Wednesday, April 8, 2015

විහංඟනාවී- එකොලොස්වෙනි කොටස



සුරේෂ්ගේ  හොටෙල් එකේ කාරණ කටයුතු බලලා ඉවර වෙද්දි ටිකක් හවස් වුණ හන්දා ආපහු හෝටලේට අයුමිලා එද්දි රෑ වෙන්නත් පටන් අරගෙන තිබුණා. පරිසරයත් සීතල හන්දා අයුමි හිතාගෙන උන්නු විදියට එලියේ ඇවිදලා ලස්සන බලන්න ඈට වෙලාවක් ලැබුණේ නෑ. රෑ කැම වෙලාවෙන් පස්සෙත් පැය දෙක තුනක්ම රවීන් ගත කලේ design එක ගැන සාකච්චා කරන්න. ඉතිං හොටෙල් එක enjoy කරන වැඩේ එහෙමම නැවතුණා. එදා දවස ආපු පයින්ම වැඩ ගොඩක් කරපු හන්දා අයුමි උන්නේ ටිකක් මහන්සියෙන්. ඒ නිසාම රවීන් එක්ක සාකච්චාව ඉවර වුණ හැටියෙම ඈ කාමරේට එන්න ආවේ රවීන් ගෙන්නපු කෝපි බොන්නවත් නවතින්නේ නැතුව. ඒ එද්දිම තමයි ගෙදරින් කෝල් එකක් ආවෙත්.
 "මොකද ළමයෝ කෝල් එකක්වත් නොදුන්නේ?" ගත්තු ගමන්ම අම්මා නෝක්කාඩු කිව්වා.
"
ඇයි මම අක්කට කතා කලානේ ආපු ගමන්" අයුමි කිව්වේ ආපු වග කියන්න අක්කට ඈ කතා කරපු හන්දා.
"
අක්කා තාම ආවෙත් නෑ. අද මොකක්දෝ පාටියක්නේ. ඉතිං දැන් ඔය කොහෙද ඉන්නේ?" අම්මා ඇහුවා.
අයුමි හොටෙල් එකේ විස්තරයි, වැඩේ ගැන විස්තරයි අම්මට කියන්න තව විනාඩි දෙක තුනක් ගත්තා.
"
කෑම එහෙම හොඳද?" කොහේ ගියත් අම්මගේ ලොකුම ප්‍රශ්ණේ වුණේ ඒක.
"
අනේ ඔව් අම්මා. මෙහේ උයන්න එලවලු හෙම මෙහේම වගා කරන ඒවලු"
"
ආ...හැබෑට?"
"
ඔව්. බේත් පොහොර දාන්නෙත් නෑලු"
"
ආ.. අන්න ඒක නම් හොඳයි. වස විස නැති කෑම දෙන එක
අයුමි හොටෙල් එකේ ඈ දැකපු වග විස්තරයි, අඹේවෙල මග දිගට දැකපුවා ගැන විස්තරයි කියන්න තව විනාඩි කීපයක් ගත්තා.
"අනේ මන්දා, ගෑණු පුලුටක්වත් නැතුව තනියෙම්ම ඔය ගමන යවන්න වුණාට මගේ හිත හරි නෑ ඒ වුණාට" අම්මා කිව්වේ සුසුමක් හෙලන ගමන්.
"අනේ එහෙම හිතන්න එපා අම්මේ. ආරක්ෂාව ගැන බයවෙන්නම දෙයක් නෑ. සර්රුයි, අර ඔෆිස් එකේ අනික් ළමයයි දෙන්නම ඉන්නවනේ. ඒ දෙන්නම හරිම හොඳයි.  මෙතන බයවෙන්න කිසිම දෙයක් නෑ. හොටෙල් එකේ අය නිතරම ඇහැරිලා ඉන්නවත් එක්කනේ. අම්මා ඕවා නොහිතා ඉන්න" අයුමි කිව්වා.
"එහෙම නම් පරෙස්සමෙන්. ලබන සතියේ ගෙදර එනවා නේද?" අම්මා ඇහුවේ ෆෝන් එක තියන්න ලෑස්ති වෙලා.
"
ඔව් ඔව්"
"
හ්ම්. එහෙනම් මම තියන්නම්. තෙරුවන් සරණයි"
"
තෙරුවන් සරණයි අම්මා"
අම්මට කතා කලාට පස්සේ ඇගේ හිතේ ඇති වෙමින් තිබ්බේ මොකක්දෝ සාංකාවක් වගේ එකක්. මේ වගේ ලස්සන තැනක අම්මලා අක්කලා එක්කම එන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද කියලා ඈ හිතුවා. ඒත් ඉතිං ඒකට කොච්චර සල්ලි ඕන වෙයිද කියලා ඒ ගමන්ම ඈ හිතුවේ හීන් සුසුමක් හෙලන ගමන්.  ඈ ඇඳේ දිගාවෙලා සුමුදු පොරෝනාව නිකට දක්වාම ඇදගෙන ගුලි වුණේ නිදන්න හිතාගෙන. ඇඳ අයිනේ තිබ්බ table lamp එක නිව්වේ නැති හන්දා කාමරේ තිබ්බේ කහපාට මන්දාලෝකයකින් එලි වෙලා. හෙට දවසේ කරන්න තියෙන වැඩ ගැන හිත හිතම ඈ දෑස් පියාගත්තේ, එදා දවසේ කරපු වැඩ ගැන සතුටුදායක හැඟීමකින් යුතුව.
පහුවදා උදේ හය වෙද්දි වගේ අයුමිට ඇහැරුණේ පුරුද්දට වගේ. එක නිමේෂයකට ඈට හිතාගන්න බැරිවුණා මේ ඉන්නේ කොහේද කියලා. පොරෝනාවෙන් අත් දෙක එලියට දැම්මම ඈට පුංචි සීතලක් නොදැනුනා නෙවෙයි. කාමරේ ජනේලෙන් හිමිදිරියේ යාන්තම් එලිය වැටීගෙන එනව පෙනුනා. ආයෙම නිදිමතක් නොදැනුන හන්දා අයුමි කලේ හෙමින් නැගිටලා ජනේලේ ලඟට ඇවිදගෙන ආපු එක. ඈ උන්නේ උඩ තට්ටුවේ හන්දා, එලිය වැටීගෙන එන මේ පාන්දර වටපිටාව ලස්ස්නට පේනවා ඇති කියලා ඈට හිතුණා. ඈ ජනේලේ ඇරලා බලද්දි පාතින් පෙනුන පිට්ටනිය තිබුණේ ලා මීදුම් පටලයකින් වැහිලා. එලියේ ඉඳලා හමාගෙන ආපු සීතල හුලඟ ඇඟ හිරිවට්ටගෙන  යද්දි ඈ එක පාරටම වෙව්ලලා ගියා. තැන තැන දාලා තිබුණ ගාඩ්න් ලයිට් තාම නිවලා නොතිබුණ හන්දා ඒවයේ ලා කහපාට එලියත් මීදුම මැදින්  දුබල එලියක් විහිදෙවා. අයුමි මේ හැමදේම දිහා බලාගෙන උන්නේ ආසාවෙන්. ඒ ලස්සන ඇගේ හිතයි ගතයි ප්‍රබෝධමත් කලා වගේ ඈට දැනුනා. තවත් දේකට හිතයන්න කලින් එක පාරටම ඇගේ ඇස ගැටුනේ පිට්ටනියේ එක කොනකින් ඇවිදගෙන එමින් උන්නු රුවක් දිහාවට. බැලු බැල්මට ඈ හිතුවේ ඒ හෝටලයේ සේවකයෙක් වෙන්න ඇති කියලා. ඒත් නොහිතපු විදියට පිට්ටනියේ මැද හරියකදි ඒ රුව හිස උස්සලා හරියටම අයුමි උන්නු දිහාව බැලුවෙත්, ඈ ඒ කවුද කියලා අඳුනගත්තෙත් එක පාරටම වගේ. අයුමිගේ පලවෙනිම ප්‍රතිචාරය වුණේ ජනේලේ ලඟින් යන්තම් මෑත් වෙලා ඇඳගෙන උන්නු තනූජගේ ජර්සියෙන් සීතලට නිරාවරණය වෙලා තිබුණ ගෙල පෙදෙස වහගන්න එක. ඒත් රවීන් ඈව අඳුනගත්තු නිසා සහ ඈ ඔහුව දැකපු වග ඔහු දැකපු නිසා අයුමිට හැංගෙන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ. මේ වෙද්දි පිට්ටනියෙන් උඩට නගින පඩිපෙල මුදුනට නැගලා උන්නු රවීන් ඈත අතක් වැනුනේ පහලට එන්න කියලා.
අයුමි ජනේලේ වහද්දි ඇගේ හිත තිබ්බේ අහේතුකවම ගැහෙමින්. ඒත් ඈ ඉක්මණ් කරලා මූණ හෝදගෙන, ඇඳුමක් දාගෙන පහලට ගියේ රවීන් ඈට කලේ ඇයි කියලා නොදන්න හන්දා. ඈ පහලට යද්දි ඉර පායගෙන එමින් තිබුණා. රවීන් උන්නේ එලියේ පිට්ටනියේ හදලා තිබුණ පුංචි මේසයක් ලඟින් වාඩි වෙලා. රත්තරන් පාට හිරු රැස් පිට්ටනියේ තණකොල මත වැටිලා, ඒවා මත තිබ්බ පිණි බිංදු දිලිසවන හැටි බල බලම අයුමි රවීන් උන්නු තැනට හෙමින් සේන්දු වුණා.
"ගුඩ් මෝනිං අයුමි...එන්න වාඩිවෙන්න" කන් දෙක වැහෙන කැප් එකක් දාගෙන, කෝට් එකකුත් ඇඳලා උන්නු රවීන් අයුමිට කිව්වා.
"ගුඩ් මෝනිං සර්..."  අයුමි කිව්වේ වාඩිවෙන ගමන්.
"උදේම ඇහැරුණා නේද?"
"ම්ම්..පුරුද්දට ඇහැරෙනවා කොහොමත්"
"ඒක තමා. මට උදේ ඇහැරුණා පහට. ආයෙම නින්ද යන්නෙත් නැති නිසා මම ගියා ටිකක් ඇවිදින්න" රවීන් කිව්වේ සීතල හන්දා අත් දෙක එකට අතුල්ලමින්.
"සර් කොහෙද ගියේ?" අයුමි ඇහුවේ කතාව කරගෙන යන්න ඕන නිසා.
"මේ හොටෙල් එකේ එලවලු කොටු තියෙන පැත්ත පොඩ්ඩක් බලලා එන්න ගියා, ජොලියට වගේ. මිනිස්සු උදේ පහටත් නැගිටගෙන වැඩ" රවීන් කිව්වා.
"ඇත්තට?"
"ම්ම්...සීතලේ නැගිටගෙන කොහොම හැමදාම මෙහෙම වැඩ කරන්වද මන්දා" රවීන් කිව්වා.
"ඒක තමා. මේ සීතලේ" අයුමි හිස වැනුවා.
මේ වෙලාවේ එතනට තේ බන්දේසියක් අරගෙන ආවේ හෝටලේ සේවකයෙක්.
"Good morning M’am, Sir…Tea with our special blueberry muffins. Do enjoy!" බොහොම ප්‍රසන්න විදියට ආචාර කරපු ඔහු තේ බන්දේසිය මේසේ උඩින් තියලා යන්න ගියා.
"තේ එකක් බොමු  නේ?"
එහෙම අහන ගමන් රවීන් පීරිසි කෝප්පයක් ලඟට අරන්, තේ දාලා, කිරි දාලා තේ එකක් හදාගනිද්දි, අයුමි උන්නේ තේ බොනවද නැද්ද කියන දෙගිඩියාවෙන්. කහටයි, කිරියි වෙනම තියෙද්දි හදාගෙන බොන තේ එකට ඈ එච්චර ආස කලේ නෑ. ඒත් රවීන් ඕඩර් කල නිසා නොබීත් හොඳ නෑනෙ කියලා හිතපු ඈ අනෙක් පීරිසි කෝප්පේ ගන්න හදද්දි රවීන් ඔහු හදපු තේ එක ඈට පෑවා.
"සීනි ඇති තරම් දා ගන්න"
අයුමි රවීන් දිහා බැලුවේ පුදුමෙන්. ඔහු ඈට තේ එකක් හදලා දේවි කියලා ඈ කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ.
"ආ...මේ...සර්...අනේ සර් ඕක බොන්න. මං...මං හදාගන්නම්" අයුමි තැතනුවා.
"මේක මම ඔයාට හැදුවේ. Ladies first කියනවනේ. පිස්සු නැතුව මෙන්න මේක අරන් බොන්න ලමයෝ" රවීන් කිව්වේ සැහැල්ලුවෙන්.
අයුමි පත්වුණේ අපහසුතාවයකට. රවීන් උන්නේ ඈ දිහා බලාගෙන, තේ එකත් අතේ තියාගෙන.
"මේක ගන්න..." රවීන් කිව්වේ දයබර බව මුසු වුණ හඬකින්.
අයුමි ඒ පාර තේ එක අතට ගත්තේ යන්ත්‍රානුසාරයෙන් වගේ, වෙන කරන්න දෙයක් නැති නිසා.
"තෑන්ක් යූ සර්" ඈ මිමිණුවා.
"ඉස්කෝලේ වගේ මට සර් කියන්න ඕන නෑ අයුමි. මම මේ ඒක කියන්නමයි හිටියේ. මට නම් කියලා කතා කරන්න කිසි ප්‍රශ්ණයක් නෑ" මෆින් බාස්කට් එක අතට අරන් ඒකෙන් මෆින් එකක් තෝරන ගමන් රවීන් කිව්වා.
අයුමි ඔහු දිහා බැලුවේ බය වෙලා වගේ.
"එහෙම..කරන්නේ කොහොමද? මම වැඩ කරන්නේ සර් යටතෙනේ" අයුමි කිව්වේ හෙමින්.
"දැන් ඔය වගේ සර් කිය කිය කතා කරන්නේ නෑ අයුමි ගොඩක් කම්පැනි වල. මේ අපේ ළමයි තමා ඔය පිස්සු වැඩේ කරන්නේ. මම කොච්චරවත් කියනවා එපා කියලා. අඩු ගානේ ඔයාවත් පටන් ගන්න මේක වෙනස් කරන්න" රවීන් කිව්වේ අයුමි දිහා බලාගෙන බැරෑරුම් ස්වරයකින් වගේ.
අයුමි පත් වෙලා උන්නේ අපහසුතාවයකට. ඒ නිසා ඈ ඒකට මුකුත්ම කිව්වේ නෑ.
"මෆින් කන්න. හොඳ උණුයි මේවා" මෆින් බාස්කට් එක අයුමිට දෙන ගමන් රවීන් කිව්වා.
අයුමි හෙමින් තේ එකට සීනි දාගෙන මෆින් එකක් අතට ගත්තා. රවීන් කන ගමන්ම තමන්ටත් තේ එකක් හදාගත්තා.
"ඊයේ නින්ද ගියාද හොඳට?" ආයෙම කතාවට මුල පිරුවේ රවීන්මයි.
"ඔව්..." 'සර්' කියවෙන්න ගියත් ඒක අමාරුවෙන් නවත්තගෙන අයුමි කිව්වා.
"සීතල වුණේ නෑනෙ?"
"නෑ නෑ. කාමරේ රස්නෙට තිබ්බා. පොරවගත්තම සීතලක් කොහොමත් දැනුනේ නෑ"
"එහෙනම් කමක් නෑ. සමින්දට නම් ඊයේ රෑ නින්ද ගිහින් නැද්ද කොහෙද. මම උදේ කෝල් කල කලා no answer. තාම නිදි මහිතේ" රවීන් කිව්වේ මේසේ මත තිබ්බ ෆෝන් එක දිහාත් බලන ගමන්.
රවීන් කිව්වම අයුමි හිනාවක් පෑවා විතරයි.
ඊලඟට දෙන්නම කතා බහකින් තොරව තේ උගුරක් දෙකක් බිව්වා. අයුමි රවීන් දිහා බැලුවේ නෑ. ඒත් ඈ ඇස් කොනකින් දැක්කා ඔහු තමන්  දිහා විටින් විට බලපු වග. ඊලඟට රවීන් සුසුමක් හෙලුවා. අයුමිට ඔහු දිහා බැලුණේ ඉබේටම. රවීන් ඒ එක්කම ඉක්මණ් හිනාවක් පෑවා.
"නෑ...මම මේ කල්පනා කලේ, කොලඹ කොන්ක්‍රීට් වනාන්තරේට වෙලා ඉන්නවට වඩා මෙහෙම ඉන්න එක මොන තරම් සැපදායකද කියලා" රවීන් ඊට පස්සේ කිව්වා.
"ඒක නම් ඇත්ත "
"අයුමි මෙහාට ආසද?"
"ම්ම්" ඈ හිස වැනුවා විතරයි.
"මම හිතාගෙන ඉන්නේ මෙහෙන් පොඩි ගෙයක් ගන්න. නිවාඩුවකට වගේ ඉඳහිට ඇවිත් ඉන්න" රවීන් කිව්වා.
"කොච්චර ෂෝක්ද?"
"ම්ම්... මගේ පොඩි දෙන්නත් හරි ආසයි නුවර එළියේ එන්න" රවීන් කිව්වේ ඈත බලාගෙන.
"නුවර එලිය ගොඩක් ලස්සන හන්දා කවුරුත් ආසයි" අයුමි කිව්වා.
රවීන් ඈ දිහා යන්තමින් බැලුවා.
"අයුමි ආස මොනාටද නුවර එලියේ?"
"ම්ම්....අනේ මන්දා. හැමදේටම ආසයි මම හිතන්නේ. මල් වලට, කඳු වලට, සීතලට, ආ...තව වික්ටෝරියා ගාඩ්න් එකට..."
රවීන් සුහද වෙන්න වෙන්න අයුමිට ඔහු එක්ක කතා කරන්න ලේසි බවක් තමයි දැනුනේ. මොකද ඔහු තමන්ගේ බොස් කියන එක හිතද්දි කතා කරන හැම වචනයක්ම දහ පාරක් විතර හිතලා, බයෙන් සැකෙන් කතා කරන්න ඈට සිද්ධ වුණ හන්දා.
"කඳු වලට මාත් ආසයි" රවීන් කිව්වේ හිනාවක් පාලා.
අයුමි බීලා ඉවර වුණ තේ කෝප්පේ බන්දේසිය උඩින් තිබ්බා. රවීන් උන්නේ කල්පනාවක ගිලිලා.
"බලමුකෝ අපි වෙලා තිබ්බොත් නුවර එලියේ චුට්ටක් බැහැලා යමු" රවීන් කල්පනාවෙන් මිදිලා කිව්වේ තව ටික වෙලාවකට පස්සේ.
"අපි ඉතිරි වැඩ ටික ඉවර වෙලා එහෙමම යනවා නේද?" ආයෙමත් 'සර්' කියවෙන්න ගිය හන්දා ඈ අන්තිම වචනේ කිව්වේ හෙමින්.
"ඔව්. අපි උදේ කෑම කාලා මෙහෙන් check out වෙමු" රවීන් කිව්වම අයුමි හිස වැනුවා.
"මේ වගේ තැන් enjoy කරන්න වෙනමම ඒකටම එන්න ඕන. වැඩ දාගෙන ඇවිත් බෑ" රවීන් කිව්වම අයුමි අහගෙන උන්නා විතරයි.
"එන්නකෝ" ඊලඟට තොප්පියයි, කෝට් එකයි ගලවලා මේසේ මතින් තියපු රවීන් මේසෙන් නැගිට්ටලා අයුමිටත් කතා කලා. අයුමි නැගිට්ටේ ඒ මොකටද කියලා හිතාගන්න බැරිව.
පඩිපෙල බැහැලා රවීන් අයුමි එක්ක හොටෙල් එක වටේ ඇවිදගෙන ගියේ, හොටෙල් එක ගැන ඔහු දන්න දේවල් එකින් එක ඈටත් කියමින්. අයුමි හෙමින් සැරේ ඔහු ලඟින් ඇවිදගෙන ගියා ඒවට සවන් දීගෙන. හෝටලේ එලවලු වගාව බලන්නත් රවීන් ඈව එක්ක ගියා. කැරට්, බීට්, සලාද මිශ්‍ර වගාවක් වගේම සුකිනි හෙමත් එහේ වගා කරලා තිබුණා.
"හොටෙල් එකක් කියන්නේ සර්විස් පැකේජ් එකක්. ඒකෙදි හොටෙල් එකේ ලස්සනින් දෙන experience එක වගේම, මේ වගේ වෙනස් දේවලුත් එකතු වුණාම ඒක වෙනමම experience එකක් වෙනවා. මිනිස්සු ආස වෙනස් දේවල් වලට, adventures වලට. බලන්නකෝ අපි වුණත් මේක කොච්චර enjoy කරනවද කියලා" රවීන් එලවලු කොටුව දිහා බලාගෙන කියන්න වුණා.
"හ්ම්ම්" අයුමි හිස වැනුවා විතරයි.
රවීන් අයුමි දිහා බලද්දි ඈත් ඔහු දිහා බැලුවේ ඔහු මොනා හරි අහන්න හදනවා කියලා හිතාගෙන.
"බඩගිනිද?" ඔහු ඇහුවේ එහෙම.
"තාම නෑ " අයුමි ඔහුගේ දෑස් මගෑරලා කිව්වා.
ඒ වෙලාවේ රවීන්ගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා.
"ආ...සමින්ද. මේ යෝදයා ඇහැරලා අපිව හොයනවද කොහෙද" රවීන් ෆෝන් එක කනේ තියාගත්තේ අයුමිට එහෙම කියමින්.
 "තවත් වටපිටාව බලන්න වෙන එකක් නෑ වගේ. අපි එහෙමනම් යමු ආපහු නේද?" රවීන් ඇහුවේ සමින්දට කතා කරලා ෆෝන් එක ආපහු සාක්කුවට දාගන්න ගමන්. 
අයුමි රවීන් එක්කම ආයෙම එන්න හැරුණා. ඒ එද්දි අයුමි හිත හිත ආවේ, ඈ හිතාගෙන උන්නට වඩා රවීන් වෙනස් කෙනෙක් කියලා. රවීන් සමින්ද එක්ක වගේම, ඔෆිස් එකේ අනික් අය එක්ක, තමන් එක්ක කතා කරන හැසිරෙන විදිහ බලද්දි, ඔහු කොහෙත්ම තමන්ගේ තත්වෙන් ඔලුව උදුම්මගෙන උන්නු කෙනෙක් නෙවෙයි කියලා ඈට තේරුම් යමින් තිබුණා. අඩුම තරමින් ඈ ඒක තේරුම් ගත්තේ එහෙමයි.ඒ හන්දම රවීන් ගැන ඇගේ හිතේ ඇති වුණේ ගෞරවය මුසු පහන් හැඟීමක්. ඒ හැඟීම, ඈ තුල එක එක වෙලාවට ඇතිවුණ නුහුරු තිගැස්ම යටපත් වෙන්නත් උදව් වෙන්න ඇති.මොකද රවීන් ගැන ඇගේ තිබුණ ගෞරවය බලවත් වුණ හන්දා.

2 comments: