Friday, July 10, 2015

විහංඟනාවී- විසිහයවන කොටස

"මොකක්ද තාත්තේ?...දෝණි?!...ඉතිං හරියට කියන්නකෝ?....කොහෙදිද, කොයි වෙලේද? දැන් තාත්තා කොහේද ඉන්නේ?...හරි, හරි. ගෙදර යන්න. ගෙදර යන්න. මම දැන්මම එනවා....නෑ නෑ මං එනවා"
රවීන් උන්නේ එක පාරටම ගොඩක් කලබල වෙලා.
"ඇයි, මොකද වෙලා තියෙන්නේ?" අයුමි ඇහුවේ බය වෙලා වගේ.
"මේ.. මේ.. ගෙදර පොඩි ප්‍රශ්ණයක්. දෝණිට ඉස්කෝලෙදි මොකක්ද accident එකක් වෙලා ලු. තාත්තා හරියට කියන්නේ නෑ. මං යන්න ඕන දැන්මම ගෙදර. අද මේ මීටින් එකට යන්න වෙන්නේ නෑ...." රවීන් කිව්වේ අසිහියෙන් වගේ වාහනේ ආපහු හරවගන්න ගමන්.
"මොකක් වෙලාද දන්නේ නෑ?" අයුමි ඇහුවේ අවිනිශ්චිතව.
ඒත් රවීන්ට ඈව ඇහුණ වගක්වත් පෙනුනේ නෑ.
"අයුමි, ඔය කලුතර client ගේ නොම්මරේ  මගේ ෆෝන් එකේ ඇති. මංචනායක කියලා ඇත්තේ. ප්ලීස් කතා කරලා කියන්න අද මීටින් එකට එන්න වෙන්නේ නෑ කියලා" රවීන් කිව්වේ වාහනේ වේගේ වැඩි කරන ගමන්.
ඒ පාර අයුමි ආයෙම ඔහුගෙන් ප්‍රශ්ණ නාහා, කියපු විදියට කතා කරලා මීටිම අවලංගු කලා. රවීන් වාහනේ එලෙව්වේ ලොකු කල්පනාවක් පිට. ඒ හන්දා අයුමි ඔහුට බාධා කරන්න හිතුවේ නෑ. කතා බහක් නැතිවම උපරිම වේගෙකින් එන්න ආපු රවීන් බම්බලපිටියේ අතුරු පාරකට වාහනේ හරවලා, ලොකු සුදු තාප්පයක් ලඟ වාහනේ නතර කරලා ඒකෙන් බැහැගත්තේ, රෝලර් ගේට් එකත් ඇරෙද්දිමයි.
"මම මෙහෙම ඉන්නද?" අයුමි ඇහුවත් රවීන් හිස වැනුවා.
"එපා, ඔයා එන්න, එන්න මා එක්ක" රවීන් එහෙම කියාගෙනම ගේ දිහාට පය ඉක්මණ් කලා.
අයුමි ඔහු පස්සෙන් ඇතුලු වුණේ ලස්සනට සකස් කරලා තිබුණ ලොකු කොල පාට මිදුලක්ට මැදි වුණ, විශාල සුදු පාට ලස්සන ගෙයකට. ඒ ඒ ලස්සන බල බල ඉන්න වුණේ නෑ ගෙයි ඇතුලේ තිබ්බේ ගාල ගෝට්ටියක් නිසා.
"තාත්තේ..." අයුමිට ඇහුණා පුංචි ගෑණු ළමයෙක්ගේ හැඬුම්බර හඬ ගේ ඇතුලෙන්.
දෝණී...මොකද මැණික මේ? what happened to you …මොකද මේ වුණේ?" ඊට පස්සේ ඈට ඇහුණා රවීන්ගේ උස් හඬත්.
