Monday, July 7, 2014

හැත්තෑ දෙවැනි කොටස



අපි මැස්සෙක්වත් නැති සාලෙට වෙලා බලාගෙන ඉද්දි අපට ඇහුණා ගෙයි පිටිපස්ස දිහාවෙන් පොඩි ඝෝෂාවක් වගේ එකක්. මම අනුක් දිහා බලද්දි ඔහු උන්නෙත් කුතුහලෙන් වගේ නලලත් රැලි කරගෙන.
ඊලඟට වුණේ මම කොහෙත්ම බලාපොරොත්තු නූන දෙයක්. හදිසියෙන්ම වගේ සාලේ  දකුණු පැත්තෙන් මතු වුණේ සුමනදාස, තව කෙනෙකුත් එක්ක මැද කෙනෙක්ව වත්තන් කරගෙන. ඒ ලඟිම මූණත් අමුතු කරගෙන ඇවිදගෙන ආවේ නයනා. මැද පණ නැතිව වගේ උන්නු කෙනා අඳුරගන්න මට ටික වෙලාවක් ගියත්, මගේ කකුල් දෙක පණ නැතිවීගෙන යනවා වගේ මට දැනුනේ ඒ භූප වග දැක්කම. මූණ පුරාම රැවුලක් වවාගෙන, හොඳටම කෙට්ටු වෙලා උන්නු භූපව මට පෙනුණේ බිම් ගේකින් මුදාගෙන ආපු හිරකාරයෙක් වගේ. මම අනුක්ගේ අතේ එල්ලුණේ ඉබේටම වගේ.
"ම...ට...යන්න පුලුවන්. මට පුලුවන්. සුමනේ, අතෑරපන් මාව..." ඒ අතරේ භූප වෙරි මතෙන් දෙඩෙව්වේ අසිහියෙන් වගේ.
මං උන්නේ හොඳටම ගල් ගැහිලා. භූපගේ ආගමනය මේ විදියට වේවි කියලා මම හිතපු නැති හන්දා.
"යතුර...කෝ මේ මගුල..." භූප වැනි වැනී යතුර සාක්කු වල හොයනවත් මම බලාගෙන උන්නා.
"මහත්තය...මේ කට්ටියක්..." ඒ අතරේ සුමනදාඅස අපි ගැන කියන්න උත්සාහ කරද්දි, භූප එක්ක ආපු අනික් පිරිමි කෙනා අපිව දැක්කා. ඒත් භූපට  ඒක ඇහුන වගක් පෙනුනෙ නෑ. මම බලාගෙන උන්නේ භූප දිහා. 
"දුලාරා..." අනුක් මගේ කන ලඟට කරලා කෙඳිරුවා.
"සුමනේ..." දොර අන්තිමේදි ඇරගත්තු භූප ඇතුලට යද්දි කකුල පැටලිලාද කොහෙද දොර ලඟම බිම ඉන්දවෙද්දි, මට හීල්ලුණා. මට දැනුනේ මගේ හිසත් කැරකෙනවා වගේ හැඟීමක්. මම අනුක්ගේ අතින් තදින් අල්ලගෙන, එහෙමම එතන තිබුණ පුටුවට බරවුණේ තවත් හිටගෙන ඉන්න බැරි හන්දා.
"දුලාරා..." අනුක්ගේ හඬේ තිබ්බේ කලබල වුණ ස්වභාවයක්.  භූප  සුමනදාසගේ වාරුවෙන්  හෙමිහිට  නැගිටිනවා මම බලාගෙන  උන්නේ  හීනෙන් වගේ.
"මහත්තයෝ" සුමනදාස ආයෙම භූපට කතා කලා.
"මට....කන්න එපා...මම හොඳට කාලා, හොඳට බීලා ආවේ. මචං රමල්, තෑන්ක් යූ වේවා....උඹ දැන් පලයන් රෑ වෙනවා..මට කෑම එපා..." එහෙම කිය කිය භූප කාමරේට වැදිලා දඩස් ගාලා දොර වහගත්තම මම ගැස්සුනා. මම පියවි සිහියට ආවේ එවෙලේ.
ඊලඟට මම කලේ අසිහියෙන් වගේ කාමරේ දොර ලඟට දුවපු එක. සුමනදාසයි, නයනයි මා දිහා බල වෙලා වගේ බලාගෙන ඉද්දි, භූපගේ යාලුවා මා දිහා බලාගෙන උන්නේ පුදුමෙන්.
"භූප..." මම ඒ කිසි කෙනෙක් නොතකා ගිහින් දොරට ගැහුවා.
"භූප...මේ දොර අරින්න" මම උමතුවෙන් වගේ දොරට ගහද්දි මගෙත් පුදුමෙට හේතු වෙමින් දොර ඇතුලට ඇරුණා. කාමරේ තිබුණේ බිත්තියේ කොනක හයි කරලා තිබුණ පුංචි නයිට් බලබ් එකකින් ආපු එලියක් විතරයි. භූප ඒ වෙනකොටත් උන්නේ ඇඳේ වැතිරිලා, හයියෙන්ම හුස්මගනිමින් නින්දකට වැටිලා වගේ. මම ඒ අඳුරු රූපකාය දිහාට ලං වෙදි මගේ කකුල එක පාරටම ඇඳ අයිනේ තියලා තිබුණ වීදුරු බෝතලේක හැප්පුනා. ඒක ටලාං හඬින් බිම පෙරලිලා යද්දි, මට ඇහුණ එලියේ ඉන්න අනුක් කතා කරන සද්දේ.
"ඒ මොකක්ද...?"
"ම්ම්...." මේ අතරේ භූප කෙඳිරි ගෑවා.
"කෝ මේ කාමරේ ලයිට් එක?" මට ඇහුණා එවෙලේ අනුක් කාමරේට එනවා.
ඊලඟට කාමරේ ලයිට් එක පත්තු වුණේ මුලු කාමරේම ඒකාලෝක කරමින්. එතකොටයි කාමරේ නියම හැටි මට පෙනුනේ. ඒක එකම අපිලිවෙල ගුහාවක් වගේ තිබුණේ. සති ගාණකින් හදලා නැති ඇඳ, හැමතැනම විසිරුණ කොල කෑලි, භූපගේ වයලීනයයි තව ලට්ට ලොට්ට ගොඩකුයි තියලා තිබ්බ පුංචි මේසේ, මේ ඔක්කොටමත් වඩා මගේ හිත කම්පා කලේ ඇඳ අයිනෙයි, එතනම පිටිපස්සෙයි තියල තිබුණේ හිස් මත්පැන් බෝතල් තොගය දැක්කම. එතන බෝතල් විස්සකට වඩා තියෙන්න ඇති. ඒ අතරේ නොබීපු බෝතලයකුත් තිබුණා. මගේ කකුල වැදිලා පෙරලුණ බෝතලෙන් තවමත් මත්පැන් ගලමින් තිබුණා. මේ හැමදේම මට තවත් බලාගෙන ඉවසගෙන ඉන්න පුලුවන් වුණේ නෑ.
"භූප" මම උස් හඬින් ඔහුට කතා කලේ ඒකයි.
"දුලාරා..." මා ලඟට ආපු අනුක් හෙමින් මගේ බාහුවකට අත තියලා කතා කරද්දි මම ඔහුගේ අත ගසා දාලා භූපගේ ඇඳ ලඟටම ගිහින් ආයෙම කතා කලා.
"භූප....භූප...."
"ම්ම්....නය..නා..." භූප කෙඳිරියෙන්ම කියද්දි මම නොසන්සුන් වුණා.
"මම නයනා නෙවෙයි භූප" මම කෑ ගැහුවා.
"ම්ම්..." භූප ඒත් වෙරිමතින් කෙඳිරි ගෑවා විතරයි.
"භූප නැගිටින්න" මගේ ඉවසීම නැතිවුණ පාර මම කලේ ඇඳට ලංම වෙලා භූපව හොලවපු එක.
"මෙච්චර බීලා ආපු වෙන දවසක් මට මතක නෑ" මට ඇහුණා වේදනාව පිරුණ සුමනදාසගේ හඬ.
"දු..ලාරා" එක පාරටම භූපගේ මුවින් මගේ නම කියවුණාම මම ඔහු දිහාට නැවුණේ විදුලි වේගෙන්.
"භූප...ඇස් අරින්න භූප. මං දුලාරා...මං ආවා භූප" මම කිව්වේ ඇස් වල කඳුලු ගොඩක් පිරෙද්දි.
ඒත් භූප තාමත් උන්නේ ඇස් පියාගෙන.
"නැගිටින්න භූප අනේ...නැගිටින්න" මම ඇඳ ලඟම දණගහගත්තා.
භූප යාන්තමට ඇස් ඇරලා බැලුවා මං දිහා. මගේ ඇස් වලින් කඳුලු කඩාගෙන වැටුණා එක සීරුවට.
"දුලාරා..." ඔහුගේ තොල් හෙලවුණා.
"මං ආවා. මට කතා කරන්න භූප" මං කිව්වේ කඳුලු පිහ පිහම.
"නයනා..." භූප කිව්වේ අසිහීන් වගේ. මම මුකුත් කියාගන්න බැරිව ඔහු දිහා බලාගෙන උන්නා. ඔහු හිතාගෙන ඉන්නේ මම නයනා කියලද?
"මගේ දුලාරා...යන්න යනවා...එයා මාව දාලා යන්න යනවා සුමනේ...මගේ දුලාරව මං....මං නැතිකරගත්තා" භූප මත් විකාරෙන් වගේ කියවද්දි මම ඒ දිහා බලාගෙන අහගෙන උන්නේ හිත හත්කඩකට පැලෙන්නා වගේ දුකක් දැනෙද්දි.
"භූප...මං ඇවිත් ඉන්නේ භූප. මා දිහා බලන්න...මං ඔයාගේ දුලාරා තමයි. අනේ මං දිහා බලන්න" මම කිව්වත් ඔහු තවමත් උන්නේ අඩසිහියෙන් වගේ, බාගෙට ඇස් ඇරගෙන.
"මට එයාගේ කට හඬ ඇහෙනවා සුමනේ..." භූප කෙඳිරුවා.
"භූප මම මෙතන ඉන්නේ භූප" මම කිව්වේ ඔහුගේ කෙට්ටු අතකින් අල්ලලා.
"එපා...එපා...නයනා, මෙතනින් යනවා...යනවා යන්න" භූප මගේ අත ගසාදාලා අනික් පැත්ත හැරුණා.
"දුලාරා..." කරගන්න දෙයක් නැතිව ගල්භීත වෙලා උන්නු මගේ ලඟට ඇවිත් උරහිසකට අතක් තියපු අනුක්, හෙමින් මාව ඇමතුවා.
"මොනාද අනුක් මම කරන්නේ? බලන්න, බලන්න භූපට වෙලා තියෙන දේ..." මම කිව්වේ ඒ අතට වාරු වෙලා කඳුලු වගුරුවමින්.
"දුලාරා...මේ අහන්නකෝ. දැන් ඔයා ඔතන ඉඳගෙන කොච්චර කතා කලත්, භූපට මෙවෙලේ ඒක දැනෙන්නේ නෑනෙ. අහන්නකෝ, හොඳ ළමයා වගේ දැන් ඔයා ඔතනින් නැගිටින්නකෝ. අපි දැන් ගිහින් උදේට එමු. දැන් මෙතන ඉඳලා කරන්න දෙයක් නෑ. භූපට ඔහොමම නිදියන්න දෙමු. අපි හෙට උදේම එමු. කෝ දැන් නැගිටින්නකෝ. ප්ලීස් කියන දේ අහන්න දුලාරා..." අනුක් ගොඩක් දයාබරව එහෙම කියද්දි මම භූපගේ ඇඳ ලඟින් හෙමින් නැගිටගත්තේ ඔහු කියන දේ ඇත්තක් තිබුණ හන්දා. භූප දැන් උන්නේ නින්ද ගිහින් වග මටත් තේරිලා තිබුණා.
මම අනුක් දිහා බලද්දි, ඔහු මා දිහා බලාගෙන උන්නේ අනුකම්පාසහගත විදියට. ආයෙම කඳුලු බිංදු දෙකක් කම්මුලට වැටුණා. අනුක් අනවසරෙන්ම ඒ කඳුලු පිහදැම්මේ ඒ සැනින්ම වගේ.
"අපි ගිහින් එමු දුලාරා..." ඔහුගේ හඬට මට අවනත නොවී බැරිවුණා.
භූප දිහා තව එක පාරක් බලලා එන්න හැරෙද්දියි මම ඇඳට කෙලින්ම ඉස්සරහින් තිබුණ බිත්තිය දැක්කේ. මට හිස බමන ගතියක් දැනුනා ආයෙම. ඒ මුලු බිත්තිය පුරාම අඩි පහයි, හතක වගේ ප්‍රමාණෙක අලවලා තිබුණේ ලොකුම ලොකු මගේ ඡායාරූපයක්. ඒ අර ඔහුගේ කොට්ටේ ඇතුලේ තිබුණ, එකෝමෙක දවසක් පන්සලේදි මල් මිටක් එක්ක ගත්තු මගේ ඡායාරූපේ. මම අනුක්ගෙන් මිදිලා එතනට ඇවිදගෙන ගියේ හීනෙන් වගේ.
ඡායාරූපේ උන්නු ඒ දුලාරගේ ඇස් වල තිබුණේ පොඩි විමතියක්, ඒත් ඈ උන්නේ යන්තමට හිනාවෙලා. අද ඈ ඉස්සරහ මේ ඉන්න දුලාරට වඩා, ඒ දුලාරා උන්නේ කොච්චර නම් සැහැල්ලුවකින්ද? මම ඒ ඇස් දිහා, කොණ්ඩ කරල දිහා, චාම් සුදු ඇඳුම දිහා බලාගෙන ඉන්න ඇති ගොඩක් වෙලා. මම එතන ඉඳන් ආයෙම ඇඳ දිහා බලද්දි, භූප උන්නු විදිහටම මුනින් අතට නිදාගෙන උන්නා. ඇස් ආයෙම බොඳ වුණා. කාමරේ සිසාරා බලද්දි, ඇඳට පේන හැම බිත්තියකම මගේ පොඩිම හරි ඡායාරූපයක් අලවලා තිවුණ වග මම දැක්කේ එවෙලේ. මම ආයෙම අනුක් දිහා බලද්දි, ඔහු උන්නේ මම එනකල් මග බලාගෙන. ඒත් ඔහු මට එන්න කිව්වේ නෑ. මම එතනින් මෑත් වෙන්න කලින් ආපහු ඒ ඈත අතීතේ උන්නු දුලාරා දිහා බලද්දි, මම දැක්කා ඡායාරූපේ පහල හරියෙ භූපගේ කටු අත් අකුරින් ලියවුණ මොනවදෝ තියෙනවා. මම නැවිලා බැලුවේ ඒ මොකක්ද කියලා.
'විශ්වයම දවාහල...හිත මුසපත් කල...
දයාවිය ඒ නුඹේ ප්‍රේමය
ජීවිතය මනමත් කල...එයමයි දෙනෙත් තෙත් කල...
විශ්යම යලි දවාහල...මගේ ප්‍රේමය...අපේ ප්‍රේමය...
සංසාරය පුරා මා සොයා එන මගේ ප්‍රථම ප්‍රේමය...'
ඒකේ ලියලා තිබුණේ එහෙම. මම ඒ වචන පෙල අතගාගෙනම එතනම බිම වාඩි වුණේ දරන්න බැරි දුකක් පපුව හිර කරද්දි. ඒ බිත්තියටම හිස හේත්තු කරගෙන මම ආයෙම ඇඬුවා. අනුක් ඇවිත් මාව නැගිට්ටවනකල්ම, ඒ වේදනාව පිරුණ කාමරයෙන් මාව එලියට අරගෙන එනකල්ම ඒ කඳුලු ඇස් හූරගෙන වගේ කඩා හැලුණා. මම එයින් පස්සෙත් ගොඩ වෙලාවක් ඇඬුවා. අනුක්ගේ බෙල්ල මුල හිස තියාගෙන ඒ කමිසේ තෙත් වෙනකල්ම ඇඬුවා.
අන්තිමේදි මම හිස උස්සලා බලද්දි, ඇස් රතුවුණ නයනත්, ශෝකයෙන් මුසපත් වෙලා වගේ උන්නු සුමනදාසත්, තවමත් අන්ද මන්ද වෙලා උන්නු භූපගේ සගයත් ඒ ලඟ පාතම ඉඳගෙන උන්නා. ඒ අතරේ මොනවත්ම හිතාගන්න බැරිව උන්නු නයනගේ අම්මත් උන්න.
"අපි යමුද දුලාරා? ගිහිං උදේම එමු" අනුක් ඇහුවේ දයාබරව.
මම හිස වැනුවේ ඒ දයාබර බවට එරෙහි වෙලා හිතුවක්කාර වෙන්න බැරි හන්දා.
"අනේ මහත්තයෝ, මොනා හරි කාලා, මෙහේම ඔය පුලුවන් විදියකට අපි ඉමු" සුමනදාස එහෙම කියද්දි, ඔහුගේ බිරිඳයි, නයනයි දෙන්නම අපි දිහා බැලුවේ එහෙම කරන්න කියලා ආයාචනාත්මකව වගේ.
"කමක් නෑ සුමනදාස. දැන් මේ කරපු කරදර මදෑ. අනික කොහොමත් අර තැන බුක් කරලානේ තියෙන්නේ. අපි හෙට උදේම එන්නම්. භූපගේ වෙරි හිඳිලා පොඩ්ඩක් සිහිය ආවාම" අනුක් කිව්වා.
භූප දාලා යන්න මට කොහෙත්ම හිතක් නො තිබුණත්, මං වෙනුවෙන් මෙච්චර දේවල් කරපු අනුක්ට බෑ කියන්න මට පුලුවන්කමක් තිබ්බේ නෑ.සුමනදාසලා විවිධ විදිහට ඔහුව නම්මගන්න හැදුවත්, අනුක් තමන්ගේ තීරණේම උන්නා.
මම එන්න හදද්දි නයනා දුවගෙන ඇවිත් මගේ අතේ පාර්සලයක් තිබ්බම මම ටිකක් පුදුම වුණා.
"මාරු කරගන්න ඇඳුමක් මිස්" ඈ කිව්වේ සුහදව, ඒත් හිනාවෙලා නෙවෙයි.
"භූපව බලාගන්න. මම හෙට උදේම එන්නම්" මම එන්න එද්දි කිව්වේ සුමනදාසට.
ඔහු හිස වනලා එහෙමයි කිව්වේ, දුකෙන් වගේ."ගිහින් එන්න නෝනේ"

3 comments:

  1. It is very difficult to publish a comment. I like your writing style. good luck nanga.

    ReplyDelete
  2. ප්‍රියංගිකා ඔයාටත්, හැමදාම පොත් ගුලට එන, මම පිලිතුරු නොලිව්වත් ඉඳහිට අදහස් දෙකක් පල කරන මගේ සේරම පොත් ගුලේ යාලුවට ගොඩම ගොඩාක් ස්තුතියි. පිලිතුරු ලියන්න ඕන වුණත් වෙලාව හොයා ගන්න හරි අමාරුයි, වැඩයි ඒ අස්සේ මේ මාස්ටර්ස් එකකුත් කරන හන්දා. දැනුත් වෙලාව රෑ 12.20.
    ඒ කොහොම වුණත් මොන වැඩ අස්සේ වුණත් කතාවෙ කොටසක් කොහොමින් හරි පල කරගන්න බලනවා. මොකද බ්ලොග් එක ලියන එක මගේ හිසත්, හිතත් නිදහස් කරගන්න හොඳ ව්‍යායාමයක් හන්දා.
    ඉස්ඉස්සරෝම බයෙන් සැකෙන් වගේ අපූර්වවයි, මෙත්මවයි බ්ලොග් එකේ මවපු මට, ආන්යා, ආර්යන්, ජේඩන්, අනුහස්, ගෝපි, අභී, චේතිය, භූප, අනුක්, දුලාරා...මේ චරිත සේරම මවන්න දිරි දුන්නේ, ගැම්මක් ලබා දුන්නේ ඔයාලා...මගේ ආදරණීය පාඨක යාලුවෝ පිරිස. ඔයාලා නොවෙන්න, අපූර්වටයි, මෙත්මටයි පස්සේ කවුරුවත් මගේ පෑන් තුඩින් බිහි නොවෙන්නත් ඉඩ තිබුණා. ඒත් මාව මේ තරම් ලියන කෙනෙක් කලේ ඔයාලගෙම අදහස් සහ දිරිගැන්වීම්මයි...ඉතිං ඒකටත් ගොඩාක්ම ස්තුතියි...ආයෙමත් ආයෙ ආයෙමත්...

    හිතේ අදහස් තියෙනකල්, ඇඟිලි වැඩ කරනකල් හැමදාමත් මම ලියාවි.. ඒ මේ පොත් ගුල හොයාගෙන එන ඔයාලා වෙනුවෙන්මයි...

    ඉතිං ඔයාලා හැමෝටම සුබ සතියක් වේවා...

    ReplyDelete
  3. oyage writing nam excellent.it makes a deep feeling on heart.keep it up sis

    ReplyDelete