Saturday, January 17, 2015

අනූ අටවන කොටස

"ආ...භූප පුබුදු මම බැලුවා කවුද කියලා. එන්න ගෙට" අයියා කතා කලේ ආරූඨකරගත්තු හඬකින් වගේ.
භූප ගෙට එද්දිම මාව දැක්කා. ඔහු මගෙන් දෑස් ඉවතට ගත්තේ හෙමිහිට. මගේ හිත කඩාවැටුනා වගෙයි මට එවෙලේ තේරුණේ.
"එන්න වාඩිවෙන්න පුතා. එන්න" තාත්තත් කතා කලා වෙනසක් නැතුවම.
අනුක් දැන් උන්නේ මා ලඟින් හිටගෙන පුදුමෙන් වගේ බලාගෙන.
"වාඩි වෙන්න ඕන නෑ මාමා" භූප කිව්වා.
"ඔන්න ඔහෙන් වාඩි වෙන්න ළමයිනේ. හිටගෙන කතාකරතහැකියැ" තාත්තා එහෙම කිව්වම අන්තිමට භූපයි, පුබුදු අයියයි වාඩි වුණා.
"ඉතිං මොකෝ මේ රෑ ජාමේ හදිසියේ මේ පැත්තේ?" තාත්තා ඇහුවා.
"මම ආවේ මාමලට පොඩ්ඩක් කතා කරලා යන්න" මට පිටුපාලා  උන්නු භූප එහෙම කියනවා මට ඇහුණා.
"ඒ කිව්වේ මොකෝ පුතා කොහේ හරි යන්න ?" තාත්තා ඇහුවම භූප උත්තරයක් දෙන්න කල් ගත්තා.
"නෑ මාමේ එහෙමම නෙවෙයි. වෙච්ච දේවල් දුලාරා මාමලට කියන්න ඇති නේ.”
"හ්ම්..ඔව්"
මම මේ ආවේ මොනා වුණත් ඇවිත් කතා කරන එක මගේ යුතුකම නිසා "
ඊටපස්සේ ඇතිවුණේ පොඩි නිහඬභාවයක්. මම බලාගෙන උන්නේ ගැහි ගැහී.
"ඒ හැමදෙයක්ම මගේ වැරදි නිසා වුණ දේවල් මිසක දුලාරගේ වැරදි නිසා වුණ දේවල් නෙවෙයි. එයා හැමවෙලේකම හැදුවෙ මා එක්ක හොඳින් ඉන්න, ඒත් ඒ හැම දෙයක්ම නැති කරගත්තේ මම මයි. හැමදේම මුල ඉඳන්ම වරද්දගත්තේ මම. මෙහෙම වුණේ මගේ පූරුවේ කරුමයක් නිසා වෙන්න ඇති" භූපගේ හැම වචනයක්ම මගේ හිත සසල කලා.
"පූරුවේ කරුමෙ ඔය ළමයගෙ විතරක් නෙවෙයි, අපේ එක්කෙනාගෙත් තමයි. එහෙම නැත්තං මේවා මෙහෙම වෙයිද? මේ සම්බන්ධේ නිසා කොච්චර නං දේවල් වලට අපට මූණ දෙන්න වුණාද?" එහෙම කිව්වේ අම්මා.
"අම්මේ...පොඩ්ඩක් ඉන්නකෝ" අයියා එවෙලේ අම්මව නවත්තගත්තා.
" නැන්දා කියන්නේ ඇත්ත, මම පිලිගන්නවා. නැන්දලාට මා එක්ක තරහා වෙන්න අයිතියක් තියෙනවා. ඒ හන්දා මට මොනා කිව්වත් මම තරහා නෑ නැන්දේ" භූප එහෙම කියද්දි මම තවත් හැඬුම්බර වුණා.
අම්මා අමනාපෙන් අහක බලාගත්තත්, අයියයි, තත්තයි තාමත් උන්නේ භූප කියන දේවල් අහගෙන ඔහු දිහා බලාගෙන.
"මම ගමේ ඉන්නේ තව ටික දවසයි. ඊට පස්සේ  මම මේ ගමෙන් යන්නම යනවා. සමහරවිට ආයෙ එන්නත් පුලුවන්, නො එන්නත් පුලුවන්. ඒ නිසයි මම කතා කරලා යන්න ආවේ. මේ ගෙදර එක්ක මගේ තියෙන මතක දුලාරගෙයි, මගෙයි අතීතෙට වඩා දිගයි. මේ ගෙදරින් මම වේල් කීයක් නම් කාලා ඇත්ද? දවස් කීයක් නිදියලා ඇත්ද පොඩි දවස්වල. ඒවා මට අමතක නෑ. ඒ හැමදේටමත් වඩා මේ ගෙදරින් මට ලැබුණ ආදරේ, බලාපොරොත්තු, යාලුකම්...මේවා මට අමතක වෙන්නෑ ජීවිතේ තියෙන තාක්කල්ම. ආයෙම මේ ගෙදරට එන්න මට අවසරයක්වත්, අයිතියක්වත් නැති බව දැන දැනත් මම ආවේ මට කලගුණ නොදන්න එකෙක් වෙන්න බැරි හන්දා"
භූපගේ වචන හමුවේ දැනුන ලොකු දුක හන්දා මම හෙමින් ඉකි ගහද්දි අනුක් මගේ අතකින් හෙමිහිට අල්ලගත්තා. අම්මයි, අයියයි උන්නේ භූපට ඇහුම්කන් දීගෙන. භූප ලොකු සුසුමක් හෙලලා ආයෙම කතා කරන්න පටන් ගත්තා.
" ඉස්සර එක කාලෙක මම හිතුවා කවදක හරි මේ ගෙදර අපි හැමෝටම එකට සතුටින් ඉන්න පුලුවන් දවසක් තියේවි කියලා. ඒත් ඒකට මට පිනක් නෑ මාමේ. මට පිනක් නෑ. ඒක දුලාරගේ වරද නෙවෙයි. ඒක මගේම වරද විතරමයි. මම කියලා යන්න ආවේ වෙච්ච හැම හිත් රිදීමකටම, දුකකටම පුලුවන් නම් මට සමාව දෙන්න කියලා. අද මාමලා මට ගැහුවත් මම තරහා නෑ" භූප කියද්දි තාත්තා උන්නේ හැඟීම් පාලනය කරගෙන වගේ.
අම්මා අන්ද මන්ද වෙලා වගේ ඉද්දි, අයියත් උන්නේ කල්පනාබර වෙලා.
" පුතා එක්ක අපි තරහා වෙන්නේ මොකටද?  මිනිස්සු එක් වෙනවා, වෙන් වෙනවා. ඒක ඉතිං ලෝකස්වභාවෙ නෙව.  නොගැලපෙන දෙයක් කරගෙන පස්සේ දුක් වෙනවට වඩා, දැන්මම දෙන්නම එකඟ වෙලා වෙන් වෙන්න තීරනේ කරපු එක හොඳයි. ඒක ඉතිං අපට පොඩි හිත් තැවුලක් වුණාට පුතා ඒ ගැන අපෙන් සමාව ගන්න ඕනැන්නේ නෑ. ජීවිතේ හැටි ඔහොම තමා. ඒවා ඒ හැටි හිතට ගන්න ඕන කරන්නේ නෑ. පුතා යන තැනක ගිහින් හොඳින් ජීවත් වෙන්න. අපේ දරුවත් ඒ වගේ හොඳ තැනක ජීවත් වේවි.  මේ සම්බන්ධේ නතර වුණා කියලා ලෝකේ නවතින්නේ නෑ. වෙන දේවල් එහෙමම සිද්ධ වෙනවා. එන්න ඒ ඇත්ත ඔය දෙන්නම තේරුම් ගන්න ඕන.  ඒ මොනා වුණත් අපේ තුන් හිතකවත් පුතා ගැන නොහොඳ නෝකාඩුවක් ඇත්තේ නෑ. ඔය කොයිවත් වෙන්නේ හොඳට කියනවනේ"
තාත්තා එහෙම කියද්දි භූප ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඊලඟට ඔහු එහෙමම හැරිලා මා දිහා බැලුවා.
"මට දුලාරා එක්ක තනියෙම වචනයක් කතා කරනන් පුලුවන්ද?" ඔහු ඊලඟට ඇහුවම මාව තවත් ගැහෙන්න ගත්තා.
එහෙම කිව්වම තාත්තයි, අම්මයි දෙන්නම බැලුවේ මගේ මූණ දිහා. මම උන්නේ මොනවත්ම කියාගන්න බැරිව. ඊලඟට මුකුත් නොකියම තාත්තා නැගිටලා ඉස්තෝප්පුවට යද්දි අම්මයි, අයියයිත් ඒ පැත්තට ගියා. අනුක් මගේ අත හෙමින් අතෑරලා යන්න ගියේ අකමැත්තෙන් වගේ. පුබුදු අයියත් ඒ පස්සෙන්ම යද්දි භූප හෙමින් මම ඉන්න තැනට ලං වුණා. මම ඒ මූණ දිහා බලාගෙන උන්නේ හිත පිපිරෙන්න තරම් දුකක් හිතේ පොදි ගැහෙද්දි. ඒ මූණ, ඒ දිගටි ඇස්, දිග කොණ්ඩේ, රැවුල, කෙට්ටු අත් මේ සේරම ඉස්සර වගේමයි ඔහුගේ ඇතුලාන්තේ ඇරෙන්න. මම නාඬා උන්නේ අමාරුවෙන්.
"මම හිතුවා ආයෙම දකින්නවත් මේ ඇස් දෙක පින් කරලා නැතුව ඇති කියලා" භූප කතාව පටන්ගත්තේ එහෙම.
"ඇයි ආවේ? තවත් මොනාද කියන්න තියෙන්නේ?" මම ඇහුවේ අමාරුවෙන්.
"ආවේ...එකපාරක් වත් නොබලා ගමෙන් පිටමං වෙලා යනන් බැරි හන්දා" ඔහු කිව්වම ඇස් දෙකින් කඳුලු බිංදු දෙකක් වැටුණා.
"අඬන්න එපා මගේ මැණික...මේ හිතට ඒක දරාගන්න බෑ"
"එපා...ආයෙමත් මට එහෙම කතා කරන්න එපා" මම කිව්වා.
"මම මැරෙනකල්ම මම ඔයාට කතා කරන්නේ එහෙම තමයි" භූප කිව්වේ මුරණ්ඩු විදියට. " ඔයා මට සමාව දෙන්න එපා. කවදාවත් සමාවක් දෙන්න එපා. මම ඔයාගෙන් සමාව ලබන්න සුදුසු නෑ. ඔයා මං වෙනුවෙන් ඕනවටත් වඩා දේවල් කරලා තියෙනවා. හැමදේම වුණාට පස්සේ පවා... ඒ නිසා මට සමාව දෙන්න එපා. මට ඔයා වෛර කලත් ඔයාට පව් නෑ"
භූප කිව්වේ ගොත ගහමින්. හැඟීම් පාලනය කරගන්න උත්සාහ කරමින් වගේ.
"කොහාටද යන්නේ?" මට අහන්න ඕනම වුණේ දේ ඒක. භූප මා දිහා බැලුවෙ පොඩ්ඩක් පුදුම වෙලා වගේ.
" යන්න ඕන කොහාටද කියලා මම දන්නෑ. මට නවතින්න ඕන වුණ තැන මම විහින් නැතිකරගත්තා...මම මේ ගමෙන් යනවා. ඒ ඔයා හන්දා. ඔයා මේ ගමේ හොඳින් ඉන්න ඕන හන්දා. මම කොහේ නවතියිද, නවතියිද නැද්ද, මේ මොනවත් හිතලා නෑ. මම ගැන ඔයා හිතන්න එපා"
මම ඔහු දිහා බලාගෙන ඉද්දි කඳුලු වැල් ගොඩක් ඇස් අගින් බේරුණා.
"ඔයා හොඳින් ජීවත් වෙන්න මගේ මැණික. මම කොහේක හරි ඉඳන්, ඈතින් ඉඳන් බලාගෙන ඉන්නම්"
ඔහු එහෙම කිව්වම හිත සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.
"වෙච්ච කිසිම දේකට මම ඔයා එක්ක තරහා නෑ භූප. ඒත් මම දන්නව දේවල් ආයෙම හදන්න බැරි තරම් අවුල් වෙලා ඉවරයි කියලා" මම කිව්වේ කඳුලු පිහ පිහ. භූප මා දිහා බලාගෙන උන්නෙත් බොඳ වුණ ඇස් වලින්.
"මට සිය දහස් වාරයක් සමාවෙන්න දුලාරා මේ වෙච්ච දේවල් වලට..."
"මම ඔයාට සමාව දීලා ඉවරයි. මම  තරහා නෑ. ඔයත් එක්ක තරහා වෙන්න මට බෑ. ඒත් මං දන්නවා ඔයාට නවතින්න බෑ කියලා"
"ඔයාට ඕන මම නවතින්නද?" භූප ඇහුවේ තව ටිකක් මට සමීප වෙලා.
හිත කෑ ගැහුවත් මම ඒ දෑස් දිහා බලාගෙන උන්නේ උත්තරයක් නොදී.
"ඒකට උත්තරේ ඔයා දන්නවා. ඒත්...ඒක විසඳුමක් නෙවෙයි. ඒකත් ඔයා දන්නවා"
"දුලාරා..." භූපට කතාකරගන්න බැරිව ගොත ගැහුණා.
"මම ඔයාට ආදරෙයි භූප...එදා වගේම. සමහරවිට එදාටත් වඩා. ඒත් ඔයා දැන් යන්න ඕන. ඒ ගමන නවත්තන්න කියන්න මට බෑ. තව ජීවිතේකට දුකක් උරුම වෙන්න දෙන්න බෑ"
මා දිහා බලාගෙන භූප එහෙමම ඇවිත් මාව වැලඳගත්තා හයියෙන්ම. මම හොඳටම හඬාවැටෙද්දිම.
"ජාති ජාතිත් මේ වෙච්ච දේවල් වලට ඔයාට වන්දි ගෙවන්න මං එනවා…උපදින හැම ආත්මෙකම ඔයාව හොයාගෙන මං එනවා... මං එනවා " ඔහු එහෙම කියලා මගේ නලලතට නලල හේත්තු කරලා මගේ දෑස් වලට එබුණා.
"මේ ආත්මෙත්, මගේ හදවත ගැහෙන තාක්කල් මම ආදරේ ඔයාට විතරයි. ඔයාට විතරමයි මගේ රත්තරං"
එහෙම කියලා මාව හෙමින් අතෑරපු ඔහු මගේ නලල ඉම්බා හෙමිහිට. ඒ වතෙන් එන සුවඳ මම ආශ්වාස කලේ ආයෙම කවදාවත් ඒ සුවඳ විඳින්න මට අයිතියක් නොලැබෙන වග දන්න හන්දා. ඊලඟට ඔහු ඈත් වෙන්න යද්දි මම ඔහුගේ කමිසෙ දෑතින්ම අල්ලගත්තා මොහොතකට. භූප මගේ දෑත අල්ලගත්තා. මම ඔහුගේ පපුතුරේ මූණ ඔබාගෙන හයියෙන්ම ඇඬුවා. භූප උන්නේ මාව මුදුවට තුරුලු කරගෙන. හිත කෑ ගැහුවා ඔහුට යන්න දෙන්න බෑ කියලා.
ඒත් මම කොහොමද තවත් ඔහුව තියාගන්නේ? ඒ සිතිවිල්ලත් එක්ක නයනා ගැන මතක් වුණාම මම උත්සාහ කලා ආයෙම යථාර්ථයට එන්න. මොනා කලත් මට භූපව තියාගන්න බෑ. මම හිස උස්සලා ඒ මූණ දිහා බැලුවේ ඒ සිතිවිල්ලත් එක්ක. ඒ දිගටි ඇස් තිබ්බේ මගේ දෑස් මත නැවතිලා.
"නයනා එක්ක ඔයා හොඳින් ඉන්න භූප. මට ඕන ඔයා හොඳින්, සතුටින් ඉන්න විතරයි..."
එහෙම කියලා මම ඔහුගේ කමිසේ අතෑරියා. භූප මා දිහා බලාගෙන උන්නේ කියාගන්න බැරි දුකකින් වෙලිලා වගේ.
"දැන් ඔයා යන්න... ඔයා මගේ නෙවෙයි කියලා මට හිතන්න බෑ තාමත්. ඒ නිසා ආයෙ කවදාවත් මම ඉස්සරහට එන්න එපා. ඒක මට දරාගන්න පුලුවන් වෙන එකක් නෑ. ඒ වුණත්, ඔයා කොහේ හිටියත් තාමත්, අදත්, හෙටත් මම ඔයාට ගොඩාක් ආදරෙයි..."
එවෙලේ භූපගේ දෑස් වල තිබ්බ හැඟීම මගේ හිත පතුලෙම ඇඳුනා, කවදාවත් අමතක නොවෙන විදිහටම. මම එහෙමම හැරිලා කාමරේට එන්න ආවත් අඩි දෙකක්වත් එන්න කලියෙන් මට ඇහුණේ ගත හිරිවට්ටපු සද්දයක්. මම විදුලි වේගෙන් ආයෙම හැරිලා බලද්දි භූප උන්නේ බිම වැටිලා.
"අනේ තාත්තා...!!!"
මගේ හඬ මුලු ගෙදරම දෝංකාර දෙන්න ඇති. ඊලඟට එලියේ උන්නු අය සේරම එතනට දුවලා එද්දි මම බලාගෙන උන්නේ හීනෙන් වගේ. භූපව කවුරුහරි දෙන්නෙක් උස්සගත්තා මට මතකයි. එතකොටත් ඒ දෑස් තිබ්බේ යන්තමට ඇරිලා. මම ඒ ඇස් දෙක දිහා බලාගෙන උන්නේ භීතියෙන් ගල් ගැහිලා. ඒ...මම ඒ ඇස්දෙක දැක්ක අන්තිම දවස.
                                         *****
"දුලාරා...දැන්වත් ඔතනින් නැගිටින්න ප්ලීස්"
අනුක් ඇවිත් මට කිව්වේ සියවෙනි වතාවට වෙන්න ඇති. ඒත් බුදු ගෙයි පාමුල ඉඳගෙන උන්නු මට එතනින් නැගිටින්න හයියක් තිබ්බේ නෑ. භූපට කරදරයක් වෙන්න එපා කියලා හිතිං හිත හිත එතනම ඉන්න විතරයි මට ඕන වුණේ. භූපව බලන්න ඉස්පිරිතාලේ ගිය අයියයි තාත්තයි තාමත් ගෙදර ඇවිත් උන්නේ නෑ.වෙච්ච දේවල් දරාගන්න බැරිකමට ප්‍රෙෂර් වැඩිවෙලා අම්මත් උන්නේ ඇඳේ. හොඳ සිහියෙන් උන්නු  එකම එක්කෙනා අනුක් විතරයි.
"අයියා කෝල් කලාද?" මම අනුක්ගෙන් ඇහුවා.
"තාම නෑ. කෝල් ගන්නත් බෑ ෆෝන් ඕෆ්"
අනුක් කියද්දි ආයෙම හිත මිරිකෙනවා වගේ මට දැනුනා. ඒ එක්කම ඇස් වලට කඳුලු උනාගෙන ආවේ නිරායාසයෙන්.
"අම්මා මොකෝ?"
"අම්මට නින්ද ගිහින්ද කොහෙද"  අනුක් කිව්වේ මම ලඟින්ම බිමින් වාඩිවෙන ගමන්.
"මට හරි බයයි අනුක්..." භූපව ගෙනිච්ච වෙලේ ඉඳන් මම වැඩියෙන්ම කියපු වචන පෙල ඒක වෙන්න ඇති.
අනුක් ලොකු සුසුමක් හෙලුවේ මුකුත් නොකියම.
"භූපට මොනා හරි වුණොත්..." මම කියන්න හදද්දිම අනුක් මගෙ අතක් උඩින් මුදුවට අත තියලා හිස වැනුවා.
"භූපට මොනවත් වෙන්නේ නෑ" ඔහු කිව්වේ එහෙම.
මම ආයෙම බිත්තියට හිස හේත්තු කර ගත්තා. හිත තිබ්බේ පුදුමාකාර විදියට බයකිනුයි, දුකකිනුයි පිරිලා.
"දැන් නැගිටලා ගිහින් ටිකක් නිදාගන්න බලන්න දුලාරා. තාත්තලා ආවම මම කතා කරන්නම්" අනුක් කිව්වේ දයාබරව.
"මට මෙතන ඉන්න ඕන" මම කිව්වේ හෙමින්.
මා දිහා ටික වෙලාවක් බලාගෙන උන්නු අනුක් ආයෙම සුසුමක් හෙලුවා. ඊලඟට ඔහුත් ඇවිත් මගේ පැත්තකින්ම බිත්තියට පිටදීල ඉඳගත්තා.මම ආයෙම බුදු ගෙයි තිබුණ බුදුහාමුදුරුවන්ගේ පිළිමය දිහා බලාගෙන හිතින් මන්තරයක් වගේ මැතිරුවේ භූපට කරදරයක් වෙන්න එපා කියලා. ඒ විදියට කාලේ කොච්චර ගෙවුණද කියලා මට නිනව්වක් තිබ්බේ නෑ.

අන්තිමේදි මට කොයි වෙලේක හරි නින්ද ගිහින් වෙන්න ඇති. උදේ ඇහැරෙද්දි මම උන්නේ කාමරේ මගේ ඇඳ උඩ. නැගිටිද්දිම මම කල්පනා කලේ මගේ හිතට ලොකු හිස් බවක් දැනෙන්නේ ඇයි කියලා. කලින්දා වුණේ මොකක්ද කියල මට මතක් වුණේ ඊට ටික වෙලාවකට පස්සේ. වටපිට බලපු මම එහෙමම ඇඳෙන් පැනලා දිව්වා කාමරෙන් එලියට. මම යද්දි අම්මලා, අයියා, සෙනුරි අක්කා, අනුක්, මේ සේරමල්ලා උන්නේ සාලේ පහත් හඬින් මොනවදෝ කතා කර කර. මගේ හිත එකපාරටම ලොකු බයකින් පිරුණේ හැමෝම මම එතනට යද්දි මා දිහා බලපු විදියට. මම හැමෝගෙම මූණවල් දිහා බැලුවා.
"භූපට මොකද වෙලා තියෙනේ?" මම ඇහුවේ හයියෙන්ම.
තාත්තා මා දිහා බැලුවේ දුකකින් වගේ. අම්මා බිම බලාගත්තා.
"භූප දැන් ඉන්නේ ICU එකේ" අන්තිමට එහෙම කිව්වේ පොඩි අයියා. තාත්තා අයියා දිහා බැලුවේ මදක් ගැස්සිලා වගේ.
"ICU.?" ඒක අහලා ආයෙම මගේ කකුල් පණ නැතිවුණා වගෙයි මට දැනුනේ. මම ලඟ තිබ්බ පුටුවක අල්ලගෙන ඒකෙන් වාඩි වුණා.
"එච්චර ගොඩක් ආමාරුද?" මම ඇහුවේ හෙමින්.
ඒත් උත්තරයක් දෙන්න හැමෝම කල් ගත්තා. මම ආයෙම අයියා දිහා බැලුවා. අයියා මගේ දෑස් මගෑරියා.
"ටිකක්..අමාරුයි වගේ. එයාට...ඊයේ ඇවිත් තියෙන්නේ ලොකු heart attack එකක්"
අයියා කිව්වම මට ආයෙම ඇඬෙන්න ආවා. ඒත් මම හිත පාලනය කරගෙන ඉන්න උත්සාහ කලා.
"මට භූපව බලන්න ඕන" මම කිව්වේ අයියා දිහා බලලා. අයියා මා දිහා බැලුවේ අඬන්න වගේ.
"දෝණි...අපිට එයාට සනීප වුණාම බලන්න යන්න පුලුවන්" එහෙම කිව්වේ අම්මා.
මම අම්මා දිහා බලලා ආයෙම අයියා දිහා බැලුවා.
"එයාට සනීප වේවිද අයියා?"
අයියා බිම බලාගත්තා මුකුත් නොකියම. මගේ ඇස් වල එකතු වුණ කඳුලු කැට දෙකක් කම්මුල් දිගේ ගලාගෙන ගියා.
"දොස්තරලා කියන්නේ heart attack එක එක්කම, භූපට stroke එකකුත් ඇවිල්ලා කියලයි"
"stroke එකක්?"
"ඔව්"
මම වෙන්නේ මොනාද කියලා හිතාගන්න උත්සාහ කරමින් ඉද්දි මම දැක්කා තාත්තා අයියට හිස වනලා මොනාද කියනවත්. මම එතනින් නැගිටලා ආපහු හෙමින් කාමරේට එන්න ආවේ කිසීම දෙයක් හිතාගන්න බැරිව, හිත අවුල් ජාලාවක් වෙලා තියෙද්දි. මම ගිහින් නැවතුණේ මගේ මේසේ ලඟ. ඒකේ පැත්තක අඩුක් කරලා තිබ්බේ මගේ නෝට් පොත් දෙක තුනකුයි, එහෙන් මෙහෙන් ලියපු ඩයරි වගයකුයි. භූප කාලෙකට කලින් මට දීපු ඩයරියකුත් ඒ අතරේ තිබුණා. මම ඒක අතට ගත්තේ අඩසිහියෙන් වගේ. මම ම දැනං හිටියේ නෑ මම මේ මොනාද කරන්නේ කියලාවත්. ඩයරිය අතට අරන් මම ඒක පෙරලුවේ ඇස් කඳුලින් බොඳ වෙද්දි. මට මතක තිබ්බ ඒක මට භූප දුන්නේ ජනවාරි මාසේ මැද දවසක වග. මම පිටුව පිටුව හෙමින් පෙරලද්දි ජනවාරි මාසේ පස්වෙනිදා පිටුවේ තිබ්බ ඔහුගේ අපිලිවෙල අකුරු ලඟ ඇස් නැවතුණේ ඉබේටම. ඒ එක්කම හිතත් නැවතුණා වගෙයි මට දැනුනේ.
'රත්තරං නෙත් දෙකින්- සලා සිහිල් පවන් - ජීවිතේ ලසෝතැවුල් නිවන්න රත්තරං...'
හිත ඇඬුවා හොඳටම.ඒත් ඒ ඇස් වලින් අඬලා, කඳුලු වලින් දිය කරන්න පුලුවන් වුණ දුකක් නෙවෙයි.ඒ අතරේ මට ඇහුණා කාමරේට කවුරුහරි එනවා. මම හිස හරවලා බලද්දි ඒ ඇවිත් උන්නේ අම්මා.
"දෝණි මොකද කරන්නේ?" අම්මා ඇහුවේ මගේ ලඟට ඇවිත්.
 ඒ හඬ තිබ්බෙත් දුර්වල වෙලා කියලා මට දැනුනා. මම අම්මා දිහා බැලුවේ තවමත් කැලඹෙන සිතිවිලි එක්ක.
"භූප මැරේවිද අම්මා?" මම ඇහුවම ඒ මූණේ ඇඳුණේ ලොකු දුකක්. අම්මා උත්තරයක් දුන්නේ කල් අරගෙන. ඒ හඬ තිබ්බේ වෙව්ලමින් කියලා මට දැනුනා.
"එහෙම හිතනන්වත් එපා...තුණුරුවන්ගේ සරණින් ඒ ළමයට කරදරයක් වෙන එකක් නෑ පුතේ"
මම ආයෙම ඩයරිය දිහා බැලුවා.භූප වෙනුවෙන් මට කරන්න තියෙන එකම දේ ප්‍රර්ථනා කරන එක විතරයි කියලා අම්මලා, අයියලා නොකිව්වත් මම දැනගෙන උන්නා.  
"මට පන්සලට යන්න ඕන අම්මේ"
පන්සලේ තිබ්බේ හැමදාමත් වගේම, පුදුමාකාර නිවුණ ශාන්තිදායක බවක්. පොඩි අයියා හාමුදුරුවන්ට කතා කරන්න ගිය වෙලේ මම අනුක් එක්ක බෝධියට මල්, පහන් පූජා කරලා, වතුර කල දෙකකින් බෝධිය දෝවනය කලා. ඊලඟට පන්සිල් අරගෙන, ගාථා කියලා, දෙවියන්ට පින් දීලා, මම ප්‍රර්ථනා කලේ මගේ භූපට කිසිම කරදරයක් වෙන්න එපා කියලා.
"පිරිසිදු හිතකින් කරන ප්‍රර්ථනාවල් ඉෂ්ඨ නොවී තියෙන්නේ නෑ දුලාරා"
මම පන්සිල් අහවර කරලා බෝධිය දිහා බලාගෙන ඉද්දි අනුක් කිව්වා.
"හ්ම්ම්"
"භූපට කරදරයක් වෙන එකක් නෑ" ඔහු ආයෙම කිව්වා.
මම හිස හරවලා ඔහු දිහා බැලුවේ ඔහු ගැන උපන්න පුරුදු සෙනෙහසින්මයි.
"මෙවෙලේ ඔයා ඉන්න එක මට ලොකු හයියක් අනුක්"
මම කිව්වම ඔහු යන්තම් හිනාවුණා විතරයි.
"භූපට සනීප වුණොත්, මම ආයෙම කවදාවත් එයාගේ මූණටවත් මුණනොගැහී ඉන්නවා අනුක්" මම කිව්වේ දෑස් තෙත් වෙද්දි.
අනුක් මා දිහා බැලුවේ පුදුමෙන්. "මොකක්ද ඒ කතාවේ තේරුම?"
"අපි ආයෙම මුණගැහුණොත් මට ආයෙම භූපව ඕන වෙයි, මට එයාට ආදර නොකර ඉන්න බෑ. එහෙම වෙද්දි මට නයනා ගැන ඉරිසියා හිතෙයි, තරහා හිතෙයි.  එහෙම තමයි මට දැන් හිතෙන්නෙත්.  ඒත් ඒක නොකර ඉන්නයි මට ඕන. භූප මට හැමදාම ආදරේ කලොත් එයා නයනට කවදාවත් ආදරේ කරන එකක් නෑ. ඒක නයනට වෙන ලොකු අසාධාරණයක්. ඔයා කිව්වා වගේ, මගේ හිත හදාගන්න මට ගොඩක් අය ඉන්නවා. ඒත් නයනට ඉන්නේ භූප විතරයි. භූප පව්කාරයෙක් කරන්න මට බෑ. මට පව්කාරියෙක් වෙන්නත් බෑ තවත්. භූපට හොඳ වෙනවා නම්, එයා නයනා එක්ක හොඳින් ඉන්නවා නම්, මම සදාකාලිකවම එයාගෙන් ඈත් වෙලා ඉන්න පරිත්‍යාගය කරන්න ලෑස්තියි අනුක්" මම කියාගෙන ගියේ තෝන්තුවාවෙන් වගේ.
අනුක් සුසුමක් හෙලලා මා දිහා බලාගෙන උන්නේ දුකෙන්.
"මම කරන්නේ එක තමයි" ඊලඟට මම කිව්වේ ස්ථිරෙන්ම.
ඊලඟට අපි ගියා ලොකු හාමුදුරුවන්ව බැහැදකින්න. උන් වහන්සේ අපි සේරටම පිරිත් නූල් බැඳලා තව එකක් අයියා අතට දුන්නා භූපට බඳින්න කියලා.
"භූප මහත්තයලගේ අම්මලා හවස එනවා බෝධි පූජාවක් කරන්නත්. අපි ඒ මහත්තයා ඉක්මණින් සනීප වෙන්න කියලා මේ වතාවත් කරලා ප්‍රාර්ථනා කරමු" එහෙම කිව්වේ අපි පන්සලෙන් එද්දි අපි එක්ක කතා කරමින් ආපු පොඩි හාමුදුරුවෝ.
"එහෙමයි"
"ඒ කොහොම වුණත් මහත්තයෝ අපි බෞද්ධයෝ විදියට තේරුම් ගන්න ඕනේ, මේ මිනිස් ජීවිතේ කියන්නේ හිරු දුටු පිණි මෙන් අනිත්‍ය දෙයක් කියලා. අපේ ප්‍රාර්ථනාවන් වගේම ඒ මහත්තයාගෙත් පූරුවේ පින්, ගෙනාපු ආයුෂ මේ හැමදේම ජීවිතේට බලපානවා. ඒ නිසා හැමදේම මැදහත් සිතින් ඉවසගන්න හිත හදාගන්න එකත් අපි මේ එක්කම කරන්න ඕන දෙයක්"
පොඩි හාමුදුරුවන්ගෙ ඒ වචන හිත බර කලත් මම දැනං හිටියා තිත්ත වුණත්, ඒක තමයි පිලිගන්න වෙන ඇත්ත කියලා.
හිතලා හිතලා අන්තිමට මම හිත හදාගත්තා එක පාරක් භූපව බලලා එනවා කියලා. මගේ වගේම අනික් අයගේ හිත්වල තිබ්බ දෙගිඩියාවත් එක්ක හැමෝම හිතුවේ ඒක මෙවෙලේ කරන එක හොඳයි කියලා. ඉස්පිරිතාලෙදි මම උන්නේ ගැහෙමින්. කොයි වෙලේ මොනා වෙයිද කියලා නොදන්න ලෙඩෙක් බලන්න යන්න වීම කොයි වගේ අවිනිශ්චිත, බය හිතෙන දෙයක්ද කියලා මට දැනුනේ එවෙලේ. ICU එකට ඇතුල් වෙන්න දුන්නේ එක පාරකට එක්කෙනෙක්ට විතරයි. ඉතිං හැමෝම එලියේ ඉද්දි මම ඒක ඇතුලට යන්න ලෑස්ති වෙද්දි අයියා පන්සලෙන් ගෙනාපු පිරිත් නූල මා අතේ තිබ්බා. මම අයියා දිහා බැලුවම ඒ ඇස් තිබ්බෙත් බොඳ වෙලා.
හිස වෙලලා, මැෂින් වලට සම්බන්ධ කරලා, නිදාගෙන වගේ වැතිරිලා උන්නු භූපව දැක්කම මට ඇඬුම් වලකාගනන් ලොකු උත්සාහයක් දරන්න වුණා. මම කැනියුලා එක ගහලා නොතිබ්බ අතේ අයියා දුන්නු පිරිත් නූල හෙමින් ගැට ගැහුවා, කඳුලු අතරින්ම හෙමිහිට භවතු සබ්බ මංගලම් ගාථාව මුමුණමින්. ඊටපස්සේ මම ඒ මූණ දිහා මොහොතක් බලාගෙන උන්නා පිරිත් නූල බැඳපු අත අල්ලගෙනම.
'මම ආයෙම කවදාවත් ඔයාගේ ඉස්සරහට එන්නේ නෑ භූප. ඒත් මම හැමදාමත් ඔයාට ආදරෙයි...ඔයා ඉක්මණට සනීප වෙන්න ඕන. ඔයාට තුණුරුවන් සරණයිඑන්න කලියෙන් මම ඔහුගේ මූණ දිහා බලාගෙන එහෙම හිතුවා.  ඊලඟට මම එතනින් ආවේ ආයෙම පස්ස හැරිලාවත් නොබලා.
ගෙදරදි අම්මලා මට ආයෙම භූප ගැන වචනයක්වත් කිව්වේ නෑ. ඒ ගැන ඇහුවේවත් නෑ.  මගේ පළවෙනි ආදරේ පණ ගැහිලා ගැහිලා අන්තිමට ඉවර වුණේ ඒ විදියට. භූප ඉස් ඉස්සෙල්ලාම මට අරන් දුන්න ඇට මැස්සා පොත අතේ තියාගෙන, ඉර බැහැගෙන යන හැන්දෑවේ ජනේලෙන් එලිය බලාගෙන මම කල්පනා කරමින් හිටියේ ඒ ආදරේ ගැන. මගේ සුරතේ ඇඟිලි නැවතිලා තිබ්බේ ඒ පොතේ කහ පාටින් සලකුණු කරලා තිබ්බ, මගේම කඳුලු වලින් බොඳ වෙලා තිබ්බ අකුරු පෙලක් ලඟ.
"කොටු වැටුනු ගවුම් පොඩියකින් සැරසී කොණ්ඩා කරලක් පිට දිගේ වක්කර‍ගෙන පුංචි කැත කෙල්ලක්ව සිටි අවදියේත් මම ඔබට ආදරය කලෙමි; දැනුදු ආදරය කරමි.
එපමනයි ආදරණීය ප්‍රියාදරිය .. එවිට මම ජීවත් වුවත් මියගියත් වාසනාවන්ත  මැස්සෙක්මි"

2 comments: