Friday, September 26, 2014

අසූ හත්වන කොටස



කවුදෝ කියලා තියෙනවා කරදර එද්දි එන්නේ එක පිටමයි කියලා. අනුක් ඇවිත් ගියාට පස්සේ හිතේ තිබ්බේ ලොකු හිඩැසක් වගේ එකක්. හිත කරදර වෙලා තිබ්බ ඒ දවස්වලම තවත් ඒකට කරදර එකතු වුණේ භූප හිතාගන්න බැරි විදියට වෙනස් වෙන්න පටන් ගෙන තිබුණ හන්දා.
වැඩට යන්න ආපහු පටන් ගෙන තිබ්බ හන්දා, භූප සතියකට දවස් තුනක්වත් උන්නේ ගෙදරඉන් පිට. ඒ දවස්වලදි හරියට බෙහෙත් බොනවදවත් කියලාවත් අපි දැනගෙන හිටියේ නෑ. අපි ඒක අහනවටත් ඔහු කැමති වුණේ නෑ. ඒනිසා මම වගේම භූපගේ ගෙදර අයත් හිටියේ නොසතුටින්. වෙනදා මම එනකල් මග බලාගෙන උන්නු භූප ගෙදර ඉන්න දවසටත් මම එනවට කැමති නෑ වගේ කියලා මට හිතුණා. ඒක මගේ හිතලුවක්ද කියන්න මම දන්නේ නෑ, ඒත් මට ඒක එහෙම දැනුනා. කවදාවත් නැති විදියට අපි අතරේ පුංචි පුංචි බහින් බස් වීමුත් ඔය අතරේ ඇති වෙන්න ගත්තම මගේ හිත තිබ්බේ යකාගේ කම්මල වගේ වෙලා.
"මම දන්නෑ අපේ අයියට මොනා වෙලාද කියලා දුලා"
මගේ ප්‍රශ්ණේ ගැන අහපු කේතකී කිව්වේ මගේ හිස අතගාමින්. අපි උන්නේ එලියේ අඹගහ යට බංකුවේ වාඩි වෙලා.
"ඇයි කේතකී එයා මෙහෙම කරන්නේ?" මම ඇහුවේ කඳුලු පිහින් ගමන්.
"අනේ මන්දා දුලා. එයා මහ හිතුවක්කාරයි. අම්මලත් ඉන්නේ හිතේ දුකෙන්"
"මට හිතෙනවා එයාට මාව එපා වෙලාදෝ කියලා. මම එයා වෙනුවෙන් කොච්චර දේවල් කලාද කේතකී? මම ජීවිතේ මේ වෙනකල් කැප කලේ එයා වෙනුවෙන්. ඇයි එයා ඒක තේරුම් නොගන්නේ? ඇති අමතක වෙලා වගේ ඉන්නේ?"
"මටත් තේරෙන්නේ නෑ දුලා...එයා ඔයාට ගොඩක් ආදරෙයි. ඔය මොනා කිව්වත්. මම ඒක දන්නවා සහතිකෙන්ම"
"ආදරේ නම් කොහොමද මෙහෙම කරන්නේ?" මම ඇහුවත් ඒකට උත්තරයක් කේතකී ගාව තිබ්බේ නෑ.
ඒ ප්‍රශ්ණේ එහෙම වෙද්දි අනෙක් පැත්තෙන් හිතට බරක් වෙලා උන්නේ අනුක්. එදා ගියායින් පස්සෙම ඔහු මට කතා කලේම නැහැ. කතා කරන්න ඕන වුණත් මම කතා නොකලේ තියෙන ප්‍රශ්ණ තවත් දුරදිග යවාගන්න ඕන නැති හන්දා. හිතට සහනයක් තිබුණේ ලොකු අයියගේ පුංචි දුව එක්ක ගත කරන කාලෙදි විතරයි. එහෙමත් නැති සමහර වෙලාවලදි මම තනියෙම කාමරේට වැදිලා කල්පනා කලේ කවදා කොහොම මේ දේවල් පිලිවෙලක් වෙලා හිතට නිදහසක් ලැබේවිද කියලා.
****
"භූප..."
මම එක සෙනසුරාදා දවසක ඔහුව බලන්න යද්දි ඔහු කාමරේට වැදිලා බරටම වැඩක. කාමරේ පොලව පුරාම ෆොටෝ මහ ගොඩක් අතුරලා, කකුල තියන්නවත් ඉඩ නෑ.
"හා..හා...පාගන්නේ නැතුව එන්න. ඇයි?" භූප ඇහුවේ මා දිහා යන්තමින් බලලා.
"මේ උදේ බොන්න ඕන බෙහෙත් තාම මේසේ උඩ. අම්මා දෙන්න කිව්වා" මම කිව්වේ ඔහුගේ බෙහෙත් පෙති කීපය වතුර වීදුරුවත් එක්ක දික් කරමින්.
"තියන්නකෝ මම බොන්නම්" ඔහු කිව්වේ මා දිහා නොබලා, පිංතූර එක දෙකක් තෝරලා පැත්තක තියන ගමන්.
"අනේ මේක බීලා ඔය වැඩේ කරන්නකෝ" මම කිව්වා.
ඔහු මා දිහා බැලුවේ කරදරකාරී කෙනෙක් දිහා බලන විදියට.
"තියන්න කිව්වනේ මම බොන්නම්. ඔයා අම්මට වැඩිය හපන් නේ"
"බේත් වේල මගාරින්න එපා භූප. ඔයාටමනේ හොඳ නැත්තේ" මම කිව්වේ ආදරෙන්, ඒත් හිතේ තිබ්බේ දුකක්.
"දැන් ඔය බෙහෙත් බිව්වා කියලා අපිට නොමැරී ඉන්න පුලුවන්ද?" ඔහු ඇහුවේ ආයෙම වැඩේට යොමු වෙන ගමන්. "අනික මට දැන් හොඳයි. ඔව්වා බොන්න ඕන නෑ"
"එහෙනම් දොස්තරලා දෙන්නේ මොකටද?"
"දෙන්නේ සල්ලි වලටනේ" භූප කිව්වේ උපහාසෙන් වගේ.
"අනේ මන්දා ඔයාට මොනා වෙලාද කියලා භූප" මම කිව්වේ ඉවසන්නම බැරි තැන.
"මට කරදර නොකර පොඩ්ඩක් ඉන්නවද" ඔහු ඊට පස්සේ කිව්වම මගේ හිත හොඳටම රිදුනා.
"ඉන්නවා නේන්නම්. දැන් මං කීයේ ඉඳන්ද ඉන්නේ? උදේ ඉඳන්. ඔයා සතියේ දවස් වලට ගෙදර නෑ, ඒ මදිවට ඉන්න දවස් වල කතා කරන්නෙත් නෑ" මම නෝක්කාඩුවක් කිව්වා.
"ඔයා එක්ක කතා කර කර ඉඳලා හරියන්නේ නෑනෙ. මේ වැඩ ඉවර කරන්න ඕන නේ. කතා කරනවට කවුරුත් ගෙවන්නේ නෑ දුලාරා"
ඔහුගේ නිර්දය වචන මගේ හිතට එකතු කලේ ලොකු දුකක්. මට ඇඬෙන්න ආපු තරමයි.
"අනේ ඇයි භූප ඔයා මෙහෙම කතා කරන්නේ? අපි දෙන්නට බැරිද ඔය වැඩේ කරන්න? ෆෝටෝ තෝරන්න මටත් පුලුවන්. ඇයි මාවත් ගන්න බැරි? වැඩ කරන ගමන් අපට කතා කරන්න බැරිද?"
"ඔයාට මේක කරන්න තේරෙන්නේ නෑ" භූප කිව්වේ මා දිහාවත් නොබලා.
මගේ හිතේ තිබ්බ දුක වැඩි වුණා එක්කම හිතට ආවේ ලොකු ආවේගයක්.
මම වීදුරුව දඩස් ගලාමේසේ උඩ තියලා ෆෝටෝ එහාට මෙහාට කරගෙන ඔහු අසලට ගියේ ඒ ආවේගෙන්මයි.
"දුලාරා...ඔය ...මේ...මොකක්ද කරන්නේ?"
"මොකක්ද කරන්නේ කියලා අහන්න ඕන මම භූප"
භූප මා දිහා බැලුවේ කෝපයෙන් වගේ.
"මොකක්ද දැන් වෙලා තියෙන්නේ?"
"මුකුත් වෙලා නැද්ද?"
"දුලාරා මේ...කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න, වහෙන් ඔරෝ නැතුව"
"ඔයා ඇයි මෙහෙම කරන්නේ භූප? බලන්න දැන් දවස් දහයකින් විතර අපි හම්බවුණේ. ඒත් ඔයාට මා දිහා බලන්නවත් වෙලාවක් නෑ"
"මේ දවස්වල වැඩ ගොඩයි. පොඩ්ඩක් තේරුම් ගන්නකෝ"
"ඒ වැඩ අස්සේ මාව එක පාරක්වත් මතක් වෙන්නේ නැද්ද ඔයාට? එක කෝල් එකක දෙන්නවත් ආ? මම කෝල් කරත් ඔයාට කතා කරන්න වෙලාවක් නෑ"
"පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා දුලාරා. මේ වැඩ මේ ඔෆිස් එකකට ගිහින් ඉඳගෙන කරන ඒවා නෙවෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ. ඉතිං එහෙම වෙලාවක් කියන්න බෑ නිදහසක් තියෙන. වැඩ ඉවර වෙද්දි රෑ වෙනවා. එවෙලෙට ඔයා නිදි"
ඔහු එහෙම කියද්දි මම ඔහු දිහා බලාගෙනම උන්නා.
"ඔයා වෙනස් වෙලා භූප" මම කිව්වේ දුකින්.
"මිනිස්සුන්ට හැමදාම එකවගේ ඉන්න බෑ" ඔහු කිව්වේ ආයෙම පිංතූර දිහාට යොමු වෙන ගමන්.
"ඔයාට මාව එපාද භූප?" මම ඇහුවේ හැණ්න්දුම්බරව.
"දැන් මම එහෙම කිව්වද?"
"කිව්වේ නැති වුණාට ඔයා හැසිරෙන්නේ එහෙම"
"මන්ස්ගාත ඔලුවට නොගෙන, මට මෙන්න මේ වැඩේ ඉවර කරන්න දෙන්න"
භූප ඊලඟට කිව්වා.
"බෑ. ඔයා දැන් මා එක්ක කතා කරන්න එන්නම ඕන" මම කිව්වේ හිතුවක්කාර විදියට.
"විකාර කියන්න එපා"
"මාව දැන් ඔයාට විකාරයක් වගේද පේන්නෙත්?"
"දුලාරා...පොඩි ළමයෙක් වගේ මුරණ්ඩු වෙන්න එපා. මේ වැඩේ ඉවර වෙලා අපි කතා කරමු"
"කවද්ද ඉවර වෙන්නේ?"
"දුලාරා...මගේ යකා අවුස්සගන්නේ නැතුව පොඩ්ඩක් මට මේක ඉවර කරන්න දෙනවද?"
"යකා අවුස්සගන්න?" මට හිතාගන්න බැරි වුණා ඒ කිව්වේ භූපමද කියලා.
"ඔයා මම එනවට අකමැති නම් කෙලින්ම කියන්න භූප. මෙහෙම කෙනහිලිකම් කරලා මට වද දෙන්න එපා"
"ඔයාට එහෙම හිතෙනවා නම් නෑවිත් ඉන්න" භූප කිව්වේ නිර්දය විදියට.
මම ඔහු දිහා බලාගෙන උන්නේ මගේම කන්දෙක අදහාගන්න බැරුව.
"මොකක්ද ඔයා කිව්වේ?"
"කිව්ව එක ඇහුණනේ. එන්න බැරි නම් එන්න එපා"
මගේ ඇස්වලට කඳුලු පිරුණේ ඇසිල්ලකින්. එතනින් එහාට මට කියන්න දෙයක් තිබ්බේ නෑ. මම එතනින් නැගිට්ටේ එන්න. භූප සුසුමක් හෙලුවා.
"මම යනවා" මම කිව්වා.
භූප මොනවත්ම නොකියා තමගේ වැඩේ කරමින් උන්නේ මම කියපු එක නෑහුණා වගේ.
"හැමදේකම සීමාවක් තියෙනවා. ඔයා මෙච්චර දවස් කරපු වෙනස්කම් මම ඉවසුවා භූප. ඔයාට මාව එපා නම්, ඒකත් කියන්න. එතකොට හරිනේ. එක පාරක් කිව්වා වගේ කියන්න" මම කිව්ව්වේ දුකෙන්, තරහින්.
මා දිහා බැලුවත් තවමත් මොනවත්ම කිව්වේ නෑ.
"මම ආයේ එන්නේ නෑ. ඔයාට මාව ඕන නම් එහාට එන්න" මම එහෙම කියාගෙන එලියට ආවේ ඇස් වලින් කඳුලු බේරෙද්දි.
අන්තිමට භූප හම්බවෙන්න හිතාගෙන සන්තෝසෙන් ගෙදරින් එලියට බැස්ස මම ආපහු ගෙදර ගියේ වේදනාවෙන් ඔද්දල් වුණ හිතක් එක්ක. මට එහෙම කියන්න කරන්න හේතුව දැනං උන්නේ භූපම විතරයි.
ඒත් මා එක්ක කතා කරන්න භූප අපේ ගෙදර ආවේ නෑ. එදා මුලු හවසම මම උන්නේ ජීවිතේ එපා වෙලා වගේ. ඔය අතරේ තමයි නුවරින් උත්පලා අක්කා කතා කලේ. ඈ ඉස්සෙලම කතා කරලා තිබුණේ අම්මට. වෙඩින් එක කියන්න කලින් මාව එක දෙවනි මනමාලියෙකුට දෙනවද අහන්න. යශෝ අක්කයි, ගෝතමී අක්කයි අනික් දෙන්නා. ඉතිං මටත් කතා කලාම මට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. මුලදි අම්මා චේතියගේ ප්‍රශ්ණේ නිසා අදි මදි කල වගක් පෙනුනත්, අන්තිමේදි අම්මා කැමති වුණා. තාත්තා නම් කිව්වේ මගේ කැමැත්තක් කරන්න කියලා. ඒකෙන් මේකෙන් ආපහු අස්ගිරියේ ගෙදර යන්න අවස්ථාවක් එලඹෙන එක තමයි අන්තිමට වුණේ. භූපගේ ප්‍රශ්ණේ යාන්තමට පොඩ්ඩක් අමතක වෙන්න ඒක හේතුවක් වුණේ, අම්මයි මමයි මුලු හවසම ඒ ගැන කතා කරමින් උන්නු නිසා.
මගේ හිත යට බලාපොරොත්තුවක් තිබුණා භූප කතා කරාවි කියලා. ඒත් ඔහු කතා කලේ නෑ. හිත තිබුණේ ගොඩක් පෑරිලා. හිතේ තිබුණ දුක කියන්න අනුක්වත් හිටියේ නෑ. කේතකීට කතා කරන්න මට හිතුණෙත් නෑ. ඉතිං මම තනියෙම්ම හිතේ සේරම දරාගෙන නිදාගත්තේ ඇස් වලින් ගලපු කඳුලු කොට්ටේ තෙත් කරද්දි.

දවස් දෙකක් යනකල්ම, භූප කතා කලෙත් නෑ, මම කතා කරන්න ගියෙත් නෑ. ඒ අතරේ උත්පලා අක්කා කතා කරලා කිව්වා ඊලඟ සති අන්තේ ඇඳුම් මහන්න දෙන්න එහේ එන්න කියලා. එහෙම ගියාම ආපහු අනුක්ව මුණගැහෙන එක සහතික හන්දත් මම උන්නේ අවුල් වෙලා. අන්තිමේදි බැරිම තැන මම භූපගේ ගෙදරට කතා කලා. ඒත් ඒ වෙද්දිත් ඔහු ආපහු වැඩට ගිහින්. වෙනදට කොහේ ගියත් මට කියන භූප මෙහෙම නොකියම ගියේ ඇයි කියන්න මම දන්නේ නෑ. ගොඩක් දුක හිතුණත් මම හිතට දිරි අරගෙන භූපගේ ෆෝන් එකට කතා කලා.
"හෙලෝ" දෙපාරක් රිං වෙද්දිම භූප ෆෝන් එක ඉස්සුවා.
"හෙලෝ..." මම කිව්වේ හෙමින්.
ඒ පාර භූප මොහොතකට නිහඬ වුණා.
"දැන් තරහා ඉවරද?" ඊලඟට ඔහු ඇහුවා.
"මම තරහා වුණේ නෑ. ඔයාට නේ තරහා ගිහින් තිබ්බේ" මම තාම කිව්වේ නිවුණ ස්වරයෙන්මයි.
"මට තරහා ගිහින් තිබ්බේ නෑ..."
"එහෙනම් මම යන්න හදද්දි නැවැත්තුවේවත් නැත්තේ?"
"යන්න හදද්දි නවත්තන්න ඕන නෑ, ඉන්න ඕන නම් යන්නේ නෑනෙ ඒනිසා" භූප කිව්වේ වියලි විදියට.
හිත ආයෙම පෑරුණා.
"ඒ කියන්නේ මම නෑවිත්ම හිටියත් ඔයාට කමක් නෑ?" මම ඇහුවා.
"ඔයාට එන්න ඕන නැත්තම් මම මොනා කරන්නද?"
භූප කිව්වම මගේ ඇස් වල කඳුලු පිරුණා. ඒ එක්කම මට හිනාවක් නැගුනේ මං ගැනම උපහාසෙන්.
"මාත් එහෙම හිතුවා නං නේද? ඔයාට එන්න ඕන නෑ කියලා හිතලා මාත් හිටියා නම්...අද මට මේ දේවල් අහන්න වෙන්නෙ නෑ"
"මම ඔයාට එන්න කිව්වේ නෑ දුලාරා. ඔයා එන්න ඕන කියලා මම බලාපොරොත්තු වුණෙත් නෑ"
"භූප...ඔයා කොහොමද ඔහොම මට කතා කරන්නේ? එතකොට මම ආපු එකද වැරැද්ද?" මගේ හඬ උස් වුණේ එවෙලේ.
භූප ආයෙම නිහඬ වුණා.
"ඔයාට මාව එපාද භූප?" මම ඊලඟට ඇහුවේ හැඬුම් වල්ක්වගන්න උත්සාහ කරමින්.
"දුලාරා...පොඩි දේවල් මෙහෙම ලොකු කරගෙන බොරුවට රණ්ඩු වෙන්න හදන්න එපා. ඔයා පොඩි ළමයෙක් නෙවෙයි නේ. එදා මට ටිකක් තරහා ගිය වග ඇත්ත. මම වැඩකනේ හිටියේ. විකාර හිතන්න එපා. මට ඔයා ඕන නෑ කියලා මම කිව්වේ නෑනෙ"
භූප කියද්දි මට ඇඬුනා හොඳටෝම.
"අඬන්න එපා දැන්. මම තරහා නෑ දුලාරා...ප්ලීස් අඬන්න එපා. මම දැන් ටිකක් බිසී. මං හවසට කතා කරන්නම් ම්ම්...හරිද?"
මම මොනවත්ම කිව්වේ නෑ. භූප මොනවා කිව්වත් හිත හැදිලා තිබුණෙත් නෑ.
"මං තියන්නද? අරහේ කට්ටිය බලා ඉන්නවා මම එනකල්..ම්ම්...මං තියන්නද?"
භූප අහද්දි මම මොනවත් නොකියා ෆෝන් එක කට් කලා. හිත තිබ්බේ කලින් තිබුණටත් වඩා අවුල් වෙලා.

1 comment:

  1. අක්කේ ඉක්මනට දෙන්නකෝ ඉලග කොටස.

    ReplyDelete