Monday, April 2, 2012

විසි හයවෙනි කොටස


අභී බලන්න යන්න ඕන කිව්ව තැන වත්තේ උදවිය පුංචි දේව සංහිඳක් හැටියට සලකපු මහ නුගයක්. හතර වටේටම අතු පතර විහිදාගෙන ලොකූ ප්‍රදේශයක පැතිරිලා තිබුණ මේ ගහ පිහිටලා තිබුණේ වත්තේ කෙලවර  කඳු ගැටේක ඉදිරියට නෙරලා තිබුණේ කොටසක. එතන හරිම ලස්සන තැනක්. එතනට ගියාම ඈත කඳු වලල්ල කිසිම බාධාවකින් තොරව ලස්සනට පෙනුනා. ආන්යා මේ වත්තේ තිබුණ තැන් වලින් ගොඩාක්ම ආස කරපු තැනක් තමයි මේ මහ නුගේ. නුගේ ඇරුනාම ඒ කඳු ගැටිය උඩ පෙලට හැදිලා තිබුණ සුදු පාට මල් පිපෙන උසම උස මල් මාර ගස් පෙලත් පලාතටම එක් කලේ අමුතුම සුන්දරත්වයක්.
පහුවද උදේ කෑම එහෙම අරගෙන අහවර හුස්මක් කටක් ගන්නත් කලින් ඔන්න අභී ඇවිත් ගෙයි ඉස්සරහ ජීප් එක නවත්තලා හෝන් කලා. ඒ සද්දේ ඇහිලා ආන්යා දොරකඩට එද්දිත් අභී බහැලා ගෙදරට ගොඩ වෙලා.
"අම්මෝ...අපට කාලා හුස්මක් ගන්නවත් දෙන්න එපා" ආන්යා කිව්වේ හිනාවෙලා ඔහුව පිලිගන්න ගමන්.
"අපි එහෙමයි, උදේම වැඩට බහිනවා. කට්ටිය යන්න ලෑස්තිද?" අභී ඇවිත් සාලේ පුටුවකට බර වුණේ අනාරාධනාවෙන්මයි.
"ඉන්න ඉන්න ටිකක්, රාධා තාම ගෙයි අස් කරනවා" ආන්යා කිව්වා.
"ආ...අභී අද උදේම ඇවිත් නේ. කෝ අන්නා ආවේ නැද්ද?" සාලෙට ආපු ආන්යගේ අම්මා ඇහුවාම, යාන්තම් සුවපත් වෙලා තිබුණ ආන්යගේ හිත ආයෙම පෑරුණා.
"එයා දන්නැද්ද ආන්ටි. ආන්න උදේ පාන්දර නැගිටගෙන මොකක්දෝ ඩ්‍රෝවින්ග් එකක් කරනවා. මම කතා කලාම කම්මැලියි කියලා බෑ කිව්වා"
අභීගේ පිලිතුරින් ආන්යගේ හිත තවත් දුකට පත් වුණා විතරයි. මේ තරම් තමන්ගෙන් පලි ගන්න තරම් වරදක් තමන් කලේ නෑ නේද කියලා ආන්යා තමන්ගෙන්ම අහගත්තේ තමන් ගැනම උපන් අනුකම්පාවකින්. 'ආර්යන් හරිම නපුරුයි' ඈ හිතුවා.

