Wednesday, April 4, 2012

විසි අටවන කොටස


රෑ අහස තිබුණේ වලාකුලින්බර වෙලා. පෝය ලඟ නිසා හඳ තිබුණත් වලාකුලු වලින් හඳ වැහිලා ගිහින් තිබුණා. අම්මාගේ උකුලේ හිස තියාගෙන සාල බිම කාපට් එක උඩ වාඩි වෙලා උන්නු ආන්යාට ඈනුමක් ගියේ නිදිමතටමත් නෙවෙයි. අම්මාටයි, තාත්තාටයි වෙනසක් නොපෙන්න ඉන්න ඕන නිස ඒ දෙන්න නින්දට යනකල් ආන්යා උන්නේ ඒ දෙන්න එක්ක.
"පුතාට නිදිමත නම් ගිහින් නිදා ගන්න" තාත්තා ආන්යගේ හිස අතගාලා කිව්වා.
"හ්ම්...එහෙනම් මම යනවා අම්මා, ගුඩ් නයිට් තාත්තා" ආන්යා උන්නු තැනින් නගිටලා කාමරේට එන්න නැගිට්ටා.
"මීනුට මොනාද හෙට ගෙනියන්න හදලා ඕන?" ඈ කාමරේ දොර ලඟට යද්දි අම්මා ඇහුවාම, ඈට අම්මා ගන දැනුනේ ආදරයක්.
"අම්මා දෙන ඕන දෙයක් මට හොඳයි අම්මා"
ආන්යා කාමරේට ගිහින් දොර වහලා ඇඳට වැටුණා. ඒත් නිදියන්න තරම් ඇගේ හිතේ එකලසක් තිබුණේ නෑ. ආර්යන් කතා කරනවා කියපු එකත් ඈට අද දැනුනේ මහා බරක් විදියට. මේ අයියා මලෝ නිසා දවසක තමන්ට පිස්සු හැදේවි කියලා ඈට එක වෙලාවක හිතුණා. අභී, ආර්යන් වගේ තේරුම් ගන්න අමාරු, ගුප්ත චරිතයක් නෙවෙයි, ඒත් ඔහු කොයි තරම් හොඳ වුණත්, ඒ ගතිගුන වලට ආදරේ කරන්න තමන්ට බෑ නේද කියලා ආන්යා හිතුවා. ඈට රිදෙව්වත්, ඇගේ හිත තිබුණේ ආර්යන් ගාවම වුණේ ඇයි කියලා ඈ හරියටම දැනගෙන උන්නේ නෑ. ඒ කොහොම වෙතත් අභීව මතක් වුණ හැම වෙලාවකම ඇගේ හිත මොකක්දෝ දුකකින් පිරෙනවා ඈට දැනුනා. සමහරවිට ඒ ඔහු පුදුමාකාර විදියට ඈට ආදරේ කරන නිසා වෙන්න ඇති.
මේ සිතිවිලි ලිහෙමින්, පැටලෙමින් තියෙද්දි ආන්යට යාන්තමට නින්ද යාගෙන ආවා. එතකොටම වගේ ඇගේ ෆෝන් එක නාද වෙන්න පටන් ගත්තා.
ආන්යා ඉක්මණට නැගිටලා කොට්ටය අස්සේ තිබුණ ෆෝන් එක අතට ගත්තා. හිතුවා වගේම කතා කරන්නේ ආර්යන්. ආන්යා තප්පරයක් දෙකක් දෙගිඩියාවෙන් ඉඳලා අන්තිමට ෆෝන් එක කනේ තියා ගත්තා.
"හෙලෝ..."
"ආන්යා...මම ආර්යන්. ඔයා නිදාගෙනද හිටියේ?"
"නෑ"
"ගෙදර අය නිදන්න යනකල් ඉන්න ඕන නිසයි පරක්කු වෙලා ගත්තේ. නැත්තම් ඔයාටමනේ හොඳ නැත්තේ" ආර්යන් කිව්වේ හෙමින්.
'ඉතින් ඒකට කතා නොකරම හිටියා නම් ඉවරනේ ගිය සතියේ වගේ' කියන්න ආන්යට හිතට ආවත් ඈ මුනිවත රැක්කා. එහා පැත්තෙන ටිකක් වෙලා යනකල් ඇහුනේ වතුර ගලන සද්දයක් විතරයි. ඔහු මේ ඉන්නේ කොහේ වෙන්න ඇද්ද කියල ආන්යා කල්පනා කලා.
"ඔයා මා එක්ක තරහින් නේ ද ඉන්නේ?" ආර්යන් බැරිම තැන හඬ අවදි කලා.
"නෑ" ආන්යා කෙටි උත්තරයක් දුන්නා. ඔහු තමන්ගේ හිත රිද්දපු එක ගැන නොමනාපයක් තාමත් ඇගේ හිතේ තිබුණ ගාණයි.
"ඔය...ඔයා තරහ වෙලා තමා ඉන්නේ"
"තරහා වෙන්න අපි යාලුවෙලා හිටියේ නෑනෙ" ආන්යා සාමාන්‍යයෙන් ගොඩක් අය තරහා ගැන නිතර කියන දෙයක් කියලා දැම්මා.
"ඔච්චරමත් නපුරු වෙන්න එපා" ආර්යන් කිව්වේ දයාබරව.
"නපුරු වුණේ මමද ආර්යන් අයියා?" ආන්යා පුලුවන් තරම් හෙමින් කතා කරන්න උත්සාහ කලා.
ආර්යන් ආයෙම ගොලු වෙලා. ආන්යා ඇඳේ විට්ටමට හේත්තු වෙලා ඔහු ඊලඟට මොනවා කියාවිද කියලා අහගෙන හිටියා.
"මං ඔයාට නපුරු වෙන්න හිතුවා නෙවෙයි..." ඔහුගේ සුසුමක හඬ ආන්යට හොඳින්ම ඇහුනා.
"මං දන්නේ නෑ ඔයාට මේවා කොහොම පැහැදිලි කරන්නද කියලා. ඒත්, මට ඇත්තටම ඕන වුණේ ඔයාගේ හිතට දුකක් නොදී ඉන්නයි"
"කෙනෙක්ගේ හිත රිද්දලා, එයාට දුකක් නොදැනෙයි කියලා හිතන්නේ කොහොමද කියලයි මට තේරෙන්නේ නැත්තේ" ආන්ය ආපහු නිර්දය අවෙන්න පටන් අරන්.
ආර්යන් ආයෙම සුසුමක් හෙලුවා.
"ඒ කියන්නේ මම ඔයාගේ හිත රිදෙව්වා?" ඔහු ඇහුවා.
ආන්යා ඒකට උත්තරයක් දෙන්න ගිය නැහැ.
"අපි ඒ තරම් ලං වෙලාද ආන්යා?" ඔහු ආයෙම ඇහුවේ මුදු හඬකින්.
ආන්යට නොදැනිම ඇගේ ඇස් වලින් කඳුලක් පිට පැන්නා.'තමන් ඔහුට ලඟ තරම් ඔහු නොදන්න හැටි'
"කියන්න" ඒ ආර්යන් ආයෙමත්.
"මං දන්නෑ" ආන්යා කෙඳිරුවා.
"අයෑම් රියලි, රියලි වෙරි සොරි ආන්යා...ඔයාට ඇබින්දක් වත් රිද්දන්න හිතලා මම කතා නොකර හිටියා නෙවෙයි. මම හිතුවා ඒකෙන් ඔයාට හොඳක් වෙයි කියලා. මං...මං  ඔයාට කොහොම පැහැදිලි කරන්නද?" ආර්යන්ගේ හඬ වේදනාබරයි.
"එහෙනම් අද කතා කලේ ඇයි?"ආන්යා තවමත් මුරණ්ඩුයි.
"මට හිත හදාගන්න බැරි නිසා..."
"එතකොට මං? ඔයා නිසා විතරද හැමදේම? එතකොට මං?" ආන්යා අහුවෙත් හිතේ කැකෑරෙමින් තිබුණ වේදනාවෙන්. ආර්යන් නිසා තමන් හිතින් විඳවපු තරම් ඔහු දන්නේ නෑ නේද කියලා හිතද්දි ඈට දැනුනේ ආත්මානුකම්පාවක්.
"මං මේ දේවල් කලේ ඔයා නිසා තමයි ආන්යා. ට්‍රස්ට් මී. ඒත් සමහරවිට මම පරක්කු වැඩි ඇති" ඔහුගේ හඬ තවමත් වේදනාබරයි.
"මට තේරෙන්නේ නෑ ආර්යන් අයියා...මේ කිසි දෙයක් මට තේරෙන්නේ නෑ. අපි මේ කරන කතාවේ තේරුම මොකක්ද කියලාවත් මං දන්නේ නෑ" ආන්යා උන්නෙත් හිත රිදිලා.
"මං, ජීවිතේ සේරම අවුල් කර ගත්තු කෙනෙක් ආන්යා. අනික් අයගේ සතුට වෙනුවෙන්, මට ගොඩක් දේවල් කරන්න වුණා. මං හිතුවා එහෙම කලාම ලැබෙන සතුට ඇර දෙයක් නෑ කියලා. ඒත්...ඔයාව හම්බවුණාමයි මට තේරුණේ, මම ඉන්නේ සතුටින් නෙවෙයි කියලා"
"මොනාද ඔයා මේ කියන්නේ?"
"මම කියන්න හදන්නේ මගේ අසරණකම ගැන. ඔයා දුකක් නැතිව තියන්නයි මට වැඩියෙන්ම ඕන, ඒත් මට කරන්නම බැරිත් ඒකයි. ඒකේ වැරැද්ද මගේ, මගේම විතරයි ආන්යා. එක මොහොතකට හිතේ සැනසීම හොයාගෙන ගිහින්, ඔයාව අවුල් කලේත් මමයි"
ආර්යන් දිග හුස්මක් උඩට ඇද්දා. ආන්යගේ හිතට ආවේ දුකක්, ඔහු ගැන. ආයෙමත් එහා පැත්තෙන් අර වතුර ගලන සද්දේ ඇහුණා.
"ආර්යන් අයියා...ඔයා ඔය කොහෙද ඉන්නේ?"
