Friday, April 6, 2012

තිස්වන කොටස


'අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්...ඉඩ ලබා ගනිමු තරමින් දියතක්...'
අංජලීගේ රේඩියෝවෙ වාදනය වෙන ගීතය දෙන්නම අහගෙන උන්නේ දැහැනකට සමවැදිලා වගේ. ඒ අතරේ ආන්යා සිය වෙනි වතාවටත් ගෙදර ඉඳන් එද්දි සිදු වුණ සිදුවීම් පෙල මෙනෙහි කලා.
සිදුවීම් පටන් ගත්තේ තාත්තා ආන්යව බස් එකට නග්ගලා ගිය වෙලේ ඉඳන්. තාත්තා ගිහින් විනාඩි දෙක තුනක් යන්නත් කලින් බස් එකට නැග්ගේ ආර්යන්. ආන්යා ටිකක් විතර තිගැස්සුනත්, ඔහු ඒවි කියලා පුංචි බලාපොරොත්තුවක් ඈ තුල නොතිබුණාම නෙවෙයි.
"මං මෙතනින් ඉඳගන්නද?" ආර්යන් ඇහුවේ හිත සසලවන විදිහේ මුදු හිනාවක් පාලා. ආන්යා යන්තම් හිස වැනුවා විතරයි.
"තාත්තා දැනුයි ගියේ. බැරි වෙලාවත් ආයෙම ආවොත්?" ආන්යා ඇහුවේ රහසින් වගේ.
"ඒක ඉතින් ආවොත් බලාගන්න බැරියැ. ආවේ නෑනෙ" ආර්යන් කිව්වේ දඟකාර විදියට. ආන්යට හිනා නොවී ඉන්න බැරි වුණා.
"බොරුවට බය වෙලා ලේ පුච්චගන්න ඔයා හරිම දක්ෂයි" ඔහු ඊට පස්සේ ආයෙම කිව්වා.ආන්යා ජනේලෙන් එපිට බලා ගත්තා.
"ඔයා මං ආවට අකමැති නම් මම යන්නම්" ආර්යන් කිව්වාම ආන්යා ඉක්මණට ඔහු දිහා බැලුවේ 'එපා' කියලා නොකියා කියමින්.
ආර්යන් ආයෙම ඈ දිහා බලලා හිනාවුණා. ඔහු ඉන්නේ මොකක්දෝ සතුටකින් කියලා ආන්යට හිතුණා.
"කොහොමත් මට අද කැන්ඩි වලටම එන්න වෙන්නේ නෑ. අභී විතරනේ සයිට් එකේ. මම ටිකක් දුර එන්නම්" ඔහු කිව්වා.
"ඉතින් වැඩ පාඩු කරගෙන එන්න එපා. මට තනියෙම යන්න පුලුවන්" ආන්යා කිව්වා.
"මම ආවේ ඔයාට තනි ඇති කියලා නෙවෙයි..." ඔහු හිනාවක් හංගගෙන කිව්වා.
ආන්යා ඉතිරි වචන ටික අහන්න ඔහු දිහා බලාගෙනම හිටියා.
"ඔයා ගියාම මට තනි නිසා..."
ආන්යා බිම බලාගත්තේ ලැජ්ජාවෙන් රතු වෙමින්. ඊට පස්සේ ටික වෙලාවක් යනකල් ඔහු මොනවත්ම කිව්වේ නෑ.
"ආන්යා..." ඔහු කතා කලේ වෙනස් ස්වරයකින්.
"ම්ම්"
"මම ඔයාගෙන් දෙයක් අහන්නද?"
"හ්ම්"
"ඔයා මාව විශ්වාස කරනවද?" ඔහු ඇහුවේ එහෙම.
"ඇයි එහෙම අහන්නේ?"
"ප්‍රශ්ණ එපා, උත්තරයක් දෙන්න"
"ම්...අනේ මන්දා. විශ්වාස කරන්නවත්, අවිශ්වාස කරන්නවත් ඕනකමක් ඇති වෙලා නැති නිසා, මට ඒක කියන්න තේරෙන්නේ නෑ"
"එතකොට මම මෙහෙම එන යන එක ගැන, කෝල් කරන එක ගැන හිතද්දිවත් ඔයාට එහෙම හිතන්න ඕන වෙලා නැද්ද? හිතන්න, බැරි වෙලාවත් ඔයාගේ හිත මට ගියොත්?"
ආන්යා ආයෙම රතු වුණත් මේ පාර අහක බලා ගත්තේ නෑ.
"අපේ තාත්තා මට කියලා තියෙන්නේ, කවදාවත් කිසිම කෙනෙක්ව සීයට සීයක් විශ්වාස කරන්නවත්, අවිශ්වාස කරන්නවත් එපා කියලා" ආන්යා කිව්වා.
ආර්යන් අහක බලාගෙන් හිනා වෙන්න ගත්තා.
"හරි හරි. ආයෙමත් මම ඒ ප්‍රශ්ණේ අහන්නේ නෑ" ඔහු ඊට පස්සේ කිව්වා.
බස් එක ධාවන වෙන්න පටන් ගත්තා මෙවෙලේ.
"ඔයා කොහෙන්ද බහින්නේ ආර්යන් අයියා?" ආන්යා ඇහුවේ තවමත් ලාවට හිනාවෙමින් උන්නු ආර්යන්ගෙන්.
"කොහෙන්ද මම බහින්න ඕන?" ඔහු ඇහුවා.
"මෙතනින්" ආන්යා කිව්වේ ඔහු දිහා යන්තම් බලලා, හිනා වෙලා.
"දැන් ඉතින් බහින්න බෑනෙ, යන්න පටන් ගත්තු ගමන්. ඒ නිසා ඔන්න ඔහේ ගිනිගත්හේනෙන්  බහිනවා"
ඒ කතාවට ආන්යා හිනා වුණා, ආර්යන් එක්කම.
