"ෂ් ෂ්...අයුමි"
උදේ බස් එකට දුවන වෙලේ පිටිපස්සෙන් එහෙම ඇහුණම අයුමි හැරිලා බැලුවේ ඒ කවුද කියලා.
ඈ දිහාවට දුවගෙන එමින් උන්නේ වෙන කවුරුවත් නෙවෙයි යශෝධ.
ඔහුව දැක්කා ගමන් තනූජා කියපු කතා මතක් වුණත්,
අයුමි ඉක්මණින් ඒ සිතිවිලි හිතින් බැහැර කලේ ඔහුගේ හිනාව දැක්කම.
තනුජා කිව්ව පලියට එහෙම හිතන එක හරි නෑ නේද කියලා ඈට හිතුණා යශෝධ ගැන මොනවත්ම නොදැන.
"ගුඩ් මෝනිං"
අයුමි කිව්වේ හිනාවෙලා.
"ගුඩ් මෝනිං"
යශෝධ හෙමින් හතිලන ගමන් කිව්වා.
"කොහෙද මේ හති දාගෙන දුවන්නේ?"
"ඔයාව අල්ලන්න දුවගෙන ආවේ.
යං යං මාත් බස් එකට යන්නේ"
යශෝධ කිව්වා.
"ඔයා කොහෙද යන්නේ?"
අයුමි ඇහුවේ ඔහු එක්ක ඉස්සරහට පියමනින ගමන්.
"Gall
face. training
නේ"
"ආ..."
අයුමි හිස වැනුවා.
"අද වහින්නත් වගේ එනවා නේ.
මට කුඩේකුත් නෑ"
යශෝධ කිව්වේ අහස දිහා බලලා.
"ම්ම්...හරි ෂෝක්.
අද දැන් කුඩයක් ගන්න වෙයි වැස්සොත්"
අයුමි කිව්වම යශෝධ හිනාවුණා.
"ඒ වගේ තමා පේන්නේ.
ඒක නෙවෙයි කෝ ඔයාගේ යාලුවා වැඩට ගියාද?"
"ඔව් ඔව්.
එයා උදේම යනවා.
මොකෝ එයා ගැන අහන්නේ?"
අයුමි හිනාවක් පාලා ඇහුවා.
"මනුස්සකමටනේ ඇහුවේ.
මේ...අනේ...විකාර නම් හිතන්න එපා"
යශෝධ කිව්වේ උස් හඬින්.
ඒ පාර අයුමිට තවත් හිනා ගියා.
"නෑ නෑ.
මම විහිලුවට ඇහුවේ"
"ආ...ඒක මිසක්කා.
මගේ පෞවත් ගැහෙන්න ගත්තා.
ඔයා මට ගේමක් සෙට් වෙන කතා නේ කියන්නේ"
"විහිලුවට ළමයෝ ඇහුවේ"
අයුමි ආයෙම කිව්වා.
“හරි හරි. ඒක නෙවෙයි, ඔයාට කීයටද වැඩ ඉවර වෙන්නේ?"
"පහට ඇයි?"
"ම්ම්..."
"මොකක්ද?"
අයුමි යශෝධ දිහා බලාගෙන උන්නේ මොනාද කියන්න හදන්නේ කියලා.
"හරි මේකයි.
අද නොහාන්ගේ බර්ත්ඩේ එක.
හවස අපි
පොඩි ට්‍රීට් එකක් දෙනවා. ඔය දෙන්නටත් එන්න පුලුවන් වෙයිද?
අපේ තව යාලුවෝ
දෙන්නෙක් එනවා, ටීම් එකේ ගර්ල්ස්ලා දෙන්නෙක්"
"ආනේ ඇත්තද?
ම්ම්...ගොඩක් හවස් වෙයිද?"
අයුමි ඇහුවේ එහෙම දේකට බෑ කියන එක හරි නැති හන්දා.
"නෑ නෑ.
අපිට හත විතර වෙද්දි එන්න පුලුවන්.
මේ ලඟකට යමු,
දියත උයනට වගේ "
යශෝධ කිව්වා.
"දියත උයන කොහෙද?"
"කෝට්ටෙනෙ...අර Waters
Edge Hotel එක ලඟ තියෙන්නේ"
"ම්ම්...මම තනූගෙනුත් අහලා කියන්නද?
බැරි වෙන එකක් නෑ"
අයුමි කිව්වා.
"OK.
එන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
නොහානුත් හැපි වෙයි"
"හා හා"
අයුමි බස් නැවතුන්මේදි යශෝධගෙන් සමු අරගෙන බස් එකට නැගලා එන්න ආවා.
හිතන්න කිසි දෙයක් තිබුණේ නෑ ඈට,
මොකද හවස් වෙන්න තව ගොඩක් වෙලා තිබ්බ නිසා.
අයුමි ඔෆිස් එකට යන්න පාර දිගේ ඇවිදගෙන
යද්දි ඈත තියාම ඇගේ ඇහැ ගැටුනේ ඔෆිස් එක පැත්තේ ඉඳන් ආපු රවීන්ගේ වාහනේ පාරට
දානවා. ඒත් ඒක ඇදුනේ බම්බලපිටිය පැත්තට හන්දා අයුමි ඒකේ ඇතුලේ උන්නේ කවුද කියලා
දැක්කේ නැහැ.
අයුමිගේ හිතේ ඇතිවුණේ කුකුසක්. ඒ පාර ඈ
ඔෆිස් එක දිහාට පය ඉක්මණ් කලා.
"ගුඩ් මෝනිං මැඩම්..." අයුමි
යද්දිම ලොබි එකේ ඉඳලා එහෙම කිව්වේ හසිකා.
"මෝනිං අනේ...ප්‍රියා ආවේ නෑ තව?"
අයුමි එහෙම අහගෙනම ගියේ ඇඟිලි සලකුණ තියන්න.
"ආවා...මේකප් දාන්න ගිහින්" හසිකා
කිව්වේ හිනාවක් පාලා.
අයුමිත් පිලිතුරු හිනාවක් පාලා උඩ
තට්ටුවට එන්න ආවා. තමන්ගේ කාමරේට යන්නත් කලින්ම අයුමි කලේ ගිහින් රවීන්ගේ කාමරේට
එබුණ එක. කාමරේ ලයිට් එකයි, AC එකයි දෙකම දාලා තිබුණා. මේසේ උඩ රවීන්ගේ උදේ
කෑම එකයි, ඇරපු ලැප් ටොප් එකයිත් එහෙමම තිබුණා. ඒ
පාර අයුමිට හිතුණේ රවීන් මොනා හරි අමතක වෙලා ඒක ගේන්න ගෙදර ගියා වෙන්න ඇති කියලයි.
අයුමි බලාපොරොත්තුවෙන් උන්නත්
අන්තිමේදි රවීන් ඔෆිස් එකට එද්දි උදේ එකොලහත් පහු වෙලා තිබුණා. ඔහු එනකල් බල බල
උන්නු අයුමි ඒ වෙද්දි නම් හිටියේ නොසන්සුන් වෙලා. රවීන්ට කෝල් කරන්න ඕන කියලා
හිතුණත් ඔහු වැදගත් වැඩකවත්දෝ කියලා හිතලා ඈ කතා කලෙත් නැහැ. ඒ ගැන හිත හිත ඉන්න
වෙලෙයි, හෙමින් දොරට තට්ටු කරලා රවීන් අයුමිගේ
කාමරේට එබුණේ. මුලින්ම ටිකක් ගැස්සුනත් ඊලඟ මොහොතේ ඇගේ හිතට දැනුනේ සැනසීමක්.
අයුමි පුටුවෙන් නැගිට්ටේ ඔහු ඒවි කියලා
හිතලා ඇතුලට. ඒත් ඔහු ආවේ නෑ.
"ඔයා කීයටද ආවේ?" රවීන් ඇහුවේ දොර ලඟම හිටගෙන.
"වෙනදා වෙලාවටම තමා. මම එද්දි දැක්කා
වාහනේ යනවා" අයුමි කිව්වා.
අයුමි දිහා බලාගෙන උන්නු රවීන් ඒ පාර
අහක බලාගෙන හීන් සුසුමක් හෙලුවා.
"ම්ම්...
ඔව්, මට එලියට යන්න වුණ හදිසියේම. හරි.
ඔයා වැඩ කරන්න. පස්සේ කතා කරමු" රවීන් එහෙම කියාගෙන දොරත් වහගෙන යන්න ගියේ
අයුමි ආයෙම මොනවත් අහන්නවත් කලින්.
ඈට හිතාගන්න බැරි වුණා ඇයි රවීන් එහෙම
හැසිරුණේ කියලා. ටිකක වෙලා කල්පනා කරලා ඈ අන්තිමේදි කාමරෙන් එලියට ආවේ රවීන්ගේ
කාමරේට යන්න. රවීන්ගේ කාමරේ දොර ලඟදි ඇගේ හිත තරමක් පැකිලුනත්, රවීන්ගේ අමුතු හැසිරීම හිතට එක් කරපු වදේ ඊට
වඩා බලවත් වුණා. කාමරේ ඉස්සරහ පාටිෂන් එකේ උඩ වීදුරු ඇතුලෙන් කවර් කරලා තිබුණ නිසා
අයුමිට පෙනුනේ නෑ ඔහු මොකද කරන්නේ කියලත්. ඒත් හිතට දිරි අරන් ඈ කාමරේ දොර ට තට්ටු
කලා. කාමරේ ඇතුලේ සර බර සද්දයක් එක්කම ටිකකින් දොර ඇරියේ රවීන්මයි කවදාවත් නැතුව.
අයුමි කෙලින්ම බලාගෙන උන්නේ රවීන්ගේ
දෑස් දිහා. ඒ ඇස්වල තිබුනේ ප්‍රශ්ණාර්ථයක්.
"අයුමි?"
"ඇතුලට එන්නද මම?" ඈ ඇහුවා.
රවීන් ඒ පාර දොර ලඟින් මෑත් වෙලා ඈට
එන්න ඉඩ දුන්නා. ඇතුලට ගිහි අයුමි හැරිලා බැලුවා දොර ලඟ ඉඳන් ආපහු එමින් උන්නු
රවීන් දිහාව. ඔහු උන්නේ මොකක්දෝ වෙනම කල්පනාවක වගේ.
"ඉඳගන්න...මොකක්ද කාරණේ?" මේසේ අසලට යන ගමන් රවීන් ඇහුවා.
ඒත් අයුමි ඉඳගත්තේ නෑ. ඈ රවීන් දිහාම
බලාගෙන උන්නා ඔහු මේසේ අසලින් ඉඳගන්නකනුත්.
"ඉතිං කියන්න ළමයෝ" රවීන් ඈ දිහා
පුදුමෙන් වගේ බලලා කිව්වා.
අයුමිගේ හිත හීන්වට රිදුනා හේතුවක්
නැතුවම.
"ඔයා අද වෙනස්" අයුමි කිව්වේ
චෝදනාමුඛයෙන්.
රවීන් ඈ දිහා ටික වෙලාවක් බලාගෙන උන්නේ
ඒ කිව්ව එක නොතේරුණා වගේ.
"ඇයි ඒ එහෙම කියන්නේ?" ඔහු ඊලඟට ඇහුවා.
"මට එහෙම තේරෙනවා"
අයුමි දිහා තව මොහොතක් බලාගෙන උන්නු
රවීන් හිස වැනුවා.
"එහෙම එකක් නෑ"
"මට එහෙම දැනෙනවා" අයුමි කිව්වා.
"අයුමි ප්ලීස්... මොනා
හරි අහන්න ආවා නම් අහන්න. නැත්තම් පිස්සු දේවල් හිතන්නැතුව ගිහින් වැඩ කරන්න"
රවීන් කිව්වා.
රවීන් දිහා දෑස් දලවගෙන බලාගෙන උන්නු
අයුමිගේ හිත ඒ වචන තවත් රිද්දුවා. ඈ බිමට නෙත් යොමාගත්තේ ඒකයි.
"අයෑම් සොරි" අයුමි එහෙම කියාගෙන
එන්න හැරුණේ උගුරේ මොකක්දෝ ලොකු ගුලියක් හිර වෙනවා වගේ දැනෙද්දි.
ඒ එක්කම ඈට ඇහුනා රවීන් පුටුව ඇදගෙන
මේසේ ලඟින් නැගිටිනවත්. ඒත් ඈ ආපහු හැරිලා බැලුවේ නෑ.
"අයුමි..." දොර ලඟ දි රවීන් ඇගේ අතකින් අල්ලගත්තම ඈ නැවතිලා ආයෙම
ඔහු දිහාවට ටිකක් ඇදිලා නැවතුනා. ඒත් ඈ උන්නේ ඔහු දිහා නොබලා.
"ඔය හිත රිද්දගෙනද යන්නේ?" රවීන් ඇහුවම අයුමි හිස වනලා නෑ කිව්වා බොරුවට. 'හිත රිදුන වග දැන දැනත් අහන හැටි' කියලා ඈට හිතුණා.
"මේ අහන්න..." රවීන් අයුමිව අතින්ම
අල්ලාගෙන ඔහුගේ පැත්තට හරවගත්තා.
"මේ දවස්වල මගේ හිත කලබලයි...පොඩ්ඩක්
තේරුම් ගන්න" රවීන් කිව්වා.
"කොහොමද?" අයුමි ඇහුවේ ඔහු දිහා බලන ගමන්.
"මොකක්ද?"
"මොනවත්ම නොදැන තේරුම්ගන්නේ?"
රවීන් ඒ පාර නිරුත්තරව ඈ දිහා බලාගෙන
උන්න මොහොතක්.ඊට පස්සේ සුසුමක් හෙලලා ඇගේ අත අතෑරියා.
"උභතෝකෝටික ප්‍රශ්ණ අහලා මගේ ඔලුව තවත්
අවුල් කරන්න එපා ප්ලීස්..."
අයුමිගේ හිත ආයෙම පෑරුණා.
"මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි මට කියන්න බැරි?" අයුමි එආ පාර උන්නේ නො ඉවසිලිමත් වෙලා.
"අයුමි...ප්ලීස්...මට මගේ ප්‍රශ්ණ
විසඳගන්න දෙන්න. මේක ඔයාට අදාල නෑ...මේක මගේ පෞද්ගලික දෙයක්" රවීන් එහෙම
කිව්වම අයුමි තිගැස්සුනා.
'පෞද්ගලික' එච්චරයි ඇගේ හිතේ රැඳුනේ. රවීන් දිහා අදහාගන්න බැරිව වගේ බලාගෙන
උන්නු ඈ අන්තිමේදි බිමබලාගත්තා.
"සොරි...මම ඒක දැනං හිටියේ නෑ..."
ඈ කිව්වේ හෙමින්.
"අයුමි..." ඒ පාර රවීන්ගේ හඬ
තිබ්බේ මුදු වෙලා.
"මම යන්නම්" අයුමි එහෙම කියලා දොර
ඇරගෙන එලියට එද්දි රවීන් ආයෙම කතා කලා.
"අයුමි..." ඒත් ඈ පස්ස නොබලම දොර
වහගෙන එලියට ආවා. ඈ තව අඩියක්වත් ගන්න කලින් රවීන්ගේ කාමරේ ඇතුලෙන් ඇහුණේ මොකක්දෝ
වීදුරු බඩුවක් පොලවේ ගහන සද්දයක්. ඒ සද්දෙට අයුමිගේ ඇඟ හිරි වැටිලා ගියා වගේ. ඒත්
ආපහු හැරෙන්නවත් බැරි තරමට ඈ උන්නේ ගල් ගැහිලා.
"මොකක්ද බං ඒ සද්දේ?" ඒ එක්කම කොන්ෆරන්ස් රූම් එක පැත්තෙන් මතු වුණේ
සමින්දගේ හඬ. අයුමි එතන නොනැවතී තමන්ගේ කාමරේට දුවලා එන්න ආවේ සමින්දලා තමන්ව එතන
දැකලා තවත් ප්‍රශ්ණයක් ඇති වෙන්න කලින්.
කාමරේ ඇතුලට ඇවිත් දොර වහගනිද්දිත්
අයුමිගේ කම්මුල් තිබුණේ තෙමිලා. ඊට පස්සේ ගෙවුණ පැයක් විතරම ඈ කලේ බාත් රූම් එකට
වැදිලා අඬපු එක. රවීන්ගේ හැසිරීම ඇගේ හිතට එක් කරලා තිබුණේ ඈට දරාගන්න අමාරු තරම්
දුකක්. ඒ තමන් මහා හුඟක් හිතින් ඔහුට බැඳිලා උන්නු නිසා නේද කියලා ඈ කල්පනා කලෙත්
කඳුලු අතරින්මයි.
ඔයා දවසින් දවස කුතුහලේ වැඩි කරනවා
ReplyDeleteඔය තරම් ඉක්මනට වෙනස් වෙන කෙනෙක්ද? ජීවිතේ හැමදාමත් ඔය වගේ වුනොත් අනේ පව් අයුමි.
ReplyDeleteරවීන් අයුමිගෙ ඔලුවට එයාගෙ කරදර දෙන්න කැමති නෑ වගේ.
ReplyDeleteආන්න...ඔයාට තමා ඒක හරියටම තේරුණේ. :)
Delete