Wednesday, July 1, 2015

විහංගනාවී- විසිහතරවන කොටස



"මොකද අනේ ඔයා මේ උදේ පාන්දර ඉඳන් නැගිටගෙන කරන්නේ?" අයුමි උදේ නාගෙන එද්දි නැගිටලා ඇඳේ වාඩි වෙලා උන්නෙ තනූජා ඇහුවේ ඈනුමක් ඇරලා.
"උදේ වෙලානේ ළමයෝ. පස්ස පැත්තට ඉර එලිය වැටෙනකල් ඔයා වගේ  නිදාගන්නද මට කියන්නේ?" අයුමි ඇහුවේ කොණ්ඩේ තෙත පිහින ගමන්.
"තාම හයාමරටත් නෑ. ලෙඩ අස්සේ ඔයා උදේ නෑවත් එක්කද?"
"දූවිලි තනූ. ඊයේ උදේ ඉඳන් බස් එකේනෙ"
"හා...දැන් නාලා, ලෙඩේ වැඩි කරගන්නකො හොඳේ?" තනූජා නැගිට්ටේ අයුමිට දොස් කියාගෙන.
අයුමි හිනාවුණා විතරයි.
"ආ..ඒක නෙවෙයි, ඊයේ රෑ අර කෑම ගන්න හාදයෝ දෙන්නා හම්බුණා මට පහලදි. උස එක්කෙනා ඇහුවා ඔයා කෝ කියලා. ඔයා එවෙලේ නිදි නේ" තනූජ බ්‍රෂ් එක අරගෙන ටූත් පේස්ට් එක හොයමින් කිව්වා.
"කවුද යශෝධ ද?" අයුමි ඇහුවා.
"යශෝධ? ආ...මෙයා නමත් හොයාගෙන. නම නම් දන්නේ නෑ, උස එක්කෙනා කොහොමහරි"
"එයා යශෝධ තමා. මට ඔයාට කියන්න බැරි වුණානෙ. එයා ඊයේ මම ආපු අවිස්සාවේල්ල බස් එකේ ආවේ. මට නැගිටලා ඉඩත් දුන්නා. අනේ මන්දා තනූ, එයා හරි හොඳයි වගේ"
අයුමි කියාගෙන යද්දි, තනූජා ඈ දිහා බලාගෙන උන්නේ කටත් ඇරගෙන.
"ඇයි වදේ...ඔයා ඒක හංඟගෙන හිටියා නේ නොකියා මට. නංඟී මේ, ඔයාට ඔය හොඳ පේන්නේ නම් මොකකටද දන්නේ නෑ" තනූජා කිව්වා.
"අනේ පිස්සු...මම කිව්වේ මට හිතුණ එක. හොඳයි කියන්නේ, යාලුවෙන්න ඕන කියන එක නෙවෙයි නේ"
"මුලින් හොඳ කියලා තමා ඔය කොයි යාලුකමත් පටන් ගන්නේ. අපි බලමුකෝ ඉස්සරහට" තනූජා තව වදේ ගැහුවා.
"බලන්න දෙයක් නෑ. ඔයා හිතනවා වගේ දෙයක් වෙන්නේ නෑ. එහෙම දකින දකින හොඳ කෙනා එක්ක යාලු වෙන්න ගියොත් හොඳට හිටී"
"ආ...ඒ කියන්නේ කෙල්ලට කලින්ම හොඳ වෙච්ච කෙනෙක් ඉන්නවා වත්ද?" තනූජා ඇහුවේ ඈ ලඟට ඇවිත්.
"වෙන්න පුලුවන්" අයුමි කිව්වේ තනූජට පිටිපස්ස හරවන ගමන්.
"ඈ...ඈ... කෝ බලන්න මූණ?"
තනූජා ආයෙම ඉස්සරහට එද්දි අයුමි තුවායෙන් මූණ වහගෙන හිනාවුණා.
"ඒයි...ඇත්තටමද?" තනූජා ඇහුවා.
අයුමි මුකුත් කිව්වේ නෑ.
"අයුමි...කියන්නකෝ"
"අනේ නෑ අනේ. එහෙම මොනවත් නෑ...තිබ්බනම් ඔයාට කියනවනේ"  ඈ කිව්ව.
"මෝඩි...මම හිතුවා...ඒකෙන් කමක් නෑ. හැබැයි කෙල්ලේ මම හූනා කියන්නා වගේ කියන්නම්, මේ කොල්ලා නම් එන පොට මට අල්ලන්නේ නෑ" තනූජා කිව්වම අයුමි හිස වැනුවා.
"පිස්සු...එයා හොඳ කොල්ලෙක්. එහෙම කොල්ලෙක්ට කෙල්ලෙක් නැති වෙන්න විදියක්ම නෑ. ඒ නිසා මිනිස්සුන්ට කතා හදලා පව් පුරෝගන්න එපා තනූ උදේ පාන්දර"
"හා...බලාපල්ලකෝ පස්සේ ආපු අඟ තමා මෙයාටත් ලොකු වෙලා තියෙන්නේ. හා හා. කමක් නෑ. බලමුකෝ"
තනූජා බොරුවට ගස්සගෙන යද්දි අයුමි හිනාවුණා විතරයි.
උදේ පාන්දරම හිනා වෙවී ඉඳලා අයුමි ගෙදරින් එලියට බැස්සේ  පිරුණු හිතක් එක්ක. ඒ උදේ ඈට පෙනුණේ ලස්සනට. ඉඳහිට හමපු හුලඟ, හිරු කිරණ පෙරීගෙන ආපු ගස් වියන, කඩි ගුලක් ඇවිස්සුනා වගේ එහා මෙහා ගිය මිනිස්සු, පුරුදු බස් නැවතුම...'යශෝධ?'
අයුමි පුදුම වුණා බස් නැවතුමේ උන්නු යශෝධව දැක්කම. ඔහු ඈ එන දිහා හිනාවක් මුවපුරා නගාගෙන බලන් උන්නා.
"ගුඩ් මෝනිං..." ඔහු කිව්වේ ඈ ලඟට යද්දි.
"ගුඩ් මෝනිං...ඔයා අද මෙතන?" අයුමි ඇහුවේ පුදුමෙන්.
"ඔව්. ඔයා දැකලා නැති වුණාට මම යන්නෙත් ඔයා යන බස් එකේම තමා ගොඩක් වෙලාවට" යශෝධ කිව්වා.
"බොරු...මම දැකලා නෑනේ" අයුමි කිව්වා.
ඒ පාර යශෝධ හිනාවුණා.
"බොරු නෙවෙයි. සමහරදාට මම යනවා. ඒත් අද මේ යන්නේ BMICH එකට. පොඩි වැඩකට"
"ආනේ...ඇත්තද? මගේ ඔෆිස් එක තියෙන්නෙත් ඒ හරියෙමයි"
"ආ... එහෙමද?"
"ඔව්. සරණ පාරේ"
"හරි හරි. ආ...අන්න බස් එකක් එනවා. අම්මේ ඒකේ සෙනග" අයුමි එක්ක කතා කරන ගමන් පාරේ ඈත බල බල උන්නු යශෝධ කිව්වා.
"මොනා කරන්නද යන්න එපෑ. පරක්කු වෙනවනේ" එහෙම කියපු අයුමි  සුසුමක් හෙලුවා.
කොහොමින් හරි දෙන්නා එක්කම බස් එකට නැගලා, සෙනග අස්සේ හිරවෙලා, තෙරපිලා, කොන්දොස්තර කකුලත් පාගපු අමාරු විනාඩි කීපෙකට පස්සේ, නැග්ගට වඩා අමාරුවෙන් බස් එකෙන් බැහැගත්තා. අන්තිමේදි බොරැල්ලෙන් සෙනග අර තරම්ම උන්නු 154 බස් එකක නැගලා යාන්තම් හතයි පනහ විතර වෙද්දි දෙන්නම BMICH එක ලඟ බැහැගත්තා. අයුමි එපා කියද්දි දෙපාරම බස් එකට ටිකට් ගත්තේ යශෝධ.
"ඔයා වෙන දවසක ගන්නකෝ ඒ හිලව්වට" ඔහු කිව්වේ එහෙම.
"තෑන්ක් යූ යශෝධ" අයුමි කිව්වා.
"ඔෆිස් එක තියෙන්නේ ලඟද?" බැහැලා ඉවර වෙලා යශෝධ ඇහුවා.
"ඔව්, මෙතනින් චුට්ට දුරයි"
"ඕ කේ එහෙනම්. හවසට හම්බෙමු" යශෝධ කිව්වේ හිනාවක් පාලා.
"හරි...පරෙස්සමින් යන්න එහෙනම්" අයුමි කිව්වේ පුරුද්දට වගේ.
යශෝධ ඈ දිහා බැලුවේ, මොකක්දෝ හැඟීමක් හිතේ හංඟගෙන වගේ.
"ඔයත් පරෙස්සමින් යන්න" ඔහු කිව්වේ හෙමින්.
ඊටපස්සේ දෙන්නම දෙන්නගෙන් සමුගෙන එන්න ආවා. යශෝධ කියන්නෙ හරි හොඳ ළමයෙක් කියලා අයුමි හිතුවා. ඒත් යශෝධගේ හිතේ තිබ්බේ කැලඹිලා වග ඈ දැක්කේ නෑ. ඈ යන දිහා ටිකක් දුර යනකල් ඔහු බලාගෙන හිටි වගත් ඈ දැක්කේ නෑ. අයුමි ඔෆිස් එකට ආවේ රවීන්ගේ වාහනේ තියෙනවද කියලා බලාගෙන. ඒත් ඔහු ඇවිත් උන්නේ නෑ.
"ගුඩ් මෝනිං...ගුඩ් මෝනිං" හැමෝටම සුබපතාගෙන ඈ තමන්ගේ ඔෆිස් රූම් එකට යද්දි කලින්දා හිතේ තිබුණ බර ඔෆිස් එකට එද්දි ආයෙම හිතේ පිරෙන්නා වගේ අයුමිට දැනුනා.
රවීන් ඔෆිස් එකට එනකල් අයුමි හිතලම පහලට වෙලා උන්නේ, ඔහු කොහොමත් ඇවිත් උදේ තමන්ගේ ඔෆිස් රූම් එකට එබෙන වග ඈ දන්න නිසා. ඊයේ රෑ ඇතිවුණ සිතිවිලි හිතේ තාම වැඩ කරද්දි ඔහුට තනියෙම මූණ දෙන්න ඈට හැකියාවක් දැනුනේ නෑ. ඈ අනික් අය එක්ක පහලට වෙලා උන්නේ ඒ හන්දා.
"අනේ ඒ වුණාට ගුජුම්පියෝට වඩා මම ආසයි ජීහූට" හසිකයි, ප්‍රියන්තියි ටීවී එකේ යන මොකක්දෝ කොරියන් කතාවක කොල්ලෝ දෙන්නෙක් ගැන වාද කර කර ඉද්දි, අයුමි උන්නේ ඒ කතාවත් අහගෙන ලඟ තිබ්බ මල් බඳුනේ මල් ආපහු සකසන ගමන්. රවීන් ඔෆිස් එකට ආවේ එවෙලේ.
ඔහු දැක්ක ගමන් කට්ටියගෙම කතා නැවතුණා. කරමින් උන්නු වැඩේ නවත්තලා අයුමිත් පුටුවෙන් නැගිට්ටේ ඉබේටම වගේ.
"ආ...මොක්ද මේ? principle එනකොට වගේ කට්ටියම සීරු මාරුවෙන් ඉන්නේ? ගුඩ් මෝනිං..." රවීන් එහෙම කියාගෙන කට්ටියටම ලොකු හිනාවක් පාලා උඩට යන්න ගියේ අයුමි දිහා නෙත් කොනකින් බලාගෙන. ඈ හීන් සුසුමක් හෙලුවා.
ඒ බැල්ම, ඒ ඇස්, ඒ මූණ, ඔහු අඳින විදිහ, ඒ හිසකේ පවා ඇගේ හිතේ ඇති කලේ මොකක්දෝ පහන් සංවේගයක්. ඔහු තමන්ගේ විතරක් වුණා නම් කියලා එක තප්පරේකට අයුමිට හිතුණා. ඒත් සැන්ඩ්‍රාලා, රීටාලා ආයෙම මතක් වෙද්දි හිත ඇකිලුණා. ඒ අය ඉස්සරහදි තමන් අර නවදැලි හේනේ වැඳිරි වගේ කියලා අයුමි හිතුවේ තමන්ගැනම උපන්න දුකක් හිත වෙලද්දි. හිත කිව්වේ රවීන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. අන්තිමේදි ඈ කරන්න හිතහදාගත්තෙත් ඒකමයි.