"ඔයා මෙච්චර හිනා වෙනවා මම දැක්කාමයි" ඊට පස්සේ ආන්යා කිව්වා.
"ඇත්තට? ඔයා හිතාගෙන හිටියේ මම මහා 'ගෘම්පි' කෙනෙක් කියලද?"
"ම්ම්.." ආන්යා හිස වනලා ඔව් කිව්වා.
ආර්යන් ලොකු සුසුමක් හෙලුවා.
"ඇත්තටම ආන්යා මම ඉන්නේ සතුටින් තමා අද. ඇයි දන්නවද? අභී නිසා"
ඒ පාර ශාන්තව, නිසලව තිබ්බ ආන්යගේ හිත එක පාරටම කැලඹුණා.
"අභී නිසා, ඒ ඇයි?"
"හ්ම්ම්...අභීගේ අචීව්මන්ට්ස් නිසා, එයා හොඳ තැනක අද ඉන්න නිසා. ඒය ඉස්සර පිස්සු නටපු තාලෙට මම හිතුවේ නෑ, මේ තරම් සෙන්සිබල් වෙන්න එයාට පුලුවන් වත් කියලා. ඒත්, දැන් ඩිග්‍රී එක ගන්න ලෑස්ති වෙද්දි, අප්පා එයාට ෂෙයාර්ස් ටිකක් බාර දුන්නට පස්සේ, පුදුම විදියට මිනිහා හැදිලා. අන්න ඒ ගැන මට හරි සතුටුයි ආන්යා. අභී මට මල්ලි කෙනෙක් විතරක් නෙවෙයි, හොඳ යාලුවෙක්, ක්‍රිටිසයිසර් කෙනෙක්. අයි වුඩ් ගිව් එනිතින්ග් ටු සී හිම් ස්ම්යිලින්ග්..." ආර්යන් කිව්වේ හැඟිම්බරව.
ආන්යා සුසුමක් හෙලුවේ ඒකෙන් වත් හිතේ බර අඩු වේවි කියලයි. ඒත් ආර්යන්ගේ වචන හිත තවත් බර කලා විතරයි.
"තව හේතුවක් තියෙනවා"ඔහු ආයෙම කිව්වා.
"මොකක්ද?"
"ඔයා මා එක්ක තරහා නොවුණ එක"
ආන්යා ඒකට මොන්වත්ම නොකියා ආයෙම ජනේලෙන් එපිට බලා ගත්තා. මීදුමින් වැහුණ තේ වතු, කඳු ආදිය වේගෙන් පහු වෙලා යන හැටි බලා ඉද්දි ආන්යට දැනුනේ අමුතුම හැඟීමක්. ඒ මීදුම අස්සේ සීතලේ ගැහෙමින්, කඳු දිගේ දුවන්න, පොද වැස්සේ තෙමෙන්න ආසාවක් ඈට දැනුනා.
"ආන්යා..."
"ඇයි?" ඈ ඇහුවේ දයාබරව.
"මම යූ කේ ගිහින් එද්දි ඔයාට අරන් එන්න ඕන මොනාද?"
ආර්යන් ඇහුවා.
ආන්යා ඔහු දිහා බැලුවේ පුදුමය මුසු බැල්මකින්.
"මට? මට මොනවත් ඕන නෑ. අනික එහෙම ගේන්න ඕනකමක් නෑනෙ"
"ඇයි ඒ? යාලුවෙක්ට මොනා හරි ගෙනත් දෙන එක මහ දෙයක්යැ? අපේ නෑයෝ නම් කවුද රට යන්නේ කියලා බලා ඉන්නේ මොනා හරි ගෙන්නගන්න. ගෙවල්වල තියෙන බඩු බාගයක්ම ඩියුටි ෆ්‍රී වලින් අපිම ගෙනාපුවා" ආර්යන්  කිව්වේ සැහැල්ලුවෙන් හිනා වෙලා.
"ඔයාට නම් අද හොඳටම පිස්සු" ආන්යා හිනාවුණා.
"එනිවේ...ඔයාට කියන්න බැරි නම් මම හිතලා දෙයක් අරන් එන්නම්කෝ" ඔහු අන්තිමට කිව්වේ එහෙම.
"මට මොනවත් එපා" ආන්යා කිව්වේ ඇත්තටම.
"හරි හරි ඒක එවෙලෙට බලමුකෝ"
ගිනිගත්හේන නගරෙට ලං වෙනකල්ම ආර්යන් ඔය වගේ සාමාන්‍ය දේවල් කතා කරමින් ආවා.
"ආන්යා..." එක ලොකු විරාමෙකට පස්සේ ආර්යන් ආන්යට කතා කලේ ලොකු කතාවක් කියන්න සූදානමින් වගේ.
"ම්ම්"
"පහුගිය දවස් වල ඔයාගෙ හිත රිද්දපුවට අයෑම් සොරි. ඒ දවස් ටිකේ මගේ ඔලුව ටිකක් අවුල් වෙලයි තිබුණේ. මේ ගෙදර දාන විකාර ප්‍රශ්ණ නිසා. ඒත් තවත් එහෙම වෙන්නේ නෑ"
"ඒකට කමක් නෑ අයියා"
"මං දන්නවා ඔයා මා එක්ක තරහා වෙන්නේ නෑ කියලා. ඒකයි මට හිතට අමාරු ගොඩක්ම" ආර්යන්ගේ හඬේ තිබුණේ දයාබරත්වයක්.
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ, මං ගැන අහිතක් නොහිතන හිතක් රිද්දන්න වෙන එක ගැන" ඔහු වචනෙන් වචනේ බර කරලා කිව්වා.
ආන්යා ගොලු වෙලා ඔහු දිහා බලාගෙන උන්නා.
ආර්යන් ඈ දිහා බලාගෙන ඉඳලා ඇගෙන් ඇස් මුදා ගත්තේ සුසුමක් හෙලන ගමන්.
"ඉක්මණටම හැමදේම වෙනස් වේවි ආන්යා...ඒදාට මම මුලු ලෝකෙටම කියනවා මං කරන්නේ මට ඕන දේ කියලා..."

ආන්යා පියවි ලෝකෙට ආවේ රේඩියෝවේ වෙළඳ දැන්වීමක කෑ ගහන හඬට. ඈ හැරිලා බලද්දි අංජලීට නින්ද ගිහින්. ආන්යා ආයෙම කොට්ටේ මූණ ඔබා ගත්තා. එලියෙන් ඇහුනා කාමරේ අනික් කට්ටිය ප්‍රැක්ටිකල් ඉවර වෙලා ආපහු එන සද්දේ. ආන්යා ඇස් පියා ගත්තා. පුදුමෙකට ඇගේ ඇස් ඉස්සරහ මැවුණේ ආර්යන් නෙවෙයි,  අභී අන්තිමට ඈ දිහා බලපු විදිහ.ආන්යා ඉක්මණට ඇස් ඇරියා.
'හන්තානේ කඳු මුදුන සිසාරා...පවනක් වී එන්නම්...'රේඩියෝවේ වාදනය වෙනවා ඈට ඇහුණා.


5 comments:

  1. අවුරුද්දට ගෙදර යන නිසා ඉක්මණට ලියන්න නම් බැරි වේවි. ඒත් පුලුවන් හැම වෙලේකම පෝස්ට් එකක් දාන්න බලන්නම්.
    ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
  2. හ්ම්..ආන්යාවයි ආර්යන්වයි වෙන් කරන්න නම් එපා අක්කේ..
    ඔයාටත් සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක් නෙතූ...

    ReplyDelete
  4. ස්තුතියි නෙතු මෙි දවස් ටිකේම එක දිගට කතාව ලියලා අපිට ඒක කියවන්න ඉඩ ලබා දුන්නට. ලබන්නාවු අළුත් අවුරුද්ද ඔයාටත්, ඔයාගේ පවුලේ සියළු දෙනාටමත් වගේම මෙි කතාව කියවන්න අනෙක් සියළු දෙනාටම සුභම සුභ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

    ReplyDelete
  5. සුබ නව වසරක් නෙතු..:)

    ReplyDelete