"ඔන්න බලාගෙන ඔය හරියේ කූඩැල්ලෝ ඉන්නවා..." ආන්යා තමන්ට ඉස්සරහින් යමින් උන්නු අභීට කිව්වේ ඔහුව බය කරන්නහිතාගෙන.
"මාතියා බය වෙන්න එපා...යේකා මම අයින් කරන්නම්..." අභීට පැත්තකින් යමින් උන්නු ගෝපි කිව්වා.
"ඇද්ද?" අභී ආන්යට ඇද කලා.
"ගෝපි නම් හොඳ චක් ගෝලයෙක් තමා" ආන්යා එහෙම කිව්වේ තමන් ලඟින් උන්නු රාධාට.
අද කුට්ටිට එන්න විදියක් තිබුණේ නෑ, මොකද ඈ අසනීපවෙලා උන්නු නිසා. කොහොමහරි එක්කගෙන එන්න ආන්යා උත්සාහ කලත්, ආන්යගේ අම්මා ඒකට ඉඩ දුන්නේ නෑ. අම්මා කුට්ටිට ආදරේ වග ආන්යා දැනගෙන හිටියා. අම්මා කුට්ටි ගන කියද්දි හැම වෙලේම කිව්වේ "හරි සිරියාවන්ත කෙල්ල" කියලයි.
"මෙතන ඉඳන් කෑ ගැහුවම එකෝ එකක් එනවද?" මහ නුගේ පාමුලට ගිහින් ඈත කඳු වලල්ල දිහා බලාගෙන උන්නු අභී ඇහුවා.
"ඔව්, ඔව්" ඉස්සර අපි අයියත් එක්ක ඇවිත් මෙතන ඉඳන් කෑ ගහනවා. ආන්යා කිව්වේ පුංචි දවස් වල ගෙවුණු ලස්සන දවස් මතක් කරමින්.
"මාතියා කෑ ගහන්න...මෙතන ආයෙම ඇහෙනවා" ගෝපිත් කිව්වා. "හූ" ඊට පස්සේ ඔහුම කෑ ගහලත් පෙන්නුවා.
අභී ආන්යා දිහා බලලා හිනාවෙලා කඳු ගැටේ අගිස්සටම ගිහින් හිටගෙන කට දෙපැත්තෙන් අත් දෙක තියලා කෑ ගැහුවා.
"ආන්යා...."
ආන්යා ඔහු දිහා බලාගෙන උන්නේ කටත් ඇරගෙන, පුදුමෙන්. ඇගේ නම රාව ප්‍රතිරාව දෙමින් ආයෙම ඇහුණා.
"ඒ මොකද මගේ නම් කියලා කෑ ගැහුවේ?"
"නිකං " අභි උරහිස් හකුලලා කිව්වා.
ඊලඟට කට්ටියම ෆෝටෝ ගනිමින්, ගෙදරින් ගෙනාපු පොඩි පොඩි කෑම කමින්, ගෝපිගේ පිස්සු වැඩ බලමින් ටික වෙලාවක් ගත කලේ සතුටින්. විටින් විට ආන්යට ආර්යන් මතක් නූනම නෙවෙයි. ඒත් ආර්යන් තමන්ට නපුරු වෙනවා නේද කියලා හිතද්දි, ඈට තවත් ඒ ගැන හිතලා හිත පාරගන්න ඕන වුණේ නෑ. ඊටත් ගෝපිගෙයි, අභීගෙයි විකාර ඈට දුක්බර වෙන්න ඉඩ දුන්නෙත් නෑ.
"නාන් මලරෝඩු තනියාහ වාරාම නින්ඩ්‍රේන්...(මම මලක් අරගෙන තනියෙම නෑවිත් බලා ඉඳලා)..." ගෝපි පටන් ගත්තා ආයෙම, කැලෑ මලක් අරගෙන කෙල්ලෙක් වගේ ඇඹරෙමින්.
"යෙන් මහරානි උනක්කාහ නාන් ඕඩෝඩි වන්දේන්...(මගේ රාජිනියේ මම ඔබ වෙනුවෙන් වහා දිව ආවෙමී)" ඊලඟ කොටස සම්පූර්ණ කලේ අභී.
ඊට පස්සේ ඒ දෙන්න මේ පරණ දෙමල ගීතය ගායනා කරමින් ආන්යාවයි, රාධාවයි  හොඳටම හිනා ගැස්සුවා. ගෝපි ගෑනු ළමයෙක් වගේ ඇඹරි ඇඹරි නටපු හැටි දැකලා ආන්යට හුස්ම අල්ලන්න බැරි තරමට හිනා ගියා. අන්තිමට, පිස්සු නටලා, නටලා  කට්ටියට හති වැටෙද්දි දවල් දොලහත් පහු වෙලා.
"දැන් නම් ගෙදර යන්න වෙලාව හරි නේ?" ආන්යා ඇහුවා හැමෝගෙන්ම.
මුල්ලකට වෙලා මොනවදෝ කුටු කුටු ගාමින් උන්නු අභීයි, ගෝපියි ඈ දිහා බැලුවත් මුකුත් කිව්වේ නැහැ. දෙන්නම ආන්යලා උන්නු දිහාවට ආවා හෙමිහිට ඇවිදගෙන. අභී ආන්යා ලඟ නතර වුණත් ගෝපි ඈව පහු කරගෙන යන්න ගියේ රාධා ලඟට.
"යන්න හිතක් නැද්ද?" ආන්යා අභීගෙන් ඇහුවා. අභී ඈ දිහා කෙලින්ම නොබලා ඈ ඇහුව දේට නොදී ආපහු ඉස්සරහට හැරුණා.
"ම්හු...නෑ" අභී කිව්වා.
"එහෙනම් ඉන්න එකයි ඇත්තේ තනියෙම"
අභී හිස විතරක් හරවලා ආන්යා දිහා බලලා යන්තමට හිනා වුණා.
"යන්න කලින් මට ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා?" ඔහු කිව්වේ ආන්යා කියපු දේ නෑහුනා වගේ.
"මට? මොනාද ඒ?"
" එන්නකෝ පෙන්නන්න" අභි කිව්වේ ආයෙම අර කඳු ගැටේ අයිනට යන ගමන්.
"මොකක්ද?" ආන්යා ඇහුවේ කුතුහලෙන්.
"එන්නකෝ"
ඊට පස්සේ ආන්යා ඔහු පසුපස්සේ ඇදුනේ මුකුත් හිතාගන්න බැරිව.
"මොනාද?" කඳුගැටේ අයිනේ අභීට සමාන්තරව හිටගෙන වට පිට බලපු ආන්යා ඇහුවා. උත්තරයක් දෙන්න කලින් අභී ආන්යා දිහා නොබලා හීන් සුසුමක් හෙලුවා.
"ඇත්තටම...පෙන්නන්න නෙවෙයි, දෙයක් කියන්නයි මට ඕන" අන්තිමේදි අභී කවදාවත් නැති තරමේ මුදු හඬකින් ආන්යට කිව්වා නැවතිල්ලේ.
"කියන්න? මොනාද?" ආන්යාගේ කුතුහලේ වැඩි වුණා.
"හිතේ තියෙන දේවල්...හැමදේම"
ඇගේ හිතේ කොහෙදෝ තැනක රතු එලියක් පත්තු වුණා. 'මේ මොකද වෙන්න යන්නේ?'
"මොකක්ද අභී?" ආන්යා ඇහුවේ වෙව්ලන හඬින්.
අභී ආන්යා දිහා යන්නතමට හැරිලා බලලා ආයෙම ඈත කඳුවලල්ලේ ඇස් රඳෝගත්තා.
"කාලෙක ඉඳන් කියන්න හිතාගෙන හිටියත්, අයි ඩිඩ්න්ට් හැව් ද ගට්ස් ටු ටෙල්..." ඔහු හිස වනලා සුසුමක් හෙලුවා. ආන්යා තවත් බය වුණා. ඒ නිසාම අහන්න දෙයක් ඈට මතක් වුණෙත් නෑ.
"මම අද දවස ගොඩාක් කල් ඉඳන් ප්ලෑන් කලේ ආන්යා...තවත් මට මේක හිතේ තියාගෙන ඉන්න බෑ. මම යූ කේ යද්දි මට ටිකක් හරි හිත නිදහස් කර ගන්න ඕන ආපහු එනකල්..."ඔහු ආපහු කියාගෙන ගියා.
"මට තේරෙන්නේ නෑ ඔයා මොනවද මේ කියන්නේ කියලා අභී..."
ආන්යා එහෙම කිව්වාම අභිමන්යු එක පාරටම හැරිලා ඈ ලඟට ඇවිත් ඈ දිහා කෙලින්ම බැලුවා. ආන්යා හොඳටම ගැහෙන්න වුණා. ඈ වට පිට බැලුවත් ගෝපිවත්, රාධාවත් පේන්න උන්නේ නෑ. අභී ඈට ගොඩාක්ම ලං වෙලයි උන්නේ. දැනුන අපහසුතාවය නිසා ආන්යා අඩියක් දෙකක් පස්සට ගියා.අභී තමන්ගේ හිතේ තියෙන දෙයක් එලියට දාගන්න  බැරිව අමාරුවකින් පසු වෙනවා වගේ ඈට පෙනුනා. තව මොහොතක් දෙකක් දෙන්නම එකෙනෙකා දිහා බලාගෙන ගෙවිලා ගියා. මුලින්ම බිම බලාගත්තේ ආන්යා.
"අනේ අපි යමු" ආන්යා කෙඳිරුවා.
"මං කියන දේ අහන්න ඕන නැද්ද?"
"ම්හු...මොනවත් කියන්න එපා...ප්ලීස් අපි යමු"
"මේ අහන්න....මීනු..." අභීගේ හඬට මුදු බව වෙනුවට ආදරණීය බවක් ආරූඨ වෙලා තිබුණා. ආන්යාව වෙව්ලන්න පටන් අරගෙනයි තිබුණේ.
"මීනු..."
එහෙම ආන්යව අමතලා හෙලපු අභීගේ සුසුමක හඬ, උනුසුම ආන්යට දැනුනා. ඇගේ හද ගැස්ම වේගවත් වුණේ හරියට ඊලඟට වෙන්න යන දේ දැනගෙන වගේ.
"අයි ලව් යූ  ප්‍රින්සස්..."
අභී එහෙම කිව්වේ පුදුමාකාර තරම් දයාබර හඬකින්, හෙමිහිට, ආන්යට විතරක්ම ඇහෙන්න. ආන්යගේ ඇස් වලට කඳුලු පිරුණා. ඈට දැනුන හැඟීම තරහද, ලැජ්ජාවද පුදුමයද කියලා වෙන්කරල අඳුනගන්න බැරි තරමයි. ඒත් ඈට හෙලවෙනවත් බැරි වුණා, හරියට එතනට මුල් ඇදලා වගේ.
"මට දැන්ම උත්තරයක් එපා...මම යූ කේ ගිහින් එනකල් ඔයාට හිතන්න මං කල් දෙන්නම්...හිතලා මට උත්තරයක් දෙන්න මීනු...ඊටත් වඩා කල් වුණත් මට ඉන්න පුලුවන්-"
ඒත් ඉතිරිය අහන්න ආන්යට ඕන වුණේ නෑ. එක පාරටම ලැබුණ ශක්තියකින් ඈ අභීව එතනම් දාලා වත්තේ උඩහට දුවගෙන එන්න ආවා.


3 comments:

  1. 7 දෙයියනේ මේ මොනාද වෙන්නේ

    ReplyDelete
  2. man hithuwa abhige hithe anya gane adehasak athi kiyala,, aryante kalin abhi issere una :)

    ReplyDelete