Tuesday, July 7, 2015

විහංගනාවී- විසිපස්වන කොටස

"දැන් ඇප්ලිකේෂන් කීයක් ඇවිත් තියෙනවද?"
සිකුරාදා  දවල් දොලහ විතර වෙද්දි  කලුතර යන වැඩේට ලෑස්ති වෙලා අයුමි පහලට යද්දි ප්‍රියන්තියි, සමින්දයි, හසිකයි ලොබි එකේ උන්නේ කතාවක.
"විස්සක් විතර තියනවා" හසිකා කිව්වා.
"හායි අයුමි එන්න එන්න..." සමින්ද කිව්වේ අයුමිව දැකලා.
"මොකක්ද ඇප්ලිකේෂන් කතාව? කවුරුහරි ගන්න යනවද?" අයුමි ඇහුවෙ ඔවුන් අසලට යන ගමන්.
"ම්ම්...සමින්දට එක්කෙනයි, අස්මිට එක්කෙනයි. සමින්ද ඔන්න ඊට පස්සේ උඩට එනවා. මිස්ටර් රවීන්ට ඕනලුනේ එයාගේ co-designer ව ලඟින් තියාගන්න්න" එහෙම කිව්වේ ප්‍රියන්ති. අයුමි රතු වුණ ඒ කතාවට.
"අනේ මේ, කෑ ගහන්න එපා. දැන් එයා පහලට එනවත් ඇති" අයුමි කිව්වම කට්ටියටම හිනා.
"ඇත්තටම මොකක්ද කරන්නද යන්නේ?" ඊලඟට අයුමි ඇහුවේ මොනවත් නොදන්නවා වගේ.
"ඇත්තටම එහෙම තමයි කරන්න යන්නේ. ඔයා මිස්ටර් රවීන්ගේ කාමරේම position කරයි. මොකද මේ designing  වැඩ කරන්නේ mainly ඔය දෙන්නා නේ. බය වෙන්න එපා. මිස්ටර් රවීන් හරි හොඳයි. අනික ඉතිං එයා හැමදාම ඔෆිස් එන්නේ නෑනෙ. ආවත් පැයක් දෙකක් ඉඳලා යන එකනේ" එහෙම කිව්වේ සමින්ද.
"අනේ මන්දා. මේ දවස් ටිකේ නම් එහෙම නෑ හැබැයි" ප්‍රියන්ති කිව්වා.
" ඒ මේ දවස් වල වැඩ වැඩි හන්දනේ. කොහොමත් එයා එක්කම ඉන්න එක හොඳ යි, එතකොට කරන වැඩේ ඔයාට එක පාරම finalize කරන්නත් පුලුවන්. තව දේවල් එයාගෙන් ඉගෙන ගන්නත් පුලුවන්" සමින්ද කිව්වා.
"ම්ම්ම්...ඒක නම් ඇත්ත" ප්‍රියන්ති අමුතු හිනාවක් පාලා, ඇස් උස්සලා හිස වැනුවා.
" අයුමි හැබැයි නියම කාලේ ආවේ. දැන් තමයි අපේ කම්පැනි එක නැගගෙන එන කාලේ" සමින්ද කිව්වා.
ප්‍රියන්ති අයුමි දිහා බලලා හිනාවක් පෑවාඒ කතාවට.
"ඔයාට මිස්ටර් රවීන් පෙන්නුවද අර ආටිකල් එක?" ඊලඟට අයුමිගෙන් සමින්ද ඇහුවා.
"හ්ම්ම්...ඔව්. ඒක නියමයි නේ"
“A hobby that lead to create divine designs on earth” හසිකා කිව්වේ කටපාඩමින් වගේ. ඒ පාර හැමෝම හිනාවුණේ සතුටින්.
රවීන් පඩිපෙලෙන් බැහැගෙන එතනට ආවේ එවෙලේ. කට්ටියගේ හිනාව දැකලා ඔහුගේ මූණේ ඇඳුනෙත් හිනාවක්.
"මොකෝ? මොකෝ වෙන්නේ?"
