Thursday, April 16, 2015

විහංඟනාවී- දහතුන්වෙනි කොටස

"මද්දු දුවේ...කෝ මේ ළමයි තාම නිදිද?" ආත්තම්මා කාමරේට එබිකම් කරද්දි අයුමි උන්නේ ඇහැරිලා.
ඒ සෙනසුරාදා ආත්තම්මයි, අයුමිලාගේ අම්මයි උදේම ඇහැරගෙන ලෑස්ති වෙමින් උන්නේ පන්සලේ මුර දානේ පිලියෙල කරන්න.
"කීයද නංඟි වෙලාව?" එහා ඇඳේ උන්නු අක්කා නිදිමතේම ඇහුවා.
"පහමාරයි" අයුමි කිව්වේ ෆෝන් එක අතට අරන් වෙලාව බලන ගමන්.
"දැන්ම ඇහැරෙන්න ඕනද අප්පා" අක්කා ආයෙම අනික් පැත්ත හැරුණේ එහෙම කියාගෙන. රෑ එකට ඕෆ් වෙලා ගෙදර ආපු හන්දා ඈ තාම උන්නේ නිදිමතේද කොහෙද.
ඒත් අයුමිගේ අවධානය යොමු වෙලා තිබ්බේ ඈට නෙවෙයි. ෆෝන් එකේ තිබ්බ මැසේජ් එකක් දිහාට. 'රවීන් සර්'? ඔහු සිකුරාදා ආවේ නැති හන්දා හදිසියේම මොකක් හරි දේකට මැසේජ් කලාද දන්නේ නෑ කියලා අයුමි ඒක තකහනියෙම බැලුවේ ඇඳෙන් නො නැගිටම.
“I came around 5. But you were already gone. Tried to reach you but phone was off. Anyway, go home safe. See you on Monday”
අයුමිට හිතාගන්න බැරි වුණා හැමදාම වගේ, ඇයි රවීන් එහෙම මැසේජ් එකක් එව්වේ කියලා. මොකද අයුමි දැනගෙන උන්නු විදියට රවීන් සිකුරදා ඔෆිස් එන්න හිටියේ නෑ. ඒ හන්දම අයුමි එන්න කලින් ඒ වෙනකොට ඉවර කරලා තිබ්බ වැඩ කොටස ඔහුට දාලයි ආවේ. හදිසියක් නම් ඔහු කතා කරාවිනේ කියලා හිතපු ඇය ආපහු හිත සන්සුන් කරගන්න උත්සාහ කලා. ඒ එක්කම ඈට මතක් වුණේ රවීන් ඒ සතියෙම හැසිරුණේ ටිකක් වෙනස් විදියට නේද කියලා.
සඳුදා එන්නේ නෑ කියපු රවීන් හදිසියේම එදා හවස තුනට විතර ඔෆිස් ආවම අයුමි විතරක් නෙවෙයි අනික් අයත් පුදුම වුණේ, ඔහු එන්නෑ කියලා කිව්වේ අයුමිම හන්දා.
"මොකෝ මේ බය වෙලා වගේ?" අයුමිට කතා කරගෙනම එන අතරෙදි ඔහු ඇහුවා ඈට මතක් වුණා.
"මම හිතුවේ සර් එන්නේ නෑ කියලා අද" අයුමි කිව්වේ හෙමින්.
"සර්?" රවීන් ඇහුවේ ඇස් ලොකු කරලා.
අයුමි වරදක් කරපු කෙනෙක් වගේ යන්තම් හිනාවක් පෑවා.
"මම ආවේ මගේ ජැකට් එක අරන් යන්න" රවීන් කිව්වේ පුරුදු ස්වරයෙන්මයි.
"ආ... එන්නේ නෑ කිව්ව නිසා මම ඒක ගෙනාවේ නෑ" අයුමි කිව්වා.
"ගෙනාවේ නැද්ද, තාම හෝදලා නැද්ද?" රවීන් ඇහුවේ පඩිපෙල උඩ ඉඳන් හැරිලා අයුමි දිහා බලන ගමන්.
"අනේ නෑ, මම හේදුවා ඒක උදෙන්ම. වේලෙන්නත් එපැයි ගේන්න"අයුමි කිව්වේ අවංකවම.
රවීන් හිනාවුණා විතරයි. ඉන්පස්සේ ඒ හවසම ඔහු ගෙව්වේ අයුමි එක්ක සුරේෂ්ගේ හොටෙල් එකේ design එක fine tune කරමින්. අඟහරුවාදයි, බදාදයි දවස් දෙකම මුලුමනින්ම වගේ ගෙවුණේ දොර ජනෙල් රෙදි බලන්නයි, ලී බඩු බලන්නයි.
"සර්ට දැන් වැඩ කරන්න අමුතුම උද්‍යෝගයක් පහල වෙලාද අයුමි?" බර්හස්පතින්දා හවස තේ බොන අතරේ ප්‍රියන්ති එහෙම ඇහුවම අයුමිට අන්ද මන්ද වුණා.
