Friday, July 18, 2014

හැත්තෑහතරවන කොටස



විවිධාකාරයේ හීන පෙනි පෙනී නින්දත් නොනින්දත් අතරේ උන්නු මට උදේම ඇහැරුණේ නුහුරු සීතල හන්දා. එවෙලේ වෙලාව උදේ හය විතර වුණත් කාමරේ තිබුණේ අඳුරක්. හිස්ව තිබ්බ හිතට කලින්දා සිද්ධි පෙල හෙමි හෙමින් කාන්දු වෙද්දි ආයෙමත් මහා සංතාපයකින්, අඳුරු නොසන්සුතාවයකින් හිත පිරෙනවා මට දැනුනා.මම නැගිටලා බලද්දිත් අනුක් උන්නේ හොඳටම නිදාගෙන. මට ඔහුව ඇහැරවන්න හිත් දුන්නේ නෑ. මම ඇඳෙන් බිමට බැහැලා සීතල පොලොව උඩින් අඩි තිය තිය ගියේ ජනේලේ ලඟට. එලියේ මද අඳුර තුලින් මට පෙනුනේ එක සීරුවට ඇදහැලෙන වැස්ස. උදේ මේ තරම් අඳුරු ඒක වෙන්න ඇති කියලා මට හිතුණා. අනුක් ඇහැරෙනකල් මම මූණ කට දොවාගෙන ලෑස්ති වුණේ භූප මුණගැහෙන්න යන්න තිබුණ උවමනාව දැඩිවම දැනෙද්දි. හරියට කාලයක් තිස්සේ කරලා ඉවර කරන්න තිබ්බ කාර්යක් ඉවර කරන්න දැනෙන හදිසියක් වගේ එකක් මට දැනුනා. ඒත් මේ දේ කොහෙන් කෙලවර වෙයිද කියන එක ගැන නම් හිතේ පොඩි සැකයක් නොතිබුණා නෙවෙයි.
උදේ හත විතර වෙද්දි මම ලෑස්ති වෙලා, හෝටලෙන් ලෑස්ති කරලා තිබුණ තේත් බීලා අනුක් එක්ක එන්න මගට බැස්සා. ඒ අතරතුරේ අපි අතරේ කතාවක් නොවුණ තරමයි. වාහනේ හෙමි හෙමින් භූප උන්නු දිහාට කිට්ටු වෙද්දි හිතේ තිබ්බේ දෙගිඩියාවක්; මම මේ කරන්න යන්නේ හරි දේද කියලා.
"අද උදේ වෙද්දි missed calls තිස් පහක්! චේතිය අයියම පාලොස් පාරකටත් වඩා කතා කරලා තියෙනවා"
අනුක් මග එන අතරේ කිව්වේ ෆෝන් එකට මේ දැන් ආපු කෝල් එකකට answer නොකර පැත්තකින් තියන ගමන්.
"ඔයා ගෙදරට කිව්වා නේද ඊයේ එන්නේ නෑ කියලා?" මම ඇහුවා.
"ම්ම්. ඒත් එයාලා බලන්න ඇති නිකම්වත් කෝල් නොකරේ මොකද කියලා. අනික මේ ඔයා නුවර ආපු එක ගැන අහන්නත් වෙන්න ඇති මම හිතන්නේ?" අනුක් කිව්වා.
අනුක් වෙනුවෙන් මට දැනුන වරදකාරී හැඟීම උත්සන්න වෙනවා මට දැනුනා.
"මම හන්දා ඔයාට ගොඩක් කරදරයි අනුක්"
"දැන් ඕක ඔය කීවෙනි පාරටද කිව්වේ? මොනවත් ඔය තරම් හිතන්න ඕන නෑ. මම මේක කරන්නේ මට ඒක කරන්න ඕන හන්දා...මම හිතන්නෑ ඒක කරදරයක් කියලා. ඒත් ඔයා ඔය කතාව පැයකට වරක් කියන එකනම් මට කරදරයක්" ඔහු කිව්වේ මා දිහා යන්තම් බලන ගමන්.
මම මදහිනාවක් පෑවා ඒ කතාවට.
"ඊයේ හොඳට නින්ද ගියාද?" ඊලඟට අනුක් ඇහුවා.
"ම්ම්. ටිකක්. උදේ වෙන්න ලං වෙලා නම් විකාර හීන වගයක් පෙනි පෙනී තිබුණා"
"මට නම් පොල්ලෙන් ගැහුවා වගේ නින්ද ගියා"
ඔහු එහෙම කිව්වම මම ඒ විඩාබර මුහුණ දිහා බැලුවේ පුරුදු සෙනෙහස හිතේ පැතිරෙද්දි.
"මං දන්නෑ අනුක්...ඔයා මං වෙනුවෙන් මේ කරන දේවල් වලට මම කවදා කොහොම වන්දි ගෙවන්නද කියලා"
"ආ...ඔන්න කියලා කට ගන්න හම්බවුණේ නෑ. ඔයා අර කතාවම ආයෙ paraphrase කරනවා"
"ඔයා දන්නෑ අනුක්, මේක මගේ හිතට කොච්චර බරක්ද කියලා?"
"මම ඔයාගෙ හිතට බරක්ද?" ඒ පාර ඔහු ඇහුවා.
"ඔයා නෙවෙයි...මම මේ කරන දෙවල් හන්දා ඔයාට වෙන දේවල්"
"දැන් ඒකට කරන්න දෙයක් නෑනෙ. එහෙම හිතුවා කියලා දැන් ඔයාට පුලුවන්ද සේරම දමලා ගහලා නුවර ගිහින් ආපහු ගෙදර යන්න?"
අනුක් ඇහුවම මම නිරුත්තර වුණා. ඔහු කියන එක ඇත්ත හන්දා. මම ඉන් එහාට මුකුත්ම කියන්න ගියේ නෑ.

සුමනදාසලගේ ගෙදර රෝසමල් වැට ගාව අපේ වාහනේ නතර කරද්දි ඒ වෙනකොටත් එලියේ උන්නු නයනා පුංචි ගේට්ටුව ලඟට දුවගෙන ආවා.
"මම හිතුවා මිස්ලා මීට උදේම ඒවි කියලා" ඈ කිව්වේ අපි දෙන්නටම මද හිනාවක් පාන ගමන්.
"ලෑස්ති වෙලා එද්දි වෙලා ගියා නයනා. මේ...භූප ඇහැරිලාද?" මම ඇහුවේ ගැහෙන හිතින්.
"තාම නෑ. ඊයේ එච්චර බීලා නේ ආවේ. ගොඩක් බීලා ආපු දාට මහත්තයා  නැගිටින්නේ පරක්කු වෙලා තමයි. එන්න මිස්. තාත්තාත් ඉන්නවා අරහේ"
මම නයනා එක්ක යද්දි අනුක් හෙමින් අපි පස්සෙන් ආවා. අපි සාලෙට යද්දිම වගේ සුමනදාසත් සාලෙට ආවා.
"ආ..නෝනෙලා ඇවිත් නේද? අපේ මහත්තයා තාම නිදි. නවයවත් වෙයි ඇහැරෙද්දි මයෙ හිතේ. අපි මේ උදේට කෑමත් හැදුවා නෝනලටත් එක්කම" සුමන්දාස කිව්වේ සුහද හිනාවකුත් එක්ක.
"අනේ ඇයි ඒ තරම් කරදර වුණේ? අපි හිටපු දිහායින් තේ බීලා ආවෙත්" මම කිව්වා.
"ඒක තමයි සුමනදාසලට අපි හන්දා නැති කරදර" අනුකුත් කිව්වා.
"පිස්සුද මහත්තයෝ, මේක මොන කරදරයක්ද? එන්න එන්න. මහත්තයා ඇහැරෙනකල් අපි කාලා ඉමු" සුමනදාස කිව්වේ ආයෙම කෑම කාමරේ දිහාට යන්න හැරෙන ගමන්.
"මට නම් කන්න බෑ අනුක් ඇත්තටම. මම පොඩ්ඩක් භූපගේ කාමරෙන් ඉන්නම් එයාට ඇහැරෙනකල්. ඔයා කන්න" මම කිව්වේ අනුක්ට.
"මටත් බඩගිනි නෑ. කමක් නෑ ඔයා භූප බලලා එන්න. මම ඉන්නම්" අනුක් කිව්වා.
"ඉතිං ඉන්න වෙලාවේ මොනා හරි කන්න මහත්තයෝ. නෝනා අපේ මහත්තයා එක්ක කෑම කයි නේ" සුමනදාස කිව්වා.
මම ඒ දෙන්නට කතා කරගන්න ඇරලා භූපගේ කාමරේ ලඟට එද්දි නයනත් මා එක්කම ආවා.
කාමරේ අරිද්දිම වගේ මට ආවේ මත්පැන් සැරත් එක්ක මුසු වුණ අමුතුම ගන්ධයක්.කාමරේ ජනේලයක්වත් ඇරලා නැති හන්දාදෝ කාමරේ ඇතුලට යද්දි ඒක තවත් වැඩියෙන් මට දැනුනා. භූප ඉස්සර කාලෙ වගේම අල්ප දයන්නක් වගේ ඇඳේ ගුලි වෙලා උන්නු හැටි දැක්කම මට මතක් වුණේ දවසක් මායි, කේතකීයි, ඔහුගේ කොණ්ඩෙට පුංචි කොණ්ඩ කටු ගහලා අහුවුණ දවස. ඒ සිද්ධිය මට හැඟුනේ වෙනත්ම ජීවිතේක වුණ දෙයක් වගේ, ඉතාමත්ම ඈත ඈත කාලෙක. මම ඔහුගේ ඇඳ අයිනෙන් වාඩිවෙලා ඒ මූණ දිහා බැලුවා. කෙට්ටු වෙලා, රැවුලකුත් හොඳටම වවාගෙන, කොණ්ඩෙත් අපිලිවෙල වෙලා උන්නු භූපව මට පෙනුනේ හිඟන්නෙක් වගේ. හිත කැකෑරීගෙන ආපු දුකක් ඇස් බොඳ කරද්දි මම හෙමින් ඒ හිස අතගෑවා. ඒත් ඔහු උන්නේ තද නින්දේ. මම යන්තමට ආපහු හැරිලා බලද්දි දොරකඩ උලුවස්සට වාරු වෙලා නයනා මා දිහා බලාගෙන උන්නෙත් දුකකින් වග. ඒත් මම බලනවා දැක්ක ගමන් ඈ බිම බලාගත්තා.
"කාමරේ අරක්කුම ගඳයි" මම ඈට කිව්වා.
"ඊයේ ඔතන හැලුණ එක නම් මම සුද්ද කලා මිස්. ඒත් ගඳ යන්නේ නෑ ලේසියකට. කාමරේ ජනේලයක්වත් අරින්නේ නෑනෙ" ඈ කිව්වා.
මම ඒ පාර උන්නු තැනින් නැගිටලා භූපගේ කාමරේ හෙමින් පිරික්සන්න පටන් ගත්තා. මේසේ අසලින්ම වගේ නාන කාමරයට මෙහායින් වෙන් කරලා කලුවර කරලා තිබුණ  ඉඩක් භූප පාවිච්චි කරලා තිබුණේ ෆොටෝ develop කරන කලුවර ඉඩක් විදිහට. එතන ඇතුලේ එල්ලපු නූලක ෆොටෝ එක දෙකක් අමුණලා තිබුණා. මම ඊලඟට ආවේ භූපගේ මේසේ ලඟට. එතන තිබුණ පොත් ගොඩක් උඩ භූපගේ පරණ වයලීනය බිත්තියට හේත්තු කරලා තිබුණා. මම ඒක අතගලා බැලුවේ දුකෙන්. මේසේ උඩ තව කැමරා බඩු වගයකුයි, ඇල්බම් දෙක තුනකුයිත් තියලා තිබුණේ අඩමානෙට. ඊට අමතරව නිමක් නැති රිසිට් කොල වගේකුයි, මොන මොනවදෝ බෙහෙත් දාලා තිබුණ පොඩි බෑග් වගයකුයිත් අර බඩු අස්සෙම සී සීකඩ ඔහේ විසිරිලා තිබුණා.
"මහත්තයා ලඟදි අසනීප වුණාද?" මම දොර ලඟ උන්නු නයනාගෙන් ඇහුවේ ඒ බෙහෙත් ගොඩ හන්දා.
"එහෙම විශේෂ අසනීපයක් හැදුණේ නෑ මිස්"
"එහෙනම් මේ බෙහෙත්?"
"අනේ මන්දා...කියන්න දන්නේ නෑ" නයනා කිව්වේ දොර ලඟින් මෑත් වෙලා කාමරේ ඇතුලට හෙමි හෙමින් එන ගමන්.
ඒ අතරේ කාමරේ බිත්ති පුරා ඈ බැලුවේ කෞතුකාගාරෙකට මුල්ම වතාවකට ගිය කෙනෙක් බලන්නා වගේ පරිස්සමකින්.
"දෙයියනේ මිස්, මේ පිංතූරේ ලොකු! ඒකෙ ඉන්නේ මිස් නේද?" භූපගේ ඇඳ ඉස්සරහම ෆොටෝ එක දැකලා ඈ කිව්වේ පුදුමෙන් වගේ. ඒත් පුදුමෙකට වඩා යමකුත් ඒ හඬේ තිබ්බාවද?
මේ අතරේ තවමත් මේසේ පිරික්සමින් උන්නු මට පෙනුනා මේසේ කෙලවරේම පොත් අස්සක යන්තමට රිංගවලා තිබ්බ ෆයිල් එකකුයි, ෆොටෝ වගයකුයි. මම ඒවා ඇදලා අතට ගත්තේ ඒ තරම්ම නොහිතා. ඒත් මම ඇත්තටම පුදුම වුණේ එතන තිබුණ තරමක් ලොකු පිංතූර දෙක නයනගේ වග දැක්කම.
"මහත්තයා මගේ පිංතූර විතරක් නෙවෙයි තියාගෙන ඉඳලා තියෙන්නේ" මම කිව්වේ මොකක්දෝ ඉරිසියාවක් වගේ හැඟීමක් හිතේ අමුතුවෙන්ම පැතිරෙද්දි.
නයනා මා දිහාට ආවේ ඇස් ලොකු කරගෙන.
"ඇයි මිස්? කවුද ඔය ඉන්නේ?"
එහෙම අහගෙන ආපු ඇය මා අතේ තිබුණ ෆොටෝ දෙක දැක්ක ගමන් ගැස්සුනා වගේ වුණා. ඒ එක්කම ඒ මූණ රතු වුණේ ලැජ්ජාවකින්ද, බයකින්ද මන්දා.
"අ..අ..අනේ මිස්, මේ...මේක මේ මහත්තයා නිකමට දවසක් ගත්තු එකක්. ඒක එහෙම මේ..."
නයනා ගොත ගහද්දි මම සුසුමක් හෙලලා ඒවා ඈ අතටම දුන්නේ ඈ කියන දේ අහන්න මට ඕන නැති වුණ හන්දා. භූප ඇත්තටම මෙහාට වෙලා මොනා කරලද කියලා පලවෙනි වතාවට මට සැකයක් ඇති වුණේ එවෙලේ.
"මිස්..." මම අතේ ඉතිරි වුණ අනික් ෆයිල් එක ඕන්වට එපාවට පෙරලද්දි නයනා මට කතා කලේ බයෙන් සැකෙන් වගේ. මම නෑහුණා වගේ ඔහේ උන්නා.
"අනේ මිස්...මං ගැනවත්, මහත්ත්යා ගැනවත් අහිතක් හිතන්න එපා. ෆොටෝ ගන්න එක මහත්තයගේ රස්සාව. මේ වත්තේ ගොඩාක් මිනිස්සුන්ව මහත්තයා ෆොටෝ ගන්නවා. මේකත් එහෙම ඒ අතරෙදි ගත්තු එකක් විතරයි...මිස්ට තේරෙන්නෑ. මහත්තයා ආදරේ මිස්ට විතරයි. ඒක මහා පුදුම ආදරයක් මිස්...මාව විශ්වාස කරන්න. මං ඒක දන්නවා හොඳටම. මිස්ට වුණත් ඒක තේරෙන්නේ නැද්ද මේ කාමරේට ආවම විතරක්වත්?"
නයනාගේ හඬ තිබ්බේ හැඬුම්බර වෙලා. මම ඈ දිහා බැලුවේ අනුකම්පාව මුසු පුදුමයකින්.
"මං...නයනා ගැන වැරදියට හිතුවෙ නෑ" ඒක ඇත්තම නොවුණත් මට ඒක එවෙලේ කියන්න වුණා.
සමහරවිට නයනාගේ හිත හදන්න ඕන නිසා වෙන්න ඇති. නයනා ඉන්පස්සේ මුකුත්ම නොකියා අර ෆොටෝ දෙකත් අරන් කාමරේ පැත්තකට වුණා. මගේ ඇස් යොමු වුණේ ආයෙම අර ෆයිල් එකට. ඒක ගහලා තිබුණේ නුවර සුව සෙවණේ විස්තර. ඇතුලේ මොන මොනවදෝ report වගයක් තිබුණා. ECG කොල වගයක්, තව මොන මොනාදෝ දොස්තරලාගේ කුරු අකුරින් ලියවුණ කොල වගයක්, ඒ එක්ක්ම පපුවේ ගත්තු Xray එකක් හෙමත් ඒ ෆයිල් එක අස්සේ තිබුණා. මගේ හදගැස්ම වැඩි වුණේ අහේතුකව. භූපට මෙච්චර report තොගයක් මොකටද?
"සුමනදා..ස..."
භ්‍රාන්තියකට වගේ පත් වෙලා උන්නු මම ගැස්සුණේ ඒ හඬට. මම නයනා දිහා බලද්දි ඈ උන්නෙත් බය වෙලා වගේ. ඊලඟට ඈ කලේ කාමරෙන් එලියට දුවපු එක. මම මේසේ ලඟ තනි වුණා. එක පාර බය වුණ හන්දත්, මේ හදිසි හමුවීම හන්දත් හදගැස්ම පිටටත් ඇහෙන තරමට වැඩි වෙලයි තිබුණේ.
කම්මැලි කමින් වගේ භූප ඇඳෙන් නැගිටලා වාඩි වුණේ මට පිටුපාලා. බිමට බර කරගෙන උන්නු හිස හන්දා මට පෙනුනේ ඔහු තාමත් ඉන්නේ වෙරි මතින් වගේ කියලා. මම උන්නේ මේසේ ලඟම ගල් ගැහිලා හෙලවෙන්නවත් බැරිව. නවාගෙන උන්නු හිස ඊලඟට භූප හැරෙව්වේ ඔහුට දකුණු පැත්තෙන් තිබුණ බිත්තිය, ඒ කියන්නේ මගේ අර ලොකු රූපේ අලවලා තිබුණ බිත්තිය දිහාට. ඔහු ඒ දිහාම බලාගෙන විනාඩියක් විතර ඉන්න ඇති.
ඊලඟට ඔහු කලේ අසල මේසයක් උඩ තිබුණ සිගරට් පෙට්ටියක් අතට අරගෙන ඒකෙන් එලියට ගත්තු සිගරට් එකක් පත්තු කරගත්තු එක. මම ඒ දිහා බලාගෙන උන්නේ හිත වේදනාවෙන් පිරෙද්දි, ඒත් මට උනු තැනින් හෙලවෙන්නවත් බැරි වුණ හැටි? මම ඊලඟට කරන දෙයක් හිතන අතරේ, භූප ඇඳ අයින අතගලා ලඟ තිබ්බ බෝතලේකුත් අතට අරගෙන කෙලින්ම ඇවිදගෙන ගියේ මගේ අර පිංතූරේ තිබ්බ දිහාට. මම උන්නු  වගක්වත් ඔහුට නොදැනෙන්න ඇත්තේ මේසේ ලඟ තවමත් තරමක් කලුවර නිසා වෙන්න ඇති. මට හිතාගන්න බැරි වුණා මම ඔහු ඉස්සරහට යන්නේ කොහොමද කියලා. අපි අතරේ තිබ්බ හරස් බිත්තියෙන් භූපව නොපෙනී යද්දි මම හිතට දිරි ගත්තා ඔහුට ගිහින් කතා කරන්න.
මම මීක් සද්දයක් වත් නොනගා ඔහු උන්නු දිහාවට ඇවිදගෙන ගියාම මට පෙනුනේ, බෝතලෙත් එක අතකින් එල්ලගෙන, අර පිංතූරේ ඉස්සරහ හිටගෙන ඒ දිහා බලාගෙන උන්නු භූපව. මගේ හිත කීරි ගැහුණා, ඔහු ඒ උන්නු විදිහ දැක්කම. හරියට විස්මෘතියක ගැලිලා වගේ උන්නු ඔහුට මම එතනට ආපු වගවත් දැනුනේ නැති තරම්. ඔහු හෙමිහිට අතක් දික් කරලා ඒ පිංතූරේ යන්තමට හිනාවෙලා උන්න්නු දුලාරගේ කම්මුලක් ඇඟිල්ලකින් ස්පර්ෂ කලේ බොහොම සියුමැලි විදියට.
"කොහොමද ඔහොම හිනාවෙලා ඉන්නේ? මෙච්චර දේවල් වෙලත්, කොහොමද ඔයා විතරක් හිනාවෙලා ඉන්නේ? මගේ හිත අඬන තරම් ඔයාට ඇහෙන්නේ නැද්ද...ඇහෙන්නැද්ද?"
පිංතූරෙ උන්නු දුලාරාගෙන් ඔහු එහෙම අහද්දි මට දැනුන දුක කියාගන්න මට වචන නැහැ. බිත්තියට හේත්තු වෙලා උන්නේ කඳුලු බිංදු මහ ගොඩක් කම්මුල් දිගේ රෝල් වෙද්දි.
"නෑ මැණික...ඔයා හිනාවෙලා ඉන්න ඕන හැමදාම...ඔයා සතුටින් ඉන්න ඕන. මේක ඔයාගේ වරද නෙවෙයි...මේක මගේම වරද. මගේම වරද විතරයි..."
එහෙම කියපු භූප බිත්තියට හිස හේත්තුකරගෙන අතේ තිබ්බ බෝතලේ අඩියේ තිබුණ මත්පැන් උගුර කටට හලාගත්තා. එවෙලේ පිච්චුනේ මම. ඒත් මම තාමත් උන්නේ කතාකරගන්න බැරිව ගල් වෙලා වගේ. මම ඇස් පියාගෙන් අහගෙන උන්නේ මගේ ගතම වෙව්ලද්දි.
"අදින් පස්සේ මගේ කියන්නවත් මට බෑ...හිතන්නත් බෑ... යාව මට නැතිම වෙලා ගිහින් ඉවරයි..." භූප ආයෙම කිව්වා. පියාගෙන උන්නු මගේ ඇස් වලින් ආයෙම කඳුලු පිට පැන්නා. මම අතින් කට වහගත්තා. ඒත් තවමත් මම උන්නු වග භූපට දැනුනේ නෑ.
“හෙට අනිද්දට ඒ හැමදේම තීන්දු වෙයි. සුදු රෝස මල් මිටක් දීලා, ඔන්න ඔය වගේ අතට, ගමේ වෙල අයීන මැදින් මගේ ගෙදරට කැන්දන් එන්න හිටපු මගේ කුමාරි, වෙන අතක එල්ලිලා නුවර උඩරට මැණිකේ කෙනෙක් වෙයි. එතකොට මගේ ලඟ ඉතිරි වෙන්නේ ඔයා විතරයි මගේ මැණික... මම දන්නවා, ඔයා යන්නෑ කියලා. හැමදාම ඔයා මෙතන, මං ඉස්සරහ, හිනා වෙවී ඉන්නවා නේද? ඉන්නවා නේද?" භූප කියෝගෙන ගියා.
ඒක මට ඉවසන්න පුලුවන් වුණ දෙයක් නෙවෙයි. මෙච්චර වෙලා දරාගෙන උන්නු හැඬුම ඉකියක් වෙලා පිටවෙද්දි මම බිත්තිය දිගේ ඇදීගෙනම උන්නු තැනම වාඩි වුණා. ඒ එක්කම මට ඇහුණා භූප කලබල වුණ වග.
"කවුද?" භූප ඇහුවේ මම ඉන්න පැත්තට එන ගමන්.
ඒත් මට කරන්න පුලුවන් වුණ එකම දේ අඬන එක විතරයි.
"නයනා..??" භූප හිතන්න ඇත්තේ ඒ නයනා කියලා.
ඊලඟට එක පාරටම කාමරේ  ලොකු ලයිට් එක පත්තු වුණෙත්, වීදුරු බෝතලයක් බිම වැටිලා පෙරලිලා යන හඬක් ඇහුණෙත් එකටම වගේ. මම බොඳ වුණ ඇස් වලින් යුතුව හිස උස්සලා බලද්දි මට යාර දෙක තුනක් ඉස්සරහින් මා දිහා පුදුම වෙලා වගේ බලාගෙන භූප හිටගෙ උන්නා.

1 comment:

  1. ලස්සනට ලියලා තියනවා නෙතූ...
    ප්‍රස්තූතයට වගේම පොඩි පොඩි දේවල්වලටත් අවධානයක් දීලා තියන නිසා අපිටත් භූපත් දුලාරාත් එක්ක ඒ කාමරේ හිටියා වගේ දැනුනා..

    ReplyDelete