Wednesday, September 24, 2014

අසූ හයවන කොටස



"දෝනී...තාත්තා තාමත් නෑනෙ. පොඩ්ඩක් කෝල් එකක් වත් දීලා  බලමුද? කුඩේවත් ගෙනිච්චද මන්දා"
මට තේ එකක් හදලා දීපු අම්මා කිව්වේ වැස්ස හන්දා කලින්ම අඳුරු වෙලා තිබ්බ එලිමහනට එබෙන ගමන්.
"තාම පහමාරේ කෝච්චිය එන්න නෑ අම්මා" මම කිව්වේ ඔරලෝසුව දිහාත් බලලා. වෙලාව සටහන් වෙලා තිබුණේ පහයි විස්ස විදිහට.
"කමක් නෑ කෝල් එකක් දීලා බලන්නකෝ" අම්මා කියපු හන්දා මම තේ එකත් අරන් ගෙට ආවේ තාත්තට කෝල් එකක් දෙන්න.
මම තාත්තට කෝල් එකක් ගන්න අතරේ යාන්තමට වාහනේක සද්ද්යක් ඇහුණත් මට ඒ ගැන ලොකු අවධානයක් යොමු වුණේ නෑ. කතා කරද්දි තාත්තා උන්නේ කොච්චියේ. කෝච්චිය විනාඩි පහලවක් විතර පරක්කු වුණා කියලා කියපු හන්දා ඒක අම්මට කියන්න මම සාලෙට එද්දි සාලේ අම්මා හිටියේ තනියෙම නෙවෙයි. මම තේ කෝප්පෙත් අල්ලගෙනම එතනම නැවතුණේ සාලේ අම්මා එක්ක කතා කරමින් උන්නු අනුක්ව දැකලා. අම්මට කලින් අනුක් මාව දැක්කා. ඒ දෙන්නම මා දිහා බැලුවේ එකටම.
"ආ..දෝණි. මෙන්න ඔයාව බලන්න යාලුවෙක් ඇවිත්" අම්මා කිව්වම මට හිනාවෙන්නවත් මතක් වුණේ නැති තරමයි.
"එන්න ගෙටයමු වාඩිවෙන්න පුතේ. අද උඅන්කලුත් ගෙදර නෑ කොලඹ ගිහින්. මොකද ලමයෝ මේ අද දැක්කා වගේ බලාගෙන ඉන්නේ? ඔන්න බලන්නකෝ නේද පුතේ, නුවර ඉඳන් ආවා විතරයි යාලුවොත් අමතක වෙලා, අඩු ගානේ ගෙදර ආවම පිලිගන්නෙවත් නෑ  නේද?"
අම්මා අනුක් එක්ක සුහදව කතා කරමින් එන වෙලේ මම උන්නේ අන්ද මන්ද වෙලා. මට හිතාගන්න බැරි වුණා අනුක් මේ ආයෙම ඇවිත් තියෙන්නේ මොකද කියලා.
"පුතා එහෙමනම් කතා කර කර ඉන්න. දැන් අන්කල් එනවත් ඇති. මම තේ එකක් හදාගෙන එන්නම්, වතුර උණු වෙලා තියෙන්නේ" අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියාම, වැස්සෙන් අඳුරු වුණ සාලේ අනුක් එක්ක මම තනි වුණා.
"මොකක්ද අනුක් මේ කරන්නේ?" මම ඇහුවේ රහසින් වගේ අම්මා ආපහු කොයි වෙලේ එවිද නොදැන.
"මම දන්නෑ දුලාරා" අනුක් කිව්වේ බිම බලාගෙන.
"දන්නෑ...දන්නෑ? ඒක මහ පුදුම කතාවක් නේ. ඉස්සරවෙලා මම කතා කරද්දි දමලා ගහලා ගියා. දැන් කියන්නෙවත් නැතුව ආයෙම ඇවිත්. මොකක්ද අනුක් මේකේ තේරුම?" මම ඇහුවේ නොරිස්සුමක් හිතේ මෝදු වෙද්දි.
"මම ආවේ ඔයාගේ කුඩේ දීලා යන්න" මං කියපු කිසිම දෙයක් නෑහුණ ගාණට අනුක් එහෙම කිව්වම මගේ හිත ගොඩක් සසල වුණා. මට සුසුමක් හෙලුණේ ඉබේටම.
"අනේ අනුක්...ඔයා...ඔයා කොච්චර දුර ගිහින්ද ආයේ ආවේ? අපරාදෙනේ. ඔයාට යන්න තිබුණා. මම කුඩයක් ගන්නවනේ" මම කිව්වා.
"මගේ නොවෙන දේවල් ලඟ තියාගන්න මට බෑ. ඒක හිතට දුකක් ගේනවා විතරයි අන්තිමට" අනුක් කිව්වේ මට ඇනුම්පදයක්ද?
"ඔයා ඔය කියන්නේ කුඩේ ගැන නෙවෙයිනේ" මම ඇහුවේ ඒකයි.
"මම කතාකරන්නේ මොකක් ගැනද කියලා ඔයා දන්නවා" අනුක් ඒ පාර කිව්වේ මා දිහා කෙලින්ම බලලා.
"අනුක්...ඒ ගැන තවත් කතා කරන්න මට ඕන නෑ" මම අහක බලාගෙන කිව්වා.
"හ්ම්ම්...මම ඒකත් දනන්වා"
"එහෙනං?"
"මං ආවේ කුඩේ දීලා යන්න"
"කෝ කුඩේ?" මම ඇහුවා ආයෙම කතාව වෙන පැත්තකට යන්න නොදී.
"මෙන්න" අනුක් කුඩේ මට දික් කලා.
"ඔහොම තියන්න " මම කිව්වා.
අනුක් කුඩේ නොතියම මා දිහා බලාගෙන උන්නේ දුකකින් වගේද මන්දා.
"කුඩේ හන්දම ඔයා ආයෙම ආවේ අපරාදේ. දැන් යද්දි රෑ වෙයි.කුඩේ ලඟ තියෙන එක අමාරු නම් ඒක වීසි කරලා ඔයාට යන්න තිබුණා"
"අයිති නෑ කියලා එහෙම විසි කරන්න මට බෑ දුලාරා. ඒක ඔයා දන්නවා. අනික...මම ගියේ නෑ. මම මෙච්චර වෙලා අර හන්දියට වෙලා හිටියේ"
"හන්දියට වෙලා? ඇයි ඒ?" මම පුදුම වුණා වගේම හිත ආයෙම දුකකින් පිරුණා.
"මට ඔයා එක්ක තරහා වෙලා යන්න බැරි හන්දා" අනුක් කිව්වේ එච්චරයි.
ඊලඟට තේයි, කේක් වගේකුයි බන්දේසියක තියාගත්තු අම්මා සාලෙට ආවායින් අපේ කතාව නැවතුනා එතනම. මට දැනෙමින් තිබුණේ ලොකු අපහසුතාවයක්, කියන්න ඕන දේවල් අනුකට කියාගන්න බැරි වීම නිසා. ඒ අතරේ අම්මා,අනුක් අද ආපු එක ගෑනයි, ගෝතමී අක්කලා ගැනයි, උත්පලා අක්කගේ කටයුත්ත ගැනයි අනුක් එක්ක සංවදයේ යෙදිලා හිටියා. මම ඔහේ අහගෙන උන්නා මිසක ඒ කතා කරපු වචනයක්වත් මගේ ඔලුවට ගියේ නෑ.
"දෝණි...දෝණි..." අම්මා දෙපාරක්ම කතා කරද්දියි මට ඇහුනේ මම කොයි තරම් කල්පනාවේ ගිලිලා උන්නද කිව්වොත්.
"ආ..ඇයි... ඇයි අම්මා?"
"ඔය පේන්නෑ. මේ ලමයා කොයි වෙලේ බැලුවත් කල්පනාව" අම්මා අනුක්ට කිව්වම අනුක් මා දිහා බැලුවේ හොරැහින්.
"අනුක්ට නම් ජොබ් එකකට කතා කරලලු" අම්මා කිව්වා.
"අනේ ඇත්තද? කොච්චර හොඳද" වචන වල තිබ්බ උද්‍යෝගය මගේ ස්වරයේ තියෙන්න නැතුව ඇති.
අම්මා මා දිහා අමුතු විදියට බලලා ආයෙම අනුක් එක්ක කතාවට වැටුණා.
"මෙයත් ජොබ් කීපෙකට නම් දැම්මා. ඒත් තාම මුකුත් නෑ. අනික් කටයුතුත් දැන් බලන්න ඕන. පොඩි පුතාගේ වැඩේ ඉවර වුණාම අපි දුලාරාගේ කටයුත්තත් ඉවර කරන්න ඉන්නේ පුතේ. අන්කල් මට කිව්වා ඔයා මේ දෙන්නට ගොඩක් උදව් කරපු විත්තිය. අපි මොනා කිව්වත් ඉතිං ඔව්වා වෙන්නේ ලබා උපන් හැටියට නෙව" අම්මා කියද්දි මම අනුක් දිහා බැලුවා.
ඔහු බලාගෙන උන්නෙත් මා දිහා. ඒ ඇස් වල තිබ්බේ මොකක්දෝ දුකක් කියලා මට හිතුණා.
"පුතා දැම්ම යන්නේ නෑ නෙ? අන්කල් එන්කල් ඉඳලම යන්න"
"අනේ ගොඩ වෙලා ඉන්න නම් බෑ ආන්ටි. දැන් මම යන්නම්. රෑ වුණොත් ලොකු අම්මලාගෙන් ලෙඩේ. දන්නෑද්ද ඉතිං. මම ආයෙම වෙලාවක එන්නම්. කොහොමත් වෙඩින් එක කියන්න එන්න වෙයි නේ" අනුක් කිව්වා.
මගේ හිත සසල නොවුණා නෙවෙයි. ඒත් මම ඒක නොපෙන්න උන්නා. අනුක් යනවා දකින්න මට ඕන වුණේ නෑ දැන්ම.
"එහෙමද? ම්ම්...පොඩිත්තක් කතා කරගෙන ඉන්නකෝ එහෙමනම්. මම කුස්සියට දුවලා එන්නම්" අම්මා අනුක්ගේ අතේ තිබ්බ හිස කෝප්පෙත් අරන් ආයෙම කුස්සියට ගිය.
මම ඉස්සරහ උලුවස්ස ල බිත්තියට හේත්තු වෙලා තාමත් වහින වැස්ස දිහා බලාගෙන උන්නා. ඊලඟ මොහොතේ මම හැරෙන්නත් කලින් අනුක් උන්නේ මගේ ලඟට ඇවිත්. කොච්චර ලඟද කිව්වොත් මම හිස හරවාද්දි ඔහුගේ පපුවේ ගෑවෙන තරම් ලඟින්. ආයෙමත් මට අර පුරුදු විලවුන් සුවඳ දැනුනා. ඒත් ඒක්කම මම ඔහුගෙන ඇතට වුණේ අම්මා ආවොත් මොනා හිතයිද කියලා බයේ. අනුක් සුසුමක් හෙලුවා.
"ඇයි දුරස් වෙන්නේ කියලා මගෙන් අහ අහා ඇයි ඔයා මගෙන් දුරස් වෙන්නේ?" අනුක් ඇහුවා.
"අම්මා ආවොත් මොනා හරි හිතයි අනුක්. පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා" මම කිව්වා.
අනුක් මුක්ත්ම නොකියා ආයේම් ලොකු හිසමක් උඩට ඇදගතා.
"හ්ම්ම්...තෑන්ක්ස් ඒක මතක් කරලා දුන්නට. ඒත් මම හිතුවා එක වෙලාවක, ඔයා ඉස්සරහදි මට මං වෙන්න පුලුවන් වෙයි කියලා. පොඩි ළමයෙක් වගේ හරි, මහා ලොකු ඉලන්දාරියෙක් වගේ හරි"
"ඇයි අනුක් මෙහෙම දේවල් කියන්නේ? මොනවද ඔයා මේ කියන්නේ ආ?" මම ඇහුවේ හිත ගොඩක් රිදුම් දෙද්දි.
අනුක් මගේ දෑස් දිහා බැලුවා.
"මං ඔයාට වෙනස් විදියට සලකලා තියෙනවද? මම ඔයා කියන ඒවා අහගෙන ඉඳලා නැද්ද? ඔයාගේ ලඟින් යාලුවෙක් වගේ ඉඳලා නැද්ද? ඇයි මෙච්චර මට රිද්දන්නේ අනුක්?"
"රිද්දන්න නෙවෙයි දෙයියනේ..." අනුක් කිව්වේ ඇස් අහක් නොකරගෙනම.
"ඒත් රිදෙනවා...මගේ හිතේ රිදෙනවා අනුක් ඔයා ඔහොම දේවල් කියද්දි"
අනුක්ගේ ඇස් තවත් හැඟීම්බර වුණා.
"මම ඔයා ගැන හිතන්නේ නෑ කියලා ඔයා කොහොමද හිතන්නේවත්. ඔයා මහේ නො ඉඳපු දවස් හැම එකකම මට ඔයාව මතක් වුණා නිකමට හරි. ඔයා දන්නෑ මගේ හිත රිදුන තරම් ඔයා මට නොකියාම ගිය වග දැනගත්තම. දුරස් වුණේ මම නෙවෙයි අනුක්. ඔයා..."
"ඔව්..." අනුක් කිව්වේ බිඳුනු හඬින්. "මම එහෙම කලේ මගේ සිතුවිල්ලක් නිසාවත් ඔයාට වරදක් වෙනවා බලන්න මට ඕන නැති හන්දා...මං ඒ තරම්....වැඩක් නෑ" අනුක් කියන්නගිය දේ නොකියා හිස වැනුවා.
"එතකොට මං?"
"ඔයා මට ආදරේ කරන්නේ නෑ දුලාරා. ඒ නිසා එහෙම දුක් වෙන එක, හිතන එක ඔයාගේ පැත්තෙන් වරදක් නෙවෙයි. ඔයා මට සලකන්නේ යාලුවෙක්ට වගේ..."
"මම දන්නෑ අනුක්...මට තර්ක කරන්න බෑ" මම හිස වැනුවා.,
අනුක් ආයෙම සුසුමක් හෙලලා, හිස වනලා මා දිහාට හැරුණා.
"තේරුමක් නෑ කතා කරලා. ඒත්...මට එක දෙයක් කියන්න"
"මොකක්ද?"
"මා එක්ක තරහා නෑ නේද?"
"නෑ..." මම හිස වැනුවා.
"තෑන්ක්ස්" අනුක් එහෙම කියලා මට ලං වෙලා මගේ නලල මුදුන සිපගත්තේ ඉක්මණින්. මට දැනුනේ ඔහුගේ තොල් ස්පර්ෂ වුණ තැන ගිනි ගන්නවා වගේ. තප්පර දෙක තුනකට ආයෙම මගේ ඇස් ඔහු ලඟ නැවතුනා.
"ඔහොම බලන්න එපා" අනුක් මිමිණුවා.
"ම්ම්?"
"I might kiss you"
මගේ ඇස් ලොකු වෙන්න ඇති ඔහු එහෙම කිව්වම. ඒත් ඇත්තටම එක මිලි තප්පරේකට මට හිතුණා ඔහුව සිප ගන්න. ඒත් ඒ සිතිවිල්ල පැහැදිලි වෙන්නත් කලින්ම මම ඒක හිතින් අහක් කලා.
"ඔයාගේ ඇස් හරියට ගින්නක් වගේ. මගේ හිත පිච්චෙනවා වගේ ඔය ඇස් දිහා බලද්දි" අනුක් ආයෙම මිමිණුවාම මම බිම බලාගත්තා.
"ඔයා වචන වලින් මට ඒත්තු ගන්නන්න හදන දේ, ඔය ඇස්වල නෑ දුලාරා. ඒ ඇස් ඔය හිත කියවන්න දන්නවා. ඒ නිසා මා දිහා ඔහොම බලන්න එපා. ඒ ඇත්ත දැක දැක මට මගේ හිත හදාගන්න බෑ" අනුක් කිව්වාම මගේ හිත ගැස්සුනා.
" මොකක්ද ඒ ඇත්ත?" මම ඇහුවා.
"ඔයාගේ හිතෙන් අහලා බලන්න" අනුක් කිව්වේ එච්චරයි.
මම ගොලු වෙලා බලාගෙන ඉද්දිම ඔහු අපේ ගේ ඇතුලට ගියේ අම්මට කතා කරලා එන්න. ඊලඟට ඔහු ගෙදරින් පිටත් වෙලා යනකලුත් මම උන්නේ උලුවස්ස ලඟ.
"මේ කුඩේ අල්ලන්න දෝණි අර ලමයට වාහනේට නගින්න" අම්මා කියනකල්ම මට ඒකවත් මතක් වුණේ නෑ.
මම කුඩෙත් අරගෙන අනුකව වාහනේට ඇරලවන්න ගියේ හිත දුකකින් ඇදුම් කද්දි. මට මෙච්චරටම අනුක්ගෙන් ඈත් වෙන්න බැරි කමක් දැනෙන්නේ ඇයි. වාහනේට නැගලා අනුක් ආයෙම මගේ ඇස් වලට එබුණා.
"මං ඔයාට ආදරෙයි දුලාරා...ගොඩක් ආදරෙයි. අපි මුණ ගැහෙන හැම වෙලාවකම මම මේක ඔයාට කියයි. ඒකට මට සමාවෙන්න. එහෙම නොකර ඉන්න මම දන්නේ නෑ"
අනුක් කිව්වේ එච්චරයි. මගේ ඇස්වල කඳුලු බලන්න නො ඉඳ ඔහු ඊලඟට වාහනේ පණගන්වලා හෙමින් පිටිපස්සට ගත්තා. මම එතනින් ඈත් වුණා මට ඉහෙනවට. මම ඔහු දිහා බලාගෙන උන්නත් ඔහු මා දිහා බැලුවේ නෑ ආයෙම. ඔහු යන්න ගියා...හිතේ ලොකු දුකක ඉතිරි කරලා.
"අපරාදේ කියන බෑ ලක්ෂෙකින් හොයා ගන්න බැරි ළමයෙක්"
අම්මා කිව්වේ මම ගෙට එද්දි. මම මුකුත් කිව්වේ නෑ ඒකට.
"ඒ වගේ කොල්ලෙක් හම්බවෙන කෙල්ලෙක් හරිම වාසනාවන්තයි" අම්මා එහෙම කියලා සුසුමක් හෙලුවා.
"ම්ම්" මම කිව්වේ ඕනවට එපාවට.
"ලබා උපන් හැටියට නේ හැමදේම වෙන්නේ. හා...දැන් යමු මොනා හරි රෑට උයන්නවත්. තාත්තාත් දැන් මග එනවා ඇති"
අම්මා එහෙම කියාගෙන ගෙට ගියා. මම දැනගෙන උන්නා අම්මා විස්සෝප වෙන්නේ මමයි, භූපයි ගැන කියලා. මට ඒ ගැන තිබ්බේ නොරිස්සුමක්. මොනා නැතත් භූප මට ගොඩක් ආදරෙයි කියලා මම දැනගෙන උන්නා. ඒ සේරටම වඩා ඔහුගේ අසනීපේ, ඔහුට මම නිසා වෙච්ච දේවල්, ඇති කරපු බැඳීම් බලවත් වුණා. කොහොමවත් මට ඔහුව අතාරින්න පුලුවන් කමක් වත් ඕනකමක්වත් තිබුණේ නෑ.

No comments:

Post a Comment