Thursday, July 3, 2014

හැත්තෑ එක්වෙනි කොටස



"නෝනා...ආ...කෝ මේ අනික් මහත්තයා?" සුමනදාස ආපහු සාලෙට එද්දි මම උන්නේ වේදනාවෙන් ඔද්දල් වුණ හිතත් එක්ක සාලෙ තනියෙම. එලියට ගිය අනුක් ආපහු ආවේ නෑ තාමත්.
"එයා පොඩ්ඩක් එලියට ගියා"
"මේ වැස්සේ?" සුමනදාස ඇහුවේ දොර දිහාට යන ගමන්.
"වාහනේ බලන්න ගියාද දන්නෑ" මම කිව්වේ වෙන කියන්න දෙයක් නැති හන්දා.
"ඒ මහත්තය නෝනගේ අයියා වෙන්න ඇති නේද?" සුමන්දාස ඇහුවේ ආයෙම මා දිහාට එන ගමන්.
"අයියම නෙවෙයි ඒත් සහෝදරයෙක් තමා" මම කිව්වේ ඇත්තටම. අනුක් මට බැනපු එක ගැන හිතේ තරහක් තිබ්බේ නෑ, ඔහු ගැන දුකක් මිස.
"මේ මම ආවේ නෝනේ, නෝනලට කෑම ටිකක් කන්න එන්න කියන්න. ලොකු දෙයක් නම් නෑ ඒත් තියෙන විදියකට කන්න පුලුවන් නෙව. මෙහාට නෝනලා ආවෙත් දවල් වෙලා නෙ. කන්න වෙලාවක් වෙන්න නෑ කියලා මට හිතුණ" සුමනදාස කියද්දි මට ඒ අය ගැනත් ඇති වුණේ ලෙන්ගතු කමක්. ඒ එක්කම ඒ අයට කරදර කරන්න වුණ එක ගැනත් හිතේ තිබ්බේ අපැහැදීමක් මං ගැනම.
"අනේ සුමනදාස ඇයි කරදර වුණේ. මම මේ අනුක් එක්ක කන්න එලියට ගිහින් එන්නයි හිතුවේ" මම බොරුවක් කිව්වා.
"අනේ පිස්සුද නෝනා. අපේ මහත්තයා වෙනුවෙන් මේක කරන එක මහ දෙයක්ද? ඒ මහත්තයා අපට සලකන්නේ පවුලෙම අයට වගේ. ඉතිං නෝනලා පිටයි කියලා මම හිතන්නේ නෑ. කෑම ටිකක් අපි කාලම ඉමු. මං මහත්තයා හ්යාගෙන එන්නම්. නෝනා ඔහොමම ඉස්සරහට ගිහින් අර කැබිනට් එක ලඟින් දකුණට හැරෙන්නකෝ" එහෙම මට කියපු සුමනදාස දොර ඇරගෙන එලියට බැස්සේ අනුක්ව හොයන්න.
කරන්න දෙයක් නැති තැන මම සුමනදාස කියපු විදියට සාලේ ඇතුලට ඇවිදගෙන යද්දි  මම දැක්කා අනීක් කාමර අතරේ සාලෙට මෙහායින් තිබ්බ දොර රෙද්දකුත් දාලා වහලා තිබ්බ කාමරයක්. මම එතන
නැවතුණේ ඉබේටම. දොරට අත තියලා බැලුවත් කාමරේ තිබ්බේ තදින් වහලා. ඒ එක්කම වගේ මට නිකං තේරුණා මගේ පිටිපස්සේ කවුරු හරි ඉන්න වග. මම හැරිලා බලද්දි එතන උන්නේ සුමනදාසගේ දුව.
"මිස් කන්න එනවද?" ඈ දැකලා මම ටිකක් ගැස්සුනත්, ඈ ගැස්සුන බවක් පෙනුනේ නෑ.
"එන්නං" මං කිව්වේ කාමරේ ලඟින් මෑත් වෙන ගමන්.
"ඔය...මහත්තයගේ කාමරේ" ඈ කිව්ව.
"එහෙමද? වහලා තියෙන්නේ ඒකද?" මම ඇහුවේ ඒක ඇතුලට ගිහින් බලන්න ආශාවක් හිතේ මතු වෙද්දි.
"ඔව්. සාලෙට ආවත් මහත්තය එන්නේ කාමරේ හොඳටම ලොක් කරගෙන. තාත්තා කියන්නේ ඒ අර photo හදන කලුවර කාමරේ තියෙන නිසා කියලා. මහත්තයා කාමරේ අතුගාන්නවත් අපට කාමරේට එන්න දෙන්නේ නෑ. ඔක්කොම කරන්නේ තාත්තම තමා. මහත්තයගෙ හැටි එහෙමද මිස්? මහත්තයා වසද?" ඈ ඇහුවා.