"ෆැක්ට්‍රිය ලඟ තියෙන ස්ට්‍රීම් එක ලඟ"
ආන්යට හීලුනා.
"මේ මහ රෑ? තනියෙමද ඉන්නේ?"
"නෑ"
"එහෙනං"
"ඔයා එක්ක"
"පිස්සු වැඩ නොකර බංගලාවට යන්න අයියා. නැත්තම් ඔයාට ලෙඩක් හැදෙයි"
"කමක් නෑ. ඔයාගේ හිත රිද්දුවට දඬුවමක් කියලා හිතන්නම්"
ආන්යාගේ හිත ආර්යන් ගැන තියෙන සෙනෙහසින් පිරුණා.
"ඇයි ඔයා මේ දේවල් කරන්නේ?" ආන්යා ඇහුවා.
"ඒකට උත්තර දෙන්න මම දන්නේ නෑ ආන්යා"
ආර්යන් ඒක කියන්න ලෑස් නෑ.
" සමහරවිට..." ඔහු හදිසියේම කිව්වා.
"සමහරවිට?" ආන්යා ඇහුවේ උනන්දුවෙන්.
"කවදාහරි දවසක මට ඒක ඔයාට කියන්න පුලුවන් වෙයි" ඔහු කිව්වේ එච්චරයි.
ආන්යගේ බලාපොරොත්තුව මැකිලා ගියා. ආර්යන් කවදාවත්ම ඒක කියන එකක් නෑ කියලා ඈට හිතුණා. එහෙම නම් මේ තරම් ඈව අවුස්සන්නේ මොකටද? ඈට ඇගේ පාඩුවේ ඉන්න නොදෙන්නේ ඇයි?
"බැරි වුණොත්?" ඈ ඇහුවා.
"මැරෙන්න මොහොතක් තියා හරි ඒක මම කියනවා ආන්යා, මං ගැන එච්චරක් විතරක් විශ්වාස කරන්න"
ආන්යගේ හිතේ සෙනෙහස වේදනාවක් වෙලා ඇගේ හිත පෙලන්න පටන් ගත්තා.
"ඒත් මං නිසා ඔයා කිසි දෙයක් අතාරින්න්වත්, පිලිනොගෙන ඉන්නවත් එපා. ඔයා හිතනවට වඩා මං හරි දුර්වල මිනිහෙක් ආන්යා..."
"ඔයා මොනාද මේ කියන්නේ?"
"මම කියන්නේ, කොයිම වෙලාවකවත් ඔයා තනිවෙලා කියලා හිතන්න එපා කියලයි. ලඟින් ඉන්න බැරි වුණත් දුරින් හරි මං ඉන්නවා හැමදාම ඔයාට. ඒත්-"
ඒත් මොකක්ද කියලා අහගන්න ආන්යට බැරි වුණේ එකපාරටම ආර්යන්ගේ දුරකතනය විසන්ධි වුණ නිසයි. මෙචාර වෙලා දැහැනකට සමවැදිලා වගේ ආර්යන්ව අහගෙන උන්නු ආන්යා කලබල වුණා. ඈ කීප පාරක්ම ඔහුට කතා කරන්න උත්සාහ කලත්, ප්‍රතිචාරයක් නෑ කියලා විතරයි අනික් පසින් ඇහුනේ. ආන්යා සුසුමක් හෙලලා ඇඳේ දිගා වුණා. ආර්යන් ඈට ලෙන්ගතුයි කියන එක ඈට රහසක් වුනේ නෑ, ඒත් ඔහු ඒක පිලිගන්න මෙච්චරම පැකිලෙන්නේ ඇයි කියන එක නම් ඈට ප්‍රෙහේලිකාවක් වුණා. ආන්යගේ මේ කල්පනා දැහැන බිඳුනේ ෆෝන් එකේ එස්.එම්.එස්. නාදය නිසා. ඈ ඒක අතට අරන් බැලුවා.
"පිනි බිඳකින් මුතු අහුලමි- දිනිසුරුගෙන් සීතල දෙමි, කඩු තුඩු මත සැතපෙන්නෙමි- ඔබ සැනසේනම්..."
ඒක කියවපු ආන්යගේ හිත ආයෙම බරකින් මිරිකුණා.'අභී'


3 comments:

  1. පහුගිය පෝස්ට් වලට කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒවට එවෙලෙට එවෙලෙට උත්තර ලියන්න බැරි වුණාට සමාවෙන්න ඕන. අකුරු හෙම සෑහෙන වැරදි ඇති.
    කතාව කියවලා මොනවද හිතුනේ කියලා කියලා යන්න අමතක කරන්න එපා.
    ඉස්සරහට මේ තුන් හතර දෙනාට මොකද් වෙන්නේ කියලා බලමුකෝ නේද?

    ReplyDelete
  2. අනේ අක්කේ කියන තැනකට මල් තියලා වදින්නම් ආර්යන්වයි ආන්යාවයි වෙන්කරන්නම් එපා අක්කේ :))))))

    ReplyDelete