"වෙනදට නම් සමින්ද ගියාම සර්ට හොඳටම ඇති. ඒත් දැන් සර්ම සේරම බලන්න යනවනේ" ප්‍රියන්ති ආයෙම කිව්වා.
"සර්ගේ හොඳම යාලුවෙක්ගේ වැඩක්නේ ප්‍රියා. ඒක වෙන්න ඇති. එහෙම නැත්තම් සර්ට මාව ෂුවර් නැතුව ඇති" අයුමි කිව්වේ විහිලුවෙන් වගේ.
"සර්ට ඔයාව ෂුවර් නැද්ද නම් මම දන්නේ නෑ. ඒත් මට සර්ව ෂුවර් නෑ"
"ඈ...ඒ මොකක්ද ඒ කිව්වේ?" අයුමි ඇහුවේ බය වෙලා වගේ.
ප්‍රියන්ති හිනාවෙලා ඈ ලඟට ආවා.
"මේකනේ, සර්ට ලස්සන කෙල්ලෝ පේන්න බෑ" ප්‍රියන්ති කිව්වේ රහසින් වගේ.
"අනේ…. ප්‍රියා...මොනාද ඔයා මේ කියන්නේ. දෙයියනේ සර්ට ආරංචි වුණොත් හෙම අපි දෙන්නම ගෙදර යවයි" අයුමි කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.
"සර් දන්නවා මම කිව්වේ ඇත්ත කියලා. ඒ නිසා සර් එහෙම කරන එකක් නෑ" ප්‍රියන්ති කිව්වේ හිනාවෙමින්.
"ඒ වුණත් විහිලුවටවත් එහෙම කියන්න නරකයි" අයුමි කිව්වා.
"හා හා. දැන් ඕක ඔච්චර හිතට ගන්න ඕන නෑ. මම විහිලුවක්නේ කලේ" ප්‍රියන්ති කිව්වා.
"ඒ මොක වුණත්, කාව නමුත් අතේ දුරින් තියාගන්න එක තමා හොඳ" ප්‍රියන්ති තව දුරටත් එහෙම කිව්වේ අයුමිට හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරලා.  එදා හවස රවීන්ව මුණගැහෙද්දිත් අයුමිගේ හිතේ වැඩ කරමින් තිබ්බේ ප්‍රියන්ති කිව්ව කතාව.
"මට හිතාගන්න බෑ මම මෙච්චර දවස් කොහොම මේ තරම් කම්මැලි වෙලා හිටියද කියලා" රවීන් කිව්වේ ඩිසයින් එක ඉවර කරන්න අයුමිව බෝඩ් රූම් එකේදි මුණගැහුණ වෙලේ.
"ඒ කිව්වේ?" අයුමි ඇහුවා.
"මම කලින් අවුරුද්දෙම විතර වැඩිය ඔෆිස් එකට වැඩිය ආවේ නෑ. ගොඩක් විට මෙහේ වැඩ කලේ සමින්දයි, ඔයා එන්න කලින් උන්නු ගර්ලුයි. මම ගෙදර ඉඳන් තමා වැඩ කලේ. දැන් දැන් ඔෆිස් නිතරම් එද්දි හිතෙනවා ගෙදර ඉද්දි මම හොඳටම කම්මැලි වෙලා නේද හිටියේ කියලා" රවීන් කිව්වා.
"වැඩේ හරියටම කෙරෙනවා නම් සර් එන්නත් ඕන නෑනෙ" අයුමි කිව්වා පණ්ඩිතයෙක් වගේ.
රවීන් ඒ පාර සේරම වැඩ නවත්තලා ඈ දිහා බැලුවා.
"ඉතිං ඔයා හිතන්නේ මම මේ ඔෆිස් එන්නේ ඔයා හරියට වැඩ නොකරන හන්දා, ඒවා මම බලන්න ඕන හන්දා කියලද?" රවීන් ඇහුවා.
අයුමිට ඒකට උත්තරයක් හිතාගන්න බැරිව ඔහු දිහා බලාගෙන උන්නා.
"ම්ම්?" රවීන් ආයෙම ඇහුවා.
"නෑ...මේ...මං දන්නේ නෑ" අයුමි කිව්වේ තතනමින්.
ඒ පාර රවීන් ලැප් ටොප් එකේ flap එක වහලා අයුමි දිහා කෙලින්ම බැලුවා.
"ඔයාට තමන්ගේ වැඩ ගැන ඒ තරම්ම අවතක්සේරුවක් ද තියෙන්නේ?"
රවීන් එහෙම ඇහුවම අයුමිගේ හිත ගැස්සුනා.
"නෑ..." අයුමි කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
"එහෙනම්?"
"මම එහෙම හිතලා කිව්වා නෙවෙයි" අයුමි සර් කියවෙන්න ආපු එක අමාරුවෙන් නවත්තගෙන කිව්වා.
රවීන් මොනවත්ම නොකියා තව ටික වෙලාවක් එහෙමම උන්නේ ඇයි කියන්න අයුමි දැනගෙන උන්නේ නෑ.
"අයුමි දන්නවද මම ඔෆිස් එන්නේ ඔයා හන්දා කියලා?"
අන්තිමට රවීන් එහෙම කිව්වම අයුමි ඉස්සෙල්ලටත් වඩා ගැස්සුනා. ඈට දැනුනේ ඇගේ හිත මිරිකෙනවා වගේ හැඟීමක්. ඈ රවීන් දිහා බැලුවේ දෑස් දල්වගෙන.
"ඒ ඔයා වැඩ කරන විදියට මම කැමති නිසා" රවීන් එහෙම කිව්වමයි අයුමිට සැනසුම් සුසුමක් හෙලුණේ.
"මම ඔයාට සමහරවිට කියලා ඇති, මේ මගේ රාජකාරිය නෙවෙයි hobby එක කියලයි මම හිතන්නේ කියලා. ඒ හන්දම මම මේ වැඩ කරන්නේ ලොකු ආසාවකින්. ඒ නිසාම මට ඕන මේ කරන වැඩේ මට ඕන විදියටම, හරියටම, ලස්සනට කරන්න. සමහරවිට මම perfectionist කෙනෙක් වෙන්න ඇති. වෙන්න ඇති නෙවෙයි, එහෙම තමයි. ඒ නිසා මම designing  වැඩ delegate කරන්න වැඩිය කැමති නෑ හැමෝටම. ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි මං දන්නවා. ඒත් ඒක වෙනස් කරගන්න දැන් අමාරුයි. ඒ නිසා මෙච්චර කල් designing වල ලොකුම part එකක් handle කලේ මම. මොකද ඒ වැඩේ qualityටම මට කෙරෙන්න ඕන නිසා. ඒක වුණේ මගේ මුල්ම designer, මගේ හොඳම client කෙනෙක්ගේ වැඩක් බොහොම නරක විදියට කරලා අන්තිමේදි ඒක ආපහු මුල ඉඳම මට කරන්න වුණ හන්දා.
ඒත් ඔයා ආවට පස්සේ, ඔයාගේ වැඩ බැළුවම මට තේරුණා තවත් මම වැඩ delegate කරන්න බය වෙන්න ඕන නෑ කියලා. ආපහු මට විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ලැබුණා කියලා. කොටින්ම කිව්වොත් මම හිතන විදියට හිතන, දකින, designer කෙනෙක් මට ලැබුණා කියලා. මම ඒකයි කිව්වේ, මම එන්නේ ඔයා හන්දා කියලා. ඔයා එක්ක වැඩ කරන්න ලේසියි. ඒක මට සතුටක්, ඒකයි..." රවීන් කියාගෙන ගියේ ඈ දිහා බලාගෙනමයි.
ගල් ගැහිලා වගේ ඔහු දිහා බලාගෙන උන්නු අයුමි, රවීන්ගේ කතාවෙන් පස්සේ ඇතිවුණ නිහැඬියාවත් එක්කම පියවි ලොවට ආවා.
"තෑන්ක් යූ සර්..." අයුමිට තතනමින් කියන්න පුලුවන් වුණේ එච්චරයි.
"හොඳින් වැඩ කරන්න. මනස්ගාත හිතන්න එපා. අනික,මට සර් කියන්න එපා. please" රවීන් එහෙම කිව්වා අයුමිට මතක් වුණා. ඒ පාර ඈට හිනාවක් ගියේ ඉබේටම.
"කෙල්ලනේ නැගිටින්නේ නැද්ද?" ආත්තම්මා ආයෙම කාමරේට එබිලා මොර දුන්නමයි අයුමි රවීන් ගැන සිතුවිලි වලින් මිදුනේ.
"මේ එනවා ආත්තම්මේ" අයුමි ඇඳෙන් බැහැලා එන්න ආවේ අක්කගේ කකුලකටත් පාරක් ගහගෙන.

"එන්නම්" අක්කා නිදිමතේම කෙඳිරි ගෑවා. 

2 comments:

  1. කියන්න දෙයක් නැ ලස්සනයි

    ReplyDelete
  2. Hareema lassanayi.... sathiyalata kotas 2k wath dannako

    ReplyDelete