Wednesday, January 22, 2014

අවසරයි ලං වෙන්න: හතලිස් දෙවන කොටස



එතනින් පස්සේ දවසේ ඉතුරු වෙලාවේ සිද්ධ වුණ දේවල් මට දැනුනේ හීනයක් වගේ. වැස්සෙම මාව හොයාගෙන ආපු චතූලායි, සාලියයි, රනිලුයි  අපිව හොස්ටල් එකට ඇරලවපු හැටි...මේ හැමදේම මට මතක තිබුණේ හීනෙන් වගේ.  චතූගේ වියලි ඇඳුමක් ඇඳගෙන මම ඇගේම ඇඳේ ගුලි ගැහුණේ නිදාගන්න නෙවෙයි...හිතන්න. හිතනවා ඇරෙන් වෙන දෙයක් කරන්න මම දැනගෙන උන්නේ නෑ එවෙලේ.
"දුලා...ඔයා එක්ක යන්න චේතිය ඇවිත්"
ඊට ටික වෙලාවකට පස්සේ තාරකා ඇවිත් එහෙම කියද්දි, මම උන්නේ කඳුලු බේරෙන ඇස් වලින් යුතුව, අද වුණ දේවල් ගැන ආයෙ ආයෙ හිතමින්. ආපහු lectures නොගිහින් නැවතුණ චතූයි, නිලීකායි දෙන්නත්, මගේ දෙපැත්තේ ඉඳගෙන උන්නා, ඒත් වචනයක් වත් නොකියා. මට විටින් විට ඉකි ගැහෙද්දි, චතූ හෙමි හෙමින් මගේ හිස අතගෑවා.
"චේතිය?" එහෙම ඇහුවේ නිලීකා. "එයා කොහොමද දන්නේ?"
"අනේ දන්නේ නෑ...කොහොමහරි අන්න එයා ඇවිත්. දුලාව එක්ක එන්න කිව්වා" තාරකා කියනවා මට ඇහුණා.
"මොකද දුලා කරන්නේ? අපි එයාට යන්න කියන්නද? ඔයාට ඕන නම් ඔයා අද මෙහේ ඉන්න" එහෙම කිව්වේ චතූ.
මට පුලුවන්කමක් තිබුණා නම් මටත් ඕන වුණේ හොස්ටල් එකේම ඉන්න. අඩු තරමේ එහේ මාව තේරුම් ගන්න කෙනෙක් හිටපු හන්දා. ඒත් මට එහෙම කරන්න තරම් අවසරයක් තිබ්බේ නැහැ. අම්මලා මේ දේවල් දැනගත්තොත් කියන බය මගේ හිතේ තිබුණ නිසා.
"මම යන්නම් චතූ"  මම අන්තිමට කිව්වේ ඇඳෙන් නැගිටලා මූණ පිහ ගන්න ගමන්.
තුන් දෙනාම මා දිහා බලාගෙන උන්නේ දුකකින්.
"අනේ මංදා දුලා...තේරෙන්නෑ මොනා කියන්නද කියල...ඒත්, කරන්න තියෙන එකම දේ හිත හදාගන්න එක විතරයි" එහෙම කිව්වේ චතූ.
මම හිස වැනුවා.
"මේ දේවල් මෙහෙම වුණා කියලා, ඔයා ඉගෙනීම හෙම කඩාකප්පල් කරගන්න හිතනවා එහෙම නෙවෙයි ඔන්න හරිද? ප්රශ්ණ වලින් තමයි මිනිස්සු මුවහත් වෙන්නේ. ඔයත් වගේ වෙන්න. මේ එක මනුස්සයෙක් නිසා ජීවිතේම අවුල් කරගන්න නම් එපා" තාරකා කිව්වේ එහෙම.
මම අහගෙන උන්නා විතරයි.
"හෙටම නැතත්, ආයෙම ඉක්මණට ඔයා ඒවි කියලා අපි බලාගෙන ඉන්නවා" නිලීකත් එකතු කලා.
යෙහෙලියන්ගේ මේ දයාබර බව ඉස්සරහ මම ආයෙම හැඬුම්බර වෙන්නේ නැතිව ඉවසගෙන උන්නේ අමාරුවෙන්. හොස්ටල් කාමරෙන් පිටවෙලා එද්දිත් මම උත්සාහ කලේ නාඩා ඉන්න. 'අඬනවා කියලා කොච්චර අඬන්නද? කවදා වෙනකල් අඬන්නද?'
****
පොදු කාමරේ එහා මෙහා ඇවිද ඇවිද නොසන්සුන් විදිහට චේතිය මම එනකල් බලාගෙන උන්නා. ඔහු දැක්කම මගේ හිතට පිවිසුණේ තවත් බරක්. ඒත් බර මට උරුම වෙන්නම තිබුණ දෙයක්. නිසා ගැන මට කරන්න දෙයක් තිබුණේ නෑ.
"දුලාරා..."
චේතිය කතා කලත් මම කතාවක් නැතිවම එලියට ගිහින් ඔහුගේ වාහනේ ලඟ හිටගත්තේ ඔහු මගේ පස්සෙන් එද්දි.
"නගින්න" ඊට පස්සේ ඔහු කලබලෙන් වගෙ මට වාහනේ දොර ඇරලා දුන්නා.
මම නැගලා සීට් එකට හේත්තු වෙලා ඉස්සරහ බලාගෙන උන්නේ චේතිය දිහාවත් නොබලා. ඔහු මගෙන් මොනවත්ම නාහා වාහනේ හරවලා ප්‍රධාන පාරට දැම්මා. මගේ හිතේ ඔහු ගැන තිබුණ අපැහැදීම මොකදෝ හේතුවකට තවත් වැඩි වෙලයි තිබුණේ. සමහරවිට මේ සේරම මෙහෙම වෙන්න ඔහු ලොකුම හේතුවක් නිසා වෙන්න ඇති.
"දුලාරා...ඔයා හොඳින් නේද?"
මා දිහා ඇස් කොනින් බල බල ආපු චේතිය එහෙම ඇහුවේ අල්විස් pond එකත් පහු වුණාට පස්සේ.
"ඔව්" මම කිව්වේ ඔහු දිහාවත් නොබලා.
"වුණේ මොකක්ද කියලා මම ඔයාගෙන් අහන්නේ නෑ. මට හිතාගන්න පුලුවන් වෙච්ච දේ" ඔහු කිව්වේ මුදු ස්වරයකින්. හඬ තවත් මාව කෝප ගැන්නුවා විතරයි. ඒත් මම මුනිවත රැක්කා.
"දැන්වත් ඔයා මාව විශ්වාස කරනවා ඇති නේ නේද? මම ඔයාට කිව්වනේ භූප-"
චේතිය එහෙම කියාගෙන යද්දි, භූපගෙ නම ඇහුණ ගමන් මට ආයෙම ඉවසුම් නැතිව ගියා.
"චේතිය අයියා ප්ලීස්...මට ඔය ගැන කතාකරන්න ඕන නෑ...දෙයියන්ගේ නාමෙට මට මෙහෙම පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න" මම කිව්වේ කෑ ගහලමයි.
"මම මොනා කලත් ඔයා මාව දකින්නේ වැරදියට. මම හදන්නේ ඔයාගේ හිත හදන්න...ඔයාට ඒක තේරෙන්නේ නැද්ද?" මම කෑ ගහපු නිසාදෝ චේතියගෙත් ඉවසීම නැති වෙලා ගිහින්ද කොහෙද.
"මගේ හිත හදන්න කාටවත් බෑ. ඒක කරන්න පුලුවන් මට විතරයි...මට විතරයි...මට ඔයාගෙ උදව් ඕන නෑ. ඕන නෑ..." මම ස්වරය අඩු කරලා ඒත් තදින් කිව්වා.
"OK..OK...ඔයාට ඕන එකක්" චේතිය ආයෙම කිව්වේ අමාරුවෙන් තමන්ව පාලනය කරගෙන වගේ.
මම එවෙලේ නොහිතුවට, මේ වෙච්ච සේරම චේතිය දැනගත්තේ කොහොමද, ඔහු මාව ගෙනියන්න හොස්ටල්  එකට එන්න දැනගත්තේ කොහොමද කියන එක මම දැනගෙන උන්නේ නෑ. ඒක එවෙලේ අහන්නවත් මට මතක්වුණෙත් නැහැ. ඒත් මේ හැම දෙයක්ම මම නොදන්න විදියට සූක්ෂමව ගෙතිලා තිබුණේ මේ දේවල් වෙන්න ගොඩක් කලින් ඉඳන්මයි.   මොහොතේ මට ඕන වුණේ ඇත්තටම කොහේට හරි වෙලා දුක ඉවරවෙනකල්ම හිතන්න විතරයි. වුණත් අස්ගිරියේවත් අඩු තරමේ මගේම ගෙදරවත් මට ඕන විදිහේ නිදහසක් මට දැනෙන එකක් නෑ කියලා මම දැනගෙන හිටියා. ඒත්...මම වෙන කොහේ කියලා යන්න? හැමෝගෙම උවමනාවල් වලට අනුව නැටවෙන රූකඩයක් වගේ වුන මට අදත් කරන්න වුණේ අයටම ඕන විදියට නැටවෙන්න විතරයි.
චේතිය මාව එක්ක ආවේ ආපහු අස්ගිරියේ ගෙදරට. එද්දි ගෙදර උන්නේ යශෝ අක්කා විතරයි. වුණේ මොනවද කියලා චේතියටම ඈට පහදන්න ඉඩ දීලා මම ඇවිත් කාමරේට වැදිලා කොට්ටෙකුත් බදාගෙන ඇඳේ ඇලවුණා. හිත ආපහු තනිකමකින් පිරෙද්දි ඇස් උණු කඳුලු වලින් ආයෙම තෙත් වෙන්න තප්පරයක් වත් යන්න නැතිව ඇති.
ටිකකින් මට දැනුනා කවුරුහරි කාමරේට එනවා. මම ඇස් පියාගත්තා. මට ලඟින්ම ඉඳගත්තේ චේතිය කියලා මම දැනගත්තේ ඔහුගේ පුරුදු විලවුන් සුවඳ නිසා. ඊලඟ මොහොතේ ඔහු කලේ මගේ හිස හෙමින් අතගාපු එක. ඒත් මම ඉවසගෙන උන්නා.
"ඔයා රෙස්ට් කරන්න. මම ලතා අම්මට කිව්වේ ඔයාට පැනඩෝල් දෙකක් දෙන්න කියලා. ඒක බීලා නිදාගන්න. නැත්තම් මොකක් හරි අසනීපයක් වත් හැදෙයි" ඔහු කිව්වේ දයාබරව.
"මට ගෙදර යන්න ඕන" මම කිව්වා. මට මෙහෙදි දැනුන තනිය කියන්න බැරි තරම් නිසා.
"ගෙදර ගිහිං? ගෙදර ගිහිං ඔයා මොනවද කරන්න හිතන්නේ? ඔයා හිතනවද ඔයාට හිත හදාගන්න පුලුවන් වෙයි කියලා? අනික ඔය තත්වෙන් ගෙදර ගියාම, අම්මටයි තාත්තටයි ඒක දරාගන්න පුලුවන් වෙයිද?" චේතිය ඇහුවේ තවමත් හි පිරිමදින ගමන්මයි.
"මට මෙහේ ඉන්න බෑ" මම කිව්වේ තවත් කොට්ටෙට ගුලි වෙන ගමන්.
"එහෙම කියන්න එපා දුලාරා. මෙහේ හිටියොත් තමයි ඔයාට හිත හදාගන්න ලේසිම. ඔයාට මෙහේ අක්කලා සේරම ආදරෙයි. අනික ඔයාට මම ඉන්නවා. අපි ඔයාට උදව් කරන්නම්. ගෙදර ගියොත් වෙන්නේ තවත් ඔය හිත පෑරෙන එක විතරයි දුලාරා...ඔයා ඒක හොඳටම දන්නවා" චේතිය කිව්වා.
මම ඒක දැනං හිටියා. ඒක ඇත්ත. ඒත් මාව පෙලන මේ තනිකම මට උහුලගන්න පුලුවන් වෙයිද?
 "...ලතා අම්මා. නෝනට පෙති දෙක දෙන්න. ඔයා එහෙමනම් නිදා ගන්න දුලාරා. ඔයා බය වෙන්න එපා, ඕනකමක් වුණොත් මම ඉන්නවා. මම අද මෙහේ නවතින්නේ"
ලතා අම්මා කාමරේට ආපු නිසා, මගෙයි චේතියගෙයි කතාව එතනින් නැවතුණා. චේතිය නැගිටලා කාමරෙන් යන්න ගියාට පස්සේ මම නැගිට්ටා.
***
එදා රෑ වෙනකල්ම මම කාමරේටම වැදිලා හිටියේ කා එක්කවත් කතා කරන්න තරම් මානසිකත්වයක් මට නොතිබුණ හන්දා. මම ඇහැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට ඇහුණා උත්පලා අක්කයි, ගෝතමී අක්කයි කාමරේ කතා කරමින් ඉඳලා පිටවෙලා යන හඬ.
ඊට පස්සේ අනුක් ආවේ මට රෑ කෑම අරගෙන කාමරේට ආපු ලතා අම්මා එක්කමයි. මට මූණ දිහා බලන්න පුළුවන් කමක් තිබුණේ නෑ, හිත තව තවත් පෑරෙන හන්දා.
"චේතිය මහත්තයා කිව්වා සුප් එකක් හදන්න කියලා. නෝනා සුප් බොනවා නේද?" ලතා අම්ම අතේ තිබුණ trey එක මගේ මේසේ උඩින් තියලා ඇහුවා.
"හ්ම්" මම හිස වැනුවත් මට කන්න නම් කොහෙම පිරියක් තිබුණේ නෑ.
මේ අතරේ අනුක් උන්නේ දොර රෙද්ද මෑත් කරලා එතනින් කාමරේට එබීගෙන.
"ඔයාට කොහොමද දැන්?" ඔහු ඇහුවේ ගොඩ කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් වගේ දයාබරත්වයෙන්.
"අමාරුවක් නෑ" මම කිව්වේ ඔහු දිහා නොබලා.
"මොකද ඇත්තටම වුණේ?"
"පොඩ්ඩක් තෙමුණා"
"මොනා කරන්න ගිහින්ද?"
"මේ...උදේ යාලුවෙක් එක්ක පොඩි ගමනක් යද්දි"
"ඉතිං තෙමි තෙමී ගියේ ඇයි?"
"කුඩේ අරන් යන්න අමතක වුණා"
අනුක් සුසුමක් හෙලුවා.
"පොඩ්ඩක් නම් තෙමුණේ ඔච්චර අමාරු වුණේ කොහොමද? අමාරුවක් නැත්තම් ඇයි චේතිය අයියා එච්චර කලබලෙන් ඔයා එක්ක යන්න ආවේ? ඇයි ඔයා මට කතා නොකලේ?" අනුක් අහද්දි මම අහගෙන උන්නේ පොඩ්ඩක් විතර පුදුම වෙලා. ඔහු එහෙම අහන්නේ ඇයි කියලා මට හිතුණා.
"චේතිය අයියා ආවනේ අනුක්. අනික ඔයාට කුප්පියකුත් තියෙනවා කිව්ව්නෙ ඒකයි" මම එවෙලේ හිතට ආපු බොරුවක් කිව්වා.
"මම අද කුප්පිය කැන්සල් කලා" අනුක් කිව්වේ අහක බලාගෙන.
"...කුප්පිය ඔයාගෙද? මම හිතුවේ ඔයා කුප්පියකට යනවා කියලා"
"නෑ..."
මම වෙනසක් නොපෙන්නා කතා කරන්න හැදුවත් මට පෙනුනා අනුක් ඉන්නේ වෙනම කල්පනාවක කියලා.
"හරි...එහෙනම් ඔයා බෙහෙත් බීලා රෙස්ට් කරන්න. මම යන්නම්" අනුක් ඊට පස්සේ හීනෙන් නැගිටලා වගෙ එහෙම කිව්වා.
"තෑන්ක් යූ අනුක්..."
"මොකටද?"
"දුක සැප බලන්න ආවට"  මම එහෙම කිව්වම අනුක් යන්තම් හිනාවෙලා හිස වනලා යන්න ගියා.
“නෝනා එහෙනම් සුප් එක බොන්නකෝ. මම කසාය වඩියකුත් රත් කරලා තියෙන්නේ, මම ඒකත් අරගෙන එන්නම් ටිකකින්. කොහොමත් මේ මුල් වැස්සට ඔහොම තෙමෙන්න නාකයි. ඉන්තේරුවෙන්ම ලෙඩ වෙනවා. නෝනට පුරුදුත් නෑනෙ. මම එනකල් ඕන බොන්න නෝනෙ"
එහෙම කියාගෙන ලතා අම්මා කාමරෙන් යන්න ගියා. යන්න ගියාට පස්සේ, අර කාමරේ පාලු මද අඳුරේ මම ආයෙම තනි වුණා වගේ මට දැනුනා. මේසේ උඩ සීතල වෙමින් තිබුණ සුප් එක බොන්න මට පිරියක් තිබුණේ නෑ. මම ඇඳෙන් නැගිටලා ජනේලේ ලඟට ගියේ, කුණාටුවක් වගේ කැලඹෙමින් තිබුණ හිත පොඩ්ඩක් නිස්කලංක වෙයිද බලන්න. වෙනදට ඈත පේන විදුලි එලි, අහසේ තැනින් තැන පේන තරු රටා මොනවත් අද තිබුණේ නෑ. තාමත් වැස්ස හෙමි හෙමින් ඇදහැලෙමින් තිබුණේ මගේ හිත වගේම පරිසරයත් අඳුරු කරමින්. අතරේ භූපගේ මතකයත් දියේ ගිල්ලන්න හදන රබර් බෝලයක් වගෙ යටපත් කරන්න කරන්න උඩට මතු වෙවී තිබුණා. දුක අදත් වගේම ජීවත් වෙන තුරාවටම මාව මේ විදියට රිද්දවන වග මම හොඳටම දැනගෙන උන්නා. මම භූපට ආදරේ නිසා...මේ මොහොතෙත් මගේ ජීවිතේටත් වඩා මම ඔහුට ආදරේ කරන නිසා.

4 comments:

  1. අච්චෝ...)))) දුලාරාවයි භූපවයි ළං කරන්න බැරි නම් අඩුම ගාණේ අනුක්ටවත්.. නෙතු අක්කේ!!
    .....really I hate Chethiya...)))

    ReplyDelete
    Replies
    1. එහෙම දැන්මම හිතන්න යන්න එපා. තාම භූපට දුලාරව හොඳටම අහිමි වෙලා නෑනෙ. දෙන්නම දෙන්නට ආදරෙයි නෙ. තව ඉස්සරහට යද්දි බලමු මොකද වෙන්නේ කියලා නේද ඒත්? :)

      Delete
  2. දෙමව් පියෝ නිසා ගන්න සිදු වෙච්ච මේ අයහපත් තීරණය නිසා භූපත් තොචිචර දුක් වෙනවා ඇති ද නේද? මම ආසයි මේ සිදුවීම භූපගේ පැත්තෙනුත් අහන්න තිබුණා නම් කියලා

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම හිතුණ එක ගැන මට හරි සතුටුයි. මොකද දුලාරාඒ පැත්තෙන් විතරනේ මේ කතාව හැමෝටම පේන්නෙ. ඇත්තටම ඉතින් දුලාරා තරමටම භූපත් විඳවනවා වෙන්න පුලුවන්. සමහරවිට ඊටත් වඩා.
      කතාවේ තව ඉස්සරහදි භූපට මොකද වුණේ, ඇයි මේ දේවල් මෙහෙම වුණේ කියලා ඔයාලට දැනගන්න ලැබෙයි....

      Delete