Saturday, January 4, 2014

අවසරයි ලං වෙන්න: තිස් හතරවන කොටස


"මොකද කලේ? කරන්න තියෙන සේරම කරලා දැන් එන්වද බබා වෙන්න"
"අනේ පුතේ ඔහොම කෑ ගහන්න එපා. ටිකක් පැහැදිලිව කියන්නකෝ මොකද් වෙලා තියෙන්නේ කියලා" අම්මා කිව්වෙත් කෑ ගහලා වගේ.
"මෙන්න මේකි අර සූරි මාමලගේ භූපයා එක්ක යාලුයි ලු" අයියා එහෙම කියද්දි මගේ හිතෙ දහසක් අකුණු පිපිරුවා. අයියා එක ගෙදරට කියපු නිසා නෙවෙයි. කියපු විදිහ නිසා. මම බිම බලා ගත්තේ මගේ හිස ගිනි ගත්තා වගේ දැනෙද්දි.
"මොනවා...?" අම්මා හීලුවා.
තාත්තා ලඟ තිබුණ කෑම මේසේ පුටුවක වාඩි වුණා.
"ඇත්තද මේ කියන්නේ? දෝණි කියනවා...ඇත්තද මේ කියන්නේ?" මගේ ලඟට ආපු අම්මා මගේ උරහිසින් අල්ලලා හෙලෙව්වේ එහෙම අහ අහා.
මම උන්නේ සම්පූර්ණයෙන්ම ගොලු වෙලා බිම බලාගෙන. මට අම්මා දිහා බලන්න පුලුවන් කමක් තිබුණේ නෑ.
"කියනවා ඉතිං දැන් අම්මලට. කරන්න පුලුවන් නම් කියන්න බැරි මොකද? මේකි දැන් මාස ගාණක් කැම්පස් එකේ එක්ක රවුම් ගහලා තියෙනවා. හැමදාම ඇරලන්නයි, එක්ක යන්නයි එද්දි මම හිතුවේ සහෝදරකමට කියලා. බැලින්නම් හීන් නූලෙන් කරලා තියෙන්නේ මේක" අයියා පිස්සෙක් වගේ කෑ ගැහුවා.
"දෝණි මට කියනවා...ඇත්තද මේ අයියා කියන ඒවා?" අම්මා ඇහුවේ මගේ බෙල්ලත් ගැස්සෙන තරම් හයියෙන් මගේ නිකට උස්සලා අම්මා දිහාට හරවගන්න ගමන්. ඒත් මම ඇගේ මූණ දිහා බැලුවේ නෑ.
"පේනවා නේද තියෙන ඇට්ටරකම. උත්තර දෙනවා ඉතිං" අයියා ආයෙම කෑ ගැහුවා.
මම ඒත් කතා කලේ නෑ. ඒත් මම ඇඬුවෙත් නෑ. මම උන්නේ සම්පූර්ණයෙන්ම ගල් වෙලා වගේ.
"මේකි ඊයේ රෑ ඇවිත් තියෙන්නේත් උගේ බයික් එකේ. ගමේ මගේ යාලුවෝ කීප දෙනෙක් දැකලා තියෙනවා. එයින් එකෙක් තමා මට කෝල් කරලා කිව්වෙත්. මේකි හදන්නේ අපේ මූණේ දැලි ගාන්න. මම කොහොමද දැන් යාලුවන්ට මූණ දෙන්නේ?" අයියා ආයෙම කෑ ගැහුවා.
මට අයියා ගැන දැනුනේ පුදුමයක්. එකක් ඔහු කොහොමද තමගෙම යාලුවා ගැන මෙහෙම කතා කරන්නේ කියලා. අනික එයා අපි ගැන මෙහෙම හිතන්න තරම් පටු අදහස් තියෙන කෙනෙක් වුණේ කොහොමද කියලා.
" මම කොච්චරවත් කිව්වා ඔය අනවශ්‍ය ඇඟෑලුම්කම් ඕන නෑ කියලා... අනේ දෙයියනේ මේවත් අපට අහන්න වුණා නේ" අම්මා පාර විලාප තියන්න ගත්තා.
