Wednesday, July 22, 2015

විහංඟනාවී- විසිඅටවන කොටස



"ඔන්න මම නොකිව්වයි කියන්න එපා පොඩි පුතේ..." අම්මා මල්ලිට උදේ පාන්දරම බැන බැන කුස්සියට එද්දි අයුමි උන්නේ කුස්සියේ.
ලිපට දර දම දම උන්නු හැරිලා බලද්දි අම්මා උන්නේ තරහෙන් මූණ රතු කරගෙන.
"මොකද අම්මේ?" අයුමි ඇහුවේ අම්මා කලින්දා රෑත් නිදාගත්තෙත් මල්ලිට බැන බැන හන්දා.
"අද ඇවිල්ලා යාලුවෝ රොත්ත බලලා යන්න"
""ඉතිං බලලා යන්න ආවම අම්මා පරල වෙන්න ඕනද? පිට ළමයිනේ. අනික අපේ එක්කෙනාගෙත් වැරැද්දනේ"අයුමි කිව්වා.
මල්ලි සිකුරාදා හවස ක්ලාස් ගිහින් යාලුවෙක්ගේ මොකක්දෝ හුටපටේකට පැටලිලා ගුටි ඇනගෙන ටිකක් මූණ හෙම උදුම්මගෙන උන්නු හන්දා අම්මා උන්නේ තරහින් වග අයුමි නොදැන උන්නා නෙවෙයි.
"වැරදි වෙන්නේ නරක යාලුවෝ ආශ්‍රය කලාම. පරල වෙන්න නෙවෙයි ඉලපත අතට ගන්නයි වටින්නේ"අම්මා කිව්වා.
"අනේ අම්මේ කෑ ගහන්න එපා. කවුද අර දසුනුත් ඇවිල්ලද?" අයුමි ඇහුවේ ගවුමට උඩින් ඇඳගෙන උන්නු ඡීත්තේ ගලවලා සාලෙට දිහාට යන්න සැරසෙන ගමන්.
"කොහේ එන්නද? දෙන්නටමනේ වැදිලා තියෙන්නේ. මෙලහකට ගෙදර ඉඳන් පත්තු බඳින්න වෙලා වෙන්නෑ අපේ උන්දැට වගේ"
ඒ පාර අයුමි කුස්සියෙන් ඇවිත් සාලෙට එන්න ආවේ කවුද ඇවිල්ලා ඉන්නේ බලන්න. ඇහැකුත් නිල්පාට වෙලා, තඩිස්සි වෙලා තිබුණ මල්ලිගේ මූණේ පැත්තක් අයුමිට පෙනුනා සාලේ ඔහුව වට කරෙගෙන උන්නු යාලුවෝ හතර පස් දෙනා මැදින්. අයුමි යද්දි ඒ අය හැරිලා බලලා අහිංසක හිනාවක් පෑවේ මොනවත්ම නොදන්න ගාණට.
"කට්ටිය කුකුලත් අතින් අරන්ම යාලුවා බලන්න ඇවිත් තියෙන්නේ" අයුමි කිව්වෙත් පුංචි හිනාවක් පාලා.
"ඔව්. ක්ලාස් යන්න කලින් එන්න ඕන වුණා. අක්කා ඊයෙද ආවේ?" එහෙම ඇහුවේ මල්ලිගේ ලඟම යාලුවෙක් වුණු තුසිත්.
"ම්ම්....ඔව්. ඒක නෙවෙයි, කොහොමද දැන් ගුටි ගහගත්තු අනික් අයට?" අයුමි ඇහුවේ මල්ලි ලඟින් වාඩි වෙමින්.
ඒ පාර කොල්ලෝ රොත්ත මූණෙන් මූණ බලාගත්තේ ලැජ්ජාවෙන් වගේ.
"දසුන්ට තමා ටිකක් අමාරු. එයාගේ වැලිමිට fracture වෙලාලු. අනික් දෙන්නට ඉතිං මෙයාට වගේම තමා" තුසිත්ම උත්තර දුන්නා.
"මොකද ඇත්තටම වුණේ?" අයුමි ඇහුවේ මල්ලි දිහාත් බලලා. "මොකක් හරි කෙල්ලෙක්ගේ කේස් එකක්ද?"
"අනේ මේ...පුලුවන් නම් අම්මට ඇහෙන්න කියන්න. මගේ අනික් ඇහැත් නිල් වෙන පොටක් ඔන්න. මට අදාල නෑ ඔය කෙලි කේස්" එක පාරම පැනලා කිව්වේ අයුමිගේ මල්ලි.
ඒ පාර යාලුවෝ එහෙන් මෙහෙන් හිනාවක් පෑවා.
"කියන්නකෝ මොකද වුණේ කියලා"
"නෑ අක්කේ මේ හිරුණගේ මොකවත් නෙවෙයි. මේ දසුනගේ කෙල්ලගේ ප්‍රශ්ණයක්. ඒ කෙල්ලට ඒ ගමේම කොල්ලෙකුත් try ලු කාලෙක ඉඳලා. දෙන්නම තල්දූවේ. ඉතිං කොහොමත් පොර අපිට කොක්ක දදා හිටියේ ක්ලාස් එකේ. ඊයේ හවස දසුනයා ගියා කෙල්ලව බස් එකට දාන්න. අපිත් ගියා පස්සෙන්. අරුත් හිටියා හෝල්ට් එකේ. ටිකකින් කට්ටිය අතපය දික් කරගද්දි අපිත් සිං ගාලා ගියා එතනට. පස්සේ මූ ලොකු ටෝකක් දුනා 'අඩෝ මේ ගමේ කජු ගමේ වවුලන්ට හරිද' අරකද මේකද කියලා. ඒ පාර හිරුණ කිව්වා 'අපි මේ එක එක වවුලෝ එක්ක කජු අහුලන්න ආවේ නෑ' කියලා. ඒ පාර උගේ යාලුවෝ ටික 'මොකක්ද ඩෝ කිව්වේ කියලා අපිට නෙලන්න ගත්තා. අපිත් හැරෙන අතට දීලා ඇද්දා. පස්සේ ලඟ හිට[උ අයත් ඇවිල්ලා, එතන ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකේ අයියලත් ඇවිල්ලා වැඩේ බේරුවා පොලිසිය එන්න කලින්. දෙපැත්තටම තුවාලයි. පස්සේ මොනා කරන්නද ඉසිපිරිතාලේ යන්න බෑනෙ, ලඟ තිබ්බ ඩිස්පෙන්සරියකට ගිහින් බෙහෙත් දාගෙන ගෙදර ආවා"
"අර අයියලා නො එන්න ඉතිං තව ටිකක් හොම්බ රිවට් කරනවා" ඒ කිව්වේ අයුමිගේ මල්ලි.
"කාගෙද, ඔය දෙන්නගෙද? අනේ මේ මල්ලි...පිං සිද්ධ වෙයි මීට පස්සේ ඔයවගේ එව්වට පැටලෙන්නේ නැතිව ඉන්නවා. නිකං වෛරක්කාරයෝ ඇති කරගන්න ඕන නෑනෙ" අයුමි කිව්වා.
"අනේ ඒ පෙන්දෝ මොනා කරන්නද අපට?" මල්ලි ආයෙම කිව්වා.
"ඔය කරලා තියෙන හරිය මදෑ"
අයුමි කිව්වම මල්ලි ආයෙම වාද කරන්න ආවේ නෑ. බැලින්නම් අම්මා කුස්සියේ දොරෙන් එබිකම් කරගෙන ඉන්නවා.
"අපි එහෙනං යන් නේද මචං..." අම්මව දැක්ක පාර කට්ටිය හෙමි හෙමින් නැගිටින්න ගත්තා.
"නෝට්ස් ගෙනැත් දියන් හවසට" මල්ලි කිව්වේ තුසිත්ට.
යාලුවෝ යන්න ගියාට පස්සේ, හිරුණත් නැගිට්ටේ ආයෙම කාමරේට යන්න.
"ආයෙම ඔය ව්ගෑඅ ඒවට පැටලෙනවා නෙවෙයි තේරුණාද? ඔයා දන්නවනේ අපට කොල්ලෙක්ට කියලා ඉන්නේ ඔයා විතරයි. අම්මා, අපි මහන්සි වෙන්නේ ඔයාගේ ඉගේනීම හොඳට කර්ගෙන, මොකක් හරි හොඳ දෙයක් කරගනී කියලා හිතලා. හිතන්න පොලිසි හෙම යන්න වුණා නම්. මොන වස විලි ලැජ්ජාවක්ද?"
"හරි හරි පොලිසි ගියේ නෑනෙ. අනික ඉතිං කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකෝ උන් ගහද්දි අපි බලාගෙන ඉන්නද?" මල්ලි කිව්වේ නොරිස්සුමෙන් වගේ.
"මම කියන්නේ ආයෙම පැටලෙන්න එපා කියලා. ඔව්වා ඔතනින් ඉවර වෙන්නේ නෑනේ. ඔය කොල්ලෝ වෛර බැඳගත්තොත්? ඔයාගෙම හොඳට මේ කියන්නේ"
මල්ලි යන්තම් හිස ගස්සලා ආයෙම කාමරේ දිහාට යන්න ගියා. අයුමිට ඔහු ගැන දුකක් දැනුනා. ඒ වගේම අම්මලා ගැනත්. ඒ එක්කම ඈට මතක් වුණේ අම්මා දවසක් කියපු කතාවක්.
"ළමයි හම්බවෙලා, උන් ටික ටික ලොකු වෙද්දි, බලාගන්න එක එන්න එන්නම අමාරුයි. එතකොට එක වෙලේකට හිතෙනවා බඩේම උන්නා නම් ඉවරයි කියලා"
අයුමි සුසුමක් හෙලලා කුස්සියට යන්න හැරෙද්දි, උදේ පන්සිල් අරන් ඉවර වෙලා ආත්තම්මත් එතනට ආවා.
"කිව්වා නාහන ගුරු, ඉහල නම් ඉහල, පහල නම් පහල කිව්වලු. අබුද්දස්ස කාලෙක හැටි තමා" ඈ කිව්වෙත් සුසුමක් හෙලලා.
ගෙදර මේ එක එක ප්‍රශ්ණ අස්සේ අයුමිට රවීන්ව මතක් නූන තරමයි. උදේ කෑම කාලා, ගෙවල් අස් පස් කරලා නිකමට වගේ ෆෝන් එක අතට ගද්දි රවීන්ගේ මිස්ඩ් කෝල්ද් පහක් විතරයි, මැසේජ් එකකුයි තියෙනවා දැක්කම ඇගේ හිත කලබල වුණා.
“please call me”
මැසේජ් එක තිබ්බේ එහෙම. අයුමි දනි පනි ගාලා මිදුලට එන්න ආවේ රවීන්ගේ නොම්මරේ ඩයල් කරගෙනමයි.
"බීප්..බීප්.........බීප්..බීප්..."
ෆෝන් එක ටික වෙලාවක් වැදුනත් රවීන් කෝල් එක ගත්තේ නෑ. අයුමි ආයෙම රිං කලා. කෝල් එක කට් කරන්න හිතද්දිම එහා පැත්තෙන් රවීන්ගේ හඬ ඇහුණා.
"හෙලෝ..."
"හලෝ...මේ මං" අයුමි කිව්වේ හෙමින්.
අහේතුකවම ඇගේ හද ගැස්ම වැඩි වුණේ මොකද කියලා ඈට තේරුණේ නෑ.
" මං තමා...ඊයේ ගෙදර ඇවිල්ලා මැසේජ් එකක් දැම්මට පස්සේ හා හූවක් වත් නෑ" රවීන් නෝක්කාඩු කිව්වා.
"සොරි...ෆෝන් එක බෑග් එකේ තිබ්බේ. ඇහුණේ නෑ" අයුමි කිව්වා.
"ෆෝන් එක ඇහෙන්නම ඕනද මාව මතක් වෙන්න ඒ කියන්නේ?" රවීන් ඇහුවා.
"ඔය ඉතිං, ඔයාට පොඩ්ඩ ඇත්තං තරහා යනවනේ"
"තරහා යන්නේ නැද්ද? මම උදේ ඉඳන් කෝල් කරන්වා"
"ඉතිං මං සොරි කිව්වනේ"
"ම්ම්...it’s ok. මොකද උදේ ඉඳන් මාවත් අමතක වෙන්න තරම් කලේ?" රවීන් ඇහුවා ඊලඟට.
"ගෙදර ආවම ඉතිං දහසක් වැඩ තමයි...අමතක වුණා නෙවෙයි"
ඒ පාර රවීන් සුසුමක් හෙලුවා.
"හ්ම්ම්...මම අද දවසම ගෙදර. දෝණිට අසනීප හන්දා වෙන වැඩකට පිට යන්න හිතක් නෑ"
"ආ....දැන් කොහොමද ශාරට?"
"ටිකක් ඉතිං අමාරුව තියෙනවා. උණ වගෙත් තිබ්බා ඊයේ රෑ. දැන් නම් නෑ, Doctor ඇවිත් බලලා ගියා. රෙස්ට් කරවන්න, බලා ගන්න කියලා තමා කිව්වේ"
"ම්ම්...එතකොට ශාරාගේ අම්මා ආවේ නැද්ද?" අයුමි ඇහුවා.
"එයි, කවදද නම් දන්නේ නෑ. අද හෙට එයි" රවීන් කිව්වේ අපුලකින් වගේ.
"ම්ම්...ඉතිං මහත්තයා කම්මැලි කමේද ඉන්නේ?" අයුමි ඇහුවේ ඔහුගේ ඒ මානසිකත්වයෙන් ඔහුව මුදවන්න හිතාගෙන.
"හැමදාම වැඩ කර කර ඉඳලා නිකං ඉද්දි හෙණ අමාරුයි වගේ. කරන්න දෙයක් නෑ ගෙදර. පුතා ක්ලාස් ගිහිං. දෝණි ටීවී එක ලඟ-"
"ඔයා මං ලඟ...නේ?" අයුමි ඇහුවේ හිනාවෙලා.
ඈට දැණුනා රවීන්ටත් හිනාවක් ගිය වග.
"මම කොහොමත් ඔයා ලඟ තමා, ඔයා නැති වුණාට" රවීන් කිව්වා ඊට පස්සේ.
"ඔන්න ඉතිං ආයෙම පටන් ගත්තා. මගේ හිතට දැනෙන පාලුව ඔයාට තේරෙන්නේ නෑනෙ" අයුමි කිව්වා.
"බොරු කියන්න එපා"
රවීන් කිව්වම අයුමිගේ හිත ටිකක් රිදුනා. ඈ නිහඬ වුණේ ඒ හන්දා.
"අයුමි..." රවීන් ඒ නිහඬබව හන්දදෝ කතා කලා. ඒත් අයුමි කතා කලේ නෑ.
"අයුමි ඔයාට ඇහෙනවද?"
"ම්ම්"
"ඔය...තරහා ගිහින්ද?"
"නෑ"
"නැත්තේ මොකද? ඔය කතා නොකර ඉන්නේ එහෙනම්?"
"කියන එක පිලිගන්න බැරිනම්, මං මොනා කියන්නද?"
"හම්මෝ...සැර!මගේ කටු කටු රෝසමල..."
රවීන් එහෙම දයාබරව කිව්වම අයුමිගේ හිත මුදු වුණා.
"ඔයා තමයි සැර" අයුමි කිව්වා.
"සැර නෙවෙයි, මට දුක හිතුණා" රවීන් එහෙම කිව්වම අයුමිට ඔහු ගැන දුකක් දැනුනා.
"ඇයි?"
"ගෙදර ගිහින් මාව අමතක වෙලාද කියලා"
අයුමි හිනාවුණා ආදරෙන්.
"ඔයා හරියට පොඩි ළමයෙක් වගේ. හිතන්න බැරි වේගෙන් තරහා ගන්නවා. දුක් වෙනවා"
"ඔයා ලඟදි මම පොඩි ළමයෙක් තමයි...මට එහෙම වෙන්න පුලුවනුත් ඔයා ලඟදි විතරයි" රවීන් කිව්වේ දයාබර හඬින්.
"ම්ම්" හිතේ හැඟීම්වල බර කමට අයුමි ගොලු වුණා.
"තේරුණාද?"
"හ්ම්ම්"
"ඒ පාර බස්සෙක් වගේ හූම් හූම් ගාන්න ගත්තා" රවීන් කිව්වම අයුමිට හිනා ගියා.
"අයුමි"
"?"
"ඔයාට බැරිද හෙට හවස එන්න?"
"හෙට?"
"ඔව්. මම ඔයාව බස් ස්ටෑන්ඩ් එක ලඟින් ගන්නම් කොලඹින්. ටිකක් කතා කරලා මම ඔයාව බෝඩිමට දාන්නම්"
රවීන් කිව්වම අයුමි පත් වුණේ අපහසුතාවයක්ට.
"ම්ම්...ගෙදරඉන් එහෙම එන්න බැරි වෙයි රවීන්. හැමදාම සඳුදා යන හන්දා, හෙට එන්න හැදුවොත් අම්මලා බලයිනේ තකහනියෙම යන්නේ මොකද කියලා"
"ම්ම්...ඒකත් එහෙමද?" රවීන් සුසුමක් හෙලුවා.
"එහෙම නම් කලින් කියන්න ඕන ගෙදරට. එහෙම නැතුව එන්න අමාරුයි"
"ම්ම්"
"අනේ මුකුත් හිතන්න එපා"
"නෑ නෑ. මට ඔයා කියන එක තේරෙනවා"
"අදයි, හෙට රෑයි විතරයි. අනිද්දා අපි ආයෙම හම්බවෙනවානෙ"අයුමි කිව්වා.
“I miss you every single moment…it is not easy”
“I miss you a lot too”
අයුමි කිව්වම රවීන් ලොකු සුසුමක් හෙලුවා. අයුමි අහගෙන උන්නා.
"මද්දූ...ඔය කෝල් එක ඉවර නැද්ද? පොඩ්ඩක් මෙහේ එන්න ඉක්මණට"
අයුමි උඩ ගිහින් බිම වැටුණා ගේ දිහාවෙන් අම්මා කතා කරනවා ඇහුණම.
"අනේ මං තියන්නම් එහෙනම්. අම්මා කතා කරනවා" ඈ කිව්වේ කලබලෙන්.
"හරි"
"බුදු සරණයි ඔයාට. පරෙස්සමින් ඉන්න. ශාරවත් පරෙස්සමින් බලාගන්න"
"OK. Thank you. You too take care…”
ගෙට ගියාට අයුමිට දැනුනේ අම්මට මූණ දෙන්න බැරි ගතියක්. ගෙදරට නොකියා ඉන්න තරම් කිසිම දෙයක් ඇගේ ජීවිතේ කලින් තිබිලා නැති හන්දා දැන් ඇතිවෙලා තියෙන තත්වේ ඈට දැනුනේ ගොඩක් ආගන්තුක විදියට.
"මෙලෝ සිහියක් නැතුව කා එක්කද ඒ කතා කර කර හිටියේ මෙච්චරවෙලා?" අම්මා ඇහුවේ අයුමි දිහා ඇස් යටින් බලලා.
"මේ යාලුවෙක් අම්මා...ඇයි කතා කලේ?"
අයුමි අම්මගේ ප්‍රශ්ණේ හීන් නූලෙන් මගාරින්න උත්සාහකරමින් කිව්වා.
"මම යනවා කඩේට ගිහිල්ලා අර භද්‍රා ටීචගේ ගෙදර ගිහින් එන්න සීට්ටුවට සල්ලි දෙන්න. අර කුස්සියේ මම හාල් අරන් තිබ්බා, ගරලා ලිපේ තියන්න. මුරුංගා කරල් වගේකුත් ඇති සුද්ද කරන්න ඕන. අක්කත් ඒවි දැන්"
"හා" අයුමි කීකරුව අම්මා කියන දේ අහගෙන උන්නා.
අම්මා ඈ දිහා ආයෙම අමුතු බැල්මක් හෙලලා ඒත් මුකුත් නොකියා ගෙදරින් එලියට බහිද්දිම වගේ එහා පැත්තේ වැට ලඟින් මතු වුණේ අමාලි.
"ආ...ඕන්න උදව්වට කෙනෙක් එනවා. පුලුවන් නම් මුරුංගා ලිපේ තියන්න" අම්මා එහෙම කියාගෙන යන්න ගියා.
"කොහොමද සහෝදරී...මම දැක්කා මිදුලේ ඉන්නවා ෆෝන් එකට හිනාවෙවී" අමාලි ගෙට ආවේ එහෙම කියාගෙන.
අයුමිට හිනාවක් ගියේ ඉබේටම.
"මෙන්න මෙහේ එනවා. ඕපදූප මල්ල"
"ඕපාදූප නෙවෙයි. හම්මේ මූණේ තිබ්බ මල් හිනාව. කොල්ලා නේ කතා කලේ?" අමාලි ඇහුවා.
"පිස්සුද මන්දා. යාලුවෙක් කතා කලේ" අයුමි ඈව මගාරින ගමන් කිව්වා.
"අනේ මේ...බොරු නම් කියන්න එපා අක්කේ. යාලුවන්ට කතා කරනවා තමා අපිත්.ඒත් ඔහොම නෙවෙයි"
"හරි ඉතිං කොල්ලා වුණාම කියමුකෝ, ඉතිං මොකද?"
අයුමි එහෙම කිව්වම අමාලිගේ ඇස් උඩ ගිහින් කටේ කොන් දෙක කන් ලඟට ඇදුනා හිනාවට.
"හා...ඔය පැන්නේ බලා මල්ලෙන් එලියට...මුකුත් නෑ මුකුත් නෑ. අපට හරි සන්තෝසයි. කියනවකෝ ඉතිං අපටත් එයා ගැන"
"අනේ මේ අමාලියෝ, විකාර කියවලා ආත්තම්මට ඇහුණොත් මම ඉවරයි. කොල්ලෙක් හම්බුණ දාට කියන්නම්. දැන් එනවා යන්න අරහේ වැඩ තියෙනවා"
"ඔයා හරි නරකයි හලෝ...අපට කියන්න බෑනේ එතකොට?"
"එහෙම එකක් නෑ. මෙන්න මෙහේ එන්න"
අයුමි අමාලිවත් ඇදගෙන කුස්සියට යන්න ගියා. ඒත් අයුමිගේ හිත තිබ්බේ කලබල වෙලා. අමාලි පොල් බෑයක් ගාලා දෙන ගමන් මොන මොනවදෝ කියවද්දි අයුමි උන්නේ කල්පනාවේ ගිලිලා. දැන් වයසත් හරි එකේ, රස්සාවකුත් කරන එකේ මොකක් හරි සම්බන්ධයක් ඇති කරගන්න ගෙදරින් එපා කියන්නේ නැති වග ඈ දැනගෙන උන්නා. අම්මා ඒවා ගැන ගොඩක්ම තදින් හිටියේ අයුමිලා ඉස්කෝලේ යන කාලේ. ඒත් දැන් තියෙන තත්වේ හැටියට අම්මලාට රවීන් ගැන කියන්නෙවත් කොහොමද කියලා අයුමි දැනගෙන උන්නේ නෑ. ඒ හන්දම ඇගේ හිතට දැනුනේ මහා නොසන්සුන්කමක්. ඒ එක්කම හිත ඇහුවේ එහෙම කියන්න තරම් සම්බන්ධයක් දෙන්නා අතර තියෙනවද කියලයි. රවීන් කිසි දෙයක් අයුමිගෙන් තාමත් අහලා තිබුණේ නෑ. ඒත් ඔහු ඇගෙන් බලාපොරොත්තු වෙන්නේ නිකම්ම යාලුකමකට වඩා එහා දෙයක් වග හිතන්නත් ඈට හේතු තිබුණා.  ඒක එහෙම වෙද්දි, අනික් පැත්තෙන්, දික්කසාද වෙච්ච, ලොකු ළමයි දෙන්නෙක් ඉන්න, තමට වැඩිය අවුරුදු පහලවක් විතර වැඩිමල් මනුස්සයෙක් ගැන අහපු ගමන් අම්මට නම් පපුවේ අමාරුව හැදෙයි කියන එක ගැන ඈට සැකයක් තිබ්බේ නෑ. ඒ අතරේ ඈට මතක් වුණේ හිමාලිව. ඈටත් ජීවිත කාලෙම hint ගහන්න මේක හොඳ මාතෘකාවක් වේවි කියලත් ඈ දැනගෙන හිටියා. ඊලඟට අක්කලා, නෑදෑයෝ, ගමේ මිනිස්සු... මේවා පටන් ගත්තට කොහෙන් කොහොම කෙලවර වෙයිදෝ කියලා බයක් ඇගේ හිතේ ඉපදිලා පැතිරිලා ගියා. අන්තිමේදි කවදක හරි වුණත් කොහොමද මේ දේවල් අම්ම්ලට කියන්නේ කියලා හිතලා හිතලම අයුමිගේ හිස තිබ්බේ කකියමින්.

2 comments:

  1. පෝස්ට් එක දාන්න පරක්කු වුණාට තරහා නැතුව ඇති කියලා හිතනවා. වැඩ වැඩ නොසෑහෙන්න...

    ReplyDelete
  2. ලස්සනයි නෙතූ......................

    ReplyDelete