"අයුමි...ඔය මල් වාස් එක තියලා එන්න. අන්න බොස් හොයනවා ඔයාව" රිසෙප්ෂන් එකේ උන්නු හසිකා කෑ ගැහුවම අයුමි වාස් එක එහෙමම තියලා, උඩ තට්ටුවට යන්න නැගිට්ටා.
"හම්මේ බොසාට බෑ වගේ එක තප්පරයක් මෙයා නැතුව වැඩක් කරගන්න" ප්‍රියන්ති පුරුදු පරිදි වදේ ගහද්දි අයුමි ඒක නෑහුණා වගේ උඩට එන්න ආවා.
දොරට තට්ටු කරලා රවීන්ගේ කාමරේට ඇතුල් වෙද්දි ඔහු උන්නේ ඉණටත් අත්දෙක තියාගෙන මොනවදෝ කරන්න කල්පනා කරමින් වගේ. අයුමි ඇතුලට ආවම ඔහු ඈ දිහා බලලා උණුසුම් හිනාවක් පෑවා. ඇගේ හිත ආයෙම කඩන් වැටුණා වගේ අයුමිට දැනුනා. ඔහු ගැන සෙනෙහස හිතේ බලවත් වුණේ අනායාසයෙන්මයි.
"මොකද අද මල් වාස් එක හදන්න හිතුණේ?" රවීන් ඇහුවේ ඈ අසලට එන ගමන්.
"නිකං...කාලෙකින් බැරිවුණ හන්දා" අයුමි කිව්වේ ඔහු දිහා කෙලින් නොබලා.
"උදේ මස්සිනා ගෙනතුත් ඇරලුවද ඔෆිස් එකට?" රවීන් එහෙම ඇහුවේ සරදමටද?
"නෑ. එයා ඊයේ මාව ඇරලවලා ගියා විතරයි"
"හ්ම්ම්...මස්සිනා නෑනට ගොඩක් ආදරෙයි වගේ" රවීන් ඇහුවේ අයුමි දිහා තියුණු බැල්මක් හෙලලා.
අයුමිගේ හිත ඒ කතාවෙන් පෑරුණේ ලොක්කයියා ඈට ඇගේම සහෝදරයෙක් වගේ වුණ හන්දා.
"ඔව්. අපි පොඩි කාලේ ඉඳන් හැදුනේ එකට. ලොක්කයියා මට මගේම අයියා වගේ. එයා මං ගැන හිතන්නෙත් එහෙමයි. එහෙම නැතුව වෙන දෙයක් නෙවෙයි" අයුමි අන්තිම ටික කිව්වේ නොරිස්සුමින් වගේ.
රවීන් මොහොතක් ඈ දිහා බලාගෙන උන්නා.
"ඔයාට තරහා ගියාද?"
"නෑ...මිස්ටර් රවීන් මට එන්න කිව්වේ ඇයි?" අයුමි කතාව වෙන පැත්තකට හරවන්න උත්සාහ කරමින් ඇහුවා.
"ඔයා නම් කැලෑ රෝසමලක්ම තමා" රවීන් ඒක නෑහුණා වගේ කිව්වා. "තරහා ඇස් වලින් පේනවා මට"
අයුමි බිම බලාගෙන උන්නා, ඒ වචන ඉවසගෙන.
"මම එන්න කිව්වේ සිකුරාදා අපට යන්න තියෙනවා client visit  කලුතරට. හොටෙල් එකක්. දෙකට තමා appointment එක තියෙන්නේ. පොඩ්ඩක් නෝට් කරලා තියාගන්න." රවීන් ඊලඟට කිව්වේ ආපහු වැඩ ගැන අවධානය හරවමින්.
"හා..." අයුමි හිස වැනුවා.
"අපේ booklet ටිකයි, ලඟදි කරපු brochures යි ලෑස්ති කරගන්න ගෙනියන්න"
"හොඳයි" අයුමි එහෙම කියන ගමන් ඔහු දිහා බැලුවා. රවීන් ඒ පාර උන්නේ වටපිට බල බල.
"... ඒක නෙවෙයි, ඔන්න ඔය මේසේ උඩ තියෙන මැගසින් එක අරන් බලන්නකෝ. අපේ කම්පැනිය ගැන ආටිකල් එකක් තියෙනවා" රවීන් ඔෆිස් එක වටේ ඇවිද ඇවිද වට පිට බලමින් ඉන්න ගමන්ම අයුමිට කිව්වා.
සඟරාව ලංකාවේ බිස්නස් ගැන පලවෙන මාසික සඟරාවක්. කම්පැනිය ගැන පල කරලා තිබ්බ ආටිකල් එකේ පිංතූරේ තිබුණේ සුරේශ්ලගේ අඹේවෙල හොටෙල් එකේ ඉන්ටීරියර් වල ගත්ත ෆෝටෝස් වගයක්. ඒක දැක්කාම නම් අයුමිගේ හිතේ හීන් සතුටක් ඉපදුනා. අයුමි ආයෙන්ම රවීන් දිහා බැලුවේ යාන්තම් හිනාවෙලා.
"මේක ෂෝක්. පිංතූර වලට ඉන්ටීරියර් එක ලස්සනට තියෙනවා නේද?" ඈ ඇහුවා.
"මේ කම්පැනිය ගැන ලියවුණ පලවෙනි ආටිකල් එක..." රවීන් කිව්වේ ඈ දිහාට හැරිලා.
"ම්ම්..." අයුමි කිව්වේ ආයෙම ආටිකල් එක දිහා බලන ගමන්.
වට පිට බල බල උන්නු රවීන් සුසුමක් හෙලලා මේසේ අසලට ආවේ අයුමි ආටිකල් එක කියවමින් ඉද්දි.
"මං මේ බැලුවේ මේ කාමරේ තව මේසයක් දාන්න පිලිවෙලක් කරන්නේ කොහොමද කියලා"
"ඇයි...තව මේසයක්?" අයුමි ඇහුවේ සැකෙන් වගේ.
"ආ...මට ඔයාට කියන්න බැරි වුණානේ. මම අලුතෙන් ඇසිස්ටන්ට් කෙනෙක් ගන්න හදන්නේ. එයත් ඩිසයිනර් කෙනෙක්. පොඩි ලස්සන කෙල්ලෙක්. එයාව මගේ ලඟපාතක තියාගන්න ඕන"
ඈ දිහාට කෙලිලොල් බැල්මක් හෙලලාරවීන් කිව්වම, රෑ හිතලා හිතලා එකලස් කරගත්තු හිතේ සේරම සිතිවිලි පරද්දගෙන හිතේ නැගගෙන ආවේ ඉරිසියාව මුසු දුකක්. ඈ වෑයමෙන් ඒක නොපෙනෙන්න ඉන්න උත්සාහ කලා.
"ආ...”
"හ්ම්ම්...හොඳයි නේද?"
"ම්ම්..." අයුමි හිස වැනුවේ ඔහු දිහා නොබලා.
"ඔයා හිතන්නේ කොහොමද හොඳ? දෙන්නම paralelly හිටියොත්ද, face to face ද?"
"අනේ මන්දා"
"face to face හොඳයි නේ. කම්මැලි වෙලාවට බල බලවත් ඉන්න" රවීන් කිව්වේ හරිම සැහැල්ලුවෙන් වගේ.
අයුමිගේ හිත තව තව රිදුනා විතරයි. රවීන් ගැන හිතපු හැම දෙයක් ගැනම ඈට දැන් දැනුනේ ලැජ්ජාවක්. ඒ එක්කම ආත්මානුකම්පාවක්. ඒත් ඈ හිස වැනුවා.  "හ්ම්”
"ඒක එහෙම ඇරේන්ජ් කරන්න ඕන" රවීන් කියාගත්තේ තමන්ටම.
"හරි මිස්ටර් රවීන්, එහෙනම් මේ වැඩේ කරගන්න. මම සේරම ලෑස්ති කරගෙන දොලහට විතර ලෑස්ති වෙලා ඉන්නම්. " අයුමි එහෙම කියලා එතනින් එන්න ලෑස්ති වුණේ තවත් හිත රිද්දගනන් බැරි හන්දා.
"හා..." රවීන් එහෙම කිව්වා.
අයුමි ඔහු දිහා එක පාරක් පුදුමෙන් බලලා එතනින් එන්න ආවේ, දුකෙන් උගුර හිර වෙද්දි. ඈ බලාපොරොත්තු වුණේ නෑ,රවීන්ගෙ ඈක වචනයක් පවා තමන්ව මේ තරම් දුර්වල කරාවි කියලා.
"ආ....wait a sec" ඈ දොර ලඟට යද්දි රවීන් කතා කලා.
"ම්ම්?"
ඈ හැරෙද්දි රවීන් උන්නේ ඈ අසලට ඇවිත්. ඈ උන්නේ ඔහු දිහා නොබලා.
" කටු තියෙන රෝසමලක් දාන්න පුලුවන් මල් පෝච්චියක් හොයාගන්න ඕන. මගේ ඇසිස්ටන්ට..." රවීන් කිව්වේ ඇගේ දෑස් වලට එබිලා. "
රවීන් එහෙම කිව්වම අයුමිට ඔහු දිහා බැලුණේ ඉබේටම. රවීන් උන්නේ ඇගේ ඇස් දිහා බලාගෙන, ලොකු දායාබරවත්වයකින්. අයුමිගේ උගුර හිරවෙනවා වගේ දැනුනා තවත්.
"දන්නවද එන්නේ කවුද කියලා? රවීන් ඇහුවේ හෙමින්.
ඒකට උත්තරේ ඈ දැන් දැනගෙන උන්නා. ඒත් හිත රිදුනා දැඩි කමට, හිතේ හැඟීම් බලවත් වුණා වැඩි කමට ඉස්සර වුණේ වචන නෙවෙයි කඳුලු. අයුමිගේ ඇහෙන් පිට පැනපු කඳුලක් කම්මුලක් දිගේ රෝල් වෙලා ඇවිත් වැටුණේ බිමට නෙවෙයි, ඇගේ කම්මුලක් අසල තිබ්බ රවීන්ගේ අල්ලට. ඔහු ඒ කඳුල අල්ලේ ගුලි කරගෙන අයුමි දිහා බැලුවේ සසල වෙලා වගේ.
"අයුමි..." ඔහුගේ හඬ ඇහුණෙත් නැති තරමයි.
අයුමිට තවත් එතන ඉන්න පුලුවන් වුණේ නෑ. එහෙම වුණොත් මුලු හිතම රවීන් ඉස්සහර දිගෑරෙන වග ඈ දැනගෙන උන්නා. ආයෙම වචනයක්වත් නොකියා ඈ දොර ඇරගෙන රවීන් එහෙමම ඉද්දි එන්න ආවේ උගුර තාමත් රිදුම් දෙද්දි. කාමරේට ඇවිත් දොර වහගෙන ඈ උත්සාහ කලේ නාඬ ඉන්න. රවීන්ගේ වචන ඒ තරම්ම හිත රිදවයි කියලා ඈ හිතලාවත් තිබුණේ නෑ. ඊටත් වඩා තමන් මේ තරම් හිතින් රවීන්ට බැඳිලා වගත් ඈ දැනගෙන උන්නේ නෑ.
හිත එකලස් කරගන්න කලින්ම ටෙලිෆෝන් එක නාද වෙද්දි, ඈ ටෙලිෆෝන් එක ලඟට ගියේ ලොකු හුස්ම ගනිමින් හෙලමින්.
"අයුමි..." එහා පැත්තෙන් කතා කලේ රවීන්.
අයුමිගේ කඳුලු අලුත් වුණා.
"ම්ම්?" ඒත් ඈ තොල හපාගෙන උත්තර දුන්නා.
"I am sorry" ඔහුගේ හඬ තිබ්බේ බිඳිලා වගේ.
"ඇයි?" ඈ ඇහුවේ අපහසුවෙන්.
"එච්චර හිත රිදෙයි කියලා හිතුවේ නෑ..." රවීන් කිව්වා.
"අමතක කරන්න" අයුමි කිව්වා.
"please forgive me"
"අමතක කරන්න කිව්වනේ..."
"ම්ම්" රවීන් හුස්මක් ගන්න හඬ ඈට ඇහුණා. අයුමි අහගෙන උන්නා තව ටික වෙලාවක්.
"අපි පස්සේ කතා කරමු" ඊලඟට රවීන්ම කිව්වා.
අයුමි ෆෝන් එක තිබ්බේ මුකුත් නොකියා. හිත තිබ්බේ සන්සුන් වෙමින්. රවීන්ගේ හඬ ඈට දැනුනේ ඔසුවක් වගේ තිබ්බ හිත් වේදනාවට. ඔහු ඈ ගැන හිතන වග ඈට දැනෙමින් තිබුණා. ඒත් ඒ කොච්චරද කියලා ඈ දැනගෙන උන්නේ නෑ.
ඒ සිද්ධියෙන් පස්සේ අයුමිට දැනුනා, හිතේ තර්ක විතර්ක සේරම අභිබවලා රවීන්ට තිබුණ ආදරේ ටිකෙන් ටික ශක්තිමත් වෙන්න පටන් ගත්තු වග. ඒ හන්දම ඈ උත්සාහ කලේ රවීන් එක්ක තනි වෙන අවස්ථා අඩු කරගන්න. හැඟීම් බලවත් වෙලා තමන්ගේ හිත රවීන් ඉස්සරහ දිග ඇරේවි කියලා ඈ බය වුණා. ඒ එක්කම ඔෆිස් එකේ අනික් අයටත් ඒක දැනේවි කියලා ඈ බය වුණා, මොකද ඒ වෙද්දිත්, අයුමිගෙයි,  රවීන්ගෙයි ඔෆිස් දෙක එකතු කරන එක ගැනත් එහෙන් මෙහෙන් කට්ටියන් කසු කුසු ගාන්නත් පටන් ගෙන තිබුණ නිසා.
"අයුමි..." design එකක් ගැන discuss කරමින් ඉන්න  අතරතුරේ රවීන් හිටි ගමන් අයුමිව ඇමතුවේ මොකක් හරි කියන්න වගේ.
"ම්ම්?" ඈ design එකෙන් යන්තමට ඇස් උස්සලා ඔහු දිහා බැලුවා.
"කවද්ද ඔයා මට වෙලාවක් දෙන්නේ, නිදහසේ ඔයා එක්ක තනියෙම කතා කරන්න?" රවීන් එක පාරටම එහෙම ඇහුවම අයුමි ටිකක් අන්ද මන්ද වුණා.
"මේ වැඩේ අස්සේ ඒකද කල්පනා කලේ?" අයුමි ඇහුවේ සරදමට වගේ.
"ඇයි? කල්පනා කරන්න බැරිද මට?"
"ඉතිං දැන් අපි තනියෙමනේ ඉන්නේ" අයුමි කිව්වා.
ඒ පාර රවීන්ගේ දෑස් දෙකේ ඇඳුණේ පුංචි නොරිස්සුමක්.
“I am not joking”
ඒ පාර අයුමි වැඩේ කරන එක නවත්තලා ඔහු දිහා බැලුවේ දයාවෙන්.
"අනික මේක ඔෆිස් එක. මට ඔෆිස් එකේදි ඔයා එක්ක personal දේවල් කතා කරන්න බෑ. ඒක ඔයාට තේරෙනවනේ" රවීන් කිව්වා.
"මම බෑ කිව්වේ නෑනෙ" අයුමි කිව්වා.
"ඔයා හා කිව්වෙත් නෑනෙ" ඒ රවීන්.
ඒ පාර අයුමි ඉවත බලාගෙන හීන් සුසුමක් හෙලුවා.
"මේකයි...ඔෆිස් ඉවර වෙලා යන්න බෑ. බෝඩිමේ ආන්ටි කැමති නෑ රෑ හත අට පහුවෙලා වෙලා අපි එනවට. සති අන්තේ මට නවතින්නත් බෑ. අම්මලා බලාගෙන ඉන්නවා මම ගෙදර එනකල්. ඔෆිස් වෙලාවේ වැඩ පාඩු කරගෙන යන්න මම කැමති නෑ" අයුමි කිව්වා.
"බෑ කිව්වේ නෑ කිව්වට, ඔය කියන්නේ බෑ කියන එක නෙවෙයිද?"
එහෙම කිව්වම අයුමි රවීන් දිහා බැලුවා.
"එහෙම නෙවෙයි...අපට කතා කරන්න දවසක් තියෙයි"
"කවද්ද?"
"කවදාහරි..." අයුමි කිව්වේ හිනාවෙලා.
"මම නාකි වුණාමද?" රවීන් ඇහුවා.
"නෑ...මම නාකි වෙන්න කලින්" අයුමි කිව්වේ හිනාවෙලා.
රවීන් ඈ දිහා බැලුවේ හිනාවයි, තරහයි දෙකම මුසු වෙච්ච බැල්මකින්.
"ඒ කිව්වේ මම නාකියි කියලා නේ?" ඔහු ඇහුවා.
"නෑ...." අයුමි කිව්වේ ඇදලා පැදලා.
ඒ පාර රවීන් මේසේ මත නිදහසේ තිබ්බ ඇගේ වමත අල්ලගත්තා හයියෙන්ම. අයුමිගේ හිනාව වියැකුණා.
"අනේ අතාරින්න...කවුරුහරි ආවොත්?"
"මැට්ටි...ලබන බදාදා. බෝඩිමේ ආන්ටිට කියලා එන්න හරියටම අට වෙද්දි ගෙනැත් දානවා කියලා" රවීන් කිව්වේ ඇගේ ඇස් දිහා බලාගෙන.
"ම්ම්...බලමු..."
"බලන්න බෑ. බෝඩිමෙන් යන්න කිව්වොත් මම ඔයාව වෙන තැනක නවත්තන්නම්" රවීන් කිව්වම අයුමි තිගැස්සුනා.
"අනේ....එහෙම කරන්න බෑ. අම්මලා, මාමලාට මම මොනා කියන්නද?"
"මං කිව්වා කියන්න" රවීන් කිව්වා.
අයුමි ඒ පාර ඔහු දිහා බලාගෙන උන්නේ ඒ ප්‍රශ්ණේ ඇත්තටම හිතේ බලවත් වුණ නිසා. 'ගෙදරින් දැනගත්තොත් මොනවද කියන්නේ?'
"ඒ පාර මොකෝ මේ බයවෙලා?" රවීන් අහද්දි අයුමි අත ඇදලා ගත්තා හෙමින්.
"බදාදට එන්න බලන්නම්" අයුමි එහෙම කියලා ආයෙම වැඩේට යොමු වුණා.
"It’s a date then”
රවීන් හිනාවක් පාලා කියද්දි අයුමි උන්නේ වෙනම ලෝකෙක. ඒ ගෙදර ගැනයි, මේ සම්බන්ධේ දැනගත්තොත් ඇතිවෙන ප්‍රතිචාරය ගැනයි.. අන්තිමේදි ඈ සුසුමක් හෙලලා නිගමනය කලේ ගෙදරින් නම් මේ වගේ දේකට කවදාවත් කැමති වෙන එකක් නෑ කියලයි. එලොවටත් නැති මෙලොවටත් නැති මේ වගේ සම්බන්ධෙක පැටලිලා ඈ අනාගතේ කරන්න හදන්නේ මොනාද කියලා හිත ප්‍රශ්ණ කලා. එහෙමයි කියලා රවීන්ට ආදරේ නොකර ඉන්න ඈට බැරිවගත් ඈ දැනගෙන උන්නා. අන්තිමටම ඈ හිතාගත්තේ එන විදියකට දේවල් වලට එවෙලෙට මූණ දෙනවා කියලා.

2 comments:

  1. ඔයාගේ ඊමේල් එක් මට ඉන්බොක්ස් කරන්නකෝ... මම PDF දෙන්නම්... මම කොහොමත් මට හිතට අල්ලපු කතා PDF කරලා මම ලග තියා ගන්නවා... ඔයාගේ කතාවත් මම එවන්නම්

    ReplyDelete
  2. අනේ... මේ වගේ ආදරය කරන රවීන් වගේ කෙනෙක් ඉන්නවා නම් වැඩිය හිතන්නේ නැතු ආදරය කරන්න වෙනවා....
    මොකද ඇත්තටම අද කාලේ මේ වගේ ආදරයක් කියන්නේ හරිම දුර්ලභ දෙයක්....

    ReplyDelete