ඒ පාර රවීන්ගේ දෝණි හැඬුම්බරව තව මොනවදෝ හෙමින් කියවනවා ඈට ඇහුණේ යන්තමින් වගේ. අයුමි සාලෙට යද්දි, පුටුවක බාගෙට නිදාගෙන උන්නු රවීන්ගේ දෝණි, බිම දණගහගෙන උන්නු රවීන්ට තුරුලු වෙලා උන්නා. ඒ වටේට හිටගෙන උන්නේ, රවීන්ගෙම පෙනුම තිබ්බ ඒත් රැවුලක් වවාගෙන උන්නු වයසක පහේ පිරිමි කෙනෙකුයි (ඒ රවීන්ගේ තාත්තා කියලා අයුමිට හිතුණා), තව මැදිවයසේ වගේ ගෑණු කෙනෙකුයි, ටිකක් උස මහත පිරිමි දරුවෙකුයි. අයුමි දැනගත්තා ඒ පිරිමි දරුවා රවීන්ගේ පුතා වග. අයුමි ආ ගමන්ම හැමෝගෙම ඇස් මොහොතකට ඈ දිහාට යොමු වුණා.
"අයුමි... ප්ලීස් එන්න ඇතුලට..." රවීන් කිව්වේ ඈව අහම්බෙන් වගේ දැකලා.
රවීන්ගේ තාත්තයි, ළමයි දෙන්නමයි රවීන්ගෙයි, අයුමිගෙයි මූණවල් දිහා මාරුවෙන් මාරුවට බැලුවා.
"who is this තාත්තා?" එහෙම ඇහුව රවීන්ගේ දෝණි.
එවෙලෙයි අයුමි දැක්කේ ඇගේ එක අතක වැලිමිට හරියයි, හිසේ පැත්තකුයි වෙලුම්පටිවලින් වෙලලා තිබුණ වග. ඇගේ හිත ගැස්සුණා ඒවා දැක්කම.
“This is Aunty Ayumi. She is working with me in Celeste.  මම මේ මීටින් එකකට කලුතර යන ගමන් ඉද්දි තමා කෝල් එක ආවේ. ඉතිං ඒ ගමන් මීටින් එක කැන්සල් කරලා මේ ළමයවත් ඇදගෙනම ගෙදර ආවා. මං ඇත්තටම බය වුණා ඇක්සිඩන්ට් එකක් කිව්වම" රවීන් දෝණි ගාවින් නැගිටින ගමන් එහෙම කිව්වේ ඔහුගේ තාත්තට.
"By the way Ayumi, මේ මගේ තාත්තා දේවක සේනානයක. මේ පුතා ශමිත්, මේ ඔලුව පලාගෙන, අත කඩාගෙන ඉන්න අපේ අදඟමල්ල, ශාරා" රවීන් කිව්වේ ඈට ඔවුන්ව අඳුන්වලා දෙන ගමන්.
අයුමි යන්තම් හිනාවෙලා හිස වැනුවා, අඳුනගන්න ලැබීම සතුටක් වග පෙන්වමින්. රවීන්ගේ තාත්තා අයුමිට අතට අත දීලා හිනාවක් පාද්දි, රවීන්ගේ පුතා හිනා නොවීම යන්තම් හිස වැනුවේ ටිකක් අන්ද මන්ද වෙලා වගේ. ඔහුත් රවීන්ගේ කපාපු පලුවමයි කියලා අයුමිට හිතුණා. කෙට්ටු, උස, හුරුබුහුටි, සුදු පොඩි කොල්ලෙක් වෙච්ච ශමිත්ට තිබ්බේ රවීන්ගෙම ඇස් දෙකයි, නහයයි. තද නිල් පාට ෆුට් බෝල් ගහන ඇඳුමක් වගේ එකක ඇඳලා උන්නු නිසා අයුමිට හිතුණා ඔහු එන්න ඇත්තෙත් මොකක් හරි ක්‍රීඩාවක් ප්‍රැක්ටිස් කරන්න ගිහින් වෙන්න ඇති කියල. ශාරාත් ඇස් ලොකු කරගෙන අයුමි දිහා බලාගෙන උන්නා විතරයි. ඈට තිබ්බේ රවීන්ගේ නහය විතරයි. ලොකු බෝල ඇස්, ක්‍රේල් කොණ්ඩේ, රත්තරං පාට හම, චූටි තොල් පෙති, මේ සේරම එක්ක පුංචි සුරංගනාවියක් වගේ වුණ ශාරා ඇගේ අම්මා වගේ වෙන්න ඇති කියලා අයුමි හිතුවා.
