Tuesday, July 29, 2014

හැත්තෑහත්වන කොටස



අපි හැමෝම ඉස්පිරිතාලෙන් එලියට ආවේ ගතිනුයි හිතිනුයි දෙකින්ම විඩාපත් වෙලා. ඊයේ ඇඳගත්තු ඇඳුම් පිටින්ම උන්නු අනුක්ගේ මූණ දැලි රැවුලකින් වැහිලා තිබුණ නිසාදෝ ඔහුගේ මුහුණ මට පෙනුණේ අවුරුදු දෙක තුනකින් වයසට ගිහින් වගේ.  නයනයි, සුමනදාසයි උන්නෙත් අන්ද මන්ද වෙලා වගේ. වාහනේට නගින්න ලෑස්ති වෙලා මම වෙලාව බලද්දි ඔරලෝසුවේ වෙලාව සටහන් වෙලා තිබුනේ තුනහමාර.
"වෙලාව තුනහමාරයි අනුක්" මම කිව්වේ අනුක් රිය පණගන්වද්දි.
"හ්ම්ම්...වෙලාව යනවාවත් දැනුනේ නෑ. ඔයාට බඩගිනිද?" අනුක් ඇහුවා.
"අනේ නෑ. බඩගින්නක් අහලකවත් නෑ. සුමනදාසලට බඩගිනියිද?" මම පිටිපස්ස හැරිලා අහද්දි නයනා හිස වැනුවා විතරයි.
"අනේ නෑ නෝනේ. මොන බඩගින්නක්ද මේ වෙච්ච දේවල් එක්ක" සුමනදාස කිව්වා.
"අපි යන ගමන් තේ එකක් බීලා යමු" මම අනුක්ට කිව්වා.
ඊලඟට අපි කතා බහක් නැතිව ටික දුරක් ගියේ තම තමන්ගෙම සිතිවිලි වල ගිලීගෙන.
"ඒක නෙවෙයි දුලාරා...අපි දැන් මොකද ඊලඟට මොකද කරන්නේ? ඔයා මොනාද කරන්න හිතාගෙන ඉන්නේ?" අනුක් නිහැඬියාව බින්දා. මට හිතුණා ඔහු හිත හිත එන්න ඇත්තේ මේ ගැන කියලා.
"අනේ මන්දා. දැනට මම හිතාගෙන ඉන්න එකම දේ භූපට සනීප වෙනකල් මම ගෙදර යන්නෑ කියලා. කොහොමත් එයාලගේ ගෙදරටත් මේක කියන්න වෙයි නේද අනුක්?"
"ඔයා මෙහේ නවතින්නද? එහෙම කරන්නේ කොහොමද?"
"මෙහේ නෙවෙයි, මම නුවර ගිහිං හොස්ටල් එකේ ඉන්නවා. තාම මගේ ජූනියර් බැච් එකේ අය එහේ ඉන්නවනේ. මම එහේ ඉඳන් උදේ හවස එනවා අනුක්. මට ඔයාලගේ ගෙදර එන්න බෑ, එක ඔයා දන්නවනේ"
"විකාර කියන්න එපා දුලාරා. එහෙම කරන්නේ කොහොමද? නුවර ඉඳන් එන එක ලේසි වැඩක් නෙවෙයි.ඔයාට සල්ලි කොහෙන්ද? අනිත් එක ඔයා හිතනවද ඔයාලගේ ගෙදර අය ඇස් කන් පියාගෙන ඕක කරන්න ඉඩ දීලා බලාගෙන ඉඳීවි කියලා?"
"මම දන්නෑ අනුක්. කොහොමත්, දෙයියන්න්නන්න්සේ ඇවිල්ලා කිව්වත් මම භූපව තනි කරලා යන්නේ නෑ මෙවෙලේ. මේ හැම දේම වුණේ මම හන්දා. මට ඒක අමතක කරන්න බෑ" මම කිව්වා.
"මෙක ඔයා හන්දා වුණ දෙයක් වෙන්නේ කොහොමද? ඩොක්ට කිව්වනේ ඒක පොඩි කාලේ ඉඳලා එන එකක් කියලා"
"ඉතිං ඔයා මට මොනාද දැන් කරන්න කියන්නේ එහෙනම්?" මම අනුක්ගෙන් ඇහුවා.
මම ඇහුවා සැර වැඩිද කියලා මට හිතුණේ අනුක් මා දිහා බලපු විදියට.
"මම කියන්නේ දැනට තියෙන ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ ඇති කරගන්න හදන්න එපා කියලා. මට හිතාගන්නවත් බෑ දැන් අපේ ගෙවල් වල මොනවගේ තත්වයක් ඇත්ද කියලා. ඔයා ආගිය අතක් නෑ, මමත් නෑ. මිනිස්සු හිතනවා ඇති අපි දෙන්නා පැනලා ගිහින් වත්ද කියලත්. ඒකටත් වඩා හිතන්නකෝ හෙට චේතිය අයියලගේ අම්මලා ඔයාගේ ගෙදර එන දවස. එහේ මොන තත්වයක් ඇත්ද? මොනා කරන්නද කියලා ඔයාට කියනවා තියා මටවත් හිතාගන්න බෑ ඇත්තටම. මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ දුලාරා..." අනුක් කිව්වා.
මට ඔහු ගැන දැනුනේ සංතාපයක්. මොකද ඔහු මේකට ගෑවුණෙත් මම හන්දා. ඔහු දැන් කියපු එක හිතුවම මට බය නොහිතුණා නෙවෙයි.
"නෝනාට ඕන නම් කැමති දවසක් අපේ දිහා උන්නට අපට කරදරයක් නෑ" අපේ කතාව පැත්තක ඉඳන් අහගෙන උන්නු සුමනදාස කිව්වා.
"අපි බලමුකෝ සුමනදාස" මම කිව්වා.
"ඔයා දැන් මොකද කරන්නේ අනුක්?" ටික වෙලාවක් ආයෙම නිහඬව ගෙවුණ තැන මම ඇහුවා.
"බලන්න ඕන හිතලා" අනුක් කිව්වා.
"මම හිතන්නේ ඔයා ගෙදර ගියොත් හොඳයි කියලා. ඇඳුමක් වත් මාරුකරගන්න ඕන නේ"
අනුක් සුසුමක් හෙලුවේ උත්තරයක් නොදී. ඒත් මම ඔහු දිහා බලාගෙන උන්නා. ඔහු ඉන්න එක හිතට හයියක් සහනයක් වුණ වග ඇත්ත වුණත්, මම කොහොමද ඔහුට තවත් කරදර කරන්නේ.
"ඒක බලමු. ඇඳුමක් නම් ගන්න බැරියැ" ඔහු ඊලඟට කිව්වා.
"ඔයා තවත් මං වෙනුවෙන් කරදර වෙන්න ඕන නෑ අනුක්"
"ඒක මගේ වැඩක්නේ දුලාරා. මම දන් ඉන්නේ ඔයා හන්දා නෙවෙයි, භූප හන්දා. මේ තත්වේ යටතේ ඔයාලට හැමදේම තනියෙම කරගන්න දාලා මට යන්න බෑ. අඩුගානේ එයාගේ ගෙදරින් එනකල්වත්" අනුක් කිව්වා.
අනුක් ගැන කියන්න බැරි තරම් ණයගැතිකමක් මට දැනුනා.
මේ වෙලාව වෙනකොට අපි ගේ ලඟට හැරෙන වංගුවටත් ලං වෙලා උන්නේ. එවෙලෙයි මට මතක් වුණේ අපි තේ එකක් බොන්නවත් නැවැත්තුවේ නෑ නේද කියලා.
"අපි තේ එකක් බිව්වෙත් නෑ" මම කිව්වේ ඒකයි.
"දැන් ගෙදර ගිහින්ම බොමු මිස්" නයනාගේ හඬ මුලින්ම ඇහුණේ එවෙලේ.
මම හිනාවක් මුවට නගාගත්තා. අනුක් සුසුමක් හෙලුවේ දැන් දැන් ගේ ලඟට අපි ලංවුණ හන්දා නිසා වෙන්න ඇති.
"දුලාරා...කොහොම වුණත් ඔයා දැන් ගිය ගමන් ගෙදරට කෝල් එකක් දෙන්න. දීලා කරන දෙයක් එයාලට කියලා කරන්න. කොහොමත් ඔයා, ඔය ගත්තු තීරණේ ඉන්නවා නම් ඒක කවදාහරි කරන්න එපායැ" අනුක්  කිව්වා.
ඒ වෙද්දි අපි ගේ ලඟට ලං වෙලයි උන්නේ. අනුක්ට උත්තරයක් දෙන්න ලෑස්ති වෙද්දි වචන සේරම මට අමතක වුණේ රෝස මල් වැට ඉස්සරහ නවත්තලා තිබුණ වාහන දෙකක් දැක්කම. මම වගේම අනුකුත් තිගැස්සුන වග මට තේරුණේ වාහනේ එතනම නතර වුණාම. මම අනුක් දිහා බැලුවේ බය වෙලා. ඔහු උන්නෙත් තිගැස්සිලා වගේ.
"කාගෙද මන්දා මේ වාහන" මට ඇහුණා සුමනදස කියනවා.
"මං හිතන්නේ කාටවත් කෝල් කරන්න ඕන වෙන එකක් නෑ වගේ" අනුක්ට ඒක කියවුණා වෙන්න ඕන.
ඒ එක්කම ගෙයි පැත්ත බලාගෙන උන්නු මට පෙනුන දෙයින් මම සුදුමැලි වෙන්න ඇති. මට දැණුනේ හිස කවුරුහරි මිටමොලවගෙන හයියෙන් හොල්ලනවා වගේ දැනීමක්. ඒ ගේට්ටුව අසලින් මේ දැන් මතුවුණේ චේතියගේ රුව හන්දා...
මම නොසන්සුන් වුණ වග අනුක්ට දැනෙන්න ඇති. ඔහු වාහනේ එහෙමම අයිනට කරලා නතර කලා. සුමනදාසයි, නයනයි වාහනෙන් බහින අතරේ අපේ වාහනේ දැකලදෝ චේතිය අයියා හයියෙන් හයියෙන් එතනට ආවේ මම බහින්නත් කලින්. ඒ එක්කම වගේ පිටිපස්සෙන් මතු වුණේ අපේ පොඩි අයියගේ රුව, ඊලඟට තාත්තා, ඊලඟට මගේ පුදුමෙට හේතුවෙමින් ආවේ කේතකීයි, සූරි මාමයි.
"බය නොවී ඉන්න"
අනුක් එහෙම කියලා වාහනෙන් බැස්සේ ඇස් වලින් ගිනි පුපුරු පිට වෙමින් වගේ කාර් එක ඉස්ස්‍රහට ආපු චේතිය අයියා දිහා බලාගෙන මම ගල් වෙලා ඉද්දි.
"ආ...මේ එන්නේ ජෝඩුව. අපි මේ එනකල් තමා බලාගෙන උන්නේ" චේතිය අයියගේ කෝපාන්විත හඬ මට ඇහුණා. ඒ එක්කම කාර් එකේ මම උන්නු පැත්තේ දොර ලඟට ආපු පොඩි අයියා දොර වැරෙන් ඇරලා මාව එලියට ඇදලා ගත්තේ අනායාසයෙන්මයි. මට කෑ ගැහුණා. ඒ වෙද්දි අපේ තාත්තත් එතනට ආවා. ඔහුගේ මූණ තිබ්බෙත් තරහින් කලු වෙලා වගේ.
"පේනවනේද තාත්තේ...මේකි රට වටේ ඇවිදලා නෝනා වගේ එන හැටි. මේකිව ඇහේ ඉඳන් පට්ට ගැහුවත් මදි"
අයියා කිව්වේ තාත්තා ලඟට මාව ඇදගෙන යන ගමන්. මගේ අත දඬු අඬුවකට අහුවුණා වගේ රිදුම් දෙමින් තිබුණා.
"මාව අතාරින්න" මම කෑ ගැහුවා.
"කටවහපන්" අයියා හැරිච්ච ගමන්ම අනෙක් අතින් මට කම්මුල් පාරක් දුන්නම මම පැත්තකට විසි වුණා.
කීප දෙනෙක්ගෙම කෑ ගැහිලි එවෙලේ ඇහුණත් මගේ කන මොහොතකට නෑහී ගියා වගෙයි මට දැණුනේ පාරේ සැරට. ඒ එක්කමමතු වුණේ පාලනය කරගන්නම බැරි මගේ හිතුවක්කාවකම. මම අයිය දිහාට හැරුණේ වියරුවෙන් වගේ.
"ඇතිද...දැන් සතුටුද? තව ගහනවා.. තව ගහනවා ඉතිං. ගහලා මාව මරලම දානවා. මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි ඒක" මම කෑ ගහද්දි ඇස් වලින් කඳුලු පිට පැන්නේ දුකට වඩා තරහට.
"මේකිගේ කට තවත්..." අයියා ආයෙම මට ගහන්න වගේ අත උස්සද්දි තාත්තා ඉස්සරහට පැන්නා. ඒ අතරේ මට පෙනුණා, මා දිහාට එන්න දඟලන අනුක්ව සූරි මාමා අල්ලගෙන උන්නු හැටි.
"දුලිත ඕක නවත්තනවා...මේ ළමයව මරන්නද හදන්නේ?" තාත්තා කෑගැහුවා.
"මට මැරෙන්න ඕන...මට මෙහෙම ජීවත් වෙන්න බෑ" ඒ අස්සේ මම කෑ ගැහුවා.
"උඹ මැරුණත් මට ඒකෙ වෙනසක් නෑ" අයියා කිව්වේ මගේ අත ගසාදාලා අහකට යන ගමන්.
"අපි ඇතුලට යමු... මේ පාර… කෑගහගන්න ලැජ්ජ නැද්ද" තාත්තා කිව්වේ කවුදෝ ඇවිත් මගේ අතින් මුදුවට අල්ලගෙන මාව ගේට්ටුව දිහාට එක්කගෙන යද්දි. මම පස්සේ දැක්කේ ඒ කේතකී වග.
ඒ පාර සේරම කට්ටිය ගේ ඇතුලට එන්න ආවා. මම චේතිය දිහාවත් බැලුවේ නෑ. ඒත් මම දැක්කා ඔහු අනුක් එක්ක ලොකු වාදෙක පැටලිලා බව. ඒ දෙන්නා තවමත් උන්නේ ගෙදරින් එලියේ.
"මොකක්ද දෝණි මේ කරපු වැඩේ තේරුම?" ගෙට ගිය ගමන්ම තාත්තා ඇහුවේ කෝපය මුසු ස්වරයකින්.
"මම භූපට ආදරෙයි. මට එයාව බලන්න ඕන වුණා. එයා දුක් වින්දේ මම හන්දා...මට ඒක බලාගෙන ඉන්න බෑ තාත්තා. මම ආවේ භූප බලලා යන්න විතරයි" මම කිව්වේ අඬමින්.
"කෝ දැන් භූප?" ඒ සූරි මාමගේ හඬ.
ඒක ඇහුණම මට හොඳටම ඇඬුනා, කතාකරගන්නවත් බැරි තරමටම.
"තමුසෙගේ මොලේ කොහෙද ඕයි තිබුණේ? තමුසේ හොඳටම දන්නවා නේද හෙට චේතියලගේ ගෙදරින් එන්න තිබ්බ වග? දැන් අපි කොහොමද ඒ මිනිස්සුන්ගේ මූණ බලන්නේ? මොනා හරි කරන්න කලින් අපි ගැන හිතන්න තමුසෙට බෑ. හැම වෙලේකම තමුසෙට ඕන තමන් හරියි කියලා හිතන දේම කරන්න. එකම ගෑණු ළමයා කියලා තමුසෙව උඩ තියාගෙන, හැම නිදහසම දීලා හැදුවට අපට මෙහෙම කරලා මදි" අයියා ආයෙම මා ලඟට ඇවිත් කෑ ගැහුවා.
ඒ එක්කම අනුක් තරහින් වගේ ගේ ඇතුලට කඩාගෙන වැදුණේ ඊට පිටිපස්සෙන් ඒ තරම්ම තරහෙන් ආපු චේතිය අයියත් එක්ක. ඒ එක්කම මට යාන්තමට පෙනුණා පැත්තකට වෙලා බයෙන් වගේ මේ වෙන දේවල් දිහා බලාගෙන උන්නු සුමනදාස.
"මට චේතියව බඳින්න බෑ..." මම කෑ ගැහුවේ අයියා තවමත් මා ලඟ රවාගෙන ඉන්දැද්දි.
ඒක ඇහුණ සැණින් චේතිය අයියා උන්නු තැනම නතර වුණා.
"මොකක්ද උඹ කිව්වේ?" අයියා තරහින් පුපුරමින් එහෙම අහද්දි අනුක් මා ලඟට අඩියට දෙකට ලං වුණේ අයියා ආයෙම මට ගහන්න අත උස්සපු වෙලේ. මගේ ඇස් හැකිලුණේ ඉබේටම.
"ඕක නවත්තන්න දුලිත අයියා..." අනුක් කිව්වෙව අයියයි මායි මැදට පැනලා.
"අනුක්...කරුණාකරලා අයින් වෙන්න" අයියා කිව්වේ තර්ජනාත්මකව.
"දුලාරට ගහන්න කාටවත් අයිතියක් නෑ. එයා වරදක් කරලා නෑ" අනුක් කෑ ගැහුවා.
මට ඔහු ගැන දැනුනේ කියාගන්න බැරි තරමේ ලෙන්ගතු හැඟීමක්. ඔහු තාමත් මාවම ආරක්ෂා කරන්න හදන හැටි?
"තමුසේ කොහොමද ඒක දන්නේ? මුලින් එකක් කියලා පස්සේ එකක් කරන එක වරදක් නෙවෙයි නම් මොකක්ද? දුලාරා මාව බඳින්න පොරොන්දු වුණා. ඒත් දැන් ඒ සේරම කඩ වෙලා. මම කොච්චර අමාරුවෙන්ද අම්මලව මේකට කැමති කරගත්තෙත්. ඒත් මේ ගෑණිට බැරි වුණා එක වචනෙක ඉන්න. ඒක වරදක් නෙවෙයි නම් මොකක්ද?" ඒ පාර තමයි මට චේතිය අයියා මුලින්ම කතා කරනවා ඇහුණ වෙලාව. මම ඒ දිහාවත් බැලුවේ නෑ.
"ඒක වැරදියි. දුලාරා කවදාවත් ඔයාට කැමති වෙලා හිටියේ නෑ" අනුක් කිව්වා.
"හහ්..මේක යකාගෙ කතාවක්නේ. තව කමක් නෑ වෙන එකෙක් මට මේක කිව්වානම්. මේක කියන්නෙත් මට මගේම මල්ලි කියලා හිතපු එකා. මට වුණේ අර මොකාටද වගේ පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා කියන්නා වගේ වැඩක්. අන්තිමේදි මගෙම උණුත් මටම ද්‍රෝහී වුණා. මොකක්ද මේකේ තේරුම? මොකක්ද තාත්තේ මේකෙ තේරුම?" චේතිය කිය්ව්වේ පිස්සෙක් වගේ.
"නිකම් බොරුවට කෑ ගහන්න එපා චේතිය අයියා. ඔයා හොඳටම දන්නවා දුලාරා ඔයාට අකමැති වග. ඔයා එයාව කැමති කරගත්තේ බලෙන්, තර්ජන කරලා. එයාට රිද්දලා...ඔයා ඒක නෑ කියනවද?"  අනුක් ආයෙම කෑ ගැහුවා.
මම තාමත් උන්නේ අනුක්ටයි බිත්තියටයි මැදි වෙලා, මේ වෙන කතාව දිහා පුදුමෙන් වගේ බලාගෙන උන්නු අයියා අපි දෙන්නට ඉස්සරහින් හිටගෙන ඉද්දි.
"තමුසෙට මොකද දුලාරා ගැන තියෙන මටවත් කාටවත් නැති අමාරුව? මට ඉස්සෙල්ලම අන්න ඒක කියනවා" චේතිය කෑ ගැහුවා.
අනුක් මා දිහාට එක පාරක් හැරිලා බැලුවා. එවෙලේ ඒ ඇස්වල තිබ්බේ හැඟීම් ගොඩක එකතුවක්, තේරුම් ගන්න බැරි තරම්. ඊලඟට ඔහු ආයෙම චේතිය දිහාට හැරුණා.
"මං දුලාරට ආදරෙයි..."
අනුක්ගේ හඬ මට ඇහුණේ ඈත දුරක ඉඳන් ආවා වගේ. ඒ එක්කම හැමෝම කොච්චර නිශ්ෂබ්ද වුණාද කිව්වොත් ඔහුගේ හඬ ගේ ඇතුලේ රැව් පිලිරැව් දුන්නා වගේ මට දැනුනා. හැමෝම උන්නේ මොහොතකට ගොලු වෙලා. මම උන්නේ ඒ ඔහු කියපු දේ කොහෙත්ම අදහාගන්න බැරුව. මම පිටිපස්සේ බිත්තියට හෙත්තු වුණේ මට පණ නැති ගතියක් දැනුණ හන්දා. අන්තිමේදි අනුක් ඒක කිව්වා...

6 comments:

  1. මට හිතුනා අනුක් ඔච්චරම දුලාරා පස්සෙ යද්දි සහෝදර ප්‍රේමයකට නොවන වග.....මම ඔයාගේ කතා හැමදාම කියවනවා නෙතු අක්කියෝ...ගොඩාක් කාලෙකින් comment කළේ අදයි ඔන්න

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තුතියි නංඟා. අනුක් කොහොමත් එදා ඉඳන්ම දුලාරා ගැන හෙව්වා බැලුවා නේ. බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා

      Delete
  2. මේ කතාවනං හිමිහිට ලියවිලා ගලාගන යනව , මගේ නවකතාව තාම ඉවරකරන්ඩ බැරි උනා

    ReplyDelete
    Replies
    1. පුලු පුලුවන් වෙලාවට ලියන්න බලන්න. ටික ටික ලියද්දි කොහොමහරි ලියවෙනවා :) Good luck with it!!

      Delete
  3. aha go on.. nethu akki is our story star...!!!

    ReplyDelete
    Replies
    1. Thank you sweet pea...Seems you like Anuk getting closer to Dulara :)

      Delete