Tuesday, January 13, 2015

අනූහයවන කොටස

"ඔයාට කොහේටද යන්න ඕන?" අනුක් අහනවා මට ඇහුණේ හීනෙන් වගේ.
ඒත් උත්තරයක් දෙන්නවත් මට වචන ආවේ නෑ. ඒත් මම හිස වැනුවේ මම දන්නෑ කියන්න.  මම හිටියේ ජනෙල් වීදුරුවෙන් අහක බලාගෙන. සිතිවිලි මහා ගොඩක් හිත අද්දර මිදිලා, හැඟීම් දැනීම් නැති තත්වෙකට මම පත් වෙලා උන්නේ.
"මම ඔයාව ගෙදර ගිහින් දාන්නම්" අන්තිමේදි අනුක් එහෙම කිව්ව්වේ ටික වෙලාවකට පස්සේ.
මම එපා කිව්වෙවත්, හා කිව්වෙවත් නෑ. අනුක් කොහේ ගියාද, කොහොම ගියාද කියලාවත් මට නිනව්වක් තිබ්බේ නෑ. සීට් එකට හේත්තු වෙලා මම උත්සාහ කලේ හිතේ ඇතුලේ පොරබදන එක සිතුවිල්ලක් ගැනවත් නොහිතා ඉන්න. ඊලඟට මට එහෙමම නින්ද ගිහින් තිබුණා. නැගිටිද්දි අපි උන්නේ මීරිගමටත් ලං වෙලා. මුලින්ම මම වටපිට බැලුවේ මොනවත්ම හිතාගන්න බැරිව වගේ. ඒත් මහා නායක් වගේ හිතට කඩාගෙන ආවේ පැය කීපෙකට කලින් වෙච්ච දේවල්. හිත බර වුණා හොඳටෝම. මම ආයෙම හිත ගල් කරගත්තේ ආයාසයකින්. ඒත් ඇස් වල ලා කඳුලු පටලයක් ඉතිරි වුණා.
"ඔයා ගොඩ වෙලා නිදාගතා නේද? මට ඇහැරවන්න හිතුණෙත් නෑ" අනුක් කිව්වේ මා දිහා බලලා.
ඒ හඬ මගේ හිත ටික ටික දුර්වල කලාද මන්දා. ඒ එක්කම දැන් දැන් ගෙදරට ලං වෙද්දි, මම කල්පනා කලේ කොහොමද මම අම්මලට මූණ දෙන්නේ කියලා. ඒ දෙන්න ඉස්සරහදි මම කඩාවැටෙන වග මං දැනගෙන හිටියා. අනුක් ආයෙම මා දිහා ඇස් කොනකින් බලනවා මම දැක්කා. ඊලඟට ඔහු වාගනේ වේගෙ හෙමින් අඩු කලා.
"දුලාරා..."
ඔහු ඇමතුවම මම ඒ පැත්ත බැලුවේ නෑ.
"Are u ok?" ඔහු ඇහුවේ හෙමින්, දයාබරව.
මම ඔහු දිහා බලද්දි ඇස් තිබුණේ පිටාර මට්ටමටම පිරිලා.
"මං කොහොමද අනුක් ගෙදර යන්නේ?" මම ඇහුවේ මට ඇඬෙන්න එද්දි.
අනුක්ගේ මූණ දුකින් බර වුණා.
"මං අම්මලට මොනාද කියන්නේ?"
අනුක් බලා උන්නේ නිරුත්තර වෙලා.
"ඇයි අනුක් මට මෙහෙම වුණේ? මොකක්ද දෙයියනේ මම කරපු පව? ඇයි භූප මට මෙහෙම කලේ?" මම ඇහුවේ මට හොඳටම ඇඬෙද්දි.
අනුක් ගියර් එකෙන් අත අරගෙන මගේ හිස අතගෑවේ මාව සනසන්න වගේ. ඒත් එවෙලේ ලොකේ කිසිම දේකට මාව සනසන්න පුලුවන් වුණේ නෑ.
"මට අම්මලගේ මූණ බලන්න බෑ. ඒ අය මේකට ඉඩ දුන්නේ මම හිතුවක්කාර වුණ හන්දා. මම හැමදේම කලේ භූපට මගේ තිබ්බ ආදරේ නිසා. අනුක් අපි එයාව හොයාගෙන කොච්චර දුර ගියාද? එයා හන්දා චේතිය අයියා ලඟ මම කොච්චර දුක් වින්දද? ඇයි අනුක් එයා ඒවා අමතක කලේ?"
මම ඇහුවේ අඬ අඬම. අනුක් මේ අතරේ සෙනග නැති හරියක වාහනේ නැවැත්තුවා.
"ඔයාට මොනාද කරන්න ඕන කියන්න?" අනුක් කිව්වේ දුක්බර හඬින්.
"මට මැරෙන්නයි ඕන අනුක්..."
"මොනාද මේ කියන්නේ? පිස්සු කතා කියන්න එපා දුලාරා"
"මම මෙච්චර ආදරේ කරද්දි කොහොමද අනුක් එයා නයනට ලං වුණේ? මගේ තිබ්බ වරද මොකක්ද? මම එයාට පණ වගේ ආදරේ කරපු එකද?" මම ආයෙම අඬන්න ගත්තා.
"දුලාරා...අහන්න. වෙච්ච දේවල් වෙලා ඉවරයි. ඒවා වෙනස් කරන්න දැන් පරක්කු වැඩියි. මං දන්නවා ඔයාට ගොඩක් දුක වග. ඒත් ඔයාට හිත හදාගන්නම වෙනවා දුලාරා. ඔයා ඒක දන්නවා නේද?"
අනුක් ඇහුවම දෙන්න මට උත්තරයක් තිබ්බේ නෑ. මම කලේ  තවත් අඬන්න පණ නැති වෙනකල්ම දණහිසේ මූණ ඔබාගෙන අඬපු එක විතරයි. අනුක් ආයෙම මුකුත් කිව්වේ නෑ මගේ හිස අත ගගා උන්න මිසක.
අන්තිමේදි මම හිස උස්සලා කම්මුල් දෙක පිහ ගත්තා. ඒත් කරන්නේ මොනාද කියලා හිතන්න මට පුලුවන් වුණේ නෑ. අනුක් මා දිහා බැලුවා.
"මම දැන් මොනාද කරන්නේ අනුක්?"
"ඔයා දැන් ගෙදර යන්න ඕන" අනුක් කිව්වා.
"අම්මලට, අයියට වුණ දේවල් කියන්න මට බෑ. ඒ අය මොනා කරාවිද කියලා හිතගන්න බෑ දැනගත්තොත්. භූපගේ මුලු පවුලම එක්ක තරහා වෙයි. භූප කරපුවට ඒ අම්මලා පලි නෑ. මට ඒ හන්දා ඇත්ත කියන්න බෑ"
මම කිව්වේ තෝන්තුවාවෙන් වගේ. එතකල් ඇත්ත මොකක්ද කියලා අනුක් දන්නෙත් නෑ නේද කියලා මට මතක් වුණේ පස්සේ. ඒත් පුදුමෙකට ඒ මොකක්ද කියලා ඔහු ඇහුවේ නෑ.
"ඔයාට ඒ ගැන කැමති දෙයක් කරන්න පුලුවන්. මම කාටවත් වෙච්ච දේවල් කියන්නේ නෑ" අනුක් කිව්වා.
මම තව ටික වෙලාවක් කඳුලු පිහ පිහ එහෙමම උන්නේ ගෙදර ගිහින් කොහොම හිත හදාගෙන ඉන්නද කියලා කල්පනා කරමින්.
"අපි යමුද එහෙනම්?" අනුක් ඇහුවාම මම හිස වැනුවා.
ආයෙම ගෙදරට හරවනකල්ම අපි අතරේ කතාවක් ඇති වුණේ නෑ. මම ආයෙමත් කල්පනා කරමින් ආවේ වෙච්ච දේවල් ගැන. ඉඳහිට කඳුලු බිංදුවක් ඇස් තෙමද්දි, මගේ හිත මට සිහි කලේම මම කොච්චර භූපට ආදරේද කියලාමයි. වෙච්ච දේවල් ගැන ලොකු දුකක් හිතේ තිබ්බා වුණත්, භූප ගැන තරහක් හිතේ තිබ්බේ නෑ. හිතම තිබ්බේ මහා පාලුවකින් වගේ වැහිලා, දුකෙන් වෙලිලා.
"දුලාරා..." ගෙදරට ලං වෙලා අනුක් මාව ආයෙම ඇමතුවා.
"ම්ම්?"
"මට ඔයාගේ හිතේ දුක හොඳට තේරෙනවා. ඒක මටත් ලොකු දුකක්. මම දන්නෑ අද මම ඔයාව දාලා කොලඹ ගිහින් කොහොම හිත හදාගෙන ඉන්නද කියලාවත්. ඔයා වගේම මමත් ඉන්නේ මේ වෙච්ච කිසි දෙයක් අදහාගන්න බැරුව. ඒ වුණත් කරන්න ඕන මොනාද කියලා ඔයා තීරණය කරන්න ඕන දුලාරා" අනුක් කිව්වම මම ලොකු සුසුමක් හෙලුවේ කඳුලු එක්කමයි.
"තවත් කරන්න මොනාද ඉතුරුවෙලා තියෙනෙන? හැමදේම ඉවරයි අනුක්. භූප මට නැතිවෙලා ඉවරයි. අපට ආයෙම එයාව හොයාගෙන යන්න බෑ. එයා ගොඩාක් දුර ගිහිල්ලා. අන්තිමේදි හැම පැත්තෙන්ම රැවටිලා තියෙන්නේ මම. මට මගේ ආදරෙත් නෑ...කිසි කෙනෙක් නෑ..."
"ඇයි එහෙම කියන්නේ? ඔයා දන්නවා මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා හැමදාම. ඒත් සත්තයි ඒ භූපගේ තැන ගන්න නෙවෙයි. ඒක මට කරන්න බැරි වග මම දන්නවා. මට ඕන ඔයා සතුටින් ඉන්න, ඔයාට දුකක් නොවී තියෙන්න. ඒක එහෙම වෙනවා නම් ජීවිත කාලෙම වුණත් මේ දුරින් මට ඉන්න පුලුවන්" අනුක් එහෙම කියද්දි මම ඔහුගේ මූණ දිහා බලාගෙන උන්නේ ඔහු වෙනුවෙන් උපන් කඳුලකුත් ඇස් වලට එකතු වෙද්දි.
"මම ඒක දන්නවා අනුක්"
මොනා හරිම දේකට ඕන වුණොත්, ඔයාට දුක හිතුණොත්, කතා කරන්න ඕන වුණොත් ප්ලීස් මට කතා කරන්න. වෙච්ච දේවල් නිසා ඔලුව අවුල් කරගන්න එපා. පොඩ්ඩක් නිවීහැනහිල්ලේ දේවල් ගැන හිතලා බලන්න ආයෙම" අනුක් ඊලඟට කිව්වා.
මම බිම බලාගෙන අහගෙන උන්න විතරයි.
"ආයෙ ආයෙ හිතලා හිත රිද්දගන්නත් එපා. අම්මලා ගැන හිතන්න. ඔයා එයාලගේ එකම දුව කියන එක හිතන්න. තේරුණාද?"
මම යන්තම් හිස වැනුවා.
ඊලඟට අපි උන්නේ ගෙයි මිදුලේ. අම්මා ඉස්තෝප්පුවෙන් මතු වෙද්දි තාත්තත් කන්තෝරු කාමරෙන් එලියට ආවා. ඒ දෙන්නව දැක්කම ආයෙම මගේ උගුර හිර වෙනවා වගේ මට දැනුනා. ඒත් මම යන්තම් හිනාවෙලා ගෙට එන්න ආවේ වැඩිය ඒ දෙන්නගෙම මූණු දිහා නොබලා.
"පුතා ගෙදරටම ඇවිල්ලා. අපේ පොඩි පුතා එහෙමම ගියාද?" අම්මා අහනවා මට ඇහුණා.
මම එහෙමම ඇවිත් කාමරේට වැදුනේ මට ඇඬෙන්න ආපු හන්දා. මේසෙට වාරු වෙද්දි ඇස් වලින් කඳුලු බිංදු ගොඩක් සට සට ගාලා මේසේ මතට වැටුණා. ඒත් ඒ ඉක්මණින්ම මම ඒවා පිහලා දැම්මේ අම්මාවත් එන්න පුලුවන් හන්දා. ඒත් පුදුමෙකට ටිකකින් එතනට ආවේ අනුක්.
"දුලාරා...ඔයාගේ බෑග්ස්" අනුක් දොර අසල ඉඳන් එහෙම කිව්වම මම එතනට ගියා.
"තෑන්ක්ස් අනුක්...හැමදේටම" මම කිව්වේ ආයෙම දෑස් තෙත් වෙද්දි.
අනුක් මා දිහා බලාගෙන උන්නේ දුකකින්.
"මට ඔයාව දාලා යන්න හිත දෙන්නෑ. ඒත් මම යන්න ඕන. දුලාරා...මට කතා කරන්න. එන්න ඕන නම්, ඕනම දේකට මට කියන්න. ඔයාගේ දුක බෙදාගන්න ඕන වෙලාවක මම ඉන්නවා"
ඔහු කිව්වම මම හිස වැනුවා.
අනුක් ඒ පාර මුදුවට මගේ කම්මුලක් ස්පර්ෂ කරලා යන්තමට නලලා ඉඹලා එතනින් යන්න ගියා. මම තව මොහොතක් එහෙමම හිටගෙන ඉන්න ඇති. මට දැනුනේ එවෙලේ මං වගේම මගේ ජීවිතෙත් දැන් නැවතිලා කියලයි.
අනුක් තව ටික වෙලාවකින් යන්න ගියාට පස්සේ මට දැනෙන්න ගත්තේ මහා පාලුවක්, තනිකමක්, දුකක්. හරියට ජීවිතේ සේරම බලාපොරොත්තු නැතිවෙලා වගේ. එදා ඉතිරි දවසම මම කලේ හිස කැක්කුමයි කියලා ඇඳට වෙලා උන්නු එක. කන්න බොන්න තියා ඇඳුම් මාරු කරගන්න ඇඳෙන් නැගිටින්න වත් මට හිතක් තිබ්බේ නෑ.  ඒත් මට නින්දක් ආවේ නෑ. හැමවෙලේකම භූපගේ රුව හිතේ මැවුණා. ඒ එක්කම ඔහු  නයනා ගැන කියපුවා ආයෙ ආයෙම කන් ඇතුලේ රැව් දෙන්න වගේ මට දැනුනා. කොහොමවත් මට හිතාගන්න බැරිවුණ දේ, භූපට මෙහෙම දෙයක් කරන්න පුලුවන් වුණේ කොහොමද කියන එක. අන්තිමේදි හිත කිව්වෙම භූප මට වගේම නයනටත් ආදරේ කරන්න ඇති කියලා. ඒත් ඒක හිතට ගෙනාවේ ලොකු දුකක්, ලොකු ඉරිසියාවක්. භූප මගේ කියලා හිත කෑ ගැහුවා. හිත ඉල්ලුවේ ඔහුගේ ආදරේ, ඔහුගේ දයාබර හඬ, ඒ උණුසුම. ඒත් තවත් ඒ භූප, ඒ හැඟීම්, ඒ දැනීම් මට විතරක් අයිති දේවල් වුණේ නෑ නේද කියලා ආයෙ ආයෙම ඒ හිතම ප්‍රශ්ණ කලා. නින්දත් නොනින්දත් අතර පා වෙවී, ඒ වගේ සිතිවිලි වලින් පිරිලා මම උන්නේ පුදුමාකාර හිතේ පීඩාවකින්. මට හිතුණා ඒ දරුණු පීඩාව හැමදාමත්ම මාව මේ විදියට පෙලාවි කියලා.
****
"මොකද දෝණි මේ හැම වෙලේකම මූණ එල්ලගෙන ඉන්නේ. නුවර ඉඳන් ආ වෙලේ ඉඳලම ඔයා ඉන්නේ හරි අමුතු වෙලා නේ"
පොල් ගෙඩියක් ලෙලි ගහගෙන කුස්සියට එන්න ආපු තාත්තා එහෙම කිව්වම, බාගෙට කුස්සිය අතු ගාලා කොස්සත් අතේ තියාගෙන කල්පනාවක උන්නු මම ඒකෙන් මිදුනේ තිගැස්සිලා. පොල් ගෙඩිය අතට ගත්තු අම්මත් මා දිහා බැලුවා. කුස්සිය අතුගලා කොස්ස දොර මුල්ලට කරලා මම මේසෙට වාරු වුණේ අම්මලට කෙලින්ම මූණ නොපෙනෙන්න.
"මොකක් හරි ප්‍රශ්ණයක්ද?" මම හෙමි හෙමින් කතාවට අර අඳින්න හදද්දි අම්මා ඇහුවා.
"ම්ම්...මට අම්මලට දෙයක් කියන්න තියෙනවා" මම හෙමින් කිව්වේ රෑ දවල් දෙකක් තිස්සේ මම කල්පනා කරලා, කල්පනා කරලා හදාගත්තු කතාව.
"මොකක්ද?" තාත්තා ඇහුවේ කුතුහලෙන් වගේ.
"ම්ම්...මේ...මම...භූප එක්ක තිබ්බ සම්බන්ධේ නැවැත්තුවා අම්මේ" මුලින් තැතනුවත් අන්තිම ටික මම ඉක්මණට කියලා දැම්මා.
අම්මට එක පාරටම ඒක තේරුණේ නෑ වගේ මොහොතක් බලාගෙන උන්නා.
"මොකක්? සම්බන්ධේ නැවැත්තුවා?" තාත්තා ඇහුවේ පුදුමෙන් වගේ.
"ඔව්..." මම හිස වනලා කිව්වා.
අම්මා පුදුමෙන් වගේ මා දිහා බලාගෙනම උන්නේ මම හෙතු භූත පැහැදිලි කරනකල් වගේ.
"අපිට අපිව ගැලපෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. ඒත් දැන් ඒක මම තේරුම් අරන් ඉන්නේ" මම හිත තද කරගෙන ගොතාගත්තු බොරුව කිව්වා.
අම්මා ලොකු සුසුමක් හෙලලා ලඟ තිබ්බ බංකුව උඩින් වාඩි වුණත් තාත්තා උන්නේ මා දිහාම බලාගෙන, තාම ගල් ඉන්නත් අතේ තියාගෙනම.
"දැන්...දැන් එතකොට මේ ගැන භූපගේ ගෙදරින් දන්නවද?" එහෙම ඇහුවේ තාත්තා.
"මං දන්නෑ එයා කිව්වද කියලා. ඒත් මං ගෙදරට කියනවා කියලා එයා දන්නවා. සමහරවිට කියලා ඇති. මේක අපි දෙන්නම කතා වෙලා ගත්තු තීරණයක්. තනි තීරණයක් නෙවෙයි" මම කිව්වේ ආයෙම ඇස්වල කඳුලු පිරෙද්දි.
අම්මා මා දිහා බැලුවේ මොනවක් තේරුම් ගන්න බැරිවා වගේ.
"දෝණි එහෙම කලේ අපි මේ කාරණේට අකමැති වෙයි කියලා හිතලද?" ඊලඟට අම්මා ඇහුවේ මුදු හඬකින්.
"නෑ නෑ. එහෙම නිසා නෙවෙයි. තවත් අපට එකට ඉන්න බැරි හන්දා. අපි දෙන්නගේ අදහස් වෙනස්. එයා කරන්න රස්සාව එක්ක මට එයා එක්ක ඉන්න අමාරුයි. එයා ඉස්සර හිටපු භූප නෙවෙයි අම්මේ. මම ඉස්සර හිටපු දුලාරත් නෙවෙයි. ඒනිසා අපිට අපිව ගැලපෙන්නේ නෑ කියලා හිතුණා" මම කිව්වේ කඳුලු වලකගන්න උත්සාහ කරමින්.
"අනේ මන්දා දෝණි. මට තේරෙන්නේ නෑ මොනා කියන්නද කියලාවත්.  මට මේක හිතාගන්නත් බෑ"
"හැමදේම වෙන්නේ හොඳටනේ අම්මා" මම හිතෙන් කොහොමවත් එකඟවෙන්න බැරි කතාවක් කිව්වේ අම්මා සනසන්න.
"මේකට අර එන අනුක් ළමයගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?" තාත්තා ඊලඟට ඇහුවේ සැකෙන් වගේ.
"අනේ නෑ. එහෙම හිතන්නවත් එපා තාත්තා. අනුක් කියන්නේ පුදුමාකාර හොඳ යාලුවෙක්. අපි එකට එහේ මෙහේ ගියා වුණාට එහෙම කිසි දෙයක් අපි අතර නෑ. මේකට එයාගේ කිසිම සම්බන්ධයක් නෑ" මම කිව්වේ ඉක්මණින්.
ඒ පාර තාත්තත් කල්පනාබර වුණා.
"හ්ම්ම්...ඔව් ඉතිං ඔය දෙන්නා හිතනවා නම් ගැලපෙන්නෑ කියලා, වෙන වුණ එක වරදක් නෑ. නොගැලපීම් ගොඩක් එක්ක දෙන්නෙක්ට එකට ඉන්න බෑනෙ"
අන්තිමේදි තාත්තා කිව්වේ එහෙම.
"අනේ මන්දා ඒ වුණාට දැන් මිනිස්සු මොනා කියාවිද? අපේ නෑයොම මොන මොනා නොකියයිද? මෙතන මාර යුද්ධේ වගේ දෙක කරලා, අර නන්නාඳුනන පලාතක ගිහිල්ලා...මේ සම්බන්ධේ නිසා මොන තරම් නම් දේවල් වුණාද? ඒකනේ කියන්නේ අපි කියනකොට කිසි දෙයක් පිලිගන්නේ නෑ. ඇයි අපට රැවුල නෑනෙ"
අම්මා දොස් කියන්න පටන් ගත්තම තාත්තා අම්මා දිහා බැලුවේ නො ඉවසිල්ලෙන්.
"අනේ මේ දුවලගේ අම්මේ...ඕං ඔය කතාව දැන් නතර කරගන්න. ලෝකෙ පෙරලුණත් වැඩක්ය මේ දෙන්නට හිතෙනවා නම් මේක හරියන්නේ නෑ කියලා. අපි වැඩ කරන්න ඕන රටේ ලෝකේ උදවියට ඕන විදියටද? නෑයෝ ඔහෙ ඕන එකක් කියපුවාවේ. ඔය මිනිස්සු බැඳලත් දික්කසාද වෙන්නේ. වැදගත්ම දේ මේ දෙන්නා නොගැලපීම් තේරුම් අරන් දේවල් දුර දිග යන්න කලින් තීරණයක් ගන්න හිතපු එකයි" තාත්තා කියද්දි මම උන්නේ බිම බලාගෙන.
"ඒක නම් එහෙම තමයි" අන්තිමේදි අම්මත් එකඟ වුණා.
"හ්ම්...දැන් ඕවා ගැන හිතන්න කාරි නෑ. ඔය ඉගෙන ගත්තු එකෙන් මොනා හරි රස්සාවකට යන්න පුලුවන්ද කියලා බලන්න. එතකොට ඔය සේරම අමතක වෙයි ඉක්මණටම. අර කිව්වත් වගේ හැමදේම වෙන්නේ හොඳකට වෙන්නත් පුලුවන් නේ" තාත්තා එහෙම කියලා මගේ හිස අතගෑවේ හිතේ සැහැල්ලුවකින් වගේ කියලා මට හිතුණා.
තාත්තා කුස්සියෙන් යන්න ගියාම මම ඇස් අගින් බේරෙන්න ගිය කඳුලක් ඇඟිලි තුඩකින් පිහලා දැම්මේ අම්මා දකින්න කලින් කියලා. හිතේ තිබ්බා ලොකු දුකක පිටාර ගලන්න තරමට. ඒත් අඬන්න, දුක් වෙන්න මට ඉඩක් තිබ්බේ නෑ. මම කොහොමද අම්මලගේ හිත් රිද්දන්නේ එහෙම කරලා. මම හිටගෙන උන්නු තැනට අම්මා හෙමින් ආවම මම අම්මගේ මූණ දිහා බැලුවේ වෙනසක් නොපෙන්වා පුංචි හිනාවක් එක්ක.
"හිතට ලඟ ඕන දෙයක් ඈත් වුණාම මුලින් දුකයි තමයි දෝණි. ඒත් වෙන් වෙලා යන්න තියෙන දේවල් ඇදලා නවත්තගන්න අපට බෑ. ඒක සිද්ධ වෙන්නේ ඉරණමේ හැටියට. දැන් ඕවා ගැන නොහිතා ඉන්න.  ඉස්සරහට සමහරවිට දේවල් මීට වඩා හොඳ වේවි" අම්මා කිව්වේ ආදරෙන්.
එවෙලේ නම් ම‍ය ඇඬෙන්නම ආවා. මම යන්තම් හිස වනලා එතනින් එන්න ආවේ අම්මා ඉස්සරහ අඬන්න බැරි හන්දා. ඒ ආපු මම නැවතුණේ එලියේ කඩුල්ල ලඟ. ඈත පෙනුන කුඹුරු යාය දිහා බලාගෙන මම ගලපු කඳුලු වලට කම්මුල් තෙමන්න ඉඩ දීලා බලාගෙන උන්නා. ඒ එක්කම පුංචි පොද වැස්සක් වැටෙන්න පටන් ගත්තත් ගෙට යන්න මට හිත් දුන්නේ නෑ. මේ වගේ පොද වැස්සට මමයි භූපයි දෙන්නම කොච්චර ආසා කලාද කියලා මට නිකමට මතක් වුණා. ඒ වැහි දිහා බලාගෙන අත්වැල් බැඳගෙන අපි කොච්චර නම් පැය ගණන් ගෙවලා ඇත්ද? ඒ වැහි යට ඔහු මාව කී පාරක් නම්  ඉඹලා ඇත්ද? ඒ සේරම අද පාට බොඳවෙච්ච හීනයක් වෙලා කියලා හිතෙද්දි හිත වාවන්න බැරි වුණා. ඒ එක්කම හිතට ආවේ මොකක්දෝ හේතුවකට අහන හැමවෙලේකම භූපව මතක් කරපු ගීතයක්.ඉතිං දුක වැඩිවුණා විතරයි.

'කෙකටිය යායේ පිණිපොද වැටිලා ආන් බලන් කදිමා..සිරි සිරි නාදෙන් සරනා වැහි පොද මන බඳිතෙයි බෝමා....නුඹ සිහිවෙයි පෙර සේමා....'

2 comments:

  1. දුක කියන්නේ අපි අකමැතිම දේ.. අපි දුක් නොවෙන්න තමයි හැම දේම කරන්නේ... ඒත් අපිට අන්තිමට හිමි දුක විතරම තමයි..............

    ලස්සන පද ටික

    ReplyDelete