Monday, January 11, 2016

විහංඟනාවී: පනස් එක්වන කොටස

රවීන් යන්න ගියාට පස්සෙත් ටික වෙලාවක් යනකල් අයුමිගේ අම්මා උන්නු තැනම වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන උන්නේ මොකක්දෝ හැඟීමකින් ගල් වෙලා වගේ. රවීන් ගැන ඇගේ හිතේ තාමත් බුබුලු දමමින් තිබුණේ නොරිස්සුමක්. ගෙදරට ආපු නිසා නොවෙන්න, වෙන තැනක වුණා නම් ඈ රවීන්ට හොඳටම දොස් කියන්න තරම් ආවේගයකුත් ඇගේ හිතේ තිබුණා. ඒ ඒක්කම දැන් ඊලඟට මොනවා වෙයිද කියන අහේතුක බයත් හිතේ හොල්මන් කරමින් තිබුණා.  රවීන් යද්දි සිරිතට වගේ පෙරමගට ආපු අයුමිත් දොර උලුවස්ස ලඟ නැවතිලා එලිමහන දිහාම බලාගෙන උන්නේ ආයෙම හැරිලා ගෙට යන්න හිත හදාගන්න බැරිව. ඒත් එතන ඉන්න බැරි තැන අයුමි ගේ ඇතුලට එන්න හැරුණේ එහා පැත්තේ තවමත් වාඩි වෙලා උන්නු අම්මා දිහා නොබලා.
"මද්දු...පොඩ්ඩක් ඔහොම පොඩ්ඩක් නවතින්න..." අම්මා කිව්වේ විධානාත්මකව.
අයුමි ඉද්ද ගැහුවා වගේ නැවතුනා උන්නු තැනම. ඈට දැනුනේ හිස්මුදුනට ලෝදිය බාල්දියක් හැලුවා වගේ, වරදකාරී, නොසන්සුන්කමක්.
"පොඩ්ඩක් මෙහෙන් වාඩි වෙන්න" අම්මා ඊලඟට කිව්වේ ඈ දිහාවත් නොබලා.
අයුමිට එහා පැත්තේ ඈතට වෙන්න උන්නු ආත්තම්ම දිහා බැලුණේ ඉබේටම. ආත්තම්මත් ඇගේ දෑස් මගෑරලා අමනාපෙන් වගේ ඉවත බලාගත්තම අයුමිගේ හිතේ තිගැස්ම තවත් වැඩි වුණා. ඈ අම්මට ඈතින් තිබ්බ පුටුවකට බර වුණේ යන්ත්‍රානුසාරයෙන් වගේ. දැන් අම්මා මොනා කියාවිද කියලා හිතාගන්න බැරිව ගෙවුණ තප්පර ඈට දරාගන්න බැරි තරම් වුණා.
"මොකක්ද මද්දු අපි ඔයාට කරපු වරද? මොකක්ද අපි ඔයාට කරපු අඩුව? තාත්තා නැති වුණ දා ඉඳන් දුක් විඳගෙන ඔයාලව හදපු එකද මගේ වරද?" අන්තිමේදි අම්මා ඇහුවේ දරුණුම විදිහට.
තිගැස්සුන පාරට අම්මා දිහා අයුමි බැලුවා නෙවෙයි, බැලුණා. අම්මා ඒත් උන්නේ ඉවත බලාගෙන. අයුමිට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ.
"මෙච්චර රටේ මිනිස්සු ඉද්දි බැඳපු මිනිහෙක්ම හොයාගන්න තරම් උඹට තිබ්බ අඩුපාඩුව මොකක්ද ළමයෝ? හැබෑටම මොලේ කලක් වත් තිබ්බේ නැද්ද? මොකක්ද මේ කරලා තියෙන වැඩේ තේරුම?" ඒ පාර දොස් කියන්න ගත්තේ ආත්තම්මා.
අයුමිට හිතාගන්න බැරි වුණා ඒ ප්‍රශ්ණෙට කොයි විදියට උත්තරයක් දෙන්නද කියලා. ඈ බිමට නෙත් යොමාගෙන කල්පනා කලේ ඒකයි. 'ඇත්තටම ඇයි ඒක මං කලේ?' අයුමි තමන්ගෙන්ම අහගත්තත්, ඒකට තියෙන්නේ එකම උත්තරයක් වග ඈ දැනගෙන උන්නා. හිතේ අනික් සේරම හැඟීම් පරයාගෙන ඒ පාර ඇගේ හිතේ නැගුනේ රවීන් ගැන හිතේ හැමදාමත් තිබ්බ ආදරේ. මොන වරදක් කලා වුණත් ඒ ආදරේ වෙනස් වෙන්නේ නැති එක මොන පුදුමයක්ද කියලා ඈ මොහොතක් කල්පනා කලා.
"දැන් ඉතිං කසාය බීපු ගොලුවා වගේ නො ඉඳ කියනවා මද්දු, මොකකද මේකේ තේරුම? දෙවියනේ මොලේ කල්පනා නොකර කොහොමද මෙහෙම දෙයක් කලේ? පොඩ්ඩක්වත් පවුල ගැන මතක් වුණේ නැද්ද මද්දු? පොඩ්ඩක් වත් අනික් දෙන්න ගැන හිතන්න මතක් වුණේ නැද්ද? මේවා ගමේ මිනිස්සුන්ට හෙම ආරංචි වුණොත් කොහොමද අපි රටට ලෝකෙට මූණ දෙන්නේ? කට වහගෙන නො ඉඳ කියනවා" අම්මා ඒ පාර කලින්ටත් වඩා හයියෙන්ම ඇහුවා.
අයුමි දිග සුසුමක් හෙලුවේ ඇස් වල කඳුලු පිට පනින්න ඔන්න මෙන්න තියෙද්දි. ඒත් තාමත් ඈට වචනයක්වත් කතා කරන්න දිව නැමුනේ නෑ. වෙච්ච හැම දේකින්ම ඈ ඕනවටත් වඩා තිගැස්සිලයි උන්නේ.
"පෙනේද කිසීම වගේ වගක් නෑ වගේ මේක ඉන්න හැටි? කටේ පිට්ටු හිර වෙලාද අහන දේකට උත්තරයක් දෙන්න බැරි?" ඒ ආත්තම්මා.
"මම වරදක් කලේ නෑ" අයුමිට එහෙම කියවුණේ හිතේ නැගුන ආවේගයට.
"වරදක් කලේ නෑ?" අම්මා ඒ පාර ඇහුවේ අයුමි දිහා බලලා උස් හඬකින්.
"මම ගෙදරටවත්, අම්මලාටවත් වරදක් කරන්න හිතුවේ නෑ අම්මේ" අයුමි ආයෙම කිව්වා.
"උඹට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද මද්දු?" අම්මගේ කේන්තිය ඒ පාර තිබුණේ වැඩි වෙලා.
"රවීන් නරක මනුස්සයෙක් නෙවෙයි අම්මේ" අයුමි කිව්වේ අම්මා දිහා නොබලා ඉන්න උත්සාහ කරමින්.
"මනුස්සය නරකද කියන එකද මද්දු මෙතන තියෙනේ ප්‍රශ්ණේ? ප්‍රශ්ණේ ඒ මිනිහා බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්න තාත්තා කෙනෙක් වෙච්චි එක. උඹ හදන්නේ ඒ ළමයි දෙන්නට කුඩම්මා වෙලා උඹේ ජීවිතේ ඉතිරි කාලේ ඒකට මිඩංගු කරන්නද? දෙයියනේ දික්කසාද වෙච්ච මිනිහෙක් එක්ක උඹ මොනා කරන්නද මද්දු? ඒ මිනිහා උඹවත් දික්කසාද නොකරාවි කියලා උඹට කියන්න පුලුවන්ද? ඔය සල්ලිකාර මිනිස්සුන්ගේ හැටි උඹ දන්නේ නැද්ද? මෙච්චර හොඳට උඹලව හදලා වඩලත් මෙහෙම තමුන් මෝඩ වුණේ කොහොමද කියලා මට හිතාගන්න බෑ" අම්මා ඒ පාර කිව්වේ ටිකක් පරාජිත හඬකින්.
අයුමිට අම්මා දැන දුකක් නොදැනුනා නෙවෙයි. 'ඒත් ආදරේ කරන එක මෝඩකමක්ද?'
