Friday, August 1, 2014

හැත්තෑ අටවන කොටස



"මම දන්නෑ ඒක පටන් ගත්තේ කොයි වෙලේද කියලාවත්.ඒත්...මං දන්නවා දුලාරා කියන්නේ මට කවදාවත් ලබාගන්න පුලුවන් කෙනෙක් නොවෙන වග. මම ආදරේ කලේ එයාව මට අයිති කරගන්න නෙවෙයි. මට ඕන වුණ එකම දේ, ඒ ඇස්වල කඳුලු නැති දවසක් වෙලාවක් දකින්න. දුලාරා හිනාවෙලා ඉන්නවා දකින්න. මම මේ හැමදේම කලෙත්, ඉස්සරහට කරන්නෙත් ඒ හන්දා. මම ඒක කියන්න බය නෑ, එක පාරක් නෙවෙයි දහ පාරක් වුණත්. මං ආදරෙයි...මං ඔයාට ආදරෙයි දුලාරා..."
අනුක් අන්තිම වදන් පෙල කිව්වේ මා දිහාට හැරිලා, මගේ ඇස්වලට එබිලා.
"ඒක මේ වගේ වෙලාවක කිව්වට මට සමාවෙන්න...මට ඒක කියන්න සිද්ධ වුණා..." ඔහු ඊලඟට කිව්වේ ඇස් දෙක බිමට යොමාගෙන සමාව අයදින ස්වරයකින්.
මම උන්නේ සම්පොර්‍රණයෙන්ම ගොලු වෙලා.
"ෂික්...මීටත් වඩා තවත් ලැජ්ජාවක් අපට වෙන්න පුලුවන්ද? මේ ඔක්කොම වුණේ උඹ හන්දා..." අයියා කිව්වේ අනුක්ව පැත්තකට කරලා ආයෙම මා ලඟට ලං වෙලා.
"අනේ දෙයියනේ මම මේ මොනාද අහන්නේ" ඒ ඇහුණේ තාත්තගේ හඬ.
මම ඒ පැත්ත බැලුවේ බියපත් වෙලා. තාත්තා පුටුවකට වැටුණේ අවසඟ වෙලා වගේ.
"තාත්තේ.." මම තාත්තා ලඟට දිව්වා. ඒත් ඔහු මා දිහාවත් බැලුවේ නෑ.
"මම වරදක් කලේ නෑ තාත්තේ. මම කවදාවත් ගෙදරට අවනම්බු වෙන දෙයක් කලේ නෑ..."
"දැන් මේ කරලා තියෙන්නේ නම්බු වැඩක්ද එතකොට? ආ..." ඒ කෑගැහුවේ අයියා.
"දුලාරගේ වරදක් නෑ... එයා අද වෙනකල් මේ කිසි දෙයක් දන්නෑ. මම මෙහෙම හිතාගෙන උන්නු වග එයා දන්නෑ. එයාට නිස්කාරණේ දොස් කියන්න එපා" ඒ අනුක්ගේ හඬ.
"අනේ තාත්තා..."
ඊලඟට කවුරුවත් මොනවත්ම කියන්න කලින් ගේ ඇතුලෙන් ඇහුණේ කේතකී යටිගිරියෙන් කෑ ගහන හඬ.අපි සේරම ඒ හඬට කලබල වුණ තරම් කිව්වොත් හැමෝම නැගිටලා ඒ පැත්තට දිව්වා දෙපාරක් නොහිතම.
ඒ හඬ ඇහුණේ භූපගේ කාමරේ ඇතුලෙන්. කේතකීලා ඒ පැත්තට ගියේ කොයි වෙලේද කියලා මම දැක්කේ නෑ. ඒත් අපි ඉස්සරහ රණ්ඩු වෙන අතරේ සූරි මාමයි, කේතකීයි මේ පැත්තට එන්න ඇත්තේ භූපට මොකද වුණේ කියලා හොයාගන්න වෙන්න ඕන.
"මොකද වුණේ?" ඉස්සර වෙලා උන්නේ තාත්තා.
