Monday, January 6, 2014

අවසරයි ලං වෙන්න: තිස්පස්වන කොටස



"පුතේ ඔය කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බණ පොත ඇන්න ඇවිත් මට පොඩ්ඩක් කියවන්නකෝ. දැන් ඉස්සර වගේ නෙවෙයි, මට කණ්ණාඩි දැම්මත් පේන්නේ නෑ නෙව"
සෙනසුරාදා උදේ , කෑම කාලා රේඩියෝ එකේ ගිය බණක් අහපු ආච්චි අම්මා දවල් එකොලහට විතර ඉස්තෝප්පුවට ආවේ එහෙම කියාගෙන.  ඉතිං මම කලේ ඉස්තෝප්පුවට වෙලා ආච්චි අම්මට බණ පොත කියවන්න ගත්තු එක. මම කියවන්න ඕන පිටුව හොය හොය ඉද්දි මට ඇහුණා අම්මයි, තාත්තයි මොන මොනවදෝ කුටු කුටු ගාණවා සාලෙට වෙලා. මම හෙමින් දොර ලඟට වෙලා ඇහුම්කන් දුන්නේ මම ගැන වග මම දන්න නිසා.
"දැන් කෝ පොඩි පුතා කොහේද ගියේ?" මට ඇහුණා තාත්තා අහනවා.
"කිව්වට ඇහුවේ නෑ අනේ. එයා...අර ගියේ සූරිලා ගෙදර"
"මම කිව්වා ඔය ළමයට ගිහිං ප්‍රශ්ණ දාගන්න එපා කියලා"
"එපා කියද්දිම යන්න ගියේ. අනේ...මට බයයි පුතා රණ්ඩුවක් ඇදගනී කියලා"
" එයා-"
තාත්තා කියපු ඉතිරි ටික මට ඇහුණේ නෑ. මට පුටුවෙන් නැගිටුණේ ඉබේටම. අතේ තිබ්බ පොත බිමට වැටුණා සද්දයක් නගාගෙනම. ලඟ උන්නු ආච්චි අම්මා මා දිහා බැලුවේ පුදුමෙන්.
"දෝණී..."
දෙවරක් නොහිතම මම මිදුලට පැනලා කඩුල්ලත් ඇද දාගෙනම පාරට දුවගෙන ආවේ භූපලගේ ගෙදරට දුවන්න.
"දෝණී...කොහෙද ඔය යන්නේ?" මට ඇහුණා අම්මා කෑ ගහනවා.
ඒත් මම පස්ස නොබලම දුවගෙන ආවා. භූපලගේ ගෙදරට යන කෙටි පාරට මම හැරුණේ සෙරෙප්පුත් නැතුව කකුලේ ඇනෙන නිදිකුම්බා කටු ගැනවත් නොහිතා. වෙලාවට අද පාරේ මිනිස්සු උන්නේ නෑ. මට හම්බවුණ එකම කෙනා භූපගේ යාලුවා වෙච්ච පුබුදු විතරයි.
"නංඟියෝ...කොහෙද මේ දුවන්නේ? මොකක් හරි කරදරයක්ද?" අනික් පැත්තට යමින් උන්නු පුබුදු හැරිලා දුවගෙන එන ගම මගෙන් ඇහුවා.
මම හිස වනලා නොනැවතීම දුවගෙන ගියේ භූපලගේ ගෙදරට.
පිම්මේ දුවගෙන ගිහින් සාලේ බිත්ති කණුව අල්ලගෙන හති අරිද්දි කේතකී සාලෙට දුවගෙන ආවේ පුදුමෙන් වගේ.
"දුලා...ඇයි මේ? ඔයාට හොඳටම හති නේද? මොකෝ මේ? අනේ කාටවත් කරදරයක්ද?"
කේතකී ඇහුව මා දිහාට දුවගෙන එන ගමන්.
"කෝ...කෝ...භූප?" මම ඇහුවා.
"...අයියා, දුලිත අයියත් එක්කම ඔන්න කොහේද ගියා. ඇයි දුලා?"
කේතකී එහෙම කිව්වාම මගේ හිත කඩාවැටුණා. මම බිත්ති කණුව අල්ලගෙනම බිම වාඩි වුණේ ඇස් වලින් කඳුලු කැට වැටෙද්දි.
"අනේ ඇයි දුලා මේ...දෙයියනේ ඇයි මේ අඬන්නේ? කියන්න මොකද වුණේ කියලා?" කේතකී මා ලඟට පහත් වෙලා ඇහුවේ වෙව්ලමින් වගේ.
"සේරම...ඉවරයි කේතකී..." මට කියාගන්නපුලුවන් වුණේ එච්චරයි.
"මොනාද ඔයා මේ කියන්නේ?' කෝ ඔතනින් නැගිටින්න. නැගිටින්න...දැන් අපේ අම්මා ආවොත් බලයි මේ මොකෝ කියලා. එන්න අපි යමු මගේ කාමරේට" කේතකී මාව බලෙන් වගේ ඇදගෙන එයාගේ කාමරේට ගියා.
ඒත් මම කලේ අඬන එක විතරයි. එක්කම වගේ අපට ඇහුණා සාලේ දිහාවෙන් සද්දෙන් කතා කරන හඬක්. කේතකීට කලින් සාලෙට දිව්වේ මම.
"ඒක වෙන්නෑ දුලිත..."
"ඒක වෙන්න ඕන. නැත්තම් උඹටයි පස්සට කරදර වෙන්නේ"
"උඹ මහ පිස්සෙක් දුලී...උඹට පිස්සු"
සාලෙට වෙලා වාද කරමින් උන්නේ වෙන කවුරුවත් නෙවෙයි, භූපයි, පොඩි අයියයි. මාව දැකපු ගමන් දෙන්නම මොහොතකත තුෂ්නිම්භූත වුණා. දෙපාරක් නොහිතා මම කලේ එහෙමම ගිහින් භූපව වැලඳගත්තු එක. හොඳටම පුදුම වුණ භූප මාව අල්ලගත්තේ තප්පරයක් දෙක පමා වෙලා.
"දුලාරා..."
"නංඟි...තමුසේ මෙහේ?"
"භූප...මාව දාලා යන්න එපා. මට ඔයා  නැතුව ඉන්න බෑ භූප" මම පිස්සෙක් වගේ එහෙම කිව්වේ හොඳටම අඬමින්.
"මම එහෙම කරන්නේ නෑ මගේ රත්තරං" භූප කිව්වේත් අඬන්න වගේ.
"දුලාරා...මෙහේ එනවා" අතරේ අයියා ඇවිත් කැඩෙන තරම් හයියෙන් මගේ අතකින් ඇද්දා. "භූප නංඟිව අතෑරපන්. මම හොඳින් කියන්නේ" අයියා ගමන්ම භූපටත් තර්ජනය කලා.
"පිං සිද්ධ වෙයි දුලිත, මේ කෙල්ලට රිද්දන්න එපා මෙච්චර" භූප කිව්වේ මාව අයියගෙන් අහකට හරවගන්න ගමන්.
"උඹ මට බණ නොකියා හිටපන්" එහෙම කියලා අයියා ඇවිත් අත් දෙකෙන්ම මාව ඇදලා ගනිද්දි භූප මාව අතෑරියා.
"ලැජ්ජාවක් නැති පරට්ට බැල්ලි" එහෙම කියපු අයියා මගේ කම්මුලට ගැහුව පාරට මාව බිම පතිත වුණා.
කේතකී කෑ ගහගෙන මා ලඟට එද්දි භූප අයියා ලඟට පැන්නා.
"ඇයි උඹ මට ගහන්නද?" මට ඇහුණා අයියා අහනවා.
"දුලිත...මට උඹ එක්ක ගහ ගන්න ඕන නෑ. ඒත් දුලාරට තව එක පාරක් හරි අත ඉස්සුවොත්, මම නරක මිනිහා කියන්න එපා" භූප කියනවා මට ඇහුණා.
අතරේ කේතකී මාව නැගිට්ටුවා.
මේ එක්කම වගේ තව කට්ටියක්ම ගෙදරට කඩා වැදුණේ විලාප තියාගෙනමයි. අපේ අම්මලයි, භූපලගෙ අම්මයි. පුබුදුයි.
"අනේ හත් දෙයියනේ මොකද මේ වෙන්නේ?
හයියෝ මොන විලි ලැජ්ජාවක්ද මේ?"
අම්මලා උන්නේ විලාප කියමින්. තාත්ත උන්නේ තරහින්. අයියයි, භූපයි උන්නේ වෙව්ලමින්. අතරේ මම අඬමින්.
"අනේ පිං සිද්ධ වෙයි මරාගන්න මරාගැනිල්ලක් ගේ ඇතුලට ගිහින් කරගන්න බැරිද, මේ රට්ටු හිනස්සන්නේ නැතිව?"
භූපව ගෙට ඇදගෙන යන ගමන්, එහෙම කිව්වේ පුබුදු.
"ඔව් ඔව්. යමු කට්ටියම ගේ ඇතුලට" එහෙම කිව්වේ තාත්තා.
"මොකක්ද දෙයියනේ මේ වෙන්නේ? මොකක්ද මේකේ තේරුම? කවුරු හරි මට කියන්නැත්තේ ඇයි මෙතන වෙන්නේ මොකක්ද කියලා" භූපලගේ අම්මා ඇහුවේ හැඬුම්බරව.
අපේ අම්මා කම්මුලකට අතක් තියාගෙන අහක බලාගෙන උන්නා මිස මුකුත් කිව්වේ නෑ. මම උන්නේ කේතකීට වාරු වෙලා අඬමින්. භූපයි, පොඩි අයියයි හති අරිමින් උන්නේ එකෙනෙකාට රවා ගන්න  ගමන්. පුබුදු උන්නෙ දෙන්නට මැද්දෙන්. අන්තීමදි කතා කලේ තාත්තා.
"කලබල වෙන්න දෙයක් නෑ නංඟියේ. ඔන්න ඔහෙන් වාඩි වුණා නං"
පාර භූපගේ අම්මා ලඟ තිබුණ පුටුවක වාඩි වුණා.
"මොකක්ද අයියේ වෙලා තියෙන්නේ?" භූපගේ අම්මා ආයෙම ඇහුවා.
"මම දුලාරට ආදරෙයි...වෙලා තියෙන්නේ ඒක අම්මා" තාත්තා මොනවත් කියන්න කලින් භූප එහෙම කිව්වා. මම ඔහු දිහා බැලුවම ඔහු උන්නෙත් මා දිහා බලාගෙන.
"මොකක්?" භූපගේ අම්මා මා දිහාත් බලලා අපේ තාත්තා දිහාට හැරුණා.
"..මේක...මේ...අපි දන්නෙත් අද" තාත්තා කිව්වේ මා දිහා බලන ගමන්.
"මම හාං කවිසියක් වත් දැනගෙන උන්නේ නෑ අයියේ" භූපගේ අම්මා කිව්වා.
"ඒක ඉතිං අපි නොදන්නවයැ. මේවා ඉතිං කොහොමත් ගෙවල් වලට එලි වෙන්නේ පස්සෙන් පහු වෙලා නෙ" තාත්තා කතා කලේ බොහොම තැන්පත්ව.
"අනුලා දන්නැතුව ඇති අපේ දුවට වෙන තැනකින් කටයුත්තක් කතා කරලා තියෙන වග" එහෙම කිව්වේ මෙච්චර වෙලා නිහඬව උන්නු අම්මා.
මම අම්ම දිහා බැලුවේ ඉවසුම්  නැතුව. භූප උන්නෙත් නොසන්සුන් වෙලා. භූපගේ අම්මා අපේ අම්ම දිහා බැලුවේ බය වෙලා වගේ.
"මම චේතියව බඳින්නේ නෑ" මම කෑ ගහලා කිව්වා.
"දෝණි ඔයා කට පියාගෙන ඉන්න මේක ලොකු අයගේ කතාවක්" පාර තාත්ත මට සැර කල.
" වුණාට ජීවිතේ මගේ නෙවෙයිද?" මම ඇහුවා.
"තමුසෙට මම..." අයියා ආපහු මා දිහාට පනිද්දි එයාව නැවැත්තුවේ පුබුදු.
"ජීවිතේ දුලාරගෙයි, මගෙයි දෙන්නගෙම. මම දුලාරට ආදරෙයි නම් ඇයි එයාව මට දෙන්න බැරි?" භූප ඇහුවේ ආවේගෂීලීව.
"පුතේ...වහන්නයි කිව්වේ කට. කසාද බඳින්න තීන්දු කරපු ගෑනියෙක් ඇරෙන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද උඹට හොයාගන්න?" භූපගේ අම්මා එහෙම කිව්වාම මම ගැස්සිලා ගියා.
"මම හොයා ගනිද්දි එයාව කාටවත් තීන්දු වෙලා තිබුණේ නෑ අම්මා" භූප කිව්වේ හෙමිහිට.
"ඒත් දැන් ඒක තීන්දු වෙලා ඉවරයි" එහෙම කිව්ව අපේ අම්මා.
"මම චේතිය බඳින්නේ නෑ..නෑ...නෑමයි" මම කෑ ගැහුවා.
පාර තාත්තා උන්නු තැනින් නැගිට්ට.
"මුකුත් හිතන්න එපා නංඟියේ. අපි එදා ඉඳන්ම දන්න අඳුනන උදවිය නිසා, මම මේ කියන්නේ බොහොම කරුණාවෙන්. මේ කටයුත්ත මේ විදියට කෙරෙන්නේ නෑ. අපි මෙහෙම කටයුත්තක් වෙනවට තරම් මනාප නෑ. මොකද ශ්‍රීමා කිව්වා වගේ යෝජනාවක් දැනටමත් ඇවිත් තියෙන නිසා. අපේ හිතවත්කම් දිගටම තියෙන්න ඕන. නිසා...පුතාට මේක තේරුම් කරලා දෙන්න. අපට ඉන්නේ කෙල්ලෙක් නිසා අපට ආයෙම මෙහෙම වස විලි ලැජ්ජා විඳින්න බෑ. නිසා මේ සම්බන්ධේ නවත්තන්න කියන්න පුතාට" තාත්තා එහෙම කියාගෙන එලියට බහින්න ලෑස්ති වෙද්දි භූප ඉස්සරහට දුවගෙන ආවා.
"මොකක්ද මගේ අඩුව?"
"පුතාගේ අඩුවක් තියෙනවා කියලා මම කොයි වෙලේකවත් කියන්නේ නෑ. ඒත්...අපේ දුවව අපි දෙන්න කැමති පුතා වගේ කෙනෙක්ට නෙවෙයි" තාත්තා කිව්වේ ඉවසීමෙන්.
"මම අහන්නෙත් ඇයි කියලා තමයි" භූප ඇහුවේ කෑ ගහලා වගේ.
"භූප" ඔහුගේ අම්මා සැර වුණා.
"මොකද කිව්වොත් අපි චේතියට වචනයක් දීලා තියෙන නිසා" භූපට උත්තරයක් දුන්නේ අම්මා.
"දුලාරගේ කැමැත්ත වත් නාහා එහෙම කලේ කොහොමද?" භූප ඇහුවා.
"පුතේ අනේ කට වහගෙන ඔය ළමයට යන්න දෙන්න පුතේ" භූපගේ අම්මා කිව්වේ කඳුලු අතරින්.
තාත්තා භූප දිහාට හැරුණේ සුසුමක් හෙලලා.
" අපි අපේ දෝණිව විශ්වාස කරපු නිසා පුතේ. අපි හිතුවේ නෑ කවදාවත් එයා අපේ විශ්වාසේ කඩයි කියලා. ඒකයි. අපි හිතුවා අපි එයාට හොඳම දේ දෙන්න හදද්දි එයා අකමැති වෙන එකක් නෑ කියලා"
තාත්තා එහෙම කියද්දි, මගේ ලඟ උන්නු කේතකී නහය සූරනවා මට ඇහුණා.
"ඒත් ඒක දුලාරාගේ ජීවිතේ ගැන ප්‍රශ්ණයක්. ඒක ළමයෙක්ට බෝනික්කෙක් අරන් දෙනවා වගේ හරි, ඉස්කෝලෙකට දානවා වගේ හරි දෙයක් නෙවෙයි. අපට තේරෙනකොට අපේ ජීවිත ගැන ගන්න තියෙන ලොකුම තීරණේදි ඇයි අපට මැදිහත් වෙන බැරි?" භූප ඇහුවා.
"භූප...උඹ කට වහනවද නැද්ද?" පාර එහෙම ඇහුව අයියා.
"ඇයි ඔයා මගේ අයියට ගහන්නද?" හඬ ඇහුණේ මගේ පිටිපස්සෙන්.
භූපලගේ අම්මා කේතකී දිහා බැලුවේ පුදුමෙන්. පොඩි අයියත් මොහොතක් උන්නේ අන්ද මන්ද වෙලා.
"දුලිත...භූපට කියන්න තියෙන දේවල් කියන්න දෙන්න. හැමදේම කියලා මේක අද විසඳගන්න දෙන්න" තාත්තා කිව්වා.
"මම අහන්නේ ඇයි මෙහෙම අපට කරන්නේ කියලා? මා ගාව නැති දේ මොකක්ද චේතිය ගාව තියෙන?" භූප ආයෙම ඇහුවා.
"අනේ දෙයියනේ ඕක නවතන්න පුතේ දැන්වත්..." භූපගේ අම්මා.
"චේතිය ගාව නැති දේ මොකක්ද උඹ ගාව තියෙන? අන්න ඒක කියපන් බලන්න" අයියා ඇහුවා.
"දුලාරගේ ආදරේ...දුලාරා ආදරේ මට. ඒක චේතියට බලෙන් ගන්න බෑ" භූප කිව්වාම මම ආයෙම අඬන්න ගත්තා.
"එතකොට දුලාරා එයාගේ ගෙදර අයට ආදරේ නැද්ද?" එහෙම ඇහුවේ අපේ අම්මා, මා දිහා බලලා.
"මේක මහ අසාධාරණයක්" භූප කෑ ගැහුවා.
"පුතේ...දෙයියන්ගේ නාමෙට කට වහගනින්. උඹට ඇයි නොතේරෙන්නේ මේක කෙරෙන්නේ නැති වග. අනේ බුදු අයියේ දැන් යන්න. අයියලගේ දුවවත් අරන් යන්න. අපට මේ මොනවත් ඕන නෑ...කරුණාකරලා යන්න" භූපලාගේ අම්මා අපේ තාත්තා ඉස්සරහට ඇවිදින් කිව්වා.
අයියා ඇවිත් මගේ අතකින් අල්ලගත්තේ මම මහ හයියෙන් අඬද්දිමයි. අයියා මාව ඇදගෙන එද්දි භූප මගේ අතකින් අල්ලගත්තා.
"ඔයා මගේ. මගේ විතරයි. මම කවදාහරි ඔයා මගේ කරගන්නවා දුලාරා...මම ඔයාව ගෙනියන්න එනවා. මම ඔයාට පොරොන්දු වුණා. මම ඒක කඩ කරන්නේ නෑ"
භූප එහෙම කියද්දි මම ඇස් දිහා බැලුවා. ඇස් වල කඳුලු දැක්කම මගේ හිත පුපුරන්න ආවා. මම භූපගේ අත මිරිකගත්තේ අයියා මගේ අතකින් අදිද්දි. ඒත් භූප මගේ අත අතෑරියා.
මම ගෙදරින් එලියට බැස්සේ කේතකී හොඳටම අඬද්දි. ඒත් භූපගේ අම්මා මෙවෙලේ හිටියේ හැඟීම් පාලනය කරගෙන, භූපව අතකින් අල්ලගෙන. මම එලියට බැහැලා ආයෙම හැරුණා. භූපව අදකිද්දි මට හිතුණා මම ආයෙම අඬන්නේ නෑ කියලා. සමහරවිට මගේ හිතුවක්කාර කම නිසා වෙන්න ඇතිමම නිදහස් අතින් කඳුලු පිහ ගත්තා. භූප අම්මගේ අත ගසා දාල ගේ ඇතුලට යන්න ගියේ මම බලා ඉද්දිමයි. කේතකීත් පස්සෙන් දිව්වා.
අපේ අම්මලා ඇවිත් තිබුණේ ලොකු අයියගේ කාර් එකේ. පොඩි අයියා මාව ඇතුලට තල්ලු කරලා සීට් එකේ වාඩි වුණා මම ලඟින්ම. ගෙදරට යනකල්ම කවුරුවත් වචනයක්වත් කිව්වේ නෑ. මම ගහක් ගලක් වගේ ඔහේ ඉඳගෙන ආවා.
ගෙදරට ගිය වහාම අයියා කලේ මාව ඇදගෙන ගිහින් මගේ කාමරේට තල්ලු කරපු එක. ඒත් මම හැගීම් දැනීම් නැති ගාණට උන්නා. "දැන් සතුටුද? මුලු ගමටම පේන්න නාඩගම් නැටුවට පස්සේ දැන්  සතුටුද තමුසෙට?" අයියා ගිගිරුවා.
තිබ්බ තරහට අයියා මගේ මේසේ උඩ තිබුණ ෆෝන් එකත් අරන් පොලවේ ගැහුවා. ඒකේ කෑලි සීසීකඩ විසි වුණත් මම උන්නේ මොනවත්ම නොපෙනුන ගාණට.
අම්මයි, තාත්තයිත් කාමරේට ආවේ මෙවෙලේ. මම කවුරුත් දිහා නොබලා අහක බලාගෙන උන්නා.
"අදින් පස්සේ මේකිව campus යවන්න ඕන නෑ. ආයේ ගිහින් අරූගේ කරේ එල්ලෙයි. දැන් එක පාරක් යවලා වුණ දේ හොඳටම ඇති නේ" අයියා කිව්වා.
"ඒක අපි පස්සේ බලමුකෝ" තාත්තා කිව්වා.
"ආයේ පස්සේ බලන්න දෙයක් නෑ තාත්තේ. තාත්තයි අම්මයි මෙයාට බුරුල දීපු නිසා තමයි මේ සේරම වුණේ" අයියා කිව්වා.
"පොඩි පුතා දැන් යන්න එලියට. දැන් ඇති ඔය කෑ ගැහුවා" තාත්තා ආයෙම කිව්වම අයියා මටත් රවාගෙනම එලියට යන්න ගියා.
අම්මයි, තාත්තයි ඇවිත් ඇඳේ මගේ දෙපැතෙන් වාඩි වුණා ඊට පස්සේ. මම බිම බලාගත්තා.
"දැන් තේරෙනවද කරපු දේ බරපතලකම?" එහෙම ඇහුවේ තාත්තා. "අන්තිමට වුණේ මොකක්ද? ඔය දෙන්නගේ වැඩ හන්දා අර අහිංසක අනුලාගේ නේද හිත පෑරුණේ? මගෙයි අම්මගෙයි හිත් නේද පෑරුණේ? අපේ හිතවත්කම් නේද නැති වුණේ? කොහොමද පුතේ ඔයා මේ තරම් මෝඩ වුණේ? ඔයා මොකටද කලබල වෙලා අර ගෙදරට දිව්වේ?" තාතා ඇහුවා.
මම වචනයක්වත් කිව්වේ නෑ.
"ඇයි ළමයෝ ඔයා මේ හැටි අපට දුක් දෙන්නේ?" අම්මා.
"හරි ඔයාට අපට කතා කරන්න ඕන නැත්තම් කමක් නෑ. ඒත් ඔයා මේ දේත් හොඳට අහගන්න පුතේ. චේතියට ඔයාව දෙන්න තීන්දු කරපු එක වෙනස් වෙන්නේ නෑ. එහෙම වෙනස් වෙනවා නම් භූප හින්දා නම් නෙවෙයි. මම උදෙත් කිව්වනේ, ඔයා චේතියට අකමැති නම් තව ඊට වඩා හොඳ කෙනෙක් හොයාගත්තොත්, අපට ඒක සලකලා බලන්න පුලුවන්. ඒත් ඔයාට හරියන කෙනා භූප නෙවෙයි. ඔයා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒක සිද්ධ වෙන්නේ විදියට තමයි. අනික ඔයා කැම්පස් යවන එක ගැනත් තව අපි හිතන්න ඕන. ඔයා ගැන තියපු විශ්වාසේ ඔයා බිඳලා ඉවරයි. ආයෙමත් මටවත්, අම්මටවත් ඔයාව විශ්වාස කරන්න බෑ"තාත්තා එහෙම කියද්දි, හිත ගොඩාක් රිදුනත් මම ඉවසගෙනම හිටියා.
“අද ඉඳලා මේ ගෙදරින් තනියෙම කොහාටවත් යන්න ඔයාට තහනම්. ඔයා ගේ ඇතුලෙම ඉන්න ඕන. වගේම ආයෙම කේතකීව හම්බවෙන්නත් ඔයාට අපි ඉඩ දෙන්නේ නෑ. ආයෙම ප්‍රශ්ණ ඇති කරගන්න අපට බෑ" තාත්තා ආයෙම කිව්වා.
මම අහගෙනම උන්නා. මට තරහෙන් කෑ ගහන්න ඕන වුණත් මම අහගෙනම උන්නා.
"පෙනේද ඇහැපියවත් නොගහා මේ ළමයා ඇට්ටරකමට ඉන්න හැටි. අනේ අම්මපා පොඩි කාලේ  පස්ස පැත්ත මූණේ තියාගෙන, දුක් විඳගෙන හැදුවට අපට මෙහෙම වෙලා මදි" අම්මා කිව්වේ මගේ ලඟින් නැගිටින ගමන්.
"මම අම්මලට අකීකරු වුණේ නෑ අම්මේ. මට ආදරේ කරපු කෙනෙක්ට මම ආදරේ කලා විතරයි. මට කාගෙවත් හිත් රිද්දන්න ඕන වුණේ නෑ. කමක් නෑ, අම්මලා හිතනවා නම් මම විශ්වාසේ බින්දා කියලා, හරි මම මේ ගෙටම වෙලා ඉන්නම්. මට මොනවත් ඕන නෑ. කැම්පස් ඕනත් නෑ, එලියට යන්න ඕනත් නෑ. හැබැයි මම චේතියව කසාද බඳින්නෙත් නෑ. මාව කොච්චර හිර කලත් භූපට ආදරේ කරන එක මට නවත්තනත් බෑ. ඒක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි" මම කියාගෙන යද්දි අන්තිමට මගේ හඬ බිඳුණා.
අම්මයි තාත්තයි මා දිහා එක පාරක් බලලා එලියට යන්න ගියා. මම ඇඬුම් වලකාගත්තේ අමාරුවෙන්. ඒත් හිතේ නිතර නිතර මතු වෙන භූපගේ කඳුලු පිරුණ ඇස්, වචන එහෙම මතක් වෙන එක මට නවත්තගන්න බැරි වුණා. හිතෙන් දස දහස් වාරයක් වැලපෙන ගමන් මම කල්පනා කලේ දැන් භූපලාගේ ගෙදර මොන තත්වයක් ඇතිද කියලයි. භූපත් මම වගේ දුකින් පරිපීඩිත වෙලා කොහෙට හරි වෙලා කල්පනා කරනවා ඇති කියලා මට හිතුණා. හිතට තිබුණ එකම සැනසීම ආදරේ විතරයි. ඇඳේ ගුලි වෙලා වේදනාවෙන් ඔද්දල් වුණ හිතත් එක්ක තනි වෙලා ඉද්දි, එම ගෙවෙමින් තිබුණ මගේ ජීවිතේ ලොක්කුම හැරවුම් ලක්ෂ්‍යය වග භූපවත්, චේතියවත්, අම්මලාවත් දැනං ඉන්න නැතිව ඇති.

4 comments:

  1. සුපිරි... අපේ හිතේ කේන්තියක් ඇති වෙන තරම් ප්‍රබල විදියට ඔයා කොහොම ලියනවද කියලා වෙලාවකට හිතාගන්නත් බෑ නෙතු අක්කේ.ඔයාගෙ කලින් හැම කතාවකමත් මේ වගෙ උද්වේගකර තැන් ලියලා තිබුණෙ හරිම අපූරු විදියට.ඉතින් දිගටම ලියන්න කියලා සුබ පතනවා ඇරෙන්න මේ දක්ෂකමට වෙන මොනවා කියන්නද....................!!

    ....හැබැයි මේකත් අර කලින් කතාව වගේ ඉක්මණට ඉවර කරලා තිබුණොත් නම් මං නරක කෙල්ල කියන්න එපා.ඔබ හීනයක් වගේ දිග කතාවක් අපිට ඕනේඒඒඒඒඒ...!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා...මම හිතන්නේ මෙහෙම ලියවෙන්න හේතුව මම 'ඔබ හීනයක් වගේ' කතාවේ වගේම මේ චරිත ඇතුලෙත් ජීවත් වෙන නිසා වෙන්න ඇති.
      ගොඩ වෙලාවට මම ඔෆිස් ඇරිලා ගෙදර එද්දි බස් එකේදිත් හිත හිත එන්නේ ඊලඟට ලියවෙන්න ඕන කොටස කොහොම වෙන්න ඕනද කියලා. එතකොට මට පේනවා වගේ භූප, දුලාරා, චේතිය ඒ කතාවේ දුක් වෙන සතුටු වෙන හැටි හෙම... (පිස්සු නේද?)
      මම හිතන්නේ ඒකයි හේතුව...
      අනික තමයි, ඔයාට නරක කෙල්ලෙක් වෙන්න ඕන වෙන එකක් නෑ...කතාව තව දික්ගැස්සෙන එක නම් සිකුරුයි :)

      Delete
  2. ලස්සනයි නෙතු‍. ඔයා අපේ හිතේ තියෙන දේ ලියනවා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රියංගිකා....එහෙම ඔයාලගේ හිතට දැනෙන කතාවක් ලියන්න ලැබීම මට සතුටක්...

      Delete