Thursday, January 9, 2014

අවසරයි ලං වෙන්න: තිස්හයවන කොටස



මම ගෙදරටම කොටු වෙලා සතියකටත් වඩා ගතවෙලා තිබුණා. අන්තිමට වුණ සිද්ධියෙන් පස්සේ ගෙදර අය මට කතා කරන එක නතර කරලයි තිබුණේ. මම කාමරෙන් එලියට ගියේ අවශ්‍යම දේකට විතරයි. උදේට අම්මා කෑම එකක් මගේ මේසෙන් ගෙනැත් තියලා යනවා. උදේ දහයාමාරට විතර තේ එකක් අරගෙන ඇවිත්, යන්තම් කටක් දෙකක් කාපු කෑම එකත් අරගෙන යන්නේ කට ඇතුලෙන් මට බැන බැන. දවල්ටයි, හවසටයි වෙන්නෙත් ටිකමයි. මට බඩගිනි නොදැනුනා නෙවෙයි. මම නොකෑවේ මගේ තියෙන හිතුවක්කාරක කමට. හිතේ තිබුණ තරහට. බඩගිනි වුණාම මම කලේ ලොකු වතුර වීදුරුවක් බීලා ඉවසගෙන උන්නු එක.
දවසක් දෙකක් මෙහෙමම ගියාට පස්සේ අම්මා ටිකෙන් ටික මට කතා කරන්න පටන් ගත්තා. ඒත් කිසි වෙලාවක සිද්ධ වුණ කිසිම දෙයක් ගැණ සඳහනක් වත් වුණේ නෑ. තාත්තා කතා නොකරපු එක හිතට පොඩි වදයක් වුණත්, භූප නිසා හිතේ ඇතිවුණ කම්පනය ඊට වඩා බලවත් වුණා. ඊටත් වඩා ආයෙම මට කැම්පස් යන්න දෙන්නෑ කියපු එක මගේ හිත හොඳටම රිද්දලයි තිබුණේ. මම කාමරේම උන්නේ ඒකයි.
අම්මත් වෙනදා වගේ මට ගෙදර අතු ගාන්න අස් පස් කරන්න කිව්වෙ නැහැ. මට කාමරේටම වෙලා ඔහේ ඉන්න ඇරියා මිසක. ගත කරපු මුලුකාලෙම මම කලේ හිස් පොතක් අරගෙන හිතට එන සේරම දේවල් ලියපු එක. කවදාහරි භූප මුණගැහුණ දවසක දෙන්න හිතාගෙන. ඇරුණම හිතුණොත් මම කැම්පස් එකේ දීපු පාඩම් වැඩ මොනවා හරි බැලුව. ඒත් ගොඩ වෙලාවට මම කලේ ඇඳට වෙලා කල්පනා කරමින් උන්නු එක. කොච්චර කල්පනා කලත් මම ඊලඟට කරන්න ඕන මොනවද කියලා මම දැනගෙන උන්නේ නෑ.
සෙනුරි අක්කා දවසක් මාව බලන්න ආවේ ඔන්න ඔය අතරේ. එද්දි මම උන්නේ ජනේලේ ලඟට වෙලා කල්පනා කරමින්.
"නංඟී..."
අක්කගේ හඬ ඇහුණම මම හැරිලා බැලුවා. උනේ දොරකඩ.
"අක්කා...එන්න"
ඇතුලට ආවේ හිනාවක් වත් නැතිව. මූණේ තිබුණේ දුකක්ද , මා ගැන අනුකම්පාවක්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණා.
"මොක්ද කරන්නේ?" ඇහුවේ මගේ මේසේ අසලට එන ගමන්.
"මුකුත් නෑ"
අක්කා සුසුමක් හෙලලා මගේ මේසේ ලඟ තිබුණ පුටුවට බර වුණා.
"මොකද නංඟී මේ වුණේ?" ඇහුවේ හෙමිහිට.
"වෙන්න පුලුවන් නරකම දේ තමා අක්කේ වුණේ" මම කිව්වා ආයෙම ජනේලෙන් එපිට බලාගන්න ගමන්.
"මටත් හිතාගන්න බෑ වුණ දේ ගැන. මම හිතුවේ නෑ ප්‍රශ්ණේ මේ තරම් ලොකුවට ඇදේවි කියලා" සෙනුරි අක්කා කිව්වම මම මුකුත් කිව්වේ නෑ.