"මොකද කරගෙන තියෙන්නේ?" අයුමි ඇහුවේ ටිකක් සාලේ මැදට යන ගමන්. එවෙලේ රවීන් උන්නේ ශාරාගේ Medical recorsසුයි, X-ray එකයි බලමින්.
"Sports  ප්‍රැක්ටිස් වලදි වැටිලනේ. මෙයා instructor එන්න කලින් ප්‍රැක්ටිස් පටන් ගන්න ගිහින්" එහෙම කිව්වේ රවීන්ගේ තාත්තා.
අයුමි ශාරා දිහා බලලා හිනාවක් පාද්දි, ඈහක බලාගත්තේ සීයගේ කතාවට තරහා ගිහින් වගේ.
"කොහොම වුණත් මං හොඳටම බය වුණා. හ්ම්ම්...යන් ශාරා ඔයා ඇඳට ගිහින් ඉන්න" රවීන් කිව්වේ ආයෙම දෝණි අසලට පාත් වෙමින්.
"අනේ බෑ. මම මෙතන ඉන්නම්. මට ටීවී බලන්න ඕන" ශාරා කෑ ගැහුවා.
"මෙයාගේ කටටත් ප්ලාස්ටර් එකක ගහන්න තිබ්බේ"ශමිත් කිව්වේ ඇස් දෙක රෝල් කරමින්.
"අනේ..." ශාරා ආයෙම කෑ ගැහුවා.
"ශමිත්... please don’t trouble  nanga.  Why don’t you go with ayamma and have a wash?" රවීන් ටිකක් සැරෙන් වගේ කිව්වම ශමිත් කකුල් දෙක ඇද ඇද සාලෙන් ගේ ඇතුලට ගියේ ආයා ඔහු පස්සෙන් යද්දි.
"එන්න ඇවිත් වාඩි වෙන්න" මේ අතරේ රවීන්ගේ තාත්තා අයුමිට කිව්වේ සුහද ලීලාවෙන්.
"වාඩි වෙන්න අයුමි. සොරි මේ වැඩ අස්සේ ඔයාවත් ඇදගෙන එන්න වුණාට" එහෙම කිව්වේ රවීන්.
"ඒකට කමක් නෑ"
"දැන් දෙන්නා දවල්ට කාලත් නැතුව ඇති නේ?" රවීන්ගේ තාත්තා ඇහුවේ දෙන්න දිහාම බලමින්.
"ඔව්...කොහේ කනවද? මීටින් එක දාගෙන තිබ්බේ දෙකට. යන ගමන් ලන්ච් ගන්න හිටියේ" රවීන් කිව්වේ  TV එක දිහා බලාගෙන උන්නු ශාරාගේ හිස අතගාමින්.
"මම කියන්නම් කෑම අරින්න කියලා" රවීන්ගේ තාත්තා එහෙම කියාගෙන ගෙට ගියා.
ඒ පාර ඒ සුදු පාට, විශාල සාලේ අයුමි, රවීනුයි, ශාරයි එක්ක තනි වුණා.
"හරිම වැඩේ නේද ඔයාට වුණේ?" රවීන් ඇහුවේ යන්තම් හිනාවක් පාලා.
"කමක් නෑ" අයුමි කිව්වා.
“This is not the way I wanted to take you here…” රවීන් කිව්වා.
"ඒකට කමක් නෑ " අයුමි කිව්වේ හෙමින්.
"ඔයා එහෙනම් පොඩ්ඩක් ඔහොම ඉන්න. මම ඇතුලට ගීහින් බොන්න දෙයක් අරන් එන්නම්" අයුමි එපා කියන්න හදද්දිම රවීනුත් සාලෙන් ගෙතුලට ගියේ අයුමිවයි, ශාරවයි සාලේ තනි කරලා.
