Saturday, January 25, 2014

අවසරයි ලං වෙන්න: හතලිස් හතරවන කොටස



"කෙකටිය යායේ පිණිපොද පිපිලා ආන් බලන් කදිමා....
සිරි සිරි  නාදෙන් සරනා වැහිපොද මන බඳිතෙයි බෝමා....
නුඹ සිහිවෙයි පෙර සේමා..."
අනුක්ගේ කාර් එකේ රේඩියෝ එකෙන් ගීතය ඇහෙද්දි, කල්පනාවකට සමවැදිලා උන්නු මගේ හිත විසිරෙනවා වගේ මට දැනුනා. චන්ද්රලෙකා පෙරේරා ගායිකාවගේ ලස්සන කටහඬට මම කවදත් ආස කලා. ඒත් හිත විසිතුනේ නිසා නෙවෙයි. ගීතයේ පදපෙල මට ගම මතක් කරපු නිසා. ගම ඉස්මත්තේ තියෙන පොඩි වැවේ, මමයි, කේතකීයි, අයියලයි පොඩි කාලේ කෙකටිය කඩපු හැටි මගේ මතකෙට ආවේ ඉබේටම. උයලා කන්න ආස එක කෙසේ වෙතත් ඒවා කඩන්න තමයි කාලේ අපි ගොඩක්ම ආස කලේ. දවස් වල භූප අපි දෙන්නට තමන්ගේ පංගුවත් එක්ක දෙන හැටි මට මතක් වුණේ හිතේ දුක ආපහු අවදි වෙද්දි. කාලෙත් ඔහු මට ආදරය කරන්න ඇද්ද?
හිතේ දුකට උගුර රිදුම් දෙද්දි මම ජනෙල් වීදුරුවෙන් එපිට බලාගත්තේ ඇස් වලට ආපහු කඳුලු උනපු නිසා. කැම්පස් යමින් උන්නත් මම දැනගෙන උන්නේ නෑ මට ගිහින් ඉගෙන ගන්න තරම් මානසිකත්වයක් එහෙදි තියෙයිද කියලා. හැම අඟලකම මගෙයි භූපගෙයි මතක සටහන් ඇඳිලා තියෙද්දි, ඒවා බල බල කොහොමඉන්නද, නොදැක්ක ගානට ඉන්න හිත හදාගන්නේ කොහොමද කියලා මට තේරුණේ නෑ. මම කැම්පස් යමින් උන්නේ මට වෙන කරන්න දෙයක් නැති නිසා. භූපගේ අතක දැවටිලා, ඔහේ කියව කියව ඇවිදපු දවස්, නිදිබර් අඇස් වලට එබීගෙන ආදරේ අහපු දවස්, ඔහු මාව සිප ගත්තු සුන්දර මොහොතවල් හිතේ ඇඳිලා මැකිලා ගියේ හරියට හීනයක් වගේ.
"දුලාරා..." අනුක්ගේ හඬ මාව ආයෙම වර්තමානෙට ඇදගෙන ආවා.
"..."
"මොනවද කල්පනා කරන්නේ?" අනුක් ඇහුවා.
"මුකුත් නෑ"
"නැත්තේ මොකද? මේ දවස් ටිකේම බැලුවොත් ඇත්නම් ඔයා කල්පනාවක. ඔච්චර මොනද හිතන්න තියෙන්නේ?"
"හිතන්න දේවල් කොච්චර තියෙනවද" මම කිව්වා.
"ඒක නම් මම දන්නෑ. ඒත් එක දෙයක් නම් මට තේරෙනවා"
"මොකක්ද?"
"ඔයා අපේ ගෙදර ඉන්නේ සතුටින් නෙවෙයි කියලා" අනුක් එහෙම කිව්වම මට දැනුනේ පසුතැවිල්ලක්.
මට මෙච්චර හොඳින් සලකන මේ ගෙදර අයට මගේ මේ හැසිරීම හන්දා මොකක් හරි හිත් වේදානාවක් කරදරයක් වෙන්න ඇත්දෝ කියලා.
"අනේ එහෙම දෙයක් නෑ අනුක්"
"එහෙනම්...ඔයාට ගෙදර මතක් වුණාද?"
ලේසිම දේ වුණේ ඔහුට එහෙමම හිතාගන්න අරින එක. මම යන්තම් හිස වැනුවේ ඒකයි.
"මං දන්නවා... ඔයාට අපේ ගෙදර ඉන්න පාලුත් ඇති ඔය නොකිව්වට. ගෙදරත් මහා විසාලයි, දවල්ට කට්ටියත් නෑ. නේද? අක්කිලා එයාලගේ වැඩ වලට ගියාම අපේ ගෙදර පාලුයි තමයි. වෙලාවකට මටම එපා වෙනවා. ඒකනේ මම ඔය weekends වලත් එක එක වැඩ හොයාගෙන පිට ඉන්නේ. කොහොමත් අම්මා නැති වුණාට පස්සේ ගෙදර පුදුම විදියට පාලු වුණා..."
අනුක් අන්තිම ටික කිව්වේ හෙමින්. මට ඔහු ගැන උපන්නේ දුකක්. ගෙදර අනික් අය අනුක්ගේ අම්මා නැති වුණ එක ගැන මා එක්ක කතා කරලා තිබුණත්, අනුක් මා එක්ක ගැන කතාකරපු පලවෙනි දවස වුණේ අද. ඒත් ඔහුට මොනා කියන්නද කියලා මට තේරුණේ නෑ.
"අම්මා ඉද්දි කවුරු නැතත් ගෙදර තිබ්බේ පිරිලා වගේ. මම කීයට ආවත් අම්මා හිටියා මම එනකල් බලාගෙන..." එහෙම කියලා අනුක් යන්තම් හිනාවුණා." දවස් තාම මට හරියට හීනයක් වගේ. අම්මා නැති වුණාට පස්සේ අප්පච්චි වුනත් ගෙදර වැඩිය හිටියේ නෑ. ඉතිං ගෙදර එහේමම පාලුවට ගියා. මම දන්නවා ඔයාට ගෙදර මතක් වෙද්දි හිතෙන්නේ කොහොමද කියලා. කොච්චර වුණත් අම්මයි , තාත්තයි එක්ක ඉන්නවා වගේ නෑනෙ නේද?" අනුක් ආයෙම කිව්වා.
මම ඔහු දිහා බැලුවේ ඔහු ගැන උපන්න දුකකින්. ඔහු එක පාරක් මා දිහා බලලා හිනාවෙලා ආපහු ඉස්සරහ බලාගත්තා.
"ඔයාලගේ අම්මා තරම් ඉක්මණට ඔයාලව දාලා ගිය එක ගැන මටත් හරි දුකයි අනුක්. ඒත්...අපි අරං එන ආයුෂ ඉවරවුණාම අපට යන්නම වෙනවා. කොච්චර ආමරු වුණත් අපි ඒක තේරුම් ගන්න එපැයි. ඔයාගේ අම්මා හොඳ තැනක ඉපදිලා ඇති අනුක්. සංසාරේ කවදාක හරි ආයෙම අම්මව ඔයාට මුණගැහෙයි" මම කිව්වේ අනුක්ගේ හිත සනසන්න.
අනුක් ආයෙම හිනාවෙලා මා දිහා බැලුවා.
"ඔයා පුනරුත්පත්තිය විශ්වාස කරනවා එහෙනම්?"
"අනේ ඔව්...අපේ නෑයෝ වෙන්නේ, යාලුවෝ වෙන්නේ අපට සංසාරේ කලින් මුණගැහිලා අපි එක්ක නෑයෝ වෙලා, යාලුවෝ වෙලා උන්නු කට්ටිය කියනවනේ" මම මතක් වුණ දෙයක් කිව්වා.
"හ්ම්. ඔය හිතනවද අපි දෙන්නත් ඉස්සර භවයක නෑයෝ වෙලා හරි, යාලුවෝ වෙලා හරි ඉන්න ඇති කියලා?" අනුක් ඇහුවා.
"ඔව්. නැත්තම් ඉතිං අපි මේ භවයෙදිත් මෙහෙම හිතවත් වෙන්න හම්බවෙන එකක් නෑනෙ නේද?" මම ඇහුවා.
"හ්ම්...එහෙම බැලුවොත් ඇත්තටම අපි මේ භවයෙදි අපෙන් දුරස් වෙලා යන අය ගැන දුක් වෙන්න ඕන නෑ වගේ. මොකද ආයෙම භවයකදි එයලව අපට හම්බවෙන්න පුලුවන් නේ" අනුක් කිව්වා.
"අපෝ...එහෙම හිතන්න හොඳ නෑ. අපි උත්සාහ කරන්න ඕන ජීවිතේ තියෙන බැඳීම්, ආශාවල් අඩුකර ගන්න. නැත්තම් මේ කෙලෙස් නිසා අපට වෙන්නේ කල්ප ගණං සංසාරේ දුක් විඳින්න" මම පණ්ඩිතයා වගේ කිව්වට, මම මොහොතේ පවා දුක් වෙමින් උන්නෙත් කියන බැඳීම් නිසාම තමයි.
"හ්ම්. අන්තිමට ජීවිතේ යථාර්තය වෙන්නේ කෙලෙස් නිසා දුක ඇති වෙනවා කියන එක තමයි. අපේ පොඩි හාමුදුරුවොත් ඒක නිතරම කියනවා. ඒත් දුලාරා අපි තාමත් පුහුදුන් මිනිස්සුනේ. අපි ලේසියෙන් සතුටු වෙනවා, ලේසියෙන්ම ඒක අමතකත් කරනවා. ඒත් ලේසියෙන් දුක් වෙන්නේ නැති අපට දුකක් වුණාම ඒක ලේසියෙන් අමතක කරන්න බෑ. අන්න ඒක තමයි ලොකුම දුක"
අනුක් එහෙම කිව්වාම මම කල්පනා කලේ ඒක මොන තරම් ඇත්තද කියලා. එක්කම මට දැනුනා මගේ හිතේ තිබුණ බර ගතිය පොඩ්ඩක් විතර අඩු වෙලා කියලත්. අනුක් එක්ක කතාකල නිසාද නැත්තම්, කතාකරපු දේවල් නිසාද කියලා මට වැටහුණේ නෑ.
"මේ..මේ ..මේ..හෝව් හෝව්. දුවන්න කලින් මගෙ ෆෝන් නම්බර් එක අරන් යන්න"
කැම්පස් එක ලඟදි මම බහින්න දොර අරිද්දි අනුක් කෑ ගැහුවා.
"...කියන්න මම ලියාගන්නම්" මම කිව්වේ බෑග් එකෙන් පෑනක් අදින ගමන්.
"ඇයි...ඔයාගේ නොම්මරේ මට දෙන්න බැරිද රිංග් කරන්න?" අනුක් ඇහුවා.
"එහෙම දෙයක් නෙවෙයි. මට ෆෝන් එකක් නෑ. කමක් නෑ මට ඔයාගේ නම්බර් එක දෙන්න. මම coin box එකකින් කතා කරන්නම්" මම කිව්වා.
"ෆෝන් එකක් නෑ? හයියෝ...ඔයා තාම ගල් යුගේද ඉන්නේ?"
"තිබ්බ එක කැඩුණා. අලුත් එකක් ගන්න වුණේ නෑ. ඕක කියන්නකෝ ඉතිං"
කොහොමහරි මම අනුක්ගෙ නොම්මරෙත් ලියාගෙන පොද වැස්සෙම ලෙක්චර් හෝල් එකට දුවලා එන්න ආවා.
මම එද්දි වැස්ස නිසා එහාට මෙහාට යාගන්න බැරිව සෙන්ග ගොඩක් ගල් කණු අතරේ හිටගෙන උන්නා. මම කුඩේ අකුලගෙන ඇතුලට එද්දි, ඩීන් ගේ ඔෆිස් එක පැත්තෙන් පැත්තට ඇවිදගෙන එමින් උන්නේ වෙන කවුරුවත් නෙවෙයි භූප. ඔහුත් එක්කම රනිලුයි, තව අයියලා දෙතුන් දෙනෙකුයිත් හිටියා. අය මාව දැක්කේ මම අයව දකිද්දිමයි. හිත පුපුරන්න තරම් දුකක් හිතේ පිරෙද්දි, මම බිම බලාගත්තා. ඒත් භූපගේ ඇස් එතකනුත් තිබුණේ මම ලඟ. කරගන දෙයක් නැති තැන මම මම එහෙමම අපේ ලෙක්චර් හෝල් එක පැත්තට ගියේ ආපහු හැරිලාවත් නොබලා. මට භූපව දකින්න ඕන දවස් වල පේන්නවත් නොහිටි ඔහු, අද මම ආවට පස්සෙ දකින්න වුන හැටි? මේ ආදරේ දුක කවදාවත් ඉවර වෙන එකක් නෑ කියලා මට හිතුණා.
මම hall එකට යද්දි චතූලා කොහොමවත් මාව බලාපොරොත්තු වෙලා හිටියේ නෑ. නිසා තුන් දෙනාම මාව පිළිගත්තේ කෑගහගෙන.
"මම හිතුවා ආයෙම සති දෙකකටවත් එන එකක් නෑ කියලා" තාරකා කිව්වේ මට ඉඅඳගන්න අනෙක් පුටුවට මාරුවෙන ගමන්.
"නෑවිත් බෑනෙ තාරු"
"ඔයා ආපු එක කොච්චර හොඳද? ඔහොම තමයි ඉන්න ඕන. ආදරේ කියන්නෙ ජීවිතේම නෙවෙයිනේ. භූප වුනත් ඒක තේරුම් ගනියි දැන්" එහෙම කිව්වේ නිලීකා.
"අපි එයා ගැන කතා නොකර ඉමු නිලී..." මම කිව්වේ තාමත් රිදුම් දෙන හිතින්.
"ඔව්. එයා ගැන දැන් මොනා කතා කරන්නද? කතා කරත් ඇති පලේ මොකක්ද? ඔයා එයාව අමතක කරන්න හිතපු එක හොඳයි දුලා" චතූ කිව්වා.
මට කවමදාවත් භූපව අමතක කරන්න බැරිවග මම චතූට කියන්න ගියේ නෑ. හිත තවත් රිදෙන නිසා මම මුනිවත රැකගෙනම හිටියා.
තුන් දෙනා තව මොන මොනවදෝ කිය කිය භූපට දොස් කියන්වා මට ඇහුණත්, මම කල්පනාකරමින් උන්නේ මොහොතකට කලින් වෙච්ච සිද්ධිය ගැන. භූප මා දිහා බලාගෙන උන්නු හැටි? හරියට අපි වෙන් වෙලා නෑ වගේ. හිත ආයෙම හැඩි වෙද්දි මට හිතුණා අදත් නෑවිත්ම උන්නා නම් එකක් කියලා. ආව එකෙන් වුණේ හිත තවත් රිදුන එක විතරයි.
ඊට පස්සේ මම කැම්පස් එකේ එහේ මෙහේ  යද්දි ගොඩ වෙලාවට ගියේ බිම බලාගෙන. භූප තාම කැම්පස් එකේ ඉන්නවද නැද්ද කියලා මම දැනගෙන නො උන්නත්. ආයෙම බැරි වෙලාවත් ඔහුව දැකලා හිත රිද්දගන්න මට ඕන වුණේ නෑ. භූප තියා සාලියව හරි රනිල්ව හරි දැක්කත් රිදෙන තරම් මගේ හිත දුර්වල වෙලයි තිබුණේ.

බ්‍රහස්පතින්දා හවස අනුක් මාව ගන්න ආවේ තව එයාගේ ෆැකල්ටි එකේ යාලුවෝ දෙන්නෙකුත් එක්ක.
"දුලාරා...මේ ඉන්නේ මගේ හොඳම bracket දෙක සිතිරයි, මනීෂයි. මේ දුලාරා...මෙයා ගැන අහලා තියෙනවනේ නේ?" අනුක් අපි දෙගොල්ලන්ව අඳුන්නලා දෙමින් කිව්වා.
සිතිර අනුක් වගේම උස සුදු, ඒත් කෙට්ටු කෙනෙක්. කොණ්ඩෙත් අනුක් වගේම පිලිවෙලකට අන්තිම වෙනල්කල්ම කපලා තිබුණේ. ඒත් මනීහ්ස මහත මිටි  කලු එක්කෙනෙක්. ඒත් ඔහු හරි ජොලි පාටයි කියලා මට දැකපු ගමන් හිතුණා.
"nice to meet you"
"same here"
"එහෙනම් නගින්න...අපි යං" අනුක්ගේ යාලුවෝ දෙන්න මට ඉස්සරහ සීට් එක දීලා පිටිපස්සට ගියේ මම එපා කියද්දිමයි.
"මොකක්ද බං මේ mid term කරුමේ? එක්කෝ එක පාරක තියෙන්න ඕන. සමහර subject වල mid term දෙන්නෙ end එකට සතියකට කලින්. අනෙ මංදා... පාඩම් කරලම මගේ මොලේ කුරුවල් වෙලා වගේ.." එහෙම කිව්වේ සිතිර.
"කියලා වැඩක් නෑ"
මනීෂත් එකඟ වුණා. "මෙහෙම ගියොත් විභාග ලියලම අපට පිස්සු හැදෙයි"
අනුක් මා දිහා බලලා හිනාවක් පෑවා.
"දුලාරා මොනවද special කරන්නේ?" සිතිර ඊට පස්සේ මගෙන් ඇහුවා.
"කරන්න ඉන්නේ social psychology" මම කිව්වා.
"...ෂා...හොඳයි හොඳයි"
"ඒයි ඒයි...අනුක් මචෝ, slow slow...ඒයි අර පේෂලී නේද?"  මේ අතරේ විදුලියක් වැදුනා වගේ උඩ පැනපු මනීෂ එක පාරටම කෑගැහුවම අපි සේරම්ත් උඩ ගියා.
"පේෂලී......ඔව්මයි. යකෝ මේකි කොහෙද අනුක් මෙහේ?" එහෙම ඇහුවේ ජනේලෙන් එලියට එබීගෙන උන්නු සිතිර.
මමත් උනන්දුවෙන් බැලුවේ කා දිහාද මෙයාලා මේ තරම් උනන්දුවෙන් බලන්නේ කියලා. medical faculty එක ලඟ ඉස්සරහ bus stand එකේ ගෑණු ළමයි රොත්තක්ම උන්නු නිසා කවුරු ගැන කියන්වද කියලා මට හිතාගන්න බැරි වුණා ඒත්.
"second shy medicine හම්බුණානෙ එයාට" අනුක් කිව්වේ ඕනවට එපාවට වගේ.
"...උඹ ඒවා ගාණට දන්න්වා නේ. අඩේ ආන්න...ආන්න ඒකි බැලුවා. මේ එකඉ උඹේ කාර් එක අඳුනනවද කොහෙද? අර අර...තාම බලාගෙන ඉන්නේ. යමං යමං, මේකේ තව එකෙක්ට ඉඩ නෑනෙ. හැබැයි පුතේ දැන් උඹගේ ලකුණු ටික නං සං සං ගාලා කැපෙන්න ඇති, මේ ඉස්සරහ බවලතෙක් දාගෙන යන්වා දැක්කම" සිතිර කිව්වේ ගලහා හන්දියෙන් වාහනේ හරවද්දි ඉස්සරහට  එබෙන ගමන්.
"අනේ මේ ඔය විකාර නොකියා හිටපන්" අනුක් කිව්වේ ඉස්සරහ බලාගෙනම.
" කවුද? අනුක්ගේ girl friend?" මේක බලාගෙන ඉඳලා මම ඇහුවේ සිතිරගෙන්.
"තාම girl නම් වුණේ නෑ. හැබැයි friend නම් තමා, නේද අනුක්?" සිතිර ඇහුවා.
"will you please shut up"
"අයියෝ මම දන්නේ නෑනෙ. නැත්තම් මමත් පිටිපස්සට එනවා. දැන් අර girl මොනාහරි හිතයිද දන්නෑනෙ?" මම ඇහුවේ අනුක්ගෙන්.
"එහෙම එකක් නෑ දුලාරා" අනුක් කිව්වා.
"... මොකද බං ? පේෂලී වෙන කාට හරි බහ දීලද?" මනීෂත් ඉස්සරහට එබෙන ගමන් ඇහුවා.
"නැත්තං උඹ පාර වෙන එකකට බැහැලද? අලුත් නැවකුත් ආවනේ. මූට ඒකේ කාට හරි හිත වැටිලද දන්නේ නෑ" සිතිර කිව්වේ අනුක්ගේ අතටත් එකක් ගහන ගමන්.
අනුක් මුකුත්ම නොකියා වාහනේ එලවගෙන ගියා.
අන්තිමේදි අනේක විද කතා කිය කිය අනුක්ට කරදර කමින් ආපු දෙන්නා, සුව සෙවන ලඟින්  බැහැගත්තේ මටත් අතක් වනාගෙනම.
"හම්මේ වැස්සක් වැහැලා පෑව්වා වගේ" අනුක් කිව්වේ මා දිහා බලලා ඇස් ලොකු කරන ගමන්.
" වුණාට දෙන්න හරි හොඳ පාටයි" මම කිව්වා.
"හොඳයි හොඳයි උන් දෙන්නට නින්ද ගියාම. මේ ඒක නෙවෙයි...ඔය girl ගේ කතා අපේ අක්කලට එහෙම කියන්න එපා හොඳේ. මගෙ ඔලුවත් කයි" අනුක් කියද්දි මම ඔහු දිහා බැලුවේ හිනා වෙලා.
"ඇත්තටම කවුද අනුක් girl?
"එයා මේ අපේ A level chemistry class එකට ආපු කෙනෙක්. ගෙවල් තියෙන්නේ අරුප්පල. එක class එකේ නිසා අපි ටිකක් අඳුනනවා" අනුක් කිව්වා.
"එතකොට අර යාලුවෝ දෙන්න ඔච්චර වදේ ගැහුවේ ඇයි? එයා විශේෂ යාලුවෙක් නෙවෙයිද?" මම ඇහුවා.
අනුක් මා දිහා ඇස් කොනකින් බලලා උත්තරයක් දෙන්න තව කල් ගත්තා.
"මෙහෙමයි...කාලෙකට කලින් මන් මගේහිතේ එයා ගැන පොඩි speciality එකක් තිබ්බා. ඒත්...එහෙම අහන්න තරම් දුර දිග යන්න වුණේ නෑ. පස්සේ එක එහෙමම යට ගියා...එච්චරයි. ඔය සිතිරලා දඟලන තරමට මොනවත් වුණේ නෑ" අනුක් කිව්වා.
"ඉතිං ඇයි එහෙම වුණේ? ගෑණු ලමයා හරියන්නේ නැද්ද?" මම ඇහුවා.
"ඒකම නෙවෙයි දුලාරා. අම්මා නැති වුණාට පස්සේ මට සේරම එපා වුණා වගේ. මොනාට මෙච්චර බැඳීම් එකතු කරනවද කියලා හිතුණා...පේෂලී නරක කෙල්ලෙක් නෙවෙයි. හරිම හොඳයි. එයා අපේ චුට්ටි අක්කගේ ඉස්කෝලෙ. නිසා අපේ අක්කත් එයාව හොඳට දන්නවා. කාලයක් අපේ දහම් පාසලටත් ආවා. දැන් නම් එන්නෑ වැඩ වැඩි ඇති. බලමුකෝ නේද? සේරම වෙන්නේ බඹා කෙටූ හැටියට කියනවනේ"
අනුක් එහෙම කිව්වම මට හිනාවක් ගියා. ඉංග්රීසි වචන දැම්මට අනුක් සිංහලත් හොඳට දන්නවා එහෙනම්. මම එතනින් එහාට ගැන හාරාවුස්සලා අහන්න ගියේ නෑ. අනුක් මොනා හරි හිතයිවත් කියලා මට හිතුණ නිසා.
"දුලාරා අපේ චේතිය අයියට කලින්... කියන්නේ ප්රොපෝසල් එක එන්න කලින් කා එක්ක හරි affair එකක් තිබුණද? ඔයා උත්තර දෙන්න ඕන නැත්තම් කමක්  නෑ. මම නිකමට අහන්නේ" අනුක් නිහැඬියාව බින්දේ එහෙම අහලා.
මගේ හිත සැලුණා ඔහු එහෙම ඇහුවම. හැමදේම ඉවරවුණ දවස්වලම ඔහුත් ප්‍රශ්ණේ මගෙන් අහපු හැටි?
"ම්ම්...තිබුණා. ඒත් ඒක නැති වුණා" මම හෙමින් උත්තර දුන්නේ හිත හිත. හැම වචනයක්ම මම ගැටගහගත්තේ හිතේ දුක හෙමි හෙමින් පිරෙද්දි. අනුක් මා දිහා බැලුවේ මගේ ස්වරය වෙනස් වුණ නිසා වෙන්න ඇති.
"මම ගැන කතා කරන්න කැමති නෑ" අනුක් තව මොනවදෝ අහන්න කට හදද්දි මම එක පාරටම කිව්වා.
"oh…OK. I am sorry " අනුක් ඊට පස්සේ කිව්වා.
"it’s all right” මම කිව්වේ යන්තම් හිනාවෙලා.
ඔය වගේ පොඩි පොඩි කතා බස්, ගමන් බිමන් නිසා අනුක් මා එක්ක ඉබේටම වගෙ ගොඩක් හිතවත් වුණා. චතූලා, නිලීකලා වගේ ඔහුවත් මට දැනුනේ මගේ හොඳ යාලුවෙක් විදියට. අනුක් මා එක්ක හැසිරුණේ පරෙස්සමට, මා එක්ක කතා කලේ හිතලා මතලා, මට සැලකුවේ පොඩි ළමයෙක්ට වගේ. නිසා ඔහුගේ ඇසුර මගේ හිතට එකතු කලේ පොඩි අස්වැසිල්ලක්. එක්කම යශෝ අක්කත් වෙනදට වඩා මා එක්ක හිතවත් වුණා අපි දෙන්නා අතර ඇති වුණ කතාවෙන් පස්සේ. නිසාදෝ මට අස්ගිරියේ ගෙදර දැනුණ නුහුරු බව එහෙමපිටිම නැති වෙලා ගිහින් තිබුණා.

6 comments:

  1. දැන් නම් නැගලම යනවා නෙතූ අක්කේ.. නියමයි!!

    ReplyDelete
    Replies
    1. :) ගොඩක් ස්තුතියි...

      Delete
  2. Replies
    1. :) ගොඩක් ස්තුතියි...

      Delete
  3. nethu akke.. sorry mechara kal hitiyate oyage kathawe comment ekak danne.. samawene one.. man oyage fan kenek kiyala oya dannewa,,, i loved ur 1 nd 2nd stories immensely...me kathawetath ae wageme adarey... i love the way it flows.. keep it up your writing and i wish you best of luck as always.. sorry again for taking this long to write to u.. i hope doing good.. best wishes and love from Glimmer Girl :) <3

    ReplyDelete
    Replies
    1. Dear GG, It is a very pleasant surprise to see you after a long time, really. මම ඒත් බැලුවා මොකක් වෙලාද දන්නෑ කියලා. ඉතිං හැමදේම හොඳින් ඇති කියලා හිතන්වා. ඒ වගේම මේ අලුත් අවුරුද්දත් සුබ විදියට පටන් ගන්න ඇති කියලත් හිතන්වා.

      ආයෙම ඔයාගේ අදහසක් දකින්න ලැබීම ලොකු සතුටක් නංඟියෝ. මම දන්නවා මගේ ගොඩක් පාඨක යාලුවෝ වගේම ඔයත් අදහස් පල නොකලත් පොත් ගුල අමතක කරන්නේ නැති බව...ඉතිං ඔයාගේ අදහස් සේරටමත්, පොත් ගුලේ යාව ජීව් පාඨකයෙක් වීම ගැනත් ඔයාට ගොඩක් තුති..

      Delete