Thursday, January 23, 2014

අවසරයි ලං වෙන්න: හතලිස් තුන්වන කොටස



හදිසියෙන් වගේ පටන් ගත්තු වැස්ස ඊට පස්සේ දවස් තුනක්ම එක දිගටම වගේ වැස්සා. භූපගේ සිද්ධියෙන් පස්සෙම කැම්පස් නොගිය නිසා, වැස්සයි, මා තුල තිබුණ අඳුරු දුක්මුසු හැඟීම් ගොන්නයි මට දැනෙව්වේ මහා පාලු මූසල ගතියක්.
එදා සිද්ධියට පස්සේ චේතිය ගැන විස්තර යශෝ අක්කට විතරක් කියලා තිබුණ. ගෝතමී අක්කා කොහොමත් භූප ගැන දැනගෙන උන්නු නිසා මුකුත්ම නොදැන උන්නේ අනුක් එක්ක උත්පලා අක්කා විතරයි. අය සේරම දැනගන්නවට මගේ කැමැත්තක්වත් අකමැත්තවක් නැතත්, මට හිතුණා විස්තර අනික් අයට හෙලි කරන්න චේතිය කැමති නෑ කියලා.
"ඔයාට ඕන නම් මම මේ සිකුරාදා ඔයාව ගෙදරට ඇරලවන්නම්"
භූපගේ සිද්ධිය වුණ දාට පහුවදා ආපහු කොලඹ යන්න ලෑස්ති වෙලා මා එක්ක කතා කරන්න මොහොතක් නැවතුණ චේතිය කිව්වා.
"මට තනියෙම කෝච්චියේ යන්න පුලුවන්. ඔයා ආපහු කොලඹ ඉඳන් එන්නයි,යන්නයි, එහෙම කරදර වෙන්න ඕන නෑ. දැණටමත් මම නිසා ඔයාට කොච්චර කරදරද?" මම කිව්වේ ඔහු දිහා නොබලම.
"එහෙම හිතන්න එපා. ඔයා ගැන නැතුව මම වෙන කා ගැන කරදර වෙන්නද?" චේතිය කිව්වා.
පාර මම ඔහු දිහා හිස උස්සලා බැලුවේ, මම කියන්න යන දේ ඔහු හරියටම තේරුම්ගන්න ඕන නිසා.
"චේතිය අයියා, ඔයා අපට ගොඩාක් උදව් කරලා තියෙනවා.  ඒවා අපට කොච්චර වටිනවද කියලා මට ඔයාට කියන්න බැරි තරම්. ඒත්...මම දන්නෑ ඔයා මගෙන් බලාපොරොත්තු වෙන දේ වෙනුවට මට දෙන්න පුලුවන්ද කියලා. මම දැන් ඉන්නේ ගොඩක් හිත කැඩිලා. ආයෙම මෙහෙම දෙයක් ගැන හිතන්න මට මහා ලොකු කාලයක් ඕන වෙයි. මම දන්නෑ මට මේ ජීවිත කාලේ ඇතුලතදි හිත හදාගන්න පුලුවන් වෙයිදවත් කියලා. නිසා...මම ගොඩාක් කරුණාවෙන් කියන්නේ. මා ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. මට වෙන කාටවත් ආයෙම ආදරේ කරන්න බෑ. මගේ හිත ආයෙම එකතු කරන්න බැරි තරම් කැඩිලා ඉවරයි"
මම හෙමින්, බොහොම සංයමයකින් එහෙම කියද්දි, චේතිය අහගෙන හිටියේ මූණේ හැඟීම් ගොඩාක් ඇති නැති වෙලා යද්දි. ඊට පස්සේ ඔහු අහක බලාගෙන සුසුමක් හෙලුවා.
"මට ඒක කරන්න බෑ" ඔහු කිව්වේ එච්චරයි.
මගේ හිත ආයෙම බර වුණා. මම බිම බලාගත්තේ ඒකයි.
"ඔයා ඇයි ඔයාට ආදරේ නොකරන, ඔයා ගැන නොහිතන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ වටින ජීවිතේ කැප කරන්න හිතන්නේ?" මම ඇහුවා.
"මම එක වචනෙක මිනිහෙක් දුලාරා. මම වැඩ කරන්නෙත් එහෙමයි. මම ආදරේ ඔයාට. මට වෙන අය ඕන නෑ. කවදාහරි ඔයා මාව තේරුම් අරන්, මට ආදරේ කරයි. මට වෙනකල් බලාගෙන ඉන්න පුලුවන්" ඔහු කිව්වේ ස්ථිර හඬකින්.
"ඔයාට තේරෙන්නෑ" මම කිව්වේ ආයාචනාත්මක හඬකින්.
"තේරුම්ගන්න බැරි තරම් පටලැවිල්ලක් මෙතන නෑ දුලාරා. අපි මැරි කරාට පස්සේ, ඔයා ගැන මට, මං ගැන ඔයාට තේරුම්ගන්න දෙයක් තියෙනවානම් අපට ඒවා තේරුම්ගන්න පුලුවන් වෙයි. ඔයා දැන් ගැන නිසා හිතන්න ඕන නෑ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. භූප ගියා. එයා ආයෙම ඔයාව හොයාගෙන එන එකක් නෑ. නිසා කරුණාකරලා හිත හදාගන්න...මතක තියාගන්න, ඔයා ඔය විදියට ඉද්දි මගේ හිතත් රිදෙනවා කියලා... මගේ හිතත් ඔයාට ආදරේ කරන, ඔයා මත්තේ නැහෙන්න හදන හිතක් කියලා"
ඔහු එහෙම කියලා මා ලඟින් යන්න නැගිට්ටමත් මම උන්නේ බිම බලාගෙනමයි. තවත් ඔහුට මොනා කියලා මේක තේරුම් කරන්නද කියලා මට අදහසක් තිබුනේ නෑ.
"ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් යශෝට කියන්න. එයා මේ හැමදේ ගැනම දන්නවා...අනික් එක තමයි අඩු ගාණේ හෙටවත් කැම්පස් යන්න ආපහු. අම්මලා අරහේ හිතාගෙන ඉන්නේ ඔයා මෙහේ ඉඳගෙන ඉගෙන ගන්නවා ඇති, කැම්පස් යනවා ඇති එහෙම කියලා. අඩු තරමේ ඔයා ගැන බැරි නම් අය ගැනවත් හිතලා, ඔය ඉගෙනීමේ ඉතුරු ටික හරියට කරගන්න බලන්න. මං ගිහිං එන්නම්"
චේතිය යන්තමට මගේ හිස අතගගෙන යන්න ගියේ අන්තිමට එහෙම කියලා. එවෙලේ වුණත් කරන්න ඕන මොනාද කියලා මට ඇත්තටම සැලසුමක් තිබ්බේ නෑ හෙට දවස ගැන.

"දුලාරා- ....මේ ඉන්නේ. මම ඔයාව කාමරෙත් බැලුවා. මොකෝ මේ මෙතනට වෙලා පිණි බබා ඉන්නේ?"
යශෝධා අක්කා මාව හොයාගෙන එද්දි මම උන්නේ කුස්සියේ පිටිපස්ස පැත්තේ. පැත්තෙත් කණු දාලා ඉස්සරහට අරං තිබුණ පොඩි පිලක් වගේ කොටසක් තිබුණා. මම උන්නේ කණුවකට හේත්තු වෙලා එලියේ ඇදහලෙන පොද වැස්ස දිහා බලාගෙන.
"මම නිකං මේ පැත්තට ආවා" මම යශෝ අක්කට හිනාවක් පාමින් කිව්වා.
"ම්ම්..."
මගෙන් පිණි බාන්නේ මොකද කියලා ඇහුවට මොකද ඈත් ඇවිල්ලා මට එහා පැත්තේ කණුවට හේත්තු වුණේ වැස්ස දිහා බලාගෙනමයි.
"මෙහේ වැස්ස මෙහෙම තමා. පටන් ගත්තම ඉවරයක් නෑ චුරු චුරු ගගා වහිනවා. වෙලාවකට නම් එපා වෙනවා" යශෝ අක්කා කිව්වා.
"මම වැස්සට ආසයි" මම කිව්වේ ඇත්තටම වැස්සට මම ආස කල නිසා. යශෝ අක්ක හිනාවුණා.
"ඒක නෙවෙයි, දැන් ඔයා කවද්ද ආයෙම කැම්පස් යන්න ඉන්නේ? චේතිය අද උදෙත් කෝල් කලා. දුලිතත් අහලා තිබ්බා චුට්ටිගෙන්" යශෝ අක්කා ඇහුවම මට දැනුනේ පොඩි වරදකාරී හැඟීමක්.
"මම හෙට යනවා කියලා තමයි හිතුවේ" මම එහෙම කිව්වේ ඇත්තටම එහෙම හිතලා තිබුණ නිසා නෙවෙයි. කියන්න දෙයක් ඕන නිසා.
"...එහෙනං හොඳයි. කොහොමත් නංඟි, කවදා වුණත් අපට හිත හදාගන්න වෙනවනේ" යශෝ අක්කා කිව්වේ දයාබරව.
මම මුකුත්ම නොකියා වැස්ස වැටෙන දිහා බලාගෙන හිටියා.
"අපට මොනාහරි දුකක් කරදරයක් වුණාම අපට හිතෙන්නේ ඊටත් වඩා නරක දෙයක් තවත් තියෙන්න බෑ කියලා. ඒත් අපට වඩා දුක් විඳින, කරදර සිද්ධ වුණ අය මොන තරම් මේ ලෝකේ ඉන්නවද කියලා හිතලා හිත හදාගන්න අපි ලෑස්ති නෑ. ඒක මිනිස්සුන්ගේ හැටියක් නංඟියෝ. මම දන්නවා දැන් ඔයාටත් හිතෙන්නේ එහෙමයි කියලා" යශෝ අක්කා කිව්වේ නිවුණු හඬින්. මම අහගෙන හිටියා.
"වෙලාවකට ආදරේ කරනවා කියන්නෙත් ඔට්ටු අල්ලනවා වගේ දෙයක්. අපි කොයි මොහොතේ පරාද වෙයිද කියන්න බෑ. ඒත් නොදිනයි කියන්නත් බෑ. මමත් එක පාරක් ආදරේ කරලා නිසාම හිත ගොඩක් රිද්දගත්තු කෙනෙක් නංඟි. නිසා මට ඔයාගේ තත්වේ හොඳට තේරුම්ගන්න පුලුවන්"
යශෝ අක්කගේ ස්වරයේ පාර තිබුනේ දුකක්ද? මම දිහා බැලුවේ කියපු කතාව නිසා.
"හැබැයි ඉතිං ඒක පාර්ශවික ආදරයක්. මම විතරක් කරපු ආදරයක්. මං දන්නෑ එයා ඒක දැනගෙන හිටියද නැද්ද කියලාවත්. ඒත් මම හිතුවා එයා මට කැමතියි කියලා. අන්තිමට බලද්දි එයා ආදරේ කරලා තියෙන්නේ මට නෙවෙයි. මගේ ලඟ උන්නු වෙන කෙනෙක්ට. ඔයා දන්නෑ මම කොච්චර හිතිං වැටුණද කියලා. මම එවෙලෙයි දැනගත්තේ මම මේ කෙනාට කොච්චර ආදරේ කරලද කියලා. ඔයා වගේම මාත් ඇඬුවා නංඟි. දවස් ගණං නොක නොබී හිත හිත හිටියා. ඒත් අන්තිමේදි මට තේරුණා මම කරන්නේ තේරුමක් නැති වැඩක් කියලා. ඊටපස්සේ ඉඳන් මම උත්සාහ කලා හිත හදාගන්න. දුකෙන් ඈත් වෙන්න තිබ්බ එකම විදිහ බැඳීමෙන් ඈත් වෙන එක...මම ඔයාට මේක කියන්නේ, ඔයා වගේම හිත් බිඳිච්ච, ආදරෙන් වේදනා විඳින අය තවත් ඉන්න වග ඔයාට දැනගන්න. එහෙම පැරදුනාට ආපහු නැගිටින්න පුලුවන් කියලත් ඔයාට දැනගන්න" යශෝ අක්කා කිව්වේ මගේ දිහා බලලා.
මම හෙමින් ඇගේ බැල්මෙන් ඇස් මුදාගෙන ආපහු එලියට නෙත් යොමාගත්තා.
"එතකොට දැන් අක්කා එයාට ආදරේ නැද්ද?" මම ඇහුවාම යශෝ අක්කා ඒකට උත්තරයක් දෙන්න කල් ගත්තා.
"ආදරෙයි...ඒත් අල්ලගෙන නෑ" කිව්වා.
" කෙනා ඔයාට එක පාරක්වත් ආදරේ කරලා නැද්ද?" මම ඊටපස්සේ ඇහුවා.
"ඇත්තටම මම දන්නෑ නංඟි. ඒත් මට හිතුණා දවස්වල එයාගේ හිතේ එහෙම එකක් තිබුණා කියලා. මට එහෙම දැනුන නිසයි මම එයාට ආදරේ කලෙත්. ඒත්...සමහරවිට ආදරයක් නෙවෙයි, නිකම්ම ලෙන්ගතුකමක් විතරක් වෙන්න ඇති. කොහොමටත් මං එච්චර ලස්සනත් නෑනෙ. ඉතිං එයාට මාව ඕන නැති වෙන්න ඒකත් හේතු වෙන්න ඇති" යශෝ අක්කා කිව්වේ හිනාවෙන ගමන්.
"කවුද එහෙම කියන්නේ?" මම ඇහුවා.
"කියන්න ඕන නෑ, ඒක පේනවනෙ" කිව්වේ සැහැල්ලුවෙන්.
" පිස්සු. මට නම් ඔයා ඇත්තටම ලස්සනයි. මනුස්සයෙක්ගේ මූණේ ලස්සනින් හිතක ලස්සන මනින්න පුලුවන්ද? මට හිතෙන්නේ එයා වාසනාවන්ත නෑ ඔයා වගේ ලස්සන හිතක් තියෙන කෙනෙක් ලබන්න. ඔයා ලස්සන නෑ කියලා හිතලා නම් ඈත් වුණේ ඔය කියන කෙනා ඔයාගෙන් ඈත් වුණ එකමයි හොඳ. " මම කිව්වා.
එතකොට යශෝ අක්කා තවත් ටිකක් හයියෙන් හිණා වුණා.
"පිස්සු කෙල්ල...හිතේ ප්‍රශ්ණ දාහක් තියාගෙන ඔයා මගේ හිත  හදන්න හදනවා. මම ගැන හිතන්න ඕන නෑ නංඟි. මගේ හිත දැන් ගොඩක් දුරට සනීප වෙලා ඉවරයි. මට ඕන ඔයාගේ හිත සනීප කරගන්න ඔයාට උදව් කරන්න" ඊට පස්සේ කිව්වේ කරුණාවෙන්.
මම බිමට නෙත් යොමාගත්තා.
"එහෙම කරන එක ඔයාට තරම් මට ලේසි නෑ අක්කේ" මම කිව්වා.
"ඇයි ඔයා එහෙම කියන්නේ?"
"මොනා කිව්වත් කලත්, මම දන්නවා තාමත් භූප මට ආඅදරෙයි කියලා. මම ආදරේ විඳලා තියෙනවා. එයා මට ගොඩක් ආදරේ කලා කියලා මම  හොඳටම දන්නවා. අපි වෙන් වුණේ අපට ඕන නිසා නෙවෙයි. අනික් අයට ඕන නිසා...ඉතිං මම කොහොමද හිත හදාගන්නේ? භූප මට මේ තරම් ආදරේ නොකලා නම් මට හිත හදාගන්න තිබුණා" මම කිව්වා.
යශෝ අක්කා මා දිහා බලාගෙනම  උන්නේ උපේක්ෂාවෙන් වගේ. මම භූප ගැන එහෙදි කතා කරපු පලවෙනි පාර.
"ඉතිං එච්චරම ආදරේ නං එයා මේක නවත්තන්න ඕන කිව්වේ අයි?" යශෝ අක්කා ඇහුවා.