ටීවී එකේ දාලා තිබ්බේ ටින්කර්බෙල් ඇනිමේෂන් කාටූන් එක. වෙලුම් පටිවලින් වෙලපු, හුරුබුහුටි ශාරා ඒ දිහා බලාගෙන ඉන්න හැටි දැක්කම අයුමිට දැනුනේ දුකක්. 'පව් අම්මා නැති ළමයි දෙන්නා' කියන හැඟීමකින් ඇගේ හිත දුකින් පිරුණා ළමයි දෙන්නා ගැනම.
"ඔයා ටින්කර්බෙල්ට ආසද?" වෙන කරනත් දෙයක් නැති හන්දා ඈ ශාරා එක්ක කතාවක් පටන් ගන්න හිතුවා.
"නෑ..." ශාරා කිව්වේ ඈ දිහා බෝල ඇස් වලින් ටිකක් වෙලා බලා ඉඳලා.
එහෙම කිව්වම ඉතිං වෙන මොනා අහන්නද? අයුමි නිහඬ වුණේ ඒකයි.
"මම ආස ඒකේ ලොකු queen ට. එයා තමා ලස්සන. එයා තමයි powerful" ඊලඟට ශාරා කිව්වා.
අයුමි හිනාවක් පෑවා.
"ම්ම්...මං නං ආසයි ටින්කර්බෙල්ට. ඒත් ඉතිං ලොකු queen තමා හොඳම" අයුමිත් කිව්වා.
"ඔයා කවුද? ඊලඟට ශාරා ඇහුවා.
"මම ඔයාගේ තාත්තගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්"
"අර අනික් ආන්ටිලත් එක්කද?" ශාරා ඇහුවා.
"කොයි ආන්ටිලද?" අයුමි ඇහුවේ ආදරෙන්.
"තාත්තා වෙනදට එක්ක එන ආන්ටිලා?" ශාරා එහෙම කිව්වම අයුමි ගොලු වුණා මොහොතකට.
'එතකොට රවීන් සැන්ඩ්‍රලව ගෙදරත් එක්ක ඇවිල්ලද?' එහෙම හිතද්දි රවීන් ගැන ඈට දැනෙන්න ගත්තේ පොඩි නොරිස්සුමක්. ඒ එක්කම දරුවෝ ගැන ලොකු දුකකුත් ඇගේ හිතට පිවිසුණා.
"ඔව් පැටියෝ. අපි ඔක්කොම ඉන්නේ ඒ ඔෆිස් එකේ තමා" අයුමි අන්තිමට ශාරට එහෙම කිව්වේ ඇගේ හිත නොරිදෙන්න ඕන නිසා.
"මොකෝ මෙයා කියන්නේ? ඒ එක්කම වගේ රවීන් සාලෙට ආවේ බීම වීදුරුත් අරගෙන පස්සෙන් ආපු වයසක සේවකයෙක් එක්ක.
අයුමි හිනාවුණා විතරයි ශාරා දිහා බලලා. ශාරා උන්නේ ආයෙම ටීවී එක දිහා බලාගෙන. රවීන් වාඩි වෙලා ආයෙම ලඟ තිබ්බ ශාරාගේ එක්ස්රේ රිපෝර්ට් එක අතට අරන් බැලුවා.
"මොනා හරි ලොකු දෙයක් වෙලාද?" අයුමි ඇහුවේ බීම වීදුරු අරන් අසලට යන ගමන්.
"දෙයියන්ගේ පිහිටෙන් නෑ. මාත් බය වුණේ ඒකයි" රවීන් කිව්වා.
"ඔයින් ගියා මදෑ එහෙනම්" අයුමි සැනසුම් සුසුමක් හෙලුවා.
"අන්න...අර ඉන්නේ Queen...ආන්ටි බලන්න" එක පාරටම ශාරා කෑගැහුවා.
ඒ පාර අයුමියි, රවීනුයි දෙන්නම ශාරා අසලට ගිහින් ටීවී එකට එබුණා.
"එයා ලස්සනයි නේද?" ශාරා ඇහුවේ අයුමිගෙන්.
"හ්ම්ම්...හරිම ලස්සනයි"
"හරියට අපේ අම්මිගේ අර ඇල්බම් වල ගවුම් ඇඳලා ඉන්න ෆොටෝ වල වගේ නේද තාත්තා?" ශාරා ඇහුවම අයුමි තිගැස්සුනා.