"නෑ මිස්ටර් රවීන් අපි මේ කතා කර කර හිටියේ අර Biz Wiz magazine එකේ ආටිකල් එක ගැන" සමින්ද කිව්වා.
" ආ... ඒක අපේ big achievement එකක්. ඒ ගොල්ලන්ඟේ rating එකට අනුව අපේ sector එකේ අපි ඉන්නේ top ten ඇතුලේ" රවීන් කිව්වා.
"ඇත්තටම?" එහෙම ඇහුවේ ප්‍රියන්තියි හසිකයි.
"හ්ම්ම්. ඒකට හේතුව ඉතිං ඔය හැමදෙනාගෙම දාඩිය මහන්සිය තමයි. පොඩි කාලෙකින්, පොඩි ටීම් එකක් එක්ක ආපු ලොකු ගමනක්" රවීන් කිව්වේ හැමෝම දිහා බලලා ස්තූතිපූර්වකව.
ඒ පාර කට්ටියම මූණෙන් මූණ බලාගෙන යන්තම් හිනාවුණේ ලැජ්ජාවෙනුත් වගේ.
"Anyway... client meeting එකකට යන්න තියෙනවා දෙකට කලුතර. අයුමි ready නේද?" රවීන් ඇහුවා.
"ඔව්" ඈ උත්තර දුන්නේ ඔහු දිහා යන්තමින් බලමින්.
"මිස්ටර් රවීන් ඒ ගමන්ම කලුතර පැත්තට නම් යන්නේ මටත් යන්න පුලුවන් වෙයි ද අර මොරටුවේ timber work කරන තැන බලන්න?" එහෙම ඇහුවේ සමින්ද.
"මොන timber work ?"
"අර stairs and wood flooring කරන කෙනා. අපට අර Home and You එකේදි හම්බුනේ. ජීවන් කියලා" සමින්ද මතක් කරලා දුන්නා.
"ආ...ඔව් ඔව් හරි. මට මතකයි. ඕකේ ඕකේ. No problem. අපි කොහොමත් ඒ පැත්තෙන් යන එකනේ" රවීන් කිව්වා.
අස්මි  ඔෆිස් එකේ වාහනේ වැඩකට කොලඹින් පිට ගිහින් තිබ්බ නිසා කට්ටිය යන්න පිටත් වුණේ රවීන්ගේ වාහනේමයි. සමින්ද වාහනේ ඉස්සරහින් වාඩි වුණේ අයුමිගේ පෙරැත්තෙත් හන්දා. රවීන් නම් කොයි වෙලේකවත් අයුමිගේ මූණ දිහා කෙලින් බැලුවෙත් නැති තරමයි. ඔහු අයුමි එක්ක තනියෙම මේ ගමන යන්න බලාපොරොත්තු වුණාද කියන එක ඈ දැනගෙන උන්නේ නෑ. ඒත් ඒ ගැන ඉඟියක් වත් ඔහුගෙන් නම් පලවුණෙත් නෑ.
යන ගමන් අයුමි කතා කලේ නැති තරමයි. සමින්දයි, රවීනුයි ඉස්සරහ ඉඳගෙන බිස්නස් ගැනයි, වාහන ගැනයි, රටේ තොටේ වෙන දේවල් ගැනයි කතා කරමින් යන අතරේ රවීන් ඉඳ හිට ඉස්සරහ කණ්ණාඩියෙන් අයුමි දිහා බලන්න අමතක කලේ නැහැ. අයුමි ඒ වග නොදැක්කා වගේ උන්නේ, සමින්දට නිකම් හරි මොනවා හරි ගැන සැක හිතේවි කියන බයක් ඇගේ හිතේ තිබ්බ නිසා.  
සමින්ද මොරටුවෙන් බැස්සාට පස්සේ, අයුමිට ඉස්සරහට යන්න වුණේ රවීන් ඩ්‍රයිවර් වගේ යන එක හරි නැති හන්දා.
"සීට් බෙල්ට් එක දාගන්න" වාහනේ පාරට දාන ගමන් රවීන් කිව්වා.
අයුමි සීට් බෙල්ට් එක දාගෙන ආසනේ හරි බරි ගැහිලා ජනේලෙන් ඉස්සරහ වීදුරුවෙන් පාර දිහා බලාගෙන ආවේ නිහඬවමයි.
'මීටින් එකට ගිහින් කියන ඒවා මතක් කරගන්නවද ඔය?" රවීන් ඇහුවේ ඈ දිහා යන්තම් බලලා.
"ආ...නෑ නෑ" අයුමි ඔහු දිහාට හැරිලා හිනාවුණා.
රවීන් ඈ දිහාට හෙලුවේ දයාබර බැල්මක්. ඒ ඇස් තිබුණේ අයුමි දකින හැමවෙලේකම වගේ හැඟීම් වලින් පිරිලා. මත් වෙලා. ඇයුමිට බිම බැලුණේ ඉබේටම.
"ඔයා දන්නවද...ඔයාට තියෙන්නේ මහා පුදුමාකාර ඇස් දෙකක්" රවීන් ඊට පස්සේ කිව්වා.
"පුදුමාකාර කිව්වේ?" අයුමි ඇහුවා.
"ම්ම්...ඒ කියන්නේ wonderful කියන එක. කතා කරන, තරහා පුරන, පොඩ්ඩ ඇත්නම් කඳුලු පිරෙන, ලස්සන ඇස් දෙකක්" රවීන් කිව්වේ කවියක් කියන්නා වගේ.
අයුමිගේ හිතට සතුටක් දැනුනා ඒ වර්නණාව ඇහුණම. ඒත් ඈ මුකුත් නොකියා වීදුරුවෙන් එපිට බලාගෙන උන්නා.
"ඒත් ඔය ඇස් වලට කඳුලු පිරෙනවට මම ආස නෑ" රවීන් කිව්වේ දයාබර ස්වරයකින්.
"වැඩියක්ම මං හන්දා" රවීන් කියද්දි අයුමි ඔහු දිහාට හැරුණා.
"එදා අර ඔෆිස් arrangement එක ගැන විහිලු කරලා, ඔයා ඇස් රතු කරගත්තම මම සෑහෙන අප්සට් ගියා. තාමත් මට ඒ ගැන දුකයි.මම එදා උදේ වරුවම හිත හිත හිටියේ ඒ ගැන" ඔහු කිව්වා.
" උදේ වරුවම?" අයුමි ඇහුවා.
රවීන් හිස වනලා ලොකු සුසුමක් හෙලුවා.
" ඔව්...හ්ම්ම්ම්මම දන්නෑ...මට දැනුනේ මම අවුරුදු ගාණක් අතීතෙට ගියා වගේ.  අතීතේ මිස මං වෙනුවෙන් හදවතින්ම ඇහැට කඳුලක් ආපු ගෑණු කෙනෙක් වර්තමානේ මට හිටියේ නෑ අයුමි" රවීන් කිව්වේ මොකක්දෝ දුකකින් වගේ කියලා අයුමිට හිතුණා.
"එහෙම කියන්නේ ඇයි?" අයුමි ඇහුවේ ඔහු ගැන දැනුන දුකක් එක්ක.
ඒ පාර රවීන් ඈ දිහා බැලුවේ දයාබර බැල්මකින්.
"ඒක තමයි ඇත්ත. අපේ අම්මා මීට අවුරුදු පහකට විතර කලින් නැති වුණාම මම වෙනුවෙන් අවංකවම දුක් වෙන්න හිටපු එකම කෙනා මට නැති වුණා. තාත්තයි, මායි, අයියයි ඉතිරි කරලා අම්මා යන්න ගියාමට ආදරෙයි කියලා ඉර හඳ දිවුරලා පොරන්දු වුණ අය මාව දාල යන්න ගියා. ඇත්ත කඳුලු වලයි, බොරු කඳුලු වලයි වෙනස තේරුම් ගන්න මට කල් ගියා. ඒකෙන් වුණේ තව ජීවිත දෙකකට කඳුලු ඉතිරි වුණ එක...මගේ ජීවිතේ මම ගෑණු ගොඩාක් ආශ්‍රය කරලා තියෙනවා. ඒ හැමෝගෙම කිඹුල් කඳුලු මම දැකලා තියෙනවා. මගේ හිත හොල්ලන්න කඳුලු වලට බෑ අයුමි... එකපාරක් හිත හොල්ලපු කඳුලමයි, එක දවසක හිත ගල් කලෙත්. ඒත්...ඔයා...ඔයා මගේ හිත ආයෙම හෙල්ලුවා " රවීන් එහෙම කිව්වේ දුකකින්.