"රවීන්ට දික්කසාද වෙන්න වුණ හේතුවවත් නොදැන එහෙම කතා කරන එක හරිද අම්මේ? එයාට රවීන් එක්ක සතුටින් ඉන්න බැරි හන්දා යන්න ගිය එක රවීන්ගේ වරද නෙවෙයි. ළමයි දෙන්නවත් දාලා එහෙම යන්න ගිය ගෑණිට වඩා රවීන් නරක වෙන්නේ කොහොමද?" අයුමි තර්ක කලා.
"ගෑණි නරකද, මිනිහා නරකද කියලා තමුන් මට කියන්න ඕන නෑ. ඒකෙන් මට වැඩක් නෑ. මට තියෙන ප්‍රශ්ණේ තමුන් දැන දැනම මේ වගේ තේරුමක් නැති සම්බන්ධෙක පැටලුණේ ඇයි කියන එක. දික්කසාද වෙච්ච මිනිස්සුන්ගේ වැරදි හදාගන්න දෙන්න මම ළමයි හැදුවේ නෑ. අන්න ඒක තමුන් දැනගත්තොත් හොඳයි" අම්මා ගර්ජනා කලා.
"දික්කසාද වුණා කියලා කෙනෙක් මුලු ජීවිතේම තනියෙම ඉන්න ඕනද අම්මේ? ඒ කෙනාට ආදරේ කරන්න, ආදරේ ලබන්න තහනම්ද?" අයුමි ඇහුවා.
"කට වහගනින් මද්දු. වැරදි කරලා තව උඹ මා එක්ක තර්ක කරන්නත් එනවද? ආදරේ ගැන තර්ක කරන්න මොකෝ උඹ මහලොකු ජුලියට් ද? උඹ මට ආදරේ ගැන කියලා දෙන්න එන්න ඕන නෑ. ආදරේ ගැන මම ඉගෙන ගත්තේ උඹට කලින්. මේක ආදරේ ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. අපේ ගෙදර නම්බුව ගැන ප්‍රශ්ණයක්..." අම්මා කිව්වේ තරහින්.
"මම ගෙදර නම්බුවට කැලලක් වෙන දෙයක් කලේ නෑ අම්මේ" අයුමි පුලුවන් තරම් නොරිස්සුම පාලනය කරගන්න උත්සාහ කරමින් කිව්වා.
නොරිස්සුම බලවත් වුණේ අම්මලාවත්, අඩුම තරමේ රවීන්වත් තමන් ගැන හිතන්නේ නැති හැටි කියලා කල්පනා වෙද්දි. හවස ඔෆිස් එකේදි වුණ සිදුවීම තවම ඇගේ හිතේ හොල්මන් කරමින් තිබ්බ තියෙන ප්‍රශ්ණ මදිවට වගේ.
"ඔව්. තාම කලේ නෑ. දෙයියන්ට පිං සිද්ධ වෙන්න. ඒත් ඒක කරන්න කලින් තමා මම මේ කියන්නේ. උඹ අදම මේ සම්බන්ධේ නවත්තන්න ඕන. ඔය රස්සා කිරිල්ලෙන් වැඩක් නෑ. ආයෙම උඹ  ඔය රස්සාවට නොගියට කමක් නෑ. මම මේ හොඳින් කියන්නේ. මට මේක වෙන විදියකට කියන්න ඉඩ හදන්න එපා. මම උඹලා තුන් දෙනාව දුක් මහන්සි වෙලා උස් මහත් කලේ ලොකු බලාපොරොත්තු ඇතුව. ඒ මට සැප විඳින්න නෙවෙයි. උඹලා තුන් දෙනාට හොඳ අනාගතයක් ලැබෙන්න ඕන නිසා. ඒ නිසා, මද්දු ඔය සම්බන්ධේ මෙතනින් ඉවර වෙන්න ඕන. ආයෙම වැඩට යන්න ඕන නෑ. රස්සාවෙන් අස් වෙනවා කියලා ලියුමක් දාන්න ඔය රවීන්ට"
අම්මා එහෙම කිව්වේ කලින් වගේම විධානාත්මකව. අම්මා එහෙම කිව්වම අයුමි මොහොතකට ගොලු වුණා. ඈට හිතාගන්න බැරි වුණා අම්මා එක පාරටම එහෙම කිව්වම.'එතකොට හැමදේම ඉවර වෙන්නේ එහෙමද?'
"රස්සාවෙන් අස් වෙන්න?" අයුමි මිමිණුවා අන්තිමට.
"ඔව්. ආයෙමත් කොලඹ යන්න ඕන නෑ. මෙන්න මෙහේ ගෙදරට වෙලා ඉන්නවා අපට ලැජ්ජා නොකර" අම්මා කිව්වා.
"මට ඒක කරන්න බෑ අම්මේ. මම කොහොමද එහෙම රස්සාව එපා කියලා දමලා ගහලා ගෙදර ඉන්නේ? ඒක රවීන් ගැන විතරක් ප්‍රශ්ණයක් නම් එහෙම කරන්න තිබ්බා. ඒත් ඒක මුලු කම්පැනිය ගැනම ප්‍රශ්ණයක්. මම නැවතුනොත් එහේ වැඩ සේරම නවතිනවා බාරගෙන තියෙන. අම්මේ රවීන් මට ආදරේ කලා කියලා කම්පැනියට වරදක් වෙන දෙයක් කරන්න ඕනද මම? මම කොහොමද එහෙම කරන්නේ?" අයුමි ඉන් පස්සෙ ඇහුවා.
"උඹ නොගියා කියලා මොකෝ ඒකේ වෙන මිනිස්සු නැද්ද වැඩ කරන්න?"
"මාසයක් වත් කල් නොදී අස් වෙන්න මට බෑ අම්මේ. අම්මා දන්නවනේ වැඩ කරන තැන් වල එහෙම කරන්න බෑ කියලා. මොනා වුණත් ඒ මම හම්බකරගෙන කාපු තැන නෙවෙයිද?" අයුමි ඇහුවෙත් ආවේගෙන්.
"ඒවයින් මට වැඩක් නෑ මද්දු. යනවා නම් යන්න පුලුවන් ඒත් ආයෙම එන්න හිතන්න එපා. ගෙදර මිනිස්සු මැරුණා කියලා හිතාගෙන ගියාට කමක් නෑ" අම්මා කිව්වේ නිර්දය විදිහට.
"අම්මේ...!" අයුමිට කෑ ගැහුණා. "මොනාද අම්මේ මේ කියන්නේ?"
"තීරණයක් ගන්න එක තමන්ට බාරයි" අම්මා එහෙම කියලා පුටුවෙන් නැගිට්ටා.
ඒත් අයුමි උන්නේ කතාව ඉවර කරන්න ඕන තැනක නෙවෙයි. හිත තිබ්බේ පුදුමාකාර තරම් නොසන්සුන් වෙලා. එක්කම හිතේ තිබුණේ එක්තරා විදිහක භීතියක් වගේ එකක්.'මම කොහොමද රවීන්ව අමතක කරන්නේ?' හිත අහපු එකම ප්රශ්ණේ ඒක. මොන දේ කලත්, මොන දේ වුණත් තමන්ට රවීන්ව අමතක කරන්න බෑ නේද කියලා අයුමි කල්පනා කලේ වෙදනාවෙන් හිත මිරිකෙද්දි. වෙච්ච දේවල් රවීන් දන්නවා නම් මොනවා වේවිද කියලා කල්පනා කලා. එක්කම ඔහු එක්ක ගෙවුණ කාලේ, බෙදාගත්තු විඳගත්තු ආදරේ මතක් වෙද්දි අයුමිට හිත හදාගෙන ඉන්න පුලුවන් වුණේ නෑ. හැමදේම අමතක කරලා ජීවත් වෙන්න හිත හදාගන්නේ කොහොමද? එහෙම කරලා ජීවත් වෙන්නේ මොනා වෙනුවෙන්ද? රවීන් නැති අනාගතේක තමන්ට කිසිම අරමුණක් නෑ නේද කියලා අයුමි හිතුවේ අනාගතේ ගැන හිතන්නවත් බය වෙමින්.
"මට රවීන්ව අමතක කරන්න බෑ අම්මේ?" අන්තිමේදි ඈට කියවුණා.
යන්න නැගිටපු අම්මා දිහා බැලුවේ ඇස් පුංචි කරලා.
"මොකක්ද? අමතක කරන්න බෑ?"
"මට ඒක කරන්න බෑ" අයුමි මිමිණුවේ හීනෙන් වගේ.
"මොකද ළමයා උඹට වෙලා තියෙන්නේ? මොකක්ද මේ විගඩම? තව මිනිස්සු කොච්චරවත් ඉන්දැද්දි, මේ මිනිහා මත්තෙම මොකට නැහෙන්න යනවද?" ආත්තම්මා.
"මට වෙන මිනිස්සු ඕන නෑ..." අයුමි කිව්වේ කෑ ගහලා වගේ.
" කියන්නේ අපි කියන දේ අහන්න ඔයාට බෑ?" අම්මා ඇහුවේ වියලි ස්වරයකින්.
අයුමි අම්මා දිහා බැලුවේ ඇස් වල කඳුලු වලින් අම්මගේ රූපේ බොඳ වෙද්දි.
"මට ආයෙමත් වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ" ඇගේ ස්වරයේ තිබ්බේ උමතුවක් වගේ හැඟීමක්.
අම්මා අයුමි දිහා බලාගෙන උන්නේ කවදාවත් ඈව එහෙම දැකලා නෑ වගේ නොරිස්සුම් බැල්මකින්. මුකුත් නොකියම ඉන්පස්සේ අහකබලාගත්තත් උන්නු තැනින් නොහෙල්ලී උන්නේ මොකක්දෝ කල්පනාවකින් වගේ.
"මට කියන්න තියෙන දේ මම කිව්වා. ඊට පස්සේ කරනන් ඕන තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. තාත්තත් නැතිව මම ඔය තුන් දෙනා කාගෙන්වත් කතාවක් නාහා හදාවඩා ගත්තේ මේවා බලන්න නෙවෙයි. උස්මහත් කරලා මේ තැනට ගෙනාවේ මෙහෙම ජීවිතේ වැරදි තීරණ ගන්නවා බලන්න නෙවෙයි. ඒත් දැන් ඔයා වැඩිහිටි ළමයෙක්. කාරණා කාරණා තේරුම් ගන්න ඔයාටත් පුලුවන් කමක් තියේන්වා නේ. හැඟීම් වලට වහල් වෙලා ඔයාගේ තීරණේම ඉන්නවද, නැත්තම් ගෙදර ගැන හිතලා තීරණයක් ගනන්වද කියලා ඔයාම හිතලා බලන්න. මම වෙන මොනවත් කියන්නේ නෑ" අම්මා ටික කිව්වේ තරහක් වත්, දුකක් වත් නැති අමුතුම වියලි ස්වරයකින්.
අයුමිගේ හිත තව තවත් බර වුණා. අම්මා තමන්ගේ කම්මුලට ගැහුවා නම්, මේ වචන වලින් තරම් තමට රිදෙන එකක් නෑ කියලා හිතුවා.
අම්මා ඊලඟට එතනින් යන්න ගියා ආයෙම දිහාවත් නොබලා. ආත්තම්මත් ආයෙම මුකුත් නොකියා යන්න ගියේ ලොකු සුසුමක් හෙලලා. ගල් වෙලා වගේ මොහොතක් තමන් උන්නු පුටුවෙම වාඩි වෙලා උන්නු අයුමි අන්තිමේදි නැගිටලා කාමරේට ගියේ හිත මුලුමනින්ම කඩා වැටෙද්දි. රවීන් ගැන ලෝබකමක්, හිත පුපුරන්න තරම් ආදරේකුත් එක්කම, ඔහු ගැන තරහකුත් ඇගේ හිතේ තිබුණා. ඔහු අද ඇවිදින් මේක නොකිව්වා නම් අඩුම තරමේ විසඳුමක් කතා කරගනන්වත් තමන්ට කාලේ ලැබෙන්න ඉඩ තිබුණා නේද කියලා හිතුවා. ඇඳේ ඉඳගනිද්දි, ඈට කීකරු නොවුණ ඇස් වලින් සට සට ගාලා කඳුලු කැට ගොඩක් කඩාගෙන වැටුණේ රවීන්ට තිබුණ ආදරේ අර සේරම හැඟීම් මැඩගෙන හිතේ බලවත් වෙද්දි.

4 comments:

  1. නියමයි අයුමිගේ අම්මා...
    දිගටම ඔය ස්ථාවරයේම ඉන්ට ඕනේ...

    ReplyDelete
  2. Kathawa tikak ikmanin danne akki. Hamadama balanawa katawa dalada kiyala...

    ReplyDelete
  3. ඊළඟ කොටස දානකම් අපි බලාගෙන ඉන්නේ නෙතු.

    ReplyDelete