Monday, June 30, 2014

හැත්තෑවෙනි කොටස



"ඉන්න...මම අහලා එන්නම්" අනුක් වැස්සෙම වාහනෙන් පැනලා අඩියට දෙකට ඒ ගෙයි දිහාවට යද්දි, මම ඔහු කීව නාහා වැස්සෙම ඔහු පිටිපස්සෙ දිව්වා.
"මං කිව්වනේ ඉන්න කියලා" මම ලඟට එනවා දැකලා අනුක් කිව්වේ එහෙම. අනුක් දොරට තට්ටු කරලා වෙන්න ඇති, එවෙලෙම වගේ දොර ඇරුණා. බිත්තිය සහ ඇරුණ දොර අස්සෙන් අපි දිහා බලාගෙන උන්නේ ටිකක් ලස්සන, තරුණ ගෑණු ළමයෙක්. මගේ හද ගැස්ම හොඳටම වැඩි වෙද්දි අනුක් මා දිහා බැලුවා.
"මේ...මේ අර භූප කියලා, මීරිගම පැත්තේ මහත්තයෙක් නැවතිලා ඉන්න ගෙදරද?"
උත්තරයක් දෙන්න කලින් ඒ ගෑණු ළමයා අපි දෙන්නගේ උඩ ඉඳන් පහලටම බැලුවා.
"ඔව්...මහත්තයලා කවුද?"
"ආ...මේ අපි එයාගේ ගමේ යාලුවෝ කට්ටියක්. භූප ගෙදර ඉන්නවද?" අනුක් කිව්වා.
"මහත්තයා නම් ගෙදර නෑ. එන්න මහත්තයා ගෙට එලියේ වහිනවනේ" අපට සිනහවක් පාපු ඒ ගෑණු ලමයා අපව ගේ ඇතුලට කැඳෙව්වා.
සාරි වලින් වහලා තිබ්බ පුටු කීපයක් පොඩි සාලේ තියලා තිබුණා. ගේ ඇතුලේ පොඩි අඳුරු, සීතල ගතියක් තිබුණත් මොකක්දෝ සිරියාවකුත් තිබුණා කියලා මට හිතුණා. ගේ ඇතුලේ මට දැනුනේ හීන් සම්බ්‍රානි දුම් සුවඳක්.
මම අනුක්ගේ මූණ දිහා බලද්දි ඔහු උන්නේ මා දිහා බලාගෙන. ඊලඟට අපි දෙන්නම ගෙට ඇතුලු වුණේ එකටම.
"වාඩිවෙන්න මහත්තයා... මම තාත්තව එක්කගෙන එන්නම්" එහෙම කියපු ඒ ගෑණු ලමයා ගෙතුලට ගියේ අපි ඒ සීතල සාලේ තනි කරලා. සාලේ පුටු ඇරුණම තිබුණේ මල් පෝචියක් තියපු පොඩි ටීපෝවක් විතරයි. ඒ සාලේ තව එයි ඇතුලට දිගට ශාලාවක් වගේ තිබුණා. ඒ කෙලවරේ වීදුරු බඩු දාන පරණ තාලේ කැබිනට් එකක් තියෙනවා මට පෙනුණා. එතැනින් දෙපැත්තටම තිබුණේ පැසේජ් දෙකක් වෙන්න ඇති කියලා මට හිතුණා.
"හරි පාලුයි නේද?"අනුක් ඇහුවේ වට පිට බලන ගමන්.
"හ්ම්.. සීතලයිත් එක්ක" මම කිව්වේ හීගඩු පිපුණ අත්දෙක අතුල්ලන ගමන්.
ඊලඟට අර කලින් ආපු ගෑණු ලමයා ආපහු සාලෙට ආවා ජර්සියක් සහ සරමකින් සැරසුණ කෙට්ටු කලු මනුස්සයෙක් එක්ක. ඔහු අපිව දැකපු ගමන් හිනා කටක් මුවට නගාගත්තා. ඒ එක්කම ඒ හිනාව පොඩ්ඩක් වියැකුණේ ඔහු මාව දැක්කාම. ඒක එහෙමම වුණා නැත්තම් මගේ හිතලුවක්ද කියන්නත් මම දන්නේ නෑ.
"මහත්තයා...භූප මහත්තයා හම්බෙන්න ආවා කිව්වා?"
"ඔව්, අපි මේ එයාව බලලා යන්න කියලා ආවා මේ ලඟකට ආපු ගමන්" කතා කලේ අනුක්.
"මහත්තයා දන්නේ නැද්ද එන වග. මට කිව්වේ නම් නෑ කවුරුත් එනවා කියලා" අර පුද්ගලයා කිව්වේ හිස කස කස.
"නෑ නෑ. එයා දන්නේ නෑ. අපි මේ හදිසියෙනේ ආවේ. මේ..මුන්නැහේ එතකොට කවුද?" අනුක් ඇහුවා.
"මම සුමනදාස. මේ මගේ දුව. මමයි මගේ නෝනයි දුවයි තමයි මේ ගෙදර බලාගන්න ඉන්නේ.” ඔහු කිව්වා.
"ආ...එහෙමද? එතකොට භූප මෙහේ ඉන්නේ කුලියටද?" අනුක් ඇහුවම සුමනදාස ඔහු දිහා බැලුවේ පොඩි පුදුමයකින් වගේ.
"ආ...නෑ නෑ. මේ ගෙයි අයිති මහත්තයගේ යාලුවෙක් නේ භූප මහත්තයා. ඒ මහත්තයා ඉන්නේ කොලඹ. ඉතිං ටික දවසකට මේ මහත්තයට නවතින්න ගෙයි දීලා තියෙනවා. මහත්තයලා දන්නේ නැතුව ඇති මහිතේ" සුමනදාස කිව්වේ මා දිහාත් බලමින්.
"නෑ. අපි එච්චරම විස්තර දන්නේ නෑ. මේ කාලෙකින් තමයි හම්බවෙන්නෙත්. මේ  භූප කොහෙද දන්නෑ ගියේ?" " අනුක් ඇහුවා.
"වැඩකට පිට යනවා කියලා ගියේ. එහෙම ගියාම දවස් දෙක තුනක් එන්නේ නෑ වෙලාවකට. ඒත් ඊයේ කතා කරලා කිව්ව අද එනවා කියලා”
"භූප එද්දි සාමාන්‍යයෙන් රෑ වෙනවද?" අනුක් ඊටපස්සේ ඇහුවා.
"ගොඩක් වෙලාවට එහෙම තමා. මහත්තයා පොඩ්ඩක් කෝල් එකක් දීලා බැලුවේ නැද්ද?"
සුමන්දාස අහද්දි ඒ මූණේ තිබ්බේ පොඩි සැක සංකාවක ලකුණු කියලා ඔහු දිහා බලාගෙන උන්නු මට හිතුණා. හදිසියේම දෙන්නෙක් ඇවිත් යාලුවොයි කියලා මනුස්සයෙක්ව හොයද්දි ඕන කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන් නේ. අනික දැන් කාලේ කෝල් එකක් වත් නොදී එහෙම කෙනෙක්ට නොදන්වා හම්බවෙන්න එනවා කියන එකත් හරිම අහඹු දෙයක් නිසාත් සුමනදාස පුදුම වෙන්න ඇති කියලා මට හිතුණා..
"ආ..මේ.."
"ඔය කොලේ තියෙනවා" මම අනුක්ට හෙමින් කිව්වා.
"මම බලන්නම්කෝ" අනුක් එහෙම කියලා ෆෝන් එක අතට අරන් භූපගේ නොම්මර dial කරන අතරේ අර ගෑණු ලමයා ගෙට ගියා.
"වැඩ නෑ.ඕෆ් කරල හරි සිග්නල් නැති තැනක හරි ඇත්තේ. දැන් මොකද කරන්නේ?" අනුක් ඇහුවාම මගේ බලාපොරොත්තු තව ටිකක් කඩ වුණා.
" මහත්තයාගේ නොම්මරේ නම් වැඩ නොකර තියෙන්නේ නෑ. ඉන්නකෝ මමත් බලන්න" එහෙම කියලා සුමනදාස සාලේ එහා කෙලවර තිබුණ ටෙලිෆෝන් එක ලඟට ගියා.
"වෙලාව  දෙකත් පහුවෙලා. මොකද දැන් කරන්නේ?"" අනුක් ඇහුවේ ඔරලෝසුව දිහාත් බලන ගමන්.
"භූප එනකල් මම ඉන්නවා. මට ආයෙම ගිහින් එන්න පුලුවන් වෙන එකක් නෑ. කීයට හරි භූප හම්බවෙලා මිස මම යන්නේ නෑ ආපහු" මම කිව්වේ ස්ථිරවම.
“ඔයාට පිස්සුද ඇත්තටම"
"ඔයාට ඕන නම් යන්න අනුක්"
"දුලාරා, මගේ යකා අවුස්සගන්න එපා ආයෙම. මම මෙච්චර දුර මැරීගෙන ආවේ ඕක අහන්නද? ඔයාගේ තියෙන ලොකුම අවුල තමයි ඔය පණ්ඩිතකම. ‘ඔයාට ඕන නම් යන්න’...මම තමයි මෙතන මෝඩයා...කවදාවත් මමත් හැදෙන එකක් නම් නෑ"
"අනුක්...නොබැන ඉන්න බැරි නම් මුකුත් නොකියා ඉන්න ප්ලීස්. ඔයා දන්නෑ මගේ හිතේ තියෙන ගින්දර"
මම එහෙම කිව්වම අනුක් සුසුමක් හෙලලා ආපහු නොම්මරේ dial කර කර බලන්න පටන් ගත්තා.
ගෙට ගිය  ගෑණු ළමයා එලියට ආවේ අපට තේ හදාගෙන, උණු උණු වඩේ වගේකුත් එක්ක.
"හනේ...මොකට කරදර වුණාද?" අනුක් කිව්වා.
"මොනවත් කරදරයක් නෑ. භූප මහත්තය වඩේ වලට කැමතියි. ඒකයි මේ හැදුවේ"" ඒ ගෑණු ළමයා කිව්වේ අපට තේ පිලිගනවන ගමන්. එපා කියන්න බැරි නිසා මම වඩේ එකක් අතට ගත්තා.
" මේ මිස්, මහත්තයගේ නංගිද? මම මිස්ව කොහේ හරි දැකලා තියෙනවා වගේ" මට තේ එක පිලිගන්වන ගමන් ඈ කිව්වේ මගේ දිහා හොඳින් බලන ගමන්.
"නෑ..." මම කිව්වේ එච්චරයි.
ඈ මට තේ එක පිලිගන්වලා මද හිනාවක් පෑවා. ඒ වතේ තිබ්බේ මොකක්දෝ සුන්දර බවක් කියලා මට නිකමට හිතුණා.
"භූප මෙහේ නැවතිලා ගොඩක් කල්ද?" මම ඇහුවා.
"දැන් මාස හයක් විතර වෙනවා"
"එහෙමද?"
මේ අතරේ ටෙලිෆෝන් කෝල් එක ගන්න ගිය සුමනදාස ආපහු ආවා එතනට.
"වැඩ නෑ නේන්නම් මහත්තයෝ..."
"ඒකනේ. මාත් මේ කීප පාරක්ම අරන් බැලුවා"
සුමනදාස ඊලඟට අනුක් දිහා බලාගෙන උන්නේ අපි ඊලඟට කරන්නේ මොකක්ද අහන්න වගේ. අනුක් මා දිහා බැලුවා.
"මොකද දුලාරා දැන් කරන්නේ? අපි තව කොච්චර වෙලා ඉන්නද?"
අනුක් ඇහුවම මට සුසුමක් හෙලුණා.
"දු..ලාරා..? මේ නෝනගේ නමද දුලාරා?"
අපි දෙන්නා කරන දෙයක් කල්පනා කරන වෙලේ අපෙන් එහෙම ඇහුවේ සුමනදාස. සාලෙන් ආපහු යමින් උන්නු අර ගෑණු ලමයත් ඉද්ද ගැහුවා වගේ නැවතිලා අපි දිහා බලනවා මට පෙනුනා. අපි දෙන්නම සුමනදාස දිහා බැලුවේ පුදුමෙන්.
"ඔව්...ඇයි සුමනදාස?"
අනුක් එහෙම ඇහුවම සුමනදාස මා දිහායි අනුක් දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ පොඩි හිතේ කලබලේකින් වගේ.
"එතකොට...මේ නෝනද... භූප මහත්තයගෙ ගමේ ඉන්න නෝනා?" සුමනදාස ඇහුවේ සැකෙන් වගේ.
මම එවෙලේ පත් වුණේ අපහසුතාවයකට. එක පාරටම කියන්න දෙයක් මට හිතාගන්න බැරි වුණා.
" සුමනදාස කොහොමද ඒක දන්නේ?" එහෙම ඇහුවේ අනුක්.
එවෙලේ සුමනදාස බිම බලාගෙන මද හිනාවක් පෑවත් ඒ දුකෙන් වගේ කියලා මට හිතුණා.
"මම දන්නවා මහත්තය. මෙහාට ආපු දවසේ ඉඳලා අපේ මහත්තය නෝනව මතක් නොකරපු එක දවසක් වත් තිබුණා මට මතක නෑ. ඒ මහත්තය දෙයියෙක් වගේ...හරීම හොඳයි. ඒත් බීපු වෙලාවට සිහියක් නෑ වගේ හැසිරෙන්නේ. ඉතිං නින්ද යනකල්ම මට නෝනා ගැන කියනවා...අනේ නෝනා, මහත්තය මෙහාට වෙලා සැපෙන් ඉන්නවා නෙවෙයි. හැම වෙලේම ඒ මහත්තය ඉන්නේ දුකෙන්...මට අපේ මහත්තය ගැන හරි දුකයි. ගොඩක්ම හිතට ගොඩක්ම අමාරු මේ රැයක් දවාලක් නැතුව හැමදාම බොන එක තමයි..."
සුමනදාස එහෙම කියාගෙන කියාගෙන යද්දි අන්තිමේදි ඔහුගේ හිතේ දුක වචන වලිනුත් අපට දැනුනා. ඒ එක්කම මම උන්නේ ඇහුණ දේවල් අදහාගන්න බැරිව.
"භූප...ඒ තරම්ම බොනවද?" කතා කරගන්න පුලුවන් වුණ වෙලේ මම ඇහුවා.
"ගෙදර එන හැමදාම බොනවා...එහෙම නැති දවසක් මම දැකලම නෑ. ඇයි නෝනා මේම මහත්තය බොන්නේ? ඇයි කලින් හොයලා බැළුවේ නැත්තේ? භූප මහත්තය රත්ත්‍රං මනුස්සයා. ඒ මහත්තයා වෙලාවකට මගේම දරුවෙක් වගේ මට දැනෙන්නේ. ඒ නිසා මගේ හිතටත් හරි අමාරුයි මේවා මෙහෙම වෙද්දි. ඒත් මම කියන දෙයක් මහත්තයා කනකටවත් ගන්නේ නෑ නෙව " සුමනදාස අහද්දි දෙන්න උත්තරයක් මට තිබ්බේ නෑ.
අනුක් උන්නෙත් කම්පනය වෙලා වගේ ඔහු දිහාම බලාගෙන. මම බිම බලාගත්තේ මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් හිත වෙලාගනිද්දි.  ඒක කඳුලු වලින් දිය කරන්න පුලුවන් දුකක් නෙවෙයි. කඳුලු තිබුණේ හිතේම ගල් වෙලා.
" සුමනදාස නොදන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හැමදේම කියන්න දැන් වෙලාව නෙවෙයි. ඒත් අපට භූපව කොහොමහරි අද හම්බවෙන්න ඕන..සමහරවිට එහෙම කලොත් භූපගේ ඔය තත්වේ ගැන මොනා හරි නෝනට කරන්න බැරි වෙන එකක් නෑ" අනුක් ඊටපස්සේ කිව්වා.
"නෝනට ඉන්න ඕන නම් ඉන්න නෝනා. ඒක එපා කියන්න මට අයිතියක් නෑ. නෝනා ගැන මහත්තයා ගොඩාක් හිතාගෙන ඉන්න බව මට තේරෙනවා. මොකක් හරි නිසා දෙන්නා එකට නෑ කියලත් මට තේරෙනවා. එහෙම එකේ නෝනා එන්න ඇත්තේ මොකක් හරි වැදගත් දේකට වෙන්න ඇති නේ. ඉඳලා බලන්න නෝනා.." සුමනදාස කිව්වා.
ඒ පාර අනුක් මා දිහා බැලුවා.
"මොක්ද කරන්නේ කියන්න? ඔයාට ඉන්න ඕනද?"
" මහත්තයලා කතාකරගන්නකෝ" එහෙම කියලා සුමනදාස ගෙට ගියේ අපට කතා කරගෙන තීරණේකට එන්න ඉඩ දීලා.
"දැන් වෙලාව දෙක හමාරයි. මේ දැන් ගියත් ගෙදර යන්න පැය පහක්වත් යයි කාර් එකෙත්. මොනාද දුලාරා ඔයා කරන්න හිතන්නේ?  හය විතර යද්දි අනිවාර්යෙන්ම ගෙදර අය කලබල වෙන්න පටන් ගනී. ඊලඟට එක ලැව් ගින්නක් වගේ පලාතෙම පැතිරිලා, චේතිය අයියටත් ආරංචි වුණාම තමයි හොඳම සෙල්ලම පටන් ගන්නේ. කියන්න දුලාරා අපි මොකද කරන්නේ?" අනුක් ඇහුවා.
ගෙදර ගැන හිතද්දි නම් හිතට බයක්, අම්මලා ගැන දුකක් දැනුනා තමයි. ඒත් චේතිය ගැන නම් අබමල් රේණුවක තරම්වත් හැඟීමක් මට දැනුනේ නෑ.
"මට ආයේ හැරෙන්න බෑ අනුක්. මං ඇත්තටම කියන්නේ, ඔයා මේ දැන් ගියත් මම ඔයා එක්ක තරහා වෙන්න නෑ. මම කොහොමහරි කරලා මොනාහරි කරගන්න බලන්නම්" මම කිව්වා.
"ඔයාට පිස්සුද? ඔයා හිතනවද මම මේ වෙලාවේ ඔයාව දාලා යන්න යයි කියලා මේ තත්වේ උඩ. භූප ආවත් මට ඔයා දාලා යන්න බෑ. බීගෙන නම් එන්නේ සිහියක් පතක් නැතුව ප්‍රශ්ණ කතා කරන්න බෑනෙ දුලාරා..." අනුක් කිව්වා.
"මං කවදාවත් හිතුවේ නෑ මේ දේවල් මේ තරම් දුරදිග යයි කියලා අනුක්. හිතන්න... සුමනදාස කිව්වා භූප ඉන්නේ හැමදාම බීගෙන කියලා. එයා එහෙම බීපු කෙනෙක් නෙවෙයි අනුක්. මේ දේවල් සේරටම මුල මම. එයා මට ආදරේ නොකලා නම් මෙච්චර එයාගේ ජීවිතේ කාලකණ්ණි වෙන එකක් නෑ. මට දැනෙන්නේ මහා වරදකාරී හැඟීමක් අනුක්...මං දන්නෑ තව කොච්චර දුක් මගේ හිතට උහුලන්න පුලුවන් වෙයිද කියලා මේවගේ. මට පිස්සු හැදෙයි අනුක්...ඇත්තමයි මට පිස්සු හැදෙයි" මම කිව්වේ හැඬුම්බරව.අනුක් සුසුමක් හෙලුවා.
"දැන් ඉතිං අඬන්න හදන්න එපා ඔහොම. අඬලා ප්‍රශ්ණ විසඳන්න බෑනෙ. මම නම් කියන්නේ හොඳම දේ අපි දැන් ආපහු යන එක කියලා. දැන් අපි දන්නවනේ භූප ඉන්න තැන. අපිට පුලුවන් වෙන දවසක එන්න. ඔයා මොකද කියන්නේ?" අනුක් ඇහුවා.
"මට බෑ අනුක්. මම මේ ආපු ගමන භූප හම්බවෙලාම තමයි යන්නේ. කවුද දන්නේ ගෙදර ගිහිං ආයෙම මට එන්න ඉඩක් ලැබේවිද කියලා" මම කිව්වා.
"ඔයාට මාව විශ්වාස නැද්ද? මං ඔයාව එක්ක එනවා දුලාරා" අනුක් කිව්වා.
"බෑ අනුක්. මට ඔයා අවිශ්වාසයි නෙවෙයි. ඒත් මට අනාගතේ ගැන විශ්වාසයක් නෑ. අපි හිතන දේවල් වෙන්නේ නැනෙ"
"එහෙමයි කියලා අපි රෑ වෙනකල් මෙහේ ඉන්නද? රෑ වුණාම මොකද කරන්නේ? අපි කොහෙද ඉන්නේ? මෙහේ ඉන්නද? පොඩ්ඩක් හිතන්න දුලාරා" අනුක් කිව්වා.
"භූප එන වෙලාවක එයාව හම්බවෙලා, අපි නුවර යමු. ඔයා මාව ස්ටේෂන් එකෙන් දාන්න. මම තියෙන කෝච්චියක ආපහු ගෙදර යන්නම්" මම කිව්වා.
අනුක් ඒ පාර මා දිහා බැලුවේ රවලා.
"මගෙන් මුකුත් අහගන්න එපා දුලාරා ඔයා. කෝච්චියේ තනියෙම යන්න ඔයා මහ චන්ඩියෙක් කියලද හිතාගෙන ඉන්නේ. අපරාදෙ මම ආවේ චන්ඩියට සේරම කරගන්න කියලා මට එහාට වෙලා ඉන්න තිබුණා" එහෙම කියලා අනුක් එතනින් නැගිටලා ලඟ තිබ්බ ජනේලෙ ලඟට ගියා.
"ඉතිං නෑවිත් එන්න එපැයි. මම එන්න කිව්වද?" මම කිව්වෙත් හිතේ කෝපයක් ඇතිවුණ නිසා.
අනුක් මා දිහා බැලුවේ ඒ ඇස් වල කෝපයක් එක්ක.
"එතකොට දැන් ආපු එකයි වරද?" අනුක් ඇහුවෙත් තරහින්.
"මට ඔයා එක්ක තර්ක කරන්න ඕන නෑ අනුක්. ආවේ අපරාදේ කියලා හිතනවා නම් ඔයා යන්න. මම මේක මොනා හරි කරගන්නම්" මම කිව්වා
ඒ පාර විදුලි වේගෙන් මා දිහාට ආපු අනුක් මගේ මූණට එබුණේ මූණත් රතු කරගෙන.
"කට වහගන්නවා. කෙලෙහිගුණයක් කියලා දෙයක් නැද්ද? මම මේ හැමදේම ඔහේ දාලා පිස්සෙක් වගේ ඔයාව හොයාගෙන ආවේ ඇයි කියලා ඔයා දන්නවා. දැන දැන මෙහෙම හිත හීරෙන දේවල් කියන්නේ ඇයි  දුලාරා? මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නේ? මට ඔයා වෙනුවෙන් වත් කා වෙනුවෙන්වත් මේ දේවල් කරන්න ඕන නෑ. අනික ඔයා මගේම අයිය කෙනෙක් බඳින්නත් ඉද්දි. මම යමු කිව්වේ ඔයාගේ හොඳට මිස වෙන දේකට නෙවෙයි. මම කැමතියි ඔයා භූපව හම්බවෙනවට. පුලුවන් නම් ආයෙම එකතු වෙන්වටත් මම කැමතියි...ඒ... ආදරේ කියන්නේ මොකක්ද කියලා මම දන්න නිසා...." කියාගෙන කියාගෙන් ආපු අනුක් අන්තිමේදි නැවතිලා බිම බලාගත්තා. මම උන්නේ ගල් ගැහිලා වගේ. ඔහු මෙහෙම හැසිරෙනවා මම කවදාවත් දැකලා තිබුණේ නෑ. මම ගැහෙන හිතින් ඔහු දිහා බලාගෙන උන්නා.
"ආදරේ නැති වෙන එක කොච්චර දුකක්ද  කියලා මම දන්න නිසා. ඒක මට කියලා දුන්නේ ඔයා...ඔය ඇස් වල කඳුලු, ඔය හිතේ තිබිලා වචන වලට පෙරලුණ දුක...ඒ දුක මට ඔයාට වගේම දැනුනා. ඒ මම ඔයා ගැන ගොඩක් හිතපු නිසා. මම මේ හැම දෙයක්ම කරන්නෙත් මම ඔයා ගැ හිතන නිසා. ප්ලීස්, දෙයක් කියන්න කලින් ආයෙම ඒකත් මතක් කරගන්න දුලාරා...මේ ආවේ ඇඟ කසනවට නෙවෙයි. ඔයා ගැන මට බය  හිතුණ නිසා. ඔයාව බලාගන්න මම මටම පොරොන්දුවෙලයි උන්නේ. මං ආවේ ඒ නිසා. දැන් ආපහු යන් කියන්නෙත් ඒක නිසා...ඔයාට කරදරයක් වෙන්න මට ඕන නෑ...තේරුම් ගන්න. මෙතන  නැති ප්‍රශ්ණ ඇති කරගන්නවට වඩා හොඳ නැද්ද අපි ගිහින් ආයෙම දවසක එන එක? ඔයාට ඕන නම් මේ සෙනසුරාදම එන්න පුලුවන්. ඒත් ඔයා හිතන්නේ මේ වෙලාව ගැනයි, ඔයාගේ හිතයි, ඔයාගේ ප්‍රශ්ණ ගැනයි විතරයි නේ. ඔයාට මං කියන එක තේරෙන්නේ නෑ. කොටින්ම ඔයා කොහොමටවත් මාව තේරුම් ගන්නේ නෑ. ඔයා හිතාගෙන ඉන්නේ මමත් ඔයාගේ තරහාකාරයෙක් කියලා. එහෙම නෑ දුලාරා...මට ඕන ඔයා දුකක් නැතුව ඉන්නවා බලන්න විතරයි. මගේ හිතේ ඔයා ගැන තියෙන  හැඟීම මාව ඉරිසියාකාරයෙක් කරලා නෑ...මට ඇත්තටම ඕන ඔයා සතුටින් ඉන්න විතරයි, කොහේ හරි...ඒත් ඔයා ඒක තේරුම් ගන්නේ නැත්තම්, ඒක මගේ කරුමෙ. ඒකට කරන්න දෙයක් නෑ..."
අනුක් එහෙම කියලා එතනින් නැගිටලා එලියට යන්න ගියේ හඬාවැටෙන හිතක් එක්ක මාව තනි කරලා. අත්දෙකේ මූණ ගහගෙන, මම ඇස් වල කඳුලු වලට ඔහේ බේරෙන්න ඉඩ ඇරියා. හිතේ තිබුණේ යුද්ධයක්. භූප ගැන වගේම අනුක් ගැනත් හිත වැලපෙනවා මට ඒ අතරේ තේරුණා.

No comments:

Post a Comment