මං ඈ දිහා බැලුවේ පුංචි හිනාවක් එක්ක. ඒ ඈ ඒක අහපු විදිය හන්දා.
"මම දැනං උන්නු මහත්තයා නම් වස නෑ. ඒත් දැන් කොහොමද කියන්න මම දන්නෑ..."
මම කිව්වම ඈ බිම බලාගත්තා.
"ඒක නෙවෙයි...මොකක්ද ඔයාගේ නම?" මම ඊලඟට ඇහුවේ මේ කෙල්ල මගේ හිතේ කුතුහලයක් ඇති කරපු හන්දා.
"නයනා"
"භූප මහත්තයා නයනලට සැර කරනවද?" මම ඇහුවේ ඈ උන්නු දිහාවට ඇදෙන ගමන්.
"අනේ නෑ මිස්. එහෙම නෑ" ඈ කිව්වේ ඉක්මණි.
"එහෙනං වසද ඇහුවේ?"
මම ඇහුවම නයනා ආයෙම මගේ ඇස් මගෑරලා අහක බලාගත්තා.
"මට නිකං එහෙම හිතුණා. ඒ මහත්තයා තිස්සෙම ඉන්නේ කතා නැතුව නේ. එහෙම අය වසයි කියලා මම අහලා තියෙනවා. මහත්තයා මා එක්ක කතා කරන්නේ බීපු වෙලාවට විතරයි..." නයනගෙ අන්තිම වචන පෙල ඇහුණම හිත බර වුණා දුකකින් ආයෙම.
"භූප මහත්තයා ගොඩක් බොනවද නයනා?"
මම ඇහුවම ඈ මා දිහා බැලුවේ උවමනාවෙන් වගේ. ඊට පස්සේ ඈ හිස වැනුවේ ආයෙම බිම බලාගෙන.
"තරුණ කෙනෙක්ට ඔරොත්ත්තු නොදෙන තරමට බොනවා මිස්. අපි කොච්චර කියනවද එපා එපා කියලා. ඒත් අහන්නේ නෑ. හැමදාම නැතත් දවසක් ඇර දවසක් වත් නං බොනවාමයි. ඇයි මිස් මහත්තයා මේ තරම් බොන්නේ? මිස්ලා එපා කියන්නේ නැද්ද?"
නයනා ඇහුවෙම උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණ. භූප ගොඩක් බීමට පුරුදු වෙලා වග ඇහුවම මගේ හිත තවත් දුකෙන් පරිපීඩිත වුණා විතරයි. ඇස් වල කඳුලු පිරුණ හන්දා මම ඉක්මණින් ඇසිපිය ගැහුවේ නයනා ඉස්සරහ මට අඬන්න ඕන නැති හන්දා.
"මං දන්නෑ නයනා..."
ඒ පාර නයනා මා දිහා ටික වෙලාවක් බලාගේ උන්නා, මොනා හරි අහන්න වගේ.
"මිස්... මිස් මුකුත් හිතන්නේ නැත්තම් මම දෙයක් අහන්නද?" නයනා අහද්දි මට නිකමට හිතුණා ඈ එකල මෙකල වෙවී උන්නේ මේක අහන්නමද කියලා.
"මොකක්ද? අහන්න..." මං කිව්වේ කුතුහලෙන්.
" මිස් භූප මහත්තයගේ ගෑණු ළමයද?" ඈ ඒ ලොකු ඇස් විදහගෙන මගෙන් එහෙම ඇහුවම මට දැනුනේ පුදුමයක් එක්කම පොඩි සංකාවක්.
"ඇයි නයනා එහෙම අහන්නේ?"
"මිස්ගේ නම දුලාරා නේද? අපේ භූප මහත්තයා, සමහර වෙලාවට බීලා කියවද්දි මට ඇහිලා තියෙනවා ඒ නම කියනවා. ඊට පස්සේ වරු ගණන් කල්පනාවට වැටෙනවා. නැත්තම් වයලින් එක අරගෙන මහා දුක හිතෙන තාල ගහනවා..." නයනා කිව්වේ හෙමින්.
"ඉතිං නයනා ඇහුවේ නැද්ද ඒ කවුද කියලා?" මම ඇහුවේ සංතාපයක් හිත නලියද්දි.
"නෑ..." ඈ කිව්වේ මා දිහා නොබලා.
"භූප රෑට රෑ වෙලා බීලා එන වෙලාවලටත් නයනලා ඉන්නේ මෙහේමද?" මම ඇහුවා.
"ඔව්. අපි කොහොමත් ඉන්නේ මෙහේ, ඉස්සර ඉඳලම තාත්තනේ ගේ බලාගන්නේ. මහත්තයා ඉස්සරහ කාමරේ. අපි ඉන්නේ ගෙයි ඇතුලට වෙන්න තියෙන පොඩි කාමර දෙකේ"
" එතකොට නයනගෙ අම්මා?" මම ඇහුවේ තාමත් ඈව නොදැකපු නිසා.
"අම්මාට හන්දිපත් අමාරුව. දණිස් ඉදිමිලා හන්දා වැඩිය ඇවිදින්නේ කරන්නේ නැතිව ඉන්නවා. අපි යං මිස් කෑම කාමරේ දිහාට. කෑම නිවෙනවත් ඇති" නයනා කිව්වා.
"ඔයාලා අපරාදෙ කරදර වුණේ. අපි කන්න එලියට යන්න හිටියේ" මම කිව්වේ ඈ අනුව යන ගමන්.
"කරදරයක් නෑ මිස්" ඈ කිව්වා.
"නයනා ඇහුවනේ මම භූපගේ ගෑණු ලමයද කියලා..." ඒ යන අතරේ මම එහෙම කිව්වම ඈ මා දිහා බැලුවේ ගැස්සිලා වගේ. ඒත් ඒ ඇස්වල තිබුණේ උනන්දුවක්. මට සුසුමක් හෙලුණේ ඉබේටම.
"ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණයක් නයනා...ඇත්තම කිව්වොත් දැන් මම භූපගේ කවුරුවත් නෙවෙයි. අපි අතරේ නෑ කමක් නෑ. ඒත් ඉස්සරෝම කාලෙක මම එයාගේ ගෑණු ළමයා තමයි. ඒ සේරම දේවල් කාලෙකට කලින් ඉවර කරන්න අපට සිද්ධ වුණා. ගෙවල් වලින් ආපු ප්‍රශ්ණ ගොඩක් නිසා.ඒ වුණත්...මට භූපව අමතක කරන්න බෑ. අවුරුදු දෙකක් මම උත්සාහ කලා.ඒත් බැරිවුණා..."
මම ඒ තරම් දේවල් ඈට කිව්වේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඒ සමහරවිට හිතේ තෙරපෙන පීඩනය නිසාම වෙන්නත් ඇති.
"මිස් මේ ආවේ ඒකද?" ආපහු අහක බලාගෙන උන්නු නයනා ඇහුවා.
"ඒකද කිව්වේ?"
"මහත්තයා ගැන තාම හිතන නිසාද?"
"ඔව්..."
"එතකොට අර අනික් මහත්තයා?"
"එයා මගේ යාලුවා. හොඳම යාලුවා" මම කිව්වා.
නයනා ඒ පාර උන්නේ ගොලු වෙලා වගේ කල්පනාබරව.
"මං ආවට, දේවල් මේ තරම් වෙනස් වෙලා තියෙයි කියලා මම හිතුවේ නෑ.මට මේ කිසිම දෙයක් හිතාගන්න බෑ නයනා..." මම ඔහේ කිව්වා.
" මිස්, මහත්තයට ආදරේද?" ඈ අන්තිමට ඇහුවේ හෙමින්.
"ගොඩාක්...මටවත් හිතාගන්න බැරි තරම් මං භූපට ආදරෙයි… අපි වෙන් වෙලා අවුරුදු දෙකක් විතර දැන්...ඒත් ඉස්සරටත් වඩා දැන් මම භූපට ආදරෙයි කියලා මට දැනෙනවා...මැරෙනකල්ම මම එයාට ආදරේ කරයි, අපි එකට උන්නත් නැතත්..." මම කිව්වේ උපේක්ෂාවෙන් වගේ. පුදුමෙකට ඇස් වල කඳුලු තිබුණේ නෑ.
නයනා උන්නේ බිම බලාගත්වනමයි. ඉන්පස්සේ ඈ මොනවත්ම කිව්වේ නෑ. නයනා උන්නේ කල්පනාබර වෙලා වගේ. හිතට මොකදෝ වගේ දැනුනා අහේතුකවම. ඒත් දුර හිතන්න හේතු තිබුණේ නෑ. මං කොහොමද දන්නේ ඒ හිතත් මගේ හිත වගේමයි කියලා...?

***

අන්තිමේදි වටින් ගොඩින් අඳුර වැටීගෙන එනකලුත් මම උන්නේ අර සීතල සාලේ වාඩි වෙලා. අනුක් ලඟ උන්නත් මා එක්ක කතා කලේ නෑ. කෑම කන්න සලස්සලා ඇතුලට ගිය නයනාවත්, එයාගේ අම්මවත් ආයෙම එලියට ආවෙත් නැහැ.  සුමනදාස විතරක් අනුක් එක්ක විවිධ වල්පල් දොඩවමින් උන්නා. අතරේ මට ගෙදර මතක් වුණේ හදිසියේම. ඒත් මම බෑග් එකෙන් phone එක අතට ගද්දි ඒක off. කොච්චර වෙලාවක් තිස්සෙද කියලා මම කල්පනා කලේ අවුල් වුණ හිතින්. කරන්න තිබ්බ දේ අනුක්ගෙන් phone එක ඉල්ලගන්න එක. ඔහු එක්ක කතා කරන්නත් මට උවමනාව තිබ්බ හන්දා මම අන්තිමේදි හිතුවා ඔහුට කතා කරන්න.
"අනුක්..."
මගේ හඬ ඇහුණම අනුක් බැලුවේ ගැස්සිලා වගේ.
"මට ඔයාගේ phone එක දෙන්න පුලුවන්ද? මගේ එකේ බැට්රි බැහැලා"
මම කිව්වේ සාමාන්‍ය විදියට. හැඟීම් විරහිත ඇස් වලින් මා දිහා බලපු ඔහු මොනවත්ම නොකියා ඒක මා අතට දුන්නා. මම ගෙදරට කතා කලේ ගැහෙන හිතින්.
"හෙලෝ..." එහා පැත්තෙන් ඇහුණේ අම්මගේ හඬ.
"...අම්මා. මේ මං"
"දෙයියනේ ළමයෝ ඔයා කොහෙද ඔය ඉන්නේ? මම කී පාරක් කෝල් කරන්න බැලුවද? කොහෙද ඉන්නේ, කෝච්චියේද?" අම්මා ඇහුවේ සැරෙන් වගේ.
" phone එකේ බැට්රි බැහැලා. මම අද ගෙදර එන්නේ නෑ අම්මා. දැන් හවස් වීගෙන එන නිසා අද මෙහේ නවතින්න හිතුවේ"
"නවතින්න? කොහෙද? මම ගෝතමීටත් කතා කලා. එයා කිව්වා ඔයා ආවේ නෑ කියලා"
"නෑ, එහේ යන්නේ නෑ. මේ...හොස්ටල් ඉන්නේ”
"අනේ මන්දා ළමයෝ ඔයාගේ වැඩ. හොස්ටල් නැවතුණේ වෙලේ අස්ගිරියට යන්න තිබුණනේ. චේතියට ඔයා කතා කලාද? ළමයා දැන් දහපාරක් විතර ගෙදරට ගත්තා"
"ඉතිං ෆෝන් එක තිබ්බේ නෑනෙ. මම ගන්නම් එයාට. මම තියන්නම් එහෙනම්. මේ යාලුවෙක්ගේ එකකින් ගන්නේ. හෙට උදේම එන්නම්"
අම්මා තව මොනාදෝ අහන්න ලෑස්ති වුණත්, මම ඉකමණින් කට් කලේ අම්මට ඔය තරම් බොරු කියන්න මට බැරි හන්දා.
සුමනදාස භූප එනවද බලන්න පස්වෙනි පාරටත් එලියට ගියාට පස්සේ මම අනුක් දිහා බැලුවත් ඔහු උන්නේ කල්පනාවක. මම ඔහු උන්න පුටුව ලඟට ගිහින් වාඩි වුණාම ඔහු මා දිහා බැලුවේ යන්තමට. උදේ ඇඳගත්තු ඇඳුම් පිටින්ම, වෙහෙසටපත් වෙලා උන්නු ඔහු දැක්කම මට හරියට දුක හිතුණා.
"අනුක්.."
"ම්ම්...?" ඔහු මා දිහා බැලුවෙවත් නැහැ.
"I am sorry අනුක්...I am really really sorry. මේ කරන හැම දේකටම ඔයාට මම ගොඩක් ණයගැතියි. හිතේ එකලසක් නැති හන්දයි, stress එක හන්දයි කියවුණ දේවල් වලට මා එක්ක තරහා වෙන්න එපා අනුක්. මට මෙවෙලේ ඉන්නේ ඔයා විතරයි" මම කිව්වා.
අනුක් මා දිහා හිස හරවලා බැලුවත් ඇස්වල තිබුණේ නෑ හැඟීමක් තාමත්.
"මට ඕවා කියන්න එපා. මං මේ ඉන්නේ ආපු මෝඩකම හන්දා. භූප හම්බවෙලා ඔයා කතා කරාම, හෙට උදේම මම ඔයාව නුවරට දාන්නම්. ඔයාට ඕන ඒකනේ..." අනුක් කිව්වේ නිර්දය විදිහට.
මට දුක හිතුනා මිසක් තරහක් හිතුණේ නෑ තාමත්.
"ඔයා කතා කරන්නේ තරහින් අනුක්"
"අපි ඔය කතාව නවත්තමු" අනුක් කිව්වේ තදින්. ඉතිං මම කටපියාගත්තා.
"මම ගියා නවතින්න තැනක් තියේද බලන්න ලඟක. අපට මෙහේ ඉන්න බෑ. මේ මිනිස්සු කොහේ ඉන්නද? අනික එහෙම ඉන්න එක හරි නෑ. භූප හම්බවෙලා අපි එහාට යන්න ඕන. " අනුක් කිව්වා නෙවෙයි දැනුම් දුන්නා.
" තැන කොහෙද තියෙන්නේ?"
"මේ ලඟ...වෙලාවට එහෙම තැනක් තිබ්බේ. අපේ අප්පච්චිගේ වත්තත් තියෙන්නේ මේ ලඟ. ඒත් එහේ යන්න බෑනෙ. " අනුක් කිව්වා.
"මං දන්නෑ අනුක්" මම කිව්වා.
"දැන්වත් කියන දේ අහන්න දුලාරා. මට දැන් ඇතිවෙලා ඉන්නේ. ආපු වැඩේ කරගෙන යන්න හිතන්න. මං දැන් ආපු නිසා, ඔයාව ඇරලවලා යන එක මගේ යුතුකම. මොනා වුණත් ඔයා එන්න ඉන්නේ අපේ පවුලට හන්දා" අනුක් කිව්වා.
මම ඔහු කියන දේවල් අහගෙන උන්නා විතරයි. එකට එක කියන්න හිත කිව්වත් ආයෙම හිත රිද්දන්න මට ඕන වුණේ නෑ.

හවස හතටත් ලං වීගෙන එද්දි නම් මගේ ඉවසීමත් ගොඩාක් දුරට හීන වෙන්න පටන් අරන් තිබුණා. ඒ නිසාම, මම එලියට ගියේ අනුක් සුමනදාස එක්ක භූප එන මග බලාගෙන උන්නු දිහාට.
"මහත්තයා කීයට එයිද මන්දා නෝනේ" සුමනදාස කිව්වේ මම එතනට ආ වග දැකලා.
මම සුසුමක් හෙලලා අනුක් දිහා බැලුවේ අසරණව.  අනුක් මා දිහා බලාගෙන උන්නෙත් කියන්න දෙයක් නැතුවා වගේ.
"අපි ඔය තියෙන විදිහකට කාලා, එනකල් ඉමු. වෙන මොනා කරන්න ද?" අන්තිමේදි සුමනදාස කිව්වා.
"සුමනදාස මේ අහන්නකෝ. දැන් ආයෙම කරදර වෙන්න ඕන නෑ. මම මේ ලඟ නවතින තැනක් බලලා ආවේ" අනුක් ඉක්මණින් ඉදිරිපත් වෙලා කිව්වා.
"අනේ එහෙම හොඳයැ මහත්තයෝ. ආයෙ මේ ගෙදර ඉන්න පොඩ්ඩක් හදලා දෙන එක මහ දෙයක්ය?" සුමන්දාස කිව්වේ මා දිහාත් බලමින්.
"පිස්සුද පිස්සුද? එහෙම ඕන නෑ. අනික මම දැන් එතන බුක් කරලත් ආවේ. කොහොමටත් තව පැයක් විතර බලලා අපි යන එක හොඳයි මම හිතන්නේ"
අනුක් අන්තිම වදන් පෙල කිව්වේ මා දිහා බලලා. මම ඒකට මුකුත්ම කිව්වේ නෑ.
සුමනදාස මොනවදෝ කියන්න කට හදද්දිම වගෙ අපට ඇහුණා ඈතින් දොරකට ගහන්නා වගේ සද්දයක්. ඒ එක්කම ගේ ඇතුලෙන් ඇහුණේ නයනාගේ කට හඬ.
"තාත්තේ..." ඒ හඬේ තිබ්බේ, හදිසියක්, කලබලයක්.
"ඒ මක් වෙලාද?" සුමනදාස ගෙයි ඇතුලට යද්දිම අපි දෙන්නත් ගියේ කුතුහලෙන්.

No comments:

Post a Comment