"මොනා වුණත් අම්මයි, තාත්තයි ඉන්නේ හොඳටම හිත් රිදිලා" අක්කා එහෙම කිව්වම හිත ටිකක් සැලුණා. මම දිහා බැලුවේ නෙත් කොනකින්.
"දුලිත හැසිරුණේ යකෙක් වගේ කියලා අම්මා මට කිව්වා. දුමාලුත් ඉන්නේ හිත හොඳකින් නෙවෙයි. ඒත් එයා හිතන්නේ ඔයාව කැම්පස් ආපහු නාරින එක මෝඩකමක් කියලා" සෙනුරි අක්කා කිව්වා.
මම අහගෙන උන්නා විතරයි.
"මම දන්නවා ඔයත් ඉන්නේ ගොඩක් හිතේ අමාරුවෙන් වග. ඒත් මෙහෙම හිතුවක්කාර වෙන්න ගියොත් ඔයාට මොනවත්ම කරගන්න වෙන්නේ නෑ නංඟි"
"මට කිව්වේ කාමරෙන් එලියට බහින්න එපා කියලා. ඉතිං මම එලියට බහින්නෑ" මම කිව්වේ ආයෙම හිතේ නැගීගෙන ආපු හිතුවක්කාර සිතුවිලි නිසා.
"ඔයා හරි මෝඩයි. මෙහෙම හිටියම ප්‍රශ්ණ විසඳෙනවද? අම්මලාට තවත් තරහ යන එකයි වෙන්නේ. අනික ඔයා අනුන්ගෙන් පලිගන්න ගිහින් අන්තිමට පලි ගන්නේ ඔයාගෙන්මයි. ඔයාට ආපහු භූපව ඕන නම් ඔහොම ඉඳල පුලුවන්ද?"
අක්කා එහෙම ඇහුවම මම දිහා බැලුවේ පොඩ්ඩක්විතර පුදුමෙකින්.
"මම වෙන මොනා කරන්නද? මට ගෙදරින් එලියට බහින්න දෙන්නෑ. කැම්පස් යන්න දෙන්නෙත් නෑ. පිට කිසිම කෙනෙක් හම්බවෙන්න දෙන්නෑ. මම ඉන්නේ හිරකාරියක් වෙලා. ඉතිං මට මොනාද කරන්න පුලුවන්?" මම ඇහුවේ ආවේගශීලීව.
"ඔහොම හිතුවක්කාර වුණොත් දිගටම වෙන්නෙත් ඒක. එහෙම නෙවෙයි නංඟි. පොඩ්ඩක් අම්මලා එක්ක කතා කරන්න. එයාලා කියන දේත් අහන්න. ඔයා හොඳට හිටියොත් ඔයාට පුලුවන් වෙයි කවදාහරි ඒගොල්ලන්න්ට තේරුම් කරලා දෙන්න, ඔයා එක හිතක් තියෙන කෙල්ලෙක් කියලා. ඔයා ආදරේ භූපට කියලා" අක්කා මට කිව්වා.
කියපු කතාවේ ඇත්තක් නොතිබුණාම නෙවෙයි. ඒත් මගේ හිතුවක්කාර හිත ඒක පිලිගන්න මැලි වුණා.
"මම ගැන තව හිතන්න ඕන. මගේ හිත තියෙන්නේ හොඳටම කැඩිලා අක්කේ. හිතේ කිසිම හැඟීමක් නෑ දැන් දුකක් ඇරෙන්න. මගේ හිත වාවන්නේ නෑ භූප මතක් වෙද්දි. එදායින් පස්සේ එයාට මොනා වුණාද කියලාවත් මම දනෑ...ඉතිං මම කොහොමද හිත හදාගන්නේ?" මම අක්කගෙන් ඇහුවේ ඇස් දෙකට කඳුලු පිරෙද්දි.
අක්කා මා දිහා බලාගෙන උන්නේ දුකකින්.
"භූප කරදරයක් නැතුව ඇති නංඟි. මට ආරංචි විදියට එයා එදා ඉරිදම ගෙදරින් ගිහින් කැම්පස් යන්න" අක්කා එහෙම කිව්වාම මම ලඟට වුනේ විදුලි වේගෙන්.
"ඔයාට කවුද කිව්වේ?" මම ඇහුවා.
අක්කා බෙල්ල හරවලා කාමරේ දොර දිහා බැලුවේ කවුරු හරි එයිද කියලා වගේ.
"මට සඳුදා...කේතකීව හම්බවුණා" අක්කා ඊට පස්සේ කිව්වේ රහසින්.
"ඉතිං...එයා මොනවද කිව්වේ?" මම ඇහුවේ නො ඉවසිල්ලෙන්. මගේ හදගැස්මත් වැඩි වෙලා තිබුණේ දැනුන කුතුහලය හින්දම.
"භූප ඉරිදම ගෙදරින් ගිහින්. අම්මයි තාත්තයි දෙන්නම භූපට නොසෑහෙන්න දොස් කිව්වලු. මම හිතන්නෑ ආයෙම නැන්දලා අපේ මූණවත් බලයි කියලා. එයාලගේ හිත් හොඳටම රිදිලා වෙන්න ඇති. භූප කේතකීට කියලා ගියේ කැම්පස් යනවා කියලලු. ඊට පස්සේ ආරංචියක් ඇවිත් නෑ. කේතකී හිටියෙත් බය වෙලා වගේ. ඒත් එයා කිව්වා භූප ගියේ අවුල් වෙලා නෙවෙයි කියලා. කේතකී හිතන්නේ භූප කොහොමහරි උත්සාහ කරලා දියුණු වෙලා, ඔයාව කවදාහරි ලබා ගනී කියලා. මටත් හිතෙන්නේ එහෙමයි නංඟි"
අක්කා විස්තරේ කියද්දි මගේ ඇස් වලින් කඳුලු පිට පැන්නා. එක්කම අක්කා ගැනත්, කේතකී ගැනත් මට දැනුනේ ලොකු ආදරයක්.
"ඔයාට පිං සිද්ධ වෙනවා අක්කේ මට මේක කිව්වට" මම කිව්වේ කඳුලු පිහින ගමන්.
"දැන් නාඬා ඉන්නකෝ. හොඳ කෙල්ල වගේ කාමරෙන් එලියට ගිහින් වෙනදා වගේ ගේ දොර අස් පස් කරලා, හවසට මල් පහන් පත්තු කරලා ඉන්න බලන්න. එතකොට ඔය හැමෝගෙම හිත් ආපහු හරියයි. මම දුමාල්ට කියන්න බලන්නම් ආයෙම ඔයාව කැම්පස් යවන්න අම්මලව කැමති කරගන්න කියලා.  හරිද?" අක්කා ආයෙම කිව්වා.
මම කඳුලු පිරුණ ඇස් වලින්ම හිණා වෙලා හිස වැනුවා. දවස් ගාණකට පස්සේ හිතට පොඩි අස්වැසිල්ලක් දැනුනේ මට එදා.
ඒත් සහනය තිබුණේ පහුවදා හවස වෙනකල් විතරයි. මම බලාපොරොත්තු නොවුණ විදියට චේතිය එදා අපේ ගෙදර ආවා. එවෙලේ මම බුදු පුදට මල් ටිකක් කඩාගෙන ගෙට ආවා විතරයි.
"මල් ටික මෙහාට ගෙනාවනං දෝණි අපටත් අතගහන්න" මම මල් පීරිසිය අරගෙන යද්දි කන්තෝරු කාමරේ ඉඳන් සාලෙට ආපු තාත්තා කිව්වා. මම මල් ‍ටික අරගෙන ගියේ හිතේ පොඩි වරදකාරී හැඟීමක් උත්සන්න වෙලා උගුර රිදුම් දෙද්දි.
"දෝණිට පුලුවන්ද මල් පූජා කරලා ඉවර වෙලා මට කහට එකක් හදලා දෙන්න?"
තාත්තා එහෙම ඇහුවාම මට ඔහුගේ මූණ දිහා බැලුණා. ඇස් වලතිබුණේ කරුණාවක්. මගේ උගුර තවත් රිදුම් දෙද්දි මම හිස වනලා එන්නා ආවා.
ඒත් මල් පූජා කරලා ඉවරවෙන්නත් කලින්ම මට ඇහුණා මිදුල දිහාවෙන් වාහනයක හඬ. මම වැඳලා ඉවර වෙලා සාලෙට එබෙද්දි ගෙට ආවේ චේතිය. මගේ හිත කඩාවැටුණා. මේ තරම් ප්‍රශ්ණයක් වෙලා තියෙන වෙලේ මට  මුණ ගැහෙන්න ඕනම නැති වුණ කෙනා චේතිය. මම සේරම දමලා ගහලා කාමරේට වැදුනේ චේතිය මාව දකින්න කලින්. දොර අඩවන් කරලා ඒත් මම ඇහුම්කන් දීගෙන උන්නා අම්මලා චේතිය එක්ක කතා කරන්නේ මොනවද කියලා.
