Sunday, April 22, 2012

තිස් එක්වන කොටස


"ආන්යා...අද තුනට රිහර්සල් පටන් ගන්නවා. වුස් එකට වෙලාවට එන්න හොඳේ. ඊට කලින් ආවත් කමක් නෑ, මොකද කරන්න වැඩ ගොඩයි තවත්" පිස්සුවෙන් වගේ එහේ මෙහේ දුවමින් උන්නු දහම් බැනර් එකක අලවන්න අකුරු වගයක් ගලපමින් උන්නු ආන්යා ලඟ නැවතිලා කිව්වා.
"හරි දහම්. මේ ටිකත් අරගෙන අපි කොහොමත් එන්න ඉන්නේ" ආන්යා කිව්වේ ඒ වෙනකොටත් තව කාටදෝ මොකක්දෝ වැඩක් පවරමින්  උන්නු දහම්ට.
ආන්යලාගේ කණ්ඩායමේ හැමෝම කලින්දා රෑ වුස් වලේ වේදිකාව සැරසුවේ පහුවෙනිදා හවස පටන් ගන්න නියමිතව තිබුණ පීඨ දින උත්සවය වෙනුවෙනුයි. රෑ වෙනකල් උන්නත් තවත් කරන්න සැරසිලි මහ ගොඩකුයි, සංගීතය සපයන උදවියගේ උපකරණ අටවන්න, ඩීජේ එකේ ලයිට් හෙම සකසන්න, පුටු දාන්න, අතුගාලා අස් පස් කරන්න වගේම, දවසේ වැඩසටහනේ පෙර පුහුණුවක් කරන්නත් තව ඉතිරි වෙලා තිබුණා.
ආන්යලා මෙවෙලේ උන්නේ කැන්ටිම තිබුණ පොදු කාමරයේ රැස් වෙලා, සැරසිලි වලට තව අවශ්‍ය දේවල් නිර්මානය කරමින්. බැච් එකේ හැමෝම කඩි රැලක් වගේ උනන්දුවෙන් වැඩ කරපු නිසා සේරම මේ වෙනකල් පිලිවෙලකට කෙරිලා තිබුණා.
"ඔය ගම් එක එවන්නකෝ.."
"මම හිතන්නේ මෙතනට තව නිල් පාට ග්ලිටර් ටිකක් දැම්මොත් හොඳයි වගේ"
"දිගෝ...මේ දැන් උඹේ දෙබස තියෙන්නේ. මතක තියාගෙන කරහන්කෝ"
"කාටද මේ ස්මැක් එක ඉල්ලුවේ?"
පොදු කාමරේ ඇතුලේ එකම ගාක ගෝට්ටියයි. ආන්යා කවුදෝ තමන් ලඟින් තියලා ගිය ප්ලේන්ටිය අතට අරගෙන බොන්න පටන් ගත්තා. උත්සවය සංවිධානය කරන වැඩ නිසාදෝ ඇගේ හිතේ ගෙදරින් එද්දි තිබුණ නොසන්සුන්කාරී හැඟීම දැන් ටික දුරකට අඩු වෙලයි තිබුණේ. ආර්යනුයි, අභීයි දැන් යූ කේ ගිහින් ඇති කියලා ඈට නිකමට හිතුණා.
"ආන්යා...තව බැනර් එකක් තියෙනවෝ" ආන්යා එක්කම වැඩ කරමින් උන්නු නදීෂානි කොහෙදෝ ඉඳන් ආවේ තවත් බැනර් එකෙක් උස්සගෙනයි.
කොහොමින් හරි හවස තුන වෙද්දි අනෙක් අය එක්කම ආන්යත් වූස් වලට ගියා. ඒ වෙනකොටත් එතන උන්නු අය ට්‍රැක් වලට ගීත ගායනා කරන්න පටන් ගෙනත් තිබුණා.
"ආන්යා...ඔයාගේ සිංදුව තියෙන්නේ තාරකගෙ එකයි, වින්ධ්‍යාගේ එකයි ඉවර වෙලා, ඊලඟ එක විදියට. ඩීන් සර්ගේ කතාවෙන් පස්සේ එක. ඊලඟට ඔයයි, දහමුයි කියන එක තියෙන්නේ, පලවෙනි සහතික බෙදා දීමේ පාට් එක ඉවර වුණාම. හරිනේ?"
වැඩසටහන් විස්තරයක් අතේ තියාගෙන නිවේදන කටයුතු කරන්න පුරුදු වෙමින් උන්නු, හසිත ආන්යට කිව්වා. ආන්යා හිස වනලා වේදිකාවට ගොඩ වුණේ ඇට ගයන්න නියමිතව තිබුණ ගීතය ගායනා කරන්න.
"මිදුලේ මල් සූරියගහ මුදුනේ, රන් අරුණලු වැටිලා..."ඈ ආරම්භ කලා.
වේදිකාව උඩදි ආන්යට පොඩි තිගැස්මක් නොදැනුනා නෙවෙයි. ඒ නිසාම ඈ වටපිට බැලුවේ අඩුවෙන්. ඒත් දෙවනි වාදන කොතස යන අතරේ දැක්ක දේකින් ආන්යා කොච්චර තිගැස්සුනාද කිව්වොත්, ඊලඟට කියන්න ඕන පදය ඈ මතක් කර ගත්තේ අමාරුවෙන්. ආන්යා උන්නු තැනට කෙලින්ම ඉස්සරහ වලේ පඩිය මත හිටගෙන උන්නු දහම් සහ සුපුන් එක්ක හිටගෙන ආන්යා දිහා බලාගෙන උන්නේ අභී.
ගීතය ගායනා කරලා ඉවර වුන ගමන්ම ආන්යා කලේ වේදිකාවෙන් බැහැලා අභීලා උන්නු තැනට ගිය එක. ඈ එතනට යද්දි අභී අනික් දෙන්නත් එක්ක බොහොම කුලුපගව ලොකු කතාවක් කරමින්ම, ඈ එන දිහාත් බලාගෙන හිටියා.
"ආ...මේ වේ. ඔන්න ඔයා එනකල් අපි මෙයාට තනි රැක්කා" එහෙම කිව්වේ අභී අසල උන්නු සුපුන්. දහමුත් හිනාවෙවී ඈ දිහා බලාගෙන උන්නා.
ආන්යගේ හිතේ මෙවෙලේ අභී ගැන තිබ්බේ නොමනාපයක්. දැන් අනික් අය මොනවා හිතාවිද කියලා චකිතයකුත් ඇගේ හිතේ තිබුණා. තරහයි, ලැජ්ජාවයි දෙකම නිසා කියන්න දෙයක් ඈට මතක් වුණේ නැහැ.
"එහෙනම් මචං අපි පොඩ්ඩක් අරහෙට යනවා. යද්දි කියලා යන්න ඕන ඈ" සුපුන් උන්නු තැනින් මෑත් වුණේ අභීට එහෙම කියාගෙන.
"සොරි අභී තව ටිකකින් මෙයාව එවන්න පුලුවන් නේද අනික් සිංදුවට. ඊට පස්සේ ආපහු එවන්නම්කෝ අපි"
එහෙම කියපු දහමුත් එතනින් යන්න ගියා.
ආන්යා උන්නේ ලැජ්ජ්වෙනුයි, තරහිනුයි රතු වෙලා, කම්මුල් දෙකයි, කන් පෙතියි රත් වෙලා. අහලින් පහලින් ගිය අයත් ඔවුන් දෙන්න දිහා අමුතු බැලුම් හෙලමින් යද්දි ආන්යගේ මේ තත්වය තවත් වැඩි වුණා.
"එන්න" ආන්යා ඒ නිස්සම අභීට කතා කරගෙන වූස් කැන්ටිමට එන්න ආවා. කවුරුවත් නොහිටපු මේසයක් අසල ආන්යා වාඩි වුණේ තවමත් තරහින් දැවෙන ගමන්. අභී ඈට ඉස්සරහින් වාඩි වුණා.
"මොනාද අභී ඔයා මේ කරන්නේ? ඔයා ඇයි-" ආන්යා පුලුවන් තරම් හඬ පහත් කරලා කතා කරන්න උත්සාහ කලා.
"ෂ්..." ඒත් ඈට බාධා කරපු අභී ඔහුගේ තොල් මත දබරැඟිල්ල තියලා ඈට නිශ්ෂබ්ද වෙන්න කියලා ඉඟි කලා.
"ඔයාට පිස්සුද?" ආන්යා ඔහු කිව්ව දේ ඇහුවේ නැහැ.
"ප්ලීස් ආන්යා, පොඩ්ඩක් කූල් වෙන්නකෝ. ඔච්චර තරහ ගන්න එපා" අභී කිව්වේ දයාබරව.
ඔහුට හිතෙන් බැන බැන ඒ පාර ඈ නිහඬ වුණේ ලඟ පාත උන්නු අය මොනවා හිතාවිද කියලා සැකෙන්. ඈ අභී දිහා නොබලා තරහින්ම බිම බලාගෙන උන්නා.
"අපෝ මූණක හැටි" අභී කිව්වේ හෙමින් ඈ දිහාවට බර වෙලා.
"අභී...ඔය මේ ආපු එකට මම පොඩ්ඩක් වත් කැමති නෑ. බැච් එකේ අය මොනවා හිතනවද දන්නේ නෑ. මේවා අනුහස් එහෙම දැනගත්තොත් මට විසුම වෙන්නේ නෑ" ආන්යා ලත් අවසරෙන් ඔහුට කිව්වා.
"බැච් එක අය මං ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා හිතයි කියලද බය? ඇයි ඔයා කැමති වෙන කෙනෙක් මෙහේ ඉන්නවද?" අභී අහන්නේ පුදුම දේවල්.
"ඔයාට හොඳටම පිස්සු අභී. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔයාට කියන්න බැරි කමක් මට නෑනෙ. එහෙනම් මම ඒක කලින්ම කියලා ඉවරයි. ඒ නිසා නෙවෙයි, මං ගැන වැරදියට දේවල් මිනිස්සු හිතනවට මං ආස නෑ"
"වැරදි දෙයක් වෙන්නේ කොහොමද?"
ආන්යා හිස වැනුවේ නො ඉවසිල්ලෙන්.
"ඔයාගේ මේ ප්‍රෙහේලිකා වලට උත්තර හොයන්න මට වෙලාවක් නෑ අභී. දැන් ඇයි ආවේ කියන්න"
ආන්යා බැරිම තැන පරාජය බාර ගත්තා. අභී ඈ දිහා පුරුදු දයාබරත්වයෙන් බලා උන්නා.
"ඇයි කියලා ඔයා දන්නවා" ඔහු වෙලා අරගෙන උත්තර දුන්නේ එහෙම.
ආන්යගේ හිත සීතල හැඟීමකින් වෙව්ලලා ගියා වගේ ඈට දැනුනා.
"අභී..."
"යන්න කලින් ආයෙම එකමෙක පාරක් ඔයාව බලන්න මට ඕන වුණා මීනු"
ආයෙමත් අර සීතල හැඟීම. ආන්යගේ උගුර හිර වෙනවා වගේ ඈට දැනුනා. අභීට මේ තරම් හැඟීම්බර වෙන්න පුලුවන් කියලා ඈ කවදාවත් හිතලා තිබුණේ නෑ. ඔහු සුසුමක් හෙලලා මේසේ මත දෙනෙත් රඳවගත්තා.
"මං හිතුවා ගිහිල්ලත් ඇති කියලා" ආන්යා සාමන්‍ය විදියට කතා කරන්න උත්සාහ කරමින් කිව්වා. කලින් තරහක් තිබුණත් ඔහුට නපුරු වෙන්න මොකක්දෝ බැරි කමක් ආන්යට තිබුණා. ඔහු මේ තරම් දයාබර වෙද්දි ඒ හිත රිද්දන්න ඈට ඕන වුණේ නෑ. ආන්යා කියපු දේට අභී මොනවත්ම කිව්වේ නෑ.
"කවද්ද දැන් යන්නේ?" ඈ ආයෙම ඇහුවා.
"හෙට පාන්දර දෙකහමාරට ෆ්ලයිට් එක" ඔහු කිව්වා.
"හෙට දෙකට!? අභී, හෙට දෙක කියන්නේ තව පැය දොලහක්වත් නෑ. ඔයා ඇයි මෙහෙම ආවේ? අද ගෙදර නේද ඉන්න ඕන? අන්තිම මොහොතේ කොච්චර බඩු එහෙම පැක් කරගන්න තියෙනවද?" ආන්යා කිව්වේ ඇත්තටම කලබල වෙලා.
අභී උන්නේ ඈ දිහා බලාගෙන හිනාවෙමින්. ආන්යා හිස වැනුවා'ඔයාට කියලා වැඩක් නෑ' කියන්න වගේ.
"ඔයාව නොබලා යන්න හිත හදාගන්න බැරි වුණා මීනු"
ආන්යා ඇස් පියා ගත්තා. ඇගේ හිත යකඩ ගුලි පිරෙව්වා වගේ හොඳටෝම බර වෙලයි තිබුණේ.
"අභී ප්ලීස්...මෙහෙම කරන්න එපා. හිත රිදෙන්නේ ඔයාගෙමයි අන්තිමට" ආන්යා කිව්වේ හිතේ එකපාරටම ඉපදුන අනුකම්පාවකින්.
"දැනුත් හිත රිදෙනවා මීනු. ඒත් එහෙමයි කියලා, තමන් ගොඩක් ආදරේ කෙනෙකුට ආදරේ නොකර ඉන්නේ කොහොමද කියලා මං දන්නේ නෑ. මේ ෆීලින්ග්ස් බැරියර් එකක් දලා න්වත්තන්න පුලුවන් විදිහේ දෙයක් නෙවෙයි"
ඔහු කිව්වේ වේදනාවෙන් වග ආන්යට තේරුණා. ඇගේ හිතේ තිබුණෙත් දුකක්.
"ඔයාව ගෙදරින් හොයනවත් ඇති අභී" ආන්යා බැරිම තැන කිව්වා.
"මම අන්නට කියලා ආවේ"
අභී එහෙම කිව්වාම ආන්යගේ හිතට ආවේ නොහිතපු විදිහේ තැතිගැන්මක්.
"මො..මොනාද?" ඈ ඉක්මණට ඇහුවේ ඒකයි.
ඒත් අභී උන්නේ බිම බලාගෙන.
"මම අන්නට කියලා ආවේ මම යාලුවෝ කට්ටියකට තෑගි ගන්න යනවා කියලා" ඔහු සුසුමක්  හෙලුවා." ඇත්තටම මම ගෙදරින් ආවේ ඒකට තමා. ඒත් මගට ආවාම මට මෙහේ එන්න ඕන වුණා මීනු. අද ගියාට පස්සේ ඔයාව ආයේ දකින්න වෙන්නේ මාස දෙකකින් විතර නිසා"
ආන්යට අභී ගැන දැනුනේ පුදුමයක් වගේම දුකක්. ඔහු තමන් වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නේ ඇයි කියලා ඈ හිතුවා.
"ඔයා වාහනේ එහෙම්මම හරවගෙන මෙහේ ආවද ඉතින්?"
ආන්යා ඇහුවාම අභී හිස වැනුවා.
"නෑ. මම වාහනේ මග දාලා බස් එකක ආවා"
"අනේ අභී..." ආන්යට කියවුණේ ඉබේටම.
අභී යන්තමට හිනා වුණා විතරයි. ඔහුගේ මේ සේරම  හැසිරීම් ආන්යට වදයක් වගේ දැනුනත්, ඔහු ගැන දුක නොහිතෙන්න තරම් ඇගේ හිත දැඩි වෙලා තිබුණේ නෑ.
"මං නිසා ඔය තරම් කරදර වෙනවට මං ආස නෑ අභී. මෙහෙම දේවල් කරන්න එපා. මේ දේවල් මට දරා ගන්න හරි අමාරුයි. වෙච්ච දේවල් නිසා හිතට කිසීම සැනසීමක් නෑ. ඒ අස්සේ ඔයා මෙහෙම දේවල් කරද්දි තවත් අමාරුයි" ආන්යා ඇත්තම කිව්වා.
අභී ඈ දිහා බලාගෙන උන්නේ දුකෙන් වගේ.
"ඔයාගේ හිත රිද්දන්න හිතාගෙන ආපු ගමනක් නෙවෙයි" ඔහු කිව්වාම ඈට ආයෙමත් දුක හිතුණා.
"මම දන්නවා අභී, ඒත්..."
"අයෑම් සොරි. මම ආපු එකෙන් ඔයාගේ හිත රිදුනා නම්..." ඔහුගේ හඬ දැන් දුක්බරයි.
ආන්යා මුකුත්ම නොකියා අහක බලාගෙන උන්නේ අභීව දැක්කාම ඇගේ හිත තවත් අවුල් වෙන නිසයි.
"මං එහෙනම් යන්නද මීනු? ඔයාට ප්‍රැක්ටිස් වෙන්නත් තියෙනවනේ. සුපුන්ලා ඇහුවොත් මොනා හරි මම වෙන පණිවිඩේකට ආවා කියලා කියන්න. එයා මගේ ස්කූල් මේට් කෙනෙක්. අදයි දන්නේ මෙහේ ඉන්න වග. එනිවේ, හිත රිදෙන බව දැන දැනත් මා එක්ක කතා කරන්න ආවට තෑන්ක්ස් මීනු"අභී එහෙම කිව්වාම ආන්යගේ හිතේ දුක කඳුලු පලයක දියවෙලා ඇස් දෙක බොඳ කලා.
"මම යන්නේ සතුටින් කියලා මට කියන්න බෑ. ඒත් ඔයාව දැකපු එක හිතට සැනසීමක්. ආ...කියන්න අමතක වුණා. ඔයා ලස්සනට සිංදු කියන්වා මීනු. දවසක මං වෙනුවෙනුත් එකක් කියයි කියලා මං හිතනවා" ඔහු හිනා වුනත් හිතේ තිබුණ දුක ඒ ඇස් වලින් ආන්යට පෙනුනා.
"අභී..." ආන්යා මේ කිසි දෙයක් නෑහුණ ගාණට ඔහුව ඇමතුවා.
"ම්ම්"
"ප්ලීස් මාව අමතක කරන්න. බලන්න මං නිසා ඔයාට කොච්චර කරදරද කියලා? කොච්චර නම් හිත් රිදෙන්වද කියලා අපි දෙන්නගෙම? එපා අභී. මෙහෙම කරන්න එපා. මට කවදාවත් ඔයාට ලං වෙන්න බෑ ඔයා කියන විදියට"
අභී ඈ දිහා එක එල්ලේම බලාගෙන උන්නා.
"මම කිලොමීටර් දහස් ගාණක් දුර යන්න හදද්දි, ඔයාට කියන්න තියෙන්නේ ඔච්චරමද?"
ආන්යා ඇස් පියා ගත්තා ආයෙම. කඳුලු බිංදු දෙකක් පිට පැන්නේ ඈට නවත්තගන්න අවසරයක් නොදීම. ඈ ඉක්මණට ඒවා පිහගත්තා, ඒත් අභී දකින්න කලින් නෙවෙයි.
"මීනු..." ඔහුගේ හඬේ තිබුණේ කලබලයක්."ඇයි මේ කියන්න...මීනු ප්ලීස්..."
"මුකුත් නෑ" ආන්යා හිස වැනුවා.
මේ අතරේ කැන්ටිමේ දොර ලඟට ඇවිත් තමන් එනකල් බලා උන්නු දහම්ව ආන්යගේ නෙත ගැටුණා. අභීත් ඈ අනුව බලද්දි ඔහුත් දහම්ව දකින්න ඇති.
ඔයා අඬන්නේ මම මෙහෙම ඇවිත් ඔයාට වදයක් වුණ නිසාද?" අභී ඇහුවේ තවත් හෙමිහිට. ආන්යගේ හිත මොකක්දෝ අහේතුක දුකකින් මිරිකෙනවා වගේ ඈට දැනුනා. ඈ හිස වැනුවේ නෑ කියන්න.
"එහෙනම් ඇයි කියන්න?"
ඈ ආයෙම කලේ හිස වනපු එකමයි.
"අනේ ප්ලීස් දැන් අඬන්න එපා. අර ඔයාගේ යාලුවත් ඇවිත් බලා ඉන්නවා. එපා මීනු, අඬන්න එපා. දැන් ඔයා යන්න. මාත් යන්නම්. මගේ පිස්සු වැඩ හන්දා ඔයාගේ හිත රිදුනා නම් සමාවෙන්න මීනු..."
ආන්යා යන්තමට ඇස් උස්සලා අභී දිහා බැලුවා.
"අයි කේම් බිකස් අයි රියලි රියලි ලව් යූ ප්‍රින්සස්...ඇන්ඩ් සෝ අයි විල් ඕල්වේස්""
ඔහු මේසය මත තිබුණා ආන්යගේ අත මුදුවට ස්පර්ෂ කරලා ඔහු කිව්වා. ආන්යා උන්නේ ගල් ගැහිලා වගේ. ඊලඟට අභී උන්නු තැනින් නැගිට්ටා. ආන්යා හෙමිහිට ඔහුගේ ග්‍රහණයෙන් අත මුදව ගත්තා. අභී මොහොතකට අත තද කලත් ඈට යන්න ඉඩ දුන්නා. ආන්යා අභීත් එක්කම එලියට එද්දි දහම් ඈතට වෙලා උන්නේ ඒ දෙන්නට බාධා නොකරන්න වගේ.
"සොරි මම හදිසියේ ඇවිත් ඔයාලගේ ප්‍රැක්ටිස් වලට ඩිස්ටර්බ් කලා" ආන්යට සමු දෙන්න කලින් දහම් දිහාවට ගිය අභී කිව්වේ ලෙන්ගතුකමින්.
"අයියෝ පිස්සුද? එහෙම හිතන්න එපා. යන්නද හදන්නේ? හරි එහෙනම්...ආයෙම වෙලාවක එන්න. ඕන උදව්වක් කියන්න"
දහම් කිව්වෙත් ඒවගේම ලෙන්ගතුකමකින්.
"තෑන්ක්ස්...අර යෝදයට කියන්න මම ගිය කිව්වා කියලා. ටිකක් හදිසියි ඒකයි. එහෙනම් ගිහින් එන්නම්"
එහෙම කියපු අභී ආයෙම ආවේ ඇස් රතු කරගෙන උන්නු ආන්යා ලඟට.
"යන්නම්..." ඔහු කිව්වේ දුකෙන් වගේ.
"ගිහින් එන්න...පරිස්සමින්" ආන්යා කතා කලේ අමාරුවෙන්, ඇගේ උගුර රිදුම් දෙද්දි.
අභී තව මොහොතක් ඈ දිහා බලාගෙන උන්නේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිව වගේ.
"අතේ ගුලි කරගෙන අරන් යන්න පුලුවන් දෙයක් නම්, මම ඔයාව අරගෙන යනවා මා එක්කම, ඒත් මට පුලුවන්  හිතේ ගුලි කරගෙන ඔයා ගැන මෙමරීස් අරන් යන්න විතරයි. ඒත් මම කිව්වා වගේම එහේ ගිහින් ඔයාට කතා කරලා කරදර කරන්නේ නෑ. හැබැයි, මම ආයෙම ආපු ගමන් ඔයා බලන්න එනවා. මං ඉල්ලපු උත්තරේ ගන්න"
ආන්යා උන්නේ බිම බලාගෙන මුකුත්ම නොකියා.
"යන්නද එහෙනම්?" ඔහු ආයෙම ඇහුවා.
ආන්යා හිස වැනුවා.
"යූ ටූ ටේක් ගුඩ් කෙයා ඔෆ් යෝර්සෙල්ෆ් ප්‍රින්සස්...සී යූ සූන්"
ආන්යා එතනම් ගල් ගැහිලා ඉද්දි, අභී යන්න ගියා. ආයෙම හැරිලා ඔහු දිහා බලන්න ඈට හයියක් තිබුණේ නෑ. ඈ හිස උස්සද්දි දහම් උන්නේ ඈ ලඟ.
"නීඩ මිනිට්?" දහම් ඇහුවේ ඇගේ හිත ඇතුලේ තිබ්බ කැලඹිල්ල තේරුම් අරන් වගේ.
ආන්යා හිස වැනුවා. "ඕන නෑ, අපි යමු"
"ඇහුවට මුකුත් හිතන්න එපා. ඔයා අවුලෙන් ඉන්නේ මොකෝ දෙන්න රණ්ඩු වුණාද?"
"දහම් හිතුවෙ ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලද?"
"එහෙම නෙවෙයිද?" දහම් ඇහුවේ පුදුමෙන් වගේ.
"නෑ. එයා මගේ යාලුවෙක්, හොඳ යාලුවෙක් විතරයි. දැකපු අනික් අයත් හිතුවද දනේ නෑ එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා" ආන්යට ඕන වුණේ ඈ ගැන තියෙන්න පුලුවන් වැරදි වැටහීම නැති කරන්න.
"අනික් අය මොනා හිතුවම මොකෝ, ඔයා දන්නවනේ ඇත්ත" දහම් අන්තිමට එහෙම කිව්වා.
වේදිකාව දිහාට යන්න කලින් ආන්යා නිකමට වගේ හැරිලා ආයෙම බැලුවේ අභී ගිය දිහාව. හිතාගන්නවත් බැරිවිදියට, කවදාවත් නොහිතපු විදියට අභී තමන්ගේ ජීවිතේ ආක්‍රමණය කරලා නේද කියලා ආන්යට හිතුනේ, ඔහු වෙනුවෙන් දුක් වෙන හිතේ කොනක් තියෙන වග දැනුනාමයි.




1 comment:

  1. අභීට පව්.. ආන්යා නපුරි!

    ReplyDelete