"කාගෙවත් මූණ බලන්න බැරි වෙන විදිහේ දෙයක් මම කරලා නෑ" මම අන්තිමට වචන ගැට ගහ ගත්තා. හිතට ආපු තරහා නිසාමයි.
"මොකක්ද තමුසේ කිව්වේ?" අයියා මගේ ලඟට කිට්ටු වුණේ ගහන්න වගේ.
"කිව්ව එක ඇහෙන්න ඇති නේ" මම කිව්වා.
"පේනවා නේද? පේනවා නේද තියෙන මුරණ්ඩු කම?" අයියා ආයෙම කෑ ගැහුවා.
"පොඩි පුතා..." මෙච්චර වෙලා නිශ්ෂබ්දව උන්නු තාත්තා කතා කලේ තද ස්වරයකින්.
"කෑ ගහලා ප්‍රශ්ණ විසඳන්න බෑනෙ. මෙන්න මෙහෙන් වාඩි වෙන්න. ශ්රීමා ඔයත් වාඩි වෙන්න. දෝණි...දැන් අපට ඇත්ත කියන්න. මේ අයියා කියන කතාවේ තේරුම මොකක්ද?" අයියයි, අම්මයි වාඩි වුණාට පස්සේ තාත්තා මගෙන් ඇහුවා.
ඒත් මම උත්තරයක් දුන්නේ නෑ. තාත්තගේ නිවුණු හඬ නිසා මගේ ගල් කරගෙන උන්නු හිත දියවෙලා යනවා වගේ මට දැනුනා.
"අපට ඇත්ත කියන්න දෝණි...මේ භූප ළමයා එක්ක ඔයාගේ සම්බන්ධයක් තියෙනවද?" තාත්තා ඇහුව කරුණාවෙන්.
"ඔව්" මම ඇහෙන නෑහෙන ගාණට කිව්වා.
"හත් දෙයියනේ..." අම්මා ආයෙම විලාප තියන්න ගත්තා.
"ශ්‍රීමා පොඩ්ඩක් කෑ නොගහා ඉන්නකෝ. මෙතන විලාප තියන්න දෙයක් වෙලා නෑනෙ" තාත්තා අම්මට කිව්වා.
අයියා මට ඉස්සරහින්, රවාගෙන උන්නා. ඔහු හයියෙන් හයියෙන් හුස්ම ගත්තේ තාමත් තරහින් උන්නු නිසා වෙන්න ඇති.
"දැන් කොච්චර කාලයක්ද ඔය සම්බන්ධේ පටන් අරන්?" තාත්තා ආයෙම ඇහුවා.
"අවුරුද්දක් විතර" මම කිව්වේ බිම බලාගෙනමයි.
" කියන්නේ කැම්පස් ගිය අවුරුද්දෙම වගේ?"
"ඔව්"
මම එහෙම කිව්වාම තාත්තා සුසුමක් හෙලුවා.
"මේකිට මොලේ හොඳ නෑ. මොන එහෙකට යාලු වුණාද ඒකා එක්ක. වෙන මිනිස්සු නැද්ද රටේ?" අයියා ආයෙම පුපුරා හැලුණා.
"පොඩි පුතා...ඔහොම කලබල වෙලා ප්‍රශ්ණ විසඳන්න බෑනෙ. අනික භූප ළමයත් ඔයාගේ යාලුවෙක් නේ නේද?" තාත්තා අහද්දි මම අයියා දිහා එක එල්ලේම බැලුවා.
"ඒක නිසා නේන්නම් මම මේ කියන්නේ. භූප කියන්නේ ජීවිතේ කිසිම වගකීමක් නැති එකෙක්. හැමදේම සැහැල්ලුවෙන් දකින්න, සැහැල්ලුවෙන් ඉන්න විතරයි ඌට ඕන. ජීවිතේ ගැන මෙලෝ වගකීමක් ඌට නෑ. අනික භූප සිගරට් බොනවා. වැටෙනකල් අරක්කු බොනවා-" අයියා කියාගෙන යද්දි මට ඉවසන්න පුලුවන් වුණේ නෑ.
