Wednesday, April 22, 2015

විහංගනාවී- දාහතරවන කොටස

"මට ඕකිට දෙන්න පුලුවන් කට කැඩෙන්න"
අයුමි හැරිලා බැලුවේ අක්කගේ උස් කටහඬ පිටිපස්සෙන් ඇහුණ හන්දා. මූණත් රතු කරගෙන අම්මා එක්ක කාටදෝ මන්දා බනිමින් ඈ පන්සලේ ඉඳන් අයුමියි, ආත්තම්මයි උන්නු දිහාට එමින් උන්නා. ඊට ටිකක් ඈතින් පන්සලේ දොරටුව ලඟ හිටගෙන උන්නේ මාමගේ දුව වෙච්ච හිමාලියි, නැන්දයි.
"මොකදෑ අර අපේ අඟ පරල වෙලා?"අච්චි අම්මත් ඇහුවේ කිසි වගක් නැතිව අක්කලා එන දිහාව බලන ගමන්.
"අනේ මන්දා අත්තම්මේ" අයුමි කියන්වත් එක්කම වගේ තමා අක්කයි අම්මයි ඒ අසලට ආවේ.
"අයි අම්මේ? මොකෝ මේ අක්කා කෑ ගහන්නේ?" අයුමි ඇහුවා.
අම්මා කලේ යන්තම් අක්කට රවලා අහක බලාගත්තු එක.
"පන්සලකට ගිහින් වත් කටවහගෙන ඉන්න බෑනේ මේ ළමයින්ට" අම්මා කිව්වා.
"ආ...එතකොට මගේ තමා මෙතන වරද? අරයගේ ඔක්කොම හොඳයි" අක්කා කිව්වේ තරහින් පිපිරෙමින්.
"මොකක්ද අනේ වුණේ?" අයුමි ඇහුවේ නො ඉවසිල්ලෙන්.
"අරයගේ මෙයාගේ වගක් වැඩක් නෑනෙ අපට. අපි හරියට ඉන්න එකයි වැදගත් වෙන්නේ.එයාගේ හැටි නොදන්නවා වගෙනේ ඔයා හැසිරෙන්නේ ලමයෝ" එහෙම කිව්වේ අම්මා.
"ගැටපද නොකියා කියහල්ලකෝ. කාටද මේ චට පට ගෑවිල්ලේ බනින්නේ?" බොන්න අතට ගත්තු වතුර බෝතලෙත් නොබී පුදුමෙන් වගේ අක්කලා දිහා බලාගෙන උන්නු ආත්තම්මත් කිව්වා.
"කාටද ඉතිං අර හිමාලියට මිස" අම්මා කිව්වා.
"ඒ පාර මොකක්ද කිව්වේ?"
"එයා හැමවෙලේකම අපිව බාල්දු කරලා කතා කරන එකනේ කරන්නේ. ගියපු හැම එකකටම අනං මනං කිව්වා. මාලු වලට මිරිස් මදි වගේලු. ගොටුකොල සලාදේ මැලවිලාලු.බත් උයලා තියෙන්නේ හුණුසාල් වලින්ද කොහෙද කියලා නැන්දට කියන්වත් මට ඇහුණා" අනුකි කිව්වේ තාමත් තරහින් ගැහෙමින්.
"අම්මපා? පුදුම කටක් නේ මේක.. කිව්වොත් ඔය වගේ කට කැඩිච්චි කතාවක්ම නෙව. හා හා පුරා කියලා අර මද්දු පුතාලගේ ගෙදරින් ගොයම් කපලා අහක අරගෙන ආපු හාල් ටික. ඇයි වදේ මුන් හැමදාම බාස්මතී කනවා වගෙනෙ කතාව" ඒ පාර පරල වෙන්න ගත්තේ ආත්තම්මා.
"අනේ අම්මේ දැන් කටවහගෙන යමු. එයාගේ හැටි දැන දැන අපි මොකට පැටලෙන්න යනව ද? අඩු කලේ දිය සැලේ කියනවනේ"
අයුමිගේ අම්මා කිව්වේ ආයෙම පන්සල දිහාවට යන්න හැරුණ ආත්තම්මව අතකින් අල්ලගන්න ගමන්.
"ඒකනේ ආත්තම්මේ. ඔන්න ඔහේ අපි යමු යන්න" අයුමිත් කිව්වේ අක්කව ඇදගෙන එන ගමන්.
අයුමි ආපහු හැරිලා බලද්දි ඈ දැක්කා හිමාලි ආඩම්බර විදියට තමන් උන්නු දිහා බලාගෙන හිටපු වග. අන්තිමේදි කොහොම කොහොම හරි අයුමියි, අම්මයි වදෙන් පොරෙන් වගේ ආත්තම්මවයි, අනුකිවයි මෙච්චල් කරගෙන ගෙදර එන්න පිටත් වුණා.
"එයා ඔයා එදා නුවර එලියේ ගියපු එක ගැනත් මහ කැත කතාවක් කිව්වා. ඒකයි මට ගොඩක්ම තරහා ගියේ" ඒ එන ගමනෙදි අක්කා කිව්වේ හෙමින්.
අයුමි අක්කා දිහා බැලුවේ හිතේ හිමාලි ගැන නොරිස්සුමක් මෝදු වීගෙන එද්දි.
"මොකක්? එයා කොහොමද දන්නේ මම ගිය වග?"
"මාමා කියන්න ඇති. අම්මා මාමට හැමදේම කියනවනේ"
"ඉතිං මොකක්ද එයා කිව්වේ?" අයුමි ඇහුවේ නො ඉවසිල්ලෙන්.
"එක්කොත් ඕන නෑ. ඔයා මොකටද මේවා අහලා ඔලුව නරක් කරගන්නේ" අනුකි කිව්වා.
"නෑ නෑ. මට ඒක දැනගන්නම ඕන.  දැන් ඒක කිව්වට පස්සේ නොකියා ඉන්න හදන්න එපා" අයුමි කිව්වේ අනුකිගේ අතක එල්ලෙන ගමන්.
අනුකි අයුමි දිහා බලලා සුසුමක් හෙලුවා.
"දැන් මද්දු නංඟිගේ වැඩ වලට බොස්ලා එක්ක නුවර එලියේ හෝටල් වල යන එකත් තියෙනවලු නේද කිව්ව"
ඒක ඇහුවම අයුමිගේ හිතට කටු අනින්නා වගෙයි දැනුනේ. 'කොච්චර නරක කතාවක්ද?'
"අම්මලත් ඉද්දි?"
"නෑ නෑ. අපි දෙන්නා දානෙ භාජන ගේන්න ගිය වෙලේ කිව්වේ"
"එයා නම් මහා එපා කරපු එක්කෙනෙක්. බලන්න ඒ කියපු කතාවේ කැත?" අයුමි කිව්වේ හිත රිදිලා.
"ඒකනේ කියන්නෙ. එවෙලේ ලොකු හාමුදුරුවෝ නේන්න මම කියනවා එයාට හොඳ දේවල් ටිකක්. හැබැයි රජෝ කොයි වෙලේක හරි මම ගහන එක නම් ගහනවාමයි ඔය කට වැහිලම යන්න" අනුකි කිව්වේ දත්මිටි කමින්.
"අනේ එක අතකට මොකටද අක්කේ. අර අත්තම්ම කියන්නා වගේ, ඇට නැති දිවට මොනා කියන්න බැරිද? ඔයා ඒ හොල්මන එක්ක පැටලෙන්න යන්න එපා. එයා කරපුවා එයා ගෙනියයි. ඔය එයා නෙවෙයි, එයා ඇතුලේ තියෙන ඉරිසියාව කතා කරන්නෙ" අයුමි කිව්වා.
"ඉරිසියාව නේන්නම්. වෙන මොකක්ද? අපේ තාත්තා නැති වුනාට පස්සෙත් මම නර්ස් කෙනෙක් වුණ එක, ඔයාට හොඳ ජොබ් එකක් හම්බුන එක ඉවසගන්න බැරිව" අනුකි කිව්වේ තරහින්මයි.
"අපිට කරන්න තියෙන්නේ තව හොඳට ඉන්න එක. එහෙම කරන එක තමා එයාට දෙන්න පුලුවන් හොඳම කම්මුල් පාර"