ඈ දැක්කා රවීන්ගේ මූණ අමුතු වුණ වග. අයුමි දිහා යාන්තම් බලලා ඔහු එතනින් නැගිටගත්තා.
"තාත්තා...මම වැටුණා කියලා දැනගත්තොත් අම්මි බලන්න එයි නේද?" ශාරා ඇහුවේ රවීන් දිහා අහිංසකව බලලා.
අහේතුකවම දුක පිරුණේ අයුමිගේ හිතේ. ඈට ශාරා ගැන දැනුනේ ලොකු දුකක්.
"ශාරා...බලමු. අම්මි එනවද කියලා ඔයා අහන්නකෝ අද කතා කලොත්" රවීන් එහෙම කියලා අයුමිටත් නොකියම ආයෙම ගේ ඇතුලට වැදුණා.
"එයා අම්මි ගැන කතා කරනවට ආස නෑ" ශාරා කිව්වේ අයුමිට.
"ම්ම්... නෑ. එහෙම නැතුව ඇති" අයුමි කිව්වේ ආදරෙන්.
"ඔයා දන්නේ නෑනෙ. අම්මි  මෙහේ එනවට තාත්තා කැමති නෑ..." ශාරා කිව්වා.
"ශාරට අම්මව බලන්න ඕනද?" අයුමි ඇහුවා.
"අම්මි දන්නවනම් බලන්න එයි. ඒත් තාත්තා ආස නැති නිසා මම එන්න කියන්නේ නෑ" ශාරා කිව්වා.
"අපි තාත්තට කතා කරලා බලමු" අයුමි අන්තිමට කිව්වා.
දවල් කෑම ලෑස්ති වෙනකල් අයුමි උන්නේ ශාරා ලඟ, ඈ එක්ක ටීවී එක බලමින්. මොන හේතුවකට හරි ශාරා ඈ එක්ක ඉක්මණින්ම යාලු වුණා.
"අර අනික් ආන්ටිලට වඩා ඔයා හොඳයි. ඒ එන අය මං එක්ක වාඩි වෙලා කතා කරන්නේ නෑ. හම්බුණ ගමන් කරන්නේ හයියෙන් කම්මුලක් මිරිකලා 'හායි' කියන එක. මම ඒ ගොල්ලන්ට ආස නෑ" එක වෙලාවක ශාරා එහෙම කිව්වම අයුමිට හිනා ගියා.
"ම්ම්...සමහරවිට කතා කලොත් එයාලත් හොඳ ඇති"
"ම්ම්..." ශාරා කිව්වේ ඇස් උඩ තියාගෙන ඒ කිව්ව එක ගැන හිතමින් වගේ.
අයුමි හෙමින් ඇගේ අවුල් වෙලා තිබ්බ හිසකේ සැකසුවා. ඒ එක්කම ඈ කල්පනා කලේ අම්මත් නැතිව, රවීන්ගෙත් විවිධාකාර චර්යා වෙනස්වීම් එක්ක මේ ළමයි මොනවගේ ජීවිතයක් ගෙදර ගෙවනවා ඇත්ද කියලා. ගොඩාක්ම සමගියෙන් උන්නු අම්මයි, තාත්තයි එක්ක ගෙවුණ තමන්ගේ පොඩි කාලේ මෙහෙම දෙයක් වුණා නම් තමන්ගේ හිත කොච්චර රිදේවිද කියලා ඈ හිතුවේ සංවේගයෙන්. එහෙම හිතද්දි ශාරා ගැනයි, ශමිත් ගැනයි ඇගේ හිතේ ඉපදුනේ අනුකම්පාව මුසු සෙනෙහසක්.
ටිකකින් දවල් කෑම ලෑස්ති වුණාම, ශාරා ඇරෙන්න අනෙක් හැමෝම උන්නේ මේසේ වටේ.
"දෝණි මොනාද කන්නේ කියන්න. ආයා අද කවයි ඔයාට" රවීන් ඇහුවේ මුලින්ම ශාරට බත් එක බෙදන ගමන්.
"ආයා කවන්න එපා..." ශාරා කිව්වේ සාලේ ඉඳන් කෑ ගහලා.
"එහෙනං?"
"මට කන්න එපා" ශාරා කිව්වා.
"එහෙම කියලා බෑනෙ දෝණි"
"ආයා අතින් කන්න බෑ" ශාරා ආයෙම කෑ ගැහුවා.
"මං කවන්නද?" අයුමි ඉදිරිපත් වුණේ ඇත්තටම මේ පොඩි උන් දෙන්නා ගැන ඇගේ හිතේ අනුකම්පාවක්, දුකක් තිබ්බ නිසා.
රවීන් ඈ දිහා බැලුවේ පුදුමෙන් වගේ.
"ආ...ඕන නෑ අයුමි ඔයා කන්නකෝ" ඔහු ඊලඟට කිව්වා.
"මට බත් කවලා පුරුදුයි පොඩි අයට. මම ට්‍රයි කරලා බලන්නම්" අයුමි කිව්වේ රවීන්ගේ අතින් බෙදපු බත් එක ඉල්ලන ගමන්.
“Let her try” එහෙම කිව්වේ රවීන්ගේ තාත්තා. ඒ පාර රවීන් බත් එක ඈ අතේ තිබ්බා. අයුමි සාලෙට යද්දි ශාරා ඈ දිහා බැලුවේ ඇස් ලොකු කරලා.
"ඔයා මට කවනවද?"
"ඔව්" අයුමි කිව්වේ ලොකු හිනාවක් පාමින්.
"මට චිකන් නම් එපා. මැල්ලුම් අනන්නත් එපා. පරිප්පුයි, අලයි විතරයි" ශාරා කිව්වේ කෑම එකට එබෙමින්.
"මැල්ලුම් නොකෑවොත් ඔය ලස්සන ඇස් දෙක ඉක්මණට පේන්නේ නැතුව යයි" අයුමි කිව්වේ බත් කටක් අනන ගමන්.
"ඇයි ඒ?"
"මැල්ලුම් වල තියෙන විටමින් එහෙම ඕන නේ අපේ ඇස්, හම එහෙම ලස්සන වෙන්න" අයුමි කිව්වේ අනපු බත්  කට ශාරාට ලං කරන ගමන්.
ඈ කට ඇරියා කල්පනාවෙන්ම.අයුමිට මතක් වුණේ මල්ලි පුංචි කාලේ ඔහුට බත් කවපු විදිය. කොහොමින් හරි කියලා මැලූම් එක්කත් ශාරාට බත් කටක් දෙකක් කවාගන්න අයුමිට පුලුවන් වුණා. තුවාල හන්දයි, මහන්සි හන්දයි දෝ ශාරා බත් කටවල් පහකට වඩා කෑවේ නෑ. අයුමි ශාරට කවනකල් පිටිපස්සට වෙලා හොරෙන් බලාගෙන උන්නු රවීන් එවෙලේ වතුර එකක් අරන් ආවා.
"කලින් ආව ආන්ටිලා නම් කවදාවත් මට බත් කවලත් නෑ" ශාරා වතුර එක බොන ගමන් එහෙම කිව්වම අයුමිට රවීන් දිහා බැලුණා ඇස් කොනකින්.
"මොන ඇන්ටිලද ඔය..? වතුර එක බීලා දෙන්න කෝප්පේ... දැන් අපි මේ ආන්ටිට කන්න කියමු නේද? බඩගිනිත් ඇතිනේ"  රවීන් එහෙම කියලා එතනින් යන්න ගියේ අයුමිට කන්න එන්න කියාගෙන.

කොහොම කොහොම හරි, කාලා, බීලා, ඒ වෙනකොට පුටුවෙම නින්ද ගිහින් උන්නු ශාරව ඇඳට දාලා, රවීන් එක්ක ඔහුගේ ගෙදරින් ආයෙම ඔෆිස් එන්න පිටත් වෙද්දි හවස තුනත් පහුවෙලා තිබුණා. 

1 comment: