Tuesday, July 22, 2014

හැත්තෑපස්වන කොටස.



"දු...දු..ලාරා!!?
ඊලඟට ඔහු මගේ ලඟට දුවගෙන ඇවිත් මම අසලින්ම දණගහගත්තම ඒ ඇස් වල තිබුණේ ප්‍රශ්ණ ගොඩක්.
"ඔයා...ඔයා මෙහාට ආවේ...කව..කො..කොහොමද?"
මම උත්තරයක් දෙන්න පමා නොවී එහෙමම පැනලා ඔහුට තුරුලු වුණේ දෙපාරක් නොහිතම. භූපව පොඩ්ඩක් විතර ඉස්සරහට විසි වුණත් ඔහුගේ අත්දෙක මාව තදින් අල්ලගත්තා.
"භූප..." මම කෙඳිරුවේ ඔහුගේ පුරුදු සුවඳ මගේ හිත ඇතුලටම දැනෙද්දි.
"දුලාරා..." භූපගේ හඬ තිබුණේ ගොඩක්ම හැඟීම්බර වෙලා.
"භූප..." මම කඳුලු බේරෙන ඇස් වලින්ම යුතුව ඔහුගේ  කම්මුලකට මගේ මූණ තදකරගත්තේ හිතට දැඋන ආවේගෙත් එක්කමයි.
ඔහු මගේ මූණ දෝතින්ම අරගෙන මගේ බොඳවුණ ඇස් වලට එබුණම මම දැක්කා ඒ ඇස් තිබුණෙත් බොඳවෙලා වග. මම මගේ අතක් ඒ කම්මුල මත තියලා ඔහුගේ මුහුණ මට තවත් ලං කරගත්තා. භූප මගේ හිස නොනවත්වා පිරිමදිමින් මොනවදෝ කියන්න හදද්දි මට හයියෙන්ම ඇඬුනා. අවුරුදු දෙකක් විතරම හිතේ හිර කරගෙන උන්නු දුක, ආදරේ, වේදනාව, කලකිරීම මේ හැමදේම ඒ කඳුලු වල තියෙන්න ඇති. භූප මගේ හිසට කම්මුල තියා තදකරගෙන ඉද්දි, ඔහුගේ ගත වෙව්ලන හැටි මට හොඳටම දැනුනා.
"දුලාරා...මේක...මේක හීනයක්ද?" මගේ ඇඬුම තුනීවීගෙන යද්දි ඔහු ඇහුවේ මුමුණමින් වගේ.
"නෑ...මං ආවා...මං ඇත්තටම ආවා භූප..." මම කිව්වේ හෙමින්.
ඒ ඇස් පියවුණේ සතුටටද, නැත්තම් මගේ හිතේ වගේම ඉවුරු තලාගෙන යන වේදනාව නිසාද කියන්න මම දන්නේ නෑ. ඔහු ආයෙම ඇස් ඇරලා බලද්දි ඒ ඇස් වල තිබුණ හැඟීම මට දරාගන්න බැරි තරම් වුණා. හිතුවක්කාර හිතට ඉඩ දීලා මම ඔහුගේ දෙතොල් මත හාදුවක් තැන්පත් කලාම, ඊලඟ මොහොතේ ඔහු මාව සිපගත්තේ උමතුවෙන් වගේ. අන්තිමේදි ඒ දෙතොල් නැවතුණේ මගේ ගෙල පාමුල. ඔහුගේ සුසුම් වල උණුහුම ගතට විතරක් නෙවෙයි මගේ හිත පතුලටමත් දැනුනා වගේ.
"භූප..."
මට හෙමින් ඔහුගේ නම කෙඳිරුනාම, ඔහු හිස උස්සලා මා දිහා බලලා මා ලඟින්ම ඉඳගෙන බිත්තියට හේත්තු වුණා. මම ඔහුගේ උරහිසකට බර වුණේ තවමත් අපේ දෑත් එකට වෙලිලා තියෙද්දි.
"තාමත් මට මොනවත් හිතාගන්න බෑ.  මට මේක ඇත්තටම  හීනයක් වගේ...දුලාරා...ඔයා ආවෙ කොයි වෙලේද?" භූප ඇහුවේ වෙව්ලන හඬින්.
"ඊයේ..." මම කිව්වම ඔහු මා දිහාට හිස හැරෙව්වේ පුදුමෙන්.
"ඊයේ?"
"ඔව්"
ඊලඟට ඔහු උන්නේ මොනවත්ම කියාගන්න බැරිව වගේ මා දිහා බලාගෙන.
"මට එන ඕන වුණා මොන විදියකින් හරි ඔයාව බලන්න. හිත හිත ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ. එදා ඔයා මට කෝල් කලේ වෙලේ ඉඳලා මම උන්නේ කොහොමද කියලාවත් මට මතක නෑ...මට ඕන වුණේ එකම දෙයයි. ඒ ඔයා ලඟට එන්න විතරයි..." මම කිව්වා.
"ඔයා...තනියෙම්ම කොහොමද ආඅවේ දුලාරා? අනික මම ඉන්න තැන දැනගත්තේ කොහොමද?"
"කේතකීගෙන්"
භූප සුසුමක් හෙලුවා. හරියට ඔහු වරදක් කලා වගේ.
"ඔයා ආවේ කොහොමද කියන්න..."
මම ආපු වග විස්තර භූපට කියලා ඉවර වෙද්දි ඔහු උන්නේ මගේ අතක් හයියෙන්ම මිරිකගෙන මා දිහා පුදුමය පිරුණ ඇස් වලින් බලාගෙන. ඒ එක්කම ඒ ඇස් වල තිබුණේ  මොකක්දෝ වේදනාවක් වගේ හැඟීමක සේයාවක්ද?
භූප ආපහු බිත්තියට හේත්තු වෙලා ඉස්සරහ බලාගත්තේ ලොකු සුසුමක් හෙලන ගමන්.
"ඔයා මහ පුදුම කෙල්ලෙක් දුලාරා..." ඔහු කිව්වේ එච්චරයි.
"ඇයි එහෙම කියන්නේ?"
"මෙච්චර ලොකු තීරනයක් අරගෙන, මෙහෙම තනියෙම එන්න තරම්...එක හිතුවක්කාරකමක්ද, හිතේ හයියද එහෙම නැත්තම් මොකක්ද කියලා කියන්න මම දන්නෑ...ඒත් ඔයා ආපු එක ගැන මට දැනෙන දේ දැනෙන විදිහ මට කියාගන්න වචන නෑ..." ඒ හඬ තිබ්බේ ගොඩාක් හැඟීම්බර වෙලා.
මම ඔහුගේ උරහිසකට හේත්තු වුණා.
"මං ආවේ ඇයි කියලා ඔයා දන්නවා භූප..." මම කිව්වා.
භූප හිස හැරෙව්වම මගේ හිස තිබුණේ ඔහුගේ කම්මුලට හේත්තු වෙලා.
"එදා චේතියගේ සිද්ධියෙන් පස්සේ ඔයා මට එන්න කිව්වම මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. මම කවදාවත් හිතුවේ නෑ ඔයා එදා ඒ විදියට ආයෙම අපේ ගෙදර ඒවි කියලා. ඒ වෙලාවේ වුණ දේවල් හැටියට මම ගොඩක් අවුල් වුණා. මට බය හිතුණා...මට බය හිතුණා චේතිය ඔයාට කරදරයක් කරයි කියලා භූප...චේතිය එහෙම කෙනෙක්. එයා හිතුවොත් හිතපු දේ කරන, තමන්ට ඕන කියලා හිතුණොත් ඒ දේ මොන විදියකින් හරි ලබාගන්න හිතන කෙනෙක්. මං ඔයා ගැන බය වුණා, අයියා ගැන බය වුණා...අනික අම්මලට පිටුපාන්න මට විදියක් තිබුණේ නෑ භූප. මම එදා එහෙම තීරණයක් ගත්තේ ඒකයි. ඒත් එවෙලෙත් ඊට පස්සේ ගෙවුණ හැම මොහොතකමත් මම දැනගෙන උන්නා මට කරන්න ඕන වුණේ ඒක නෙවෙයි කියලා. අද මේ මොහොත වෙනකල්ම මම හිතින් මැරි මැරී ඉපදුනා භූප...එවෙලේ මම ඔයා එක්ක නො ආපු එක ගැන හිත හිත මම හැම තප්පරේකම විඳෙව්වා...ඒ මම ඔයාට ආදරේ හන්දා..."
මම කිව්වේ ඇස් කොනකින් ගලාගෙන ගිය කඳුලක් භූපගේ නිරාවරණය වුණ උරහිස තෙත් කරද්දි. භූපගේ සුසුමක උණුසුම මගේ කම්මුලක තැවරෙද්දි ඔහු මගේ අත අතවත් තදින් මිරිකගත්තා.
"මම හීනෙකින් වත් හිතුවේ නෑ ඒත් ඔයා මේ විදියට ඒවි කියලා දුලාරා...ඒ තියා ඔයා තවමත් මං ගැන හිතනවා ඇති කියලාවත් මම හිතුවේ නෑ...මම හිතුවා ඔයා මාව සදහටම අමතක කරන්න හිත හදාගන්න ඇති කියලා. ඔයා එහෙම කලත් ඔයා වැරදි නෑ. මොකද හැමදේම මුලින්ම අවුල් කරගත්තේ මම නිසා. ඔයා බෑ කියද්දි අපේ සම්බන්ධේ නැවැත්තුවේ මම. මට හේතු තිබුණා තමයි, ඒත් මට ඉක්මණ නොවී ඉන්න තිබුණා කියලා ඔයා එදා garden එකේ ඉඳලා මාව දාලා දුවලා ගිය මොහ්තෙත් මට හිතුණා දුලාරා...ඔයා විශ්වාස නොකරයි සමහරවිට...ඒත් මම ආවේ නෑ. මම ඔහේ කටුවට රිංග ගත්තු ඉබ්බෙක් වගේ තනිවෙලා, විඳව විඳව ඔහේ උන්නා. ඔයාගේ ඒ කඳුලක් කඳුලක් ගානේ මම දහස් වාරයක් විඳෙව්වා...ඒත් මම ආවේ නෑ. අපේ ආදරේ වෙනුවෙන් මං කිසි දෙයක් කලේ නෑ. ඒ නිසා මම ඒකට වන්දි ගෙවන්න ඕන දුලාරා...ඔයා වැරදි  නෑ. එදාවත් අදවත්, කවදාවත්..." භූප කිව්වේ කලකිරීමකින් වගේ.
ඒ හඬ හිත පාරද්දි මගේ ඇස් නිරායාසයෙන්ම යොමු වුණේ භූපගෙ ඇඳ අයිනේ තිබුණ බෝතල් ගොඩ දිහාවට. එතකොට ඔහු වන්දි ගෙවන්න තෝරගත්තේ මේ විදියද?
"ඔයා ඒ දුක බෙදාගන්න තෝරගත්තේ අර ඇඳ අයිනේ තියෙන ඒවද?  ඔයා තනියෙම විඳවනවා කියලා මෙහාට වෙලා කලේ මොකක්ද භූප? අර ඇඳ ලඟ අච්චර බෝතල් ගොඩගහගත්ත එකද?"
මම කිව්වම භූප ඒකට මුකුත් කිව්වේ නෑ සුසුමක් හෙලුවා ඇරෙන්න.
"ඔයා ඇයි දෙයියනේ මෙච්චර බොන්නේ? ඔයා දන්නවද ඊයේ ඔයා ආවේ කොච්චර නම් බීලද කියලා? ඔයාගේ ඇස් ඉස්සරහ උන්නු මාවවත් අඳුනගන්න බැරි තරමට ඔයා බීලා උන්නේ. මං ආවේ මේවා දකින්නද? මට ඕන දෙයක් දරාගන්න පුලුවන්, ඒත්...අද ඔයා මේ ඉන්න විදිය දැක්කම මට මගේ හිත හදාගන්න බෑ..."
භූප මගේ අත හෙමින් මුදාහැරලා හිස බිමට නවාගත්තේ වරදක් කරලා අහුවුණ පොඩි එකෙක් වගේ.
"මම හිතුවෙ නෑ මොනා කලත්, ඔයා ආයෙම මේ වගේ බොන්න පටන් ගනීවි කියලා. ඇයි භූප ඒ තරම් දරුණු දෙයක් ඔයා කරන්න හිතුවේ. ඒක ඔයාගේ ජීවිතේ විනාශ කරන ගමන්ම මේකෙන් ඔයා අනික් අයට කොච්චර දුකක්ද දෙන්නේ කියලා ඔයා හිතුවේ නැද්ද?"
මම අහද්දි ඔහු තවමත් හිස බිමට නවාගෙන අහගෙන උන්නා විතරයි. මම ලොකු සුසුමක් හෙලුවේ හිතේ තිබ්බ සංවේගය හන්දා.
"මම බිව්වේ සිහියෙන් ඉද්දි ඔයාව අමතක කරන්න මට බැරි හන්දා..." භූප කිව්වේ මම ආයෙම දෝෂාරෝපණය පටන් ගන්න කලින්.  ඉතිං මට කියන්න ගිය එක අමතක වුණා.
"මොකක්ද ඒ කතාවෙ තේරුම? හිත හදාගෙන ඉන්න බොන්න ඕන නම්, වැඩිපුරම බොන්න ඕන මම භූප. ඒක නිදහසට කාරණාවක් නෙවෙයි" මම කිව්වේ අමනාපෙන්.
"ඔයාට තේරෙන්නේ නෑ...ඔයා දන්නෑ කොච්චර අමාරුද කියලා හිත හදාගන්න. මගේ ආදරේ මගේ ජීවිතේ දුලාරා...මම ඔයාට තරම් වෙන කෙනෙක්ට ආදරේ කරලා නෑ කවදාවත්. ඉස්සරවත්,අපි වෙන් වුණාට පස්සෙවත්. හැම තප්පරේකම ඔයාව මතක් වෙන එක නවත්තගන්න කවදාවත් මට ඉගෙන ගන්න බැරි වුණා..."
"එතකොට ඔයා කියන්නේ?"
"ඔව්...මම බොන්නේ අමතක කරන්න...ඔයාව අමතක කරන්න. මේ දුක අමතක කරන්න. සිහියෙන් ඉඳගෙන කවදාවත් මට ඒක කරන්න බෑ...මට බෑ දුලාරා...ඔයාව...අමතක කරන්න...බෑ"
මගේ දුක ආපහු උත්සන්න වුණේ ඒ දිලිසෙන ඇස් දැකලා. ඒ ඇස් වල තිබුණේ මම කවදාවත් දැකලා නොතිබුණ තරම් දුකක්. ඒත් මම කොහොමද ඔහු බොන එක අනුමත කරන්නේ?
"එතකොට ඔයාගේ ගෙදර මිනිස්සු? ඔයා ඒ අය ගැන හිතුවේ නැද්ද?"
මම ඇහුවම භූප ආයෙම ලොකු සුසුමක් හෙලලා හිස නවාගත්තා.
"ඔයා මාව බලන්න ආවේ හරිම කාලෙක දුලාරා. විශ්වාස කරන්න මාව, මම මෙහෙම බිව්වේ නෑ හැමදාම. ඒත් පහුගිය දවස් ටික මට කොහොමවත් මගේ හිත හදාගන්න බැරිවුණ කාලයක්. ඔයා දන්නවා ඒකට හේතුව..."
"ඉතිං එහෙමයි කියලා ඔයා හැදුවේ බීලා මැරෙන්නද? බිව්වම සේරම විසඳෙනවද? ඇයි ඔච්චර ආත්මාර්ථකාමී වෙන්නේ භූප? මම ඔයාට නැතිම වුණත් ඔයාට බෑ ඔයාගේ ජීවිතේ මෙහෙම විනාශ කරගන්න. අරහේ ඔයාගේ අම්මයි, නංඟියි විඳින දුක ඔයා දන්නවා නේද භූප?"
භූප මා දිහා බලාගෙන උන්නේ හිත ඇතුලේ කැකෑරෙන දුකකින් වග මට දැනුනා.
"ඔයා මට මොකක්ද කරන්න කියන්නේ?" ඔහු ඇහුවා.
"ඔයා දන්නවා මම කියන දේ"
භූප හිනාවුණා, ඒත් ඒ හිනාවේ හැඟිලා තිබුණේ දුකක්.
"ඉස්සර දවසක වගේ ඔයාව ඉඹලා, ඒ ඔයාව ඉඹපු තොල් ලඟට ආයෙම කවදාවත් සිගරට අරක්කු ලං කරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න මට දැන් බෑ දුලාරා. ඒ භූප ජීවිතේ කොහෙදෝ තැනකදි අතුරුදහන් වෙලා. අර පංසලේ මල් මිටක් තියාගෙන ඉන්න දුලාරත් අද නෑ. භූප ගිය පස්සෙම එයත් යන්න ගිහින්. අද ඉන්නේ ආදරේ හන්දා ජීවිතෙන් බැටකාපු ඔයයි, මමයි විතරයි. වෙච්ච දෙවල් වෙනස් කරන්න බැරි තරමටම අපිත් ආයෙම හැරෙන්න බැරි තරම් වෙනස් වෙලා ඉවරයි. අපි කැමති වුණත් අකමැති වුණත් ඇත්ත ඒක" භූප කිව්වා.
"ඒ කියන්නේ ඔයා බොන එක නවත්තන්නේ නෑ?" මම ඒකෙන් ගත්තේ ඒ තේරුම විතරයි.
"බොන එක නැවැත්තුවත් නැතත් වෙන්න තියෙන දේවල් වෙනස් වෙන්නේ නෑ නේද දුලාරා?"
"මොනාද ඒ දේවල්?"
මම ඇහුවම භූප සුසුමක් හෙලලා මා දිහා බැලුවේ ලොකු දුකකින් වගේ.
"ඔයාව දැකපු ගමන්ම ඉහිලුම් නැතුව ගිහින්, සේරම මොහොතකට අමතක වුණත් මම දන්නවා මම ඇත්තට මූණ දෙන්න ඕන වග. මම දන්නවා ඔයා ආවේ ඉන්න නොවෙන වග"
"ඔයා...ඔයා කොහොමද එහෙම කියන්නේ?"
"මම ඔයා ගැන දන්නවා අනික් සේරමල්ලට වැඩිය හොඳට. මම දන්නවා ඔයා මොනා කලත් අම්මලගෙ හිත් රිද්දන්නේ නැති වග. ඒත් ඔයා ආවා...හරි නම් එන්න ඕන මම. ඒත් ඔයා ආවා. ඒ ඔයා ගොඩක් හොඳ අවංක කෙල්ලෙක් හන්දා දුලාරා. එහෙම වෙච්ච ඔයා මොන දේ කලත් චේතියටවත් වංක වෙන්නෑ කියලා මම දන්නවා..."
චේතියගේ නම ඇහුණම මගේ හිතේ අනියත බියකින් ගැස්සුනත් හිත දුක ඊට වැඩි හන්දා ඒ ඔස්සේ හිතන්න මට ඕන වුණේ නෑ. භූපගේ මේ වෙනස්ම ස්වරය හිතට එක් කලේ අලුත්ම දුකක්.
"ඔයා කතා කරන්නේ හරියට මං ආවට අකමැතියි, ආපහු යනවා නම් හොඳයි කියන්නා වගේ" මම කිව්වේ ඒකයි.
"දෙයියම්පල්ල නෑ...සත්තයි එහෙම නෑ. එහෙම හිතන්නවත් එපා දුලාරා. ඔයා දන්නෑ ඔයා ආපු එක මට වටින තරම්. ඔයා දන්නෑ ඔයගේ හිතේ තාමත් මං ගැන පුංචි හරි ආදරයක් ඉතිරි වෙලා තියෙනවා කියන එක මට දැනෙන තරම්..."
"ඒක පුංචි ආදරයක් නෙවෙයි භූප...ඒක එහෙම කිරන්න මනින්න පුලුවන් දේකුත් නෙවෙයි" මම කිව්වේ හිත රිදුන හන්දා. ඊලඟට මම කලේ ඔහු අසලින් නැගිටපු එක, ඒ හිතට දැනෙමින් තිබුණ අමනාපෙ හන්දමයි.
"දුලාරා..." භූප මගේ අතකින් අල්ලගත්තා.
"ඔයා මාව තේරුම් ගන්නේ නෑ භූප"
මම එහෙම කියලා මගේ අත මුදාගෙන ඔහුගෙන් ඉවතට එන්න ආවා. ඒත් ඔහු ඒ ඉක්මණින්ම නැගිටලා මා ලඟට එන්න ආවා.
"දුලාරා...මේ අහන්න. මම තේරුම් ගන්නෑ නෙවෙයි. ඒත් අපිට පුලුවන්ද තවත් හීන මාලිගා වල ජීවත් වෙන්න? මේක වෙන්න ඔයාලගේ ගෙදර ඉඩ දෙන්නේ නෑ කියලා අපි දෙන්නම හොඳටම දන්නවා"
"මම ආවේ ඔයාට මාව කසාද බඳින්න කියන්න නෙවෙයි"
මම එහෙම කිව්වම භූප එක පාරටම ගැස්සිලා උන්නු තැනම නතර වුණා. ඒ ඇස් වල තිබුනේ දුකක්ම විතරයි. ඒත් මම ඒ ඇස් දිහා බලාගෙන උන්නේ හිතේ නැගෙන අමනාපෙත් එක්ක නිසා මට දුකක් දැනුනේ නෑ.
"මම ආවේ ඔයා මොනා කරනවද, කොහොම ඉන්නවද කියලා නොදැන මට ඉන්න බැරි වුණ හන්දා. ඔයා මගේ ගැන වරදවා හිතාගෙන දුක් විඳිනවා ඇති කියලා හිතාගෙන. මට ඕන වුණේ ඔයාව බලන්න, ඔයා එක්ක කතාකරන්න විතරයි. මම දන්නවා අපට එකතු වෙන්න බෑ කියලා. ඔයා ඒක මට ආයෙ ආයෙ මතක් කරන්න ඕන නෑ භූප..."
භූප වචනයක්වත් නොකියා මා දිහා හිස උස්සලා බැලුවා. මම ඒ දෑස් මගෑරලා අහක බලාගත්තා. භූප ලඟ තිබ්බ මේසේ කොනක් අල්ලගෙන මේසෙට බර වුණේ ආයෙම දිග සුසුමක් හෙලන ගමන්.
"මම ඔයාට නොකියා ආපු එක වැරදි ඇති. මම හිතුවේ නෑ ඔයා ලඟට එන්න මම අහ අහා ඉන්න ඕන කියලා. ඒත් මම එතනත් වැරදියි භූප. සමහරවිට මම ආවේ ඔයා ජීවිතේ වෙනස් කරගන්න හිත හදාගෙන උන්නු කාලෙක වෙන්න ඇති. මම දැනං හිටියේ නෑ. එහෙම නම් මම කවදාවත් මේ ගමන එන්නේ නෑ"
 මම දන්නෑ මම එහෙම කිව්වේ ඇයි කියලාවත්. ඒත් භූප නයනාගේ ෆොටෝ අරගෙන පොත් අස්සේ හංගලා තිබුණ එක, භූප ගැන අහද්දි නයනාගේ ඇස් දුකින් බර වුණ එක මම හිතුවට වඩා මගේ හිතට දැනිලා තිබුණා.
"මොනාද මේ කියන්නේ?" භූප ඇහුවේ අපහසුවෙන් වගේ.
මම ඔහු දිහා බැලුවම ඒ මූණ තිබ්බේ මොකක්දෝ අපහසුතාවයකින් වගෙ අඳුරු වෙලා.
"ඒ මොක වුණත් කමක් නෑ. මම ආවේ ඔයාගේ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න නෙවෙයි. මම ආවේ මගේ හිතේ තියෙන දේ කියලා යන්න විතරයි. මම එදා ඔයා එක්ක නාවේ ඇයි කියල ඔයා දැන් දන්නවා. මට ආදරේ කියලා දුන්නේ ඔයා භූප, ඒක මගේ හිතේ හැමදාම තියෙනවා. මම අදත් කියන්නේ මගේ ඇහැපියවෙනතුරාවටම මම ඔයාට ආදරෙයි...ඔයා කොහේ හිටියත්, කාගෙ වෙලා හිටියත්. මම ඔයාට ආදරෙයි....මං යනවා භූප. තවත් ඔයාගේ හිතට වදයක් වෙවී මම මෙතන ඉන්නේ නෑ. පුලුවන්  නම් ඔය තරම් නොබී ඉන්න බලන්න. ඔයාගේ ජීවිතේ තව මිනිස්සු ඉන්නවා ඔයාට ආදරේ කරන. ඒ අය ගැන හිතන්න"
මම ඔහු දිහා තව එක පාරක් බලලා එන්න හැරුණේ, ඒ මූණ සුදුමැලි වෙලා, මොකක්දෝ වේදනාවකින් මැඩිලා තියෙන වගත් දැක දැකමයි. මට වෙනසක් හිතන්න හේතුවක් තිබුණේ නෑ.
"දු..දුලාරා..." භූප මට කතා කලත් මම ආපහු යන්තම් හැරුණේ ඔහුට තව එක දෙයක් කියන්න විතරයි.
"එක දෙයක් කියන්න බැරි වුණා...මම චේතියව බඳින්නේ නෑ. ඒක මම තීරණය කරලා ඉවරයි. මම කවදාවත්, කාවවත් බඳින එකකුත් නෑ..."
මම එහෙම කියලා මට එන්න වුණෙ දොර ලඟට විතරයි, දඩබඩස් ගලා පුටුවක් බිමට පෙරලෙනවත්, ඒ එක්කම එක ගොඩට මොනා හරි බර දෙයක් බිම වැටෙන හඬකුත් මගේ පිටිපස්සෙන් ඇහුණම මම ආපහු හැරුණේ විදුලි වේගෙන්.  ඊලඟට මම දැක්කේ මේසේ අසල පුටුවත් පෙරලගෙන බිම වැටිලා උන්නු භූපව. මට භූප ලඟට දිව්වේ යටිගිරියෙන් කෑ ගහගෙන. ඊලඟට අනුක්, සුමනදාස, නයනා මේ හැමෝම කාමරේට දුවගෙන ආපු හැටි මට මතකවත් නැති තරම්. වුණ හැමදේම මහා අපැහැදිලි හීනයක් වගෙයි මට දැනුනේ. මගේ හිත තිබුණේ නතර වෙලා වගේ. අනුක්, සුමනදාස එක්ක භූපව උස්සගෙන යන වෙලේ ඇස් පියවිලා තිබුණ භූපගේ මූණ විතරක් හිතේ පැලපදියම් වෙලා තිබුණා. එච්චරයි, එතනින් එහාට ලොකු කම්පනයක් ඇරෙන්න වෙන කිසිම සිතිවිල්ලක් වත් මගේහිතේ තිබුණේ නෑ.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ මොනවද නෙතු වෙන්න යන්නේ නෙතු. අනේ භූපව මරන්න නම් එපා

    ReplyDelete
  3. මා දිගටම මේ කතාව නිහඬව බලමින් රස විඳිනවා. ඇත්තටම රසවත් කම නොනසා කුතුහලය ඇවිස්සීමට ඔබට නම් තිබෙන්නේ පුදුම හැකියාවක්. මේ හැකියාව සියලුම ප්‍රබන්ධ රචකයන්ට නැහැ.

    ReplyDelete