත් අම්මා රතු වුණ මූනින් යුතුව හිනා වුණා මිසක් මොනවත්ම කිව්වේ නෑ.
පේරාදෙණියේ ඉඳලා නුවඑරලියට යන්න සාමාන්‍යයෙන් ගත වුණේ පැය එකහමාරකටත් අඩු කාලයක්. ඒ යන පාර ලස්සන වුණත් වංගු වැඩි නිසා වමනේ යන්න වගේ ආපු අම්මා උන්නේ නිදාගෙනමයි. මේ අතර තාත්තට නෑහී රහස් කතා කරන්න පොඩි අවස්ථා කීපයක් ආන්යටයි, අනුහස්ටයි ලැබුණා.
"ආයේ අරයා කතා කලේ නැද්ද?" ආන්යා එහෙම වෙලාවක ඇහුවා.
"මොකෝ අහන්නේ? එදා කිව්වේ වදයක් කියලා" අනුහස් ඇහුවේ ඈ දිහා ඇස් කොනකින් බලන ගමන්.
"ෂ්...හෙමින්. මට දැනගන්න ඕන එයා දැන්වත් හැදිලද කියලා, ඒකයි"
"ඔය කතා ඕන නෑනෙ මීනු. ඊලඟට ඔයා ආයෙම මූඩ් ගැහුවොත් මේ ගමනත් අපරාදේ" අනුහස් කිව්වා.
"ඒ කියන්නේ කතා කරලා තියෙනවා?"
අනුහස් සුසුමක් හෙලලා ඈ දිහා බැලුවා. "එයා ගැන උනන්දුවකුත් නැත්තේ නෑ නේ?"
"අනූ...කියන්න බැරි නම් ඕන නෑ. පිස්සු කතා නම් කියන්න එපා" ආන්යා කිව්වේ අමනාපෙන් අහකබලා ගන්න ගමන්.
කොච්චර නෑ කියලා හිතුවත්, හිතේ එක කොනක් අභී ගැන අහන බව ආන්යාට නොතේරුණා නෙවෙයි. ඔහු ගන දැනගන්න ඈ උනන්දු වුණේ ඒකයි.
"කියවන්න පුලුවන් නම් මැසේජස් ඇති පනහකටත් වඩා, ඊමේලුත් ඒ තරම්ම...හැබැයි, මූඩ් ගහන්න බෑ හරිද? ඔයා ඉල්ලන නිසා දෙන්නේ" අනුහස් කිව්වේ ආන්යා දිහාවට ඔහුගේ ෆෝන් එක දික් කරන ගමන්.
ආන්යාගේ හිතත මෝදු වුණේ අභී ගැන පුංචි දුකක්. ඈ ෆෝන් එක අරගෙන අනුහස් පෙන්නපු කෙටි පණිවිඩ සමූහය දිහා බැලුවා.
"I really do wish anya would understand me machan, god knows how much I need her-" ආන්යාට කිය්වන්න පුලුවන් වුණේ එකම එක කෙටි පණිවිඩයක් විතරයි. පුංචියට හිතේ ලියලාගෙන ආපු දුක හිතම වසාගෙන පැතිරෙනවා ආන්යට දැනුනා. ඈ ෆෝන් එක ආපහු අනුහස්ට දික් කලා.
"හරිද? සන්තෝසද? ඒකනේ මං කිව්වේ" අනුහස් ඒක අතට නොගෙනම කිව්වා.
"ඇයි අනූ ඔයා නොකිව්වේ මෙහෙම කරන්න එපා කියලා?" ආන්යා ඇහුවේ වේදනාවෙන්.
"කිව්වා, ලිව්වා, කරන්න තියෙන සේරම කලා. ඒත් එයා බලාපොරොත්තුව අතාරින්න ලෑස්ති නෑ වගේ මීනු. අනේ මන්ද...මට මිනිහා ගැන දුකයි. ආපු ගමන්ම ඔයාට බෑ කියන එක කියන්න මීනු. දෙපැත්තට වැනෙන්න නම් එපා. ඌ තවත් වීඳවයි, පව්"
"මං දැනුත් කරන්න හදන්නේ ඒක අනූ. අදවත්, හෙටවත් මට කැමති වෙන්න නම් බෑ"
හොඳවෙලාවට තාත්තා උන්නේ අම්මා ගැන සිහියෙන් නිසා, රහසින් රහසින් දෙන්නට මේ දේවල් කතා කරගන්න ඉඩ ලැබුණා.
"අපි මොනා හරි බීලා යමු. අම්මට ඇඹුල් දෙයක් කෑවොත් ඔය ගතිය අඩු වේවි" තාත්තා මග තිබුණ පුංචි කඩයක් ලඟ ජීප් එක නැවැත්තුවා.
"උණු උණු පොල් රොටී කමු...කිතුල් හකුරු සමග කහට.."

ආන්යා ඇතුලු පවුලේ අය අඹේවෙලට ලඟ වෙද්දි රැ හතත් පහු වෙලා තිබුණා. ඒ වෙද්දි, මනී මහත්තයා සහ නෝනා, තව ඩිරෙක්ටර්ලා තුන් දෙනෙක් සහ ඒ අයගේ පවුලේ අය වගේම, හෙඩ් ඔෆිස් එකේ මැනේජර්ලා දෙතුන්දෙනෙකුත් මනී මහත්තයාට අයිති වුන ලොකු ගල් බංගලාවට ඇවිත් උන්නා. රෑ නිසාදෝ හත්පසම තිබුණේ පුදුම සීතලක්. වෙලාවට තාත්තා නුවර එලියේ වාහනේ නවත්තලා උණුසුම් ඇඳුම් කිපයක් ආන්යලට අරන් දීලා තිබුණා.
"ආ...මේ ඉන්නේ දෝටර් නේද? දැන් ලොකු කෙල්ලෙක්නේ" මනී මහත්තයාගේ බිරිඳ වුණු අනුලා මැඩම් (අභීගෙයි, ආර්යන්ගෙයි අම්මා) ආන්යාගේ මූණ මිරිකලා කිව්වාම ආන්යා අමාරුවෙන් ඈට හිනාවක් පෑවා. පුතාලා දෙන්නගේ වැඩ ගැන දන්නවා නම් අම්මා මොනවා කියවිද කියලා හිතන්නත් ආන්යා බය වුණා. මනි මහත්තයා නම් ඈට හිනාවක් පෑවා විතරයි. මනී මහත්තයාගේ ආරෝහ පරිණාහ දේහ විලාසයත්, ආර්යන් වගේම වැඩිපුර කතා නොකරන ගතියත් ඔහුට එක් කරලා තිබුණේ ආන්යට බය හිතෙන විදිහේ ගාම්භීර කමක්. අනික් අතට සුන්දර, හැමවෙලේම හිනාවෙලා ඉන්න කාන්තාවක් වෙච්ච අනුලා මැඩම් අභී වගේ කියලයි ආන්යට හිතුණේ.
"නැන්දම්ම හොඳද?" ආන්යගේ කනට කරලා එහෙම ඇහුවේ අනුහස්. රැ කාම බෙදාගනිමින් උන්නු ආන්යා අතින් පිඟාන අතනෑරුණේ නූලෙන්.
"අනූ...! ඔයාට නම් මොලේ කොලප්පන්. කාට හරි ඇහුණානම් එහෙම? දෙන්න හිතෙනවා දෙකක්"
අනුහස් හිනා වෙවී, ආන්යා කිව්ව දේ නෑහුණා වගේ ඈ ඉස්සරහට පැනලා කෑම බෙදාගෙන යන්න ගියා. ආන්යා සුසුමක් හෙලුවා. අභීයි, ආර්යනුයි නැති එක කොයි තරම් හොඳද කියලා ඈට හිතුණා. හිටියා නම් අනිවාර්යෙන්ම තමන්ට 'හාට් අටෑක් එකක්' හැදේවි කියලා ඈට හිතුණා.
සැප මෙට්ටෙක, උණුසුම් බූල් බ්ලැන්කට් ස්ථයකින් වැහිලා, අම්මට තුරුල් වෙලා නිදාගෙන නිදාගත්තු ආන්යාට කලින්දා එක නින්දට නින්ද ගිය නිසා උදේ ඇහැරෙද්දි දැනුනේ නැවුම් බවක්. ඈ ඇඳ අයිනේ රැක් එකේ තිබුණ ජර්සිය දාගෙන කාමරේ බැල්කනියට ගියේ වට පිට සිරි බලන්න. ඈට පෙනුනේ මීදුම් පටල වලින් යන්තමට වැහිලා ගිය, පිරිසිදු කොලපාට තණකොල වලින් ගැවසුනු පුංචි කෝම් පිට්ටු වගේ දිස්වුණ පොඩි කඳු ගැට යායක්. මිනිස් පුලුටක් වත් නැති මේ පාලු කඳු ගැට මැදි මැදින් උස ගස් තැනින් තැන වැවිලා තිබුණා. මේ සේරම කොලපාටේ විවිධ ප්‍රභේද වලින් සැරසිලා පරිසරයට එක් කරලා තිබුණේ අමුතුම සුන්දරත්වයක්.
"පුතේ...හතට උදේ කෑම, ඉක්මණට ලෑස්ති වෙන්න පහලට යන්න" නාන කාමරේ ඉඳලා එලියට ආපු අම්මා ආන්යගේ සොබාසිරි වින්දනයට බාධා කලා.

"අපි උදේම ෆාම් බලන්න යමු. හවස පෑව්වොත් පොඩි මැච් එකක් කාරිය ගහලා, හවස බාබිකියු එකට සෙට් වෙමු. පෑව්වේ නැත්තම් අපට බැරියැ බිලියඩ් හරි ස්නූකර් හරි ප්ලේ කරන්න. මොකද කට්ටිය කියන්නේ? එහෙම හොඳද සර්?" කම්පැනියේ ඩිරෙච්ටර් කෙනෙක් වුණ මිස්ට හේවගේගේ යෝජනාවට හැමෝම එකඟ වුණා.
ආන්යට නම් ඒක ඒ තරම්ම අරුමයක් නොවුනේ මාසෙකට විතර කලිනුත් ආන්යලා ෆීල්ඩ් ට්‍රිප් එකක් මෙහාට ඇවිත් තිබුණ නිසා. සිකුරාදා දවසම ගවයෝ එක්ක ගත කරලා ආපු ආන්යට පහුවදාත් ආපහු ගවයෝ බලන්න අවස්ථාවක් ලැබුනේ ඒ විදියට. ඒත් ඒක ඈට හොඳ අත්දැකීමක් වුණේ, එදා කරපු සමහර ක්‍රියාකාරකම් ඇත්තටම ක්ෂේත්‍රයේ කෙරෙන ආකාරය ආපහු බලාගන්න ඉඩක් ලැබුණ නිසයි.
"බලන්න ඔයාගේ යාලුවෝ ඉන්නවද කියලා?" ගවයෝ ගාල් කරලා උන්නු තැන් වලින් ඇවිදගෙන යන අතරේ එහෙම කිව්වේ අනුහස්.
"අනේ මේ නිකම් ඉන්නවද? බලන්නකෝ අම්මා" ආන්යා අම්මට කිට්ටු වුණා.
"නෑ ඉතිං මං කිව්වේ මෙයා ෆැකල්ටියේදි මේගොල්ලෝ ගැන ඉගෙන ගන්න නිසයි" අනුහස් මෝඩ හිනාවක් පාලා කිව්වා.
"මේ ළමයට ඉන්න දෙන්නකෝ අනූ" අම්මා කිව්වේ තදින් නෙවෙයි.
"අප්පට සිරි...මීනු අර බලන්නකෝ, නිකං කිරි කිරි ටොයියෝ දෙන්නෙක්. මේ ඒ අය අපි එක්කද ආවේ?" අනුහස් කිව්වේ එලියට වෙලා අනුලා මැඩම් එක්ක කතා කරමින් උන්නු ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් පෙන්නලා. අනූට අම්මා ඉන්නවාඅ කියලවත් ගාණක් නෑ.
"මම නං දන්නෑ. ගිහින් අහන එකනේ ඇත්තේ" ආන්යා මූණ හරවගෙන කිව්වා.
"ඉරිසියාවේ පැලෙන්න යනවා. මොනාද හලෝ ලස්සන දෙයක් දැක්කාම ලස්සනයි කියනවකෝ"
"මම දැන් කැතයි කිව්වද? මම කිව්වේ ගිහින් අහගන්න කියලා"
ආන්යා අලුත උපන් වසු පැටියෙක් උන්නු ගාලකට එබෙන ගමන් කිව්වා.
"එයාලා ඉන්නේ අපි එක්ක නම්, බලන්නකෝ මම කතාකරවගන්නේ නැද්ද කියලා" අනුහස් කිව්වේ ආයෙම අර ගෑණු ළමයින් දිහාට බැල්මක් හෙලන ගමන්.
"බලමුකෝ නේද අම්මා?" ආන්යා අනුහස්ට ඇද කරලා කිව්වා.
එද දවසේ වැස්සක් වහින පාටක් නොතිබුණ නිසා ආන්යලා දවල්ට කන්න යද්දි අනික් අය ලෑස්ති වෙවී උන්නේ ක්‍රිකට් තරඟයක් පවත්වන්න.
"ගෑණු ළමයිනුත් එනවා නේද?" කණ්ඩායම් බෙදමින් උන්නු මාකටින් මැනේජර් වුණ අර්ජුන ඇහුවේ කෑම ගන්න පෝලිමේ උන්නු ආන්යලගෙන්.
"අනේ මට නම් බෑ" ආඅන්යා අම්මා පිටිපස්සට වෙමින් කිව්වා.
"මොනාද ළමයෝ, ඔය වයසට සෙල්ලම් කරලා එහෙම ඉන්න එපැයි" එහෙම කිව්වේ අර්ජුන ලඟම උන්නු හේවගේ මහත්තයා.
ආන්යා ඒකට මුකුත් නොකියා හිනාවුණා. ආන්යා නොගියට අනුහස් නම් මේ තරඟෙට ඉදිරිපත් වුණේ පැනලා. අනුහස් ඇරෙන්න ආන්යට වඩා රමක් බාල තව පිරිමි ළමයි කීප දෙනෙකුත්, ගෑණු ළමයින් තුන් හතර දෙනෙකුත් තරුණ අය විදියට ඉදිරිපත් වුණා. කොහොමහරි තාත්තයි, අනුහසුයි අයත් වෙලා උන්නේ   කණ්ඩායම් දෙකක. තරුණ,මහලු සේරෝන්ගෙන්ම සැදුම්ලත් කණ්ඩායම් දෙක පිටියට යනවා ආන්යා බලාගෙන උන්නේ තනියෙම පුටුවකට වෙලා. අම්මයි අනෙත් ඇන්ටිලා ටිකයි උන්නේ ඉස්සරහම පුටු වල වාඩි වෙලා. ආන්යා පොතකුත් අරන් ආපු නිසා ඈ පොතයි තරඟයයි දෙකම බලමින් පිටිමපස්සේ පේලියේ උන්නා. 
අනුහස්ලගේ කණ්ඩායම දිගට හරහට තාත්තලගේ කණ්ඩායමට පහර දෙද්දි ප්‍රේක්ෂකාගාරේ සද්දේ එන්න එන්නම වැඩි වුණේ, ඒ කණ්ඩායමේ අනෙක් ක්‍රීකයන්ගේ අතිමහත් උද්‍යෝගිමත් කෑගැහිල්ල නිසයි.
"කමෝන්...හේවගේ අන්කල්..."
"ගෝ අනුහස් ගෝ.." අනුහස් ක්‍රීඩාකරන වෙලාවේ එහෙම සද්දත් ඇහුණා. අනුහස් බැල්ම හෙලමින් උන්නු ගෑණු ළමයි දෙන්නා තරඟෙට කෑ ගහන හැටි දැක්කාම නම් ආන්යට හිනාවකුත් ගියා.
 කොහොමහරි තේ වෙලාව එද්දි අනුහස්ලා තාත්තලාගේ කණ්ඩායමට විසාල ලකුණු ගාණක ඉලක්කයක් ලබාදීලයි තිබුණේ.
"කොහොමද අපේ වැඩ?" දාඩිය පිහිමින් ආන්යා අසලට ආපු අනුහස් ඇහුවේ ආඩම්බරෙන් වගේ.
"හොඳා හොඳා...අනේ මේ ලඟට නම් එන්න එපා දාඩිය ගඳේ බෑ" ආන්යා කිව්වේ ඔහුගෙන් ඈතට වෙන ගමන්. "අනික ඉතින් තාම තාත්තලා තාම වැඩ පෙන්නුවේ නෑනෙ නේද අම්මා?"
"බලමුකෝ කවුද වැඩකාරයෝ කියලා" අනුහස් පිඟානක් අතට අරන් කන්න දෙයක් බෙදාගන්න යන ගමන් කිව්වා.
"පුතේ මම පොඩ්ඩක් අර කාන්ති ඇන්ටිලා ඉන්න දිහාට ගිහින් එන්නම්. තාත්තා කතා කරනවා. ඔයා අනූ එක්ක තේ එකක් ගන්නකෝ මම එනකල්" අම්මා හදිසියේම එහෙම කියලා එහාට යන්න ගියා.
කෑම අරන් උන්නු ආන්යා අනුහස් එනකල් මේසයක් අසලින් වාඩි වුණා.
"කෝ අම්මා?" අනුහස් රෝල් එකකුත් කටේ ඔබගෙන ඇවිත් ආන්යා අසලින් වාඩි වුණා.
"අන්න අරහෙට ගියා කාන්ති ඇන්ටි හම්බවෙලා එන්න"
ආන්යා කිව්වේ අසලින්යන ගමන් තමන් එක්ක හිනාවුණ කීප දෙනෙක්ට පෙරලා හිනාවකින් සංග්‍රහ කරන ගමන්.
"මෙහේ කෑම නම් මරු" අනුහස් එහෙම කියමින් කන්න පටන් ගත්තා. ආන්යත් නිහඬවම කෑම කන්න පටන් ගත්තා.
"මාත් මෙතනටම එන්නද?" ඒ හඬ ඇහුණේ ආන්යට පිටිපස්සෙන්. ආන්යා කමින් උන්නු එක එකපාරටම නැවැත්තුවා. අනුහසුත් කන එක නවත්තලා හිනා කටක් පුරෝගත්තා.
"හායි ආර්යන්..එන්න එන්න. කවද්ද ගොඩබැස්සේ? කෝ අභී ආවේ නැද්ද?"
ආන්යා උන්නේ ගල්වෙලා. ඊලඟ වචන පෙල ඇහෙනකල් ඈ හුස්ම නවත්තගෙන උන්නා. ආර්යන් හමදාමත් නොහිතපු වෙලාවල, නොහිතපු විදියට ආන්යගේ ජිවිතේට ආවේ හරිය, අනුමාන කරන්න බැරි වැස්සක් වගේ. ඔහු අද මෙහාට කොහොම ආවද, මොකට ආවද, වෙන එකක් තියා ඈ මේ දකින්නේ හීනයක්ද කියලාවත් ආන්යා හරියටම දැනගෙන හිටියේ නෑ.
"අභී ආවේ නෑ කොල්ලෝ. එයා එන්න කොහොමත් තව ටික දවසක් යාවි. ඉතින් කොහොමද?" ආර්යන් කිසිම වෙනසක් නොපෙන්වා ආන්යා අසල පුටුව ඇදලා වාඩි වුණා.
ආන්යට පොඩි සනසීමක් දැනුනේ අභී නාපු එක ගැන විතරයි.
"කවද්ද ඉතින් ආවේ? අපට ආරංචි වුණේ එන්න කල් යාවි කියලා" අනුහස් දිහටම කතාව.
ආන්යා කකා උන්නු පේස්ටිය එහෙමම අතේ තියාගෙන අහගෙන උන්නා විතරයි.
"අද උදේ ආවේ. කොහොමත් අභීට කලින් මම එන්න තමා හිටියේ, මොකද සයිට් ඒකේ වැඩ බලන්නත් ඕන නේ. අනික ඉතින් ඔයාලා මෙහේ ජොලි කරද්දි අපි අරහෙට වෙලා වේලි වේලි ඉන්න ඕන නෑනෙ" ආර්යන් ආන්යා දිහා ඇස් කොනින් බලමින් කිව්වා.
"ඕක කන්නේ නැත්තම් මට දෙන්න" අනුහස් කිව්වේ ආන්යාගේ පිඟානේ ඉතිරි වෙලා තිබුණ කෑම පෙන්නලා.
"ගන්න" ආන්යා කිව්වා.
"අයියෝ මීනු,කන්නකෝ. ගත්තේ මොකටද කන්න බැරි නම්. එහෙනම් බොන්න දෙයක් ගේන්නද?" අනුහස් ඇහුවාම ආන්යා හිස වැනුවේ වෙන කරන්න දෙයක් නැති නිසා.
"එක්ස්කියුස් මී ආර්යන් මම මේ වාතෙට බොන්න දෙයක් අරන් එන්නම්, ඔයාට මුකුත් ඕනද?" අනුහස් කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්.
"නෝ තෑන්ක්ස්. ඕන සේරම තියෙනවා"
"තේ ගේන්නම් මීනු" අනුහස් එහෙම කියාගෙන සෙනග අතරේ අතුරුහදහන් වුණා.
"ම්ම්...කිව්වා වගේම ඔන්න මම ඉක්මණට ආවා..." ආර්යන් ආන්යා දිහා නොබලම හෙමිහිට මිමිණුවා.
"හිතුවෙ නෑ ඒවි කියලා" ආන්යත් හෙමින්ම කිව්වා.
"නෑවිත් ඉන්න බැරි වුණා...එන්න හිටියේ නම් අද නෙවෙයි"
"ඉතින් එහෙනම්?" ආන්යා කතා කලේ බයෙන් වට පිට බලමින්.
"මම අද ආවට අකමැතිද?" ආර්යන් ඇහුවම ආන්යට ඔහු දිහා බැලුණා.
"එහෙම හිතලා ඇහුවා නෙවෙයි"
"ආවේ එහාට වෙලා ඉන්න බැරි නිසා. ආන්යා...මට ඔයාට දෙයක් කියන්න ඕන, ඒකට තවත් පරක්කු වෙන්න මට බෑ කියලා හිතුණා...පරක්කු වෙන්න වෙන්න දේවල් තව ටෆ් වෙනවා විතරයි" ආර්යන් මේසෙට නැවිලා ආන්යා දිහා බලලා කිව්වා.
"මොකක්ද?" ආන්යා ඇහුවත් ඔහු කියන්න යන දේ ගැන අංශු මාත්‍රික ඉවක් ඈට තිබුණා.
"ඒක මෙතන මෙහෙම කියන්න බෑ ආන්යා. ඒක වචනෙකින්, දෙකකින් කියන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක මහ ලොකු කතාවක්"
ආර්යන් එහෙම කිව්වාම නම් ආන්යා ටිකක් අන්ද මන්ද වුණා.'ලොකු කතාවක්?'
ආන්යා ඔහු දිහාව ඇස් උස්සලා බැලුවා ආයෙම. ඔහු බලාගෙන උන්නෙත් ඈ දිහා. ඒ මූණේ තිබුණේ වෙන් කරලා අඳුනගන්න බැරි හැඟීම් ගොඩක්.
"පුලුව වෙයිද අහන් ඉන්න?" ඔහු ඇහුවා.
ඒත් ආන්යා ඊට උත්තයක් දෙන්න කලින් අනුහස් සෙනග අතරින් මතු වුනෙත්, ආර්යන්ගේ අම්මා පැත්තකින් මතු වුණෙත් එකටම වගේ. ආන්යා ඉක්මණට වෙනසක් නොවුණ පෙනුමක් මූණට ආරූඨ කරගන්න උත්සාහ කරමින් බිමට නෙත් යොමා ගත්තා.
"ආරූ...වෙයා වර් යූ? අයි වස් ලූකින්ග් ෆෝ යූ එව්‍රි වෙයා" ආර්යන්ගේ අම්මා මුලින්ම එතනට ආවා.
"මම මේ යාලුවෝ දෙන්න  දැකලා මෙතනට ආවා අම්මා. හදිසියක්ද?" ආර්යන් ඇහුවේ ආදරෙන් හිනාවෙලා.
"නෑ,හදිසියක් නෙවෙයි, අද හවස රාමචන්ද්‍රන්ලත් එනවා කියලා කතා කරලා කිව්වා. එයාලගෙන් දෙන්නෙක් අද නුවර එලියේ නවතිනවලු. ශර්මිලයි අම්මයි එක්ක එන්න ඔයාට යන්න කියන්නයි මම මේ ඔයාව හෙව්වේ" 
ආන්යා බලා ඉද්දි ආර්යන්ගේ මූණ අමුතු වුණා.
"අද, මේ දැන්ද?"
"දැන් තමා"
"අයියෝ, යෙන්න අම්මා. නාන් ඉප්ප තානේ වන්දද (අනේ අම්මා මම දැන් නේද ආවේ)?" ආර්යන් මූණ ඇඹුල් කරගෙන කිව්වා.
මේ අතරේ අනුහස්, ගෙනාපු තේ එක ආන්යට දීලා ඔහුගේ අසුනට බර වුණා. ආර්යනුයි ඔහුගේ අම්මයි මේ දෙන්නා අතරින් තාමත් වාද කරන්න වුණා. 
"යෙන්නාල මුඩියාද(මට නම් බෑ)" ආර්යන් අන්තිමට එහෙම කිව්වා.
"අප්පට ඇවිත් කියන්න. ශර්මිලා ඔයාට එන්න කිව්වනේ. ඔයා දැන් කොයි දවසකින්ද ආවේ? නපුරු නොවී යන්න පුතා" අනුලා මැඩම් කිව්වේ ආන්යලා දිහාත් බලමින්.
"බලන්නකෝ පුතා, මෙයා-" අනුලා මැඩම් ආන්යටයි, අනුහස්ටයි කියන්න හැදුවත් ආර්යන් ඊට කලින් මැදින් පැන්නා.
"ඕකේ, ඕකේ. නාන් පෝරෙන්" ආර්යන් මේසෙන් නැගිට්ටේ මූණ නපුරු කරගෙන. ආන්යා කවදාවත් ඔහුව එහෙම තරහින් දැකලා තිබුණේ නෑ.
"සී යූ අරවුන්ඩ් දෙන්" ආර්යන් දෙන්නටම කියලා යන්න ගියා ඔහුගේ අම්මා එක්කම.
"අම්මලත් වෙලාවකට මහ වාතයක්. අර කොල්ලට කන්නවත් දුන්නේ නෑනෙ" අනුහස් තේ එක බීලා කෝප්පය අතේ තියාගෙනම කිව්වේ ආර්යන්ලා ගිය දිහාව බලාගෙන. ඒත් ආන්යා උන්නේ වෙනම ලෝකෙක. ආර්යන් ඈව මුනගැහිලා කියන්න හදන ලොකු කතාව මොකක් වෙන්න ඇතිද කියලා විතයි ඈට හිතන්න පුලුවන් වුණේ.
ක්‍රිකට් තරඟය වැඩි මහන්සියකින් තොරව අනුහස්ලම දින්නා. හැමෝම උන්නේ ගොක් සතුටින්, ආන්ය ඇර. තේ බොන වෙලේ අතුරුදහන් වුණ ආර්යන් රැ කෑම වෙනකලුත් ආන්යා ඇහැටවත් දැක්කේ නෑ. තවම නොදැකපු මේ ශර්මිලා චරිතය ගැන මොකක්දෝ නුහුරු බයක් ආන්යට දැනෙමින් තිබුණා.ඕනෙවට එපාවට රෑ කෑම ගත්තු ආන්යා ආර්යන්ව නොදැකම නිදන කාමරේට ඇදුනේ ආයෙමත් නොසන්සුන් වුණ සිතකින්.


3 comments:

  1. අක්කි,මම ඊයෙ ඔබ හීනයක් වගේ කතාව ඔක්කොම කියවල ඉවර කළා.ඒක කියවන්න පටන් ගත්තාම අවසානය වෙන තුරු කියවලා මිසක නැගිටින්න හිතුණෙම නෑ.ඒ කතාව හුගාක් ලස්සනයි.සාමාන්‍යයෙන් මම ඔය වගේ ආදර කතා කියවන්න කැමති නෑ.ඒත් ඔයාගෙ රයිටින් ස්ටයිල් එකේ පුදුම ආකර්ෂණීය ගතියක් තියෙන්නෙ.ගොඩක් නවකතාවල හරි අතාත්වික බවක් තිබුණට මේකෙ අවසාන හරියෙදි මිස මට පොඩ්ඩක්වත් එහෙම දැනුනෙ නෑ.
    u have an unbelievable skill akki.I have no words 2 tell.wishing you all the success.

    ReplyDelete
    Replies
    1. Thank you warsha... :) Its so nice to see you all enjoy what I write. When I started first I thought this would look like a joke. But it seems not for many neda? :)
      මමත් ඔය සමහර නවකතා නම් කියවන්න ආසම නෑ, මොකද ඒවා හරිම ජුගුප්සාජනක නිසා. ඒකයි වෙනස් විදිහකට ලියන්න මට ඕන වුණේ. ඒ ලියන හැම කතාවකම චරිත \ඇතුලේ මම ජීවත් වෙන නිසා වෙන්න \ඇති සමහරවිට ඒවා මෙහෙම ලියවෙන්නේ. මොකද මම ලියන්නේ ලියලා ආපහු කියවද්දි මගේ හිතත් සසල කරවන විදිහට විතරයි. එහෙම නොලියවිලා මකලා දාපු පෝස්ට් අනන්ත තියෙනවා.
      …කොහොමහරි මට ඕන මේක කියවන ඔයාලා සතුටු වෙන දෙයක් ලියන්න විතරමයි! දිගටම මා එක්ක එකතු වෙලා ඉදීවි කියලා හිතනවා ඔයාලා හැමෝම. කියවන හමෝටම ස්තුතියි!

      Delete