කාමරේට කඩාවැදුණ අය අතරේ අයියත්, චේතියත් උන්නා මොන හේතුවකට හරි. කේතකීලගේ තාත්තා උන්නේ පපුවත් අල්ලගෙන භූපගේ තවමත් අස් නොකරපු ඇඳ උඩ වාඩි වෙලා.
"අනේ මගේ පුතා..." සූරි මාමා තෝන්තුවාවෙන් වගේ කියවමින් උන්නේ ඒ වචන තුන විතරයි.
කේතකී අඬ අඬම ඔහුගේ පපුව අතගාන්න උත්සාහ කරමින් උන්නා. දොර ලඟට වෙලා උලුවස්සට බර වෙලා උන්නු මම දැක්කා මම ලඟම වගේ උන්නු අයියගේ ඇස් ඇඳ දිහාටත්, ඒ ලඟ තියලා තිබුණ බෝතල් ගොඩ දිහාටත් යොමු වුණ විදිහ. ඊලඟට මගේ ලොකු ඡායාරූපය ගහලා තිබුණ බිත්තිය දිහාට. මම දැක්කේ නෑ ඔහුගේ මූණේ හැඟීම් වෙනස් වුණාද කියලා.
"භූපට මොකද වෙලා තියෙන්නේ?" ඒත් ඊලඟ මොහොතේ ඒ හඬ ඇහුණම මට දැනුනා අයියා උන්නේ කැලඹිලා වග.
"භූප ඉන්නේ ඉස්පිරිතාලේ..." උත්තර දුන්නේ මම.
"ඉස්පිරිතාලේ?" අයියා මා දිහාට හැරුණේ වේගෙන්." ඒ මොනා වෙලාද?"
"වෙන්න තියෙන සේරම වෙලා" මම කිව්වේ වියලි හඬින්.
"මොනාද මේ කියන්නේ?" අයියා උන්නේ කලබල වෙලා.
අයියා කලබලෙන්ම එහෙම ඇහුවම මට ඒ මූණේ පෙනුණේ ඉස්සර භූප එක්ක පිස්සු නටපු, භූපගේ හොඳම යාලුව වුණ දුලිත මිස, මාරයෙක් වගේ අපට වද දුන්නු මගේ පොඩි අයියා නෙවෙයි. ඉතිං ආයෙම මට ඇඬුනා. මම කලේ උලුවස්ස බදාගෙන අඬපු එක විතරයි.
"භූපට මොකද වෙලා තියෙන්නේ?" ඒ පාර අයියා ඇහුවේ කෑ ගහලා වගේ.
"භූපට cardiac arrest එකක් ඇවිත් hospital නැවැත්තුවා...." මට ඇහුණා අනුක් ඒ පාර අයියටයි අනික් අයටයි කියනවා.
මම දන්නෑ එතනින් පස්සේ දේවල් කොහොම වුණාද කියලා. ආයෙමත් අයියා මට කෑ ගැහුවේ නෑ. මගේ ඇඬුම තුනී වෙලා බලද්දි චේතිය තවත් පේන්න උන්නෙත් නෑ. ඒ වෙද්දි හැමෝගෙම ලොකුම ප්‍රශ්ණේ වුණේ භූප විතරමයි. මොන හේතුවකටද අපේ තාත්තත් සූරි මාමා තරම්ම දුකින් උන්නු වග මම දැක්කා. එක මොහොතකින් සේරම හිතාගන්න බැරි තරම් වෙනස් වෙලා තිබුණා. ඒක මට මහාම මහා ප්‍රශ්ණයක් වුණේ, මාවයි භූපවයි වෙන් කරන්න උදේ හවා වලි කාපු අපේ පවුලේ අයම දැන් භූප ගැන භූපගේ පවුලේ අය තරම්ම ඔහු ගැන වද වෙන හැටි දැක්ක්මයි. අනුක් එක්ක ආයෙම කතා කරන්න මට වෙලාවක් ලැබුණේ නෑ. මොකද කම්පනය වෙලා වගේ උන්නු කේතකී එක්ක මට ඉන්න සිද්ධ වුණ නිසා. අනික් අතට මට අනුක්ට මූණ දෙන්න මොකක්දෝ නොහැකියාවකුත් දැනෙමින් තිබ්බා, ඔහු නොහිතපු විදියට හැමෝම ඉස්සරහ කියපු දේවල් හන්දත්. ඒත් ඒ මොනා වුණත් අනුක් තවමත් අපි එක්කම උන්නා, හවස ආයෙම භූපව බලන්න කට්ටියම යනකලුත්.