"අපි හිතුවා පුතා ආයෙම මේ පැත්තේ එන එකක්වත් නෑ කියලා" මට යාන්තම් ඇහුණේ අම්මගේ කටහඬ.
"පිස්සුද ඇන්ටි, ඔය පොඩි පොඩි දේවල් මම තරම්  ගණං ගන්නේ නෑ. ඒක නෙවෙයි කෝ දැන් දුලාරා?" චේතියගේ හඬ.
"ඔය ඉන්නේ කාමරේට වෙලා" ආපහු උත්තර දුන්නේ අම්මා.
"මට...දුලිත කිව්වේ මෙහේ වෙච්ච සේරම. ඒත් මොනා වෙලා හරි ඔය දේවල් ඔහොම විසඳිච්ච එක හොඳයි. කාලයක් යද්දි දුලාරා වුණත් හිත හදා ගනී" චේතිය එහෙම කියනවා ඇහුණම මට ඔහු ගැන දැනුනේ කෝපයක් එක්කම පිලිකුලක්. 'තමන්ගේ අදහස ඉෂ්ඨ කරගන්න කාගේ වුණත් හිත රිද්දන එක සාධාරනීකරණය කරන්න මේ මිනිහට පුලුවන් හැටි?'
"අනේ මන්දා ළමයෝ...මේ ළමයා වෙන කවරදාටත් වඩා දැන් හිතුවක්කාර වෙලා. කන්නේ බොන්නෙත් යලට මහට. මදිවට කාමරෙන් එලියට ආවෙත් ඔන්න අද" අම්මා.
"කොහොමටත් ඔය වගේ දෙයක් එක පාරටම වුනාම කාට වුණත් හිත හදාගන්න අමාරුයි නෙව. නතර කරන්න කියනවා ඇරෙන්න ළමයට බල කරන්න, ගහන්න බනින්න අපට බෑනෙ " මට ඇහුණේ තාත්තගේ හඬ. මොනා කිව්වත් තාත්තා තාමත් මගේ පැත්තෙනුත් හිතනවා කියලා මට හිතුණා.
"එහෙමයි කියලා නොගැලපෙන දෙවල් කරන්න දෙන්න පුලුවන්ද?" අම්මා.
"නොගැලපෙන දෙයක් වත්, ළමයා අකමැති දෙයක්වත් කරන්න අපට ඉඩ දෙන්න බෑ" එහෙම කිව්වේ තාත්තා. මම චේතියට අකමැති බව ඔහු දන්න නිසාද?
"මේ ප්‍රශ්ණ හෙමිහිට දියාරු වෙලා යද්දි දුලාරගේ හිත හරි යයි" චේතිය කිව්වා.
"මට දුක මේළමයගේ ඉගෙනීම ගැන. අර බමුණා එතන ඉන්න නිසා නේ මේ සේරම. මේ ලමයා නොයවත් බෑ. යවලත් බෑ" අම්මා කියනවා මට ඇහුණා.
"අන්න ඒකත් මම කතාකරන්න ආපු එකක් අන්කල්. භූප ඉන්නවයි කියලා හිතලා දුලාරව කැම්පස්නොයවන එක මහා මෝඩකමක්. ලංකාවෙන්ම කී දෙනාද ඔය කැම්පස් යන්න තේරෙන්නේ? එහෙම තේරුණාට පස්සෙත් දුලාරගේ ඉගෙනීම මේ විදියට කඩාකප්පල් වෙන්න දෙන එක හොඳ නෑ නේද?" චේතිය එහෙම කිව්වේ දැනමුත්තෙක් වගේ.'මගුල තමයි' මම මටම කියාගත්තේ නොරිස්සුමින්.
"අපි වෙන මොනා කරන්නද? මේ ලමයා ඉන්නේ හොස්ටල්. ඉතුරු වෙලාව කැම්පස් එකේ. භූප ඉන්නේත් පීඨේමයි. හවසට යන්නේ, උදේට එන්නේ තනියෙම. අපි ගිහින් ඔව්ව බලාගෙන ඉන්නද? නැත්තම් අපි ගෙයක් අරන් එහේ යන්නද? මේ ළමයා අරූ එක්ක පැනලාවත් ගියොත් හෙම. හිතද්දිත් මගේ සරුවාංගෙම වෙව්ලනවා" එහෙම කියාගෙන ගියේ අම්මා.
මට අම්මා එක්ක දැනුන නොරිස්සුම වැඩි වුණා.
