Wednesday, January 14, 2015

අනූ හත්වන කොටස

"නැන්දේ මම දුලාරව හම්බවෙන්න ආවේ"
කේතකීගේ හඬ සාලෙ දිහාවෙන් ඇහෙද්දි මම හිටියේ කාමරේට වෙලා වේලුණ රෙදි වගයක් නව නව. හිත නැවතුණා වගේ දැනුනා ඒ හඬ ඇහුණම. මට ඇහුණේ නෑ අම්මා කිව්වේ මොනවද කියලා. ඒත් ඊලඟ මොහොතේ කේතකී කාමරේට කඩාවැදුණේ හදිසියෙන්ම වගේ. මම ඒ පැත්ත හැරිලා බලද්දි අපි දෙන්නගෙම ඇස් හමුවුණාම කේතකී දොර ලඟම වගේ නැවතුණා. අපි දෙන්නා මොහොතක් එහෙමම මූණෙන් මූණ බලාගෙන ඉන්න ඇති. ඇසිල්ලකින් උණපු කඳුලු ඇස් වලට  බර වැඩිවුණ වෙලේ මම බිම බලාගත්තම, එහෙමම මා ලඟට දුවගෙන ආපු කේතකී මාව බදාගත්තේ අඬාගෙනමයි.
"මොකක්ද දුලා මේ වුණේ?" කේතකී ඇහුවේ අඬ අඬම.
ඒත් මම කලේ අඬපු එක විතරමයි. ඒ ඇඬුම් නතර වෙන්න තව ටික වෙලාවක් ගියා. අන්තිමේදි වේදනාවෙන් තවක් කකියන හිත් දෙකක් එක්ක අපි දෙන්නම ඇඳේ කෙලවරවල් දෙකේ වාඩි වෙලා ඔහේ පැත්තක් බලාගෙන උන්නා.
"අයියා ඊයේ රෑ ගෙදර ආවා" කේතකී කතාව පටන් ගත්තේ එහෙම.
මගේ හිත කීරි ගැහුණා ආයෙම. භූප අදඉන්නේ කොච්චර ලඟ වුණත් ඔහු ඇත්තටම මගෙන් කොච්චර දුරස් වෙලාද කියලා හිතුණ නිසා.
"එයා මොනවත් කිව්වේ නෑ ඊයේ රෑ. අද අම්මා තාත්තා එක්ක ක්ලිනික් එකට ගියාට පස්සෙයි අයියා සේරම මට කිව්වේ දුලාරා"
කේතකී එහෙම කියලා ආයෙම නහය හීරුවා. මම මොනවත්ම කිව්වේ නෑ.
"මට අදහාගන්න බැරි වුණා ඒ ඇහිච්ච දේවල්. මම කවදාවත් හිතුවේ නෑ මගේ අයියා ඒ වගේ දෙයක් කරාවි කියලා. එයාට මෙච්චර ආදරේ කරන, පණ වුණත් දෙන්න ලෑස්ති කෙල්ලෙක් ඉද්දි එයා එහෙම කරාවි කියලා කවුද හිතන්නේ දුලා? මට හරි ලැජ්ජයි, ඊටත් වඩා දුකයි. ඔය දෙන්නට වඩා මට දුකයි දුලා" එහෙම කියලා කේතකී ආයෙම කඳුලු පිස්සා.
"දැන් හැමදේම වෙලා ඉවරයි කේතකී" මම කිව්වා.
"හ්ම්ම්...ඒත් ඇයි? ඇයි දෙයියනේ එහෙම වුණේ?" කේතකී ඇහුවේ අඬ අඬම.
"මම දන්නෑ කේතකී...ඒක මගේ පව්කාරකම වෙන්න ඇති"
"ඔයාගේ නෙවෙයි අපේ. අපි හැමෝගෙම. ඔයා දන්නෑ මට ඒ කතාව අහලා අයියා එක්ක කොච්චර තරහා ගියාද කියලා. තාමත් මට එයාට ගහන්න තරම් කේන්තියි. මම දන්නෑ ආයෙම මට ඉස්සර වගේ අයියා එක්ක කතා කරන්න්වත් පුලුවන් වෙයි කියලා කාලෙකට. එයා ඔයාගේ විතරක් නෙවෙයි මගේ හිතතත් කැඩුවා දුලාරා. මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයා මගේ නෑනා වෙලා අපේ ගෙදරට එනවා බලන්න. අපේ අම්මත් එහෙමයි. ඒත් දැන් ඒ සේරම හීන කුඩු පට්ටම් වෙලා. අනේ දුලා....ඔයා අපටත් වෛර කරනවා ඇති" කේතකී කිව්වා.
"නෑ කේතකී. කවදාවත් එහෙම කරන්න මට බෑ. මගේ හිතේ වෛරයක් නෑ භූප ගැනවත්, කා ගැනවත්.  හිතේ තියෙන්නේ දුක විතරයි. වෙන දේකට හිතේ ඉඩක් නෑ"
එහෙම කිව්වම කේතකී මගේ අතක් මිරිකගත්තා. ඈ ආයෙම අඬන්න පටන් අරන්. ඒත් මම ඇඬුවේ නෑ.
"මොනා වුණත් අපේ යාලුකම් නැති වෙන්නේ නෑ කේතකී"
"හ්ම්ම්" කේතකී හිස වැනුවේ කඳුලු අතරින්.
අපි එහෙම ගොඩ වෙලා තව ඉන්න ඇති. අපට තනියෙම ඉන්න ඉඩ දීලාද කොහෙද අම්මා ඒ පැත්තට ආවෙත් නෑ.
"වෙච්ච දේවල් අම්මලා දන්නවද?" ඊලඟට කේතකී ඇහුවා.
"මං කොහොමද ඒ දේවල් අපේ අම්මලට කියන්නේ?"
"ඒත් අම්මලා ඇහුවොත්?"
"මම මොනා හරි කියන්නම්" මම කියපු දේවල් කේතකීට කියන්න මට ඕන වුණේ නෑ.
"අම්මලා අපේ පවුලටත් සාප කරයි දුලා මේවා දැනගත්තොත්" කේතකී කිව්වේ ලොකු දුකකින්.
"කවදාවත් එහෙම වෙන්න ඉඩ තියන්නෑ මං"
මම එහෙම කිව්වම මා දිහා බලාගෙන උන්නු කේතකී ආයෙම අඬන්න ගත්තා.
"ඔයා කොච්චර හොඳද දුලා...ඔයාට මෙච්චර දේවල් කරලත් ඔයා හදන්නේ හැමෝම ආරක්ෂා කරන්න"
කේතකී එහෙම කිව්වම මගේ උගුර හිර වුණා දුකට. ඒ මොකද එහෙම මම කරන්නේ ඇයි කියලා වෙන කොයිවෙලාවකටත් වඩා එවෙලේ මට දැනුන නිසා.
"මම භූපට ආදරෙයි කේතකී...එයා මට මොනා කලත් මගේ ආදරේ වෙනස් වෙලා නෑ" මම කිව්වා.
කේතකී මා දිහා බලාගෙන උන්නේ පුදුමෙන් වගේ.
"එයාට නොයා ඉන්න පුලුවන් නම්, මගේ ලඟ තියාගන්න පුලුවන් නම් අදත් මම එයා වෙනුවෙන් ඉන්නවා කේතකී. ඒත් ඒක කරන්න බෑ...ඒ දේ මම දන්නවා වුණත් ඒක හිත පිලි ගන්නෑ...එයා දන්නෑ. ඒත් මම එයාට තාම ගොඩක් ආදරෙයි කේතකී....ඒක තමයි ඇත්ත"
මම කියද්දි කේතකී ඉකි ගගහා ඇඬුවා. මාත් ඇඬුවා. ඒත් මම දැනං හිටියා කිසි දෙයක් ඒ කඳුලු නිසා වෙනස් වෙන්නේ නෑ කියලා.
අන්තිමේදි කේතකී යන්න ලෑස්ති වෙලත් මාව බදාගෙන ඇඬුවා. හරියට අපි කවදාවත් ආයම මුණගැහෙන එකක් නෑ වගේ. කේතකී යන්න ගියාට පස්සේ හිත තිබ්බේ කලින් තිබ්බටත් වඩා පෑරිලා. භූප ඉන්නෙත් ගමේ කියලා දැනගත්තට පස්සේ හිතේ දුක නතර නොවෙන උල්පතක් වගේ හිතෙ පිරි පිරීම තිබුණා. දුවලා ගිහිං හොරෙන් හරි ඒ මූණ තව එකපාරක් බලන්න තිබ්බා නම් කියලා නොහිතුණා නෙවෙයි. ඒත් මම කොහොම අමතක කරන්නද භූප තවත් මගේ නෙවෙයි කියලා. අඬන්නත් බැරිව, හිනාවෙන්නත් බැරිව අම්මලට දවල් කාලෙ මූණ දුන්නත් හැම රෑකම මම ඇඬුවා කොට්ටේ තෙත් වෙනකල්ම. වෙන කරන්න දෙයක් මම දැනගෙන උන්නේ නෑ. භූපව අමතක කරන්න මම දැනගෙන උන්නේ නෑ.
****
සිකුරාදා හවස බලාපොරොත්තු නූන විදියට පොඩි අයියා එක්ක ගෙදර ආවේ අනුක්. එදා මාව ඇරලවලා ගියාට පස්සෙම මැසේජ් එකක් දැම්මා ඇරෙන්න අනුක් එක්කවත් මම කතා කලේ නෑ කොච්චර දුක හිතුණත්. මොකක්දෝ හේතුවකට එහෙම කතා කරන්න මට හිත් දුන්නේ නෑ.
"How are you feeling now?" ඉඩ ලැබුණ වෙලාවක අනුක් මගෙන් එහෙම ඇහුවා.
"වරදක් නෑ"
"ගියාට පස්සෙම එක කෝල් එකක් වත් දුන්නේ නෑ. මම දවස් දෙක තුනක් කෝල් කලා ඒත් ෆෝන් එක ඕෆ්. කිසිම තොරතුරක් නොදැන මම හිටියේ කොච්චර අවුලින්ද කියලා ඔයා දන්නෑ. ඇයි මට කතා නොකලේ?" අනුක් නෝකාඩු කිව්වා.
"ඔයාට වැඩ අස්සේ කරදර කරන්න මට ඕන වුණේ නෑ"
"කරදරයක් වෙන්නේ කොහොමද?"
"අනුක්...ඔයා මං වෙනුවෙන් ඕනවටත් වඩා දේවල් කරලා තියෙනවා. ඔයා හරි හොඳ කෙනෙක්. මම කතා කරලා මගෙ දුක් අඳෝනා කිව්වා නම් මම දන්නවා ඔයා ඒවා ගැන හිතනවා මිසක් වැඩක් කරන්නේ නෑ කියල. මට එහෙම වෙන්න ඕන වුණේ නෑ. මම ඔයාට අද කතාකරන්න තමා හිටියේ" මම කිව්වේ ඇත්තටම.
"හ්ම්ම්...මට ඉතිං දිවැස් තියෙනවයැ. බැරිම තැන තමයි මේ ආවේ" අනුක් කිව්වා.
මම ඔහුට පුංචි හිනාවක් පාලා කේතකී ඇවිත් ගිය එක ගැන රහසින් වගේ කිය කිය ඉද්දි පොඩි අයියා එතනට ආපු හන්දා අපේ කතාව එහෙමම නැවතුණා.
"ඇත්තද මේ අම්මා කියන්නේ?" පොඩි ඇයියා ඇහුවේ මා දිහා ඇස් කොනකින් බලලා.
"මොකක්ද?" මං ඇහුවා.
"භූපගේ affair  එක ගැන?"
අයියා ඇහුවම මම හිස වැනුවා බිම බලාගෙන.
"මොකක්ද හේතුව?"
"අපිව අපට ගැලපෙන්නේ නෑ අයියේ" මම කිව්වේ දුක හිතේ තද කරගෙන.
"ඒක දැන්ද තේරුණේ? අපි කට කැඩෙනකල් කියද්දි ඔයාට අපි නරක් වුණා. ඔය සම්බන්ධේ නිසා මොන මොන දේවල් නං වුණාද? ඕවා කලින්ම අපි කියපු වෙලේ තේරුම්ගත්තා නම් දේවල් මේ තරම්වත් දුර දිග යන්නේ නෑනෙ. දැන් තේරෙනවා නේද ඇත්ත?"
අයියා අහද්දි හිස වනනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
" දැන් ඒකට කමක් නෑ. හැමදේම වෙන්නේ හොඳකට. වෙච්ච දේවල් අමතක කරලා ජීවිතේ හදාගන්න බලන්න, තේරුණාද?" අයියා ඇහුවා.
මම ඒත් යන්තම් හිස වැනුවා විතරයි. අයියා ඊටපස්සේ එතනින් යන්න ගියේ මගේ ඇස් වල කඳුලු පිට පනින්න ඔන්න මෙන්න තියෙද්දි. අනුක් උන්නේ මා දිහා බලාගෙන.
"ඔයා මොනාද ගෙදරට කිව්වේ?"
"අපි දෙන්නම කැමැත්තෙන් ඒක නැවැත්තුවා කියලා"
අනුක් හීන් සුසුමක් හෙලුවා.
"භූපගේ වරදින් බාගයක්ම ඔයා පිටට ඔයා ගත්තා?"
"භූප වැරදියි කියලා තාමත් මට හිතන්න බෑ අනුක්.. අපි හන්දා ගෙවල් විරසක වෙන්න මට ඕන වුණේ නෑ. මේ හැමදේම වුණේ අපි දෙන්නගෙම තනි තීරණ හන්දා. අම්මලගේ හිතවත්කම් ඒ වෙනුවෙන් බිලි දෙන්න මට බෑ"
"ඒ විතරද?" අනුක් ඇහුවේ මුදුවට.
අනුක් අහනදේ මම දැනගෙන උන්නා. මට සුසුමක් හෙලුණේ ඉබේටම.
"ඔව්....මං තාම භූපට ගොඩක් ආදරෙයි"
මම එහෙම කියලා නිහඬ වුණේ හිතේ ආයෙම දුකක් පිරුණ නිසා.
"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා" ඊලඟට අනුක් කිව්වා.
"මොකක්ද?"
"හැබැයි මේක කිව්වට පස්සේ මා එක්ක තරහා වෙන්න ඔට්ටු නෑ"
"ඇයි ඒක එච්චරම නරක දෙයක්ද?"
"ඒක තීරණේ වෙන්නේ ඔයා ඒක දකින විදිහ අනුව"
"කියන්නකෝ බලන්න"
දිග හුස්මක් අරන් අනුක් කතාව කියන්න හරි බරි ගැහෙද්දි මම උන්නේ නො ඉවසිල්ලෙන්.
"ඇත්තම කිව්වොත් භූපගේ ඔය සිද්ධිය මුලින්ම දැනගත්තේ මම" අනුක් කිව්වම මම උඩ ගියා.
"මොකක් ?"
"ඔය ඉතිං ඔයා දැන්මම කලබල වෙලානෙ. ඉස්සෙල්ලා අහගෙන ඉන්නකෝ කියන එක. මට මේක තවත් හිතේ තියාගෙන ඉන්න බෑ. මෙහෙමයි, වෙලා ඒකේ බරපතලකම තේරුණාට පස්සේ  භූප මුලින් කතා කලේ මට. මං දන්නෑ ඒ ඇයි කියලා. භූපට ඕන වුණේ මොකක්ද ඊලඟට කරන්නේ කියන එක ගැන කා එක්ක හරි කතා කරන්න. ඊටපස්සේ සෑහෙන වෙලාවක් ඔයා ගැන, ඔය දෙන්නා ගැන, නයනා ගැන (නයනා කියද්දිත් මගේ හිත ගැස්සුනා) මට භූප සෑහෙන දේවල් කිව්වා."
මේ අලුතෙන්ම දැනගත්තු දෙයින් කම්පනයට පත් වෙමින් හිටපු මට හිතාගන්න බැරුව උන්නේ මේ මොනාද ඇත්තටම වෙන්නේ කියලා.
"ඉතිං ඔයා කිව්වා මට ඇත්ත විස්තරේ කියන්න කියලා?" මම ඇහුවා.
"ඔව්. ඒක තමයි කරන්න තිබ්බ සාධාරණම දේ. භූපගේ හිතේ වෙච්ච දේ ගැන එයාගේ තිබ්බේ ලොකු පසුතැවිල්ලක්. ඊටත් වඩා ඔයාව නැතිවුණොත් කොහොම ඒක දරාගන්නද  කියන ලොකු බයත් එයාගේ හිතේ තිබුණා"
අනුක්ගේ වචන ආයෙම ඇස් තෙත් කලා.
"ඒත් අන්තිමේදි එයාම තේරුම් ගත්තා, ඇත්තටම කරන්න ඕන මොකක්ද කියන එක. ඒක එයාටම තේරුම්ගන්න දීලා මම බලාගෙන හිටියා. මට එයාට කියන්න බෑ ඔයාව අතාරින්න කියලා. නයනව අතාරින්න කියන්නත් මට බෑ. ඒත් වැඩියෙන්ම අසාධාරණේ වෙලා තිබ්බේ නයනට කියන එක ඔයත් පිලිගන්නවා නේද දුලාරා?"
"මං දන්නෑ අනුක්. නයනා ගැන මට මතක් කරන්න ඕන නෑ"
"I am sorry දුලාරා. මේ දේවල් ඔයාට මට කියන්න පුලුවන්කමක් තිබ්බේ නෑ. මම කොහොමද ඔයාගෙයි, භූපගෙයි ප්‍රශ්ණ වලට මැදිහත් වෙන්නේ? මට එහෙම කරන්න තිබුණා මම ඔයාගේ යාලුවෙක් විතරක් වුණා නම්" අනුක් එහෙම කියලා කතාව නැවැත්තුවා.
ඒත් මම හිතමින් උන්නේ ඊට වෙනස් දෙයක් ගැන.
"එහෙනං ඒ හන්දයි එදා ඔයා මම එනකොටම එතනට ආවේ? ඔයා දැනගෙන හිටපු නිසා මොකද වෙන්න යන්නේ කියලා?" මම ඇහුවේ හෙමින්.
"ඔව්. මම ඔයාලා එතනට එන්න කලින්ම ඉඳන් ඒ.ටී. එක ලඟ තමයි හිටියේ. හැමදේම දැනගෙන මට ඔයාව දාලා යන්න පුලුවන්කමක් තිබ්බේ නෑ. මම බය වුණා ඔයා කොහොම මේක react කරයිද දන්නෑ කියලා. භූපත් හිටියේ ගොඩක් කලබලෙන්, නොසන්සුන් වෙලා. "
මට ආයෙම ලොකු සුසුමක් හෙලුණා.
"ඔයා හැමදේම දැනගෙන කරබාගෙන හිටියා?"
"දුලාරා I am so very sorry about that. මම භූපට පොරොන්දු වුණා ඔයාට කිසි දෙයක් කලින් කියන්නේ නෑ කියලා. අනික මට ඒ කිසි දෙයක් ඔයාට කියන්න අයිතියකුත් නෑනෙ. ඒ ඔය දෙන්නගේ ලෝකෙ. මට මැදිහත් වෙන්න බෑ. හිතන්න බැරි වෙලාවත් මම කලින්දා හවස කිව්වා නම් භූප නයනා එක්ක මොකක්දෝ පටලැවිල්ලක් වෙලා කියලා? ඔයා මාව විශ්වාස කරාවිද? ඔයා හිතයි මම බොරු කියලා ඔයාගේ හිත ගන්න හදනවා කියලා. ඒත් ඒ මොනවටත් වඩා අන්තිම මොහොත වෙනකල් ඔය හිත නොරිදී තියෙන්නයි මට ඕන වුණේ. ඒකයි ඇත්ත." ඔහු ඇහුවම මම ඔහුගේ මූණ දිහා බැලුවා.
"හැමදේම දැනගෙන ඔයාට වඩා මම විඳෙව්වා දුලාරා. මේ සිද්ධියෙන් ඔයා කොච්චර වේදනවට පත් වෙනවද කියලා මම දැනගෙන හිටියා. ඒ හැමදේම දැනගෙන සාමාන්‍ය විදියට ඉන්න එක කොච්චර අමාරුවුණාද ඔයා දන්නෑ. ඔයා ගැන ලොකු දුකක්, බයක් මගේ හිතේ තිබ්බා"
මම සුසුමක් හෙලුවා. අනුක් ගැන ම ගේ හිතේ අපැහැදීමක් තිබ්බේ නෑ. එක අතකට ඔහු මේ දේවල් නොදැන උන්නා නම් එදා මම මොනා කරගන්න ඉඩ තිබ්බද කියලා මමවත් දන්නෑ.
"මේක මට කිව්වට තෑන්ක්ස් අනුක්" මම අන්තිමට කිව්වා.
"මා එක්ක තරහද?"
"අනේ නෑ. ඔයා එදා නොහිටියා නම් මම දන්නෑ මම මොනා කරාවිද කියලාවත්"
"මට බය හිතුණේ ඒ ගැන තමා. මම ඈත ඉඳන් ඔය දෙන්න දිහාම බලාගෙනම හිටියෙත් ඒකයි ඒ මුලු වෙලේම"
අනුක් කිව්වම මට ඔහු ගැන දැනුනේ සෙනෙහසක්.
ඒ සිතිවිල්ලත් එක්කම මම සාලෙන් නැගිටලා එලියට බැස්සේ හිත ටිකක් සැහැල්ලු කරගන්න. ඇහුව දේවල් වලින් හිත ආයෙම බර වෙලයි තිබුණේ.
"මං දන්නෑ ඔයා ඇයි මං වෙනුවෙන් මේ තරම් දේවල් කරන්නේ කියලා අනුක්. ඒත් මේ හැම දේකටම මම ඔයාට ගොඩක් ණයගැතියි" මම කිව්වේ මගේ පස්සෙන්ම ආපු අනුක්ට.
"don’t say that" අනුක් කිව්වේ මගේ ඇස් වලට එබිලා.
මම ඒ දෑස් මගෑරලා බිම බලාගත්තා.
" භූප කලේ කවදාවත් සමාවදෙන්න බැරි විදියේ දෙයක්. ඒත්...මම දන්නෑ මට එයා ගැන අහිතක් හිතෙන්නේ නෑ අනුක්. ඒ හන්දම වෙන්න ඇති මට කියාගන්න බැරි තරම් ගොඩක් දුකයි. හිත හදාගන්න හරි අමාරුයි මෙහේදි. මේ අපි දෙන්න පොඩි කාලේ ඉඳන්ම හැදුණ තැන. අපේ ආදරේ මතක සටහන් ගොඩාක් මේ ගමෙත් තියෙනවා. මම දන්නෑ අනුක් කොහෙන් පටන් ගන්නවත්ද කියලා. මකලා දන්නා පැන්සලකින් ඇඳපු ඉරි නෙවෙයිනේ. ඒත් එහෙමයි කියලා මම කොහේ යන්නද? මට ඉන්න වෙන්නෙත් මෙහේමනේ. "
"හ්ම්ම්" අනුක් සුසුමක් හෙලුවා.
"මට වෙලාවකට හිතෙනවා මේක මහා දිග..නරක හීනයක් කියලා. ඇහැරෙන්න පුලුවන් වෙයි, එතකොට මේ කිසි දෙයක් සිද්ධ වෙලා නැති වෙයි කියලා මට හිතෙනවා" මම කිව්වා.
"ම්ම්... මට ඔයාගේ හිත තේරෙනවා දුලාරා "
"මම පහුගිය ආත්මෙක ලොකු පවක් කරලා වෙන්න ඇති නේද? ආදරෙන් හිටපු දෙන්නෙක් වෙන් කරලා වගේ. නැත්තම් මේ මට පල දුන්නේ චේතිය අයියට දුන්න ගින්දරද කියලත් මට වෙලාවකට හිතෙනවා අනුක්"
"පිස්සු දේවල් හිතන්න එපා. වෙන්න තියෙන දේ වුණා. අයියා කියනවා වගේ ඒ හොඳකට වෙන්න බැරිද?" අනුක් ඇහුවා.
"තමන් ලෝකේ ගොඩාක්ම ආදරේ කරන දේ නැති වෙන්නේ හොඳකට වෙන්නේ කොහොමද අනුක්?" මම ඇහුවේ හැඬුම්බරව.
අනුක් ඒකට උත්තරයක් දුන්නේ නෑ.
"භූප මේ දවස්වල ඉන්නේ මෙහේ. මට හිතෙනවා වෙලාවකට දුවලා එයා ගාවට යන්න. ගිහිං කියන්න මාව දාලා යන්න එපා කියලා. එයාට යන්න නොදී තදින් අල්ලලා තියාගන්න..." ඇස් බොඳ වුණා ආයෙම කඳුලු වලින්.
අනුක් උන්නේ මා දිහා බලාගෙන කම්පා වෙලා වගේ.
"භූප මගේ අනුක්....එයා නයනගේ නෙවෙයි. දන්න කාලේ ඉඳලා භූප ආදරේ කලේ මට. එයා මොන වරද කලත් මගේ හිතේ තිබ්බ ආදරේ අඩුවෙලා නෑ. මම එදාටත් වඩා අද එයාට ආදරෙයි. කොහොමද දෙයියනේ මේ දේවල්  මෙහෙම වුණේ?"
අනුක් ලඟදි මෙලෙක් වුණ හිතට තවත් දුක දරාගෙන ඉන්න බැරි වුණා. මම අඬද්දි අනුක් මා ලඟට වෙලා උන්නා වචනයක්වත් නොකියා.
"භූප ඔයාට ආදරේ නෑ නෙවෙයි දුලාරා. ඔයා තරමටම, නැත්තං ඊටත් වඩා විඳවන්නේ භූප. ඒත් දැන් කරන්න දෙයක් නෑ. අතන තියෙන්නෙත් අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතයක්. ඔයාට අම්මලා ඉන්නවා. අයියලා ඉන්නවා. කේතකී ඉන්නවා. මම ඉන්නවා…ඒත් නයනට ඉන්නේ එයාගේ අම්මලයි, භූපයි විතරයි. අනික එයාට ගොඩක් දේවල් භූප නිසා නැති වුණා. අපට ඒවා අමතක කරන්න පුලුවන්ද?" අනුක් ඇහුවා.
"මම දන්නෑ අනුක්...මම දන්නෑ..."
අනුක් ඊටපස්සේ මුකුත් කිව්වේ නෑ මගේ හැඬුම් නතර වෙනකල්ම. අනුක් කිව්ව දේවල් මට නොතේරුණා නෙවෙයි. මම දැනං හිටියා අන්තිමේදි ඒ තර්කෙන් තමා මට හිත හදාගන්න වෙන්නෙ කියලා.  ආයෙමත් අනුක් එක්ක මට ඒ ගැන කතා කරන වෙලාවක් හම්බුණේ නෑ ඊටපස්සේ.
හවස ඉර බැහැගෙන ගිහින් එදා දවසත් ඉවර වෙද්දි මට හිතුණා ආයෙම ගෙවිලා ගියේ සාමාන්‍ය දවසක් නේද කියලා. වෙනදට වඩා හිතේ පොඩි නිදහසක් දැනුනේ අනුක් එක්ක කතා කරපු නිසා වෙන්න ඇති කියලා මට හිතුණා. ඒත් අපි කාලා ඉවර වෙලා රෑ news බලමින් ඉද්දි ගෙදරට ආවේ නොහිතපු කට්ටියක්.
"කවුරුහරි එනවා වගේ"එහෙම කිව්වේ දොර ලඟ උන්නු අම්මා.
අනුක්ට කෙසෙල් ගෙඩි පිඟාන දීලා මමත් ඒ පැත්ත බැලුවා.
"කවුද?" අයියත් ඇහුවේ ඒ පැත්තට යන ගමන්.

ඒත් අම්මා හිටිගමන් ගොලු වෙලා, අයියත් ඉන්න තැනම නතර වුණාම මම දැක්කා සාලේ හිටගෙන උන්නේ කවුද කියලා. හිත සීතල වෙලා ගිහින් කකුල් පණ නැති වෙනවා වගේ දැනෙද්දි මම මේසේ හයියෙන්ම අල්ලගෙන මේසෙට හේත්තු වුණා.

5 comments:

  1. හැමදාම වගේ හරිම ලස්සනයි.................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ගොඩක්.

      Delete

  2. හිතාගන්න බැරි ඉක්මනට තව කොටසක් දාලා. ස්තූතියි ගොඩාරියක්.
    දැන් නම් කතාව ඉවර වෙන්න ලගයි නේද?
    අලුත් කතාවක් ගැන ඹයා දැන් හිකනවා ඇති නේද දැන්

    ReplyDelete
    Replies
    1. හිතමින් තමා ඉන්නේ. :) ඒත් අලුත් ජොබ් එකත් එක්ක ලියාගන්න වෙලා තියේවිද දන්නා ඉක් ඉක්මණට. ඒත් ඉතිං කියවන්න බලාගෙන පොත් ගුලේ අය ඉන්නවා නම් කොහොමහරි ලියනවා.

      Delete