මේ පාර මටයි අනුක්ටයි කරන්න කිසි දෙයක් තිබුණේ නෑ බලාගෙන ඉන්නවා ඇරෙන්න. භූපගේ තාත්තා දොස්තරලට කතා කරලා ඔහුව ගම්පහ ඉස්පිරිතාලෙට මාරු කරගන්න වැඩ කටයුතු කලේ භූපට තව ටෙස්ට් වගයක් කරන්න හෙම ඕන හන්දා තව සතියක් විතර ඉස්පිරිතාලේ ඉන්න ඕන කියලා කියපු හන්දයි. ඒක මටත් සහනයක් වුණේ එතකොට ගෙදර ඉඳන්ම මට ඔහුව බලන්න යන්න පුලුවන් වෙන නිසා.
තාත්තලා ඒ කටයුතු කරද්දි භූප උන්නේ පොඩි අයියත් එක්ක කතා කරමින්. ගොඩක් කල් තරහා වෙලා උන්නු නිසාදෝ දෙන්නම දෙන්නගේ මූණු දිහා නොබැලුව තරමයි. එච්චර දැන ඇඳුනුම් කමක් නැති පිටස්තරයෝ දෙන්නෙක් වගේ ඒ දෙන්නා කත කරමින් ඉද්දි මම ඒ පැත්තට නොගිහින් උන්නේ ඒ දෙන්නට කතා කරගන්න ඉඩ දෙන්න හිතලා. නයනා වෙනුවට අද තීන්ත ගැලවුණ බංකුවේ මා ලඟ උන්නේ කේතකී. භූප එක්ක කතා කරලා ඇවිත් ඈ උන්නේ ඇස් රතුකරගෙන. ඒ අතරේ අනුක් වාට්ටුවේ කොනක් ඉස්සරහ කණුවකට පිටදීලා ඈත බලාගෙන උන්නේ තනියෙම. මගෙ හිතේ ඔහු ගැන නිරන්තරයෙන්ම කැකෑරෙන මොකක්දෝ දුකකුත්, වචනෙට නගන්න බැරි සෙනෙහසකුත් තිබුණා. ඒක ඔහු කරපු කියපු කිසි දෙයක් හන්දාවත් වෙනස් නොවුණ එක පුදුමයි. කේතකීට ඉන්න ඇරලා මම අනුක් උන්නු පැත්තට ගියේ ඔහු එහෙම තනිවෙලා ඉන්න හැටි මට බලාගෙන ඉන්න බැරිවුණ නිසා.
"අනුක්..."
මම කතා කරද්දි ඔහු එක පාරටම ටිකක් ගැස්සිලා වගේ මා දිහාට හැරුණේ, කල්පනාවක උන්නු නිසා වෙන්න ඇති.
"ඇයි දුලාරා?" ඔහු ඇහුවේ මම මොකක් හරි වැඩකට ඔහුව හොයනවා කියලා වෙන්න ඕන.
"නෑ...මං නිකං ආවේ" මම කිව්වේ ඔහු දිහා නොබලා ඔහුට සමාන්තරව හිටගෙන ඈත බලන ගමන්.
"මම හිතුවේ ඔයා භූප ගාව කියලා"
"නෑ, අයියා කතාකරන හන්දා මම එලියට ආවා"
"ආ...අයියා භූප එක්ක කතා කරන්න ගියාද?"
"හ්ම්"
අනුක් ලොකු සුසුමක් හෙලුවා.
"අන්තිමේදි බලද්දි ඔයා හිතුවක්කාර වෙලා ගත්තු තීරණේ හන්දා නරකක් වුණේ නෑ නේද?" අනුක් ඇහුවේ පුංචි හිනාවකුත් එක්ක.
"අනේ මන්දා..." මම කිව්වේ උදාසීනව.
"ඇයි නිකං අමුතු විදියට ඒක කිව්වේ? ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?"
"භූපට සනීප වෙනකල් හිතේ නිදහසක් නෑ මොනවත් ගැන හිතන්න අනුක්" මම කිව්වේ ඇත්තටම.
"හ්ම්ම්"
"ඒක නෙවෙයි, චේතිය අයියට මොකද වුණේ? දැන් කෝ එයා?" මම ඊලඟට ඇහුවාම අනුක්ගේ මූණ වෙනස් වුණා.
"එයා ගියා. හැමෝම භූපගෙ අසනීපේ ගැන කලබල වුණ වෙලේ එයා කාටවත්ම නොකියා ගිහින්. මට කිව්වෙත් නෑ" අනුක්ගෙ හඬේ තිබ්බේ චේතිය ගැන වුණ අපැහැදීම තාමත්.
මගේ හිතට පිවිසුණේ අනියත බයක්.
"මට බය හිතෙනවා අනුක්"
"ඒ මොනා ගැනද?"
"එයා අපි හැමෝම එක්ක තරහින් ඇත්තේ. වැඩියත්ම ඔයා එක්ක. හැමදේටම මට උදව් කලේ ඔයා නිසා. මං දන්නෑ ඉස්සරහට මොනා වේවිද කියලා"
"මම එයාට බය නෑ. එයාට කරන්න පුලුවන් දෙයක් නෑ. ඔයා බය වෙන්න එපා"
අනුක් මා දිහා බලාගෙන උන්නු වග දැනිලා මම ඒ පැත්ත බැලුවම අපේ ඇස් එකට පැටලුණා මොහොතකට. ඉස්සෙල්ලම බිම බැලුණේ මට. තව ටික වෙලාවක් යනකල් අපි කතා නොකර එහෙමම උන්නා.
"ඔයා මා එක්ක තරහා නැත්තම්, මට වෙන කිසි ප්‍රශ්ණයක් නෑ දුලාරා" අනුක් ඊලඟට කිව්වා.
මම ආයෙම ඒ ඇස් දිහා බැලුවා.
"මම තරහා වෙන්න මොකටද?"
ඒ පාර අහක බැලුවේ අනුක්.
"නෑ...මම හිතුවා දවල් මම කියපු දේට ඔයා මා එක්ක තරහා ඇති කියලා"
මගේ හදගැස්ම වේගවත් වුණා ඒ කතාව ආපහු ඇදුනම.
"මම...ඒ ගැන මතක් කරන්නේ නෑ" මම කිව්වේ අපහසුවෙන්.
"ම්ම්...එහෙමද? මට ඒක අමතක කරන්න බෑ. ඒත් ඒක මට කියන්න ඕන වුණේ මෙහෙම නෙවෙයි. " අනුක් කිව්වම ඒ ස්වරය හිතට එකතු කලේ බරක්.
මම මුනිවත රැක්කා එවෙලේ කියන්න දෙයක් තෝර බේර ගන්න බැරිව. අනුක් හද කම්පාකරවන සුලු විදිහේ සුසුමක් හෙලුවා.
"හ්ම්ම්...මං කොච්චර උත්සාහ කලාද ඒක නොකියා ඉන්න. ඒත්...කවදා වෙනකල් මම මේ සේරම ඔයාට, ලෝකෙට හංගන්නද?"
"ඒක කිව්වා කියලා ලැබුන දේ මොකක්ද? ඔයාට, මට නරක නාමයක් විතරයි. මට දුක නෑ කවුරුවත් මට මොනවත්ම කිව්වට. ඒත් ඔයා දිහා කවුරුවත් නරක ඇහැකින් බලනවට මම ආස නෑ. ඔයා පුදුමාකාර තරම් හොඳ හිතක් තියෙන කෙනෙක්. ඔයා මට කොච්චර උදව් කරලා තියෙනවද? මේ අද ඊයේ පවා මම කියන්නේ. එහෙව් ඔයා ගැන කවුරුත් වැරදියට හිතන එක මට දුකක්. ඔයා අද කරපු දෙයින් වුණේ හැමෝම ඔයා දිහා වපර ඇහින් බලන්න පටන් ගත්තු එක විතරයි..."
අනුක් මා දිහා බලාගෙන උන්නේ දයාබරව.
"මම කරපු දේ ගැන අනික් අය හිතන විදිහ, ඒ නිසා අනික් අය මා දිහා බලන විදිහ මට වැඩක් නෑ. මට වැදගත් වෙන්නේ ඔයා හිතන දේ විතරයි...ඒත් ඒක අහන්න වෙලාව මේක නෙවෙයි. දුලාරා...මම එහෙම දෙයක් කිව්වා කියලා අමතක කරන්න. දැන් හැමදේම හොඳ වෙන්න යන වෙලේ මට ඔයාගේ හිතට බරක් වෙන්න ඕන නෑ. ඔය හිතේ ඉන්න ඕන වුණත් ඒ හිතට බරක් වෙලා නෙවෙයි" අනුක් කිව්වාම මට දැනුනේ පුදුමයක්.
"ඔයා මගේ හිතට බරක් නෙවෙයි අනුක්"
"එහෙනං?" අනුක් ඇහුවේ මුදුවට.
"ඒක මට කියන්න තේරෙන්නේ නෑ" මම මට දැනුනේ දේ කිව්වා.
අනුක් යන්තමට හිනාවුණා.
"ඔයා මගේ හිත දුර්වල කරන තරම් ඔයා දන්නේ නෑ දුලාරා.ඒත්... you are not mine, you never were mine…never will be" අනුක් කිව්වේ හිස පහත හෙලාගෙන.
"ඉතිං ඒක-?"
"ඒක තමයි මෙතන තියෙන දේ. ඒත් මම කරන්න ඕන කියලා හිතෙන දේවල්, මේ දුරින් ඉඳගෙන මට කරන්න පුලුවන් දේවල් මම කරන්න ඕන. ඒක තමයි මගේ සතුට" අනුක් කිව්වා.
"කවදා වෙනකල් එහෙම කරන්නද?"
"ඔයාට මාව ඕන වෙනකල්"
"ඊට පස්සේ?"
"ඊට පස්සේ වෙන දේවල් තාම හිතලා නෑ"
"අනුක්..." මම කතා කලේ ඔහු ගැන උපන්න දුකක් හිතේ පිරෙද්දි.
"ඇයි දුලාරා"
"මගේ හොඳම යාලුවා විදියට මට ඔයාව හැමදාම ඕන නම්?"
"හැමදාම ඉන්නවා මම එහෙනං"
මගේ උගුර රිදුම් දුන්නා ඔහුගේ ඒ වචන ඇහෙද්දි. හිතේ පිරුණේ මොකක්දෝ වේදනාවක්.
"ගොඩක් පව් කරලා තිබ්බට මම පොඩි පිනකුත් කරලා තියෙනවා වෙන්න ඇති අනුක්, ඒ හන්දයි ඔයා මගේ ජීවිතේට ආවේ" මම හෙමින් කිව්වා.
"මම එච්චරවත් පින් කරලා නෑ වෙන්න ඇති" අනුක් කිව්වා.
"ඇයි එහෙම කියන්නේ? ඔයාට කොච්චර දෙවල් ලැබිලා තියෙනවද? ඔක්කෝටමත් වඩා ඔයා හොඳ හිත"
"හ්ම්ම්...ඒත් මං ආදරේ කරන දෙවල් මට ලැබිලා නෑ දුලාරා. ඉස්සෙල්ලම මගේ අම්මා යන්න ගියා...දැන්..." ඔහු ඉතිරිය ගිලගත්තා.
මගේ උගුර හිර වෙනවා වගේ මට දැනුනා. අනුක්ගේ හිතේ හැඟීම් මේ තරම් මට දැනුන වෙන දවසක් තියෙන්න නැතුව ඇති.
"ඔයා දන්නෑ අනුක්..."
"මොනවද?"
"මට පුලුවන්කමක් තිබ්බා නම්,...මං...මං ඔයා ගාව නවතිනවා...ඒත් මට ඒක කරන්න බෑ කියලා ඔයා දන්නවා. මට තේරෙන්නේ නෑ අනුක්...මට භූපගෙන් වෙන් වෙන්න බැරි තරමටම ඔයාගෙන් ඈත් වෙන්නත් බෑ...ඒක මහ පටලැවිලිසහගත හැඟීමක්... ඒක වරදක්ද කියන්නත් මම දන්නේ නෑ."
මම එහෙම කිව්වාම අනුක් මා දිහා බැලුවේ විදුලි වේගෙන්.
"මම කියන්නේ ඇත්ත...මට දැනෙන දේ. මට ඔයාට බොරු කියන්න ඕන නෑ මෙච්චර දේවල් ඔයා මා වෙනුවෙන් කරද්දිත්. ඔයා ඒක දැනගන්න ඕන. ඒකට ඔයාට අයිතියක් තියෙනවා" මම කියාගෙන ගියා.
හිතේ හිර කරගෙන උන්නු දේවල් මේ විදියට, මේ වගේ වෙලාවක එලියට ආවේ ඇයි කියන්න මමවත් දන්නේ නැහැ.
"ඔයා කියන්නේ...?" අනුක් තතනද්දි මම ඔහුගේ ඇස් වලට එබුණා.
"මට කියන්න ඕන මේකයි අනුක්...ඔයා මම ගැන හිතන තරමටම මමත් ඔයා ගැන හිතනවා. ඒත් ඒකේ තේරුම මොකක්ද කියන්න මට තේරෙන්නේ නෑ...මම හිතනවා. එච්චරයි මම දන්නේ" මම කිව්වා.
අනුක් නිහඬවම මා දිහා බලාගෙන උන්නේ මම කියපු දේවල් ආයෙ ආයෙ තේරුම් ගන්න උත්සාහ කරමින් වෙන්න ඇති. මම එක පාරක් විතරක් ඇස් උස්සලා ඔහු දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ පුදුමයක්, ඒ එක්කම දුකක් කියල මට පෙනුණා.
"දුලාරා..."
ආයෙම අපි අතරේ කතාවක් වෙන්න වෙලාවල් වුණේ නෑ, ඈත උන්නු කේතකී මාව අමතපු හන්දා.
"මම එන්නම්" මම හැරුණා එහෙම කියලා අනුක් මා දිහා තවමත් බලාගෙන ඉන්දැද්දිම. ඒත් ඔහු මොනවත්ම කිව්වේ නෑ.
භූපව ගම්පහ ගෙනියන්න කටයුතු ලෑස්ති කරන අතරේ මට ආයෙමත් අනුක් ගැන බලන්න වෙලාවක් වුණේ නෑ. අන්තිමේදි හවස හය විතර වෙද්දි භූපව ගිලන් රියක දාගෙන අපි ගම්පහට එන්න පිටත් වෙන්න පුලුවන් වුණා. ඒ වෙලාවේ මම අනුක්ව හැමතැනකම හෙව්වත් ඔහු කොහේවත්ම උන්නේ නෑ. මට දැනුනේ නොසන්සුන් බවක්.
ලොකු අයියගේ කාර් එකේ පිටිපස්සේ මමයි, කේතකීයි වාඩි වුණේ සූරි මාමා භූප එක්ක Ambulance එකේ ආපු නිසා. වාහනේ එලෙව්වේ පොඩි අයියා හන්දා අනුක් හොයනකල් ඉන්න කියන්න මට පුලුවන්කමක් තිබ්බෙත් නෑ.
"ඇයි දුලාරා...මොනා හරි අමතක වුණාද?" මම නොසන්සුන් වෙලා උන්නු නිසාදෝ එහෙම ඇහුවේ කේතකී.
"නෑ...මං මේ බැලුවේ අනුක්ව..." මම කිව්වම ඉස්සරහ උන්නු අයියා මා දිහා හැරිලා බැලුවේ ආයෙම කෝපයෙන් දැල්වුණ ඇස් වලින්.
"තාම ඔය මොලේ අමාරුව හොඳ නැද්ද?" අයියා අහද්දි මම බිම බලාගත්තා.
"පොඩි පුතා..ඔය ඇති. දැන් ඕවා ආයෙම අදින්න එපා" එහෙම කිව්වේ තාත්තා.
"තත්තා කියයි. මම කොහොමද දැන් ගෝතමීගේ මූණ බලන්නේ? මේකිට යන තැනක පිලිවෙලට ඉන්න බැරි වුණායින් දැන් අවුල් වෙන්න යන්නේ මගේ ජීවිතේ. තාත්තට ඒක ගැන හැඟීමක් නැද්ද?" පොඩි අයියා නැවැත්තුවේම නෑ.
මේ මොනවත් නොදන්න කේතකී අපි දිහා මාරුවෙන් මාරුවට බැලුවා.
"මම කිව්වනේ නවත්තගන්න කියලා. අපි ඕවා ගෙදර ගිහින් කතා කරමු" තාත්තා කිව්වාම අයියා අමනාපෙන් වගේ තමන්ටම මුමුණගනිමින් වාහනේ පණගැන්නුවා.
මගේ හිත තිබුණේ ගැහෙමින්. ගෙදර ගිහින් අයියා මොනා කරයිද කියලා. ඒත් මම හිතාගත්තා මමත් කටවහගෙන ඉන්නේ නෑ කියලා. ගෙදරින් මාව තද කරන්න කරන්න එලියට ආවේ මගේ හිතුවක්කාරකම විතරමයි.
ටික දුරක් ගියාට පස්සේ කේතකීයි, අපේ තාත්තයි දෙන්නම උන්නේ නින්දේ. අයියා රේඩියෝ එක  දාගෙන වෙනම ලෝකෙක. ඒ අවසරෙන් මම ෆෝන් එක අතටගත්තේ අනුක්ට කෝල් එකක දෙන්න. අනුක් ෆෝන් එක ඉස්සුවේ මම දෙවනි පාරටත් රිං කලාම.
"කියන්න දුලාරා..." ඒ හඬ ඇහුණේ ඈතින් වගේ.
"ඔයා කොහේද ඉන්නේ?" මම ඇහුවේ ඇත්තටම අමනාපෙකින්.
"මම මේ ගෙදර  යන ගමන්" ඔහු කිව්වේ කලබලයක් නැතිව වගේ.
"මට කිව්වෙවත් නැතිව?"
"සොරි...මට එන්න වුණා. මම ඇවිත් කෝල් කරන්න උන්නේ"
"නිකමට ඇවිත් කියලා යන්න තිබුණේ නැද්ද?"
ඒ පාර අනුක් නිහඬ වුණා.
"ම්ම්?" මම දන්නෑ ඇයි ඇස්වල කඳුලු පිරුණේ කියලා.
"දුලාරා..."
"ඇයි එහෙම කලේ?" මම ඇහුවේ බිඳුණ හඬින්.
"ඔයා අඬනවද?"
"නෑ" මම බොරුවක් කිව්වා.
"මම ඉන්නේ උලපනේ හරියේ. ඔයාලා කොහෙද ඉන්නේ?" අනුක් ඇහුවා.
"මම දන්නෑ අනුක්. අපි ඉන්නේ කොලඹ පාරේ කොහේ හරි"
"මම ආපහු එන්නද?"
"එපා එපා"
"ඉතිං මම යන්නේ කොහොමද ඔහොම අඬද්දි"
"මම අඬන්නෑ අනුක්" මම කිව්වේ කඳුලක් ඇස් අගින් පිහින්  ගමන්.
"බොරු කියන්න එපා. මට ඔයාගේ කටහඬින් ඒක කියන්න පුලුවන්"
මම මුකුත් කිව්වේ නෑ, හිත කීරි ගැහෙනවා වගේ දැනුනත්.
"අඬන්න එපා දුලාරා. ඔයාට ඕනවුණ හැමදේම ඔයාට දැන් ලබාගන්න පුලුවන්. ඔයා මම කියපු දේවල් ගැනවත් මම ගැනවත් හිතන්න එපා" අනුක් කිව්වා.
"ඒ කියන්නේ අපි අතරේ මීටපස්සේ කිසිම දෙයක් නෑ කියන එකද? අපට යාලුවෝ වගේ ඉස්සර හිටියා වගේවත් ඉන්න බැරිද?" මම ඇහුවේ පුලුවන් තරම් සද්දේ අඩු කරලා අයියට ඇහේවි කියලා.
"එහෙම නෑ. ඔයා හිතනවද මට ඒක කරන්න පුලුවන් කියලා? මම කියන්නේ මම ඊයේ කියපු දේ ගැන විතරයි"
"ඉතිං එහෙම නම් ඒක කිව්වේ ඇයි? ඒ නිසා නේද මේ හිත්තැවුල් සේරම?" මම ඇහුවා.
"මම දන්නෑ එවෙලේ මට මොනා වුණාද කියලා"
"කමක් නෑ අනුක්. දැන් වෙච්ච දේට කරන්න දෙයක් නෑ. ඔයා පරෙස්සමින් යන්න" මම කිව්වා අන්තිමට හිතේ ලොකු දුකක් මණ්ඩි ගැහෙද්දි.
"මම ඔයාගෙන් ඈත් වෙන්නේ නෑ දුලාරා. මම භූප බලන්න එනවා. මම ඔයාව බලන්නත් එනවා...ඔයා කිව්වා වගේ, අපට හැමදාම යාලුවෝ වෙන්න පුලුවන්"
"හ්ම්"
අනුක්ගේ සුසුම් හඬ මට ඇහුණා.
"දුක් වෙන්න එපා ප්ලීස් දුලාරා. මම මේ හැමදේම කලේ ඔයා සතුටින් ඉන්නවා බලන්න. භූපට ඉක්මණට සනීප වෙයි. බලන්නකෝ එතකොට අම්මලාගේ හිත් සේරම වෙනස් වෙලා තියෙයි ඔය දෙන්නා ගැන. එතකොට ඔයා බලාපොරොත්තු වුණ ජීවිතේ, ඔයාගේ භූප එක්ක ගෙවන්න ඔයාට දවසක් තියෙයි. එදාට මටත් ලොකු සතුටක් තියෙයි..." අනුක් කිව්වා.
මට තව තව දුක හිතුණේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඒත් මම උන්නේ ගොලු වෙලා.
"මම තියන්නම් එහෙනම්. පරෙස්සමින් ඉන්න ඔයත් හොඳද"
"හ්ම්"
"ඔයාට දළදා හමුදුරුවන්ගේ පිහිටයි දුලාරා" කවදාවත් නැතිව අනුක් අද එහෙමත් කිව්වා.
"අනුක්..."
"ම්ම්?"
"I will miss you”
"I will miss you so badly too Dulara..You have no idea"
"Bye අනුක්. මං තියනවා"
මම එක පාරටම ෆෝන් එක තිබ්බේ ආයෙම මට අනුක් ඉස්සරහ අඬන්න බැරි හන්දා. මම දන්නෑ ඇයි මගේ හිතට මේතරම් සංතාපයක් අනුක් වෙනුවෙන් දැනුනේ කියලා. මම කාර් එකේ සීට් එකට හිස හේත්තු කරගෙන ඇස් පියාගත්තේ අවුල් ජාලයක් වෙලා තිබ්බ හිත එකලසක් කරගන්න උත්සාහ කරමින්. ඒත් හිතේ එක පැත්තක ලොකු රික්තයක් ඇති වෙලා වගේ මට දැනුනා. එවෙලේ මට තේරුණා මම අනුක්ට කොයි තරම් හිතින් බැඳිලා උන්නද කියලා. අනුක්ගේ හිතේ තිබුණ දුක, ලතැවුල මට එදාවත්, තව ගොඩක් කල් යනකලුත් තේරුම් ගන්න බැරි වුණා. ඒ හිත රිදුම් දුන්නු තරම්, ගෙදර යාගන්නත් බැරිව, ආයෙම මාව හොයාගෙන එන්නත් බැරිව ඔහු විඳවපු තරම්වත් කවදාවත් ඔහු මට කිව්වේ නෑ. ඒත් මගේ හිත මේ තරම් සංතාපයට පත් වුණේ ඒ හිත මට මොනා හරි විදියකින් දැනුන නිසාවද?

No comments:

Post a Comment