අයුමි කිව්වම අනුකි ඈ දිහා බලලා හිනාවක් පෑවා පලවෙනි පාරට.අයුමිත් පෙරලා හිනාවුණා. ඒත් ඇගේ හිතේ හිමාලි ගැන තිබ්බ නොපහන් හැඟීම නැති වුණේ නෑ.
"මම හිතන්නේ අම්මා මාමට රුචිර ගැන කියලද කොහෙද. මාමා ඒකත් ගෙදර ගිහින් කියන්න ඇති. හිමාලි පැලෙන්න යන්නේ එකයි. එයාට කවුරුවත් නෑනෙ තාම" අනුකි ආයෙම කතාව පටන් ගත්තේ නිවුණ ස්වරයකින්.
අයුමි ඈ දිහා බැලුවේ මනමාල හිනාවකුත් එක්කමයි.
"ආ...එතකොට එයාගෙ නම රුචිරද?" අයුමි ඇහුවම අනුකි ටිකක් ගැස්සිලා වගේ ඈ දිහා බැලුවා.
"?...ම්ම්...මට කියන්න බැරි වුණාන්නෙ ඔයාට..." අනුකි කිව්වේ මූණ රතු වෙද්දි.
"දැන් කියන්න ඉතිං" අයුමි කිව්වා.
"ම්ම්...රුචිර පතිරණ තමා නම" අනුකි කිව්වේ අයුමි දිහා නොබලා ලැජ්ජාවෙන් අහක බලාගෙන හිනාවෙමින්.
"බැංකු මැනේජර්වරයෙක් කිව්වා නේ?"
"හ්ම්ම්"
"ඉතිං කවදද එන්නේ අපේ ගෙවල් පැත්තේ?"
"අනේ මන්දා හලෝ. අම්මා තාම මුකුත් කිව්වේ නෑනෙ. රුචිරගේ අම්මලා නම් එන්න ඇහුවත්ලු"
"අම්මා බලාගෙන ඇත්තේ තත්තගේ පිංකම එහෙම ඉවර වෙනකල් වෙන්න ඇති. අනික ඉතිං මොකද ඔච්චරම හදිසි?" අයුමි අනුකිට වැලිමිටින් ඇනලා ඇහුවා.
"අනේ එපා. නිකං ඉන්නවකෝ" අනුකි අහකට පැනලා කිව්වා.
"හම්මෝ මූණේ තියෙන පෙම් පාට. ඉස්සෙල්ල තරහා ගිහිං තිබ්බද කියලාවත් නෑ"
"අනේ ඇති දැන් ඕක නවත්තගන්න"
අයුමි ඒ පාර හිනාවෙවීම අනුකිගේ අතකින් අල්ලගත්තා. ඈතින් ආත්තම්මා එක්ක යමින් උන්නු අම්මා හැරිලා බලලා අතක් වැනුවේ දෙන්නට ඉක්මණට එන්න කියලා.
"ඔයාට නැද්ද හිත ගිය කෙනෙක් තාම?" අනුකි අයුමිගෙන් ඇහුවේ ගමන ඉක්මණ් කරන්න කිසිම හදිසියක් නැතිව.
"? අනේ පිස්සුද අනේ. ඕවා හිතන්න මට කාලයක් නෑ දැන්" අයුමි කිව්වේ ඇදලා පැදලා.
ඒත් මොකක්දෝ හේතුවකට ඇගේ හිතේ යාන්තමට ඇඳුනේ රවීන්ව. ඈ ඉක්මනින් ඒ සිතිවිල්ල අහක් කර ගත්තා. ඇත්තටම අයුමිට එහෙම විශේෂත්වයක් හිතෙන්න හරි, ආදරේ හිතෙන්න හරි කෙනෙක් තවමත් හම්බවෙලා තිබුණේ නෑ. එහෙම කිව්වත්, රවීන් ගැන ඇගේ හිතේ මොකක්දෝ තේරුම්ගන්න බැරි හැඟීමක් තිබුණා. ඒත් ඒක තේරුම් ගන්න අයුමිට තිබුණේ බයක්.

1 comment:

  1. පවු කෙල්ල මේ තරම් අසරණ කරන්න එපා

    ReplyDelete