අයුමි දැනගෙන උන්නා ඒ කිව්වේ ඔහුගේ බිරිඳ ගැනත් එක්කමයි කියලා. ඈ ගැන ඔහුගෙන් දැනගන්න ඈට ලොකු උවමණාවක් තිබ්බත් ඈට එහෙම කරන්න තරම් හයියක් දැනුනේ නෑ.
"ඔයාගේ ඇස්වල කඳුලු මගේ හිත මේ තරම් සසල කලේ ඒ කඳුලු ඒ තරම්ම අවංක හන්දා. අහිංසක හන්දා. කඳුලු පිරුණේ ඔයාගේ ඇස්වල වුණාට, දුක දැනුනේ මගේ හිතට අයුමි. ඒ බර දැනුනේ මගේ හිතට. ඔයා වචනෙන් නොකියපු ගොඩක් දේවල් ඔය ඇස්වල එවෙලේ මම දැක්කා. උදේ වරුවම නෙවෙයි, සතියක් දෙකක් වුණත් හිත හිත ඉන්න තරම් මගේ හිත ඔයා හෙලෙව්වා "
රවීන් කිව්වේ ගොඩාක්ම හැඟීම්බරව. ඇයුමිගේ දෑස් ආයෙම තෙත් වෙන්න තරම් ඒ වචන බලවත් වුණා. ඈ උන්නේ හොඳටම ගොලු වෙලා, ඈට අහන්න දහසක් ප්‍රශ්ණ තිබුණා වුණත්.
"මං ඇත්තටම දන්නේ නෑ කවද්ද මම ඔයාට මෙහෙම ලං වෙන්න පටන් ගත්තේ කියලා. සමහරවිට ඒක ඔයා ආපු දවසේ ඉඳන්ම වෙන්න ඇති.. ඔයා ඔෆිස් එකේ ඇති කරපු පුංචි පුංචි වෙනස්කම් වල, මා එක්ක එකඟ නොවුණ තැන් වල, මගේ ඩිසයින් වෙනස් කරලා මට තරහා ගිය වෙලාවල පවා මොකක්දෝ දෙයක් තිබුණා මාව ඔයා දිහාට ඇදගත්තු. සමහර වෙලාවල හිතේ පුංචි චකිතයක් නොතිබා නෙවෙයි. ඔයා දැනටමත් වෙන කාගේ හරි වෙලා ඉවර නම් කියලා. එතකොට මට හිතුණා බැරි වෙලාවත් මගේ හැඟීම් දැනගත්තොත් ඔයා මෙහෙන් යන්න යාවි කියලත්...ඔයා දන්නෑ මේ පහුගිය සති දෙක තුනේ සිගරට් පැකට් ගණන් ඉවර වුණා ඒ ගැන මම එච්චර කල්පනා කරපු හන්දා. මම ම දන්නෑ මම හිටියේ මොන ලෝකෙද කියලා ඔයා අසනීප වෙලා ගෙදර හිටපු ටිකේ. එච්චරට මම ඔයා ගැන හිතුවා... ඔයා ඒ හැඟීම තවත් වැඩි කලා කියලා මට හිතෙනවා"
රවීන් කියාගෙන යද්දි අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ හිතේ උපන්න සෙනෙහස හිත පුපුරන්න තරම් වෙද්දි. රවීන් ඈ දිහා බලලා හිනාවක් පෑවේ දයාබරව.
"ඔයා ගැන මම ගොඩාක් දේවල් දන්නේ නෑ ගෙදර විස්තර ටිකක් ඇරෙන්න. මට දැනගන්න ඕනත් නෑ කිසි දෙයක්. මොකද එහෙම දැනගත්තා කියලා මගේ හැඟීම් වෙනස් වෙන්නේ නැති හන්දා" රවීන් කිව්වා.