"ඒකට හේතු ගොඩක් තියෙනවා. ඔයාට චේතිය අයියා කියන්නත් ඇති නේ, සම්බන්ධෙට අපේ ගෙවල් වලින් කැමති  නෑ කියලා. භූප කියන්නේ එයාට අපේ දෙමාපියන්ට දුක් දෙන්න බෑ කියලා" මම කිව්වේ දුකෙන්.
"හ්ම්..." යශෝ අක්ක සුසුමක් හෙලුවා. "අම්මලගේ හිත් රිද්දන්න බැරි එක නම් සාධාරණ හේතුවක් තමයි. ඒත් ඇයි එයාට ගෙදරින් අකමැති?" යශෝ අක්කා අහද්දි මම අසරණ වුණා. ඒකට ලොකුම හේතුව චේතිය කියලා මම කියන්නේ කොහොමද?
"මම දන්නෑ අක්කේ" මම කිව්වේ ඒකයි.
"ඒත් ඔයාගේ ගෙදරින් චේතියට කැමතියිනේ නේද?" යශෝ අක්කා ඇහුවා, හරියට මගේ හිත කියෙව්වා වගේ.
"ඔව්"
"චේතිය ඔයාට marriage proposal එකක් ගෙනැත්නේ තියෙන්නේ නේද?"
මම ඒකට යන්තම් හිස වැනුවා විතරයි.
"එතකොට දැන් චේතියට ගෙදරින් කැමතියි, ඔයත් මෙහේ ඉන්නේ, ඊලඟට චේතියත් මෙහේ එනවා යනවා, කියන්නේ literally  ඔය දෙන්න බඳින්න තීන්දු වෙලයි ඉන්නේ. එහෙමද?"
යශෝ අක්කා ඇහුවා. මම සුසුමක් හෙලුවා. හිතේ තිබුණ බර ඒත් අහක් වුණේ නෑ.
"ඔයා චේතියට කැමති නෑ නේද?" උත්තරයක් නොදී ඉන්නකොට යශෝ අක්කා ආයෙම එහෙම ඇහුවා.
"මම ආදරේ භූපට...තාමත් භූපට. නිසා මට හිත හදාගන්න කල් ඕන" මම කිව්වා.
එතකොට අහපු ප්‍රශ්ණෙට උත්තරේ තේරුම් ගනී කියලා මම හිතුවා.
"ඔව්...කොහොමත් ඇරෙන්න දෙයක් ඔයාට කරන්නත් බෑනෙ. චේතිය ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා ගැන ගොඩක් හිතනවා. මම දන්නවා එයා නම් කවදාවත් ඔයාගේ හිත රිද්දන එකක් නෑ. නිසා ඔයා එයා එක්ක ගෙවෙන ඔයාගේ අනාගතේ ගැන බය වෙන්න ඕන නෑ කොහොමවත්ම. මොනා වුණත්, ඔයා උත්සාහ කරන්න ඉක්මණින් හිත හදාගන්න. මේ ප්‍රශ්ණේ ගැන අපේ ගෙදරත් දන්නේ මමයි ගෝතමීයි විතරයි. අපේ අප්පච්චිලා, කුඩප්පච්චිලා හෙම මේවා දැනගත්තොත් දන්නැද්ද, කොච්චර වුණත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් නේ. නිසා මමත් මීට පස්සේ මේ ගැන ඔයාගෙන් අහන්නේ නෑ. මේවා මෙහෙමම කාලයත් එක්කම වැලලිලා ගියාවදෙන්"
යශෝ අක්කා අන්තිමට කිව්වේ එහෙම. මම ඒකට හා කිව්වේත්, බෑ කිව්වෙවත් නෑ. ඒත් මට තේරුණා හැමෝම අන්තිමට නොකියා කියන්නේ භූපව අමතක කරන්න කියන එකයි කියලා. ඒත් කවුරුවත් දැනගෙන හිටියේ නෑ ඒක කරන්න මට මුලු ජීවිතකාලෙම උත්සාහ කරන්න වෙයි කියලා. ඒක කරන්න මට කොච්චර අමාරුද කියලා.

No comments:

Post a Comment