"ඔයා මේ ලඟකදි ඉඳලා හරි සයිලන්ස් වෙලා
අයුමි. වැඩිය කතා බහකුත් නෑ. ආව ගමන් ඇඳේ එහෙම නැත්තම් ෆෝන් එකේ. මගෙන් මොනා හරි
වරදක්වත් වුණාද?"
රෑ කෑම ගන්න බෝඩිමේ පහල තට්ටුවට යන
අතරේ එහෙම ඇහුවේ තනූජා. ඇගේ ප්‍රශ්ණේ අයුම්ගෙ හිත තුල ඇති කලේ තිගැස්මක් එක්කම
කනස්සල්ලක්. මේ ටික දවසට තමන් එච්චර වෙනස් වෙලාද කියලා ඈටම හිතුණා.
"ආනේ...මොනා තනූ ඔයා මේ කියන්නේ. එහෙම
එකක් නෑ. ඔයාගෙන් මට උදව්වක් මිස වරදක් වෙලා නෑ කවදාවත්" ඈ කිව්වේ තනූජගේ අතකිනුත්
අල්ලගෙන.
"ම්ම්...නෑ ඒත් මම හිතුවා ඔයා ඉන්න
විදියට එහෙම මොකක් හරිවත්ද කියලා. එහෙම එකක් නෙවෙයි නම් ෂුවර් එකටම මේක මොකක් හරි
පැණි කාරණයක් වෙන්න ඕන" තනූජා කිව්වා.
අයුමි හිනාවක් ගියත් ඒ එක්කම සුසුමකුත්
හෙලුණා. එක අතකට හිතේ තෙරපෙන දේවල් වලින් එක දෙකක් හරි තනූජට කියන එක වරදක් නෑ
කියලා ඈ හිතුවා. මොකද ටිකක් කට සැර වුණත් තනූජා කියන්නේ හිත හොඳ, අවංක කෙල්ලෙක් වග ඈ දැනගෙන උන්නු නිසා.
"අනේ මන්දා තනූ" අයුමි අන්තිමට
කිව්වේ ඒකයි.
"මොකෝ කොල්ලෙක්වත් පස්සෙන් එනවද?
ෂුවර් එකටම අර යෂෝධ වෙන්න ඇති" තනූජා කිව්වේ උද්යෝගයෙන්.
"පිස්සුද?"
"පිස්සු නෙවෙයි. එදා සිකුරාදා හවස මට
පොරව හම්බවුණා. ඔයා ගැන තමයි මුලින්ම ඇහුවේ. මම නම් කියන්නෙ එයා ඔයාට ට්‍රයි
අයුමි. මූණ බැලුවම තේරෙනවා" තනූජා රහසින් වගේ කිව්වේ දැන් දෙන්නම පාත සාලේ
උන්න නිසා.
ඒ එක්කම වගේ ඇරලා තිබ්බ දොරෙන් මතු
වුණේ යශෝධයි, නොහානුයි.
"බුදු අම්මේ ඔලුවේ පණ තියෙනකල් මැරෙන්නේ
නෑ" අයුමිගෙ අතක් අල්ලගෙන නතරවුණ තනූජා කිව්වේ පුදුමෙන්.
"හා...කොහොමද?"
කෙල්ලෝ දෙන්නව දැක්කම හිනා මලක් පිපිලා
තිබුණා කොල්ලෝ දෙන්නගෙම මූණු වල.
"කොහොඹත් නික වගේ තමයි...ඉතිං?"
එහෙම කිව්වේ තනූජා.
අයුමි යශෝධ දිහා බලලා හිනාවක් පාද්දි
ඔහු උන්නෙත් ඈ දිහා බලාගෙන.
"කාලෙකින් දැක්කේ" අයුමි කිව්වා.
"ඔව් නේ. අපි ගිය සතියේ හිටියේ Trinco. training.
සිකුරාදා ආවේ. ඉතිං කොහොමද?" යශෝධ
ඇහුවා.
"හොඳයි...මොනා වෙන්නද" අයුමි උත්තර
දුන්නා.
"මොකක්ද බං උඹ මේ අවුරුදු පහක්, හයක් ඈත ගිහිල්ලා උන්නු ගානට නේ කතා
කරන්නේ" නොහාන් කිව්වේ සරදමට වගේ.
"සමහරවෙලාවට එහෙම දැනුන ද දන්නේ
නෑ" තනූජත් වදේ ගැහුවා.
"ඔව්...ඉතිං ඒවා කියන්න බෑ"
යශෝධ එහෙම කිව්වම, අයුමිට දැනුනේ ලැජ්ජාවක් එක්කම අපහසුතාවයක්.
මොකද ඒ අස්සේ නොහානුයි, තනූජයි හක හක ගලා හිනාවෙන්නත්
තියාගත්තනේ.
"ආ...මං මේ බැලුවා කවුද කැකිරි පලන්නේ
කියලා" ඒ අතරේ බෝඩිමේ ඇන්ටිත් එබුණා සාලෙට.
ඒ පාර කට්ටිය ටිකක් නිහඬ වෙලා කෑම ගන්න
දිහාවට ගියා.
"දැන් කවද්ද ඔයාලගේ කෝස් එක ඉවර වෙන්නේ?"
බත් එක අරන් එන අතරේ තනූජා එහෙම ඇහුවේ
නොහාන්ගෙන්.
"කෝස් එකේ දැන් almost ඉවරයි. මේ එන සතියේ
ඉඳන් අපි ට්‍රේනින්. අපි දෙන්නම වැටුනේ Cinnamon chain හොටෙල්ස් වලට. මූ Grand. මම
Lakeside. F&B section" නොහාන් කිව්වා.
"ෂා මරුනේ" තනූජා කිව්වා.
"හ්ම්ම්...ටික දවසක් යද්දි මරු
තමා" නොහාන් කිව්වා.
"කොහොමද වැඩ එහෙම?" ඒ දෙන්නගේ කතාව යන අතරේ යශෝධ හෙමින් ඇහුවේ
අයුමිගෙන්.
"වරදක් නෑ" අයුමි කිව්වේ ඔහු දිහා
නොබලා.
"ගෙදර ගියාද?" ඒ ඔහුගේ ඊලග ප්‍රශ්ණේ.
"ඔව්. අද උදේ ආවේ"
"එහෙනං අපි යන් නේ මචං" යශෝධ ආයෙම
මොනවදෝ අහන්න කට හදද්දි නොහාන් ඇහුවා.
"ආ....හා, යමු යමු" යශෝධ කිව්වේ කලබලෙන් වගේ.
අයුමි ඒ පාර ඔහු දිහා බැලුවේ හොරෙන්. ඒ
ඒ මොහොතෙම ඔහු ඈ දිහා බැලුවා.
"ගුඩ් නයිට් අයුමි...තනූජා ගුඩ්
නයිට්"
"ගුඩ් නයිට්" අයුමියි, තනූජයි දෙන්නටම අත වනලා කිව්වා. අයුමි දිහා තව
එක පාරක් හිත සසලකරවනසුලු බැල්මක් හෙලපු යශෝධ එලියට බැහැලා යන්න යද්දි තනූජා
අයුමිගේ අතක් හෙමින් කෙනිත්තුවා.
"ඌයි තනූ"
"පව් හලෝ...කොල්ලා බල බල යනවා"
අයුමි හිස වනලා එන්න ආවා තනූජට
කලියෙන්.
"මොකක් හරි කොස්සක් තියෙනවා වගේ කොල්ලගේ
හිතේ අයුමි" තනූජා කිව්වේ කාමරේට ඇවිත්.
"කරන්න දෙයක් නෑ. පරක්කු වැඩියි"
අයුමි බත් එක මේසේ උඩින් තියලා කන්න ලෑස්ති වෙන ගමන් කිව්වා.
"ආ...එහෙමද? එතකොට දැන් ඉස්සර වුණ කෙනෙකුත් ඉන්නවා ඈ?"
තනූජා ඇහුවම අයුමිට හිනා ගියා.
"ම්ම්" අන්තිමේදි ඈ ඒක පිලිගත්තා.
තනූජගේ ඇස් පිඟාන තරම්ම ලොකු වෙන්න ඇති.
"ඒයි...සීරියස්ලි? කවුද අනේ, ඔෆිස් එකේද, බස් එකේද, ගමේද?" තනූජා ඇහුවේ කෑම එක පැත්තක තියලා.
"එහෙම ඕන නෑනෙ. ඉන්නවා කියලා හිතාගන්නකෝ"
අයුමි කිව්වේ හිනාව අමාරුවෙන් වලකගෙන.
"ඒයි මොකක්ද අයුමි කියන්නකෝ"
"කියන්න තරම් තාම දෙයක් නෑ. ලඟදි තමා
සේරම වුණේ"
"ඕ...ඒ කියන්නේ ගමේ වෙන්න බෑ වගේ"
"ගමේ නෙවෙයි, කොලඹ"
"කොහෙද වැඩ කරන්නේ?"
"ඉතිං ඒක වැඩක් නෑනෙ"
"එහෙම නෙවෙයි, හදිසියකට හොයාගෙන ගිහිල්ලා ගහන්න හරි තැන දැනගන්න එපැයි"
තනූජා කිව්වම අයුමිට හිනා ගියා.
"බත් එක කන්නකෝ දැන්" අයුමි ඊලඟට
කිව්වා.
"කන්න නම් කොයි වෙලේ බැරිද?"
එහෙම කියන ගමන් තනූජා බත් එක අතට ගත්තා.
"ඉතිං කියන්න කොහෙද වැඩ කියලා"
"අපේ ඔෆිස් එක ලඟ" අයුමි මොකක්දෝ
හේතුවකට බොරුවක් කිව්වා.
"හැන්ඩිද?"
තනූජා ඇහුවම අයුමි හිනාවුණේ රවීන්ව
මතක් කර ගනිමින්.
"ඔව්...හරියට අර්ජුන් රාම්පාල්
වගේ" අයුමිට එහෙම කිව්වේ පුංචි ආඩම්බරේකින්.. ඒත් පස්සෙදි හිතුණා අපරාදේ එහෙම
කිව්වේ කියලා.
"දතක්ද?"
"ඒ කිව්වේ?"
"අයියෝ...යමක් කමක් තියෙන කෙනෙක්ද?
අඩු ගානේ බයිසිකලයක්වත්?"
"ඔව් ඔව්"
"ආ...එහෙනම් කමක් නෑ. මොනා තිබ්බත්
වැඩක් නෑ අද කාලේ කන්න අඳින්න දෙන්නයි, වාහනේකුයි
නැත්තම්. ඔයා හැබැයි මොලේ පාවිච්චි කරලා තියෙනවා නේ?"
තනූජා ඇහුවම අයුමිගේ හිතට පිවිසුනේ
පුංචි බරක්. රවීන් ගැන ඇත්තම දැනගත්තොත් ඈ මොලේ පාවිච්චි කිරිල්ල ගැන මොනා කියාවිද
කියලා අයුමි හිතුවා.
"අනේ මන්දා...හිත යන්නේ ඒවා බලලා
නෙවෙයිනේ තනූ" අයුමි කිව්වා.
"ආ...අන්න ඒවගේ වෙලාවට තමයි කියන්නේ ආලය
අන්ධයි කියලා. මොනවත් පේන්නේ නෑ. අන්ධ වුණාට නම් කමක් නෑ, මෝඩ වෙන්න හොඳ නෑ" තනූජා කිව්වේ බත් එක
අනන ගමන්.
අයුමි ඒ පාර කන්න අනපු කට එහෙමම
කියාගෙන කල්පනාවට වැටුණේ තමන් මේ කරන්නේ මෝඩ වැඩක්වත් ද කියලා හිතමින්.
"මොකක්ද ඉතිං ඔය වාසනාවන්තයගේ නම?"
තනූජගේ ඊලඟා ප්‍රශ්ණේ වුණේ ඒක.
අයුමි ටිකක් කල් ගත්තා ඒ ප්‍රශ්ණෙට
උත්තර දෙන්න. ඈට රවීන්ගේ නම කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. අනික් අතට නොකියා ඉන්න එක යාලුකමට හරි නෑ කියලා
ඈට හිතුණා. ඒත් බොරුවක් කියන්න ඈට කටට ආවෙත් නෑ.
"කාශ්‍යප" ඈ ඉක්මණින් හිතුවත් කටට
ආවේ ඒ නම.
"කාශ්‍යප? සීගිරි කාශ්‍යප ද? ඒක හරි අමුතු නමක් නේ" තනූජා එහෙම
කිව්වම අයුමි ඈ දිහා යන්තම් රවලා බැලුවා.
"හානේ සොරි සොරි. මට කියවුණා. තරහා ගන්න
එපා ඉතිං" තනූජා ආයෙම කිව්වා.
අයුමි සුසුමක් හෙලුවේ මොකක්දෝ අහේතුක
නොසන්සුන්කමක් හිතේ පැතිරිලා තිබුණ නිසා.
"ඒකත් ජයසිරි මංගලම් එහෙනම් ඈ? හයියෝ...පව් අර යශෝධ" තනූජා කිව්වා ඒ
අතරේ.
"පව් නම් ඉතිං ඔයා ගන්නකෝ"
"මට මේ ඉන්න එකත් වැඩි වෙලා ඉන්නේ. තව
ගන්න අමාරුයි" තනූජා කිව්වේ හිනාවෙවී.
ඒ හන්දම ඈට කෑමත් පිට උගුරේ ගියා.
අයුමි දනි පනි ගාලා පැනලා පිටට ගහලා වතුර එකක් දෙද්දි කැහැ කැහැත් තනූජා උන්නේ
හිනාවෙමින්.
"මේක බොන්න. ආයෙම පිට උගුරේ යනවා දැන් ඔන්න"
"මම එහෙම කිව්වා කියලා ඔයාගේ ලොක්කයියට
එහෙම කියන්න එපා හරිද?"
අන්තිමේදි තනූජා ලඟට ලංවෙලා එහෙම
කිව්වම, පිට උගුරේ යන්න ආවේ අයුමිට. ඈ ඇස්දෙක
ලොකු කරගෙන තනූජා දිහා බැලුවා. තනූජා ඇහැක් ගහලා හිනාවෙද්දි, අයුමි අන්තිමේදි දැනගත්තා තමන්ට මේ බෝඩිම
හම්බවෙන්න මග පෑදුනේ කොහොමද කියලා.
"අපි යාලුවෙලා දැන් අවුරුදු දෙකක් විතර
වෙනවා"
පාරේ ලයිට් එකෙන් එලියෙන් යන්න්තම්
එලියවුණ කාමරේ අඩ අඳුර අතරින් තනූජගේ කටහඬ අයුමිට ඇහුනා. අද අඳුරේ අයුමියි,
තනූජයි දෙන්නම දෙපැත්තේ ඇඳන් දෙකට වෙලා මූණෙන්
මූණ බලාගෙන හැරිලා උන්නේ. එකොලහ වෙද්දි බෝඩිමේ ලයිට් ඕෆ් කරන්න ඕන වුණ නිසා මිසක
දෙන්න ඇඳට වෙලා උන්නේ නිදිමතේ නෙවෙයි.
"හානේ...මේ මනුස්සය මට නිකමටවත් කිව්වේ
නෑනෙ" අයුමි කිව්වා.
"එයා එහෙමනේ ඉතිං. හරී ලැජ්ජයි. ඒත්
සාන්තුවරයෙක් වගේ හරි හොඳයි. වගකීමක් හිතට ගත්තම ඒක හරියටම කරන්න උත්සාහ කරන්වා.
ඔයාව බලාගන්න එක වගේ..." තනූජා කිව්වා.
"ම්ම්...ඒක නං ඇත්ත. එයා අපේ මාමා වගේ.
හරියට අනුන් ගැන හිතනවා. පොඩි කාලේ ඉඳන්ම අපට හරි එකතුයි. අපේම අයියා වගේ එයා අපට.
ඔයා එයාගේ හිත කවදාවත් රිද්දන්න එපා තනූ" අයුමි කිව්වේ හැගීම්බරව.
"පිස්සුද අයුමි. හීනෙකින් වත් එහෙම
දෙයක් වෙන්නේ නෑ. ඒ වගේ මිනිස්සු අද ලොකේ හරි අඩුයි. අපේ අම්මත් එයාට ඒ තරම්ම
කැමති ඒකයි. ඒත් එකම ප්‍රශ්ණෙකට තියෙන්නේ තාමත් එයාට ඔයාලගේ මාමලට මේක කියාගන්න
බැරි වෙලා තියෙන එක" තනූජා එහෙම කියලා හීන් සුසුමක් හෙලුවා.
"ඇයි ඒ?"
"අනේ මම දන්නේ නෑ අයුමි. නංඟිලා දෙන්නම
තාම ගෙදර ඉන්න හන්දා කියලා තමා කියන්නේ"
"ම්ම්...සමහරවිට ඒක වෙන්න ඇති හේතුව.
අපෝ කොහොමත් ඔයා එයාගේ ලොකු නංඟි කවුරුහරි බැඳලා යනකල්ම ඉඳලා යන එක තමා හොඳම.
එයා මහා එපා කරපු බඩ්ඩක්. අමාලි නම් එහෙම නෑ"
තනූජා යන්තම් හිනාවුණා.
"ඔව්, මට භානුක කියලා තියෙනවා හිමාලි ගැන. මම නම් එයාට බය නෑ"
"බය නෙවෙයි තනූ. නිකං
ජුගුප්සාජනකයි...එපා වෙනවා"
"එහෙමද?
ම්ම්...අනේ මන්දා. මමත් ඉතිං ඉන්නවා භානුක කියන
එක අහගෙන. බලමුකෝ" තනූජා අන්තිමට එහෙම කිව්වා.
අයුමිට හිතුණා නොකිව්වට මොන මොනාහරි ප්‍රශ්ණ
තනූජයි, ලොක්කයියයි අතරේ ඇති කියලා ගෙවල්වල
අදහස් උදහස් නිසා. ඒත් ඈ ඒ ගැන හාරාවුස්සන්න ගියේ නෑ. කොහොමවුණත් අන්තිමේදි අයුමිට
තනූජා ගැන දැනෙමින් තිබ්බ ලෙන්ගතුකම වැඩිවෙලා දැනුනා. මොකද ඈ දැන් තමන්ගෙම පවුලේ
කෙනෙක් වගේ නිසා.හැබැයි ඉතිං පරහකට තිබ්බෙත් ඒ නෑදෑකමම තමා.
"තනූ..."
"ම්ම්"
"ලොක්කයියට මගේ මොනවත් ගැන කියන්න එපා
දැන්ම හොඳද? අපේ ගෙදරින්වත් කිසි කෙනෙක් තාම මොනවත්
දන්නේ නෑ. ඔයා විතරමයි මේ හැමදේම දන්නේ. වෙලාව එනකල් මුකුත් කියන්න එපා"
අයුමි කිව්වා.
"හා හා. බයවෙන්න එපා. මං කියන්නේ නෑ. මම මේවා කිව්වා කියන්නත් එපා. එයාම ඔයාට කියනකල් ඉන්න එක තමා හොඳ" තනූජත් කිව්වේ එහෙම.
"ම්ම්...හරි තනූ...ගුඩ් නයිට්"
"ගුඩ් නයිට්"
ලස්සනයි
ReplyDeleteඅනේ අද රවීන් නෑනෙ 😕
ReplyDeleteරවින් ගැන නැති නිසා කතාව කියෙව්වාට දැනුනේ කියෙව්වේ නෑ වගේ.
ReplyDeleteSeems i am not alone :D
Deleteකට්ටියටම රවීන්ව නොසෑහෙන්න හිතට අල්ලලා වගේ :)
ReplyDelete