අයුමිගේ හිතේ සෙනෙහස තව දැඩි වුණා ඒ කතාවට. ඒත් ඈ උන්නේ ගොලු වෙලා. කියන්න දහසක් දේවල් තිබුණත් ඒ කිසි දෙයක් රවීන් ඉස්සරහදි වචනයට නගාගන්න ඈට බැරි වුණා.
"අයුමි..."
"ම්ම්?"
"ඔයා මුකුත්ම කියන්නේ නෑනෙ. මම දන්නෑ ඔයා මං ගැන හිතන්නේ මොනවද කියලාවත්"
අයුමිට පුංචි අපහසුතාවයක් දැනුනා රවීන් එහෙම කිව්වම. ඈට තවමත් රවීන් ඉස්සරහදි තමන්ට ඇත්තටම දැනෙන දේවල් කියාගන්න තරම් හයියක් දැනුනේ නෑ. මොකද තමන් වැඩ කරන්නේ ඔහු යටතේ නේද කියන හැඟීම බලවත් වුණ නිසා.
"මොනවත්ම හිතන්නේ නැද්ද?" රවීන් ඇහුවා.
"ම්ම්...සමහර දෙවල් වචනෙන් කියන්න බෑ. තේරුම්ගන්නයි ඕන" ඈ කිව්වේ හෙමින්.
ඒ පාර රවීන් පුදුම වෙලා වගේ ඈ දිහා බලලා හිනාවක් පෑවා.
"ඔයාට නම් හරිම දාර්ශණික අදහස් තියෙන්නේ"
රවීන් කිව්වම අයුමි හිනාවුණෙත් ඔහු දිහා නොබලා.
එතකොට බැරි වෙලාවත් තේරුම් අරන් තියෙන්නේ වැරදියට නම්?" රවීන් ඇහුවා.
"එහෙම නම් මෙහෙම වෙන්න බෑනෙ"
"ඒ කියන්නේ ඔයාගේ හිතේ ටිකාක් හරි මං ගැන කැමැත්තක් තියෙනවා කියලා මම හිතපු එක හරි?"රවීන් ඇහුවා.
"නෑ.."
"නෑ?? එහෙනම්?"
"ටිකක් නෙවෙයි. ගොඩාක්" අයුමි එහෙම කියලා වීදුරුවෙන් එපිට බලාගත්තේ හිනාවකුත් එක්කමයි.
ඒ පාර රවීන් නිහඬ වුණා මොහොතකට. ඊලඟට අයුමිට දැනුනා ඔහු මුදුවට තමන්ගේ සුරත අල්ලගන්නවා. ඈට ඒ පාර ඔහු දිහා බැලුණේ ඉබේටම.
“That says a lot”
අයුමි ඔහු දිහා බලාගෙන උන්නේ ගොඩක් ආදරෙන්. රවීන් ආයෙම ලොකු සුසුමක් හෙලුවේ හිත සැහැල්ලු කරගන්න වගේ. ඔහු ආයෙම යමක් කියන්න කලින් ඔහුගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා.
"බලන්න කවුද කියලා" ඔහු කිව්වේ ඒ වෙලාවේ සෙනග වැඩිපුර ගැවසෙමින් උන්නු ටවුන් එක මැදට වාහනේ යමින් තිබුණ නිසා.
"තාත්තා කියලා වැටෙන්නේ" අයුමි කිව්වේ ෆෝන් එක අතට අරන් බලන ගමන්.
"තාත්තා? මේ වේලාවේ?" රවීන් ඒ පාර වාහනේ පාරෙන් පැත්තකට අරන් නැවැත්තුවා.

ඔහු නලලත් රැලි කරගෙන ඇමතුම ගනිද්දි අයුමි බලාගෙන උන්නේ මොකක් හරි ප්‍රශ්ණ්යක්ද දන්නේ නෑ කියන සැකෙන්.

No comments:

Post a Comment