Thursday, March 10, 2016

විහංඟනාවී: පනස් දෙවන කොටස

"තමුසෙට ඇත්තටම මොලේ හොඳ නැද්ද නංඟි?" කාමරේ මේසේ ලඟ හිටගෙන අයුමි දිහා බලාගෙන උන්නු අනුකි ඇහුවේ නොරිස්සුම මුසු ස්වරයකින්.
හවස වුණ සිද්ධියෙන් පස්සේ ඇඳටම වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරමින් උන්නු අයුමිගේ හිත ඒ වචන වලින් පෑරුණත් ඈ ඔහේ නෑහුණා වගේ හිටියා.
"දැන් මොකකද තමුසේ කරන්න යන්නේ?" අනුකි ආයෙම ඇහුවා ඒ පාර.
අයුමි ඒත් උත්තරයක් දුන්නේ නෑ. අනුකි ගැන නොරිස්සුමක් ඇගේ හිතේ ඇති වෙමින් තිබුණා.
"පෙනේද තියෙන හිතුවක්කාරකම. කට නැද්ද?" ඒ පාර අනුකි කලේ අයුමි අසලට ඇවිල්ලා ඈව හොලවලාම එහෙම අහපු එක.
ඒ පාර උන්නු ඉරියව්ව වෙනස් කරපු අයුමි අනුකි දිහා බැලුවෙ වේදනාවයි, නොරිස්සුමයි දෙකම පිරුණ ඇස් වලින්. අනුකිත් උන්නේ ඈ දිහාම රවලා බලාගෙන. අයුමි ඒ පාර ආයෙම බිම බලාගත්තා.
"මම මොනවත් කරන්නේ නෑ" ඈ ඉන්පස්සේ කිව්වා.
"ඒ කියන්නේ ඔය සම්බන්ධේ නවත්තන්නෙත් නෑ කියන එකද?" අනුකි ඇහ්වුඒ සැරෙන්.
අයුමි මුනිවත රැක්කා.
"ඔව්, තමුසෙගේ හිතුවක්කාර කමනේ. දැන් ඉතිං මොනා හරි කරලා තමුසේ අපේ මූණේ දැලි ගානවකෝ. එතකොට සේරම ඉවරයි. මටවත්, මල්ලිටවත් ආයෙම පාර බැහැලා යන්න නැති කරනවකෝ තමුසේ" අනුකි කෑ ගැහුවා.
ඒ පාර අයුමිගේ ඉවසීමේ සීමාව පැන්නා. ඈ ඇසිල්ලකින් ඇඳෙන් නැගිටලා අනුකිගෙන් පුලුවන් තරම් ඈතට ගිහින් කාමරේ කොනක හිට ගත්තා.
"මට කාගෙවත් මූණේ දැලි ගාන්න ඔනේ නෑ. මම එහෙම වෙන්න තරම් දෙයක් කරලත් නෑ. ඒත් මට රවීන්ව අමතක කරන්න බෑ. මට එහෙම කරන්න බෑ" අයුමි කිව්වෙත් කෑ ගහලා වගේ.
"ඒ කියන්නේ අපි මොනා කිව්වත්, තමුසේ ඒ මනුස්සයාව කසාද බඳිනවා?" අනුකි ඇහුවා.
"ආදරේ කරනවා කියන්නේ කසාද බඳින්නම ඕන කියන එකවත්, ලඟ ඉන්නම ඕන කියන එකත් නෙවෙයි. මම කොහේ හිටියත්, ජීවිත කාලේම නොබැඳ හිටියත් රවීන්ට විතරයි ආදරේ. ඒක වෙනස් වෙන්නේ නෑ" අයුමි කිව්වේ අනුකි දිහා කෙලින්ම බලලා.
එවෙලේ මොහොතකට අනුකි නිරුත්තර වුණා. දෙන්නම මොහොතක් දෙන්නා දිහාම බලාගෙන ඉන්න ඇති.
"තමුසේ ඕන මගුලක් කරනවා. හැබැයි පවුලේ නමට කැලලක් නොවෙන්න. අම්මා අපිව අමාරුවෙන් හැදුවේ, මේ තත්වෙට ගෙනාවේ කාගෙන්වත් කතාවක් නාහා. තමුසේ ඒක විනාස කරන්න හදන්න එපා. මහ ආත්මාර්ථකාමී හිතුවක්කිරියක් වෙන්න එපා" අන්තිමේදි අනුකි ආයෙම කිව්වා.
අයුමි අහක බලාගත්තා මිස මුකුත් කිව්වේ නෑ. ඇගේ හිත කොච්චර රිදිලා තිබුණද කිව්වොත් ඈට ඕනවුණේ හයියෙන්ම කෑ ගහලා අඬන්න. ඒත් අනුකිගේ නපුරුකම ඉස්සරහදි ඇගේ හිත ගල් වුණා. අනුකිට පේන්න අඬන්න ඈට ඕන වුණේ නෑ.
අනුකි ගස්සගෙන කාමරෙන් යන්න ගියාට පස්සේ අයුමි ආපහු ඇවිත් ඇඳෙන් වාඩි වුණේ දුර්වලව. ඈට නොදැනීම ඇස් වල පිරුණ කඳුලු කම්මුල් දිගේ රෝල් වුණා. ඒ වෙනකොට කාමරේ තිබ්බේ අඳුරේ ගිලිලා. ඇඳ කොනේ කොට්ටේ ලඟින් එක පාරටම පුංචි එලියක් විහිදුනාම අයුමිට ඒ දිහාව බැලුණේ ඉබේටම. 'ෆෝන් එක'
ඈ කඳුලු පිහගෙන ෆෝන් එක අතට ගද්දිම වගේ කෝල් එක කට් වුණා. 'මිස්ඩ් කෝල් 45ක් රවීන්ගෙන්!' අයුමිට දැනුනේ හිත කඩාවැටුණාවගේ හැඟීමක්. රවීන්ගේ නොම්මරේට ආපහු කෝල් එක ගනිද්දි ඇගේ ඇඟිලි වෙව්ලුවා.
"දෙයියනේ බබී...මං කී පාරක් කෝල් කලාද?"
රවීන්ගේ හඬ එහා පැත්තෙන් ඇහෙද්දි, අයුමිගේ කඳුලු ආයෙම අලුත් වුණා. ඈට එක පාරටම කතා කරගන්න පුළුවන් වුණේ නෑ.
"බබී..." රවීන්ට ඇගේ වෙනස දැනිලදෝ ඔහු ඈව ආයෙම ඇමතුවේ හෙමින්.
"ඇයි රවීන් ඔයා මෙහේ ආවේ?" අයුමි ඇහුවේ කඳුලු අතරින්මයි.
රවීන් එක පාරටම උත්තරයක් නොදුන්නේ ඒ ප්‍රශ්ණෙන් ඔහු එකපාරටම වික්ෂිප්ත වුණ හන්දා වෙන්න ඇති. ඒත් අයුමිගේ හැඬුම් ඇහුණම වෙලා තියෙන දේ ඔහු තේරුම් ගන්න පුලුවන් වුණ හන්දදෝ ඔහු කතා කලේ සැකමුසු ස්වරයකින්.
"මොකද වුණේ බබී?" ඒ හඬේ තිබ්බේ බයක්.
"වෙන්න තියෙන සේරම වුණා, තවත් වෙන්න දෙයක් නෑ" අයුමි කිව්වේ හැඬුම් අතරින්මයි.
රවීන් ආයෙම තප්පර කීපයක් නිහඬ වුණේ වුණ දේවල් නිරායාසයෙන්ම වටහාගෙන වගේ.  අයුමිට දිගටම ඇඬුනා.
රවීන් බරට සුසුමක් හෙලුවා. ඔහු තව තප්පර දෙක තුනක් නිහඬවම ඉද්දි, අයුමි තව තවත් කඳුලු හෙලුවා විතරයි.
"අම්මලා ඔයාට දොස් කිව්වද බබී?" රවීන් අන්තිමට ඇහුවේ පරාජිත හඬකින්.
රවීන් එහෙම ඇහුවම අයුමිට ත්ව ටිකක් දුක හිතුණා. ඔහු ලඟ උන්නා නම් හිතේ තියෙන දුක කියන්න, ඔහු එක්ක එකතු වෙලා මේ ප්‍රශ්ණෙට විසඳුමක් හොයන්න තිබුණා කියලා ඈ හිතුවේ හිත මහා තනිකමකින් වෙලෙද්දි.
"අන්ඬන්න එප බබී ප්ලීස්. අම්මලා මොනාද කිව්වේ කියන්න්න මට" රවීන් ඇහුවේ දයාබරව.
ඒත් අයුමි උත්තරයක් දුන්නේ නෑ හීල්ලුවා ඇරෙන්න.
"අපේ සම්බන්ධේ නවත්තන්න කිව්වද?"
රවීන් එහෙම අහද්දි අයුමි 'හ්ම්' කිව්වේ කඳුලු අතරින්මයි.
ඒ පාර රවීන් ආයෙම නිහඬ වුණා. අයුමි කඳුලු පිහ පිහ ඇහුම්කන්දීගෙන උන්නා.
"එතකොට ඔයාගේ තීරණේ මොකක්ද බබී?" අන්තිමේදි රවීන් ඇහුවේ එහෙම.
"මම දන්නේ නෑ දෙයියනේ" අයුමි කිව්වේ හැඬුම්බරවමයි.
"මට ඔයාව හම්බවෙන්න ඕන. මට ඔයාව බලන්න ඕන බබී. මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. මම ඇවිත් ආයෙම අම්මලා එක්ක කතා කරන්නම්. මම දන්නවා ඇයි එයාලා කලබල වෙලා තියෙන්නේ කියලා. මට පුලුවන් පැහැදිලි කරලා දෙන්න ආයෙම. මම හෙට එන්නම් ආයෙත්" රවීන්ගේ හඬේ ඒ පාර තිබ්බේ කලබලයක්.
"වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ රවීන්" අයුමි කිව්වා.
"එහෙම කියන්න එපා බබී. අපි උත්සාහ කරලා බලමු"
"මම දන්නේ නෑ රවීන්..."
"ඇයි එහෙම කියන්නේ? ඔයාට මාව එපාද? මට ආදරේ නැද්ද බබී ඔයා?" රවීන්ගේ හඬේ තිබ්බේ අසරණකමක්.
ඒ පාර ආයෙම අයුමිගේ ඇස්වල කඳුලු පිරුණා.
"මට ඔයාව ඕනේ. මං ගොඩක් ආදරෙයි. ඔයා ඒක දන්නවා" අයුමි උත්තරයක් දෙන්න කල් ගනිද්දි රවීන් කිව්වේ ගොඩක්ම හැඟීම්බරව.
"මම දන්නේ නෑ මොනා කරන්නද කියලා. ඔයා නැතුව ජීවත් වෙන්න මම දන්නේ නෑ රවීන්. ඒත් මම කොහොමද අම්මලට පිටුපාන්නේ? මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා" අයුමි අන්තිමට කිව්වා.
"අහන්න...මම ආයෙම ඇවිත් කතා කරන්නම්. එක පාරක නෙවෙයි දහස් පාරක් හරි එන්න මට පුලුවන් අයුමි. මට එන්න එපා කියන්න එපා. මම ආයෙම එනවා. බලාපොරොත්තු නැතිකරගනන් එපා. ප්ලීස්...ආදරේ නැති කරගන්න එපා. දැන් මගේ හොඳ ළමයා වගේ නාඬා ඉන්න. මං එනවා. ඔයාට වෙන කාගෙවත් වෙන්න මම ඉඩ තියන්නේ නෑ" රවීන් කිව්වේ දයාබරව, ලොකු විශ්වාසෙකින්.
  ඒ දයාබර බවට ඇගේ කඳුලු අලුත් වුණා. එදා උදේ තිබුණ තත්වෙයි, දැන් තියෙන තත්වෙයි ගැන හිතද්දි ඈට දැනුනේ ඒ උදේ අවුරුදු ගාණකට එපිට දවසක් වගේ හැඟීමක්. මොනා වුණත් ටිකක් ඉවසලා, මොලේ කල්පනා කරලා රවීන් එක්ක රණ්ඩු නොවී උන්නා නම් අද මෙච්චර දෙයක් වෙන්නේ නෑ නේද කියලත් ඈ කල්පනා කලා. අතීතෙදි මොන දේ වුණත් දැන් රවීන් ආදරෙ කරන්නේ ඈට නේද කියන එක ඈ හිතුවේ, පුංචි වරදකාරී හැඟීමකින් හිත බර වෙද්දි. සැකේකට වඩා සැන්ඩ්‍රා ගැන ඇගේ හිතේ තිබුණ ඉරිසියාව හන්දයි ඒ තරම් දුකක්, තරහක් ඈට දැනුනේ කියන එක ඈ දැනගෙන උන්නා. අන්තිමටත් ඈට හිතුණේ රවීන් එක්ක රණ්ඩු නොවුණා නම් කියලා. ඒ සිතිවිලි වලින් හිත බර වෙද්දි ඈට රවීන් ගැන මහා ලොකු සෙනෙහසකින් හිත පිරුණා.
"මට සමාවෙන්න රවීන්..." ඈ හෙමින් කිව්වේ ඇස්වල කඳුලක් ආයෙම කම්මුලක් දිගේ රෝල් වෙද්දි.
"බබී...එහෙම කියන්න එපා. ඔයා මට වරදක් කලේ නෑ"
"මම උදේ ඔයා එක්ක රණ්ඩු නූන නම් අද මෙච්චර දෙයක් වෙන්නේ නෑ" අයුමි කිව්වේ හැඬුම්බරව.
"අද නැතත් අපිට මේ ප්‍රශ්ණෙට කවදා හරි මූණ දෙන්න වෙනවනේ බබී" රවීන් කිව්වා.
"මට බයයි රවීන්...ආයෙ කවදාවත් අපට හම්බවෙන්න බැරි උණොත්...අන්තිමට අපි වෙනවුනේ රණ්ඩුවකින්. මම කොහොමද හිත හදාගෙන ඉන්නේ රවීන්?" අයුමි කිව්වේ තෝන්තුවාවෙන් වගේ.
"බබී...අනේ ඔහොම depress වෙන්න එපා. මම කිව්වනේ එනවා කියලා. මෙහෙම වුණා කියලා අපි වෙන් වෙන්නේ නෑ බබී. පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපි කොහොමහරි අම්මලා කැමති කරගමු"
"ඔයා දන්නේ නෑ රවීන්..." අයුමි පටන් ගත්තත් රවීන් ඊට කලින් කතා කලා.
"අහන්න....මොන දේ වුණත් ඔයා මගේ වෙනවා. එච්චරයි. මාව විශ්වාස කරන්න"
රවීන්ගේ හඬේ තිබ්බ විශ්වාසය නිසාම හිතටත් පොඩි සහනයක් දැනුනා අයුමිගේ. ෆෝන් එක තියලා ආපහු ඇඳේ ඇල
වෙද්දි හිත නොසන්සුන් වෙලා තිබුණත්, හිත පතුල තිබ්බේ සන්සුන්ව. මොනා වුණත්, රවීන් වෙනස් වෙන්නේ නෑ කියන තහවුරු වීමත්, ඒ ආදරේ වෙනස් වෙන්නේ නෑ කියන විශ්වාසයත් ඒ සන්සුන් සිතිවිලි අතරේ ගැබ් වෙලා තිබුණා. 

8 comments:

  1. ලස්සනයි. දිගටම ලියන්න.

    ReplyDelete
  2. ම්හ් දැන්නම් හරිම සාම්ප්‍රදායිකයි.ඉස්සර තිබ්බ ලස්සන දැන් නෑ ...

    ReplyDelete
  3. ම්හ් දැන්නම් හරිම සාම්ප්‍රදායිකයි.ඉස්සර තිබ්බ ලස්සන දැන් නෑ ...

    ReplyDelete
  4. ලස්සනට ලියලා.

    ReplyDelete
  5. Oyata mawa mathakada danne na. Kalekin oyawa hoyagena awe. Mata amathaka wela thibuna da , athapahu unada danne na. Kohoma hari ayemath awa. Eka husmata katha okkoma kiywwuwa.
    Hama kathawak a lassani. Eth thama man asai Methma/Apoorwa ta😊
    Godak sthuthi mahansi wela apita poth denawata.
    Methma/apoorwa,
    Meenu/Aaryan
    Dulara/Anuk
    Ayumi/Raveen

    ReplyDelete
    Replies
    1. Eth man thamath asa adarey Methma/Apoorwa.
      E maath ehema nisa.:)

      Delete
  6. ● #‎ෆට්ට‬
    ● #‎පිකුදූ‬
    ● ‪#‎මැක්සා‬
    ● #‎ගින්දර‬
    ● #‎ජාති‬
    ● #‎පදිරි‬
    ● #‎නිර්මානාත්මිකයි‬
    ● #‎elakiri‬
    ● #‎Awesome‬
    ������������
    ○ #‎Amazing‬
    ○ #‎කොර_ආහ්‬
    ○ #ලස්සනයි
    ○ #කලාත්මකයි
    ○ #වින්දනීයයි
    ○ #හැඟිම්බරයි
    ○ #පට්ටයි
    ○ #සුපිරියි
    ○ #සුන්දරයි
    ○ #නියමයි
    ○ #අති_භයංකාරයි
    ○ #අසම_සමයි
    ❄❄❄❄❄❄❄❄❄❄
    Łîkê ┇ ┇ ┇ ┇ ┇ ┇ ┇
    Łîkê ┇ ┇ ┇ ┇ ┇ ┇❤
    Łîkê ┇ ┇ ┇ ┇ ┇
    Łîkê ┇ ┇ ┇ ┇
    Łîkê ┇ ┇ ┇
    Łîkê ┇ ┇
    Łîkê ┇❤
    Łîkê
    ❄❄❄❄❄❄❄❄❄❄
    Łîkê ┇ ┇ ┇ ┇ ┇ ┇ ┇
    Łîkê ┇ ┇ ┇ ┇ ┇ ┇❤
    Łîkê ┇ ┇ ┇ ┇ ┇
    Łîkê ┇ ┇ ┇ ┇
    Łîkê ┇ ┇ ┇
    Łîkê ┇ ┇
    Łîkê ┇❤

    ReplyDelete
  7. අපි ඊළඟ කොටස දානකන් ආදරෙන් බලන් ඉන්නවා.

    ReplyDelete