"පැනලා යන එක කෙසේ වෙතත් සම්බන්ධේ නතර කරන්න බැරි වෙයි ඔය තත්වේ යටතේ" තාත්තා කිව්වා.
"මට දුලිත ඔය ගැනත් කිව්වා. ඇන්ටිලා ගැන හිතන්න ඕන නෑ බය වෙන්නත් ඕන නෑ. මට පුලුවන් ඒකට වෙන විදියක් ලෑස්ති කරලා දෙන්න. මම ගැන විස්තර ඇතුව පස්සේ කියන්නම්කෝ. ඊට කලින්, කමක් නැත්තම් මම පොඩ්ඩක් දුලාරට කතා කරන්නද?"
චේතිය එහෙම අහනවා ඇහුණම මගේ පපුව දිඩි දිඩි ගාලා ගැහෙන්න ගත්තා. මම ඇඳ දිහාවට ගියේ ඒකයි.  පොඩි අයියා එදා මගේ දොරේ අගුලත් ගලවලා දාපු හන්දා දොර ලොක් කරන්න විදියකුත් මට තිබුණේ නෑ. මම දොරට පිටුපාලා ඇඳේ ඇල වුණේ මට නින්ද ගිහින් වග පෙන්නන්න. ටිකකින් මට ඇහුණා චේතිය කාමරේට එන සද්දේ.
"දුලාරා නිදි වගේ නේද?"
"නිදි? මේ දැන් ඇහැරලා ඉන්නවා මම දැක්කනේ" අම්මත් කාමරේට ඇවිත් උන්නු වග මම දැනගත්තේ එවෙලේ.
"එහෙමද?"
"පුතා කතාකරන්නකෝ. නින්ද ගිහින් නැතුව ඇති තදේට. මම තේ ටිකක් හදාගෙන එන්නම්"
මට ඇහුණා අම්මා යන සද්දේ. එක්කම මගේ හද ගැස්ම තව වැඩි වුණේ චේතිය මා ලඟට එන වග දැනිලා.
"දුලාරා" ඊලඟ මොහොතේ මට ඔහුගේ හඬ ඇහුණේ ලඟින්ම. මම ඇස් පියාගෙනම උන්නා.
"දුලාරා" ඊලඟට චේතිය කතා කලේ මගේ හිස අතගාලා.
මම ගැස්සිලා වගේ කෙලින් වුණෙත්, පුලුවන් තරම් ඔහුගෙන් ඈතට වුණෙත් එකවිටම වගේ.
"ඔයා බය වුණාද?" චේතිය ඇහුවේ හිණාවක් පාලා.
"ඇයි මෙහාට ආවේ?" මම ඇහුවේ නිර්දය විදිහට.
චේතිය උත්තරයක් නොදී හිනාවෙලා මගේ මේසේ ලඟ තිබ්බ පුටුව ඇඳ ලඟට ඇදගෙන වාඩි වුණා. මම ඇඳේ අනික් කෙලවරට ගියේ ඔහුගෙන් ඈත් වෙන්න.
"දැන් අඩව් කස්තිරම් සේරම අල්ලලා ඉවරද?" චේතිය බෙල්ල හරවලා මා දිහා බලලා ඇහුවා.
"ඇයි අතිජාත මිත්‍රයා කිව්වේ නැද්ද විස්තර?" මම ඇහුවා අවඥාසහගත විදියට.
"මට කාගෙන්වත් එන විස්තර වැඩක් නෑ. මට විස්තරේ දැනගන්න ඕන ඔයාගෙන්" චේතිය කිව්වේ හිනාවෙන ගමන්මයි.
"කේලම් සේරම කියලා, අයියව අවුස්සලා, සේරම ප්‍රශ්ණ ඇති කරලා දැන් එන්වද විස්තර අහන්න. ඕවා මහා පව්කාර වැඩ චේතිය" මම කිව්වා.
""ඔයා මොනවද මේ කියන්නේ? මම කාටද කේලම් කිව්වේ? මම දන්නෑ ඔයා කොහොමද මට මෙහෙම චෝදනා කරන්නේ කියලා. අහන්න...මම මොනා හරි කලා නම් කලේ ඔයාගෙත්. පවුලෙත් සේරගෙම හොඳට"
"නිකං බොරු කියන්න එපා චේතිය. මේ සේරම ඔයා කලේ තමගේම වාසියට. වෙන දේකට නෙවෙයි" මම කිව්වේ තරහෙන්.
"දුලාරා මම මොකටද එහෙම දෙයක් කරන්නේ. මම දන්නවා ඔයා දවසක මට කැමති වෙනවා. ඒක මට විශ්වාසයි. නිසා මට එහෙම කරන්න ඕන කමක් නෑ"
මට පාර හොඳටම කේන්ති ගියා. මම ඇඳෙන් නැගිට්ටේ එකයි.
"ඔයාගේ මොලේ කොලොප්පන්. හිතන්න එපා ඔය මොනා කලත් මම කැමති වෙයි කියලා. මේ ලොකේ ඉතුරු වෙලා ඉන්න අන්තිම මිනිහා ඔයා වුණත් මම කැමති වෙන්නේ නෑ, නෑ , නෑමයි" මම කිව්වේ කෑ ගහලා වගේ.
"එහෙමද? හොඳයි අපි බලමු. තාම මගේ කතාව ඉවර නෑ දුලාරා. කරුණාකරලා වාඩි වෙන්න” චේතිය කිව්වේ පොඩ්ඩක් වත් කලබල නොවුණු ගාණට. ඒත් මම හිටගෙනම උන්නේ අත් දෙකත් බැඳගෙන.
"දුලාරා මේ අහන්න. ඔයා කෑ ගැහුවා කියලා, මට දොස් කිව්වා කියලා වුණ කිසිම දෙයක් වෙනස් වෙයි කියලා ඔයා හිතනවද? ඔයාගේ මේ සම්බන්ධේ ගැන කවදා දැනගත්තත් ඔයාගේ අම්මලා අකමැති වෙනවා. ඒකට මම පලි වෙන්නේ කොහොමද?  ඔයා හරි නම් මට ස්තුතිවන්ත වෙන්න ඕන, මම ආයෙම ඔයාට කැම්පස් යන්න ඉඩ හදලා දෙන්න  යන නිසා. ඔයාට කැම්පස් යන්න ඕන නැද්ද දුලාරා? ඕන නැත්තම් මට ප්‍රශ්ණයක් නෑ"
" පාර මොනාද කරන්න හදන්නේ?"
"මට පුලුවන් අම්මලව කැමති කරගන්න, ආපහු ඔයාව කැම්පස් යවන්න. දුලිත නම් මම කියන විදියට කැමතියි. ඒත් ඔයාට ඕන නැත්තම්..."
"හිතනවද මම කැම්පස් ගියොත් භූපව හම්බ නොවී ඉඳීවි කියලා?"
මම එහෙම ඇහුවම චේතිය මගේ මූණ දිහා බලාගෙන උන්නා ටික වෙලාවක්. ඊට පස්සේ ඔහු  සුසුමක් හෙලලා අනික් පැත්ත හැරුණා.
"මේ වැඩේ හරියන්නේ නෑ. ඔයා මම කොච්චර මොනා කිව්වත් වැඩක් නෑ. ඔයාට මේවා තේරෙන්නේ නෑ දුලාරා. මම ඔයාගේ හිත රිද්දන්න ආස නෑ. ඒත් මට මේක කියන්න වෙනවා. ඔයාට ඇත්ත හරි විදියට දකින්න" චේතිය කිව්වේ නිවුණ හඬකින්.
"මොකක්ද පාර කියන්න යන්නේ?"
"ඔයා හිතනවද මේ වෙච්ච දේවල් වලින් පස්සේ භූප ආපහු ඔයාට ආදරේ කරයි කියලා?" චේතිය එහෙම කියද්දි මම ඔහු දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන.
"මොකක්?"
"ඔයා හිතවද භූප ආපහු එයි කියලා?" චේතිය එහෙම ඇහුවම හිතේ ඉපදුණේ බයක්. මම චේතිය ලඟට දුවලා ගියා.
"ඔයා මොනාද භූපට කලේ? මොනාද මගේ භූපට කලේ?" මම ඇහුවේ හැඬුම්බරව.
"මම...මම ඇයි එයාට මොනවත් කරන්නේ? මම කිසි දෙයක් කලේ නෑ දුලාරා. ඔයා හිතනවද මම එච්චරම පහත් මිනිහෙක් කියලා? දුලාරා මාත් ආදරේ කරන කෙනෙක්. ඔයා වගේම" චේතිය කිව්වා.
මම මූණ දිහා බලාගෙන උන්නේ මොනවත් තේරුම් ගන්න බැරිව.
"මම දන්නවා ඔයා මේක විශ්වාස කරන්න අකමැති වෙයි. ඒත් කවදාහරි අපට ඇත්ත පිලිගන්න වෙනවා. භූප ආයෙම කවදාවත් මේ සම්බන්ධේ පටන් ගන්න එකක් නෑ. එයා ඉන්නෙ සෑහෙන කලකිරීමකින්. ඔව්...මට එයාව හම්බවුණා. නුවරදි. එයාටයි, ගෙදර අයටයි වුණ අවමානේ හන්දා එයා ඉන්නේ දුකෙන්, කලකිරීමකින්. එයා හිතනවා ඔයාට ඔයාගේ පාඩුවේ ඉන්න අරින එකයි හොඳම දේ කියලා. අනික එයා කැමති නෑලු ඔයාගේ දෙමව්පියන්ගේ හිත් රිද්දන්න" චේතිය කියාගෙන යද්දි මම අහගෙන උන්නේ කන් දෙක අදහාගන්න බැරිව.
"ඔයා කියන්නේ බොරු. මගේ භූප කවදාවත් එහෙම කියන්නේ නෑ.. එයාට එහෙම කරන්න බෑ. එයා මට ආදරෙයි. එයා පොරොන්දු වුණා ආපහු එනවා කියලා" මම කියාගෙන ගියේ පිස්සියක් වගේ.
චේතිය මා දිහා බලාගෙන උන්නේ දුකකින් වගේ.
"මම ඇයි ඔයාට බොරු කියන්නේ?"
"ඔයාට මාව ඕන නිසා. ඔයාට ඕන අපේ සම්බන්ධේ බිඳලා දාලා මාව අයිති කරගන්න" මම කිව්වේ චෝදනාත්මකව.
"දුලාරා...දුලාරා...මට ඔයාව ඕන වග ඇත්ත. මම ඔයාට ආදරේ වගත් ඇත්ත. ඒත් මට ඔයාව බලෙන් ලබාගන්න පුලුවන්ද? මට ඒක කරන්න බෑනෙ. එහෙම කරන්න මට ඕනත් නෑ. මම කියන්නේ භූප මට කියපුවා"
"මට ඒක විශ්වාස කරන්න බෑ" මම කිව්වේ ඇස් වලින් කඳුලු වැටෙද්දි.
"හරි. ඔයා ගාව තියෙනවද භූපගේ ෆෝන් නම්බර් එක? ඔයාම කෝල් කරලා බලන්න. මෙන්න මගේ ෆෝන් එක"
චේතිය බොහොම විශ්වාසෙකින් වගේ මට ඔහුගේ ෆෝන් එක දුන්නා. මම මොහොතක් ඔහු දිහා බලාගෙන උන්නේ කරන්න දෙයක් හිතාගන්න බැරිව. ඒත් ඊටපස්සේ මම ඒක අතට ගත්තේ ගැහි ගැහී. ඒත් මට මේ කියපු කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඕන වෙලා තිබුණා. මම චේතිය දිහාත් බල බල ෆෝන් එකේ භූපගේ නොම්මරේ එබුවා.
එහා පැත්තෙන් මට ඇහුණා ෆෝන් එක rings යන හඬ. ඒත් භූප ඒක ඉස්සුවේ නැහැ. මම ආයෙම පාරක් dialකලා. ඒත් ෆෝන් එක rings ගියා විතරමයි. ඇඬෙන්න ආපු නිසා මම තොල හපාගෙන call එක කට් කලා.
"answer කරන්නේ නැද්ද?" චේතිය මා දිහා බලලා ඇහුවා.
මම උත්තරයක් නොදී ආපහු ෆෝන් එක ඔහු දිහාට දික් කලා.
"ඔයා දැන්වත් මාව විශ්වාස කරනවද?" චේතිය ඇහුවා.
ඒත් ඒකට උත්තරයක් මම දැණගෙන උන්නේ නෑ. භූප ඇත්තටම උන්නේ හදිසියක නම්?
"ඔයාට තාමත් මාව අවිශ්වාස නම් කැම්පස් ගිහිල්ලම බලන්න. මම දන්නවා ඔයා දැන් ඉන්නේ ලොකු දුකකින් කියලා. මේක මෙහෙම කියන්න වෙච්ච එක මටත් දුකක්. මොකද ඔයා දුක් වෙනවා බලන්න මම ආස නැති නිසා. ඒත් ඇත්ත කවදා හරි ඔයා දැනගන්න ඕන නේ දුලාරා. දැන්වත් හිත හදා ගන්න"
චේතිය කිව්වේ මගේ හිස අතගාලා.
ඊටපස්සේ ඔහු යන්න ගියා. මම එහෙමම බිම ඉඳගත්තා. වෙච්ච දේ මට දැනුනේ හීනයක් වගේ. මගේ හිත තාමත් මට ඇහුණ දේ විශ්වාස කරන්න ලෑස්ති වුණේ නෑ. නිසාම මම නැගිටලා සාලේ තිබුණ land phone එක ලඟට දුවලා ආයෙම භූපගේ නොම්මරේ එබුවා. සාලේ උන්නු අම්මලා මා දිහා බලාගෙන උන්නේ පුදුමෙන්.
"ඔබ ඇමතූ ඩයලොග් දුරකථනයෙක් ප්‍රතිචාරයක් නොමැත. කරුණාකර පසුව අමතන්න" එහා පැත්තෙන් ඇහුණේ එහෙම. මම ආයෙම තුන් හතර පාරක් ඩයල් කලත් වැඩක් වුණේ නෑ. 'භූප ෆෝන් එක ඕෆ් කරලා'
මම receiver එක තියලා තිබුණ කවිච්චියේ වාඩි වුණේ කඳුලු වරුසාවක්ම ඇස් වලින් ගලද්දි. එවෙලේ අම්මා එතනට දුවගෙන ආවා.
"ඇයි මගේ රත්තරනේ මේ?" අම්මා ඇහුවේ බය වෙලා වගේ, මා ලඟින් වාඩි වෙන ගමන්.
ඒත් මුකුත්ම නොකියා මම අම්මව බදාගෙන අඬාවැලපුණා විතරයි. ඒත් හිත තව තවත් භූපට බැඳුණා විතරයි. මොකද ආයෙම කවදාවත් කිසිම කෙනෙක්ට වගේ ආදරේ කරන්න මට බැරි හන්දා. මට එවෙලේ දැනුනා මම කොච්චර නම් භූපට ආදරේ කලාද කියලා. මේ වුන දේ පිලිගන්න හිත කොහොමවත්ම ලෑස්ති වුණේ නෑ. ඒත් මම අහපු දෙවල් බොරු වෙන්න පුලුවන්ද? ජීවිතේ සමහර දේවල් කොච්චර නම් ඉක්මණින් වෙනස් වෙනවද කියලා මට හිතුණා. මේ තරම් කෙටි කාලෙකදි මෙච්චර දුකක් මගේ ජීවිතේ වෙලා ගනීවි කියලා මම හීනෙකින් වත් හිතලා තිබුණේ නෑ. මම ආදරේ කලේ කොච්චර නම් බලාපොරොත්තු පොදි බැඳගෙනද? කොච්චර හීන මවාගෙනද. ඒත් එක මොහොතක පොඩි දේකින් පස්සේ සේරම තිබුණේ කණපිට හැරිලා. අන්තිමට හම්බවුණ දවසේ මගේ තොල් පෙති ඉඹලා මාව කවදාවත් දාලා යන්නේ නෑ කියපු භූප  එහෙම දෙයක් කියාවි කියලා මට කොහොමවත් හිතන්න බැරි වුණා. ඒත් චේතිය මට කිව්වේ බොරුවක් නම්, ඔහු ඇයි මට භූපට කතා කරන්න කියලා ෆෝන් එක දෙන්නේ? මේ සේරම හිතද්දි මගේ මුලු හිතම තිබුණේ අවුල් වෙලා. හිත වාවන්න බැරි වුණේ මම මගේ මුලු ආත්මයෙන්ම භූපට ආදරේ කරපු හන්දා.  මට එවෙලේ වෙන මොනවටත් වඩා ඕන වුණේ භූපව දකින්න. ඔහුට කතා කරන්න. ඒත් කරන්න බැරිම වුණ දේත් එක. නිසා මට ඕන වුණා මොන ක්‍රමේකින් හරි ආපහු කැම්පස් එකට යන්න. ඒත් ඒක වුණත් මට කරන්න අවසර තිබුණ දෙයක් නෙවෙයි. නිසා මට දැනුනේ මහා අසරණ කමක්.

3 comments:

  1. භූප ගියේ අවුල් වෙලා නෙවෙයි කියලා. කේතකී හිතන්නේ භූප කොහොමහරි උත්සාහ කරලා දියුණු වෙලා, ඔයාව කවදාහරි ලබා ගනී කියලා.

    hmm... mekata thamai eththa adare kiyala kiyanne.

    ReplyDelete
  2. තමන්ගේ දෙමව්පියන්ට ඒ වගේ අපහාසයක් උනාම ඕනෑම කෙනෙක් මානසිකව ගොඩක් වැටෙනවා .

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete