Saturday, April 11, 2015

විහංඟනාවී- දොලොස්වෙනි කොටස

ආපු වැඩේ ඉවර කරලා නුවර එලිය හරහා ආපහු යන ගමනෙදි, නුවර එලිය ටවුන් එකේ වාහනේ නැවැත්තුවේ රවීන්ට කෝපි බොන්නයි, සමින්දට එයාගේ අම්මට එලවලු, පළතුරු ගන්න ඕන වුණ හන්දයි. සේරමල්ලා කෝපි බොන්න ගොඩවැදුණේ නුවර එලියේ වික්ටෝරියා පාක් එක අසල තිබුණ ගාඩ්න් කැෆේ එකට.
"සමින්ද එල්වලු අරන් මේ හරියටම එන්නකෝ. ස්ට්‍රෝබෙරි එහෙම නම් අර ඉස්සරහ පලතුරු කඩවලින් ගන්න පුලුවන්" එහෙම කිව්වේ රවීන්.
ඉතිං කෝපි බීලා සමින්ද මාකට් එකට යන්න ගියාම කැෆේ එකේ ඉතිරි වුනේ රවීන් එක්ක අයුමි විතරයි.
"අයුමි මොනවත් ගෙනියන්නේ නැද්ද?" රවීන් ඇහුවා.
"ස්ට්‍රෝබෙරිවත් අරන් යන්න ඕන බෝඩිමේ අයට..." අයුමි කිව්වේ යන්තම් හිනාවෙලා.
"ආ...ඒවා අර ඉස්සරහින් ගන්න පුලුවන්" රවීන් කිව්වා පාර එහා පැත්ත පෙන්නලා.
අයුමිට යන්න ඕන වුණත් රවීන් නම් නැගිටින පාටක් පෙනුනේ නෑ. අයුමි ඒ පාර හෙමින් තමන්ගේ කෝපි එක බීලා ඉවර කලා.
"ගාඩ්න් එකට යන්න ඕනද?"
අයුමි කෝපි එක බොනකල් ඉඳපු රවීන් එහෙම ඇහුවේ අයුමිව පුදුම කරවමින්.
" දැන් දැන් යන්න බෑනෙ...මේ, අපි දැන් ආපහු යන්න ඕන නේ" අයුමි කිව්වේ වෙන මොනා කියන්නද කියලා හිතමින්.
රවීන් අයුමි දිහා බලාගෙන උන්නේ මොකක්දෝ දයාබර බවක් පිරුණ ඇස් වලින්. ඊලඟට ඔහු සුසුමක් හෙලුවා.
"ඔයාට ඕන නම් ගිහින් එන්න පුලුවන්. මේ එහා පැත්තෙනේ" රවීන් කිව්වා.
අයුමි හිස වැනුවා. "ඕන නෑ. හදිසියේ එහෙම ගිහින් එන්නත් බෑනෙ"
අයුමිගෙන් දැස් මුදවගෙන අහක බලපු රවීන් උරහිස හැකිලුවා.
"ok, අපි එහෙනම් ස්ට්‍රෝබෙරි ටිකක් ගන්න යමු ? සමින්දලා එතනට ඒවි නේ"
"හා "
රවීන් ඉස්සර වුණාම අයුමි ඔහුගේ පස්සෙන් වැටුණා.
"ම්ම්...වැස්සක් එන්න වගේ සැරසෙන්නේ" හාත්පසම අඳුරු වෙලා, සීතල හුලඟකුත් හමද්දි, රවීන් කිව්වේ අහස දිහා බලලා.
අයුමිත් ඒ අනුවම අහස දිහා බැලුවා. පේනතෙක් මානේ මුලු අහසම වැහිලා තිබුණේ අලුපාට වලාකුලු වලින්. යන්තමින් වැහි බිංඳු එක දෙක වැටෙන්නත් පටන් ගත්ත හන්දම ඈ රවීන් එක්කම පලතුරු කඩ තියෙන දිහාට පය ඉක්මණ් කලා.
"මෙහේ කාලගුණෙත් හරියට ගෑණු ලමයින්ගේ හිත වගේ කියනවනේ. ටක් ටක් ගාලා වෙනස් වෙනවා. " රවීන් කිව්වේ ලඟම තිබ්බ කඩේ මුවාව යටට යමින්.
අයුමි මුකුත්ම නොකියා ඔහු අසලට වුණේ තවත් ගොඩක් අය වැස්ස නිසා ඒ කඩේ යටට රොක් වෙලා හිටපු නිසා. රවීන් කියපු දේට ඔහු වෙන කෙනෙක් වුණා නම්හොඳ උත්තරයක් කියන්න තිබ්බා කියලා හිත හිත අයුමි නිහඬවම හිටියා.
"බලමු අර දෙන්න කොහේද කියලා"
රවීන් ෆෝන් එක අතට අරන් සමින්දට කෝල් එකක් ගන්න ගමන් කිව්වා. අයුමි උන්නේ දැන් දැන් වැඩි වෙලා එක සීරුවට ඇදහැලෙමින් තිබුණ වැස්ස දිහා බලාගෙන. කඩේ ඇතුලට තව කීප දෙනෙක් පිරුණ නිසා උන්නු සේරම අය හිටියේ හිරවෙලා තද වෙලා වගේ. රවීන්ගේ අසලින්ම උන්නු අයුමි ඔහුගේ ඇඟේ නොවැදී ඉන්න උත්සාහ කලා, සෙනග වැඩි වෙද්දි. ඒ එක්කම වැස්ස හන්දා හාත්පස පරිසරයේ තිබ්බ සීතලත් වැඩිවෙමිනුයි තිබුණේ.
"ආ...දැන් එතකොට වාහනේ කොහෙද?...එහෙමද? හ්ම්ම්...පොඩ්ඩක් බලන්න ඔය පැත්තේ කඩේකින් කුඩයක් අරන් හරි එන්න එහෙම නම්. අපි දෙන්නත් මේ කඩයක් ඇතුලේ ඉන්නේ" රවීන් කියනවා අයුමිට ඇහුණා.
"ඒ දෙන්නා මාකට් එක ලඟලු. වාහනේ අර වෙන කොහෙදෝලු නවත්තලා තියෙන්නේ. යන්න විදියක් නැතිව ඉන්නවලු. ඒකයි මම කිව්වේ කුඩයක් අරන් වත් එන්න කියලා" රවීන් ෆෝන් එක සාක්කුවේ ඔබාගන්න ගමන් අයුමිට කිව්වා.
"අනේ ඇත්තද?"
අයුමි අහද්දි ඈට එහා පැත්තේ හිටපු පිරිමි ළමයි දෙන්නෙක් ඇවිත් ඇගේ ඇඟේ වැදුනේ කඩේ ඇතුලට මේ දැන් ආපු තව දෙන්නෙක්ට ඉඩ දෙන්න සෙනග එහාට මෙහාට වෙද්දි.
"ඕ...සොරි" ඒ දෙන්නා කිව්වේ අයුමි දිහා වගේම රවීන් දිහාත් බලලා.
"පොඩ්ඩක් මෙහාට එන්න" රවීන් පස්සට වෙලා ඔහු ලඟට එන්න අයුමිට ඉඩ දෙමින් කිව්වා.
අයුමි ඒ පැත්තට වුණේ වෙන යන්න ඉඩක් නොතිබුණ හන්දා. එතකොට ඈ උන්නේ රවීන්ගේ ඇඟේ ගෑවී නොගෑවී.
"හරිම වෙලාවක තමයි අපිත් එලියට බැස්සේ" අයුමිට ඇහුණා ලඟ උන්නු දෙන්නෙක් කතා වෙනවා.
අයුමි හැරිලා රවීන් දිහා බැලුවේ ඔහු මොකද කරන්නේ කියලා. ඒ එක්කම ඈ දිහා බලපු රවීන් හිනාවුණා.
"ෂෝක් එක්ස්පීරියන්ස් එක නේද?"
"ම්ම්" අයුමිත් හිනාවෙලා හිස වැනුවේ වැස්ස එක්ක හමපු හුලඟ හන්දා ඇඟේ හීහඩු පිපෙද්දි.
වාහනේම ආපු හන්දා ජර්සියත් වාහනේ දාලා ඇවිත් අයුමි උන්නේ සීතලේ. ඈ අත්දෙක බැඳගත්තෙත් ඒකයි.
"ජර්සිය දාලා අවද?" රවීන්ගේ හඬ ඇහුණේ අයුමිගේ කන ලඟින්ම.
"ඔව් නේ" ඈ හෙමින් කිව්වා.
"මේ යෝදයෝ දෙන්න කොහේ ගිහින්ද මන්දා" රවීන් ආයෙම ෆෝන් එක අතට අරන් සමින්දට ඩයල් කරන ගමන් කිව්වා. "ඒ පාර ෆෝන් එක උස්සන්නේත් නෑ" 
රවීන් තමන්ටම කියාගනිද්දි, අයුමි වැස්ස දිහා බලාගෙනම උන්නේ සීතලෙන් දත් ටිකත් එකට ගැටෙද්දි.
රවීන් එහාට මෙහාට හැරෙන වගක් දැනිලා අයුමි ආයෙම පිටිපස්ස හැරිලා බලද්දි ඔහු උන්නේ තමන්ගේ ජැකට් එක ගලවලා අතට අරගෙන. අයුමි මොන්වත් හිතනන්වත් කලින් ඔහු ඒක ඈ වෙත පෑවා.
"ඔයා සීතලේ වෙව්ලනව. මෙන්න මේක දාගන්න"
"අ..අනේ...ඕන නෑ සර්. මට එහෙම සීතල නෑ, සර්ටත් සීලයි නේ. අනික දැන් මෙයාලා එයිත් නේ" අයුමි කිව්වේ ටිකක් කලබල වෙලා. කලබලේටම සර් නොකියා ඉන්න කියුව වගත් ඈට අමතක වෙලයි තිබුණේ.
"මට සීතල ගාණක් නෑ. මෙන්න මේක දාගන්න" රවීන් ඊලඟ පාර ජැකට් එක ඈ අතට නොදී, ඒක අරන් අයුමිගේ උරහිස මතින් දැම්මා. අයුමිගේ හිසත් සීතල වෙනවා වගෙයි ඈට දැනුනේ.
"ඕක හරියට අල්ලගන්න නැත්තම් බිමට වැටෙයි" ඊටපස්සේ රවීන් කිව්වා.
අයුමි ජැකට් එක අත් දෙකින් අල්ලගත්තා හෙමින්. රවීන් මෙහෙම කරන්නේ ඇයි කියලා ඈට හිතාගන්න බැරි වුණා. ජැකට් එකෙන් නික්මුණේ රවීන්ගේ හුරු පුරුදු විලවුන් සුවඳ. ඈ ගැහෙන හිත සන්සුන් කරගන්න උත්සාහ කරමින් ආයෙම වැස්ස දිහා බලාගෙනම උන්නා. සමින්දලා ආවේ තවත් විනාඩි දහයකට විතර පස්සේ.
"අයුමි මුලින් යන්න" සමින්ද කුඩේ අරන් ආවම රවීන් කිව්වා.
කුඩේ යටින් අයුමි සමින්ද එක්ක වාහනේට දිව්වත්, වැස්සේ සැරකම හන්දා රවීන්ගේ කෝට් එකේ දකුණු පැත්ත සෑහෙන්න තෙමුණා. වාහනේට නගිද්දිත් තව ටිකක් තෙමුණ අයුමි, රවීන් එද්දිත් හිටියේ හිස පිහිද පිහිද. ඈ නොහිතුව විදියට රවීන් නැග්ගෙත් වාහනේ පස්සේ ආසනේට.
"මේ ළමයා කුඩේ යටින් ඇවිලත් තෙමිලනේ" රවීන් කිව්වේ අසල තිබ්බ බාගෙට තෙමිච්ච ජැකට් එක දිහාත් බලමින්.
"මාර වැස්සක්නේ Mr. රවීන් වහින්නේ" සමින්ද ඉස්සරහ සීට් එකේ ඉඳන් හැරිලා කිව්වා.
"හ්ම්ම්...පරෙස්සමින් එල්වන්න වෙයි. මගදි මීදුම ඇති" රවීන් එහෙම කියලා තෙමුණ තැන් පිහ පිහ සීට් එකට හේත්තු වුණා.
අයුමිත් කොණ්ඩේ පිහගෙන සීට් එකට හේත්තු වුණේ සීතලෙන් ගැහෙ ගැහීම වාහනේ ඇතුලේ තිබුණ තනූජාගේ ජර්සිය දාගන්න ගමන්. රවීන් ඈ දිහා බලලා හිනාවක් පෑවා. තරමක් තෙමිලා සීතලේ උන්නු ඔහු දැක්කම අයුමිට ඇතිවුණේ දුකක්. ජැකට් එක තිබ්බා නම් ඔහු තෙමෙන්නේ නෑනෙ කියලා ඈට හිතුණ නිසා.
"ජැකට් එක මට දීලා සර්ට තෙමෙන්න වුණා නේද?" අයුමි ඇහුවේ හෙමින්.
"සර්?" රවීනුත් ඇහුවේ හෙමින්.
ඒ පාර අයුමි ඉවත බලාගත්තා. ඒ අතරේ රවීන් වාහනේ පිටිපස්සෙන් බෑග් එකක් අරන් ඒකෙන් ඇදලා ගත්තු ජර්සියක් වගේ එකක් දා ගන්නවා ඈ දැක්කා යන්තමින්.
"තෙමුවා නම් දැන් ඉතිං හෝදලත් දෙන්න වෙයි නේද සමින්ද?" රවීන් ඇහුවේ මොනවදෝ අහන්න ඒ පැත්ත බලපු සමින්දගෙන්.
"ආ...ඒක නේන්නම්. හෝදලා දෙන්න වෙයි අයුමි" සමින්දත් කිව්වේ හිනා වෙවී.
ඒක කිව්වේ විහිලුවට වග අයුමි දැනගෙන උන්නත්, ජැකට් එක හෝදලා දෙන්න ඕන කියලා ඈ හිතා ගත්තා. මොකද වාහනේට නගිද්දි ඒකේ තිබ්බ මඩත් ජැකට් එකේ ගෑවුණ හන්දා.
"හා හා" අයුමි හිනාවක් පාල ම කිව්වේ සමින්දට.
කොහොමින් හරි හෙමින් හෙමින්, වැස්ස මීදුම මැදින් අයුමිලා කොලඹ එන්න ආවා. ඒ එන අතරමගදි රවීන් අයුමි එක්ක කතා නොකරපු තරම්. සමින්දයි, ඩ්‍රයිවරුයි එක්ක තමා ඔහු වැඩිපුරම කතා කරමින් ආවේ. අයුමි උන්නේ ඇස් පියාගෙන නිදාගන්න උත්සාහ කරමින්. මොකද පාරේ වංගු ඈ තුල හිස කරකවන ගතියක් ඇති කරපු හන්දා. අන්තිමේදි කාලා බීලා හෙම, කොලඹට සේන්දු වෙද්දි රෑ දහය විතර වෙලා තිබුණා.
සමින්ද කැලණියෙන් බැහැලා ගියාට පස්සේ, රවීන් ඩ්‍රයිවර්ගෙන් වාහනේ ගත්තා. ඊටපස්සේ මෙන්න ඩ්‍රයිවරුත් බැස්සා ඔරුගොඩවත්ත හරියෙන්. වාහනේ ඉතිරි වුණේ අයුමි විතරයි, රවීන් එක්ක. අයුමි දිගටම නිදාගෙන වගේ ආ නිසාදෝ, රවීන් රාජගිරියට ලංවෙනකල්ම අයුමිට කතා කලෙත් නෑ.
"මම හෙට ගොඩ වෙලාවට ඔෆිස් එවෙන්නේ නෑ අයුමි. ඔයා design ටික finalize කරන්න. furniture හෙමත් පොඩ්ඩක් බලන්න ඔය, Damro, Singer එකේ හෙම. ගොඩක් high end බලන්න ඕන නෑ. මට හවස යන්න කලින් design එක mail කරන්නකෝ. ඊටපස්සේ අපි බලමු ඉස්සරහ වැඩ"
බෝඩිම ලඟදි බහින්න කලින් රවීන් අයුමිට උපදෙස් දුන්නා. ඈ හැමදේම සාවධානව අහගෙන ඉඳලා හිස වැනුවා.
"එහෙනං...මම ගිහින් එන්නද?" රවීන් ඇහුවේ ලෙන්ගතු හඬකින්.
"හා...ස..අම්. හොඳයි. පරෙස්සමෙන් යන්න එහෙනම්" අයුමි කිව්වේ සර් කීප පාරක්ම කියවෙන්න ගිය එක ගිල ගනිමින්.
රවීන් ඈ දිහා බලලා ලස්සන හිනාවක් පෑවා.
"පුරුදු වෙද්දි හරියයි…මම කිව්වේ සර් කියන එක"
අයුමිටත් හිනාවක් නැගුණා.
"ආ..මේ...මහේ ජැකට් එක කොහෙද ඔය ගෙනියන්නේ?" රවීන් එක පාරටම ඇහුවේ අයුමි අතේ ගුලි කරගෙන උන්නු ඔහුගේ ජැකට් එක දැකලා.
"ඒක තෙමිලානේ. මම හෝදලා ගෙනත් දෙන්නම්"
"පිස්සුද ළමයෝ. ඕක මම හෝදගන්නම්. මෙන්න මෙහේ දෙන්න" රවීන් කිව්වේ වාහනෙන් එලියට එබෙන ගමන්.
"ම්ම්හු. මං හෝදලා දෙන්නම්" අයුමි කිව්වේ බෝඩිමේ ගේට්ටුව ලඟට යමින්.
"අයුමි...you don’t have to wash that..please...." රවීන් ආයෙම කිව්වා.
"ගුඩ් නයිට් මිසටර් රවීන්...පරෙස්සමින් යන්න" අයුමි ගේට්ටුවෙන් ඇතුල් වෙලා කිව්වා.
රවීන් ඈ දිහා බලාගෙන උන්නා මොහොතක් මුකුත් කියාගන්න බැරිව.
"පිස්සු ලමයා. ගුඩ් නයිට්. Take care"

අයුමි හිනාවුණා විතරයි. රවීනුත් ආයෙම හිනාවෙලා අතක් වනලා යන්න ගියා. අයුමි බෝඩිමේ දොරට තට්ටු කලේ තවමත් හිනාවෙමින්. රවීන් ඈ හිතුවට වඩා, සැහැල්ලු, විනෝදකාමී කෙනෙක් කියලා ඈට තේරිලා තිබුණා. ඒ නිසාම ඇගේ හිතේ තිබ්බෙත් සැනසීමක්. නපුරු බොස් කෙනෙක් එක්ක වැඩ කරන්න කවුද කැමති වෙන්නේ?

4 comments:

  1. Hareeeema lassanayi. Kiyanna wachana na... ikmanatama liyannako akki :)

    ReplyDelete
  2. කෙල්ලො කෙ‍ාහොමත් එහෙම තමා....ඒ තිත්ත ඇත්ත නෙතු හරි ලස්සනට පෙන්නලා තියෙනවා...හැගීම්බරයි

    ReplyDelete