"ඔය කියන්නේ බොරු...භූප එහෙම නෑ" මම කිව්වේ කෑ ගහලා.
"බොරු? බොරු නෙවෙයි මෝඩියේ මම ඇහින් දැකපුවා මම මේ කියන්නේ. මම ඌව දන්නේ පොඩි කාලේ ඉඳන්ම. තමුසේ ඌව දන්නේ අවුරුද්දක ඉඳලා. තමුසේ මොනවද දන්නේ නංඟි භූප ගැන?" අයියා කිව්වා.
"මේවා චේතිය දැනගත්තොත් සේරම ඉවරයි" අස්සේ එහෙම කිව්වේ අම්මා.
"චේතිය අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ. දැනටම දන්නවා" අයියා කිව්වා.
"අනේ ඉතිං අපි කොහොමද දරුවගේ මූණ බලන්නේ ආයෙම. මේ කෙල්ලට අම්මපා මොලේ කලඳක් තිබිලා නැති හැටි?" අම්මා එහෙම කිව්වේ මාව උරහිසින් තල්ලු කරන ගමන්.
"ශ්‍රීමා...දෝණි දැන් බබෙක් නෙවෙයි නේ. අපට ගහලා බැනලා මේ ළමයි ආණ්ඩු මට්ටු කරන්න බෑ. පොඩ්ඩක් ඉන්න ඔහොම. මේ ප්‍රශ්ණේ විසඳගන්න එපැයි කොහොම හරි අපි" තාත්තා කිව්වා.
"ඔව්. දැන් අපේ පවුලට ඕන හොඳ බේබද්දෙක් තමයි" අම්මා කිව්වම මගේ හිත හොඳටම පෑරුණා.
"භූප බේබද්දෙක් නෙවෙයි" මම කිව්වා.
"තමුසෙට ඕවා දැන් තේරෙන්නෑ. එක්ක ගිහින් ළමයි දෙතුන් දෙනෙක් හදාගත්තට පස්සේ රෑට බීලා බීලා ඇවිත් තමුසෙට තලද්දි තේරෙයි. ඔය දැන් තියෙන ආදරේ එතකොට නෑ. අනික ඌට පුලුවන්ද තමුසෙට මොන සැපක්වත් දෙන්න? මොනාද තියෙන්නේ? අඩු ගාණේ ඔය මහ ලොකු ඩිග්‍රියෙන් පස්සේ හරි හමන් රස්සාවක් වත් තියෙයිද? දැන් කරන්නෙත් හෝටල් ගාණේ ගිහින් බෑන්ඩ් ගහන එක නේ" අයියා කිව්වේ මහා නිර්දය විදිහට.
පාර මට මගේ කඳුලු නවත්තගන්න පුලුවන් වුණේ නෑ. කඳුලු ගැලුවේ මට බැන්නට නෙවෙයි. භූප නමට. අනේවාරතේ මම හින්දා නින්දා විඳින මගේ භූප නමට.
"ඔයා කොහොමද අයියේ ඔයාගෙම යාලුවා ගැන ඔහොම කියන්නේ? එයා ඔයාගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවා නේද? ඇයි මෙහෙම එයාව පාච්චල් කරන්නේ?" මම ඇහුවේ හැඬුම්බරව.
"භූප මගේ යාලුවා බව ඇත්ත. යාලුවෙක් විදිහට ඌට එපා කිව්වත් ඌට ඕන දේ කරනවා නම් මට එක ප්‍රශ්ණයක් නෑ. ඒත් ඌට ඔය විදිහට මගේ මස්සිනා වෙන්න බෑ. තමුසේ මගේ නංඟි.  මේ ගෙදර එකම කෙල්ල. තමුසේ වගේ එකෙක් එක්ක ගිහින් දුක් විඳිනවා බලන්න මට බෑ ඕයි. ඒක්යි මම මේ කියන්නේ. මම දන්න නිසා කියන්නේ. මම තමුසෙට ගොඩක් ආදරේ හන්දා කියන්නේ" අයියා එහෙම කියද්දි අන්තිමට හඬ බිඳුණා.
අයියා බිම බලාගද්දි මගේ උගුර හිර වුණා වගේ මට දැනුනේ. අම්මා නහය සීරුවා. තාත්තා ලොකු හුස්මක් අරන් මා දිහා බැලුවා. අනේ එවෙලේ මම අසරණ වුණ තරමක්! මම ඊට පස්සේ කලේ මේසේ ඔලුව ගහගෙන අඬපු එක.
"අනේ ඇයි පුතේ අපට මෙහෙම දුක් දෙන්නේ?" අම්මා ඇහුවේ හැඬුම්බරවමයි.
අන්තිමේදි තුන් දෙනාම මට අඬන්න දීලා බලාගෙන උන්නා. කොච්චර කාලයක්ද කියලා මට නිනව්වක් නෑ. අන්තිමේදි මම හිස ඔසවද්දිත් කලින් උන්නු විදියටම අම්මයි, තාත්තයි, අයියයි එක එක පැති බලාගෙන කල්පනා කරමින් උන්නා. මම හිස එසෙව්වාම තුන් දෙනාම මා දිහා බැලුවා.
"දෝණි..." ආයෙම කතා කලේ තාත්තා. "ඔයා දැනුම් තේරුම් තියෙන ළමයෙක්. නිසා හරි දේ හරි විදියට තෝරගන්න ඔයාට පාර පෙන්නුවාම ඔයා ඒක හරියට කරාවි කියලා අපි විශ්වාස කලා. තාමත් මම එහෙම විශ්වාස කරනවා. පුතේ ආදරේ කියන්නේ හරි මායාකාරී දෙයක්. ගොඩක් වෙලාවට ආදරේ හන්දා අපි හැඟීම් වලින් අන්ධ වෙනවා. එතකොට අපට සමහර හොඳ දේවල් නරකටත්, නරක දේවල් හොඳටත් පේන්න පුලුවන්. ඒත් අපි වටේ ඉන්න අයට අපට වඩා දේවල් පැහැදිලිව පේනවා. නිසා හැම වෙලේකම අපි අනික් අයටත් ඇහුම්කන් දෙන්න ඕන.
මේ වෙලාවේ ඔයාට හිතෙයි ඔයාගේ ආදරේ ඇරෙන්න වෙන කිසි දෙයක් වැදගත් නෑ. වෙන කිසි කෙනෙක් ඔයාට ඕනත් නෑ කියලා. ඒත් අපට ඔයාව එහෙම අතෑරලා දාන්න බෑ. අපි මැරෙනකල්ම ඔයා අපට අපේ පොඩි දෝණි නිසා. නිසා පුතේ අයියා කියන දේටත් ඇහුම්කන් දෙන්න. එයා කියපුවා ගොඩක් ඇත්ත වග මාත් දන්නවා. ඒක ඔය භූප ළමයගේ දෙමාපියනුත් දන්නවා. අපි කොහොමවත් කැමති නෑ පුතේ සුරාව පාවිච්චි කරන, වගකීමක් නැති ළමයෙක්ට ඔයාව දෙන්න..." තාත්තා එහෙම කියද්දි සාවධානව අහගෙන උන්නු මම ඔහු දිහා බැලුවේ ගැස්සිලා වගේ.
"ඔව් පුතේ. ඒක එහෙමම තමයි. හැබැයි මම කියන්නෑ, ළමයා සදහටම වගේ ඉඳීවි කියලා. එයා වෙනස් වෙන්න පුලුවන්. ඒත් පුතේ අපි කොහොමද එහෙම වෙයි හරි නොවෙයි හරි කියලා කියන්නේ? අපට ඔයාගේ ජීවිතේ එක්ක ඔයාට සෙල්ලම් කරන්න දෙන්න බෑ.  අනික තමයි අපි මේ ගිය සතියෙ නේ ඔයාට කිව්වේ චේතිය ළමයා ඔයා ගැන යෝජනාවක් කරපු වග. ඉතිං භූපයි, චේතියයි එකට තියලා බැලුවොත් අපි තෝරගන්න ඕන කාවද කියලා ඔයාට මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?" තාත්තා මට කිව්වාම මම ආයෙම කලබල වුණා.
"මම චේතියට කැමති නෑ තාත්තා"
"මේ වෙච්ච දේවල් වලින් පස්සේ චේතිය ඔයාට ආපහු කැමති වුණොත් ඒක ලොකු දෙයක්" එහෙම කිව්වේ අම්මා.
"ශ්‍රීමා පොඩ්ඩක් ඉන්නකෝ. දෝණි ඔයා චේතියට අකමැති නම් එක කරන්න ඕන නෑ-" තාත්තා එහෙම කියද්දි අයියා කලබල වුණා.
"තාත්තේ..."
"පොඩ්ඩක් ඉන්න දුලිත. අපි කොහොමද මෙයා අකමැති කෙනෙක්ට මෙයාව දෙන්නේ? අහන්න දෝණි...චේතිය මේ ලෝකේ ඉන්න හොඳම කොල්ලා වුණත්, ඔයා අකමැති නම් අපි ඔයාව එයාට දෙන්නෑ. අනික් එක තමයි, ඔයා කොච්චර ආදරේ වුණත්, භූප නිසා ඔයාගේ අනාගතේ විනාශ වෙනවා නම් අපට ඒකට ඉඩ දෙන්නත් බෑ. සමහරවිට ඔයා කැමති, අපිත් කැමති වෙන්න පුලුවන් විදිහේ වෙන කෙනෙක් ඉන්න පුලුවන්. තව ඔයාට කසාද බඳින්න ගොඩක් කල් තියෙනවා. නිසා මේවා ගැන දැන්ම හිතන්න ඕන නෑ" තාත්තා කිව්වා.
"එතකොට දැන් තියෙන සම්බන්ධෙට මොකද වෙන්නේ?" අම්මා ඇහුවා.
මම අම්මා දිහා බලලා ආයෙම තාත්තා දිහා බැලුවා.
"මම දන්නවා මගේ දුවත් මම වගේම හිත හයිය කෙනෙක් කියලා. එයාට හිත හදාගන්න පුලුවන් වෙයි"
තාත්තා අන්තිමට එහෙම කිව්වම මට දැනුනේ මගේ ලෝකෙම සුණු විසුණු වෙලා ගියා වගේ. ' තාත්තා නොකියා කිව්වේ අපේ සම්බන්ධේ නවත්තන්න කියලා නේද?'
"ඕන තරම් කල් ගන්න පුතේ. හිතේ තුවාල සනීප වෙන්න කල් ඕන. ඒත් හරි තීරණේ ගන්න. එච්චරයි" තාත්තා මේසෙන් නැගිටලා එහෙම කියාගෙන යන්න ගියේ මගේ හිසත් අතගාලා.
අයියයි, අම්මයි දෙන්නත් පුටු වලින් නැගිට්ටා මුකුත් නොකියම. මම පුටුවේ ඇලවිලා වගේ නැගිටගන්නත් බැරිව ඔහේ උන්නා. මගේ හිත තිබුණේ දුකෙන්ම ගල් වෙලා. හිතේ හැඟීම් මට දැනුනේ නෑ. මගේ ලෝකෙම බිඳිලා ගියාට පස්සේ ජීවිතේම තිබුණේ හ්ස් බවක් විතරයි. ඒත් දෙයියනේ මම කොහොමද හිතේ ලියවිලා තියෙන මතකය මකලා දන්නේ. භූපගේ හිනාව, ආදරේ, ඇස්, හඬ... උණුසුම. මේ සේරම අමතක කරන්න මැරිලා ඉපදුනත් මට පුලුවන් වේවිද?
"දැන් අනං මනං අහලා කරදර කරන්න එපා. ඉන්න දෙන්න. එයා හිතලා හරි තීරනේ ගනීවි" මට ඇහුණා අම්මා මොනවද මුණු මුණු ගාලා කියද්දි තාත්තා එහෙම කියනවා.
මම නැගිට්ටේ කාමරේට එන්න.
කාමරේට ඇවිත් ඇඳේ ඉඳගෙන මම කල්පනා කරමින් උන්නේ මොකක්ද මේ වුණේ කියලා. ආයෙ ආයෙ මට මත වුනේ භූපව, තාත්තගේ වචන, අම්මගේ කඳුලු...මේ හැම දෙයක් ගැනම හිතද්දි මට අන්තිමට හිතුණේ මම මහා පව්කාරියක් කියලා. මේ හැම හිතක්ම අද කරදර විඳින්නේ මම හන්දා. ඊට පස්සේ මම එහෙමම ඇඳේ ඇල වුණා. මම ඇස් පියාගත්තේ නිදාගන්න නෙවෙයි. ඒත් අන්තිමේදි මට නින්ද ගිහින් තිබුණා.
"දෝණි..." මම ඇහැරුණේ ආච්චි අම්මා මට කතා කරපු හඬට.
මම එක පාරටම ඇස් ඇරලා කල්පනා කලේ මම කොහෙද මේ ඉන්නේ කියලා. වෙච්ච සේරම ආයෙම මතක් වෙන්න මට තප්පර කීපයක් ගියා.
"මොකෝ පුතේ මේ මද්දහනේ නිදි? අසනීපයක්වත් ?" ආච්චි අම්මා ඇහුවේ මගේ නලලට අතක් තියලා බලන ගමන්.
"නෑ ආච්චි අම්මා" මම එහෙම කියාගෙන නැගිට්ටේ ඈට හිනාවක් පාගෙන.
මෙවෙලෙම වගේ අම්මා ඇවිත් කාමරේට එබුණා.
"ඔයා නැගිට්ටද? එන්න එහෙනම් කන්න. කෑම ඇරලා ගොඩක් වෙලා. තාත්තත් අන්න බලා ඉන්නවා" අම්මා එහෙම කියාගෙන යන්න ගියා.
මම කාමරෙන් එලියට ආවේ කැමැත්තකින් නෙවෙයි. මම හන්දා තාත්තා බඩගින්නේ තියන්න බැරි නිසා. ඒත් මේසෙට ආවමයි මම දැක්කේ අම්මයි, අයියයිත් තාම කාලා නැති වග. මම මේසෙන් වාඩි වෙලා බත් බෙදා ගත්තා. ආච්චි අම්මත් අපි එක්කම කන්න වාඩි වුණා.
ආච්චි අම්මයි, තාත්තයි කන ගම විවිධ දෙවල් කතා කලත් මම මුකුත් නිශ්ෂබ්දවම කැම එක අන අන උන්නා විතරයි. මට කන්න පිරියක් තිබ්බේ නෑ. මම දැක්කා අම්මගේ කෑම පිඟානත් එහෙමම වග.
කෑම කෑවට පස්සේ හවස් වෙනකල් කාලේ ගෙවුණේ අච්චි අම්මා එක්ක. බප්පලා යාලුවෙක්ගේ ගෙදර ගිහින් හන්දයි ආච්චි අම්මා අපේ ගෙදර ඇවිත් තිබුණේ.  ආච්චි අම්ම උන්නු නිසා දවල් වුණ ප්‍රශ්ණේ ගැන ආයෙම ගෙදරදි කතා කෙරුණේ නෑ. වුණත් අයියා සිද්ධියට පස්සේ එකම එක පාරක්වත් මගේ මූණවත් බැලුවේ නෑ. මට දුක නොහිතුණා නෙවෙයි. ඒත් මගේ හිතුවක්කාරකම බලවත් වුණා. අච්චි අම්මා රෑ අපේ ගෙදර නැවතුණා. නිදාගත්තේ මා එක්ක. ගෙදර පිරිත් දාලා තිබ්බ නිසාදෝ, හිතට පොඩි සැනසීමක් දැනෙන්න ගත්තා. ආච්චි අම්මා මගෙ හිස අතගාමින් ඉද්දි මට එහෙමම නින්ද යන්න ඇති.

3 comments:

  1. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ? අයියා කෙනෙක් විදියට මම උණත් මගේ හොදම යාලුවා මගේ නංගිත් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවාට කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ හොඳම යාලුවා ගැන අනිත් හැමෝටම වඩා තමුන් දන්න නිසා....))

      Delete
    2. හ්ම්ම්...මමත් එහෙම හිතනවා.

      Delete